සන්ධ්‍ය දැන් ඇවිල්ලා ඉන්නේ සුදු ඔසරිය ගලවලා කළු ඔසරියක් ඇදගෙන. තිශූලයක් අරගෙන. රතු සළුවක් අරගෙන. ඇගේ තෝරා ගැනීම කාලී. යක්ෂ කාලී.

 

අපිට සන්ධ්‍යාව නිතර දකින්නට ලැබෙන්නේ සුදු ඔසරියකින් සැරසිලා ඉන්න ගැහැණියක්. ගැහැණියක් සුදු ඇදගෙන ඉන්නවා කියන්නේම ඒකේ තියෙනවා කිසියම් සංස්කෘතික කියවීමක්.

සංස්කෘතිය විසින් සන්ධ්‍යාව තැන්පත් කරලා තියනවා. සංස්කෘතික පුරුදු ඉදිරියට අරගෙන යන්න මේ බල ව්‍යපෘතිය තුළ තෝරා ගන්නේ සෑම විටම කාන්තාවෝ. ඒක තමා පුරුෂාධිපත්‍යයේ ස්වභාවය.

ඒ විදිහට සංස්කෘතිය විසින් තැන්පත් කරපු කාන්තාවාන් අපිට ලැබුණු දේ උරුමය කියලා සියල්ල මෙත් සිතින් ඉවසාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි  කාන්තාවන් මේ සංස්කෘතික ඉගැන්වීම් පරිස්සමට අරගෙන යනවා ජීවිත කාලය පුරාම.  

මේක සමාජානුයෝජනය හරහා අලුත ඉපදෙන බිළිඳියටත් බිළිඳාටත් සංස්කෘතිය දායදාය කරනවා කියලා මේ ඉගනුම් හරිම සියුම් විදිහට සමාජ ආකෘතියකට ආරෝපණය කරනවා. මෙම ඇගයුම් අනුගමනය කරනවාද යන්න  මෙම සංස්කෘතික පොලීසිය විසින් නිතර අධීක්ෂණය කරනවා.


කාන්තාවෝ සුදු අදින්න තීරණය කළ අය අතර සිටින සමාජයේ ප්‍රභූ පන්තිය නියෝජනය කරන ස්ත්‍රීන් අපි දකිනවා. ඔවුන් සුදු ඇදගෙන ඉන්න ගමන් සමාජයටත්  කිසියම් ආකාරයක ආකර්ශණයකුත් සංකේතාත්මක වටිනාකමක් ලබා දෙනවා. ඒ සඳහා බලපාපු කරුණු අතර, සැමියා මිය යාම, දරුවා මිය යාම නිසා ඒ ඇතිවුණු මානසික කම්පනය සඳහන් කරනන පුළුවන්. පශ්චාත් ව්‍යවසන ආකූලතා, ශෝකය  දරා ගන්න අභ්‍යන්තර මෙන්ම බාහිර ශක්තියක් ද දෙනවා. බාහිර ශක්තියක් කියලා කියන්නේ ආකර්ශණයකුත් දෙනවා. ඒ ආකාරයේ ජීවන සංසිද්ධි වලින් සමන්විත පිරිමියා දෙස බලන ඇස ඔවුන්ගේ ජීවිතය සාධාරණීය කරනවා.

 

'පිරිමියා මේ මාර්ගය තෝරා ගන්නේ නෑ.'


නමුත් සැලකිල්ලටම ගන්න ඕන කාරණාව පිරිමියා මේ මාර්ගය තෝරා ගන්නේ නෑ. පිරිමියාට සංස්කෘතිය පොලීසිය විසින් වෙනම යාන්ත්‍රණයක් ලබාදෙනවා. ඒ යාන්ත්‍රණය තුළ පිරිමියාට බාහිර සමාජය සෑම විටම ආරක්ෂිත පරිසරයක් ගොඩනගනවා. එහෙම ලැබෙන්නේ ඒ බල ව්‍යපෘති ගොඩනගන්නේ පිරිමියා නිසා. පවුල ආගම දේශපාලනය සහ අධ්‍යාපනය ආර්ථිකය සෑම සමාජ සංස්ථාවකම මේ බල ව්‍යාපෘති පුරුෂයා විසින් ගොඩනගමින් ඉන්නවා. මෙහෙයවනවා.

