1200 x 80 DMirror
 
 

 70 දශකය මුල් භාගයේ එක්තරා දිනෙකි.
ස්ථානය බණ්ඩාරවෙල නගර ශාලාවයි.
 
එකල ජනතාවට තිබූ ප්‍රධානම විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් වූයේ සංගීත ප්‍රසංගයයි.
 
මෙදින ද බණ්ඩාරවෙල නගර ශාලාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබිණ.
 
රාත්‍රී 9.00 ත් පසුවිය.
 
ප්‍රසංගය පැවැත්වෙන පාටක් නැත.
 
එහෙන් මෙහෙන් කසුකුසු ය.
 
මඳ වෙලාවකින් එය හූ හඬක් බවට පරිවර්තනය විය.
 
සංගීත කණ්ඩායම පමණක් ඉතිරිව තිබියදී කොළඹ සිට පැමිණි ශිල්පීන් එකා දෙන්නා පිටවී යන්නට වූහ.
 
හේතුව පැහැදිලි කෙරුණි.
 
ප්‍රසංගයේ සංවිධායකයන් ශිල්පීන්ට මුදල් නොගෙවා මාරු වී ගොසිනි.
 
මේ කිසිත් නොදත් එක් ශිල්පියකු පමණක් බණ්ඩාරවෙල ක්ලබ් එකට වී මධුවිත තොලගාමින් සිටියේය.
 
අවසානයේ ඔහු ප්‍රසංගය පැවැත්වීමට නියමිත ශාලාවට පැමිණියේ ය.
 
සිටියේ බෑන්ඩ් එක පමණි.
 
කතන්දරය දැනගත් ඔහු තම රතු පාට රේසිං කාරයට ගොඩ වූයේ යලි කොළඹ බලා යන්නට ය.
 
එහෙත් ප්‍රසංගය නරඹන්නට පැමිණි ජනතාව පාරේ බුදියමින් ඔහුගේ ගමන වැළැක්වූහ.
 
කාරයෙක් බැස ආ ඔහු තනිවම ස්ටේජ් එකට නැඟී ජනතාව පිනවීමට පැය ගණනක් ගී ගැයුවේ සත පහකවත් ගෙවීමක් නොමැතිව ය.
 
ශ්‍රී ලාංකික ගායනා ක්ෂේත්‍රයේ මෙසේ කළ හැකි ගායකයකුට සිටියේ එකම එක මිනිසකු පමණි.
 
ඔහු නම් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාලය.
 
වඩාත්ම ජනප්‍රිය  නම එච්. ආර්. ජෝතිපාල ය.
 
ජෝතිපාල උපතින්ම ගෙනා දායාදය වූයේ ගායන කුසලතාවය යි.
 
ඒ කාලයේ ජෝතිපාල ගේ සිංදුවක් නැති සිංහල චිත්‍රපටිය හරියටම මනමාලයා නැති මඟුල් ගෙදරක් මෙනි.
 
ඔහු සිංහල චිත්‍රපටි පසුබිම් ගායනය හා එතරම්ම බද්ධව සිටියේය .
 
ගාමිණී ෆොන්සේකා හෝ විජය කුමාරතුංග හෝ තිස්ස විජේසුරේන්ද්‍ර හෝ රෝයි ද සිල්වා හෝ ජෝතිපාල ගේ පසුබිම් ගායනයට මුව සොලවමින් රඟපාන විට අපට දැනුනේ එකී නළුවාම එම ගී ගයමින් රඟපාන ලෙසකි.
 
ජෝතිපාල සතු වූ විශ්මයජනක හැකියාව එයයි.
 
ජෝතිපාල අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙන්.
 
මේ කාලයේ ජෝතිගේ නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටි පුවත ප්‍රකට එකකි.
 
ජෝතිපාල හා හාපුරා කියා චිත්‍රපටි ගීතයක් ගායනා කළේ සිරිසේන විමලවීර ගේ "පොඩිපුතා" චිත්‍රපටය සඳහා ය.
 
 එහෙත් සිය මිතුරන් සමඟ "පොඩි පුතා" චිත්‍රපටය නැරඹීමට ගිය විට ජෝතිපාල දුටුවේ තම ගීතය එහි ඇතුළත්ව නැති බවය.
 
ජෝතිපාල නැගිටින්නේ ඉන් පසුව ය.
 
ජෝතිපාල 1956 දී සිරිල් පී. අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටය සඳහා "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස සිංහල සිනමා වංශ කතාවට එකතු වුණා. 
 
