ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මී මුරේට පැමිණියේ ගම සමග පිළිසඳර වැඩසටහනටයි.
මී මුරේ බොහොම ලස්සන ස්වාභාවික සම්පත්වලින් අනූන ප්‍රදේශයක්. මී මුරේ කනිෂ්ඨ විද්‍යාලයේ මේ ජන හමුව සංවිධානය කර තිබුණා. ජනාධිපතිතුමා මීමුරේට පැමිණි අතර එහි දී පාර අයිනේ ජනතාව රැඳී සිටියා. ඔවුන්ගෙන් මුලින්ම ඇහුවා ‘‘මොනවද ඔය අයට තියෙන ප්‍රශ්න” කියලා.
 
‘‘සර් පාර හදා ගැනීම තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නය” ඔවුන් උත්තර දුන්නා.
 
මම එන්නත් කලින් පාර හදලනේ. ‘‘ඔව් ඔව් සර් එනව කියලා කියල තිබුණනේ. කලින් ලොහාන් රත්වත්ත, කෙහෙළිය, ජොන්ස්ටන්, නිමල් ලන්සා ඇමතිවරු ආවා. ජොන්ස්ටන් ඇමතිතුමා කලින්ම මේකෙ වැඩ පටන්ගත්තා”  ප්‍රදේශවාසීන් පැවසීය.
 
‘‘හරි ඉතිරි ටිකත් කාපට් කරන්න කියලා මම මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්ට කිව්වා” ගෝඨාභය පැවසීය.
 
මේ අතර තවත් ස්වාමීන් වහන්සේලා පිරිසකුත් එතනට වැඩම කර සිටියා. උන්වහන්සේලා ගැන ජනාධිපතිවරයා තොරතුරු විමසුවා. එක් ස්වාමීන් වහන්සේනමක් ‘‘ජනාධිපතිතුමා මම කිලෝමීටර නවයක් පයින් ආවේ. ඔබතුමා හමුවෙලා ප්‍රශ්න ටිකක් තියනවා විසඳගන්න” කියා පැවසුවා.
 
‘‘අපේ හාමුදුරුවනේ කියන්න ඕනම දෙයක්. ඒවට විසඳුම් ලබා දෙන්නම්” කියා ජනාධිපතිවරයා උන්වහන්සේට පැවසුවා.
 
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ජනහමුව පවතින ස්ථානයට පැමිණියා. 
 

meemure

 
ජනහමුව පවතින ස්ථානය පිහිටා තිබුණේ කන්ද පහළ. නමුත් වැඩි ජනතාවක් රැඳී හිටියේ කඳු මුදුනේ.  කවුරුත් නොහිතපු විදියට ආරක්ෂක අංශ පවා මවිත කරමින් ජනාධිපතිවරයා එම කඳු මුදුනට නැංඟා. යන්න අමාරු උනත් ජනාධිපතිතුමා එතනට ඇවිත් ඇහුවා ‘‘කෝ ගමේ අය කවුද ඉන්නෙ” කියලා. 
 
‘‘අපි ඉන්නව සර් ”  කියලා මී මුරේ ජනතාව කිව්වා. ඔවුන් සමග කතා බහ කරමින් සිටි ජනාධිපතිවරයාට යොමු වුණේ පොහොර ප්‍රශ්නයක් පිළිබඳව.
 
‘‘මම මේ ගමින් ගමට යන්නේ ගමේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න තේරෙන නිසා. ගම් ලස්සනයි තමයි. ගම් ලස්සන වෙන්න ගම්වල මිනිස්සුන්ගෙ ජීවිතත් ලස්සන වෙන්න ඕන” කියා ජනාධිපතිවරයා පැවසුවා.
 
 
අනෙක් කාරණය තමයි පාරම්පරිකව ගමේ ජනතාව තමයි පරිසරය රැකගත්තෙ. මම මී මුරේට එනකොට සමාජ මාධ්‍යවලින් කියනවා, මම පරිසරේ විනාශයක් කරාවි වගේ කියලා ඇදයක් කියන්න. ගමේ අයගෙන් විශේෂයෙන්ම පාරම්පරික ගැමි ජනතාවගෙන් පරිසරයට හානි වෙන්නෙ නෑ, පිටින් එන අයගෙන් තමයි පරිසරය විනාශ වෙන්නෙ කියලා ජනාධිපතිතුමා පැවසුවා.
 
මොනවද ප්‍රශ්න කියලා ජනතාවගෙන් ජනාධිපතිතුමා ප්‍රශ්න කලා. අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, කෘෂිකර්ම, වගාබිම් ගැටලුවලට පිලියම් රැසක් ජනතාවගේ ප්‍රශ්න මතු උනා. මේ නිලධාරීන් සමග කතා කරලා මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කටයුතු කළා.
 
 
විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව :
 
දේශපාලන පලිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවක් පෙනෙන්නට නැත. 
 
Ranjith Dinesh
දිනේෂ් හා රංජිත් අතර උණුසුම් වචන හුවමාරුවක්.
 
 
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම වාර්තාව ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉල්ලා සිටි අතර දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා එයට වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත. මේ නිසා ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබුණ.
 
සමගි ජන බලවෙගයේ නායකයින් හමුවූ විටද මේ ගැන අවධානය යොමු වූනා.
 
 ‘‘පාර්ලිමේන්තුවට මේ වාර්තාව දාන්න කිව්වම ආණ්ඩුව ඒක කල් දානවා. සභාව කල් තැබීමේ විවාදයක් ඉල්ලුවම ඒක කල් දානවා. මේ විදියට ආණ්ඩුව ජනතාවගෙන් හංගන්න හදන්නේ මොනවාද? මේක එළියට දාන්න ආණ්ඩුව බය වෙලා ඉන්නේ ඇයි? මේ ප්‍රශ්න අපි මතු කළ යුතු වෙනවා’’ සජිත් කීවේය.
 
