මීට අවුරුදු දහයකට විතර කලින් නැගෙනහිර ශ්‍රී ලංකාවේ වාසය කරන ස්ත්‍රීන් කණ්ඩායමක් එක්ක මම මාස කීපයක් තිස්සේ වැඩ කළා.



අපේ කණ්ඩායමේ සිටි වැඩිමහලු ම ස්ත්‍රිය වුණේ සවුන්දරී අම්මා. ඇගේ වයස අවුරුදු පනහක් වුණත් මට ඇය පෙනුණේ ඊට වඩා වයස්ගත කෙනෙක් වගේ. මාඵ අල්ලලා විකිණීම තමයි ඇගේ ජිවිකාව වුණේ. ඇගේ දරුවන් තුන් දෙනෙක්ම ඒ වෙනකොට ඇයට අහිමි වෙලා. මරා දැමූ තම දියණියගේ සිරුර ඉල්ලා බලධාරීන් හඹායන අතරතුරේදීම, ඇයට මුණුබුරු මිණිපිරියන් හදාවඩාගන්නත් සිද්ධවෙලා තිබුණා. ඒ කාරිය කරන්නට වෙනින් කවුරුත් හිටියේ නෑ. ඒත් හොඳ ඇඹුල් උපහාස රසයක් ඇය සතුව තිබුණා. අවස්ථාවක් පැන නැගුණු විගස ම ඇය තමයි කණ්ඩායමට සොම්නස ගෙන ආවේ. දවසක් දා ඇය මා දිහා බලලා මෙහෙම කිව්වා,

‘‘අපේ කට්ටිය ඔක්කෝගෙන්ම ඔයාට විතරයි හොඳ ජීවිතයක් තිබිලා තියෙන්නේ.’‘

මොහොතක් කල්පනා කරලා, ඈ ආයෙත් මෙහෙම කිව්වා.

‘‘කොහොම වුණත් කාගෙවත් ජිවිතයක් ගැන අපිට ඒවගේ නිගමනයකට එන්න බෑ නේ ද?‘‘

 ඔව්, ඇය කිව්වා හරි. මිනිස් අත්දැකීම් ලෙහෙසියෙන් පහසුවෙන් ඌනනය කරන්නට බැහැ. ඒත්, මොහොතකට හෝ සවුන්දරී අම්මා ඇගේ අත්දැකීම් සහ මගේ අත්දැකීම් අතර තිබෙන හිඩැස ප්‍රයෝජනවත් ලෙස පෙන්නා දුන්නා.

අපි අනුන්ගේ අත්දැකීම් තමාගේ කරගෙන බෙදාහදාගැනීම ගැන, කොතෙකුත් නීරස සුලබ කථා කියනවා. අපි තවත් කෙනෙකුගේ සපත්තුවට බැහැලා එය පැළඳගන්නා හැටි සිතින් මවා ගන්නවා. හැබැයි, එවැනි කටයුත්තක් කවදා හෝ යථාර්ථයක් වන්නට පුළුවන් ද? අප එකිනෙකාගෙන් ඈත් කළ අවුරුදු දශක ගණනාවක් පුරා සිද්ධ වුණු ඒ ගැටුමෙන් සහ යුද්ධයෙන් පස්සෙ, එවැනි කටයුත්තක් කිරීමේ අවස්ථාවත් මොනතරම් තුනී වෙලා ද?

‘එය සිතාගැනීමටවත් නොහැකි ය‘


ඔබේ ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම් පරිකල්පනය කරන්න, එහෙම නැත්නම් සිතින් මවාගන්න, මට සැබෑ ලෙසම පුළුවන් ද? අතොරක් නැතුව සිද්ධ කෙරෙන ගැටුමක සෑම පැතිකඩක්ම ලිහා බේරුම් කරගන්න මට සැබෑ ලෙසම පුළුවන් ද? ඔබේ ජීවිතයත් එම ගැටුම් ගැබේම කොටසක් නෙවෙයි ද?


නිරන්තරයෙන් සිදු වන බෝම්බ දැමීම් නිසා මොනතරම් වාරයක් ඔබට ඔබේ ගෙදරින් අවතැන්වෙන්න සිද්ධවුණා ද?

ඔබේ ගෙවල්දොරවල්, ඔබේ ව්‍යාපාරික ස්ථාන, ඔබේ පුස්තකාල මැර කණ්ඩායම් විසින් ගිනි තබා විනාශ කරන විට ඔබේම ආණ්ඩුව ඒ ක්‍රියාවලට මග පෙන්වමින් ඒවා අනුමත කරමින් කටයුතු කළා නේ ද?

එකිනෙකාට එරෙහිව සටන්වදින කණ්ඩායම් අතරට ඔබ මැදි වුණා නේ ද? ඒ මොන කණ්ඩායමකින් හරි ඔබේ දුව හෝ පුතා පැහැරගෙන යාවි කියල බියෙන් ඇකිළිලා හිටිය නේ ද?

ඔබ මෙතෙක් ජීවත්වුණු ගේදොරවලින් ඔබව එලවා දැමූ විට රටේ වෙනත් ප්‍රදේශවලට ගොස් සරණාගතයින් ලෙස ජීවත්වන්නට ඔබට සිද්ධවුණා නේ ද?

මේ සියලු අලකලංචි මැද්දේ ඔබ විභාගවලටත් පෙනී සිටියා නේ ද?

තේ ටිකක් බොන්නට සීනි ඩිංගක් හොය හොයා ඔබ හතර අතේ දිව්වා නේ ද?

ඔබේ ගම්පළාතෙන් බැහැර වෙලා වෙන කොහේහරි යනකොට ‘ආපහු ගෙදර එන්න ඉඩ ලැබේවිදෝ’ කියල හිත හිතා නේ ද ඔබ ගියේ?

 ඔබේ පළාතේ සිටි වරප්‍රසාදලත් උදවිය කොළඹට පැනගෙන ආරස්සාව සලස්සාගනිද්දී, ඔබ දුප්පත්කමේ පතුලටම ගිලී සිටින නිසා, ඔබට වෙනත් තෝරාගැනීමක් නොතිබූ නිසා, සටන් කණ්ඩායමකට බැඳෙන්නට ඔබට සිදු වුණා නේ ද?

විසම්මුතිකයෙකු වීම නිසා ඔබේ සොයුරිය වෙඩි කෑවා නේ ද?

