1200 x 80 DMirror
 
 

ස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය 'වළ' යි. 

එහි සංගීත ප්‍රසංගයකි. 

ගායකයා ඔහුටම ආවේණික සුවිශේෂී හඩක් ඇත්තෙකි.

ඔහු එහිදී ගීත තුනක් ගායනා කළේය. 

එහෙත් ඒ ගීත තුන ගායනා කර අවසාන වීමත් සමග සභාව නොසන්සුන් වූහ. 

හේතුව වූයේ පේරාදෙණිය සරසවියට ම අයිති වූ ගීතය ඔහු විසින් ගායනා නොකිරීමයි. 

ඔහු එසේ කළේ හිතාමතාම පේරාදෙණිය සිසුන් ඇවිස්සීමට ය. 

අවසානයේ ඔහු පේරාදෙණි ශිෂ්‍ය මානවක මානවිකාවන් ඉල්ලා සිටි ගීතය ගායනා කිරීම ඇරඹූයේ සභාවෙන් පැන නැගුණු උණුසුම් අත්පොළසන් හඬ මධ්‍යයේ ය.

එහි පද පෙළ ගැසුණේ මෙලෙසිනි.

"..මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි...
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා...
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා...
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා...
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..."

සත්‍යවාදී, මානව හිතවාදී, විරෝධාකල්ප වාදී, රැප්, පොප්, හාඩ් රොක් මේ කිසිදු ලේබලයක් නැති ඔහු මර්වින් පෙරේරාය.

ඔහුට තිබුණේ සංගීතය පිළිබඳ විසල් දැනුමකි.

ඔහුට තිබුණේ යළි යළිත් අසන්නට හිතෙන හඬක්.

ඔහු ගීත ගායනා කළේ හාඩි රොක් යැයි කියා ගන්නා ඉන්ද්‍රචාපලා මෙන් පොළොවේ පස් කාගෙන හොටු පෙරාගෙන නොවෙයි. 

මෘදු කට හඩකින් ගායනා කළ මර්වින්ගෙ ගීත අපේ පපු කුහර තුළටම කිඳා බැස්සේ ඔහුගේ ඒ හඬ තුළ ගැබ් වුණු නිර්ව්‍යාජ බව නිසාමයි.

මර්වින්, වික්ටර්, සනත් මේ සියල්ලම එක පරපුරකට අයත් වන කලාකරුවන්.

ඒ, සංගීතය හොදින් දැන උගත් පරපුරයි.

ශිල්පය අතැඹුලක් සේ දත් පරපුර ඔවුන්ගේ පරපුරයි.

1970 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ පෙර නොවු නැවුම් හඩක් රැව් දෙන්නට විය.

"ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න දෙන්න වැහි මේ කුළේ
සැංගී අඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ... "

මෙරට සංගීත ක්ෂේත්‍රය කාලාන්තරයක් පුරා බලාපොරොත්තුවෙන් සිටි නැවුම් හඬ ඒ ගීතයත් සමඟ බිහිවිය.

මර්වින් මුලින්ම වයිලිනයට අත තැබුවේ ඔහුගේ පියාගෙනි.

ඔහුගේ පියා ප්‍රකට නැටුම් හා සංගීත ගුරුවරයකු වූ හර්මන් පෙරේරාය.

තාත්තා ගෙන් සංගීතයට අත්පොත් තබන මර්වින් 1959 අවුරුද්දේ දී රජයේ ලලිත කලා ආයතනයට බැඳෙන්නේ ය.

ඇට මැස්සාට පළමු වරට මර්වින් මුණ ගැසෙන්නේ 1990 දශකයේ දී ය. 

කල් මරන්නට coffee shop සුලභ නොවූ හා අතමිට සරු නොවූ යුගයක ඒ හමුව පැවැත්වුණේ පිටකොටුව මල්වත්ත පාරේ විජිත ට්‍රේඩ් සෙන්ටර් අධිපති විජිත පරණවිතාරණ ට අයත් ත්‍රීවිල් රථය තුළය. 

ඔහු එදා කතාව ආරම්භ කළේ මෙසේය.

"..මම 1959 ඉඳන් 1966 වෙනකල් රජයේ ලලිත කලායතනයේ ගායනය හා වාදනය පිළිබඳ සය අවුරුදු පාඨමාලාවක් හැදෑරුවා. 

1966 වර්ෂයේදී මම සංගීත ගුරුවරයකු වශයෙන් අම්පාරේ විජයපුර මහා විද්‍යාලයට පත්වීමක් ලැබ ගියා...."

