පස් අවුරුදු සැලැස්ම (1972-1976) ප්‍රස්ථාවනාවේ ලංකාවේ ඉතිරි කිරීම් ප්‍රසස්ථ අගයට ළං වීමට තවත් සංඛ්‍යා හතරකින් වර්ධනය විය යුතු බව සඳහන් විය.


රටක ආයෝජන ශක්තිය ඉතිරි කිරීම් ප්‍රමාණයෙන් අවබෝධ කරගත හැකි බව ජාත්‍යන්තර ආයතන විශ්වාස කළහ. අද වනවිට රටක පැවතිය යුතු අවම මූල්‍ය සංචිත පවා අපට අහිමිය.  

නිදහසින් පසු වසර 24ක් ලංකාවේ සහනාධාර ව්‍යාපෘති සහනදායක වැඩ පොළවල් ලෙස හැඳින්විණ. එකල සහනාධාර පිනට දීමක් නොව ඍජු ශ්‍රම හුවමාරුවකි.  

කේන්ස් ආදි ආර්ථික විද්‍යඥයන්ට අනුව කානු කැපීමක් සහ කැපී කානු වසා දැමීමකි. සහනදායක වැඩට යනවාද නැද්ද යන තීරණය කළේ පුරවැසියන්ය.  එය  මදිපුංචිකමක් ලෙස සැලකිණ. රාජ්‍ය දීමනා පරිත්‍යාග නොවේය යන්න එකල නිශ්චිතයකි.
 
 Screenshot 2022 02 25 at 2.08.01 PM
 
මූල්‍ය කළමනාකරණය මුළුමනින්ම රාජ්‍ය අංශයේ වගකීමක් වූ එකල දේශපාලනඥයන්ට ඊට බලපෑම් කළ නොහැකි විය. මාතලේ මන්ත්‍රී නිමල් කරුණාතිලක (1956-60) තමා නිර්දේශ කළ පුද්ගලයෙකුට අපේක්‍ෂා කළ පින් පඩිය නොලැබීම ගැන ප්‍රශ්න කළ අවස්ථාවේ, “මන්ත්‍රීට වඩා ගම් මුලාදෑනියාගේ නිර්දේශය මා විශ්වාස බවට මාතලේ දිසාපති කළ ප්‍රකාශය ඊට සරල නිදසුනකි.

සිල්රෙදි නඩුවේදී ජනාධිපතිගේ හෝ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරින්ට නොහැකි බවට අවධාරණය කෙරිණ.

සිංගප්පූරුව නිර්මානය කිරීමේදී, නිදහසින් පසු ගෙවුණ මුල් සිව් විසි වසරෙහි ලංකාවේ පැවති විධිමත් රාජ්‍ය පාලන හා ආර්ථික කළමනාකරණය, ලී ක්වාන් යූ ගුරු කොට ගත්තේය. දූෂණ චෝදනා ලැබූ සිය කැබිනට් සගයෙකුට හිර ගේ හෝ දිවි නසා ගැනීමට ලී ක්වාන්  යූ, නියෝග කළ සිංගප්පූරුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය සේවයට නුසුදුසු බවට තීන්දු කළ පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස පත් කළ ලංකාවත් අද පවත්නේ දෙ තැනකය.  
 
 
පනස් වසරක ජනරජ කෙරුවාවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයේ රන් මුදල් සංචිත හිස් විය. සෞභග්‍යයේ දැක්ම නම් බැනරය ඔසවා ගත් ගෝඨාභයලාගේ ඊපීෆ්- ඊටීෆ් අරමුදල් කොල්ලය යනු ජනතාවගේ මිටි හාල් මුට්ටියට අත දැමීමකි.
 
 
ලංකාවේ ග්‍රාමීය සමාජයේ මිටි හාල් මුට්ටිය යනු උපයන දෙයින් හතරෙන් එකක් ඉතිරි කළ යුතුය යන බෞද්ධ ඉගැන්වීමට අනුගත සංචිතයකි. එදා මිටි හාල් මුට්ටියට වර්තමාන ඊපීෆ්- ඊටීෆ් අරමුදල් සමපාත වේ. වර්තමාන රාජ්‍ය භාණ්ඩාගාරය යනු ණය ගොඩක් මිස පිච්චියක ඉතිරියක් නැත. හතලිස් ලක්‍ෂ හය දහස් පන්සියයකට මාසිකව ගෙවීමට ආණඩුවට මං පැහැරීමට සිදුවී ඇත.  

හේතුව ඉතිරි කිරීම් සහ මූල්‍ය කළමනාකරණය බිඳ වැටීමය. සිංගප්පූරුව ගොඩ නැගෙන විට, ලංකාව කඩා වැටුණේ එහෙමය.

ප්‍රසස්ථ සෝල්බරි ආණ්ඩුක්‍රමය අහේතුකව ප්‍රතික්‍ෂේප කිරීම ඊට හේතු විය.


