1200 x 80 DMirror
 
 

 අද ඔක්තෝබර් 9 වැනිදා.

විජය කුමාරතුංග ජීවත්ව සිටියා නම් අදට ඔහුට වයස අවුරුදු 75 කි.

 ජීවත්ව සිටියත් සමහර නළු නිළියන් ගැන කතා කරන්නට දෙයක් නැත.

 එහෙත් ඝාතනයෙන් වසර 32 කට පසුවත් විජය ගැන කතා කරන්නට දේවල් ඉතිරිව තිබේ.

 විජය සිංහල සිනමාවේ ආකර්ෂණය විය.

 එසේත් නැතිනම් සිංහල සිනමාවේ කාන්දම විය.

 සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයන් අද්දවා ගැනීමේ වාසනා ගුණය විජය සතු විය.

 සිංහල සිනමා කර්මාන්තයේ ගුණාත්මක භාවය ඉහළ දැමුවේ ගාමිණී ෆොන්සේකා විසිනි. 

 එහි සංඛ්‍යාත්මක භාවය ඉහළ දමමින් සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයන් ගෙන්වා ගත්තේ විජය කුමාරතුංග විසිනි. 

 1983 සිට 1988 දක්වා නොකඩවා පිට පිට හය වතාවක් ඔහු ජනප්‍රිය නළුවාට හිමි සරසවි සම්මානය හිමි කරගන්නේ එබැවිනි.

 විජය හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වන්නේ කැඩපතක ඡායා චිත්‍රපටියෙනි.

 එහෙත් එහිදී වැදගැම්මකට ඇති චරිත නිරූපණයක විජය නියැලෙන්නේ නැත.

 එය ඝාතනය වූ මිනිසකුට උපහාර පිණිස දුන් සම්මානයක් වැනිය.

 විජය එම සම්මානය ලබා ගැනීමට ජීවතුන් අතර නොසිටීම එක් අතෙකින් වාසනාවකි.

 අනෙක් අතට විජය ජීවතුන් අතර සිටියා නම් කිසි විටෙකත් මේ සම්මානය ඔහුට ලබා දෙන්නේත් නැත.VKColour

 විජයගේ රංගනය හරියටම කරත්තයක බැඳ ඇති ගොනෙකුට සමානය.

 කරත්තකරු ගොනා ආංබාං නොකළහොත් ඌ ඌට සුපුරුදු මාර්ගයේම ගමන් කරයි.

 මෙයට කදිම නිදසුන විජයගේ දුර්වලම ‍රඟපෑම් එන දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ඇසුරින් නිර්මාණය කළ  'අනුපමා' චිත්‍රපටියයි.

 විජයගේ  මුල්ම රංගනය එන්නේ 1969 වසරේදී 'හන්තානේ කතාව ' චිත්‍රපටියෙනි.

 ඔහු 'අනුපමා' චිත්‍රපටියේ රඟපන්නේ ඊට වසර 9 කට පසුව, එනම් 1978 වසරේදී ය.

 එහෙත් හන්තානේ කතාව චිත්‍රපටියේ තරම්වත් ‍රංගනයක් එහිදී විජය ගෙන් මතු නොවේ.

 චිත්‍රපටි අධ්‍යක්ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා සුනිල් ආරියරත්න වැන්නෙකුට හසූ වූ විට විජය වැනි නළුවන්ට අතවන ඉරණම එයයි. 

 ( ඇත්තටම සුනිල්ගේ අනුපමා චිත්‍රපටියට වඩා දයා රාජපක්ෂගේ අනුපමා චිත්‍ර කතාව තවමත් හොඳ ය.)

 විජයව නිසි ලෙස මෙහෙය වූ අධ්‍යක්ෂවරයා වූයේ ධර්මසේන පතිරාජ ය.

 'අහස් ගව්ව', ' බඹරු ඇවිත් ', ' පාර දිගේ' යන චිත්‍රපටි ත්‍රිත්වය තුලින් ඔහු එය ඔප්පු කර පෙන්වීය.

 විජයගේ හොඳම රඟපෑම මා දකින්නේ  'බඹරු ඇවිත්' චිත්‍රපටියෙනි.

