නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශ දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමෙන් පසුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර්

පුටින් ඒවාට හමුදා භටයින් යොදවා තිබේ.

පුටින් ක්‍රෙම්ලිනයේ සිට ජාතිය අමතමින් යුක්රේනය පිළිබඳ ප්‍රකාශ මාලාවක් ඉදිරිපත් කළ අතර, ඒ හරහා සිය ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කළේ ය.

"මේ ශිෂ්ටයැ යි කියාගන්නා ලෝකය… මිලියන හතරක් දෙනා ඝාතනය වෙන ජන සංහාරය, ඒ භීෂණය සිදුවුණේ නැහැ වගේ ඉන්න හදනවා"

ජනාධිපති පුටින් පවසන්නේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශය පිළිබඳව ය. ඔහු එහි රුසියානු භාෂාව කතාකරන පදිංචිකරුවන් "ජන සංහාරයකට" ලක්ව ඇති බව ප්‍රකාශ කරයි (ඔහු මීට පෙර ද "ජන සංහාරය" යන යෙදුම භාවිතා කර ඇත). රුසියානු රජයේ රූපවාහිනී සේවය දැන් මේ ප්‍රකාශය නැවත නැවතත් විකාශය කරමින් පසුවෙයි.

 Man looking at tombstone

නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් අසල ප්‍රදේශයක දී ෂෙල් වෙඩි ප්‍රහාරවලට ගොදුරුවූවන් සඳහා පිහිටවූ ස්මාරකයක්. (ඡායා- GETTY IMAGES)

 

'ජන සංහාරය' නිර්වචනය ?

 

රුසියාව ද ඇතුළු රටවල් 152ක් විසින් අනුමත කරන ලද එක්සත් ජාතීන්ගේ ජන සංහාර සම්මුතිය, 'ජන සංහාරය' නිර්වචනය කරන්නේ "ජාතික, සංස්කෘතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් කරන ලද ක්‍රියාවන්" ලෙස යි.

 

ඊට උදාහරණ ලෙස රුවන්ඩාවේ සහ ස්‍රෙබ්‍රෙනිකාහි ඝාතන දැක්විය හැකි ය.

එහෙත් නැගෙනහිර යුක්රේනයේ ජන සංහාරයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත. පුටින්ගේ ප්‍රකාශය ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් විසින් "හාස්‍යජනකැ"යි කියමින් ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ රාජ්‍යයන් "සමහර අවස්ථාවල දී ඇතැම් සිදුවීම් හෝ ප්‍රචණ්ඩත්වයන් ජන සංහාරයක් ලෙස නම්කර ඇති" නමුත්, මෙම "ලක්ෂණ සාක්ෂි සහිත ඒවා හෝ නිශ්චිත ඒවා ලෙස සැලකිය නොහැකි" බව යි.

කෙසේ වෙතත්, නැගෙනහිර යුක්රේනයේ අඛණ්ඩ ගැටුම් පවතියි.

ගැටුම් ආරම්භ වූ 2014 අප්‍රේල් 14 දින සහ 2022 පෙබරවාරි 21 අතර කාලයේ දී නැගෙනහිර යුක්රේනයේ පුද්ගලයන් 14,200 -14,400ක් අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුකර ඇත.

ඊට,
# අවම වශයෙන් සිවිල් වැසියන් 3,407ක්

# යුක්රේන හමුදා සාමාජිකයින් 4,400ක්

# සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයින් 6,500ක්
ඇතුළත් ය.


පුද්ගලයන් 39,000ක් පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 7,000 - 9,000ක් අතර සංඛ්‍යාවක් සිවිල් වැසියන් බවට ගණන් බලා ඇත.



Map showing Donetsk and Luhansk areas of eastern Ukraine


2018 දී ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම්වල බුද්ධි මණ්ඩල විසින්, දෙපසම ඉදිරිපෙළ පිහිටි අනාරක්ෂිත ජනාවාසවල පුද්ගලයින් 600,000ක් පමණ වෙසෙන බව හඳුනාගෙන ඇත. "ඔවුන් දිනපතා ෂෙල් ප්‍රහාර, බිම් බෝම්බවලට නිරාවරණය වන අතර සංචරණ නිදහස, සහ මූලික අවශ්‍යතා සඳහා දැඩි සීමා කිරීම්වලට භාජනය වේ".

 

"යුක්රේනය න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීමට යන බවට දැනටමත් ප්‍රකාශකර ඇත... යුක්රේනය සතුව තවමත් සෝවියට් න්‍යෂ්ටික තාක්ෂණයන් ඇති අතර එවැනි ආයුධ සැකසීමේ හැකියාව ද ඔවුනට ඇත"

 

පසුගිය සතියේ ලෝක නායකයින් සඳහා වූ ආරක්ෂක සමුළුවක දී යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ "අපට එවන් ආයුධ නැහැ," කියායි.