ඔත්තුකාරයෙකු යැයි හංවඩු ගසා ඔබේ සහෝදරයාට වෙඩි තිබ්බා නේ ද?

ඔබේ අසල්වාසීන් පල්ලියේ කෝවිලේ යාඥා කරමින් ඉද්දි ඔවුන්ට වෙඩිකන්නට සිද්ධවුණා නේ ද?

 සටන්බිමේ සිටි ඔබේ දරුවා මිනීපෙට්ටියකින් ගෙදර ආවා නේ ද?

මීට අවුරුදු දශක ගණනකට කලින් ඔබේ ආදරණීයයන් අතුරුදහන් වුණා නේ ද?, ඔවුන්ට මොනවා වුණාද කියල ඔබ අදටත් දන්නේ නැහැ නේ ද? ඔවුන් පැහැරගෙන ගිය උදවිය අතරේ ඉඳගෙන අද දවසේ ජීවත්වන්නට ඔබට සිදු වුණා නේ ද?

සමුදුරෙන් එහා දුරු රටකට ගොස් පිටස්තරයෙකු ලෙස කටයුතු කරමින්, ජීවිතය ආයෙමත් මුල ඉඳල පටන්ගන්න ඔබට සිද්ධවුණා නේ ද?


ඔබේ සැබෑ පැවැත්ම පිළිබඳ තොරතුරු, ඒ කියන්නෙ ඔබේ අනන්‍යතා පත්‍රයේ සඳහන් ඔබේ නම සහ ඔබ ඉපදුණු තැන පිළිබඳ තොරතුරු, මඳ සුළං පොදක් හැමූ පමණින් ඔබට එරෙහිවනවා නම් ඒවායෙන් ඇති පලේ මොකක් ද? ඔබේ මේ අත්දැකීම් බරපොදිය ඔබේ දූ දරුවන් අතට පත්කිරීමේ කිසියම් හෝ තේරුමක් තිබෙනවාද කියා මට හිතාගන්නටවත් බැහැ.



මා විශ්වාස කරන්නේ මට ඒ ගැන හිතාගන්නටවත් බැහැ කියලා. ඒ වාගේම, ඒ හේතුව නිසාම, මා විශ්වාස කරන්නේ මම ඔබට බැඳී සිටිනව කියලා.

පරම්පරාවක් පුරාවට, වඩා ආරක්‍ෂාව සහිතව මේ දිවයිනේ ජීවත්වන අප වැන්නන්ට අපේ ඉතිහාසය කෙලෙසූ ඒ ප්‍රචණ්ඩ ප්‍රවාහය සෑහෙන පමණින් තේරුම් ගන්නට හෝ සෑහෙන පමණින් එය වළක්වාගන්නට හෝ බැරි වෙලා තියනවා.

කොහොම වුණත්, සාමයෙන් ජීවත්වන්නට අපට අවස්ථාව ලැබිල තියෙන්නේ, එලෙස සාමකාමී ලෙස ජීවත්වන්නට අවස්ථාව නොලැබූ අය විඳින දුක්වේදනා දිග්ගැස්සෙමින් තියෙද්දී, ගැඹුරුවෙමින් තියෙද්දී. මේ විදියට මා ලියන්නේ අඩුම තරමින් ඒ වෙනුවෙන් මීට වඩා යමක් කිරීමට අද දවසේ සිතන මතන උදවිය වෙනුවෙන්.



‘විරුවන් හා ද්‍රෝහීන්‘ පිළිබඳ ආඛ්‍යානය

sdrt544r

අපේ ඉතිහාසයට අප මුහුණ දෙන විට ඒ තුළ සදානුස්මරණීය විපාක ගැබ් වී තිබෙන බව අපට පෙනෙනවා. කවදා කුමනාකාරයෙන් එම විපාක අපටත් අත්විඳින්නට ලැබේවිදැ’යි කොහොමවත් හිතාගන්නට බැහැ.

මේ අතරේ, අපේ සහෝදර ගැහැනුන් සහ පිරිමින් සමග යම් කාලයක් පුරා ජීවත්වන අපට, එක තැන නැවතී සිටින වග නම් පෙනෙනවා. එවන් තත්ත්වයක් අප සියල්ලට පළමුවෙන් තේරුම්ගන්නේ කොහොම ද?

ආස්වාදනය කිරීම සඳහා සාහිත්‍යය උගන්වන්නේ කෙසේදැ’යි අධ්‍යයනය කරන පාසැල් ගුරුවරුන් කණ්ඩායමකින් සමන්විත සිසුන් පිරිසකට අවුරුද්දකට වතාවක් පවත්වන විශ්වවිද්‍යාලීය පාඨමාලාවක ඉගැන්වීම මමත් මගේ සගයෙකුත් පුරුද්දක් හැටියට කරගෙන ගියා.

සෑම අවුරුද්දකදීම අපට ගනුදෙනු කරන්නට ලැබුණේ සජීවී සිසු කණ්ඩායමක් සමග යි. අප ඉගැන්වූ පාඨමාලා ඉලක්ක කොට තිබුණේ අපගේ සිසුන්, ඊට පසුව ඔවුන්ගේ සිසුන්, විවෘතභාවයක් වෙත, විචාරශීලි චින්තාවක් වෙත කැඳවාගෙන යන්නට යි.

මේ සියල්ලට පළමුව, අපට ඕනෑ කළේ අපේ සිසුන් ඔවුන්ගේම විශ්වාස සහ උපකල්පන ගැන, සමාජයේ පවතින විශ්වාස සහ උපකල්පන ගැන, දැනුවත්ව සිටීම යි.

අපේම රටේ කෙරෙන යුද්ධය ගැන ලියවිලි අධ්‍යයනය කිරීම හිතාමතාම පාඨමාලාවේ හයවන සතිය දක්වාම කල් දැමුවා. අප බලාපොරොත්තු වුණේ යුද්ධය පිළිබඳ කරුණු කාරණාවලදී ප්‍රබල ලෙස තමන්ගේ පුද්ගලික හැඟීම් කියාපාන සිසු පිරිසක්.


එහෙත් අපේම රටේ කෙරෙන යුද්ධය ගැන කථා කරන විට ප්‍රායෝගිකව අපට දැකගන්නට ලැබුණේ අනෙකුත් විෂයයන්වලට ඔවුන් දක්වන සංවේදීතාව, අපේ නොවන යුද්ධවලට දක්වන සංවේදීතාව, ඉතාමත් අඩුවෙන් අපේ රටේ යුද්ධය උදෙසා ඔවුන් ප්‍රදර්ශනය කරන බව යි.



