1200 x 80 DMirror
 
 

 අපි බොහෝ මිනිසුන් ගැන ලියනවා.
සමහරු ගැන ලියන්නේ නොලියා බැරිකමට.
 
තවත් සමහරු ගැන හිතේ කහටක් නැතුව බොහොම සතුටින් ලියන්න පුළුවන්.
 
ඇටමැස්සා අද ලියන්නේ එසේ හිතේ සතුටින් ලියන්න පුළුවන් මනුස්සයෙක් ගැන.
 
ඔහු, සුනිල් සරත් පෙරේරා.
 
 
 
සුනිල් සරත් ගැන දවසක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙහෙම කිව්වා.
 
" මගේ තියෙන සියලුම දේවල් දීලා ' පෙරදිනයක මා පෙම් කළ යුවතිය ' ගීතය ලිව්වේ මා යැයි කියාගන්න ඇත්නම් මා එය කරනවා " යනුවෙන්.
 
සුනිල් සරත්ව හඳුන්වා දීමට ඒ ගීතයම ඇති.
 
 

" සිරිලක අද
  නව යුගයක
 පියවර ගන්නේ 
 ජනතා ජය
 සතුටු සිනා
 තැන තැන 
 මතු වන්නේ .."
 
 
සමගි පෙරමුණ ආණ්ඩුව පිහිටුවලා 1970 ජූනි 14 වැනිදා ජයග්‍රාහී දින උළෙලේදී අමරදේව ඇතුළු පිරිස ගායනා කළ මේ ගීතය ලිව්වේ සුනිල් සරත්.
 
ඒ සිරිමාවෝගේ කාලේ.
 
1994 චන්ද්‍රිකා බලයට පත් වෙච්ච ගමන් මුල්ම දඩයමට ගොදුරු වුණෙත් සුනිල් සරත්.
 
ඒක පිටිපස්සේ හිටියේ වික්ටර් අයිවන්ලා, සෝමරත්න දිසානායක වැන්නවුන්.
 
එදා තමන් වට කරගෙන හිටියේ මොන වගෙ සත්තු ටිකක්ද කියලා චන්ද්‍රිකා දැන් තේරුම් අරන් ඇති.
 
70 දශකය මුල් භාගයේ සුනිල් සරත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාප්ති නිලධාරියකු ලෙස සේවයට බැඳෙනවා.
 
පසුව ඔහු අම්පාරට මාරු කරනවා. 
 
එය ද්වේෂ සහගත මාරුවක් වුවත් ඔහුට එහිදී සිදුවන්නේ යහපතක්.
 
අලින්ගේ හැසිරීම් රටා ගැන විශාල අවබෝධයක් ඔහු එහිදී ලබාගත්තා.
 
 
" ඌවේ කඳු පෙළ
 නිලට නැමීලා
 අඹාරේ වැව
 ඉස්මත්තේ 
 දිගාමඬුල්ලේ
 අසිරිය මතුවේ
 වටදළු මහ
 දාගැබ් අතරේ
 දැයටම අපගේ
 ජීවය ගෙනෙනා
 දිගාමඬුලු කෙත්
 පෙළ නිල්ලයි
 විල වැව වනහිස
 අසපුව අද වුව
 අලි ඇතුනගෙ 
 පෙම් ඕවිල්ලයි..."
 
 
මේ කවිය ඔහු අතින් ලියැවෙන්නේ අම්පාරේ ගත කල අවදියේ.
 
හාඩි එකේ ශිෂ්‍යයෙක් අලියෙක් පහර දී මියයන්නේ සුනිල් සරත් අම්පාරේ සිටියදීයි.
 
අදටත් නවක වදය දෙන හීනමානයෙන් පෙළෙන තිරිසනුන්ගේ දැනගැනීම උදෙසා සුනිල් සරත් දිනක් පැවසූ ලෙසින්ම එම සංවේදී පුවත මෙසේ සටහන් කරමු.
 
" අම්පාරේ හාඩි එකේ ළමයෙක් අලියා ගහලා මැරුණේ මං එහේ සිටි අවධියේ.
 
මේ ළමයා දුප්පත් ගොවියෙක්ගේ පුතෙක්.
 
ඔහුව නවක වදයට ලක්වීම නිසා උදේ පාන්දරම සපත්තුත් නැතුව යද්දී තමයි අලියා ගහලා මළේ.
 
