මහාචාර්ය නලින් ද සිල්වා ව ඉහත තුන් ආකාරයටම හදුන්වන පිරිස් අප සමාජයේ වෙති.

මහාචාර්ය නලින්ට මෙසේ අමතන  තුන් වර්ගයක් වෙති.

නලින් ගේ ගෝලයන්ට ඔහු නලින් සර් ය.

නලින් ගේ ගෝලයන් නොවන්නන්ට ඔහු නලියා ය.

නලින් ගේ ගෝලයිනුත් හැර ගෝලයින් නොවන්න වුණුත් හැර තවත් පිරිසක් ඇත.

ඔවුන් නලින් ගෙන් ඉගෙන ගත්තවුන් ය.

ඔවුන්ට ඔහු මහාචාර්ය නලින් ය.

මහාචාර්ය නලින් ගැන බොහෝ කතා සමාජය තුළ වපුරා ඇත.

ඉන් සමහරක් රාජපක්ෂවරුන්ට එරෙහිව පැතිරූ කතන්දර හා සමාන ඒවාය. 

ඒ සියලු කතා මධ්‍යයේ ත් නලින්ට පක්ෂවූත් විපක්ෂ වූත් සියලු දෙනා පිළිගන්නා කරුණක් ඇත.

එනම් , නලින් යනු අවංක මිනිසෙකි.

නලින් කොළඹ සරසවියෙන් අස් කරනු ලබන්නේ 90 දශකය මුල් භාගයේ දීය.

මිනිසකු සරසවියෙන් අස් කළ හැක්කේ විෂමා චාර, විභාග  හෝ මුදල් වංචා යන චෝදනා යටතේය.

එහෙත්  මහාචාර්ය නලින් අස් කරන්නට හේතුව ජාතික චින්තනය ඉගැන්වීමය.

ලංකාවේ සරසවිවල ඉගැන්විය හැක්කේ විජාතික චින්තනය පමණක් බව ඌ මහත්තයා හෙවත් ජයදේව උයන්ගොඩ දැනගෙන සිටියත් මහාචාර්ය නලින් දැනගෙන සිටියේ නැත.

මහාචාර්ය නලින් අස් කරන විට කොළඹ සරසවියේ උපකුලපති වූයේ කොළඹ සරසවි ඉතිහාසයේ පහළ වූ දුර්වලම පරිපාලකයා වූ ජී එල් පීරිස් ජී එල් පීරිස් ය.

ජී එල් උගතෙකි.

නලින් බුද්ධිමතෙකි.

නලින් සරසවි දේශන තුලදී 'ජාතික චින්තනය' උගන්නනවාදැයි බැලීමට උගත් ජී එල්. පැමිණි විට බුද්ධිමත් නලින් කළේ ගණිත සූත්‍ර තුලට දමා ජාතික චින්තනය ඉගැන්වීමයි.

කුඩා කල ජී එල් ට ගනං බැරි නිසා (තවමත් ඔහුට ගනං බැරිය) ජී එල් ගේ  මවුපියන් දක්ෂ ගණිත ගුරුවරයකු ගෙදරට ගෙන්වා ගත්තේය.

එසේ ගෙන්වා ගත්තේ ජී එල්ට ගනං කියා දීම සදහා ය.

එලෙස  ගෙන්වා ගත් ගුරුවරයා වූයේ මහාචාර්ය නලින් ගේ පියා ය.

ජී එල් ඊට පෙරලා කෘතගුණ සැලකුවේ තම ගණිත ගුරුවරයාගේ පුතාව තම පාලන කාලයේ දීම සේවයෙන් නෙරපා හරිමිනි.

 මේ පිළිබඳව පැවති නඩු විභාගයෙන්  නලින්ට ජය අත් වුවත් ඒ වන විට ඔහු විශ්‍රාම යන වයස ළඟාවී තිබිණි.

නලින්ට වන්දි ලැබිණි.

එහෙත් ඔහු සතු දැනුම ශිෂ්‍ය පරම්පරාවකට ලබා ගැනීම අහිමි කළ සරසවි පාලකයන්ට ලැබූ දඬුවමක් නම් නොවීය.