තමන්ගේ කියැවීම් ලැයිස්තුවලින් උපුටාගත්, වර්තමාන ගැටුමේ සංකීර්ණත්වය විස්තරාත්මකව චිත්‍රණය කරන, කතන්දර හා කවි කියැවූ ඔවුන් ඒවාට ප්‍රතිචාර දක්වන අවස්ථාව එළැඹි විට, ඇස්පනාපිට ඔවුන් දකින දේවල් නොදැක්කා වාගේ අහක බලාගෙන ඉන්නා බවක් පෙනුණා.

ඒ වෙනුවට, ඔවුන් කළේ ජනප්‍රිය සංස්කෘතිය හරහා ඔවුනට ලැබුණු යුද්ධය සම්බන්ධයෙන් කලින් සූදානම් කොට සරල බසින් ලියූ පද පේළි නැවත උච්චාරණය කිරීම යි. ඔවුන් ස්වකීය නිබන්ධන ‘රණවීරත්වය’, ‘ත්‍රස්තවාදය’ වැනි පදවලින් පුරවා තිබුණත් ඒ පදවල තේරුම් පහදා දෙන්නට ගෙන තිබුණේ ද ඉතා අල්ප උත්සාහයක්.


මගේ සිසුන් ‘රණවිරුවන්‘ ගැන කථා කරන විට, අඩුම ගණනේ ඔවුන් කීපදෙනෙකුවත් කථා කරන්නට ඇත්තේ ඔවුන් පුද්ගලිකවම දන්නා කීපදෙනෙකු ගැන වන්නට පුළුවන්. හැබැයි, ඔවුන් ත්‍රස්තවාදීන් යැයි නම් කළ උදවිය අතරින් කිසිම කෙනෙකු ගැන ඇබින්දක් හෝ දැනසිටියේ නැහැ. ඉතින්, ඔවුන් ඉදිරිපත් කළ මේ සාමාන්‍යකරණය නිසා කණ්ඩායම් දෙකටම ඔවුන් සිද්ධ කළේ අවැඩක්, හානියක්.


මෙවැනි ආකාරයේ වාර්තා නිසා වීරයාත් දුෂ්ටයාත් එකම ගණයේ අය හැටියට ගැන‍ෙනවා නිසැක යි. ඒ වූකලි එක්කෝ ඔවුන් යහපත්ය නැත්නම් අයහපත්ය යනුවෙන් කියැවෙන ඒකමාන නියෝජනය යි. ඔවුන් සම්බන්ධයෙන් කථා කරන විට බොහෝ දෙනා මේ දෙදෙනාගේම හොඳ හා නරක ඇති බව දැකීමට කිසිවිටක උත්සාහ ගත්තේ නැහැ.

ඉතින්, තමන්ගේම ඉතිහාසය තමන්ට මුණගැසෙනවිට සංවේදී කල්පනාකාරී වැඩිහිටියන්ගේ පවා සිතිවිලි ක්‍රියාකරන අයුරු දැක මම විමතියට පත්වුණා.

090712 1


අප කියන කතන්දර ඌනනය වීමේ, ලඝු වීමේ ගැටලුව සමාජයේ සෑම දිග්භාගයකින්ම මතු වී තිබෙනවා දැකගත හැකි යි. ගත වූ අවුරුදුවලදී යුද්ධයෙන් පීඩා විඳින ජනකණ්ඩායම්වල (ඔවුන්ව බොහෝ අවස්ථාවලදී සලකන්නේ කණ්ඩායම් වශයෙනි) ජීවන තොරතුරු ‘කතන්දර’ වශයෙන් ක්‍රියාකාරීන් ඉදිරිපත් කරන අවස්ථා වැඩි වැඩියෙන් අපට දැකගත හැකි වුණා.


මේ උත්සාහයන්වල අරමුණු හොඳ ඒවා යැයි මම විශ්වාස කරනවා. එම උත්සාහයන් තුළ ඇත්තේ අපේ රටේ ගැටලුවලට මැදි වී සිටින සැබෑ මිනිස් ජීවිත සියැසින් දැකගෙන ඔවුනට ගරු කිරීමේ අපේක්ෂාව යි. මෙවන් උත්සාහයන් හරහා ඉතිහාසයේ චක්‍රය යුක්තියේ දිසාවට කරකවන්නට උපකාර වනු ඇතැ’යි යන බලාපොරොත්තුව යි. එහෙත් පවතින අනතුර නම්, මෙයාකාරයෙන් ඕනෑවටත් වඩා දේවල් අරමුණු කිරීම නිසා මේ වින්දිතයන්ගේ ජීවිත ‘උපකරණ නැත්නම් මෙවලම් බවට‘ අප විසින්ම හැරවීම යි.



පුද්ගලයෙකුගේ ජීවිතයේ එක පැතිකඩක්, බොහෝවිට වඩාත්ම වේදනාකාරී පැතිකඩක්, උපුටාගන්නා අප එය වෙබ් අඩවියක හෝ කොළඹ කලාභවනක හෝ තැන්පත් කරනවා. නරඹන්නන් දකින්නේ කියවන්නේ සංස්කරණය කරන ලද, පරිවර්තනය කරන ලද, විස්තර හා ශීර්ෂපාඨ යි.

එම පුද්ගලයාට සිදු වී තිබෙන දේ ගැන අප දැනුවත් වීම හොඳ දෙයක් බවට කිසිදු සැකයක් නැහැ. එහෙත්, ප්‍රදර්ශනය පිණිස තබා තිබෙන පින්තූර ඔස්සේ ඒ පුද්ගලයා වටා තිබෙන සියල්ල අපට අවබෝධ වුණා යැයි වැරැදි වැටහීමක් අපට ඇති වෙන්න පුළුවන්.

dfgrr444

අතුරුදහන් කරවන ලද තම පුතා සොයන අම්මා කෙනෙකු දකින අපේ හදවත කම්පාවට පත් වුණත් ඒ අම්මා ජීවිතය ගැටගසා ගැනීම සඳහා කරන්නේ කුමක්දැ’යි අප දන්නේ නැහැ. දරුණු කොන්දේ කැක්කුමක් තියෙද්දීත් ඇය මල් පැළ සිටුවා සාත්තු කරන බව අප දන්නේ නැහැ. තම ජීවිතය ගැන ඇය කථා කරන විට ඒ හඬ අපට ඇසෙන්නෙත් නැහැ. ඉතින්, ඒ විදියට ඇගේ ප්‍රත්‍යක්‍ෂ අත්දැකීම් සන්දර්භයෙන් ගලවා ඉවත්කොට, ‘කතන්දරයක්’ බවට හැරවීමයි මෙහි දී සිදු වී තිබෙන්නේ. මෙය යහපත් සාධාරණ කටයුත්තක්ය කියමින් මට නම් ඊට සහතික ඉදිරිපත් කරන්නට බැහැ.