ඔහු ගැයූ මුල්ම ගීතය වූ "සිරියා මේ සාරා" එදා මෙන්ම අදටත් එක සේම ජනප්‍රිය ‍ය.
 
කස්තුරි සුවඳ, තුෂාරා, සදහටම ඔබ මගේ, ආවා සොයා ආදරේ, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා, හොඳට හොඳයි, දුලීකා, අභිරහස, උන්නත් දාහයි මළත් දාහයි, හතර දෙනාම සූරයෝ, වාසනා, සංගීතා, සූරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, සූරයා සූරයාමයි, සුජීවා, සුනේත්‍රා, ශාන්ති, දිනුම් කණුව, ඔබයි මමයි, සූකිරි කෙල්ල ආදී චිත්‍රපටි රැසක් ජෝතිපාල ගේ ගී හඬින්  රස ගැන්වුණා.
 
ජෝතිපාල කියන්නේ එදා මෙදාතුර පහළ වෙච්ච ජනප්‍රියම ගායකයා.
 
ඒ වගේම එදා මෙදාතුර පහළ වෙච්ච ජනතාවාදී ගායකයා.
 
හැබැයි ඔහු ඒකට ලේබල් අලවාගන්න ගියේ නෑ. 
 
නන්දා මාලිනි ඒ දවස්වල කිව්වේ ආණ්ඩුව මගේ සිංදු තහනම් කළොත් මං පේමන්ට් එකට ඇවිත් ජනතාව වෙනුවෙන් සිංදු කියනවා කියලයි.
 
ඒක නන්දා ගේ බොරු සටන් පාඨයක් විතරයි.
 
අපි දන්නවා නන්දා ජීවිතේට ඒ වැඩේ කරන්නේ නෑ කියලා.
 
කළත් ඈ එහෙම කරන්නේ ඇගේ පබ්ලිසිටි එක සදහාම පමණයි.
 
ඒත් ජෝතිපාල ජනතාව පිනවන්න නොමිලේ ගී ගැයුවේ වරක් දෙවරක් නොවේ.
 
අපේ රටේ ප්‍රබුද්ධ ගායක ගායිකාවන්ට ආවේණික ලක්ෂණයක් තමයි පපුව ඇතුළේම තියෙන කුහකකම.
 
ජනප්‍රිය ‍රැල්ලේ ගීත ගායනා කළ බොහෝ ගායක ගායිකාවන් ගේ හදවත් සුන්දරයි.
 
එහි මුල් තැනම හිටියේ ජෝතිපාල.
 
වරක් ' දිවයින ඉරිදා සංග්‍රහය ' වෙනුවෙන් ජෝතිපාල සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න කරුණාදාස සූරියආරච්චි ගියා.
 
ජෝතිපාල එදා ඔහුගෙන් අහපු ප්‍රශ්නය මේකයි.
 
" මල්ලි, ඒගොල්ලෝ ප්‍රබුද්ධ ... එතකොට අපි පීචං ද...?"
 
මේ ප්‍රශ්නයට අදටත් උත්තර නෑ. 
 
ජෝතිපාලව හරියටම හඳුනාගත් සංගීතඥයා වුණේ කේමදාස මාස්ටර්.
 
කේමදාස මාස්ටර් ජෝතිපාලව ගැන නිතර අගය කරලා කතා කළා.
 
හැබැයි මුළු රටම ජෝතිපාලව දැක්කේ ඔහු මිය ගියාට පස්සෙයි.
 
ජීවත් ව සිටි කාලයේ ජෝතිපාල ගේ සිංදු අහපු නැති සමහරුන්ට මියගිය ජෝතිපාල ගැන ලියන එකත් පොඩි ආර්ට් එකක් වුණා. 
 
ඒ අතරේ ඩුප්ලිකේට් ජෝතිපාලත් බිහිවුණා.
 
ඒ ඩුප්ලිකේට් ජෝතිපාලලා විතරක් නෙවෙයි සංගීත ක්ෂේත්‍රයේ පොරවල් වුණු රූකාන්තලත් ජෝතිපාල ගේ සිංදු කියන්න ගිහින් ඇනගත්තා.
 
ජෝතිපාල ගුවන්විදුලියට, තැටිවලට ස්වත්‍රන්ත නිර්මාණ ‍රැසක් කළා.
 
හැබැයි ඒ ගීත අවධානයට ලක්වුණේ අඩුවෙන්.
 