අම්පාරේ මේ කොලනි පාසලේ දරුවන්ට මර්වින්ගෙන් සංගීතය ඉගෙන ගැනීමේ භාග්‍යය උදා විය. 

එහෙත් එය මර්වින්ට අභාග්‍යයක් විය. 

1968 සිට ගුවන් විදුලියේ 'බී' ශ්‍රේණියේ ගායකයකු වශයෙන් සමත්ව සිටි ඔහුට අම්පාර තරණය කොට කොළඹ පැමිණීම අතිමහත් දුෂ්කර කාර්යයක් වුණේ ය.

මර්වින් ගේ පළමු සරල ගී වැඩසටහන කරන්නේ 1972 වසරේ දී ය. 

ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ 'ඔබ දේදුන්න ආකාසයේ' මර්වින් ගේ පළමු ගීතය විය.

රන්මීවිත පුරවා, කතරක තනි වී යන ජනප්‍රිය ගීත දෙක ද එම වැඩසටහනට ඇතුළත් විය.

දිනක් ඔහුට ගුවන් විදුලියේ දී ජී.එස්,බී. රාණි පෙරේරා හමුවිය.

"මල්ලි උඹ ඇවිත් මගේ වැඩසටහනේ සින්දු කියපන්.."

ජී .එස් .බී .රාණි පෙරේරා ගේ ඒ ආරාධනාව මෙරට සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් කරන ලද ආරාධනාවක් විය.

ජි.එස්.බී.එකල ගුවන් විදුලියේ "ගීත තරංගනී "නමින් වැඩසටහනක් සම්පාදනය කළා ය.

මර්වින්ගේ ජනප්‍රියම ගීත පොකුර බිහිවන්නේ මේ "ගීත තරංගනී "වැඩසටහන තුළිනි.

මර්වින්ට මේ දුර එන්න ට වැඩියෙන් ම උපකාර කළ දෙදෙනා වූයේ ජී .එස් .බී .රාණි පෙරේරා හා ප්‍රේමකීර්ති ද අල්විස් ය.

1980 වසරේ ජූලි මාසයේ සිට මර්වින්ගේ සංගීත දිවියේ යම් පෙරළි ඇති වෙන්නට විය.

හරියටම කිවහොත් 1980 ජූලි වැඩ වර්ජනයේ සිටය.

1980 ජුලි මහා වැඩ වර්ජනයට සම්බන්ධ වූ මර්වින් අවුරුදු තුනක් පමණ රැකියාව අහිමිව සිටියේය.

ඒ කාලය තුළ ඔහු පවුල ජීවත් කළේ වාද්‍ය මණ්ඩලවල වාදකයකු ලෙස සේවය කරමින් හා නවක ගායකයින්ට ගීත තනු නිර්මාණය කර දෙමිනුයි.

මේ හැකියාව අද සුපර්ස්ටාර් ලා තෝරන විනිශ්චය මණ්ඩලවල වාඩි වී රටටම පොර ටෝක් දෙන බොහෝ ශිල්පීන් ට නැත.

ශිල්පය මැනවින් ප්‍රගුණ කළ කලාකරුවෙකුට ප්‍රබල ආණ්ඩුවකට වුවත් පරාජය කිරීම අපහසු බවට හොඳම නිදසුන මර්වින් පෙරේරා ය.

යළිත් මර්වින්ට රැකියාව ලැබෙන්නේ 1983 කළු ජූලියෙන් පසු ව ය.

1985 වර්ෂයේ දී තවත් සිදුවීමක් ඇතිවිය.

මර්වින්ට නන්දා මාලිනියන්ගේ විදේශ ප්‍රසංගයකට සහභාගී වීමට ඇරයුම් ලැබුණි. 

එහෙත් රජය ඒ සඳහා ඔහුට නිවාඩු අනුමත කළේ නැත.

වරක් ජේ. ආර්. ගේ ආණ්ඩුවට බියනොවූ මර්වින් දෙවැනි වර කිසිසේත්ම බිය වූයේ නැත. 

ඔහු නන්දා මාලිනී සමඟ විදේශ ප්‍රසංගයට සහභාගී විය. 

ආපසු ලංකාවට එන විට මර්වින් ගේ රැකියාව අහිමි කර තිබුණි.

එදා සිට අවුරුදු නමයක් යනතුරු මර්වින්ට රස්සාව නැති විය.

1994 දී යළි රැකියාව ලැබෙන තුරු මර්වින් ජීවිතය ගත කළේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය.

මර්වින් ගේ හොඳම රසිකාව වූයේ ඔහුගේ ප්‍රිය බිරිඳයි. 