 සමහර පුද්ගලයින් කතන්දර සඳහා ඕනෑවටත් වඩා යථාර්ථවාදී ලෙස පෙනී සිටිනවා යැයි කියනු සමහර අවස්ථාවලදී අසන්නට ලැබෙයි. උදාහරණයක් ලෙස, මුදලට ශරීරය විකුණන ස්ත්‍රියක් හෝ සැමියා අතුරුදහන් කරවූ පසු දැන් තවත් පිරිමියෙකු සමග දීග කන ස්ත්‍රියක් හෝ තවදුරටත් සැබෑ වින්දිතයන්ගේ ගණයට වැටෙන්නේ නැත යන අදහස දැක්විය හැකි යි.

අප අත්දැකීම් වර්ගකොට ඒවා කාණ්ඩවලට බෙදුවොතින් අප කෙළවරවන්නේ සරල කතන්දරවලට ගැලපෙන්නේ නැතැ’යි කියමින් සමහර ජනකොටස් අතහැර දැමීමෙන්. කතන්දර ගොඩ නැගෙන්නේ යථාර්වාදී සැබෑ මිනිසුන්ගෙන්ය යන කාරණය අමතක කර දැමීමෙන්. දැනට ඉතිරි වී ජීවත්වන මිනිසුන් ඔවුන්ට මුහුණපාන්නට සිදු වූ දේවල් සැබෑ ලෙසම සිදු වූ බවට පිළිගැනීමක් ලැබෙනු ඇතැ’යි බලාපොරොත්තුවෙන් කල්ගත කරන විත්තිය අමතක කර දැමීමෙන්.



‘සවන්දීම‘ අඛණ්ඩ ක්‍රියාවලියකි


මේ වැඩකටයුත්ත, සැබෑ මානව දයාව සහ මානව ගරුත්වය අභ්‍යාස කළ හැකි ක්‍රියාවලියක් යටතේ, සාක්ෂි එකතු කරමින් කරන්නට පුළුවන් දෙයක්. මේ වැඩ කටයුත්ත සාර්ථක ලෙස සිද්ධවන්නේ මිනිසුන් එක්රැස්වූ විට යි. ඒ සාක්ෂි එකතුකරන තැනැත්තා හොඳින් දන්නා හඳුනන ඒ පළාතේම කෙනෙකු වන විට යි. අසා තිබුණු සමහර අත්දැකීම් එකිනෙකා බෙදාහදාගන්නා විට යි.

නැත්නම් එවැනි වැඩකටයුත්තක් සිද්ධවන්නේ මේ කාරියේ යෙදී සිටින පිටස්තර උදවිය කරදර හිරිහැරවලට භාජනය වූ උදවිය සමග හුදු කරුණු කාරණා එකතු කරනවාට වඩා සැබෑවටම කාලය ගත කළොත් ය. සාක්ෂි එකුකරගැනීමෙන් පසුවත් වරින්වර පැමිණ ඔවුන් සමග උරෙනු’ර ගැටී වැඩ කළොත් ය. සමහරවිට මේ වැඩකටයුත්ත සිද්ධවන්නේ වෙනසක් ඇති කරවන හොඳ බලවත් කලාකෘතියක් නිර්මාණය වනවා වගෙයි.

 එහෙත් යම් අනතුරකට සොබාවිකවම අප මුහුණදෙන්නේ මේ සාක්ෂි ඒවා ලබාදුන් ජනයාගෙන් ගලවා අවතැන් කරනවිට යි. ඒවා සහමුලින්ම වෙනස් ප්‍රේක්‍ෂකයෙකු වෙනුවෙන් සූදානම් කරනවිට යි – මන්ද කියනවානම්, එම කතන්දර නැවත සිහියට නගා අපට පවසන්නට තරම් ජීවත්වීමේ වරම් ලද ඒ ජනයාට, ඒ කතන්දර සම්බන්ධයෙන් වගඋත්තර කියන්නට අප බැඳී සිටින විත්තිය, එවිට එම අවස්ථාවේදී එක්වරම අහෝසි වී යන නිසයි.

ඉතින්, ඒ කතන්දරවල සිටින ජනයාගෙන් කිසිවෙකු ඔවුන්ගේ ජීවිත එලෙස ප්‍රදර්ශනය වනවා නරඹන්නට පැමිණෙන්නේ නැහැ – ඔවුන් ජීවත්වන සන්දර්භය ඉඳුරාම වෙනස් එකක්.

ඇත්තම කියනවානම්, අපට මුණගැහෙන සෑම පුද්ගලයෙකුම අප අපේ සිත්වල සටහන් කරගන්නේ නැහැ. මගේ සමහර සිසුන් එදා වීරයින් හා දුෂ්ටයින් ගැන කරුණු කාරණා ඉදිරිපත් කරද්දී සමහර සිසුන්, විශේෂයෙන් පංතියේ ඉදිරි පෙළේ වාඩි වී සිටි වඩා ආත්ම විශ්වාසයෙන් යුක්ත සිසුන් කණ්ඩායම, මීට සෑහෙන කාලයකට පෙර පැවති යුද්ධය බොහෝ දීප්තිමත් ලෙස මතකයට නැංවූයේ ඊයේ පෙරේදා සිදු වූ එකක් හැටියට යි.

යටගිය දවස කොළඹ බස්රථවල සිදු වූ ඒ බෝම්බ පිපිරීම ඔවුන් උපුටා දැක්වූයේ යුද්ධය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීමක් හැටියට යි. ඇත්තෙන්ම ඔවුන් නිවැරදියි – ඒවා  අපේ  රටේ යුද්ධය ගැන ඔවුන් ලද අත්දැකීම්.