‘‘මේ කොමිසම පැමිණිලිකරුවන්ට දඩුවම් ලබාදෙන කොමිසමක් බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවට චෝදනා එල්ලවන විට විපක්ෂයේ මන්ත්‍රී වරුන්ගෙන් පලිගන්න තමයි ආණ්ඩුව හදන්නේ. විපක්ෂය මර්දනය කරන්න තමයි මේක යොදාගන්න හදන්නේ’’ රංජිත් මද්දුමබණ්ඩාර කීය.
 
‘‘තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ වාර්තාව ඉල්ලුවම කියලා තියෙන්නේ කොමිසන් වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කරලා නෑ කියලයි’’ පාඨලී කීවේය.
 
‘‘එතකොට නිල වශයෙන් ඉදිරිපත් නොකරපු වාර්තාවක් මත පදනම් වෙලා ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා. නිල නොවන ලේඛන මත පදනම් වෙලා තීරණ ගන්න කැබිනට් එකත් කැකිල්ලේ කැබිනට් එකක් තමයි’’ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේය.
 
1578038553 sajith premadasa opposition leader 5
'වාර්තාව එළියට දාන්න ආණ්ඩුව බය වෙලා ඉන්නේ ඇයි' -සජිත් 
 
 
‘‘ප්‍රජා අයිතිය අහෝසි කිරීම ගැන අපිට අතීත අත්දැකීම් තියෙනවා. අපි අතීතයේදී මේවාට මුහුණ දුන්නා. 2015 දී ජනතාව අපිට ඡන්දය දුන්නේ දූෂණය නැති කරන්නයි. බලයට ඇවිත් අපිට උඩ බලාගෙන ඉන්න බෑ. අපි ජනවරම අනුව තමයි කටයුතු කළේ. ආණ්ඩුව මොනවා හරි වාර්තාවක් දාලා විපක්ෂය මර්දනය කරන්න හදනවා නම් ඒ ගැන ජනතාව සැලකිලිමත් විය යුතුයි’’ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේ තමන්ට මුහුණදීමට සිදුවූ අත්දැකීම් ද සමගය.
 
 ‘‘මේ ආණ්ඩුවට විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ලොකු උවමනාවක් තිබෙන බව පේන්න තියෙනවා. මීට එරෙහිව අපි හැමෝම එකතුවෙලා ක්‍රියාමාර්ග ගත යුතුයි’’ විපක්ෂයේ මර්දනයට එරෙහිව මුස්ලිම් කොංග්‍රසයේ පූර්ණ සහාය ලබාදෙමින් රවුෆ් හකීම් මන්ත්‍රී වරයා පැවසුවේය.
 
මේ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. එහිදී විශේෂ අවධානයට ගත්තේද ආණ්ඩුවේ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැනය.
 
එහෙත් ඊට පෙර සජිත් කතාව ආරම්භ කළේ විශේෂ මතක් කිරීමක් එක්කය.
 
මේ වන විට විපක්ෂයේ  දේශපාලකයන් මර්ධනය කරන ක්‍රියාවලියකට මුල පුරා තිබෙනවා.
 
විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපේ ගරු මන්ත්‍රීතුමන්ලාට නීතිමය, අධිකරණමය කටයුත්තකට මුහුණ දෙන්න වුණොත් කරුණාකරලා ඒ ගැන මාව දැනුම්වත් කරන්න. මොකද ඒ සියලුදෙනා වෙනුවෙන් මම පක්ෂයේ  වගේම විපක්ෂ නායකයා ලෙස මැදිහත් වෙනවා. මගේ මන්ත්‍රී කණ්ඩායම ආරක්ෂා කරන්න මම ඕනම මොහොතක ඉන්නවා.
 
 රාජ්‍යයේ අක්‍රමිකතා වංචා දූෂණ හෙළිදරව් කරන විපක්ෂයේ දේශපාලකයන් ගණනාවකගේ ක්‍රියාවලිය නතර කිරීම සඳහා මොවුන් දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. රජයේ වංචා පෙන්නුම් කරන එම දේශපාලකයන්ගේ සිවිල්, මානව සහ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ වෑයමක රජය මේ වන විට නිරත වී සිටිනවා."
 
සජිත් එහෙම කීවේ මනෝ ගනේෂන් ට වූ සිදුවීමක්ද පාදක කරගෙන ය. මනෝට ගැටලුවක් ආ බව සැලවූ වහාම සජිත් ඔහුට කතා කර තිබිණ.
 
"ඔබතුමාට මේ ගැන කියන්න බැරිවුනා. සොයා බැලුවට බොහෝම ස්තුතියි" මනෝ කීවේය.
 
ඉන් අනතුරුව සාකච්ඡාවට ගත්තේ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව ය.
 
 
 
රනිල් -සජිත් හමුව :
 
 "මහජන නියෝජිතයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව නිවට, බියගුලු, ක්‍රියාවලියකට පිඹුරුපත් සකසමින් සිටිනවා.  එම තත්ත්වයට එරෙහිව  පොදු ශක්තිමත් බලවේගයක් ලෙස එක්වීමේ වැදගත් කම මුල්කොටගෙන තමන් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හමුවූ බවත් විපක්ෂ නායකවරයා කීය. 
 