 ඒ නිසා ගැහැණිය ඒ බල ව්‍යපෘතියේ හස්තයට සවිඥාණිකව නතු වෙනවා. සංස්කෘතිය පොලීසිය විසින් ප්‍රතිනිර්මාණය කළ ගැහැණිය නිරන්තරයෙන් සමාජ ආරක්ෂාව සහ සානුකම්පාව අපේක්ෂා කරනවා. ඒක තනි පුද්ගලයෙකු වශයෙන් ගැහැණියගේ කැමැත්ත නෙමෙයි. සංස්කෘතිය විසින් ඇයට පටවා තිබෙන දේ.  

 

විශේෂයෙන් යුද්ධය වැනි තත්ත්වයන් ගොඩනැඟෙන්නේම පුරුෂයා මූලීක කරගෙන ඇතිවන බල අරගල වල ප්‍රතිළුලයක් විදිහටමයි. ඒ නිසා ඒවායේ සෘජු සහ අතුරු ළුල කාන්තාවන්ට භූක්ති විඳින්නට සිදුවෙනවා. එය ස්වාමියා, දරුවා මිය යෑම නිසා ඇතිවෙන කම්පනය දරාගෙන ජීවිතයට මුහුණ දෙන්න වෙනවා.  

 

මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් ගැහැණිය පශ්චාත් ව්‍යවසන ආකූලතා දරාගන්නත්, සමාජ ආරක්ෂාව සහ සානුකම්පාව එකවිට ලබාගන්නත් උත්සාහ කරනවා. තමන්ගේ අවිඥාණයේ තැන්පත් වී තිබෙන සංස්කෘතික ගැහැණිය ප්‍රායෝගික තලයේ දී පවත්වාගන්න උත්සාහ කරනවා.

එවන් සංස්කෘතික ගැහැණියට සැමියා මිය යාම වැනි තත්වයක දී පවා, ඇයගේ ආරක්ෂාව ගිලිහි ගිය තැන දී කුටුම්භයේ බාහිර ආරක්ෂාව තහවුරු කරගැනීමට නිරන්තර උත්සාහයක යෙදී සිටිනවා. එය අපි නිතර අත් දකිනවා.

උදාහරණයක් වශයෙන් ගත්විට, මගේ ජීවිත කාලය පුරාම පේවෙනවා කියාලා කියන්න පුළුවන් වෙනවා. පවුලේ අභ්‍යන්තර ආරක්ෂාව ද බාහිර ආරක්ෂාව ද  සංස්කෘතික පොලීසියටත් අනුකූල වෙනවා. ඒ වගේම සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමේ වගකීම බොහෝවිට කාන්තාව විසින් සිදුකරනු ලබනවා.  

සුදු පැහැය ඇගේ බාහිර සමාජය සමඟ සම්බන්ධතා පැවැත්වීමේ ඇදුම ලෙස ඇය තෝරාගන්නවා. ඒ විතරක් නොවෙයි  නිර්මාශීක වෙනවා. සැමියා ජීවත්වෙලා හිටපු කාලේ සිදුකළ සමහර ජීවන පැවතුම් අත්හරිනවා. ගමන් බිමන් නතර කරනවා. ඇයට සංස්කෘතිය විසින් හිමිකර දුන් ඇවතුම් පැවතුම් ඇතුළු සංස්කෘතික ආධ්‍යාත්මය බොහෝවිට ඇය තෝරා ගන්නවා. ඒවා පහසු කාර්යයන් නොවෙයි. ඒත් ඒවා පවත්වාගෙන යන්නට සංස්කෘතිය පොලීසිය බල කරනවා. ඒ නිසා සමහරු තම පෞද්ගලික ජීවිතය කැපකරනවා. ඒ තමයි අපිට දකින්නට ලැබෙන ගැහැණිය.

 

පශ්චාත් නුතනවාදී ස්ත්‍රීවාදීන් සඳහන් කළා වගේම හැම ගැහැණියක් වෙනස්. එයාගේ අනන්‍යතාවය වෙනස්. එයා අයත්වන කුලකය වෙනස්. ජනවර්ගය, කුලය, නාගරික ග්‍රාමීය ප්‍රබේදය, වයස, ජීවත්වන රට සංවර්ධිත ද සංවර්ධනය වෙමින් පවතින රටක් ද ආදී වර්ගීකරණයට අනුව මේ ස්ත්‍රීන්  ලක්කළ හැකියි.

 

නමුත් මෙම කාන්තාවන්ට සැමියා මිය යෑමත් සමඟ ඇතිවන ආර්ථික දරිද්‍රතාවය වගේම සමාජ අපහරණයන් වලට ද මුහුණ දෙන්න වෙනවා.