මේකේ ශෝචනීයම දේ තමයි ඔහු මිය යනකොටත් ඔහුව ඇරලවන්න ආපු ඔහුගේ දෙමාපියන් නැවතිලා ඉඳලා තියෙන්නේ අම්පාරේ.
 
ඔවුන් ගමට යන්න කලින් පුතාගේ මරණය පිළිබද ආරංචිය රැගත් පිරිස ගමට ගිහින්..."
 
මේ රටේ නවක වදය තුරන් කිරීමට මේ සිද්ධියම ප්‍රමාණවත්ය.
 
 
සුනිල් සරත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සිටියදී අපූරු ප්‍රචාරක වැකි ගණනාවක්ම නිර්මාණය කළේය.
 
 
 
" ඉතිරි කරන රට හෙට සරුසාරයි
  
 පුතුනි ඔබට මේ රට දැය බාරයි "
 
*********
"ඉතිරි කරන ගිණුම් 
අරඹන ඔබ දිනුම් "
***********
" එගොඩ ගොඩෙත් රත්තරන් 
  මෙගොඩ ගොඩෙත් රත්තරන් 
  ඉතිරි කරන කොයි කාගෙත් 
  අනාගතේ රත්තරන් "
 
 
මේ ඔහු ලියූ ප්‍රචාරක පාඨවලින් සමහරකි.
 
 
ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙහෙයවූ " වාසනා උදාව" එකල අතිශය ජනප්‍රිය වැඩ සටහනක් විය.
 
වරෙක වැදි නායක තිසාහාමි ද "වාසනා උදාව" වැඩ සටහනට සහභාගි වී මුළු තෑගි මුදලම දිනාගත්තා.
 
මේ පුවත " ඒෂියාවීක්" සඟරාවේත් පළ වුණා. 
 
සුනිල් සරත්ට වැදි භාෂාවත් යහමින් පුළුවන.
 
ඔහු " පර සතුරෝ" චිත්‍රපටියට වැදි භාෂාව ඇසුරු කරගෙන ලියූ ගීතයක් ඇසූ තිසාහාමි පවසා තිබුනේ " අපේ භාෂාව තොපං මේ ඇත්තන්ට වඩා හොඳට දන්නවා" යනුවෙනි.
 
 
තිසාහාමි ප්‍රතිකාර ගැනීමට කොළඹ පැමිණි බොහෝ අවස්ථාවල නවාතැන් ගත්තේ සුනිල් සරත්ගේ කිරුලපන පිහිටි නිවසේයි.
 
 
-------------
 
 
80 දශකයේදී නැවත පළිගැනීමකට ලක්වන සුනිල් සරත්ගේ වැඩ තහනම් කරනවා.
 
ඒ පිටුපස සිටියේ ආර්. ප්‍රේමදාසගේ සමීප හිතවතෙක් වුණු හඩ්සන් සමරසිංහයි.
 
නැවත මහින්ද රාජපක්ෂ යුගයේදී ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයට පත්වන සුනිල් සරත්ව එයින් ඉවත් කර හඩ්සන් සමරසිංහව සභාපති පුටුවේ වාඩි කරවන්නේ ඩලස් අලහප්පෙරුමයි.
 
 
------------
 
 
සුනිල් සරත් ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය හෙබවූ කාලය සුවිශේෂී එකක්.
 
ජනාධිපති ප්‍රේමදාසගේ කාලෙදි ජපන් තානාපති මෙසේ පවසා තිබුනා. 
 
" අපි ලංකාවට රූපවාහිනීය දුන්නේ දේශපාලනය කරන්න නෙවෙයි.
 
අධ්‍යාපනික හා සංස්කෘතික වැඩ සටහන් කරන්නයි."
 
ඒ අනුව රූපවාහිනීය ආරම්භයේ පටන් සිටි ජපන් ජාතික නේවාසික නිලධාරියත් යන්න ගියා.
 
සුනිල් සරත් වැඩ බාරගෙන මාසයක් යන්නත් කලින් අලුත් නිලධාරියකු එවීමට ජපන් රජය කටයුතු කළා.
 
ඔහුගේ යුගයේ නිර්මාණය වූ ' මනෝහාරි',  'බුද්ධ පූර්ණිමා', ' ගිරිතරණ', 'අවාරේ සිරිපා ගමන' වැනි වැඩ සටහන් රූපවාහිනීය ආලෝකමත් කළා.
 