කරුණාරත්න අබේසේකර පබැඳූ, සරත් දසනායක සංගීතවත් කළ  'සඳට අමතක' ගීතය මින් එකක් .
 
" සඳට අමතක 
හිරුට අමතක 
යටගියාවෙහි තොරතුරු 
ඔබට මතකය
මට ද මතකය 
එය අතීතෙකි විසිතුරු ..
පෙර අනාවැකි
අද සැබෑවකි
කල්පනාවෙද එම කතා
කියා ලීවෙමි
ලියා කීවෙමි
අනන්තයටම සිත සිතා...
කුමුදු කුසුමයි 
සුමුදු පියුමයි
එකට පිපුන ද එක විලේ
අඹර දෙරණට
දෙරණ අඹරට
 පෑහිලා නැත කිසි කලේ...."

මේ ගීත දශක ගාණකින් අපේ කණ්වලට වැටිලා නෑ.
 
මේ වගේ ගීත ජෝතිපාල කියලා තියෙනවා කියලත් අද පරපුර දන්නේ නෑ.
 
කට්ටිය රියැලිටි ෂෝවලට ගිහින් ජෝතිපාල ගේ හැමදාම අහලා තියෙන සිංදු සෙට් එකම පට්ට ගහන්නේ ඒ නිසයි.
 
ඒ වගේම මේ සිංදු ජෝතිපාල කිව්වා වගේ වෙන කාටවත් කියන්නත් බෑ.
 
මේ තවත් උදාහරණයක්.
 
" පහන් ටැඹ යට
සොහොන් කොත ළඟ
කවුද කාටද අත වනන්නේ
දෑස නිදි නැති
රෑක මැදියම 
ඔබේ ඉකිහඬ දෝ‌ 
ඇ‌සෙන්නේ....
ඇ‌සෙන්නේ...."
 

 මේ ගීත ගැන විශේෂයෙන්ම සඳහන් කරන්නේ අපි මෙතෙක් නුදුටු ජෝතිපාලව දැක ගන්නයි.
 
සූරිය ලේබල් තැටියකට ක්ලැරන්ස් ජෝතිපාල වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා.
  
" මල් පිඹිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බලා උනිමි මම
ඇයි තව නාවේ දයා.."
 

ක්ලැරන්ස් මේ ගීතයට ගයිඩ් එකකුත් පටිගත කරලා ගියේ ජෝතිට තවත් පහසු වෙන්න.
 
ඒත් ජෝතිපාල ගායනා කළේ ඊට වෙනස් ආකාරයකට.
 
ඒක අහපු ක්ලැරන්ස් කිව්වේ මෙච්චරයි.
 
" මගේ එකට වඩා වෙනස් එකක් ඔයා දීලා තියෙන්නේ ... ඒක මගේ එකට වඩා ලස්සනයි..."
 
බොක්කේ කුණු නැති කලාකරුවන් එහෙමයි.
 
මේ තැටියේම තවත් ලස්සන ගීතයක් එනවා, කරුණාරත්න අබේසේකර රචනා කළ , ක්ලැරන්ස් සංගීතවත් කළ .
 
"සඳට මුවා වෙලා ගියත්
ඉරට මුවා වෙලා ගියත් 
මගේ සිතට මුවා වෙලා
ඔබට බැරිය යන්න ...
මගේ හදට මුවා වෙලා
ඔබට බැරිය යන්න ...
අහසේ නිල් වියන යටින්
වෙරළේ පාවඩය පිටින්
පබාතයේ ළහිරු විලස
හිනැහි හිනැහි යන්න ...
පබාතයේ ළහිරු විලස
හිනැහි හිනැහි යන්න ..."

මේ ගීතය යටින් ඇහෙන්නේ අපේම ජන 
ගීයේ නාද රටා.
 
හුඟක් දෙනා මැරෙන්නේ ඉපදුණාට පස්සේ.
  
ඒත්.....,
ජෝතිපාල ඉපැදුණේ මැරුණට පස්සේ.
 
දැනුයි අපි ඔහුව හොයන්නේ.
 
ඔබත් ඔහුව සොයන්න පටන් ගන්න .
 
ජෝතිපාලව අපි හරියටම හොයාගත්තු දවසට 
ඔහු හිනාවෙලා මෙහෙම අහවි.
 
" මල්ලි , අපි පීචං ද...?"
 
(ඇටමැස්සා)
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58