ප්‍රභූ පංතිය තුළ සුදු ඇදගෙන ඉන්න ස්ත්‍රීන් වගේම ගමේ ගොඩේ සිලාට සුමනාලාට එහෙම පේවෙන්න වෙන්න‍ෙ නෑ. දවසක් දෙකක් හැපි හැපි අඩනවා. සමහර වෙලාවට අවසාන  දවසට අදින්නත් සුදු ඇදුමක් නෑ. මොකද ඇයට මේ විදිහට සුදු ඇදගෙන හිටියෝත් හෙට බඩගින්නේ ඉන්න වෙන නිසා. දරුවන්ටත්  බඩගින්නේ ඉන්න වෙන නිසා. ඒ නිසා ඇගේ අභ්‍යන්තරය ඇයව සුදානම් කරනවා ඇයට තියෙන ආර්ථික සාධාරණත්වය සහ සමාජ සාධාරණත්වය ලබා ගැනීමට.



සන්ධ්‍යයා සුදු ඇදගෙන හිටියත් එයා අයිති වෙන්නෙත් මේ කුලකයේ කාන්තාවන්ගේ සමූහයටයි. ඇයට සැමියාව අහිමිවීමත් නිසා ආර්ථික බලය අහිමි වෙලා තියනවා. ඒ වගේ ම ඇගේ සැමියා  ජීවත්වන කාලයේ හැප්පුණේ සිංහල බෞද්ධ බල ව්‍යාපෘති සමඟත් සාධාරණ සමාජයක් ඩෙනැගීම සදහා අයිතිවාසිකම් මූලීක කරගත් සමාජයක් නිසා සැමියාව අහිමි වුවත් ඇය කෙරෙහි සමාජ දෘෂ්ඨිය වෙනස්.



ඇයට සමාජය තුළ ස්ථානගත වෙන්නේ සාමාන්‍ය වැන්දඹු කාන්තාවකට සාමාන්‍ය සමාජය හෙළන සානුකම්පිත දෘෂ්ඨිය නෙවෙයි. ලංකාවේ සිංහල බෞද්ධ  බල ව්‍යාපෘති යොදාගෙන ව්‍යාජ ජාතික ආරක්ෂාව මුවාවෙන් සිංහල ජනතාව උත්කර්ශයට නඟන ජාතික බල ව්‍යාප්තිවල භූවල්ලාට අසුවුණු බෞද්ධ සමාජයේ නිර්මල හදවත් සන්ධ්‍ය කෙරෙහි සානුකම්පාවක්  ගොඩනඟන්නේ නෑ.

මේ බලව්‍යපෘති තුළ ඇති ආධිපත්‍යය නිසා සත්‍යය වසන් වෙනවා.  සන්ධ්‍යා මේ සියලු සංසිද්ධි ගැන අවබෝධයි. ඒ නිසා  ඇගේ සියලු සමාජ හැසිරීම් තීරණය වන්නේ  සිංහල බෞද්ධ බල ව්‍යපෘති සමඟ හැප්පෙන විදිහට. සිංහලෙන් කිව්වොත් ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තබාම කැපීම.

සන්ධ්‍ය නැමැති සංස්කෘතික ගැහැණිය සංකේතාත්මක සුද ඇදගෙන හිටියාට සුදු ඇදගෙන පේවෙන්න බෑ. බල ව්‍යප්තිත් එක්ක හැපෙන්නයි තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මේ ක්‍රමය ගැන සංස්කෘතික ගැහැණියක් විදිහට සවිඥාණිකයි.

 

සැමියා ඝාතනය වුණාට පස්සේ ඇය අවුරුදු 12ක් උසාවි ගානේ රස්තියාදු වුණා. ආගමේ සැබෑ හරය දන්න නැති දාමරික පුජකවරුන්ගෙන් බැණුම් අහන්න වුණා. රට පාවලා දෙනවා කියලා බැණුම් අහන්න වුණා. ජාතියේ නාමයෙන් ඇයට ඉවසන්න වෙනවාලු. ඒ වේශය එන්නෙත් කලින් සදහන් කළ සංස්කෘතික බලවේගම තමයි. යටපත් කිරීම. හිලෑ කිරීම.

 

නමුත් සන්ධ්‍ය සංස්කෘතිය විසින් සිදුකරන හිලෑ කිරීම තුළ එහෙමම ඉන්නේ නෑ. මේ ක්‍රමය පිළිබදව ඇති සිවිඥාණිකත්වය නිසාම අතුරුදහන් වූ සැමියා පිළිබදව යුක්තිය ඉල්ලන යකඩ ගැහැණිය බවට පත්වෙනවා. වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒක හරි අහිසංක ඉල්ලීමක් නෙමෙයි.

