1200 x 80 DMirror

 
 

'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා සමූහයක් පසුගිය සතියක එළිදැක්විණ.


'අනිද්දා' පුවත්පතේ එහි මූලික අංග ඇතුළත් ලියැවිල්ලක්ද පළවිය.

'සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ' එම යෝජනා, පරිසමාප්ත හා විවාදයට භාජනය නොවිය යුතු දෙයක් හැටියට වත්, සියලු දෙනාම අනිවාර්යයෙන්ම එය පිළිගත යුතුයැයි වත්, අනාගත අලුත් ව්‍යවස්ථාවක පදනම එය විය යුතුම යැයි වත් කිසිම තැනක සඳහන් කර නොතිබුණි.

එම යෝජනා ඉදිරිපත් කරන්නට ඇත්තේත්, පසු දිනයක ආගමික හා සිවිල් සංවිධාන නායකයන් කැඳවා ඒවා ඔවුන්ට පිළිගන්වන්නට ඇත්තේත්, තම යෝජනා පිළිබඳ සාධාරණ සංවාදයක් සමාජයේ ඇතිවිය යුතුයැයි එම ව්‍යාපාරය කල්පනා කරන නිසා විය යුතුය.

ඒවා අපද පිළිගත යුත්තේ, අලුත් ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම හෝ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යන යම් අවස්ථාවක සලකා බැලිය හැකි, සංවාදයට ලක්කළ යුතු යෝජනාවලියක් හැටියට මිස, කෙවිටෙන් තලා ප්‍රතික්‍ෂෙප කළ යුතු ඒවා හැටියට නොවේ.

මහජනතාවගෙන් අදහස් විමසන විට, තනි තනි පුද්ගලයන්ට අමතරව මහජනතාවගෙන් සැදුණු විවිධ සංවිධානවලින්, සමිතිවලින්ද ව්‍යවස්ථාව සම්බන්ධ යෝජනා ඉදිරිපත් වෙයි.



මහජන ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට හදනවුන්ට, එයින් තමන් අකමැති යෝජනාවලට එක එල්ලේ පහරදී බිම වට්ටා දැමිය නොහැකිය. එවැනි බලයක්, ඔය කියන මහජන ව්‍යවස්ථා සම්පාදකයන්ට කවුරුවත් පවරාදී නැත.



එවැනි දෙයක් සිදුවන විට, අපට නම් තේරුම් යන්නේ ‘මහජන ව්‍යවස්ථා සම්පාදනය’ වැනි වචන පෙරට දමා, එක්කෙනකුගේ දෙන්නකුගේ හෝ එක කල්ලියකගේ වුවමනා එපාකම් අනුව, ඒ අයම කෙටුම්පත් කළ දේවල්, ඍජුව ඔවුන් විසින්ම හෝ, වක්‍රව අනුන් ලවා හෝ ඉදිරියට දමා කරගෙන යන ව්‍යාජ මහජන ව්‍යවස්ථා ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවයි.

එවැනි සැක ඇතිවන විට මහජන ව්‍යවස්ථා සම්පාදනය යන්නෙහි මුල් අර්ථයම බිඳ වැටේ.

'සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ' ව්‍යවස්ථා යෝජනා ගැන, ඔය කියන මහජන ව්‍යවස්ථා සම්පාදකයන් කළ යුතුව තිබුණේ, ‘මහජනතාවගේ වැඩ’ හැටියට සලකා සාදරයෙන් බාරගෙන ඒවා තමන්ගේද සංවාද ක්‍රියාවලියට එකතු කර ගැනීමයි.

තවමත් එවැනි ක්‍රියාවලියක් ඇරඹී වත් නැත. එවැනි තත්වයක් යටතේ සාධාරණ සමාජයක් ඉදිරිපත්වී තමන් යම්කිසි කාලයක් මහන්සි වී සකස් කළ යෝජනාවලියක් සංවාදය සඳහා ඉදිරිපත් කිරීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.

මහජන ව්‍යවස්ථා කෙටුම්පතක ආරූඪයෙන් තමන්ගේ සිතැඟි එළියට දමන්නට කිසිවකු බලාපොරොත්තු නොවන්නේ නම්, කළ යුත්තේ එයයි.



‘වසරක් තිස්සේ කළ කතිකා, සාකච්ඡා සහ අදහස් විමසීම් මත පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මූලිකාංග පිළිබඳව ලියවිල්ලක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගියදා එළිදැක්වූයේ මෙවන් ලියවිල්ලක් සම්බන්ධයෙන් තිබිය යුතු පුළුල් සාකච්ඡාව තව දුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි.’ යනුවෙන් එහි මූලිකයකු වන මහාචාර්ය රොහාන් සමරජීව පසුගිය සතියේ අනිද්දා පුවත්පතට ලියූ ලිපියක සඳහන් විය.


