යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ කොමිෂන් සභාවේ 24 වැනි රැස්වීම පෙබරවාරි 8 වැනි දින බ්‍රසල්ස්හි දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා රජය

විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සඳහා සංශෝධන පනත් කෙටුම්පතට වැදගත් අංගයන් ඇතුළත්කර නොමැති බව යුරෝපා සංගමය සඳහන් කළේ ය.

 

එම රැස්වීමේදී තවදුරත් යුරෝපා සංගමය පවසා ඇත්තේ බොහෝ යුරෝපීය නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළුවීම වළක්වන ආනයන සීමාකිරීම් වහාම ඉවත් කරන ලෙස.  කම්කරු අයිතිවාසිකම් සහ මූලික නිදහස ක්‍රියාත්මක කිරීමේ දී තවදුරටත් පවතින බාධාවන් ඉවත් කිරීම හා එහි ප්‍රගතිය පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් ලබා දෙන ලෙස ද යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.

 

මෙහිදී මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමග සහයෝගීතාව සහ සම්බන්ධ වීම අඛණ්ඩව පවත්වා ගැනීම, ස්වාධීන ආයතනවල ස්වාධීනත්වයේ සහ ඵලදායී ක්‍රියාකාරිත්වයේ වැදගත්කම, සිවිල් සමාජය සවිබල ගැන්වීමේ වැදගත්කම සහ එහි සියලු විවිධත්වය තුළ ක්‍රියා කිරීමට අවශ්‍ය අවකාශය ලබා දීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අවධානය යොමුකර ඇත.

යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ ආසියා සහ ශාන්තිකර කලාපීය නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පැවෝලා පැම්පලෝනි සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ සම මුලිකත්වයෙන් මෙම රැස්වීම පවත්වන ලදී.

මෙම හමුවේ දී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සමාලෝචනය කරන ලද අතර, ද්විපාර්ශ්වික වශයෙන් උනන්දුවක් දක්වන පාලනය, සංහිඳියාව, සහ මානව හිමිකම්වල සිට, වෙළඳ කටයුතු, සංවර්ධන සහයෝගීතාව, දේශගුණික විපර්යාස සහ පරිසරය, ආංශික සහයෝගීතාව, ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිවීම සහ බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගීතාව දක්වා විහිද යන පුළුල් පරාසයක මාතෘකා පිළිබඳ අදහස් හුවමාරුකර ගැනීම සහ යාවත්කාලීනකිරීම් සිදුවූ බව විදේශ අමාත්‍යංශය පැවසීය.

යුරෝපා - ශ්‍රී ලංකා මීළඟ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම 2023 වසරේ කොළඹ දී කැඳවීමට නියමිතව ඇත.


මෙම රැස්වීමේ දී සාකච්ඡාවූ ප්‍රධාන කරුණු:


(01) - මානව හිමිකම් තත්ත්වය:


මෙම රැස්වීම යුරෝපා සංගමයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රවණතා, අදාල ක්‍රියාමාර්ග සහ ව්‍යවස්ථාදායක මුලපිරීම් පිළිබඳ යාවත්කාලීනකිරීම් සඳහා අවස්ථාවක් ලබා දුන්නේ ය.

ප්‍රජාතන්ත්‍රවාදය, පාලනය, නීතියේ ආධිපත්‍යය; සුළු ජාතීන්, කාන්තාවන්, ළමා හා කම්කරු අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ හා ඇසුරු කිරීමේ නිදහස පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවිය.

විශේෂයෙන් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR), ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ඇතුළුව, සංහිඳියාව සහ ස්වාධීන ආයතනවල ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව විසින් දැනුවත් කළ බව විදේශ අමාත්‍යංශය මාධ්‍ය වෙත මුදාහැරි ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කළේ ය.

මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමග සහයෝගීතාව සහ සම්බන්ධ වීම අඛණ්ඩව පවත්වා ගැනීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දැඩි ලෙස දිරිමත් කළබවට එහි තවදුරටත් සඳහන් විය.

මෙම සන්දර්භය තුළ, යුරෝපා සංගමය ස්වාධීන ආයතනවල ස්වාධීනත්වයේ සහ ඵලදායී ක්‍රියාකාරිත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය.

සිවිල් සමාජය සවිබල ගැන්වීමේ වැදගත්කම සහ එහි සියලු විවිධත්වය තුළ ක්‍රියා කිරීමට අවශ්‍ය අවකාශය ලබා දීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය.