 විජය එහිදී කරන හැඟීම්, දැනීම්, බැඳීම්, වගකීම්  නැති, පාවෙන ව්‍යාපාරික පංතියේ සෙල්ලක්කාරයාගේ චරිතය වෙන කිසිවකුටත් ඒ තරම් හොදින් කළ නොහැකිය.

 විජය සිංහල සිනමාවේ අවසන් තරුව විය.

 විජය ගෙන් පසු බිහිවන්නේ තරු නොව සිංහල සිනමාවේ කරුම ය.

 විජය සිංහල සිනමාව තුල ජනප්‍රිය වන්නේ ‍යසපාලිත නිසාය.

ඒ යසපාලිත අධ්‍යක්ෂණය කළ ' තුෂාරා ' චිත්‍රපටියෙනි.

 විජයගේ තවත් විශේෂත්වයක් විය.

ඔහු කිසි දිනෙක රූප සුන්දරියන් තෝරන තරඟ විනිශ්චය කරන්නට ගියේ නැත.

 එවැනි ආරාධනා ලද විටෙක විජය පවසන්නේ මෙවැන්නකි.

 "ලෝකේ හැම ගෑණියෙක්ම හිතන් ඉන්නේ තමන් තමයි ලෝකේ ලස්සනම ගෑණි කියලයි.... 

ඉතින් අපි ඇයි එක ගෑණියෙක් විතරක් ලස්සනයි කියලා තෝරන්නේ...?

මට කොයි ගෑණිත් ලස්සනයි ...

ඒ නිසා මට ඔය වැඩේට සහභාගි වෙන්න බෑ..."

 මේ විජය ගැගැණිය දුටු හැටිය.

 මෙය රුවන් වැකි ගණයේ ලා සැලකිය යුතු ප්‍රකාශයකි.

 දේශපාලනය තුල විජය ජනප්‍රිය වන්නේ ජූනියස් රිචඩ් ජයවර්ධන නිසාය.

 ඒ, ජේ.ආර්. අධ්‍යක්ෂණය කළ 'නැක්සලයිට් ' චිත්‍රපටිය නිසාය.

 බොරු නැක්සලයිට් චෝදනාවක් ගොනු කර විජය අත් අඩංගුවට ගත් මොහොතේ පටන් ඔහු දේශපාලන ලෝකයේ චරිතයක් බවට පත් විය.

 විජය මහජන පක්ෂය පිහිටුවන විට ඊට යූ.එන්.පී. යේ පූර්ණ ආශීර්වාදය හිමි වුණි.

 පක්ෂයේ මංගල සමුළුව පැවැත්වීමට එවක යූ.එන්.පී. යේ බූදලයක් ව පැවැති සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ලබාදීමට තරම් ඔවුහු කාරුණික වූහ.

 මහජන පක්ෂයේ මංගල සමුළුවට දස දහසකට අධික ජනතාවක් සහභාගි වූ බව ඇටමැස්සා ට මතකය.

 එකල වැලේ වැල් නැතිව සිටි පැරණි වාමාංශික පක්ෂවල මාක්ස්වාදී අරටු සියල්ලෝම ට්‍රොට්ස්කි, කාල්මාක්ස් , ලෙනින් වෙනුවට විජය කුමාරතුංග වැළඳ ගත්හ.

 විජයගේ තීරණාත්මක මැතිවරණ සටන 1983 මහර අතුරු මැතිවරණයයි.

 ඇත්ත වශයෙන්ම මහර ජන්දයෙන් ජයගෙන තිබුනේ විජය බවට වාර්තා විය.

 මහර ජන්දය 3 වරක් ගනිනු ලැබීය.

 එයින් දෙවරකදීම ජයග්‍රහණය කර තිබුනේ විජය යි.

 ජේ.ආර්. උපදෙස් දී තිබුනේ දිනන තුරු ජන්දය ගණන් කරන ලෙසටයි.

 අද චන්ද්‍රිකාගේ ගජ මිතුරු රනිල් වික්‍රමසිංහ එදා ජන්ද ගණන් කරන මධ්‍යස්ථානය වෙත පිස්තෝලයක් ද රැගෙන පැමිණි බවට වාර්තා පළ විය.