හැබැයි, ඔවුන්ට පේළි කීපයක් පිටුපසින් වාඩි වී සිටින, පංතියට සහභාගිවීම සඳහා නැගෙනහිර ශ්‍රී ලංකාවේ සිට කොළඹට සතිපතා පැමිණෙන, නිසැක වශයෙන්ම යුද්ධය අතේදුරින් දැකගන්නට පුළුවන් වූ, ඔවුන්ගේ පංතිකාමර සගයා ඔවුන් අමතක කරා දමා ඇතැ’යි මට සිතුණා.


ඔහු මේ කථාබහට තදින් මැදිහත්වූයේත් නැහැ. පංතිකාමරයේ පෙරමුණේ සිටි මගේ සගයාත් මමත් වරින්වර රෝයි දිහා විපරම්සහගතව බැලුවේ ඔහුගේ පංතිකාමර සගයන්ගේ කථාබහ නිසා ඔහුගේ සිත වේදනාවට පත්වූවාදැ’යි නැද්දැ’යි දැනගැනීමටයි. ඒ ගැන මට විනිශ්චයක් දෙන්නට බැරි වුණා – ඔවුන් කතා කළ තරමටම ඔහුගේ නෙත්වල තිබූ හිස් බැල්ම ද තවත් පුළුල් වුණා.



කොයිහැටි නමුත්, අප මෙතුවක් කාලයක් තිස්සේ කියවමින් සිටි දේවල්වලට ප්‍රතිචාර දැක්වීමේ රෝයිගේ වාරය පැමිණිවිට අපේ සංවේදී කල්පනාකාරී වැඩිහිටියන් නින්දෙන් ඇහැරුණා. රෝයි අපට කීවේ ඔහුගේ කියැවීම සිය සිසුන් සමග බෙදාහදාගන්නා බවයි, ඒ වාගේම ඔහුගේ කියැවීම හරහා ඔවුන් එකඟ වූ හෝ නොඑකඟ වූ හෝ කරුණු කාරණාවලට ප්‍රතිචාර දක්වන බව යි –

රෝයිගේ ප්‍රතිචාරය තුළ ගැබ්වූයේ මීට පෙර කථාබහවලට ලක් වූ වීරයින්ගේ හා දුෂ්ටයින්ගේ ජීවිත සම්බන්ධයෙන් සඳහන් නොවූ ජීවන විස්තර රැසක්, හැඟීම් සමුදායක්. රෝයි කථා කරද්දී ඔහුගේ පංතිකාමර සගයින් ධ්‍යානයකට සමවැදුණාක් මෙන් එය අසා සිටියා. ඒ වාගේම, තමන් මේ ඇහුම්කන් දෙන්නේ තමන් මෙතෙක් දැන නොසිටි කථාවකට බව වහාම තේරුම් ගත්තා.

සරල ලෙස කීවොතින්, අපේ රටේ ගැටුම්වලට මැදි වී ඒවා ඔස්සේ අත්දැකීම් ලද උදවිය, එලෙස අත්දැකීම් නොලැබූ උදවියට තම අත්දැකීම් ගැන කියා දී ඔවුන් සංවේදී කරවීම සඳහා කරන වැඩකොටස ගැන අප ඔවුනට ණයගැති නැතැ’යි කියන්නට අපට බැහැ.

දැනටමත් ගැටුම නමැති උගුලේ හිර වී අයුක්තියට මුහුණ දී දුක්වේදනා විඳිමින් සිටින ඔවුන්, එලෙස අනුන්ව සංවේදී කිරීම සඳහා කටයුතු කරනවිට, මීට පෙරාතුව මුහුණදුන් දුක්වේදනාවලට ආයෙමත් මුහුණදෙන්නට ඔවුනට සිදු වෙනවා.




නමුත්, එයින් සැබෑලෙසම කියැවෙන්නේ ඔවුන් දිගින් දිගටම ඒ දුක්වේදනා අපට කියා දී අපව දැනුවත් කළ යුතු බව ද? ඔවුන්ගේ කතන්දර අසන්නට අපට මොනතරම් ඕනෑකම තිබුණත් ඔවුන්ගේ ජීවිත කථා අපට කියාදෙන ලෙස ඉල්ලා සිටිය යුතු යැයි මා නම් කෙසේවත් විශ්වාස කරන්නේ නැහැ.





තව කී වතාවක් කිව යුතු ද?


මේ රටේ සිටින බොහෝ දෙනා දැනටමත් තමන් හරිහැටි නොදන්නා ආගන්තුකයන්ට තමන්ගේ කථාව නැවත නැවතත් කීම නම් පුරුද්දේ ඇති තරම් නියැලී තිබෙනවා.

සිය කරදර හිරිහැරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් පත් කළ විට එම බලධාරීන්ට ඔවුන් ඇතිපදම් තම කථාව කියා තිබෙනවා, පළමුව පත්කොට දෙවනුව හමස් පෙට්ටියට එහි වාර්තාව යවන නොයෙකුත් කොමිෂන් සභාවලට ද, තමන්ට කොන්දේසි සහිතව සහායදෙන ආණ්ඩුවේ-නොවන-සංවිධානවලටද, ජාත්‍යන්තර පුවත්පත්කලාවේදීන්ට ද කියා තිබෙනවා.

මේ කටයුතු නිරීක්‍ෂණය කිරීමේදී මා ලද සීමිත අත්දැකීම්වලට අනුව කියතොත්, මේ වින්දිතයන් එය කරන්නේ පූර්ණ විශ්වාසය ඇතුව යි. (ඔවුන්ට ඇහුම්කන්දෙන අය ඒ දුක් කරදර මගහරින්නට යමක් කරාවි යැයි බලාපොරොත්තු ඇතුව යි), හිතේ පොදිගහගෙන සිටින දුක් වේදනාවන් පිට කිරීමක් හැටියට යි, තමන් අත්විඳින දුක් වේදනා තව කෙනෙකු සාක්‍ෂි දරද්දී හෙළිදරව් කිරීමක් හැටියට යි. දැනුවත්වම ඒ කාරියේ නියැලීමක් හැටියට යි (එනම්, ඇහුම්කන්දෙන්නා මොනතරම් දුරකට තම කථාව තුළට ප්‍රවේශ විය යුතුදැ’යි ඔවුන්ම තීරණය කරන ගමන්).


