දිනක් චූටි මල්ලි හා පොඩි මල්ලි ගුවන්විදුලි වැඩසටහනක මෙවන් දෙබසක් ප්‍රචාරය විය.

"...ඔය චිත්‍රපටියේ ඩිරෙක්ටර් චිත්‍රපටය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ ...මිනිහා නෙගෙටිව් එක අරන් බලද්දි හෙවනැලි පේන්නේ සුදු පාටට ...

මිනිහා හිතුවා මේක අලුත් සොයාගැනීමක් කියලා ...

මිනිහ ඩස් ගාල චිත්‍රපටියට නම දැම්මා 'සුදු  සෙවනැලි' කියලා ..." 

සුනිල්  ආරියරත්න ගැන කතා කරන්නට එය හොඳ ප්‍රවේශයකි .

ඇත්තටම සුනිල් ආරියරත්නට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ද ...? 

සුනිල් විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට නාමාවලිය ගත් කල එහි හොඳ චිත්‍රපටියකට ඇත්තේ ' සරුංගලේ ' පමණි.

කරුමයක මහත !

එහි ඇත්ත ඩිරෙක්ටර් සුනිල් නොවේ.

"උඹ පැත්තකට වෙලා මේකේ සිංදු ටික ලියපන් " යනුවෙන් සුනිල්ට කියා සරුංගලේ චිත්‍රපටය ගාමිණී  ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ බව එම චිත්‍රපටය සම්බන්ධ වූ ශිල්පීන්ගේ කටින් කට කලා ලෝකය පුරා පැතිරී ගිය ආරංචියකි.

එය සැබෑවක් වන්නේ සරුංගලේ තරම් හොඳ චිත්‍රපටයක් සරුංගලේ චිත්‍රපටියට පෙරත් සරුංගලේ චිත්‍රපටියට  පසුවත් අධ්‍යක්ෂණය කරන්නට සුනිල් ආරියරත්න අසමත් වූ නිසාය.

සරුංගලේ අධ්‍යක්ෂ ලෙස සුනිල් ගේ නම දැමීම හරියට සදේශ් කුමාර් අධ්‍යක්ෂණය කළ 'ප්‍රවේගය' චිත්‍රපටයට  ඩොනල්ඩ් ජයන්තගේ නම් දැම්මා හා සමානය.

සුනිල් කැම්පස් වල සිංහල කියා මොනවා ඉගැන්වූවත් ප්‍රශ්නයක් නැත. 

ඔහු ජාතියට කළ මහම අපරාධය නම් නන්දා මාලනී නමැති සුවිශේෂ ගායිකාව ඔහුගේ සිරකාරියක කරගැනීමය.

 එනම් නන්දා මාලිනියට වෙනත් රචකයන්ගේ ගීත ගායනයට තිබූ ඉඩකඩ අහුරා දමන ලද්දේ සුනිල් විසිනි.

නන්දා විසින් සිදු කළේ කාලයෙන් කාලයට සුනිල් මාකට් එක දෙස බලා ලියන සින්දු වලට හඬ සැපයීම පමණකි.

 සුනිල් හොඳ කලා මුදලාලි කෙනෙකි.

වරෙක  ඔහු අද කාලේ සෞන්දර්ය ගීත කියන්න බෑ කියන සංකල්පය ගෙනෙයි.

ඊළඟට නන්දා මාලනිය ගයන්නේ තනිකරම වීරෝධාකල්ප  ගීතයි. 

නන්දා මාලිනී ලුම්බිණිය ඇතුලේ පවන ප්‍රසංගය පවත්වද්දී ලුම්බිණි ගේට්ටුව අසල නන්දාමාලිනියගේ අතිශය සෞන්දර්යවාදී ගීත සමුච්චයක් අඩංගු 'තාරුකා ඇස් 'කැසට් පටිය විකුණයි. 