යුක්තිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රතිසන්ධානය සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට අඛණ්ඩව කැපවන බව යුරෝපා සංගමය යළි අවධාරණය කළේ ය.


(02) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සඳහා සංශෝධනය:


ශ්‍රී ලංකාව සිය කැපවීම් සපුරාලීමේ දී, භූමියේ දී මැනිය හැකි, ස්පෘෂ්‍ය සහ සත්‍යාපනය කළහැකි ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා වූ තම අරමුණ යළි අවධාරණය කළේ ය.

මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම යුරෝපා සංගමයේ පිළිගැනීමට ලක්වූ බවට එහි සඳහන් වේ.

කෙසේ වෙතත්, ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධන පනත් කෙටුම්පතට වැදගත් අංගයන් ඇතුළත්කර නොමැති බව යුරෝපා සංගමය සඳහන් කළේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පූර්ණ ලෙස අනුකූල කිරීම සඳහා තවදුරටත් පියවර ගැනීම පිණිස, ශ්‍රී ලංකාව යුරෝපා සංගමය ප්‍රකාශ කළ අදහස් සැලකිල්ලට ගත් බවට විදේශ අමාත්‍යංශය පැවසීය.

 

තාවකාලිකව, පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද නියෝග ආකාරයෙන් ගෙන ඇති පරිපාලනමය පියවරයන් සැලකිල්ලට ගනිමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය අඛණ්ඩව අඩු කරන ලෙස සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නොමැතිව රඳවාගෙන සිටින අය ඇප මත මුදා හැරීම සඳහා වැඩිදුර ප්‍රායෝගික හා පරිපාලනමය පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ ය.

 

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප රහිතව මාස 22ක් රැදවුම්භාරයේ තබාගත්තේ මෙම පනත අනුව ය

 

(03) - ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව:


ආරක්‍ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි ක්‍ෂේත්‍රයේ පවතින සහයෝගිතාව පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව සමාලෝචනය කළහ.

දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යුරෝපා සංගමය විසින් අඛණ්ඩව ලැයිස්තුගත කිරීම ශ්‍රී ලංකාව අගය කළේ ය.

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ජාත්‍යන්තර ප්‍රතිමාන හා ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ. සමුද්‍රීය වසම් දැනුවත්භාවය පිළිබඳ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඔවුහු කැමැත්ත පළ කළහ.


(04) - ආනයන සීමා ඉවත් කිරීම:


යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික වෙළඳ සබඳතාවල වැදගත්කම මෙහිදී අවධාරණය කර ඇත.

බොහෝ යුරෝපීය නිෂ්පාදන තම වෙළඳපොළට ඇතුළුවීම වළක්වන ආනයන සීමාකිරීම් වහාම ඉවත් කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ ය.

මෙහිදී, ගෝලීය වසංගතයේ බලපෑම හේතුවෙන් ඇති වූ විදේශ විනිමය හිඟය නිසා, තාවකාලික පියවරක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තාවකාලික ආනයන සීමා පනවා ඇති බව ශ්‍රී ලංකාව පැහැදිලි කළේ ය. මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩ හා ප්‍රගතිශීලී සමාලෝචනයකට යටත්වන බව ද ශ්‍රී ලංකාව සඳහන් කළ බවට එම නිවේදනයේ සඳහන් වේ.


(05) - GSP+


රටේ තිරසාර සංවර්ධනය සඳහා GSP+ පාලනය මඟින් ලබා දෙන වටිනා දායකත්වය ශ්‍රී ලංකාව මෙහිදී අගය කරනු ලැබීය.

2021 සැප්තැම්බර් මස පැවති GSP+ අධීක්ෂණ මෙහෙයුමේ දී ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන්ගේ ඵලදායී මැදිහත්වීම යුරෝපා සංගමයේ පිළිගැනීමට ලක්විය.

GSP+ යෝජනා ක්‍රමය මඟින් ආවරණය වන මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සුරැකීම සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27 සඳහා ශ්‍රී ලංකාව අනුකූල වීම දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කරන ලදී.

මෙම සම්මුතීන් 27 ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යළි අවධාරණය කළ අතර, වෙනස්කම් නොකිරීමේ මූලධර්මය පිළිපැදීම සහ කම්කරු අයිතිවාසිකම් සහ මූලික නිදහස ක්‍රියාත්මක කිරීමේ දී තවදුරටත් පවතින බාධාවන් ඉවත් කිරීම පිළිබඳව සඳහන් කළේ ය.

