ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රට තුල තහවුරු වීමට ලංකා සමාජයේ ඇති මූලික බාධාවක් වන්නේ අප සමාජය තුල මුල් බැසගෙන ඇති පසුගාමී සංස්කෘතියයි.



මෙම පසුගාමී සංස්කෘතිය ප්‍රශ්න නොකර, එයට අභියෝග නොකර, ලංකාවේ නිතියේ ආධිපත්‍ය පවත්නා, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සහිත  රාජ්‍ය ක්‍රමයක්  ඇතිකර ගැනීමට නොහැකිය.

මෙයට හේතු වන්නේ ලංකාවෙහි ක්‍රියාත්මක නීතිය බොහෝ විට නිසි පරිදි ක්‍රියාවට නෙනැගීමයි. එනම් නීතිය උල්ලංඝනය කිරීම සාමාන්‍ය බවට පත්ව තිබීමයි.

විශේෂයෙන්ම රාජ්‍ය බලය හිමි දේශපාලනඥයන් රාජ්‍ය බලය අවභාවිත කිරීම, රාජ්‍ය මුදල් අවභාවිත කිරීම, තමන්ගේ හිතවතුන්ට සහ ඥාතීන්ට සැලකීම, තම පාක්ෂිකයන්ට, තම ජනවර්ගයට හෝ තම ආගමිකයන්ට විශේෂ කොට සැලකීම වැනි කාරණාවන් අප සමාජයේ සාමාන්‍ය දේ බවට පත්ව තිබේ. එම භාවිතයන් ප්‍රශ්න නොකෙරන තරම්ය.

පොදුවේ අප සමාජයට ප්‍රශ්නයක් වන්නේ දේශපාලනඥයින් බලයට පැමිණි පසු තමාගේ ඔහු සිය හිතවතුන්ට හිතවතියන්ට නොසලකන්නේ එනම් දේශපාලනඥයින්ට පක්ෂපාතීව යටහත්ව වැඩ කිරීමෙන් තමන්ට වාසියක් ලබාගැනීමේ පසුගාමී මානසිකත්වයයි.

රටේ සුළුතරයක් ජනයා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සහ මිනිස් අයිතීන් පිළිබඳව සිතන බව සැබෑය. එසේ වුවත් රටේ බහුතර මානසිකත්වය වැඩවසම්වාදීය. නැත්නම් ගැති බාවයයි.

ඒ කොතෙක්ද යත් රටේ ඉහළම මට්ටමේ ගීත රචකයින්, ගායකයින් සහ බුද්ධිමතුන් පවා රටෙහි දේශපාලකයින් ඉදිරියේ හැසිරෙන්නේ වන්දි භට්ටයින් ලෙසිනි. ඔවුන් සෑම විටම ක්‍රියා කරන්නේ යටහත් පහත් සුවච කීකරු පුද්ගලයින් ලෙසය.

වන්දාමි ගොටාභයං

 

මහ මග යන දේශපාලනඥයින්ට දණ ගසා වඳින රාජ්‍ය නිලධාරීන් සිටින රටක රාජ්‍ය ආයතනය කෙරෙන් සාධාරණ සහ සමානාත්මවාදී  සැලකීමක්  පුරවැසියනට ලැබේ යැයි කෙසේ සිතන්නද?

සංස්කෘතික වශයෙන් රදලවාදී දේශපාලනඥයින්ට ආවඩමින් ගැත්තන් ලෙස ජීවත්වීමට මනස හුරු කර ගෙන මෙම සමාජීය වර්යාවන්ගෙන් ලක්ෂිත මෙම පසුගාමී සංස්කෘතිය, ප්‍රගතිගාමී සමාජ ව්‍යාපාරයන් විසින් අභියෝග කළ යුතු ප්‍රධානම කරුණකි.



නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම සමානාත්මතාවය ඇති කර ගැනීමට නම්, මෙම සංස්කෘතියට අභියෝග කිරීමට සහ ඊට බිය නැතුව මුහුණදීමට පුළුල් සමාජ ව්‍යාපාරයන් විසින් නායකත්වය දිය යුතුය. සමාජය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය නම් අප මෙවැනි වර්යාවන්ට බිය නොවී එම තත්වයන් ප්‍රශ්න කළ යුතුය. ඒ පිළිබඳව විශාල සංවාදයක් සමාජය තුළ නොබියව කර ගෙන යා යුතුය.


වාර්ගික ජන කණ්ඩායම් වල අයිතීන් පිළිබඳව නොසැලකීම:



නිදහස ලැබූ දා පටන් අද වන තුරු ම ලංකා සමාජය තුළ නොනැවතී ගමන් කරන දැවෙන ප්‍රශ්නයක් වන්නේ වාර්ගික ජන කණ්ඩායම් වල අයිතීන් පිළිබඳව නොසැලකීමය.