එකවර මාකට් දෙකකට කතා කරමින් ඕඩියන්ස් දෙකක සාක්කුවලට විදිනවා කියන්නේ මේකට ය. 

පවනේ එන එක ගීයකින් ඉන්දියාව හඳුන්වන්නට යොදා ගන්නේ 'හොටබරියන්ගේ රට ' යන යෙදුමයි. 

එසේ ලියූ සුනිලුත්, එසේ ගැයූ නන්දාත් අන්තිමට 88 - 89 භීෂණයේදී පණ බේරා ගන්නේත් හොටබරියන්ගේ රටට පැනයාමෙනි. 

සියලු කලබල අවසන් වූ පසු නැවත ලංකාවට එන සුනිල් දෙමළ සාහිත්‍යය ගැන පොතක් නිකුත් කරන්නේ තමිල්නාඩුවෙන් හමුවූ දමිළ සාහිත්‍යය පොතක පිහිටෙන්  බවට රාවයක් පවතී. 

'සත්‍යයේ ගීතය ' ප්‍රසංගයේ  ගීත බොහෝමයක් සුනිල් රචනය කරන්නේ නන්දාගේ කලින් සැමියා වූ සුනෙත් ගෝකුළට පහර ගසන්නට ය. 

සුනෙත් ගෝකුළ මියගිය පසු ඒ ආරංචිය මාධ්‍ය වෙත ලබාදෙන්නේ ද සංවේගයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්ම ‍ය.

සත්‍යයේ ගීතයෙන් රෝහණ වීරසිංහ ඇතුළු පිරිසක් ඉවත්ව යන්නේ ද රුපියල් 500ක ප්‍රශ්නයකටය. 

තමන්ට ෂෝ එකට ගෙවන දීමනාව වැඩි කරන්නැයි සුනිල්ගෙන් ඉල්ලා සිටීම කුණුහරුපයෙන් බැනගන්නා තරම් පහත් තත්ත්වයකට පත්වීම නිසා රෝහණලා එයින් ඉවත් විය.

සුනිල් කාලයෙන් කාලයට පැවැත්ම තකා මාකට් එකට විවිධ බෝල බස්සවයි.  

ගීතයේ අයිතිය පිළිබඳ සංවාදය ඉන් එකකි. 

ගී පද රචනය යන සරල යෙදුම ගේය පද ලෙස හදුන්වා දීම තවත් එකකි. 

සුනිල් ගේ මේ ප්‍රයෝගයන් ට රැවටෙන ඔහුටම සරිලන කලා රිටවල් ද අප රටේ ඇත. 

වරෙක නන්දාමාලිනි මෙරට කවියන්ගේ කවි එකතුවක් ගීත සංග්‍රහයක් ලෙස එළිදැක්වීය.

එයද සුනිල්ගේ සැලැස්මකි. 

අපේ කවියන් උඩ පැන්නේ 'ජාතියේ ගායිකාව ' විසින් ඔවුන්ගේ  කවි ගීත බවට පත් කොට ගැයීම නිසා ය.

එහෙත් එයින් සුනිල් කියන්නට උත්සාහ කළේ කුමක්දැයි මේ කිසිවෙකුට වැටහුනේ නැත.

"මං නන්දාට ලියන්නේ ගීත ...අනිත් උන් ලියන්නෙ කවි " 

එහිදී සිදුවූයේ එය නොවේද ? 

මේ රටේ බිහිවූ ශ්‍රේෂ්ඨ කලාකරුවකු වන මහගමසේකරයන් අමතක කරවීමේ සියුම් ව්‍යාපාරයක් ඇත.

එහි කොනක සුනිල් නැත්නම් පුදුමයකි .

සුනිල්ගේ අනිත් ප්‍රතිවාදියා තවත් සුනිල් කෙනෙකි.

ඒ‌ සුනිල් සරත් පෙරේරා ය.

ඔහු සුනිල් සරත්ගේ බෙල්ල කපන්නේ හීන් නූලෙනි.