රනිල් වික්‍රමසිංහ අතර වු හමුවද ඒ සද් අරමුණ ඇතිව සිදු වූවක් මිස ඇතැම් පාර්ශව නිකුත් කළ ආකාරයේ කිසිදු දේශපාලන ගණුදෙනුවක් එහි නොවූ බවද  හෙතෙම අවධාරණය කළේය.
 
" අපේ හමුවීම් දේශපාලන ගණුදෙනු නෙවේ. නමුත් අපි සද්භාවයෙන් කළ හමුවීම සමහර බංකොලොත් කණ්ඩායම් බොරු බේගල් බවට පත් කරලා අවස්තාවාදී දේශපාලනයක යෙදෙන බව පෙනුනා.
 
 ආණ්ඩුව මහජන නියෝජිතයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව නිවට, බියගුලු, ක්‍රියාවලියකට පිඹුරුපත් සකසමින් සිටිනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.
 
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලිය තුල මහජන මතය විශේෂ යි. මහජන මතය තුළ මැතිවරණයට ඉදිපත් වුණාම තමයි අපිට සහ රටට දැනගන්න පුලුවන් ඔවුන්ගේ තැන කුමක්ද කියලා.
 
ඒ අය මැතිවරණය ක්‍රියාදාමයේ නොහිටියානම් එයාලට කොළඹින් ලැබෙන්නේ ඡන්ද තිස්දාහක් බව මේ රටේ ජනතාව දැන ගන්නේ කොහොමද. ගණන් කරන්න තරම්වත් මහජන මනාපයක් නොලැබෙන බව ජනතාව දැන ගන්නේ කොහොමද ?. 
 
 
 
මහජනතාව ගේ ඡන්ද බලයෙන්  ආසනයක් දිනා ගන්න බැරිවූ ඇතැම් බංකොලොත් කණ්ඩායම් එක්ක දේශපාලන ගණුදෙනුවලට යාමක් ගැන කතා කිරීමත් විහිලුවක්." සජිත් කණ්ඩායම් හමුවේදී කීය.
 
 
විපක්ෂ නායක ජංගම සේවය :
 
Kalpitiya
 
විපක්ෂ නායක ජංගම සේවය මේ දිනවල රට පුරාම ක්‍රියාත්මක වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්ය. ජනතාවගේ දුක අසමින් ඔවුන්ගේ ගැටලුවලට ඒ අවස්ථාවේදීම ලබාදිය හැකි විසදුම් ලබාදීමටත්, අනෙක් ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ආණ්ඩුවේ අවධානය යොමු කරවීමටත් විපක්ෂ නායකවරයා කටයුතු කරයි.
 
කල්පිටියේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට අතක් අහිමි කාන්තාවක් පැමිණ සිටියාය. ඇය පැමිණ මෙතෙක් මාධ්‍යයේ අවධානයට යොමු නොවූ කරුණක් හෙළි කළාය.
 
‘‘මම නොවැම්බර් 26 වැනිදා ඕමාන් ඉදලා ලංකාවට ආවේ. අපි ආවම නිරෝධායනය කරන්න ඕන කියලා යාපනයට අරගෙන ගියා. අරගෙන යන අතරවාරයේදී පලාලිවලදී ඇක්සිඩන්ට් එකක් වෙලා. මට සිහිය නැතිවුනා. සිහිය එනකොට මගේ එක අතක් කපලා’’එම කාන්තාව කීවාය.
 
 
‘‘රජයේ නිලධාරින් කවුරුවත් ඇවිත් ඔබ ගැන සොයා බැලුවේ නැද්ද’’සජිත් ඇසුවේය.
 
‘‘නෑ.. සර්. අඩුම ගානේ ග්‍රාමසේවකවත් ආවේ නෑ. සිහිය ආවාට පස්සේ යාපනය පොලීසියෙන් ඇවිත් කට උත්තරයක් ගත්තා. ඒක විතරයි’’ඇය කීවාය.
 
‘‘මේ දේ ගැන සොයා බලන්න ඕන. අපි ඔබට වෛද්‍ය උපකාර කරන්නම්. කෘතිම අතක් දාගන්නත් උදව් කරන්නම්. දැන්ම කෘතිම අතක් දාන්න පුලුවන් කියලා වෛද්‍යවරු කිව්වාද’’සජිත් ඇසුවේය.
 
‘‘තවම අත ඇතුලෙන් රිදෙනවා. මට කෘතිම අතක් දාන්න පුලුවන් කියලා තියෙනවා’’ කාන්තාවක් කීවේ කෘතිම අතක් ලබාගැනීමට මුදල් නොමැති කම අගවමිනි.
 
‘‘මම කෘතිම අතක් අරගෙන දෙන්නම්’’ සජිත් පොරොන්දු විය.
 
එතැනින් නොනැවතී එතානදීම තමන්ගේ පුද්ගලික මුදලින් රුපියල් විසි පන්දහසක් එම කාන්තාවට ඔහු දුන්නේය. 
 
එවිට ඔහු අසල සිටි හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රී වරයාද විදේශ රැකියා ඒජන්සිකරුවන් සම්බන්ධ කරගනිමින් තවත් රුපියල් විසිපන්දහසක් ඒ අවස්ථාවේදීම ලබාදීමට කටයුතු කළේය.
 
 
 
බෞද්ධ උපදේශක සභාව :
 
149331908 1842894909209149 8251791908641666072 o
 
බෞද්ධ උපදේශක සභාව පැවතියේ පසුගිය සිකුරාදා 2021.02.12 දින හවසය. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට මහාචාර්ය බොරපිටියේ රාහුල හාමුදුරුවෝ, වෙඩරුවේ  උපාලිනායක හාමුදුරුවෝ, අස්ගිරියේ පාර්ශ්වයේ අනුනායක මැදගම ධම්මානන්ද හාමුදරුවෝ, එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ, මැදගොඩ අභතිස්ස හාමුදුරුවෝ, අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු සංඝයා රත්නය සහභාගි ව සිටියහ.
 