සිංහල බෞද්ධයාට ඇති අයිතිය දෙමළ භාෂාව කතා කරන පුද්ගලයාටත්, මුස්ලිම් ආගම හෝ හින්දු ආගම නැතිනම් ක්‍රිස්තියානි ආගම අදහන පුද්ගලයාටත්, ලංකා සමාජය තුල පුරවැසියකු වශයෙන් එක හා සමානව තිබිය යුතු බව පිළිගන්නා සමාජයක් ගොඩනගා ගැනීම මෙම ප්‍රශ්නවලට විසඳුමයි.

රටෙහි එක ආගමකට හෝ එක භාෂාවකට විශේෂත්වයක් දෙන්නේ නම් එක ජනවර්ගයකට විශේෂත්වයක් දෙන්නේ නම් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ නැත. ඒ වාගේම එම රට තුළ සාමකාමී වාතාවරණයක් පවතින්නේ ද නැත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ මිනිස් අයිතීන් තහවුරු වී තිබිය යුතු අතර එවැනි සමාජයක නීතියට ඉහළින් සිටින කිසිම පුද්ගලයකු නොමැත. නමුත් අප රටේ එවැනි තත්වයක් නැති බව අපි හොදාකාරවම දන්නෙමු. එසේ නම් පුළුල් බහු ජන ව්‍යාපාරයක් මේ වෙනස නැතිකිරීම සඳහා ද නොබියව පෙනී සිටිය යුතුය.

 

රාජ්‍ය යනු රටක ජනතාවගේ පොදු දෙයකි. ආගම යනු ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික දෙයකි. එනිසා රාජ්‍යය සහ ආගම එකිනෙකින් වෙන්ව පැවතිය යුතු අතර රාජ්‍යය නිර්ආගමික රාජ්‍යයක් බවට පත්කර ගත යුතුය. දියුණු සමාජයක් සඳහා ගමන් කිරීමට නම් මෙම අභියෝගයට ද නොබියව උර දීමට පුළුල් බහු ජන ව්‍යාපාරයන් ක්‍රියා කල යුතුය.

 

මේ කාරණා සම්බන්ධයෙන් නොනැවත කැරෙන පුළුල් සංවාදයන් සමාජය තුළ ඇති කර ගත යුතුය. මෙම කාරණා පහසු නැති බව අපි දන්නෙමු.

නමුත් නීතියේ ආධිපත්‍ය සහිත ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු වූ රටක් ඇති කර ගැනීමට නම්, එහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සැමටම භුක්ති විඳිය හැකි තත්වයකට ගෙන ඒමට නම්, මෙම කාරණා පිළිබඳව නොබියව සංවාදයක යෙදීමට අපට සිදුවේ.

රටක ප්‍රශ්න විසඳා ගැනීමට කෙටි ක්‍රම නොමැත. විශේෂයෙන්ම දීර්ඝ කාලීනව පසුබෑමකට ලක් වී ඇති සමාජයක මෙම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට, සංවාද කිරීමට අපට සිදුවෙයි.


අපි අතරම ඇති කල්ලිවාදී සංස්කෘතිය:


පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීමේදී අපට බලපාන තවත් බාධකයක් වන්නේ අපි අතරම ඇති කල්ලිවාදී සංස්කෘතියයි. කල්ලිවාදී සංස්කෘතිය යන්න ‍ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් නොව වැඩවසම් සංස්කෘතියේ නෂ්ටාවශේෂය. ඒවා තුළ ඇතිවූ කට්ටිවාදී ස්වරූපයන් සහ ඒවා තුළ ඇති නිර්ප්‍රජාතන්ත්‍ර වාදී ලක්ෂණ නිසාවෙන් පසු ගිය වකවානුවේ ලංකාවෙහි ක්‍රියාත්මක වූ බහුජන ව්‍යාපාරයන් හෝ සිවිල් සමාජ බලවේග පිළිබඳව ඒවායේ ක්‍රියාත්මක වූ බොහෝ දෙනකු කලකිරී සිටිති.

තවත් සමහර අවස්ථාවන්හි දී එවැනි සිවිල් සංවිධාන නායක නායිකාවන්ගේ පාරදෘශ්‍ය බවක් නැති ඒකාධිපති ස්වරූපය මෙන්ම ඒවා තුළ ඇති දූෂණ නිසා පිරිස් කලකිරී සිටිති.

එනිසා අඩුපාඩු සහ වැරදි සිදු වන විටදී අපට මේ දේවල් එකිනෙකා සමග විවෘතව කතා කිරීමටත්, වැරැද්දක් සිදු වන විට ඒ පිළිබඳව විවෘතව එකිනෙකා සමග කතා කිරීමේ සහ විවේචන තුලින් මේ වැරදි නිවැරදි කර ගැනීමේ අලුත් සංස්කෘතියක් මේ පුළුල් බහුජන ව්‍යාපාරයක් තුළ ඇතිකර ගැනීම අද අපිට ඇති වැදගත්ම අභියෝගයකි.

