ගෝඨා ගැන පුදුම කැක්කුමක් ඇත්තේ ගෝඨාට ඡන්දෙ දුන්න අයට නොවේය.

මේ වන විට ගෝඨාට උපදෙස් දෙමින් රට කරවිය යුතු ආකාරය ගැන ඔහුව දැනුවත් කරන්නේ ගෝඨා පරාජය කිරීම සඳහා පරම පවිත්‍ර චේතනාවෙන් කටයුතු කළ පිරිසය.

ගෝඨා අතින් යම් අතපසුවීමක් වූ සැනින් ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල පුරවන්නේ ඔවුන්ය. 

මෙහි පහත සටහන් කරන්නේ ගෝඨාට උපදෙස් නොව අදහස්ය.

අප ජීවත් වන්නේ කුණු වූ සමාජයකය.

ළමා අපචාර, කුඩු, පාතාල, මිනීමැරුම්, පරිසර හානිය යන මේවා කනවා, බොනවා, නිදාගන්නවා තරම් සරල දෛනික දේවල් බවට පත්ව තිබේ. 

රොබට් නොක්ස් ඉහළින් ඔසවා තැබූ ලංකාව හා ලංකාවේ මිනිසුන් පහළටම ඇද වැටී ඇත්තේ ඇයි?

ලංකාව පිරිහෙන්න පටන් ගත්තේ සුද්දා මේ රටට නිදහස දුන් දා පටන්ය.

අපට නිදහස නොදී සිටියා නම් හොඳයි කියා මෙයින් අදහස් නොකෙරේ. (මේ ටික කිව්වේ ජෙප්පන්ටය.)

සුද්දා රට පාලනය කළේ සිංහල, මුස්ලිම්, දෙමළ වශයෙන් ජාතීන් බෙදමිනි.

 නිදහස ලබා ගත් දේශීය පාලකයින් පාලනය කළේ ජාතීය බෙදමිනි.

එහෙත් මේ රටේ මිනිසුන් සීඝ්‍ර ලෙස පිරිහෙන්න පටන් ගත්තේ 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය සමගය.

බල්ලො මරා හෝ සල්ලි හොයමු යන තේමා පාඨය රැගත් විවෘත ආර්ථිකය නම් සයිනයඞ් කරල මේ රට ගේන්නේ ධර්මිෂ්ඨ සමාජයක් යන චොකලට්ත තැවරුමත් සමගය. 

එදා සිට අපි විදවමු. 

එදා සිට අපි පිරිහෙමු.

දේශපාලකයින් විසින් රට කාබාසිනියා කරමින් සිටින අතර අපි අපිවම කාබාසිනියා කරගනිමින් සිටිමු. 

අපට විනයක් තිබේද?

නැත.

අපි තවමත් බස් ටිකට් එකත්, ටොෆි කොලයත් පාරට හලා යන ජාතියක් වෙමු. 

අපි කහ ඉර හැරෙන්නට වෙනත් ඕනෑම තැනකින් පාර පනින ජාතියක් වෙමු. 

බස් එක නතර කරන්නේ පාර මැදය.

ඒ පිටිපස්සෙන් එන බස් එකට ඉස්සර කරන්නට බැරි වන ලෙසය. 

ත්‍රීවිල් දුවන්නෙ සිංගර් මහන මැෂිමක් මෙන් සිග් සැග් ක්‍රමයටය. 

රථ වාහන පදවන්නේ සුක්කානමෙන් නොව එහි ඇති හෝන් එකෙනි.

ට්‍රෆික් නීති අදාල පුංචි එකාටය.

ට්‍රැෆික් රාළහාමි ගේ අත ලක්ෂරි වාහන දුටු විට එසවෙන්නේ නැත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කතා කරන වැදගත් ජාතික ප්‍රශ්නයක් බවට එහි කැන්ටිමේ මාළු කෑල්ල පත්ව තිබේ.

දවසට පාන් ගෙඩියට එක සිලි සිලි බෑගයක් බැගින් පාවිච්චි කොට නොදිරන කුණු කදු ගොඩගස්වන අමන ජාතියකි අප. 

පමුණුව රෙදි සාගරයකි.

බතික් ඇමතිලා සිටිති.

දේශීය රිදිපිළි භාර ඇමතිලා සිටිති. 

කර්මාන්ත භාර ඇමතිලා ද සිටිති.

එහෙත් ලොකු දේවල් නොව පාන් ගෙඩියක් ගෙන යන්න පරිසර හිතකාමී බෑගයක් තවමත් නිර්මාණය කරන්නට හැකි වී නැත.