 

A nuclear weapons-capable bomber being dismantled in Ukraine

යුක්‍රේනයට අයත් න්‍යෂ්ටික අවි සහිත බෝම්බ හෙලන යානයක කොටස් 2006 දී ගලවා දමන අයුරු (ඡායා- AFP)

 

සීතල යුද්ධය පැවති සමයේ දී ලොව තුන්වන විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව තිබූ යුක්රේනය 1990 ගණන්වල දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ රුසියාවෙන් ලබාදුන් ආරක්ෂාව පිළිබඳ සහතිකය හමුවේ ඊට හිලව් වශයෙන් සිය න්‍යෂ්ටික අවි අත්හැරියේ ය.

ආරක්ෂක විශේෂඥයින් පවසන පරිදි, දැනට න්‍යෂ්ඨික අවි හෝ න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් ගුවනින් එල්ල කිරීමට ඔවුන්ට කිසිදු හැකියාවක් නැත.

පසුගිය වසරේ ජර්මනියේ යුක්රේන තානාපති ඇන්ඩ්‍රේ මෙල්නික් යෝජනා කළේ යුක්රේනයට නේටෝවට සම්බන්ධවීමට නොහැකි වුවහොත් න්‍යෂ්ඨික අවි යළි සැකසුම ගැන සලකා බැලීමට සිදුවනු ඇති බව යි.

එමෙන්ම 2014 දී නැගෙනහිර යුක්රේනයේ හටගත් ගැටුමෙන් සහ රුසියාව විසින් ක්‍රිමියාව ඈඳාගැනීමෙන් පසුව මෙම ප්‍රශ්නය මහජනයා අතර කතාබහට ලක්ව ඇති බව වාර්තා වේ.

නමුත් එරට රජය නැවත න්‍යෂ්ටික අවි භාවිතයට අදහස් කරන බවක් පවසා නැති අතර, පසුගිය වසරේ ප්‍රකාශයට පත්කරන ලද සංශෝධිත මිලිටරි උපායමාර්ගයේ ද එවැන්නක් සඳහන් කර නොමැත.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) අපට පැවසුවේ, යුක්රේනයේ "සාමකාමී ක්‍රියාකාරකම් සඳහා හෝ වෙනත් අරමුණු සඳහා න්‍යෂ්ටික ද්‍රව්‍ය බෙදා හැරීමේ" කිසිදු සලකුණක් තමන් නොදුටු බව යි.

 

"රුසියාව ඇතුළු බොහෝ රටවලට අභියෝගයක් සහ ගැටලුවක් වන දූෂණය යුක්රේනයේ දී වෙනස්ම ආකාරයකින් සිදුවේ"

 

2021 වසරේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දූෂණ දර්ශකයේ (CPI) පහළින්ම ශ්‍රේණිගත වූ යුරෝපීය රට රුසියාව යි. රුසියාව ලොව පුරා රටවල් 180කින් 136 වැනි ස්ථානයට පත්ව ඇති අතර යුක්රේනය 122 වැනි ස්ථානයේ සිටියි.

පසුගිය දශකය තුළ යුක්රේනයේ කාර්ය සාධනය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බව එය වැඩිදුරටත් දක්වයි.


නමුත් රුසියානු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ඉලියා ෂුමානොව් පවසන්නේ: "රුසියාව සිටින මට්ටම... දූෂණවිරෝධී බවේ ධනාත්මක වෙනසක් නැති බව පිළිබිඹු කරනවා."

 

"වසංගතය කාලයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් 60,000කට වැඩි පිරිසක් රට හැරගොස් තිබෙනවා"

 

මෙම ප්‍රකාශය යුක්රේන ඡන්ද මධ්‍යස්ථානය විසින් 2021 මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක් මත පදනම් වී ඇති බව පෙනේ: "විශේෂඥයින්ට අනුව, 2020 ආරම්භයේ සිට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් 66,000ක් යුක්රේනය හැරගොස් ඇත."

යුක්රේනයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව්ට අනුව, 2021 පෙබරවාරි වන විට, මෙයින් 34,000ක් පමණ දෙනා යුක්‍රේන සෞඛ්‍ය සේවා පද්ධතියේ ලියාපදිංචි වෛද්‍යවරුන් වන අතර ඔවුන් වසංගතය ආරම්භයේ සිටම රටින් පිටව ගොස් ඇත.

ආර්ථික පර්යේෂණ ආයතනයට අනුව, කියෙව්හි දී වෛද්‍යවරයකු වසරකට උපයන්නේ පවුම් 17,000ක් ($ 23,000) පමණි එහෙත් අසල්වැසි පෝලන්තයේ දී පවුම් 45,000 පමණ ඉපයීමේ හැකියාව ඇත.

යුක්රේන වෛද්‍යවරුන් රැකියා පිණිස යන්නේ කුමන රටවල ද යන්න නිල සංඛ්‍යාලේඛනවල දක්වා නොමැත. එනමුත් සෞඛ්‍ය වෘත්තිකයන් පෝලන්තය, චෙක් ජනරජය, සහ ස්ලෝවැකියාවේ සේවය කිරීමට දක්වන කැමැත්තේ වේගවත් වර්ධනයක් වාර්තාවී තිබේ.


(BBC සිංහල සේවය )

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්