සාකච්ජාව ආරම්භ කරමින් ආනමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ පවසා සිටියේ, ''ජනාධිපතිතුමනි, මේ රටේ පිරිවෙන් අධ්‍යාපනයේ බරපතල ගැටලු ගොඩක් විසඳුනා. නමුත් තව විසඳීමට කාරණා කිහිපයක් තිබෙනවා.'' කියාය.
 
එදින සාකච්ඡා කිරීමට තීරණය කර තිබුණේ පිරිවෙන් අධ්‍යාපනය සහ පුරා විද්‍යා යන කාරණා සම්බන්ධවය.
 
පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක වටිනාපහ සෝමානන්ද හාමුදුරුවෝ සහ එහි උපදේශක ලෙස කටයුතු කරනුයේ දොඩම්පාල රාහුල හාමුදුරුවන්ය. උන්වහන්සේලා දෙනම විසින් යෝජනාවලියක් එහිදී ඉදිරිපත් කළහ. එහිදී එම යෝජනාවලියේ කරුණුවලට විරුද්ධවද හාමුදුරුවරු  අදහස් ප්‍රකාශ කර තිබිණ.
 
 
පිරිවෙන් අධ්‍යාපනය වෙනම ස්වාධීන ආයතනයක් හැටියට පැවතිය යුතු බවත් එය රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හෝ වෙනත් ආයතනයයක් හැටියට තිබිය යුතු නැති බවත් එය වෙනම පිරිවෙනක් පාලක මණ්ඩලයකින් හෝ ක්‍රියාත්මක විය යුතු බවක් එහිදී සාකච්ජාවට ලක්ව තිබිණ.
 
 
 
එහි දී පුරාවිද්‍යාව සම්බන්ධවද කරුණු කිහිපයක් සාකච්ඡා ව තිබිණ. ජනාධිපතිවරයා විසින් උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැන සොයා බැලීම සදහා පත් කල කාර්ය සාධක බලකායේ ප්‍රධානී කමල් ගුණරත්න මහත්තයා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරපු සහ සැලසුම් කරපු ස්ථාන පිළිබඳ තොරතුරු ඇතුලත් විශාල පොතක් ගෙනවිත් හාමුදුරුවන්ට භාරදෙනු ලැබුවා.
 
 ඊට අදාළ CD ලබා දුන්නා. ගනු ලැබූ ක්‍රියාමාර්ග පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරන්න සැලසුම් කර ඇති අයුරු සමහර පුරාවිද්‍යා ස්ථානවලට ආරක්ෂාව දීලා තියෙනවා. සමහර තැන්වලට පොලිසිය සහ හමුදාව යොදා ඇති බවත් කමල් ගුණරත්න පවසා සිටියා. 
 
''ජනාධිපතිතුමනි, හාමුදුරුවනේ, මේකයි ගැටලුව අපේ නිරීක්ෂණය නම් අනෙකුත් ජාතීන්ගෙන් මේ පුරාවිද්‍යා ස්මාරකවලට වගෙම බෞද්ධ ස්ථානවලට බරපතල හානි වෙනවා. ප්‍රධාන වශයෙන් ඔවුන් ඉඩම් අල්ලා ගැනීම් පදිංචි වීම් සහ විනාශ කිරීම් වගේ දේවල් අපි එහි දේවල් සියල්ලම මේ වෙන කොට හදුනා ගෙන තියෙනව.''
 
 
 හදුනාගත් ස්ථාන දහස් ගානක ලැයිස්තුවක් ද එහි දී ඉදිරිපත් කර තිබිණ.
 
 
 
''විවේචන ඉවසන්න පුරුදු වෙන්න''
 
ඉන් පසු හාමුදරුවන් වහන්සේලා විසින් පවසා සිටියේ ජනාධිපතිතුමනි, සමහර මාධ්‍යවල විවිධ දේවල් පලවෙනවා. හැබැයි ඔබතුමා කියන කියන දේවල්වලට උත්තර බදින්න සූදානම් වුණොත් පිළිතුරු දෙන්න සූදානම් වුනොත් ඔබතුමාට වැඩ කරන්න තියෙන කාලය තමයි නැති වෙන්නේ. 
 
ඒ නිසා ඔබගේ බුද්ධියෙන් තීන්දු තීරණ අරගෙන වැඩ කටයුතු කරන්න. විවේචන ඉවසන්න පුරුදු වෙන්න ඕන සහ එම විවේචන හොද ටික ගමු. සාධාරණීකරණ අනිත් දේවල් පිළිබඳ සැලකිලි දක්වන්න ඕන නෑ. මොකද අපිට ඔබතුමාට අවුරුදු 31/2ක් තියෙනවා වැඩ කටයුතු කරගෙන යන්න කියලා. 
 
එලෙස ස්වාමීන් වහන්සේලා අදහස් ඉදිරිපත් කල අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ විසින් ප්‍රතිවිරුද්ධ අදහසක් ද ඉදිරිපත් කරා. ආනන්ද හාමුදරුවෝ පිරිවෙන් අධ්‍යාපනය සම්බන්දයෙන් කතා කරා. පුරාවිද්‍යාව සම්බන්දයෙන් කතා කරා. ඔව් හොදයි හැබැයි මම ඒ දෙකටම අදාල නැති කාරණයක් කතා කරන්නේ.
 