සිලි සිලි බෑග් පලාගෙන ගත්තු හාල් ටික, පරිප්පු ටික තාර පාරට පූජා කර යන මේ රටේ මෝඩ ජනතාවට වෙනත් විකල්පයක් කරා යන්නට තරම් මොළයක් නැත.

ඔවුහු පසුදිනත් සිලි සිලි බෑගයක් රැගෙන පරිප්පු ගෙන ඒමට සතොසට යති. 

එකල කිව්වේ ලංකාව ජපානයේ යකඩ ගොඩ කියාය. 

දැන් කීමට ඇත්තේ ලංකාව ජපානයේ යකඩ ගොඩක් නොව චීනයේ ප්ලාස්ටික් ගොඩක් බවය.

වඩා වටින්නේ රට වැනසීම ද ප්ලාස්ටික් මුදලාලිගේ බඩගෝස්තරය රැකීමද යන්න ගැන රටේ පාලකයන්ට තීරණයක් ගැනීමට නොහැකි වී ඇත. 

ඔරිජිනල් නවලෝක මුදලාලි යු.එන්.පී. ය.

නවලෝක පුත්තු පොහොට්ටුවේ වෙති.

ඉතින්., අපේ රටට ප්ලාස්ටික් වලින් නම් මේ කපේ ගැලවෙන්න බැරිය. 

එක නීතියක් ගැන කතාවෙයි.

ලංකාවට ආරක්ෂිත බඳ පටි රහිත වාහන ආනයනය තහනම්ය.

මේ නීතිය පැන වූ පසු මෙලෝ ආරක්ෂාවක් නැති ඬේවිඞ් පීරිස් මුදලාලි ගේ කියූට් රථය ලංකාවට ගොඩබෑවේ කෙසේද?

රටට වසංගතයක් වී ඇති ත්‍රීරෝද රථ ආනයනය සීමා කිරීමට හොඳම අවස්ථාව දැන් ලැබී ඇත. 

එයින් රජය ප්‍රයෝජනයට ගන්නා බවක් නොපෙනේ.

පිළිකා රෝහලේ ඇඳන් එකිනෙක පිරෙන විට අනෙක් පැත්තෙන් MSG අඩංගු ආහාර වෙළඳපොලේ සුලභ වෙමින් පවතී. 

අජිනොමොටො තහනම් කරන්නට තරම් හයියක් කිසිඳු පාලකයෙකුට නැත.

පිටකොටුවේ තොග මුදලාලිලා මේ රටට ගොඩ බස්වන්නේ මොනවද කියා හොයා බලන්නට කෙනෙක් නැත.

අපේ රටට අවශ්‍ය මොනවාද, අනවශ්‍ය මොනවාද තීරණය කිරීමට රජයටත්, රජයට උපදෙස් දෙන පරිපාලන නිලධාරීන් යැයි කියාගන්නා ඔලමොට්ටල හැත්තටත් අවබෝධයක් නැත.

මේ රට හදන්නට පුළුවන් රටකි.

ඒ සදහා මිනිසුන් හැදීම පළමු පියවර යුතුය. 

නීති නැතිව මිනිසුන් ඉබේ නොහැදේ.

සිංගප්පුරුවට යන අපේ මිනිසා නිවැරදිව පදික මාරුවෙන් පාර හරහා පනියි. 

ටොෆි කොළය කුණුබක්කිය තුළටම දමයි.

ඒ මිනිසාම කටුනායකින් එළියට එන විට මේ සියල්ල වෙනස් වන්නේ කෙසේද?

මීට හේතුව මේ රටට නීතියක් නැතිකමය.

රටකට නීතියක් නැතිව ඒ රටට විනයක් හැදෙන්නේ නැත. 

මහ එවුන් සෑදීම පහසු නොවේ.

එබැවින් කළ යුතුව ඇත්තේ පොඩි උන් සෑදීම ය.

පාසලේ දෙකේ පන්තියේ සිට ම විනය ගරුක බව දරුවන්ට කියා දිය යුතුය.

එවිට මේ රට කසල ගොඩක් නොකරන, පරිසරයට, රටට, රටේ මිනිස්සුන්ට ආදරේ කරන, තමා තමන්ට මෙන්ම තමා අනුන්ට ද කරදරයක් නැති පරපුරක් බිහි වනු ඇත.

හැදුනු මිනිසුන් සිටින රටක් හැදීම අසීරු නැත. 

අමාරු මිනිසුන් හදා ගැනීමට ය.

මේවා ගෝඨාට උපදෙස් නොවේ. අදහස් පමණි.


(ඇටමැස්සා)

subscribeYT

නවතම පුවත්