 

යම්කිසි විවේචනයක් කළ විට අපි පුරුදු වී ඇත්තේ එම විවේචනය කළ තැනැත්තා හෝ තැනැත්තිය සමඟ අමනාප වීමටයි. අප අතර ඇති විවිධ පුද්ගලික කෝන්තර සහ තරඟ නිසා විවිධ තලයන්හි අප එකම කාරණයක් ගැන වැඩ කරගෙන ගියා වුවද එක්ව වැඩ කිරීමට නොහැකි බවක්ද  දැකිය හැක. මෙවැනි භාවිතයන් වෙනස් කර ගැනීමට අපි අපවම ප්‍රශ්න කරන තැනට ආ යුතුව තිබේ.

 

ඇත්තෙන්ම ‍ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ඇති කර ගන්නේ නම් දුර්වලකම් කතා කර වැරදි සිදු වූ විට ඒවා පිළිබඳව විවේචන සහ ස්වයං විවේචනාත්මකව සලකා බලා ඒවා වෙනස් කරගෙන ඉදිරියට ගමන් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් මෙම පුළුල් ව්‍යාපාරයක් තුළ ඇති කර ගැනීමට අපට හැකිවනු ඇත.

නමුත් මා මීට ප්‍රථමයෙන් සඳහන් කළ පරිදි අප ජීවත් වෙන මේ සමාජයේ ඇති දුර්වලකම් හඳුනා ගෙන ඒවා වෙනස් කරගැනීමට අපම ඉදිරිපත් වෙමින් මෙම සමාජය තුළම අපට මෙම වැඩ කොටස කිරීමට සිදුව තිබේ. එනිසා මෙම කාරණයේ දී අප අතර ඇති බාධකයන් අපේ ම දුර්වලකම් නිවැරදි කර ගැනීමේ සංස්කෘතියක් වෙත අවතීර්ණ විය යුතුය. 



අපට කෙටි මාර්ග නොමැත.



‍ප්‍රජාතන්ත්‍රවාදය අහසින් වැටෙන දෙයක් නොවන බව අපි දන්නෙමු. ‍ප්‍රජාතන්ත්‍රවාදය සහතික වන්නේ යම් කිසි සමාජයක සියලු දෙනාගේම අයිතීන් තහවුරු වෙන තත්ත්වයක් ඇති වනවා නම් පමණි. මෙම ක්‍රියාදාමයට අවතීර්ණ වීම පහසු දෙයක් නොවේ.

පුළුල් බහුජන ව්‍යාපාරයක් අප සමාජය තුල ඇති කර ගැනීමට නම් අද මේ පවතින වසංගත තත්ත්වය තුළ පවා කතා කිරීමෙන් පමණක් එවැනි බලවේගයක් ගොඩනඟා ගත නොහැක.

 

එසේනම් අපට මෙම zoom අවදියෙන් එහා ගිය පුද්ගලයින් එකට එකතු වී සාකච්ඡා කරන, විවිධ පුද්ගලයින් එක කණ්ඩායමක එකට වැඩ කරන ප්‍රායෝගික බවක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යය.

 

පුළුල් බහුජන ව්‍යාපාරයක් සාකච්ඡා වලින් පමණක් ගොඩනැගිය නොහැක. මිනිසුන්ගේ අයිතීන් උල්ලංඝනය වූ තැන් වල, ඉතා කුඩාම ඒකකයක පවා අයිතීන් උල්ලංඝණය වූ අවස්ථාවන් වල, ඒවා පිළිබඳව කතා කරන, ඒවාට සහයෝගය දීමට සාමූහිකව මහපාරට එන බලවේගයක් ලෙස පෙළගැස්විය යුතුය.

එය මුල් අවධියේ දී ඉතා කුඩා විය හැකි නමුත් දිනෙන් දින එය වැඩෙන්නේ එසේ විවිධ ප්‍රශ්න වලට විවිධ අයගේ තේමාවන් වලට අප එක කණ්ඩායමක් ආකාරයෙන් එකට එකතුව ගමන් කරනවා නම් පමණි.