වෙනත් අය විසින් එකතු කරගැනීමට ප්‍රාර්ථනා කරමින් සිටින අත්දැකීම් රාශියක් දරාගෙන සිටින මගේ මිතුරුමිතුරියන්, ප්‍රශ්නවලට උත්තර දෙනවිට ඉතා විනීත ලෙස ඒ කාරිය කරනවා මම දැක තිබෙනවා. නමුත් ඒ අවස්ථාවලදී ඔවුන්ගේ මුහුණුවල ඉතා සියුම් වෙනස්කම් පහළවන බවත් දැක තිබෙනවා. ඒවායෙන් කියැවෙන්නේ, ඔවුන්ගේ සිත්වල පතුලේ තැන්පත් වී තිබෙන තරහව සහ කඩතොලු වූ ආත්මගරුත්වය මාර්ගබාධක ලෙසින් නැගී සිටිනා බව යි.

මේවා සියල්ලට අමතරව අප ඔවුන්ගේ එම දුක් කරදර කන්දරාව උඩට සමගිසන්ධානය පිළිබඳ කතිකාව ද පටවා තිබෙනවා. එය හරියටම තුවාලයක් උඩ ලුණු අතුල්ලනවා වාගේ වැඩක්. තත්ත්වය තවත් දරුණු අන්දමට හරවමින් අප යෝජනා කරන්නේ සියල්ල අපේ ඉතිහාසය වැරදියට තේරුම්ගැනීම මත පාදක වී ඇති බව යි – අපේ ඉතිහාසය අයුක්තිය මත පාදක වී තිබෙන බව අප කියන්නේ නැහැ.




එසේ නැත්නම්, කළ වරද පිළිගෙන යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටිනවා වෙනුවට අප කරන්නේ විකාරසහගත වන්දිගෙවීමක් පිළිගන්නා ලෙස වින්දිතයන්ගෙන් ඉල්ලා සිටීම යි. තමන්ට සිදුවූ දේ ගැන නොදන්නා උදවියට, නැතිනම් ඒ ගැන දැනගන්නට ඕනැකමක් නැති උදවියට, කියාදෙන ලෙස වින්දිතයන්ගෙන් ඉල්ලා සිටීමෙන් අප කරන්නේ එම වින්දිතයන් තව තවත් අනතුරේ හෙළා ඔවුන්ව අයුක්තියට යටත් කිරීමක්.




මීට කලකට පෙරාතුව කෙරුණු කථාබහක් පිළිබඳව මා තැබූ සටහනක්, මා නැවත ආවායින් පසුව, අදත් උරගලක් හැටියට පාවිච්චි කරනවා.

ඒ දවස්වලදී, ටික කාලයකට මා මඩකලපුවේ ගෙදරක කුඩා කාමරයක් කුලියට ගෙන නැවතී සිටියා. අපේ ගෙවල් හිමියා හමුවීම පිණිස මගේ සහෝදරයා සමග ඔහුගේ නිවස වෙත ගියා. සුපරුදු ලෙස තේ බොමින් අපි කථාබහේ යෙදුණා. අපි අපේ පවුලේ තොරතුරු ගැන කථා කළ අතර ඔහු ඔහුගේ පවුලේ තොරතුරු ගැන පැවසුවා. ඔහු පිටරටක ඉගෙනගන්නා, දැනට නිවාඩුවකට පැමිණ සිටින, තම පුතා අපට හඳුන්වා දුන්නා. තරුණ කාලයේදී ඔහුත් පිටරට සංචාරය කර තිබෙන බවත්, වාසනාවකට ඔහුගේ සොයුරිය ගුවන්සේවා සමාගමක රැකියාව කළ හෙයින් කටයුත්ත පහසු වූ බවත්, ගෙවල් හිමියා අපට කිව්වා. අනතුරුව, ඔහු අපට කීවේ මේ කථාව යි: ‘1990 අවුරුද්දේ ඇයව එල්ටීටීඊ සංවිධානයෙන් අරගෙන ගියා. ඉන්පස්සේ අපි ඇයව ඇහැටවත් දැක්කේ නෑ’. මොහොතක් පමණ ඔහු නිහඬව සිට කථාබහ නැවත පටන් ගත්තා.



‘ඇහුම්කන්දීමේ ඉතිහාසය‘

ගෙවල් හිමියාගේ ඉහත සඳහන් වැකිය ඔස්සේ අපට යුද්ධයේ ඉතිහාසය සහ එහි ශෝකාන්තය තේරුම්ගන්නට අවශ්‍යනම් ඒ දෙකේ සන්දර්භය මත රැඳෙන්නට අපට සිදු වෙනවා. අපේ ගෙවල්හිමියා පැවසූ ඒ වැකියට කන්දෙන්නට අපට හැකියාව තිබීම අත්‍යවශ්‍යයි. ඔහුට බාධා නොකර ඔහුගෙන් ප්‍රශ්න නොඅසා ඒ වැකිය ග්‍රහණය කරගැනීම අත්‍යවශ්‍ය යි. ඒ වැකියම මීට කලින් ද අපට ඇසී තිබීමත් අත්‍යවශ්‍යය. අඩුම තරමේ ඇහුම්කන්දීමේ ඉතිහාසයක් අපට තිබීම අත්‍යවශ්‍යය.

මීට කලින්ද නිතර නිතරම වාගේ ඒ වැකිය තුළ ගැබ්ව තිබූ ස්වරය මට ඇසී තිබුණු වග ඒත්තු ගියේ ගෙවල්හිමියා සමග ඒ සිදුකළ කථාබහෙන් අනතුරුව යි. ඒ ගැන පසුව මෙනෙහි කරද්දී, මුලින්ම මතකය කැඳවාගෙන ගියේ මගේ ගෙවල් හිමියාට වඩා බොහෝසෙයින් වෙනස් ජීවන තත්ත්වයක් යටතේ කල්ගෙවූ පවුල්වල සිටි ස්ත්‍රීන් ස්වකීය පවුල්වලට මුහුණදෙන්නට සිද්ධ වී තිබෙන අතුරුදහන් කරවීම් පිළිබඳව පැවසූ තොරතුරු වෙතට යි.

බාගවිට මේ සිද්ධියත් මීට වසර දහයකට උඩදී සිද්ධ වූ එකක්. මගේ නෑනා සහ තවත් සගයෙකු සිය කටයුතු හරහා උදව් පදව් කරමින් සිටි ස්ත්‍රීන් ගණනාවක් හමුවීමට යද්දී, පිටරටක සිට මෙරටට පැමිණ සිටි මා ද ඔවුන් සමග ගියා. අද මා දැන සිටින මට්ටමට වඩා අඩු ප්‍රමාණයකිනුයි දෙමළ භාෂාව ඒ අවස්ථාවේදී මා දැනසිටියේ. කථාබහ සිදුවෙද්දී එය මට තේරුම් නොගියත්, ඊට ඉතාමත් කිට්ටුවෙන් උනන්දුවෙන් ඇහුම්කන් දුන් නිසා එහි ස්වරය මට අවබෝධ කරගත හැකි වුණා.