 

Ananda Gotabaya

''මේ ආණ්ඩුව සහ රජය සම්බන්දයෙන් විවේචන තියෙනවා. විශේෂයෙන් නිලධාරින් සමහර වෙලාවට ටිකක් අධෛර්යමත් වෙච්චි ගතියක් තියෙනවා. ජනාධිපතිතුමනි එක වෙන්න දෙන්න හොද නෑ. දවසට 40ක් වගේ මගෙ අභයාරාමෙට එනවා ඒ අය හරි ගැටලු අරගෙන එන්නේ. ඉතින් අපි ආණ්ඩුවත් රැකගෙන මේ කටයුතු ඉස්සරහට යන්න ඕනේ. 
 
 
 
සමහර අයගේ ප්‍රකාශ සමහර අයගේ ක්‍රියාකාරකම් නොගැලපෙන ඒවා එහෙම වෙන්න නොදී ආණ්ඩුව ඒ ඉස්සරහට ගෙන යන්න ඕනේ. ඒක තමයි වැදගත් කාරණය. 
 
ඉන්පසු ජනාධිපතිවරයා කතා කරමින් පවසා සිටියේ, හාමුදුරුවනේ මෙම ගැටලු සම්බන්ධෙන් මේ තීරණ ගන්නවා. ඔබවහන්සේලා දුන් මේ අනුසාසනා සමහර දේවල් එහෙම තමයි හැටි. විවේචන එනවා. අපි ඒවා සාවදානව ඒවා පිලිගන්නවා වගෙම ඒවට දෙන්න ඕන පලතුරු සහ පිලිතුරු දෙන්න ඕන නැති දේවල් අතින් කරගෙන මේ ගමන යමු යැයි ප්‍රකාශ කරන ලදී. හාමුදුරුවන්ගේ පැමිණීම සම්බන්දව ද ජනාධිපතිතුමා ස්තූතිය පල කළේය.
 
 
 
අගමැති ඉරුදෙණියායේ:
 
අගහරුවාදා අගමැති ඉරුදෙණියාය බලා පිටත්වුණා. ඒ වයඹ මහ ඇල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වීමටය.
 
වයඹ මහ ඇල ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුරාධ ජයරත්න, දයාසිරි ජයසේකර, අසංක නවරත්න, යූකේ සුමිත් ඇතුළු අමාත්‍යවරුන් රාජ්‍ය ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සහභාගී වුණා.
 
ඉරුදෙණියායට අග්‍රාමාත්‍යවරයා පැමිණියේ හෙලිකොප්ටරයෙන් පැමිනි අතර ඔහුට පිලිගත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෝටර් රථයේ එන අතර පොඩි කතාවක් මතක් කරන්න ජොන්ස්ටන් අමතක කලේ නෑ.
 
MR Jony 
 
‘1993 අගමැතිතුමනි මට මතකයි මහව රැස්වීමකට ගාමිණී දිසානායක මහත්තයා ආවා. එහි දී කිව්වා වයඹට මහවැලි වතුර ගේන එක කරන්න බැරි දෙයක් කියලා. හැබැයි ඔබතුමා මේ ජනතාව ගැන බලපු ටික ලොකු දෙයක්‘ ජොන්ස්ටන් මෙහෙම කියන්දී අගමැතිතුමා කිව්වේ ජොනී අපි මේ ජනතාවට වතුර දෙන එක පිනක් ඒ වගේම තවත් වැව් 6000ක් සංවර්ධනය කරමු කියාය.
 
 
 
මංගල - බැසිල් ෂැන්ග්‍රිලා හමුව :
 
මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පසුගිය සතියේ ෂැන්ග්‍රිලා හෝටලයේ උත්සවයකට සහභාගී උනා.
 
මංගල විදුලි සෝපානයෙන් පැමිණ ඇවිදගෙන යන අතරෙදි පිටුපසින් මංගල යනුවෙන් කිසිවෙක් ආමන්ත්‍රණය කරනවා ඇහුණා.
 
මංගල හැරිලා බලනකොට හිටියේ පරණ මිත්‍රයෙක්. ඒ තමයි බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ස හා මංගල සමරවීර කලක පටන් හොඳ මිත්‍රයින්.
 
''හා බැසිල් කොහොමද මේ මාස්ක් එකක් දාලා නිසා අදුරගන්නත් බැරිඋනා.'' මංගල පැවසුවා.
 
මොන මාස්ක් දාලා තිබ්බත් ඔයාව අදුරන්න බැරි ද?  බැසිල් පැවසුවේ සිනාසෙමින්.
 
අපි දෙන්නම යන්නෙ එකම තැනකටද දන්නෙ නෑ නේද මංගල, බැසිල්ගෙන් විමසා සිටියා.
 
පස්සෙ බලනකොට උත්සව දෙකක්. මේ යන අතරෙ බැසිල් රාජපක්ෂත් මංගල සමරවීරත් පොඩි කතාවක් දාගෙන තමයි ගියේ. 
 
කලක පටන් මිතුරන් දෙදෙනත් වගෙම මේ දිනවල බැසිල් රාජපක්ෂත් දැඩි කතා බහකට ලක්වෙන චරිතයක්. මේ දෙන්නා තනිවම කතා කර කර ගියේ මොනවද කියල කවුරුත්ම දන්නෙ නෑ.
 
 
 
මෛත්‍රිගෙ ගෙදරට ආපු අමුත්තා..:
 

sdgsg

 
මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිවසට මේ දිනවල විටින් විට අමුත්තන් පැමිණෙමින් සිටිති. විශේෂයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සමාජිකයින් පක්ෂය ශක්තිමත් කිරිම වෙනුවෙන් සාකච්ඡා කිරිමට දිනපතා පැමිණෙති.
 
මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාලද සිල්වා, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් මෙම සාකච්ඡා වලට එක් වෙලා හිටියා.
 
පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සුදු කිරිමට වගේම රජය රැක ගැනීමටත් නමුත් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ඉදිරියේදී කටයුතු කිරිමටත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින්ව දැනුවත් කරලා.
 
මෙම සාකච්ඡාවන් මෙසේ පැවැත්වෙද්දී මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ නිවසට විශේෂ අමුත්තෙකු පැමිණ ඇති බවට ආරංච් මාර්ග සදහන් කරනවා. ඒ බැසිල් රාජපක්ෂ.
  
ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂත් එක්ක පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් වාර්තාව පිළිබදව කෙටි සාකච්ඡාවක් අරගෙන. ඒ සඳහා අමරවීර, දයාසිරි, දුමින්ද, ලසන්ත වගේම චාමර සම්පත් දසනායක ද එකතු වෙලා.
 
සුහදශීලි සාකච්ඡාවකින් පසුව බැසිල් රාජපක්ෂ මහතා පිටත්ව යන විට එතැනට පැමිණියේ මහින්ද අමරවීරය. බැසිල් ඇමතිතුමා මේ බලන්නකෝ අපේ නායකතුමාට අර පාස්කු කොමිසමෙන් ප්‍රශ්නයක් දාලා තියෙනවා කියලා ආරංචියක් ආවා. මේ ගැන ජනාධිපතිතුමාට කියලා වැඩකුත් නෑ අගමැතිතුමාට කියලා වැඩකුත් නෑ. ඔබතුමාලා බලන්න. මේ නිකං අහක යන ප්‍රශ්නනේ බැසිල්ට මහින්ද අමරවීර පැවසීය.
 
බැසිල් රාජපක්ෂ මෙයට සිනාසෙමින් කියා ඇත්තේ ඒ ගැන බලමු කියලා. ඉන් අනතුරුව  නැවතත් සිනාසෙමින් බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ මේ දයාසිරිලා අර කට්ටියත් එක්ක එකතුවෙලා මට ගහනවනේ කියාය.
 
මේ කථා බහ සිදු වන විට දයාසිරි ජයසේකර සිටියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ලගය. අනෙක් මැති ඇමතිවරුන් බැසිල් රාජපක්ෂ සමග එළියට පැමිණ සිටියහ.
 
හරි හරි එයා ගැන බලාගන්නම්. එතැන සිටි මැති ඇමතිවරුන්ට බැසිල්ට කීය.
 
 
 
දිනේෂ්  මැදිහත්කරුවෙකු ලෙස:
 DineshG 
විමල් වීරවංශ අමාත්‍යවරයා පසුගිය සති කිහිපයේදී දේශපාලන කරලියේ කථා මවන්නට සමත් වුණා. විශේෂයෙන්ම ජාතික පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා පොහොට්ටුවේ පසුපෙල මන්ත්‍රීවරුන් ඔහුට ප්‍රහාරයක් දියත් කලා. 
 
ඒ වගේම නැගෙනහිර ජැටිය අදානි සමාගමට ලබා දීමට එරෙහිව කටයුතු කිරිමට විමල් වීරවංශ පොහොට්ටුව හැර පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ වලට තමාගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කලා. උදය ගම්මන්පිල පැවසුවේ මෙය මැතිවරණයට කලින් පැවති හමුවක් බවත් එය සතිපතා රැස්වීමට කීරණය කල බවත්ය.
 
තවත් දිනකදී පක්ෂ 12ක සාමාජිකයන් විමල් වීරවංශගේ නිවසේදී මුණගැසුණා.
 
නැවත මොවුන් මුණගැසුනේ කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේදී. මේ සදහා කලින් සාකච්ඡා වලට නොපැමිණි දෙදෙනෙකුත් පැමිණ සිටියා. ඒ ඩිව් ගුණසේකර හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. 
 
ඩිව් ගුණසේකර පැමිණියේ ඔහු නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ එම රැස්වීම පැවැත්වූ නිසා වන අතර දිනේෂ් ගුණවර්ධන පැමිණියේ මැදිහත්කරුවකු ලෙසයි.
 
මෙම පක්ෂ නායකයින් ජනාධිපතිවරයා මුණ ගැසීමට දිනයක් වෙලාවක් ලබා ගැනීමට ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබුණා. 
 
ඒ අනුව ජනාධිපතිවරයා විසින් 2021-02-19 දින සවස 4ට වේලාව ලබා දී තිබුණා. කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පොහොට්ටුව හැර හවුල්කාර පක්ෂ රැස්වූයේ ජනාධිපති සමග සාකච්ඡාවේ දී කථා කල යුතු කාරණා පිළිබදව පූර්ව සුදානමක් වීම සදහාය.
 
මෙහිදී ජනාධිපති හා අගමැති දෙන්නම ඉන්නවා නම් හොදයි යන මතයෙන් තමයි මොවුන් ලිපිය ඉදිරිපත් කලේ.
 
ජනාධිපති අනෙක් අයත් එක්කත් කථා කරන්න ඕනේ කියන එක ඔවුන් කථා බහ කලා. ජනාධිපතිතුමා වෙනම වැඩ කරන් යනවා. අගමැතිතුමා වෙනම වැඩ කරගෙන යනවා. බැසිල් රාජපක්ෂ නෙලුම් මාවතේ වෙනම වැඩ කරගෙන යනවා. කිසිම සම්බන්ධීකරණයක් නැහැ. 
 