බන්ධුල විතානගේ හා ලූෂන් බුලත්සිංහල වැඩ තහනම්ව සිටි අවධියේ ඔවුන්ට යලි රූපවාහිනීයේ රැකියාව ලබාදීමට සුනිල් සරත් කටයුතු කළා.
 
බන්ධුල විතානගේ මැරෙන මොහොත දක්වාම ඒ බව අමතක කළේ නෑ.
 
ලූෂන් ගැන මොනවට කියනවද!
 
පස්සේ කාලෙක දේශපාලන පිහිටෙන් රූපවාහිනීයේ ලොකු පුටුවකට එන ලූෂන් තම දුවට "හූ" කියන්න කාබාසිනියා කරන්නේ රූපවාහිනීයේ අරමුදල්.
 
සුනිල් සරත්ට උඩින් හොඳ මූණ පෙන්නපු හුඟ දෙනෙක් යටින් උගුල් ඇද්දා.
 
ගාමිණී සුමනසේකරලා, කිත්සිරි නිමල්ශාන්තලා ඒ අතර හිටි බව සුනිල් සරත් දන්නේ නෑ.
 
එක අවස්ථාවක සුනිල් සරත්ට පුවත්පතක කොළමක් පාවිච්චි කරලා දරුණු විවේචනයක් කරනවා. 
 
එහි කර්තෘ බුද්ධදාස ගලප්පත්ති වුණත් අනුක්ත කර්තෘ කවුද කියලා හැමෝම දන්නවා.
 
බුද්ධදාස ගලප්පත්ති ඒ විදියටම සුනිල් ආරියරත්නගේ කොපි නිර්මාණ ගැනත්  ලියුවා නම් මහවංශයට වඩා පිටු ටිකයි අඩු වෙන්නෙ. 
 
සුනිල් සරත් සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රගමණය වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූවා.
 
ඔහු සිංහල ගීතයට නව රූපක සමුදායක් එක් කළා.
 
භාෂාත්මක අත්හදාබැලීම් කළා.
 
චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක, මහගම සේකර ඇරඹූ සම්ප්‍රදාය ඉදිරියට අරන් ගියේ සුනිල් සරත්.
 
ඔහුගේ ගීත රචනා විමසීමේදි ඒ බව හොඳින් පැහැදිලි වෙනවා.
 
සුනිල් සරත් වැඩිපුරම ගීත ලියුවේ අමරදේවට.
 
'පෙර දිනයක', ' කන්දෙන් ලන්දෙන්', 'මනකත් හද විල්', 'මේ මහ කන්ද',' අනෝතත්ත විල', 'නිල්ල මැදින්' වැනි ගීත රැසක් ඒ අතර වෙනවා. 
 
 
සනත් නන්දසිරිට ඔහු අතින් තවත් නිර්මාණ පෙළක් බිහිවෙනවා.
 
' සිනා නඟන්නී', 'සැන්දෑ කළුවර',' ඈත එපිට', 'නවාතැනින් ඇය යනවා','යශෝධරා' ,'මගේ රටට' ඉන් සමහරක්.
 
 
 
'සැන්දෑ අහසේ ( දයාරත්න රණතුංග ), 
 
'සමාධි බුදු සිසිලේ'( අමරා රණතුංග), 
 
'පසක් කොට ඇති '( ගුණදාස කපුගේ), 
 
'ගඟ දිය රැළි නංවා' ( මර්වින් පෙරේරා ),
 
'ඔබ දැකුමෙන්' ,  'මහ වරුසාවට' (සෝමතිලක ජයමහ)
 
' ආදරයේ සදාතනික ' ( සෝමරත්න පෙරේරා )
 
'රා රා රා බොම්බියේ'( සුනිල් එදිරිසිංහ )
 
' දිලි දිලි දිල්ලියේ' ( ආනන්ද පෙරේරා -ශක්ති)
 
' උදාවුණා හිරු' ( නීලා වික්‍රමසිංහ )
 
'ඇය යන්න ගියා' (අමරසිරි පීරිස් )
 
සුනිල් සරත්ගේ ගීත නාමාවලිය තුල ඉහළින් වැජඹෙන නිර්මාණයි.
 
 
ඔහු අතින් අතුල සෝමසිරිට විශේෂ ගිත දෙකක් ලියැවෙනවා.
 
එකක් 'උඩහ ගෙදර රංඑතනා'
 
අනෙක, 'නැලැවිලි ගී ගයන්නියා' ගීතයයි.
 
මේ ගීතය පුරාම ඉන්නේ ඔහුගේ ප්‍රිය බිරිද වූ සරෝජිනියි.
 