 පත්තිනි මෑණි හොයාගෙන ගිහිල්ලා ගෙයක් ඉල්ලන එකවත් විභාගේ පාස්කර දෙන්න කියන එකවත් රැකියා ඉල්ලන එකවත් නෙවෙයි ඉල්ලන්නේ. සංදේශයක් අරගෙන යන්නේ. අයුක්තියේ අදුර හැම පැත්තෙන්ම වෙළාගෙන තිබෙන බව අවබෝධයෙන් එකදු පහනක් හෝ දල්වන්නට ගන්නා උත්සාහයක් ලෙසයි මධ්‍යස්ථව දකින කෙනෙකුට නිරීක්ෂණය වෙන්නේ.

සන්ධ්‍යා සවිඥාණික ගැහැණියක් නිසා කාලිගේ මාතෘත්වය පිළිබඳ සංකල්පය නෙමෙයි අල්ලන්නේ.  කාලි පුරාවෘත්තයේ ඇති යක්ෂ බලය. ඒ නිසා ඇය කපුරු එළියෙන් ආලෝකමක් වුණු පොල් ගෙඩියක් රැගෙන යාදීන්නක් සේ  භද්‍රකාලී වී නැගි සිටින්නේ මනුෂ්‍යත්වය අයිතිවාසිකම් සහ සමානාත්මතාවය නොපෙනෙන බලවේගය මගින් ලබා ගන්න.

ඇයගේ මේ තෝරා ගැනීම සිදුකරන්නේම මේ බලව්‍යවෘතිවල ආධිපත්‍යය ස්වරූපය හා හැසීරීම් රටා ඇති අවබෝධය නිසා.

ඒ නිසා සන්ධ්‍ය දැන් ඇවිල්ලා ඉන්නේ සුදු ඔසරිය ගලවලා කළු ඔසරියක් ඇදගෙන. තිශූලයක් අරගෙන. රතු සළුවක් අරගෙන. ඇගේ තෝරා ගැනීම කාලී. යක්ෂ කාලී. තෝරාගන්නවා කාලිගේ මව්වත් බව අතහැරලා යක්ෂවේශය ගන්නෙ. කාන්තාවන් මෙතරම් බියගුළු නොවිය යුතුයි කියන්න. ඇයට අහිමි බලව්‍යප්ති අතට ගන්නවා.

 මහා සාගරයේ ඇහෙන ඝෝෂාවත් එකක් ඇය කාන්තාවගේ එක් සංකේතාමක වටිනාකමකින් නිදහස් වෙනවා. තට්ටේ භූ ගානවා. සමුද්‍ර ඝෝෂයත් එක්ක හිස කෙස් මහ මුහුදේ පාකරනවා. එතැනින් නතර වෙන්නේත් නෑ මෝදර කාලි කෝවිලට එනවා පුජා වට්ටියක් අරගෙන.. මා නොලිව්වාට ඇය මුමුණපු දේ ඔබට ඇහෙන්න ඇති.


අවුරුද්දක් පාසා තනි ගැහැණියක් විදිහට ප්‍රගීත්ගේ අතුරුදහන්වීම සම්බන්ධව සාධාරණයක් ඉටු කිරීමේ  අරගලය අරගෙන යනවා. සිංහල බෞද්ධ බල ව්‍යාපෘති එක්ක හැප්පෙනවා. සැමියාගේ අතුරුදහන් වීම නිසා පශ්චාත් ව්‍යවසනයකට මුහුණ දීලා ඉන්න ගැහැණියෙක් විදිහට ඇයගේ අභ්‍යන්තර ඉල්ලා සිටිනවා මේ අරගලය ඉදිරියට අරගෙන යන්න.  

ඇය මේ ක්‍රමය පිළිබවඳව සවිඥාණික නිසා ඇගේ අභ්‍යන්තරය අභිප්‍රේරණය කරනවා. ඒක ඇයගේ අයිතිය. අපිට නැති වුණා ජනමාධ්‍යෙව්දියෙක්. ඇයට නැති වුණා සැමියෙක්. දරුවන්ට තාත්තෙක් නැති වුණා. කාන්තාව සියළු දුක් විඳදරාගෙන ඉන්න ඕන නෑ කියන එක භාවිතයෙන් ඔප්පු කර පෙන්නවන්නට යොදාගන්නෙත් මේ සංස්කෘතික ඉගැන්වීම්ම තමයි.