මෙවැනි යහපත් වෑයම්, සාදරයෙන් පිළිගන්නට බැරි නම්, ගතයුතු කිසිවක් නැතැයි ඒවාට වෛරයේ භාෂාවෙන් බැට දෙන්නේ නම්, මහජන ව්‍යවස්ථාවක් සම්පාදනයේදී තිබිය යුතු අනෙකාගේ අදහස්, මත, යෝජනා පිළිගැනීම, සංවාද කිරීම, අවසානයේ සුදුසු එකඟතාවලට පැමිණීම යනාදි මූලික අවශ්‍යතාවන්වත් ඉටුවන්නේ නැත.

එවැනි අය මුල්වුණු විට හැදෙන මහජන ව්‍යවස්ථාව කුමක්දැයි, එකතු වෙන පිරිස පවා එවැනි විටෙක පලවාහැරෙන්නේ නැද්දැයි, ඒ වටා පෙළගැසී සිටින බව පෙනෙන, පළපුරුදු සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් අසන්නට අපට සිදුවෙයි.

අප මේ කතාව ලිව්වේ, සාධාරණ සමාජයේ ව්‍යවස්ථා යෝජනා ගැන සමහර වෙබ් අඩවිවල මෙන්ම සමාජ මාධ්‍යවලද ‘සාධාරණ සමාජයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ මැයෙන් පසුගිය සතියේ පළකර තිබූ ලිපියක් කියවීමෙන් පසු ඇතිවුණු අදහස් නිසාය.


ඒ ලිපියේ එන පහත උපුටා ගත් වචන හා වාක්‍ය සලකා බලන්න.

1 - ඉදිරිපත් කර තිබෙන කෙටුම් පත තුළ ඇති 19 වැනි සංශෝධනයේ සෙවණැල්ල පහසුවෙන් හඳුනාගත හැකිය.

2 - මෙම කෙටුම් පත සකස් කර තිබෙන න්‍යායවාදීන් ඇති කළ යුතු ආණ්ඩුක්‍රමය ගැන කල්පනා කර තිබෙන ආකාරයේ මනා ගැළපීමක් නැති බව කිව යුතුය. නිරවුල් චින්තනයක් වෙනුවට පෙනෙන්ට තිබෙන්නේ පරස්පර විරෝධි අවුල් සහගත චින්තනයකි.

3 - ජනාධිපති ක්‍රමයක සංවරණය හා තුලනය සඳහා යොදාගත් අසාර්ථක ක්‍රමයක් ලෙස සැලකිය හැකි එම ක්‍රමය ඇති කරන්නට යන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය සඳහාද යොදාගත යුතු ක්‍රමයක් ලෙස යෝජනා කිරීම මගින් මෙම කෙටුම්පත්කරුවන්ගේ චින්තනයේ ඇති අවුල් සහගතභාවයේ තරම හොඳින් පෙන්නුම් කරයි.


4 - ඒ අර්ථයෙන් 17 වැනි හා 19 වැනි සංශෝධනයන් සැලකිය හැක්කේ එළුවකු බැඳ තැබීම සදහා පාවිච්චි කරන පුංචි දුබල රැහැනකින් ලොකු අලියෙකු බැඳ තැබීමට දරන ලද මෝඩ උත්සාහයන් දෙකක් වශයෙනි. එම උත්සාහයන් දෙකට ආවේණික එම මෝඩකමේ තරම තේරුම් ගැනීමට මෙම කෙටුම්පත සකස් කළ න්‍යායවාදීන්ට නොහැකි වී ඇත්නම් ඔවුන් හොඳ ව්‍යවස්ථාවක් හදන්නේ කෙසේද?

5 - මෙම කෙටුම්පත සකස් කළ අයගේ චින්තනයේ තිබෙන අවුල් සහගතභාවය පෙන්නුම් කරන තවත් වැදගත් තැනක් වනුයේ..

6 - පරීක්ෂාවට ලක්වන එවැනි ලිහිල් ආණ්ඩුක්‍රමයක් සඳහා දරදඬු ආණ්ඩුක්‍රමයක් සඳහා යෝදාගත් ක්‍රමයක් යෝජනා කිරීම මගින් චින්තනයේ තිබෙන අවුල් සහගතභාවය පෙන්නුම් කර තිබෙන්නේ යැයි කිව හැකිය.

7 - සෙනට් මණ්ඩලයක් ඇති කිරීම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ඇතුළත් අදහස් ද දියුණු චින්තනයක් පෙන්නුම් කර නැතත්..

8 - දෘෂ්ටියේ දුගීභාවය

9 - ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වන ශක්තිමත් ඉදිරිගාමී දැක්මක් මෙම ව්‍යවස්ථා කෙටුම්පතේ දර්ශනය තුළ දැකිය නොහැකිය.