මහාචාර්ය නලින් හා ජී එල් වෛර බැඳ ගන්නේ ජාතික චින්තනය නිසාම ම නොවේ.

එය වෙනත් කතාවකි.

ජී එල් වත් නොදන්නා කතාවකි.

වෙසක් සමයට සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙසක් බැති ගී සංදර්ශනයක් පැවැත්වීම සාමාන්‍ය දෙයකි.

ඔවුන් උපකුලපතිවරයා ගේ නිල නිවාසටත් බැති ගී ගායනා කිරීමට යෑමත් සාමාන්‍ය දෙයකි.

 එවක විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටි රොෂාන් ගුණවර්ධන ( වර්තමානයේ චම්පික ‍රණවකගේ සමීපතමයන්ගෙන් කෙනෙකි)  මේ බැති ගී කණ්ඩායමට තර්ජනය කොට ඔවුන් උපකුලපතිවරයා වූ ජී එල් ගේ නිවසට යෑම වළක්වාලීය.

ඔහු තර්ජනය කළේ "තොපි ජී එල් ට -- දෙන්න යනවාදැ"යි කියමිනි.

 එයින් බියපත් වූ ඔවුන් බැති ගී ගැයීමට ගියේ නැත.

ජී එල් අලුතින් නිවසක් පේන්ට් කරගෙන බැති ගී අහන්න සිටි ජී එල් සිතුවේ මේක නලින්ගේ වැඩක් කියාය.

මේ වකවානුවේ චන්දි රසිකා රගපෑ 'ඇගේ වෛ‌රය' චිත්‍රපටි හෝල් වල පෙන්වනු ලැබූ අතර මෙම සිදුවීමෙන් පසු  ජී එල් රගපෑ 'මහාචාර්ය වෛ‌රය' කොළඹ සරසවියේ පෙන්වීම  ආරම්භ කරන ලදි.

අවසානයේ නලින් පමණක් නොව ඔහුගේ හොදම ගෝලයා වූ ගෙවිඳුවත් කොළඹ සරසවියෙන් ඉවත් කෙරුණි.

නලින්ට ගෝලයෝ රැසක් සිටියහ.

ඉන් බොහෝ පිරිසක් චින්තන පර්ෂදය වටා ගොනු වී සිටියහ.

කරුණාරත්න පරණවිතාන ද ( මේ වනවිට කරූ පරණවිතාන ලෙස නම මොඩ් කරගෙන ඇත) එකල ගෝලයකු ලෙස පෙනී සිටි අයෙකි.

ජී එල් නලින් අස් කරන විට දියාරු විරෝධයකින් නලින් ඉවත් කිරීමේ ප්‍රශ්නය අමතක කරන්නට කරුණාරත්න පරණවිතාන හැරියා පමණක් නොව ජී එල් අධිකරණ ඇමති වූ විට ඔහුගේ ලේකම්වරයෙකු වශයෙන් සේවයට ද ගියේය.

එය හොඳ ඩීල් එකකි.

ඩීල් එක වුයේ නලින් අස්කිරීමේ සටන දියාරු කිරීමයි.

ගාස්තුව අමාත්‍යාංශ ලේකම් පදවියකි.

නලින් ගේ කාලයේ හැම සදුදාවකම නාට්‍යයක්, සංගීත ප්‍රසංගයක් හෝ මොනයම් කලා කටයුත්තක් හෝ කොළඹ සරසවියේ නව කලාගාරයේ පැවැතිණි.

ඊට පසුදා එනම් අගහරුවාදා, ඒ පිළිබද සංවාදයකි.

මේ සංවාදවලදි නලින් සමග හොඳටම හැප්පුණේ ආචාර්ය පියසීලි විජේගුණසිංහයි.

නලින් අස් කළ පසු වරෙක ඇය පවසා සිටියේ 'නලින් නැතුව කැම්පස් එක පාළුයි' යනුවෙනි.