ආණ්ඩුව එක ගමනක් යන්න ඕනේ. ජනතාවට ආණ්ඩුව එපා කරවන්නේ නැතිව පිලියමක් යොදලා පිලිවෙලක් වෙන්න ඕනේ කියන කාරනේ ජනාධිපතිතුමාට කියන්න තීරණය කලා.
 
 
 
පාස්කු කොමිෂන් වාර්තාව: තවත් කමිටුවක් 
 
Passku 2021.02.08
 
කැබිනට් රැස්වීමේදී පාස්කු කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධව කථා බහට ලක්වුණා.
 
මෙහිදී පාස්කු ප්‍රගතිය සම්බන්ධ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යනයට ජනාධිපතිවරයා කමිටුවක් පත් කලා. 
 
පාර්ලිමේන්තු  ඉදිරිපත් කල ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ හා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද විමර්ෂණය කල ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යනය කර ඒ පිළිබද ක්‍රියාකල යුතු ආකාරය වාර්තා කිරිම මෙහි අරමුණයි.
 
මෙම කමිටුවේ සභාපති ලෙස චමල් රාජපක්ෂ පත්කර තිබෙනවා. සමාජිකයින් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ හා රෝහිත අබේගුණවර්ධන පත් කර තිබෙනවා.
 
 
 
රනිල් - සජිත් - හරීන්:
 

Ranil sajith Harin

 
මේ  අතර රනිල් හා සජිත් ප්‍රේමදාස මහතා අතරත් හමුවක් පැවැත් වුණා. මේ කපුකම කලේ තලතා අතුකෝරල හමුවුනේ මලික් සමරවික්‍රමගේ නිවසේදී. මෙහිදීත් කථා බහට ලක්වුයේ ජනාධිපති කොමිෂන් සභා ගැන හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව පක්ෂය අතර යම් සාධනිය එකතු වීමක් ගැනත් මෙහිදී ඉගි පලවෙලා තිබෙනවා. 
 
ඒ වගේම රනිල් වික්‍රමසිංහ පැවසුවේ 2022 වෙන කොට ආණ්ඩුව ගොඩක් පිරිහෙන බවත් අපි වෙලාවට එළියට බහිමු වගේ කථාවක් රනිල් අතින් කියවිලා තිබුණා.
 
හරීන් ප්‍රනාන්දුත් රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබුණා. සමගි ජනබලවේගයේ උප සභාපති ලෙස හරීන් රනිල් මුණ ගැසුනා.
 
රංජන් රාමනායක පිළිබදව සටනක් ගෙන යා යුතු බවට මෙහිදී රනිල් වික්‍රමසිංහ සමග හරින් කථා කොට තිබුණා. ඒ වගේම අසනීප තත්ත්වයෙන් ඉන්න මෛත්‍රී වික්‍රමසිංහ ගැනත් කථා කරන්න හරීන් අමතක කලේ නෑ..
 
 
 
රනිල් හරීන්ට අපූරු කථාවක් කිව්වා
 
''හරීන් හැමෝම පක්ෂවල නායකයෝ බාගෙන යන්නේ අපේ පක්ෂයේ වගේමයි. ඔය අයටත් ඕකම වෙන්න පුළුවන්. අනික රුවන් විජේවර්ධන එක්ක ඔයා හොදයිනේ. ඒ සම්බන්ධෙ තියාගන අපි හරි වෙලාවට එකතු වෙමු කියායි. 
 
ඒ වගේම හැමදාම පක්ෂයේ බර කරට ගත්ත හරින් ප්‍රනාන්දු මාර්තු 06 වෙනිදා සමගි ජන බලවේගයේ මහා සමුළුවක් පවත්වන්නට යනවා. ඒ සමගි ජනබලවේගය පිහිටුවා අවුරුද්දක් සපිරීම නිමිත්තෙන්.
 
 
 
රනිල් රාජිත හමුවක්: 
 
රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න අතර හමුවක් පැවැත් වුණා. මේ හමුවට කලින් මංගල, සුමන්දිරන් ඇතුළු පිරිසක් මුණ ගැසී තිබුණා. එදිනම සවස රාජිත සේනාරත්නට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතුමක් ලැබුණා.
 
රනිල් රාජිත හමුවුනේ මේ ආකාරයටයි. රාජිත, චතුර සේනාරත්න සමග රනිල් වික්‍රමසිංහ මුණගැහුණා. මෙහිදී පුළුල් සංවිධානයක් බිහිකිරිම ගැන හා කොමිෂන් සභා වාර්තා ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කලා.
 
මේ හමුවට කලින් රාජිත සේනාරත්න සජිත් ප්‍රේමදාසව දැනුවත් කිරිමට අමතක කලේ නෑ.
 
''මම රනිල්ව මුණ ගැහෙනවා පක්ෂ එකතු කරගෙන පුළුල් සන්ධානයක් පිළිබදව සාකච්ඡා කරන්න'' යැයි රාජිත පැවසුවා.
 
ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී “ඔබතුමාට තමයි පුළුවන් වෘත්තිය සමිති, පක්ෂ, සිවිල් සංවිධාන ඔක්කොම එකතු කරගන්න යැයි රාජිතට පැවසුවා.
 
 
 
 
ජනාධිපති හමුව: වාසු ඇවිත් නෑ - දයාසිරි ඇවිත්....
 
ජනාධිපතිවරයා සහ විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 අතර සාකච්ජාවක් සිකුරාදා තිබුනා. එතන දී ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලු බොහොමයක් ගැන සාකච්ඡා කර තිබුණා. බොහොම සුහද ආකාරයෙන් තමයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.
 