මර්වින් නිර්මාණය කරන තනුව මුලින්ම රස විඳින්නීද ඇයයි. 

මේ සියල්ල සිදුවන්නේ පයාගල නිවසේ කුස්සිය තුළය.

මේ කතාන්දර ඇතැම්විට අමල් පෙරේරාලට අමතක ව තිබෙන්නට පුළුවන.

පසුකාලීනව මර්වින් හා ප්‍රේමකීර්ති අතර ප්‍රශ්නයක් ඇතිවිය. 

සැබවින්ම එය කෙටවීමක් විය. 

එය සිදු කළේ අබේවර්ධන බාලසූරිය යි.

රූපවාහිනියේ "නන්දන වින්දන " වැඩසටහනට මර්වින් එක්වීය.

එහිදී ඔහු ගායනා කළේ ප්‍රේමකීර්ති ලියූ "සඳ මිදුලට එනවා " ගීතයයි.

එහෙත් අබේවර්ධන හිතාමතාම ප්‍රේමකීර්තිගේ නම ඉවත් කොට පද රචනය ක්ලැරන්ස් විජේවර්ධන යනුවෙන් ප්‍රචාරය කළේය. 

අදටත් මේ වරද නිවැරැදි කර නැත. 

මර්වින්ට දුරකතන පණිවුඩයක් ලැබුණි. 

ඒ බීමතින් සිටි ප්‍රේමකීර්තිගෙනි.

පසුවදා බලනවිට මර්වින්ගේ ගුවන්විදුලි තැටි රැසක් යළි ප්‍රචාරය කළ නොහැකි පරිදි ඉරි ඇද තිබුණි.

ඒ පිළිබඳව මීට වඩා යමක් සටහන් නොකරමි.

"පාවේ වලා " මර්වින් තමන් සදහා නිර්මාණය කර ගත් ගීතයකි. 

මෙය ගීතය දුටු වික්ටර් "අනේ මචං ,මේක මට දීපන් "යැයි ඉල්ලා සිටියේය. 

මර්වින් දෑතින්ම ගීතය වික්ටර් පිදුවේ කිසිදු ලෝබකමක් නැතිවයි.

"අපි නිර්මාණ කළේ සල්ලි බලාගෙන නෙවෙයි ..
අපේ නිර්මාණ අදටත් පවතින්නේ ඒ නිසයි..."

ඒ , ඒ කාලේ සිටි ශිල්පීන්ගේ කොලිටියයි. 

එයට වෙනත් වචන නැත.

කෙසේ වෙතත් වික්ටර්ට 'ස" දහස් ගව්ව පවත්වද්දී මර්වින් ව අමතක විය.

පසු දිනෙක ඔහුගේ නිවසට පැමින විට සමුරු තිළිණය භාරදී ගොස් තිබුණි.

එවැනි දේ මේ කලා ක්ෂේත්‍රය තුළ සිදුවෙයි.

පසු කාලයක මර්වින් කළුතර ඥානෝදය මහා විදුහලේ ඉහළ පන්ති වල සිසුන්ට සංගීතය ඉගැන්විය. 

තමන් දන්නා දේ මේ සිසු දරුවන්ට කියා දීමෙන් ඔහු මහත් තෘප්තියක් ලැබුවේ ය. 

අමල් පෙරේරා ගේ සීඩී තැටියක් කරන්නට මර්වින් වෙහෙසුණු හැටි මම හොඳින් දනිමි.

අද අමල් පෙරේරා පසුපස එන කිසිදු නිෂ්පාදකවරයෙක් එදා අමල්ගේ ගීත භාරගත්තේ නැත.

පසු කාලයක මට මර්වින් පෙරේරා හමුවිය. 

ඒ පේරාදෙණිය වළේ නම් නොව නාරාහේන්පිට  වළේය. 

එදා සැන්දෑව පේරාදෙනිය සරසවි "වළේ" ගෙවී යන සැන්දෑවන්ටත් වඩා සුන්දර සැන්දෑවක් විය.

මේ මතක සටහන අපේ සිත් සුවපත් කළ සුමිහිරි ලස්සන ඒ පියකරු හඬ වෙනුවෙනුයි.

(ඇටමැස්සා)
මර්වින් පෙරේරා ගැයූ කලාතුරකින්වත් නෑසෙන ගීතයක්.


පද රචනය- සුනිල් සරත් පෙරේරා 
තනුව- උපාලි ද සිල්වා 
( මෙය ගුවන් විදුලි පටිගත කිරීමකි.)

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්