ඇය එයින් අදහස් කළේ කොළඹ සරසවිය තුල ගොඩනැගෙමින් පැවැති සංවාදය නලින් ඉවත් කිරීමත් සමග ඇණ හිටි බැවිනි.

එකල කොළඹ  සරසවියේ  සංස්කෘතික මණ්ඩලයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ද සාමාජිකයෙකි.

ඒ වෙනුවෙන් ඔහුට දීමනාවක් ද ගෙවනු ලැබීය.

ප්‍රශ්නය පැන නැගුණේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයක් නව කලාගාරයේ පෙන්වන්නට ගිය විටය.

තම නාට්‍යයේ ගාස්තුව සත පහකින් වත් අඩු කිරීමට සරච්චන්ද්‍රයන් සූදානම් නොවීය.

 ඒ වෙනුවට ඔහු පැවසුවේ සිසුන් ගෙන් අයකරන රු.10 ගාස්තුව වැඩි කරන ලෙසය.

 මහාචාර්ය නලින් ඊට එරෙහි  විය.

නමුත් කතාව පැතිරුණේ ඊට හාත්පසින්ම වෙනස් අයුරිනි.

මාධ්‍ය ලෝකයේ අරක් ගෙන සිටි සරච්චන්ද්‍රයන්ගේ ගෝලයෝ නලින්ව රාක්ෂයෙකු කර, සරච්චන්ද්‍රව දෙවියකු කර රටට පෙන්වූහ.

දෙවැන්න සිදුවූයේ නන්දා මාලිනිය ගේ පවන ගෙන්වන්න ගිය විටය.

 මහාචාර්ය සුනිල් ආරියරත්න ( සමාවන්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ) සේවය කළ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කම්බි වැටෙන් රිංගා සින්දු කියන්නට ආ නන්දා මාලනී ' පවන ' ප්‍රසංගය කොළඹ සරසවියේ පැවැත්වීමට රුපියල්  22,000 හේ 'මස් රාත්තලම' ඉල්ලූවාය. 

අවසානයේ සරසවි සිසුන්ගෙන් රුපියල් 10 ටිකට් කඩා ඉතිරි මුදල කොළඹ සරසවියෙන් පියවා ප්‍රසංගය පවත්වන ලදි.

ඇටමැස්සා මේ සියල්ල සටහන් කරන්නේ මේවා රටම දැනගත යුතු කාරණා බැවිනි.

කෙසේ වෙතත් අවසානයේ මේ සියල්ලම බැර වූයේ  ශිෂ්‍යයන්ගේ පැත්ත ගත් නලින්ගේ ගිණුමටය.

 එවක අන්තර් විශ්වවිද්‍යාලයීය ආචාර්ය බලමණ්ඩලයේ අපූරු සාමාජිකයෝ දෙදෙනෙක් වූහ.

ඒ මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න හා මහාචාර්ය නලින් ය.

ඔවුන්ගේ සටනේ ප්‍රතිඵලයක් ලෙස සරසවි ආචාර්යවරුන් ගේ වැටුප් වැඩි විණි.

එහෙත් ඒ වැඩි කළ වැටුප අතට ගන්නට පෙර නලින්ට සරසවි දොර වැසිණි.

කිසිදු සරසවි ආචාර්යවරයෙක් නලින් වෙනුවෙන් දැනෙන හඩින් නැගුවේ නැත.

ඒ වෙනුවට කාටත් නොදැනෙන ලෙස වැඩි කළ වැටුපත් සාක්කුවේ දමාගෙන මාරු වූහ.

නව පාර්ලිමේන්තුවේ නලින් ගේ ගෝලයෝ දෙදෙනකු සිටිති. 

ඒ ගෙවිඳු හා අනූප පියුම් පැස්කුවෙල් ය.

 ඊට අමතරව ඔවුන්ගේ ගුරුවරයා වූ මහාචාර්ය නලින් ව අසාධාරණ ලෙස අස්කළ ජී එල් ද සිටී.

අපි බලා සිටිමු.

(ඇටමැස්සා)

subscribeYT

නවතම පුවත්