 අවසන් ප්‍රතිඵලය ලෙස කියවුණේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ කමලවර්ණ ජයකොඩි වැඩි ජන්ද 45 කින් ජයගෙන ඇති බවයි.

 මහර අතුරු මැතිවරණයෙන් විජය පරාජය වූයේ නැත.

 ඇත්තටම පරාද වූයේ ජේ.ආර්. ය.

 එය ජේ.ආර්. ට අත් වූ ලජ්ජා සහගත පරාජයකි.

 ලංකා මැතිවරණ ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති අති දූෂිතම මැතිවරණය ලෙසින් මහර අතුරු මැතිවරණය ඉතිහාසයයට එක් විය.

 ජේ.ආර්. මහර අතුරු මැතිවරණයේදී විජය ගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් කරන්නට සැලසුම් කළේ රවීන්ද්‍ර රන්දෙණිය යි.

 එහෙත් විජයට එරෙහිව තරඟ කිරීම රවීන්ද්‍ර විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

 විජය 1986 දී යාපනයේ සංචාරය කළේ උතුර හා දකුණ අතර සංහිඳියාවක් ඇති කරලීමේ අවංක චේතනාවෙනි.

 එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමගද ඔහු එහිදී සාකච්ඡා කළේය.

 විජය මදුරාසියට ගියේද උමා මහේෂ්වරන් ඇතුළු බෙදුම්වාදීන් හමුවීමට ය.

 එහිදී ගුණසේන මුදලාලි ගේ 'දවස' පත්තර සමූහය විජයට මඩ ප්‍රහාරයක් එල්ල කළේ ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවෙකුගේ ඩමියකට ටී-56 තුවක්කුවක් එල්ල කරගෙන සිටින විජය ගේ ජායාරූපයක් යොදා ගනිමිනි.

 විජය ගේ අවසන් මහජන රැස්වීම පැවැතියේ 1988 ජනවාරි 28 වැනිදා කොළඹ කැම්බල්  පිටියේය.

 ඔහු එහිදී යූ.එන්.පී. , එස්.එල්.එෆ්.පී., ජේ.වී.පී. යන පක්ෂ 3 ම දැඩි ලෙස විවේචනය කළේය.

 එක්සත් සමාජවාදී පෙරමුණේ පොදු අපේක්ෂකයා අන් කවරකුවත් නොව විජය බවට පළමු ඉඟිය පළ කළේ කැම්බල් පිටියේ පැවැති එම ජන රැළියේදී ය.

 යම් ලෙසකින් විජය ජනාධිපති සටනට පිවිසුනහොත් වඩාත්ම බිය විය යුතු පුද්ගලයකු වූයේ නම් ඒ ප්‍රේමදාස ය.

 ප්‍රේමදාස ට බධාවක් ලෙස පැවැති හර්ෂ අබේවර්ධන, නන්දලාල් ප්‍රනාන්දු වැන්නවුන් ඉවත් කළ පරිදිම විජය කුමාරතුංගවත් ලංකා දේශපාලන සිතියමෙන් ඉවත් කරන ලැබීය.

ජේ.වී.පී. වේවා ප්‍රේමදාස ගේ කුළී මිනීමරුවන් වේවා 1988 පෙබරවාරි මස 16 වැනි දින වෙඩි තබන ලද්දේ විජය කුමාරතුංග නම් වූ සිනමා නළුවා ට හෝ දේශපාලනඥයාට හෝ නොවේ.

ඔවුන් එදා වෙඩි තබා මරා දැමුවේ සිංහල සිනමාව යි.

මේ ලිපිය අවසන් කරන්නේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු විසින් විජය ගැන කරනු ලැබූ ප්‍රකාශයකිනි.

ඒ මෙසේය.

" මිනිස්සු අතරින් නළුවෝ ඕන තරම් හොයාගන්න පුළුවන් .... ඒත් නළුවෝ අතරින් මිනිහෙක් හොයාගන්නවා නම් ඒ විජය විතරයි ...!"

(ඇටමැස්සා)

 

***********************

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්