පසුව ඒ සිදු වූ කථාබහ ගැන පරිවර්තනයක් නෑනා මට සැපයුවා. ඒ කථාබහ සිදුවද්දී මා ඇහුම්කන්දෙමින් සිටියේ මීට කලින් කවදාවත් අසා නැති කරුණු කාරණාවල ස්වරයට බව එවිට මට පසක් වුණා.

ඉක්බිත්තෙන්, උදාවූ වසර කීපයෙන් පසු මම නැවතත් ශ්‍රී ලංකාවේ වාසය පිණිස පැමිණියා.

එදා මගේ ගෙවල්හිමියා කළ කථාබහේ ගැබ්ව තිබූ ස්වරය මට නොකඩවා ඇසෙන්නට පටන් ගත්තා. එය මට මොණරාගලදී ඇඹිලිපිටියේදී මඩකලපුවේදී යාපනයේදී කිළිනොච්චියෙදී මන්නාරමේදී අසන්නට ලැබුණා. රෑ කාලයේ සිදු වූ කඩාපැනීම් පිළිබඳ මිනිසුන්ගේ මතකවල, ඝාතනය කිරීම් පිළිබඳ මිනිසුන්ගේ මතකවල, ගැබ් වී තිබෙන ඒ ස්වරය මට ඇසිණා. එල්ටීටීඊ අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු ස්වකීය මතකයන් අවදිකරනවිට ඒ හඬේ ගැබ් වී තිබෙන ස්වරය මට ඇසුණා. ලොකුමහත් වෙමින් තමන් ගතකළ කාලය ගැන මගේ මිතුරු මිතුරියන් සිය මතකයන් අවදි කරන විට ඒවායේ ගැබ් වී තිබෙන ස්වරය මට ඇසුණා.

අරගලය සම්බන්ධයෙන් මේ උදවිය සියලුදෙනා සාමාන්‍ය මට්ටමෙන් පැවසූ දේවල්වලට ඇහුම්කන්දුන් විට, ඔවුන් ගෙවූ කාල පරිච්ඡේද හා මුහුණදුන් ගැටුම් ගැන බොහෝ දේවල් ඉගෙනගන්නට හැකි වුණා. ඒ තත්ත්වය මා හිතින් මවාගෙන තේරුම් ගන්නවාට වඩා අත්දැකීම්වලට ඇහුම්කන් දී තේරුම්ගැනීම ඉතා වටිනවා.




අඩුවෙන් කතා කොට- වැඩියෙන් සවන්දීම

ertgh

අඩුවෙන් කතා කොට, හොඳින් ඇහුම්කන් දී, සමීප අවධානයක් වැඩියෙන් යොමු කළ යුතු යැයි යෝජනා වූ විට සමහර විට එය අති සරල යෝජනාවක් යැයි කියා සිනහවට ද කාරණයක් විය හැකි යි. එහෙත් අනෙක් මිනිසුන්ගේ ජීවිතවලට අදාළ මොනතරම් කරුණු කාරණා ප්‍රමාණයක් අපට මගහැරෙනවාද කියා සිතන විට, ඔවුන්ට ද අප සම්බන්ධයෙන් එයම සිද්ධ වන විට, පසක්වන්නේ කරනවාට වඩා කීම පහසු කාරණයක් බව යි.

හඬක තිබෙන ස්වරය ගැන මා කථාකරන බව ඇත්ත. අප කියන දේවල්වල තේරුම් හරි අඩක්ම ගැබ් වී තිබෙන්නේ අප ඒවා පවසන ආකාරය තුළ. මිනිසුන් පාවිච්චි කරන පද, ඔවුන් හැසිරෙන විදිය, ඔවුන් නිහඬව සිටින අවස්ථා, ඔවුන් දක්වන මත පිළිබඳ විස්තර, ඔවුන් සිනාසෙන මොහොතවල්, මේ ආදි සියල්ල අපට පවසන්නේ ඔවුන් අත්වින්ද ඒ අත්දැකීම්. මගේ පැත්තෙන් ගත් කල, ඔවුන්ගේ එම අත්දැකීම් ඔවුන්ගේ සපත්තුව තුළට මා බහිනවාට වඩා මට වැදගත්.




ඔවුන්ට ඔවුන්ගේ සපත්තු පැළඳගෙන ඉන්න ඉඩ හරින්න, අපට අවශ්‍ය ඔවුන්ට කිට්ටු වී ඔවුන් ළඟින්ම හිටගෙන ඉන්නට යි.



මගේම ජීවිතයට කිට්ටුවෙන් සිටින කීපදෙනෙකුට ද ගැඹුරු දුෂ්කර අත්දැකීම් විඳින්නට, විශේෂයෙන් යුද්ධය සම්බන්ධයෙන් විඳින්නට, සිද්ධ වී තිබුණු බව මම දන්නවා. අපි ඒවා ගැන කවදාවත්ම කථා නොකළ තරම්. කථා කළා නම් ඒ කඩින් කඩ යි.

ඒ වාගේම තවත් කීපදෙනෙකුගෙන්, අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත්වන මුස්ලිම් මිතුරුමිතුරියන් කීපදෙනෙකුගෙන්, හැමදාමත් ඔවුන් මුහුණදෙන තත්ත්වයන් සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇති වී තිබෙන පුද්ගලික බය ගැන මා කෙළින්ම ඇසුවේ නැහැ. මේ ලියන මොහොතේදීත්, මේ කීපදෙනා මගේ සිතට නැගෙනවා – ඉතින්, මේ ගණන මගේ සිත තුළ ඉහළයත්ම මගේ නිශ්ශබ්දතාවත් අති දැවැන්ත වෙයි.

මගේ මිතුරුමිතුරියන්ගෙන් වුවත් ප්‍රශ්න නෑසීමෙන් මා හරි දෙයක් කරනවාද කියා, අවංකවම කීවොත්, මා දන්නේ නැහැ – මා කටයුතු කරන්නේ එම කථාබහවලට කන් දී ඒවා හරිදැ’යි වැරදිදැ’යි තීන්දු තීරණ ගන්නා තැනැත්තා මා නොවේය යන දැඩි ස්ථාවරයේ සිට යි.