අපේ ජීවිත උදේ පාන්දර සිට දිනය අවසන් වනතාක් අපි ඉල්ලා සිටින්නේ අපේ අභිලාශයන් ඉටුකර දීම. ආගමික මිථ්‍යාවන්ගේ පිහිට පැතීම. ඒ සදහා  ජෝතිශ්‍යය විසින් අපිව විවිධ පුද පුජා අභිචාර සමග අපිව අනුකූල කරනවා. රට කරවන්නත් රාජ්‍ය බලය ලබා ගැනීම සදහා සහ රාජ්‍යය බලය පවත්වාගෙන යාම සදහා  ජනතාව මිථ්‍යාවේ ගිල්වනවා. ඔවුනුත් ගිලෙනවා. කරවටක් ගිලෙනවා.  

සන්ධ්‍යයා මහ මුහුදු විමානේ ඉදන් යාදින්නේ ඒකයි. සන්ධ්‍යා මේ මිථ්‍යාව සහ මේ උමතුව හොදින් දන්නා ගැහැණියක්. සමාන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් හදුනාගෙන දිය යුතු ප්‍රතිකාරය අහිංසක ප්‍රතිකාරයක් නොවන බව තේරුම් ගන්නවා.

 

සංස්කෘතිය විසින් හිලෑ කළ සන්ධ්‍ය මෙහි ඇති මනෝවිශ්ලේෂණය හදුනා ගන්නවා. ඇගේ තේරීම මෙවැනි ආකාරයේ විශ්වාස ඇති සමාන රෝග ලක්ෂණ ඇති අයට කාලි අම්මාගේ ප්‍රතිකාරය නොව කාලි යක්කිණීයගේ ප්‍රතිකාරයයි. මානවවිද්‍යාඥ ගණනාත ඔබේසේකරගේ අධ්‍යයන වන The Cult of Goddess Pattini at a time of Pandemic , Medusa's Hair සිහිපත් වෙනවා.  

 

මානව විද්‍යාවෙන් සන්ධ්‍ය ප්‍රතිකාර හොයගන්නවාද?  මානව විද්‍ය සාහිත්‍යයට සන්ධ්‍යයා නව දැනුමක් නිෂ්පාදනය කරනවාද? මිථ්‍යාව ජාතිකත්වය කරගෙන රටක ඉදිරියේ දී යාතුකර්ම අධ්‍යයනයේ දී සන්ධ්‍යයාගේ ස්ත්‍රීත්වය සහ බලව්‍යප්ති වලට දඩුවම් කිරීමේ කලාව  මානව විද්‍යා අධ්‍යයනවලට අහුවිය හැකිය.

සන්ධ්‍යයාට මානව විද්‍යාත්මක අධ්‍යයන වඩා හොදින් පරිකල්පනය සදහා සාධාරණත්වය ඉල්ලා සිටිමේ බල ව්‍යප්තිය පවත්වා ගැනීම සදහා පරිශිලනය කළ හැකියි. සංස්කෘතික මනෝ විශ්ලේෂණය පිළබද  කියවීම් සහ සංජානනයන් පිළිබදව ගණනාත ඔබේසේකරගේ මානවවිද්‍යා විශ්ලේෂණ මගහැර සන්ධ්‍යයාව  කියවන්න අපිට බැහැ.

එසේම සන්ධ්‍යයාගේ සැමියාට සිදුවූ අසාධාරණයට සාධාරණය ඉෂ්ඨ කරගැනීමටත් ඒ හා සමානව ඝාතනයන්ට ලක් වූ උතුරේ ද දකුණේ ද මානව අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වූ ජනමාධ්‍යෙවේදීන් ද සිහිපත් කිරීමට ද හඩක් නැඟීමට ද මේ මොහොත අවස්ථාවකර කරගත යුතුයි.

 සන්ධ්‍යයාගේ මෙම අරගලය තනි ගැහැණියකගේ අරගලයක් නොවන අතර තනි තනිව සිදුකරන අරගල සාමුහික අරගල බවට පත්විය යුතුයි. නීතියේ සාධාරණත්වය ඉටුවන යුක්තිගරුක සමාජයක් ගොඩනගා ගැනීමට පුරවැසියන් සක්‍රීය මෙන්ම සවිඥාණික විය යුතුයි.

 

WhatsApp Image 2021 10 19 at 12.42.36 PM(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022.01.26

(චන්දිමා ජයසේන ෆේස්බුක් පිටුවෙන්...)



ලේඛිකාවගේ වෙනත් ලිපි :

ජංගි හොරා : සෝමේ මාමාගේ වැඩිවිය පැමිණිම - (චන්දිමා ජයසේන)

විකල්ප දේශපාලනයේ නව දිශානතින් -චන්දිමා ජයසේන

පෙම්වතුන් වසංගතයන්ට ගොදුරුවිය හැකියි- කොවිඩ් හනිමුන්  


  

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්