 
හතරේ සිට පහ දක්වා වේලාව ලබාදී තිබුණත්  5.45 වන තෙක් සාකච්ඡාව ඉදිරියට ගෙන ගියා. මෙහිදී උදය ගම්මන්පිල මෙහෙම පැවසුවා, ජනාධිපතිතුමනි මටත් විමල් වීරවංශ ටත් දැන් යන්න අවශ්‍ය වෙලා තිබෙනවා නව ව්‍යවස්ථා පිළිබඳ පවත්වන විශේෂඥ කමිටුවට"
 
එතනදි තමයි ජනාධිපති තුමා කිව්වේ ඔව් අපි එහෙනම් නවත්තමු  නේද කියලා. එතකන් මේ සාකච්ඡාව නවත්වන්න උවමනා වෙලා තිබුණේ නැහැ.
 
මෙහිදී සියලු පක්ෂ නායකයින් තම අදහස් පළ කළා. වාසුදේව අමාත්‍යවරයා වෙනුවට පැමිණ සිටි තරුණ මන්ත්‍රී දොස්තර ගයේෂාන් බොහොම සැර කතාවක් කළා.
 
මෙහිදී උදය ගම්මන්පිල කිව්වේ  අපිට අවශ්‍ය ආණ්ඩුව වගේම ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න යන්න කියලයි. සියලුම පක්ෂ නායකයින් මෙහිදී අදහස් පල කල අතර දෙසතියකට වතාවක් ජනාධිපති හමුවීමට කතිකා කර ගෙන තිබුණි.
 
 
 
පාස්කු ප්‍රහාරයට ඉන්දියාවේ සම්බන්ධයක් ?
 
Sara Pasku
 
පසුගිය දිනෙක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසා සිටියේ ඉන්දියාව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවය. 
 
මෙය ඇසූ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික නලින්ද ජයතිස්ස, විජිත හේරත්ට කතාකර පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධයි කියලා ඩිලාන් පෙරේරා කියලා තියෙනවා. ඒ ගැන තව තොරතුරු සොයා බලන්න ඕන වෙනවා. 
 
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අයත් මේ සම්බන්ධව කතා කර ඇති බවටද ආරංචි ලැබිලා තියෙනවා කියලා නලින්ද ජයතිස්ස වැඩිදුරටත් විජිත හේරත්ට පවසා තිබුණා.
 
ඒ වගේම ඉන්දියාවට තෙල් ටැංකි, කොළඹ වරාය, කන්කසන්තුරේ වරාය විකිණීමට ඇති සූදානම ගැන ද ගැඹුරින් සලකා බලන්න ඕනෑ කියලයි කතාබහ කරලා තිබුණා.
 
 
වසන්ත බණ්ඩාරගේ ප්‍රකාශය:
 
ජාතික ජන බලවේගය තවදුරටත් සැලකිල්ලක් දක්වලා තිබුණ කරුණක් තමයි පසුගිය දිනෙක වසන්ත බණ්ඩාරගේ ප්‍රකාශය. ඒ කියන්නේ පොහොට්ටුව පක්ෂය ඉන්දියාව මිලට ගැනීමට සූදානම් කතාව. ඒක ඉතින් ඉන්දියාවයි ඇමරිකාවයි එකතුවෙලා ලංකාවට බහින්න කරන නෛතික සැලැස්මක් කියලයි ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස කියලා තිබුණා. ඉතින් ඒක ගැනත් ජාතික ජන බලවේගය සාකච්ඡා කර තිබ්බා.
 
ඒත් එක්කම රටේ පවතින ආර්ථිකය සහ එහි කළමනාකාරීත්වය සම්බන්ධවද තවදුරටත් රාජ්‍යතාන්ත්‍රිකව ඇතිවෙමින් පවතින බලපෑම් පිළිබඳව ද කරුණු කාරණා සොයා බැලීමට තීරණය කර තිබුණා. 
 
ඒ සඳහා ජාතික ජන බලවේගයේ විජිත හේරත්, නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද එකතු වී රටේ ආර්ථිකය ගැන සාකච්ඡා කරන්න කටයුතු සම්පාදනය කර තිබුණා.
 
ඒ වගේම යාපනේ දූපත් තුනෙහි ප්‍රශ්නයත් කතාබහට ලක් කරන්න ඕනෙ කියන එකත් සාකච්ඡා කරනවා. ඉන්දියාව චීනය මේ දූපත් ගලවගන්න ඩොලර් මිලියන 12ක් දෙන්න හදන්නේ මොකටද? ඔය කරුණු කාරණා හොයලා බලන්න ඕනේ කියන එකත් ජාතික ජන බලවේගයේ නායකයින් සාකච්ඡා කරලා තිබුණා.  
 
 
 
බටහිර ජැටිය 
 
පහුගිය දිනක ජාතික ජන බලවේගයේ වරාය වෘත්තිය සමිතිය බටහිර ජැටිය සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායකයින් පවසලා තියෙන්නේ වරායට සම්බන්ධ අනිකුත් වෘත්තිය සමිති ඒ වගේම මේ ගැටලුවට කලින් සම්බන්ධ වෙලා කටයුතු කරපු අනෙකුත් පාර්ශ්ව එක්කරගෙන සාකච්ඡා කරලා බටහිර පර්යන්තය ඉංදියාවට ලබා දීම පිළිබද සංවාදයක් ඇති කිරිමට කටයුතු කරන්න ඕනෙ කියලයි.
 
තවද පෙබරවාරි මාසයෙන් අවසන් වීමට තිබුණු ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණයේ ඉතිරි ටික මාර්තු මාසේ දක්වා ඉදිරියට පවත්වාගෙන යෑමට සූදානම් බව සාකච්ඡා කර තිබුණා. 
 
 
(භෂ්ම ලෝචන)

 

 


 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්