එහි ප්‍රගතිය පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් ලබා දෙන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ ය.


(06) - කොවිඩ් පාලනය


කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ ඵලදායී එන්නත් ක්‍රමෝපාය පිළිබඳව යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සුබ පැතීය.

වසංගතය විසින් උග්‍ර කරන ලද අනතුරුදායක තත්ත්වයන් සහ අසමානතා පිළිබඳව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරමින්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට සාධාරණ හා සාධාරණ ලෙස කොවිඩ්-19 එන්නත ප්‍රවේශ කිරීමට සඳහා වන තම කැපවීම පිළිබඳව යුරෝපා සංගමය ප්‍රකාශ කළේ ය.

ගෝලීය එන්නත් සාධාරණත්වය සඳහා යුරෝපා සංගමය ලබා දෙන අඛණ්ඩ දායකත්වය ශ්‍රී ලංකාව අගය කළේ ය.


(07) -නීතිවිරෝධීව මසුන් ඇල්ලීම:


නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම වැළැක්වීම සහ තුරන් කිරීම සහ හවුල්කාරීත්වයේ කැපවීම්වලට ගරු කිරීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය.

සංක්‍රමණය සහ නැවත ඇතුළත් කර ගැනීම සම්බන්ධ ගැටලු ද සාකච්ඡා කෙරිණි.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ධීවරයෝ පසුගිය ඔක්තෝබරයේ දී මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදේ ධීවර විරෝධතාවක් ද පැවැත්වූහ.

 

(08) - අධ්‍යාපන සහයෝගීතාව:


'ඉරාස්මස්+' වැඩසටහන, 'මාරී-ස්ක්ලොඩොවුස්කා-කියුරී' වැඩසටහන සහ 'හොරයිසන් යුරොප් ෆ්‍රේම්වර්ක්' වැඩසටහන යටතේ උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ සහ තාක්ෂණික සහයෝගීතාව ගැඹුරු කිරීමේ මාර්ග පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර අදහස් හුවමාරු විය.


(09) - දේශගුණික විපර්යාස:


දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) යටතේ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කිරීම සහ අපේක්ෂාසහගත ඉලක්ක සඳහා රටේ කැපවීම යුරෝපා සංගමය පිළිගත්තේ ය.

දේශගුණික ක්‍රියාකාරකම් සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වේදිකාවල දී ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය අපේක්ෂා කරයි.

27 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP27) පෙරාතුව පවතින ප්‍රමුඛතා පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් හුවමාරුකර ගත්හ.


(10) - "ගෝලීය දොරටුව" (Global Gateway):


යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව නීති රීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙලක් සහ ඵලදායී බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සිය කැපවීම අවධාරණය කළහ.

ඉන්දියන් සාගරයේ කලාපීය ප්‍රවණතා සහ සහයෝගීතාව පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

2021 දෙසැම්බර් 1 දින දියත් කරන ලද, ලොව පුරා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන ප්‍රධාන ආයෝජන සඳහා වන නව යුරෝපා සංගම් සැලැස්ම වන "ගෝලීය දොරටුව" (Global Gateway) යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලදී. මෙම මුලපිරීම ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලැබීය.

හරිත ප්‍රතිසාධනය සහ සියල්ල ඇතුළත් සාමකාමී සමාජය කෙරෙහි අවධානය යොමු කරන බහු-වාර්ෂික දර්ශක වැඩසටහන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා සහය දක්වන බව, සහ යුරෝපීය හරිත ගිවිසුමේ බාහිර මානයන් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ සහයෝගීතාවය සඳහා වන යුරෝපා සංගම් උපායමාර්ග සමග සමපාත වන බව යුරෝපා සංගමය සඳහන් කළේ ය.

යුරෝපා සංගමයේ සංවර්ධන සහයෝගීතාවය අගය කරමින්, එය ශ්‍රී ලංකාවේ ජාතික සහ සංවර්ධන ප්‍රමුඛතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කළේ ය.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව බහුවාර්ෂික දර්ශක වැඩසටහනේ යටතේ ඒකාබද්ධ ප්‍රමුඛතා මත එක්ව කටයුතු කිරීම සඳහා සිය කැපවීම ප්‍රකාශ කළහ.


(BBC සිංහල සේවය)

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්