Teachers are engaged in protest campaigns

සමාජය තුළ කුළු ගන්වා ඇති බිය පහ කළ හැකි වන්නේ මෙවැනි ක්‍රියාමාර්ග තුළින් පමණි

 

උදාහරණයකට ගුරු අරගලය සිදු වන විට එයට සහයට අන අයද පාරට බහින්නේ නම්, ස්ත්‍රී අයිතීන් පිළිබඳව කතා කරන අයත් පාරට බහින්නේ නම්, යම් කිසි වැරදි හේතුවක් මත පොලිසියෙන් කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්නම්, පැහැරගෙන ගොස් ඇත්නම්, එසේ නැත්නම් සිරකරුවන් පිළිබඳව සටනක් මෙහෙයවන විට එම කාරණයට පමණක් ‍ක්‍රියාත්මක වන ක්‍රියාධරයින් පමණක් නොව වෙනත් මිනිස් අයිතීන් උල්ලංඝනයන් පිළිබඳව ක්‍රියා කරන මේ බලවේගය එකක් ලෙස ඒ එකිනෙකාට සහයෝගය දීමේ ක්‍රියාදාමයක් වෙත යොමු වන්නේ නම් එවිට බහුජන ව්‍යාපාරයක් ශක්තිමත් වැඩෙනු ඇත. එම භාවිතාව ඔවුන් දිරි ගන්වනවා ඇත.

එසේ එකිනෙකාගේ ප්‍රශ්නවලට පොදුවේ සහයෝගය දක්වමින් ඔහුගේ ප්‍රශ්නය හෝ ඇයගේ ප්‍රශ්නය මගේ ප්‍රශ්නය කර ගනිමින්, මෙය අපේ ප්‍රශ්නයක් බවට පත් කර ගැනීම තුළින් පමණි පුළුල් බහුජන ව්‍යාපාරයක ගමන් මග ගොඩනැගෙන්නේ. සමාජය තුළ කුළු ගන්වා ඇති බිය පහ කළ හැකි වන්නේ ඒ තුළින් පමණි.

 

ඇත්ත වශයෙන්ම අප සමාජය තුළ දැනට සමාජගත කර ඇති මාගේ ප්‍රශ්නයට පමණක් මා ඉදිරිපත් වන ඉතාම ආත්මාර්ථකාමී සමාජ සංස්කෘතියෙන් සමාජය එළියට ගෙන යා හැකි වන්නේ මිනිසා යනු සාමූහික සත්වයකු බව සාමූහිකව ක්‍රියාකර අප සමාජයට නැවත පසක් කර දීමෙන් පමණි.

 

මාගේ ප්‍රශ්නය මෙන්ම අනෙකාගේ ප්‍රශ්නය වෙත ද සංවේදී බව ඇති කර ගත හැකි වන්නේ, තමාගේ අයිතීන් මෙන්ම අනෙකාගේ අයිතීන්ද ලබා දිය යුතුය යන හැඟීම් ඇති කල හැකි වන්නේත් මෙසේ එකෙකුගේ ප්‍රශ්නයට සියලු දෙනා ඉදිරිපත් වන සංස්කෘතියක් ඇති කර ගැනීම තුළිනි. කොටින්ම අප සමාජය නැවත සහකම්පනයෙන් යුතු සමාජයක් වෙත අප ගෙන යායුතුය.

මෙම ගමන යාම පහසු නැති බව පැහැදිලිය. සමාජය තුළ ඇති දහසකුත් ප්‍රශ්න මූලික වශයෙන්ම දේශපාලන හේතූන් මත ඇති කළ ඒවා වුවත්, සංස්කෘතිය තුලින් තව තවත් ආ පස්සට ගමන් කරවා ඇති වුවත්, මේ තත්වයක් අභියෝගයට ලක් කරමින් එඩිතරව අප සමාජය තුළ ඇති දුර්වලකම් සාකච්ඡා කිරීමේ සංස්කෘතියක්, සංවාදයට ලක් කිරීමේ සංස්කෘතියක්, යටපත් කිරීමට එරෙහිව නැගී සිටිමේ අයිතීන් වෙනුවෙන් නැගී සිටීමේ සංස්කෘතියක් ඇතිකර ගැනීමට පුළුල් බහුජන ව්‍යාපාරයක් එකට වැඩ කිරීම ආරම්භ කළ යුතුය. එවැනි සංස්කෘතියක් ඇති කල හැක්කේ ද පුළුල් බහුජන ව්‍යාපාරයකට පමණක් බව මගේ විශ්වාසයයි.


WhatsApp Image 2021 10 25 at 1.11.54 PM(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික





ලේඛකයාගේ වෙනත් ලිපි :

පුළුල් දේශපාලන සන්ධානයක් කුමට ද ? - රංජිත් හේනායක ආරච්චි

බලය නොඅල්ලා බලය සමඟ කේවල් කරන බහුජන ව්‍යාපාරයක් ! - රංජිත් හේනායක ආරච්චි

හදිසි නීතිය අහෝසි කිරීමට එක් වෙමු - INSD ආයාචනයක්  

ෆැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව




නාමල් අභිබවා ගිය පොඩි බණ්ඩා නිසා අප්පච්චි අවුලක ? | The Leader TV



භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!!



රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්