වරාය නැගෙනහිර ජැටිය ගන්න යන ඉන්දිය සමාගමේ 'ලෝකල් ඒජන්ට්' අගමැතිගේ හිතවතෙක්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරා ගැනීමට යන බව කියන
ඉන්දීය සමාගමේ (Adani Ports and Special Economic Zone Ltd) මෙරට නියෝජිතයා අගමැති මහින්ද රාජපක්ෂ ගේ සමීපතම හිතවතකු බව ඇතැම් සමාජ මාධ්‍ය විසින් අනාවරණය කර ඇත.
එම මාධ්‍ය වාර්තා වලට අනුව කතාබහට ලක්වන ඉන්දීය අදානි (Adani Group) සමාගමේ මෙරට නියෝජිතයා වන්නේ ඉන්දීය ජාතික සදාක් අබ්දුල් කාදර් (Sathak Abdul Kadar) නමැති අයෙකි. ඔහු සෙරන්ඩිබ් ප්ලවර් මිල් (Serendib Flour Mills’) සමාගමේ සභාපති වන අතර ම මෙරට ගල් අඟුරු ආනයනය කරන 'අදානි ග්ලෝබල්' සමාගමේ දේශීය ඒජන්තයා බව ද පැවසේ.
ඉන්දීය අදානි (Adani Group) සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික හවුල්කරුවකු වන සිංගප්පුරු 'පිරමිඩ් විල්මා' සමාගම මේවනවිටත් මෙරට යෝජනා කිහිපයක් ම ආරම්භකර ඇත. යුධ හමුදා මුලස්ථානය පිහිටා තිබු අක්කර 10ක ඉඩම මිලදී ගෙන ශ්‍රෙන්ග්‍රීල්ල හෝටලය ඉන්දිකරනු ලැබුවේද 'පිරමිඩ් විල්මා' සමාගම යි.
'පිරමිඩ් විල්මා' සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකු වන කෝටිපති ව්‍යාපාරික සජාඩ් මව්සුන් ය.
හවුල්කාර සමාගමකට අනුමැතිය :
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගමට හා දේශීය හවුල්කාර සමාගමකට අනුමැතිය ලැබී තිබෙන බව 'බ්ලූම්බර්ග්' ආර්ථික පුවත් සේවය වාර්තා කරයි.
ඒ පිළිබඳ තවත් විස්තර lankamemo.com වෙබ් අඩවියේ පළකර ඇත.
අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගම යනු කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට (Gautam Shantilal Adani) අයත් අදානි සමූහයේ සමාගමකි.
Gautam Shantilal Adani -The Billionaire Beneficiaries of BJP’s Schemes
ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී ගේ සමීපතම ව්‍යාපාරික මිතුරාවේ. මොදී ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම මුල්‍ය අනුග්‍රාහකයා වීම හේතුවෙන් ගෞතම් අදානිගේ ව්‍යාපාර කටයුතු සඳහා එරට රජයේ පුර්ණ ආශීර්වාදය හිමිව ඇත.
ඒ අනුව නැව් හා වරාය ව්‍යාපාරයට අත ගසා ඇති ගෞතම් අදානි ගේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගම මේවනවිට විදේශයන් හි පවා වරාය කිහිපයක්ම මිලදී ගෙන තිබේ.
මෙම සමාගම විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සම්බන්ධ මූලික ගිවිසුමක් පසුගිය රජය සමයේ 2019දී අත්සන් කරන ලදී.
පසුගිය අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට එරෙහිව උද්ඝෝෂණය කළ අතර, මෙම ගිවිසුම නැවත සමාලෝචනය කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම වෘත්තීය සමිතිවලට පොරොන්දු විය.
එහෙත්, පොරොන්දුව ලිඛිතව ලබා නොදුන් අතර, රාජ්‍ය නායකයන් සමග සාකච්ඡාවක් සඳහා ගොස් පැමිණීමෙන් පසු වෘත්තීය සමිති නායකයන් ආතතික ස්වරූපයකින් නිහඬතාවක් වෙත යමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන ලදී.
අදානි සමාගම සම්බන්ධ තීරණයකට එළැඹ තිබෙන්නේ මෙම සමාලෝචනයෙන් පසුව බව වාර්තා වේ.
පසුගිය ජුනි මාසයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක මූල්‍ය ආධාර සැපයීය.
නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගිවිසුම්ටවලට ජපානය ද සම්බන්ධය. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජපානය හා ඇමරිකා එක්සත් ජනපදය ඉන්දු පැසිෆික් කලාපයේ චීනය සමග තරගකාරී බල හවුලක් ලෙස ක්‍රියාකරයි.
(උපුටා ගැනීම් - praja.lk)
සබැඳි පුවත් :
අගමැතිවරයා, එකඟතා බිඳදමා වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ සූදානමක!