ඒ සම්බන්ධ අපූරු කතාවක් ඇත.

1991 අප්‍රේල් 3 වැනි දින සුනිල් සරත් "ගංගාවෙන් මහ මුහුදට" නමින් කාව්‍යමය කතා සංග්‍රහයක් පළ කළේය.

එම පොත දොරට වැඩුම යෙදී තිබුනේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ය.

එදින ම සුනිල් ආරියරත්න මෙහෙයවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය උපාධි ප්‍රධානෝ‌ත්සවය  ද පැවැත්විණි.

 සුනිල් සරත් ගේ උත්සවයේ ප්‍රධාන අමුත්තා අමරදේව ය. 

අමරදේවයන් සුනිල් සරත්ගේ උත්සවයට පැමිණීම වැළැක්වීමට සුනිල් ආරියරත්න කළේ කෙසේ හෝ පැයකටවත්  උපාධි ප්‍රදානෝත්සවය සදහා පැමිණෙන ලෙස අමරදේවට ආරාධනා කිරීමය. 

උපාධි උත්සවය ආරම්භ කළ පසු එය අවසන් වනතුරු එයින් පිටවිය නොහැකි බව පිළිබදව අමරදේවට වැටහීමක් නොතිබිණි.

මෙය ආරංචි වූ එවකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි කළේ අමරදේව අමතා " ඔබ සිටිය යුත්තේ මෙතැන නොව අතන " යැයි පවසා  සුනිල් සරත් ගේ පොත දොරට වැඩුමට අමරදේවයන් පදනම් ආයතනය බලා පිටත් කර හැරීමයි.

සුනිල් ආරියරත්න කොහොමද ගේම් කාරයෙක් දැයි සිතා ගැනීමට මෙයම හො‌දටම ප්‍රමාණවත්ය.

සුනිල් ආරියරත්න හැමදාම වැජඹුනේ සුනිල් මොන කුණුහරුපය ලිව්වත් ඒවා ගුරුළුගෝමීන් ගේ කෘති ද අභිබවා ගිය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ ලෙස ඔසවා තබමින් පිටු ගණන් ලිපි ලියූ ගාමිණි සුමනසේකර ලා වැනි පත්තරකාරයන් නිසා ය.

එවැනි දංකුඩ  විචාරකයන් නොවන්නට සුනිල් ආරියරත්නට හො‌ද කලාකරුවන් වන්නට හො‌දටම ඉඩ තිබුණි. 

වරක් සුනිල් ආරියරත්න අංකුර ගීත රචකයන්ට ආරාධනා කර ගීත රචනා ගෙන්වා ගත්තේ නන්දා මාලනියගේ කැසට් පටයක් සඳහාය.

ලැබුණු පදරචනා ගන්න දෙදහස් පන්සියයක් පමණය. 

කැසට් පටයට අඩංගු වන්නේ ගීත දාසයකි.

ඉතිරි පද රචනා 2484 මතු යම් දිනෙක පටිගත වනු ඇත.

ප්‍රශ්නය ඒ‌ කාගේ පද රචනයක් ලෙසින් ද යන්නයි.

කිසියම් පුද්ගලයකු මියගිය විට ජයරත්න එකට හෝ බානි රේමන්ඩ් එකට යෑම අනිවාර්යය වන්නා සේම කිසියම් කලාකරුවකු මිය ගිය විට එම අනුස්මරණ දේශනය සදහා සුනිල් ආරියරත්න ළගට යෑම අනිවාර්යය.

ජයරත්න මුදලාලිට හා බානි රේමන්ඩ් මුදලාලිට අමතරව සුනිල් ආරියරත්නත් ෆීල්ඩ් එකේ 'අවමංගල අධ්‍යක්ෂ ' ලෙසින් හදුන්වන්නේ එනිසා විය යුතුය.

(ඇටමැස්සා)

subscribeYT

නවතම පුවත්