අපේ සමහර මිත්‍රයන් බයික් එකට පෙට්‍රල් ගහන්න සල්ලි නැති වුණාම රුපියල්  100 ක් ඉල්ලාගෙන යන්නෙත් සරෝජිනි මැතිනිය ගෙන්.
 
සුනිල් සරත්ගේ නිවස පිටුපසින් ගලා යන ඇලත් එක්කම පිහිටා තිබෙන පේළි ගෙවල්වල ජීවත් වෙන මිනිසුන්ට සරෝජිනි කොයි තරම් උදව් උපකාර කරලා තියෙනවාද කියලා සුනිල් සරත් දැනගන්නේ ඇගේ අභාවයෙන් පස්සෙයි.
 
සරෝජිනි අසනීප වූ පසු ඇයව වැඩිපුර තව දවසක් හෝ ජීවත් කරවන්නට සුනිල් සරත් ගත් උත්සාහය ඒ නිවසට ආ ගිය උදවිය දන්නා දෙයක්.
 
සරෝජිනි නෙත් පියාගන්නට පෙර ඔහු ඇයට තවත් ගීතයකින් ඇයට කෘතගුණ දක්වනවා.
 
" සෙනෙහස් විලෙන්" නම් වූ ඒ ගීතය ගායනා කළේ ජගත් වික්‍රමසිංහ.
 
 
 
මායා මාවතේ පිහිටා තිබූ ඒ නිවසින් 'සුනා' යන හඬ නෑසී යත්ම සුනිල් සරත්ගේ ජීවිතය කඩාවැටීම ඇරඹෙනවා.
 
1991 වර්ෂයේ අප්‍රේල් මස 3 වැනිදා "ගංඟාවෙන් මහ මුහුදට" නමින් සුනිල් සරත් ගීතමය පොතක් එළිදක්වනවා.
 
පදනම් ආයතනයේ පැවැති මේ පොත දොරට වඩන උත්සවය අතුරු සිදුරු නැතිව පිරී ගිය එකක්.
 
එහිදී සුනිල් ලියූ ගීත රැසක්ම ගායනා කෙරුණා.
 
එදින උදේ වරුවේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය ඔස්සේ ප්‍රචාරය වූ වැඩ සටහනකට එහි සභාපති වූ හඩ්සන් සමරසිංහ විසින් ධර්මසිරි ගමගේව ගෙන්වා ගන්නවා.
 
එහිදී ඔහු ධර්මසිරි ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
 
" පොත් එළි දැක්වීම්වලදී ගීත ගායනා කිරීම ගැන ඔබ මොනවද හිතන්නේ ?"
 
එවිට ධර්මසිරි ගමගේ කියනවා "තනිකරම වානිජ පර්මාර්ථයකින් කරන දෙයක්" කියලා.
 
ඊට මාසයකට පෙර ධර්මසිරි ගමගේ ඔහුගේ "සුළං කුරුල්ලෝ" පොත් එළි දැක්වූයේත් සංගීත බජව්වක් දමා බව ඔහුටම අමතක වී තිබුනා. 
 
උදේ සුනිල් සරත්ට අපහාස කළ ධර්මසිරි හවස කලිසමකුත් ඇඳගෙන පදනම් ආයතනයට ඇවිත් හිටියා.
 
සුනිල් සරත් පෙරේරාට තම නිර්මාණ කටයුතු කරන්න සිද්ධ වුණේ මෙවැනි කුහක මිනිසුන් පිරි සමාජයක් තුල සිට ගෙනයි.
 
ඒ සියල්ලම ඉවසාගෙන ගලා යන ගඟක් වගේ ඔහු ඉදිරියටම ගමන් කළා.
 
සුනිල් සරත් ගේ ගීත නිර්මාණ කිහිපයක් මේ සමග එකතු කරන්නේ සියුම් ලෙස ඒවා විමසා බලන්නට යි.
 
අහකට දමා විසිකළ යුතු කිසිවක් ඒ අතර නෑ.
 
ගීත කියන්නේ නිකම් වචන ගොඩක් නෙවෙයි කියන එකට සුනිල් සරත්ගේ නිර්මාණ හොඳම නිදසුනක්.
 
මේ සටහන සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කරන්නට යහපත් නිර්මාණ රැසක් දායාද කළ යහපත් මිනිසකුගේ යහපත්කම වෙනුවෙනි.
 
(ඇටමැස්සා)
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්