10 -එහෙත් එම අර්බුදය ගැන කිසිදු අදහසක් මෙම කෙටුම්පතට ඇතුළත් නොවන අතර එම මහා අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීමට හේතුවන විචක්ෂණ ව්‍යවස්ථාමය දර්ශනයක සේයාවක් වත් පෙන්නුම් කිරීමට කෙටුම්පත සමත් වී නැති බවද කිව යුතුය.

11 -පරණ සාම්ප්‍රදායික ක්‍රමයට මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන්නට ඇත්තේ සමහර විට වඩා නවීන හා ප්‍රජාතන්ත්‍රවාදී, මහජනයාට බර තබා ක්‍රියා කරන ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයක් ලෝකයේ තිබෙන බව නොදැන විය හැකිය. නැතහොත් මහජන ක්‍රමය තමන්ට හුරුපුරුදු පරණ ප්‍රභූ ක්‍රමයට වඩා නරක ක්‍රමයක් ලෙස සැලකූ නිසා විය හැකිය.''




මේ භාෂාව, මේ අදහස් සංවාදයේ භාෂාවක්ද-අදහස්ද? නැතිනම් අනෙකුන්ගේ අදහස් දණ්ඩෙන් තලා බැහැර කිරීමේ භාෂාවක්ද? මහජන ව්‍යවස්ථා සම්පාදනය ගැන ලියන කියන මූලිකයකුගේ ප්‍රතිචාර මේ ආකාර නම්, එවැනි මහජන ව්‍යවස්ථා සම්පාදනයකදී තමන්ගේ අදහස් පිළිගැනීම ගැන මහජනතාවට තැබිය හැක්කේ කුමන විශ්වාසයක්ද?



‘වසරක් තිස්සේ කළ කතිකා, සාකච්ඡා සහ අදහස් විමසීම් මත පදනම්ව’ මෙය සකස්කර ඇතැයි මහාචාර්ය සමරජීව කියන විට, මේ ලියුම්කරු එය දකින්නේ, ‘න්‍යායවාදීන් සකස්කළ, මනා ගැළපීමක් නැති, නිරවුල් චින්තනයක් නැති, පරස්පර විරෝධි අවුල් සහගත, කෙටුම්පත්කරුවන්ගේ චින්තනයේ අවුල් ඇති, මෝඩ උත්සාහයන්, ආවේණික මෝඩකමේ තරම තේරුම් ගැනීමට අසමත් න්‍යායවාදීන් සකස් කළ කෙටුම්පතක්, දියුණු චින්තනයක් පෙන්නුම් කර නැති, දෘෂ්ටියෙන් දුගී, විචක්ෂණ ව්‍යවස්ථාමය දර්ශනයක සේයාවක් වත් පෙන්නුම් නොකරන, ලෝකයේ තිබෙන දේ නොදන්නා, තමන්ට හුරුපුරුදු පරණ ප්‍රභූ ක්‍රමයම අනුමගනය කරන’ යනාදි අවමානාත්මක වචනවලිනි. 

 
සැලකිය යුතු පිරිසකගේ බුද්ධිමය වෑයමකට මේ විදියට අවමන් කරන්නට බලයක් ඔය කියන මහජන ව්‍යවස්ථා සම්පාදනයේ මූලිකයන්ට පවරා දුන්නේ කවුද?
 
මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ කුමක්ද? මහජන ව්‍යවස්ථාව කියන යෙදුම පාවිච්චි කරමින්, තමන්ට පෞද්ගලිකව නුවුවමනා අය හා අදහස්, වෛරයෙන් පිටුදකිමින් එක්කෙනකු දෙන්නකු කරන වෑයමක් නිසා, මහජන ව්‍යවස්ථාවක් හදාගැනීමේ යහපත් චේතනාවෙන් ඊට එක්වී සිටින යහපත් මිනිසුන්ගේ හා සංවිධානවල ශක්තිය නිරපරාදේ අපතේ යෑමය. මහජන ව්‍යවස්ථාවේ නාමයෙන් ඒ එක්කෙනා දෙන්නා මනාපවන දේවල් පමණක් අඩංගු කෙටුම්පත් ඉදිරියට පැමිණීමය.

මහජනතාව සමග කවදාවත් වැඩ කර නැති අයට එහි අවුලක් නැත. එහෙත් මහජනතාව සමග පොළවේ වැඩකරන සමාජ ක්‍රියාකාරීන්ට ඉන් සිදුවන හානිය නම් නැවත සලකා බැලිය යුතුය.■


Janaranjana-නීතිඥ කේ ඩබ්ලිව් ජනරංජන
ප්‍රධාන කර්තෘ - අනිද්දා පුවත්පත 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(anidda.lk)

 

 

 
 

Leader Whats app

 
 
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
තත්ත්වය දරුණු අතට, බී .ආර්ගෙන් බුද්ධි අංශයක් .! | මොණරවිලගේ ලියමන
 
 
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්