සතුන් ඉතාමත් කිට්ටුවෙන් තම පරිසරයට ඇහුම්කන් දෙන විදියට මම ද මගේ සම්බන්ධතා ගැන බෙහෙවින් සවිඥානක වෙනවා. මගේ මිතුරුමිතුරියන් මට කථාකරනතුරු මා බලාගෙන සිටිනවා නොවේදැ’යි කියා කෙනෙකු අසන්නටත් පුළුවන්. කොහෙත්ම නැහැ, මොනතරම් කථාකළත් බොහොමයක් දේවල් නොකියැවෙන බවත් මට හොඳටෝම විශ්වාස යි.

ජීවිතය සෑහෙන කාලයක් තිස්සේ ගතකිරීමට පුළුවන් නම් අප මහා වාසනාවන්තයෝ. එවිට අපට ඇහුම්කන්දීමේ ඉතිහාසයක් එකට එක්කාසු කරගන්නට පුළුවන් වනු ඇති අතර එකිනෙකා ගැන අවදියෙන් සෝදිසියෙන් සිටින්නටත් පුළුවන් වේවි.

අද දවසේ මා සමග තොරතුරු බෙදාහදාගන්නට පුළුවන් මගේ මිතුරෙකු, අදින් අවුරුදු ගණනාවකට පසුව, තවත් බොහෝ දේවල් මට කියන්නට සූදානමින් සිටිනු ඇති – පුළුවන් තරම් කාලයක් ඔහු ජීවිතය ගෙවද්දී, එය විපරිවර්තනය කළ ඔහුගේ අත්දැකීම් මට කියන්නට සූදානමින් සිටීවි. සමහරවිට, ඔහු එසේ නොකරන්නටත් පුළුවන්. අප බොහෝවිට දේවල් වචන බවට පෙරළන විට ඕනෑවට වඩා වැඩි අවධාරණයක් ඒවාට ලබා දෙනවා.




කළ හැක්කේ මොනවා ද?


මා හොඳ ජීවිතයක් ගත කර තිබෙන බැව් කියූ සවුන්දරී අම්මා සමග එකට එකතු වී වැඩ කළ ඒ කාලය අතරතුරේදී ඇගේ මරා දැමුණු දියණිය වල්ලිගේ සිරුර, (ඇත්තම කියනවානම් මීට ටික කලකට ඉහතදී මියගොස් තිබුණු නිසා ඇගේ ඇටකටු ටික) බලධාරීන් වෙතින් ලැබුණා. කුඩාවට පවත්වන්නට යෙදුණු ඒ අවමඟුලට තවත් ටිකදෙනෙකු සමග මම ද සහභාගී වුණා.

ඊට අවුරුදු දහයකට පසුවත්, එදා ඒ දවසේ සිදුවූ සිදුවීම් සමීප වශයෙන් තවමත් මට මතකයි. ඒ මතකයන් නිසා මට දැනෙන්නේ වර්තමානයේදීත් ඒ මොහොත තුළ මා ජීවත්වන බවයි. ගත වූ මාස කීපය පුරාවට සවුන්දරී අම්මා සහ ඇයව බොහෝ කාලයක් තිස්සේ ඇසුරු කළ තවත් දෙදෙනකු සමග වාඩි වී වරින්වර කථාබහේ යෙදී සිටි අන්දම අදත් මම සිහියට නගාගන්නවා.


තම ආදරණීයයන්ගේ මරාදැමුණු සිරුරු ඇහැටවත් නොදැක, කල්ගත වී හෝ සවුන්දරී අම්මාගේ වැනි අවමඟුලක් හෝ පවත්වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැතිව, ජීවත්වන පවුල් ගැන මම කල්පනා කරනවා.



තම දෝණිගේ සිරුර, ඇටකටු ටික, ගෙනයෑමට ඉඩනොදී ළතවන සවුන්දරී අම්මා සමග අපි මඳ වේලාවක් වාඩි වී සිටියා. අන්තිමේදී පාර හරහා එහා පැත්තේ තිබෙන සොහොන් පිටියට මිනිපෙට්ටිය උස්සා ගෙනයන්නට පිරිමි කීපදෙනෙක් පැමිණියා. මීට කලින්, පළමුවෙනි වතාවට මා ඇගේ ගෙදරට ගිය අවස්ථාවේදී, සවුන්දරී අම්මා මට පුංචි ඉඩම් කොටසක් පෙන්වා කිව්වේ වල්ලිගේ මිනිය වළලන්නට තමන් විසින් එතැන පිළියෙළ කළ බවයි.



මිනිය වළ දැමූ පසු සවුන්දරී අම්මා කළ දේ අපි ද අනුගමනය කළා – මිනීවළට පස් අහුරු කීපයක් දැමුවා. වල්ලිගේ පියා අසල තිබෙන කොහොඹ ගහේ කැපුම් ලකුණු තුනක් කෙටුවේ වල්ලිගේ ආත්මය මුදාහැරීම සඳහා යි. ඒ අවට තිබූ කොහොඹ ගස් සියල්ලේම පාහේ එවැනි කැපුම් ලකුණු තිබෙනවා මනාව දැකගත හැකි වුණා.




ශ්‍රී ලංකාවේ වර්තමාන ඉතිහාසය නම් සන්දර්භය ඔස්සේ කරුණු සලකා බලනවිට, අපේ ගැටුම් නිසා වඩාත් දුක්කරදරවලට ගොදුරුවූ වින්දිතයන්ගේ ජීවිතවලට සහායවීම සඳහා ඔබත් මමත් ඔවුන් සමග සැබෑ කල්‍යාණමිත්‍රයින් හැටියට පයුරුපාසානයේ යෙදෙනු ඇතැ’යි මගේ බලාපොරොත්තුවයි- එසේ කළත්, දිගුකාලීන වශයෙන් ගත් කල ඒ ක්‍රියාමාර්ගය ගැන වූවද සෑහීමකට පත්වන්නට බැහැ- නමුත් පටන්ගැන්මක් හැටියට එය හෙඳයි.

(මේ රචනාවේ සඳහන් පුද්ගල චරිතවල නම් වෙනස් කර තිබෙන්නේ ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීමක් වශයෙනි.)

 

 

  

Leader Whats app

 

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්