සෝල්බරි ව්‍යවස්ථාවෙන් ශක්තිමත් කළ රාජ්‍ය සේවය බිඳ දැමීම සහ සුළු ජාතින් සතු අයිතීන් යටපත් කිරීම හැර 1972 ජනරජ ව්‍යවස්ථාව කළ විප්ලවයක් නැත. සර්ව ජන ඡන්දයෙන් පත්වූ  පාර්ලිමේන්තු බලයට යටත් කළ  නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී අනන්‍යතාවන් 1978 දෙවන ජන රජ ව්‍යවස්ථාවෙන් අහෝසි  විය. සමානුපාතික  ක්‍රමය, ජනතාවට වග කී මන්ත්‍රීන් මූල්‍යමය වාසියට ආත්මය දෙන්නෙකු බවට පත් කොට, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ජාවාරමක් බවට පත් කළේය.


සේනානායකලා, බණ්ඩාරනායකලා...


සේනානායකලා, බණ්ඩාරනායකලා, සිය ධනය වැය කරමින් ගොඩ නැගූ  ලාංකේය සදාචාර සම්පන්න දේශපාලනය, වරප්‍රසාදලාභී තක්කඩින් හසුරුවන ජීවන ක්‍රමයකින් අවලස්සන කළ නීතිය මමයි කී, පාලකයන් මහ දවල් රාජ්‍ය දේපල කොල්ල කෑම හේතුවෙන් මහජන ආයතන දූෂණ වංචාවන්ට මැදිව රටේ ආර්ථිකය සහ සමාජ ක්‍රමය කඩා වැටිණ.

ඉන්පසු ව්‍යාපාරිකයන් බාර් පර්මිට් සඳහා ද, තරුණ පන්තිය රැකීරක්‍ෂා අපේක්‍ෂාවෙන්ද, පාතාලයන් නීතියෙන් ගැලවීම සඳහා ද පාලකයන් පත් කර ගැනීමට පෙළඹුනාහ. දූෂිත පාලනය නිසා ජනතාවගේ ගැරහුමට ලක්වූ පාලකයන් විවිධ සංඝ සභාවලින් ගරු සම්මාන ලබන විට, ඒ හිලව්වට ලැබුණ වරප්‍රසාද ගැන සමාජ මාධ්‍ය ප්‍රශ්න කිරීම එහි කූඨ ප්‍රාප්තිය වේ.
 
නූතන සිංගප්පූරුවේ පියා – ලී ක්වාන් යූ
 
නාගරිකරණය වූ සිංගප්පුරුවේ පවිත්‍ර වාතාශ්‍රය විඳීමේ හිලව්වට ජනතාව ගෙන් බදු ගැනීමට නොහැකිවීම ගැන ලික්වාන් යූ ප්‍රසිද්ධියේ පසුතැවිලි විය.


ප්‍රජාතන්ත්‍රවාදි රටක මෙය යථාර්ථයක් කළ හැකිද යන්න සමහරු විමසති. නවසිය හැත්තෑ ගණන් වලදීත් ලංකාවේ  නාගරික ජනතාව ජල අවශ්‍යතා නොමිලේ  ලබාගත් නාගරික ජල කරාම (Public tap ) ඒච අද දක්නට නැත. වර්තමානයේ  නගරයට පැමිණි අමුත්තෙකුට පවා ජල බිඳක් නොමිලේ ලැබෙන්නේ නැත.  

මේ පරිවර්තන ගැන කිසිදු පුරුවසියෙකු උරණ නොවීය. හේතුව පුද්ගල පරිභෝජනයට නියමිත මිලක් පවත්නා බව ජනතාව දන්නා නිසාය. අපේ ජනතාව කිසි විටෙක කිසිවක් නොමිළේ අපේක්‍ෂා නො කරති. 1953 හර්තාලයේ ආරම්භව අදටත් ආණ්ඩුවෙන් සහන ඉල්ලමින් ජනතාව උසිගන්වන දේශපාලකයන් රටේ බිඳ වැටීමට වගකිව යුතුවේ.
 
 
1953 හර්තාලය මෙහෙයවූ ඇන්.ඇම්. මුදල් ඇමති හැටියට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගින්ට ශත 25ක  බද්දක් නියම කිරීම, ලී ක්වාන් යූගේ සිංගප්පූරු ක්‍රමය පිළිගැනීමකි.
 
 
යුද සමයේ ඇති කළ කූපන් පොත් සෙල්ලම ජනාධිපති ජේ.ආර්. අහෝසි කිරීම හෙලා දුටු හෙක්ටර් කොබ්බෑකඩුව 1982 ජනාධිපති වරණයේදී තමා බලයට පත්වූ වහාම හාල් පොත් දෙන බව කීය. සමෘධි නම් වූ ප්‍රේමදාසගේ ජනසවිය 2015 වනවිට ඡන්දෙට සිල්රෙදි බෙදන තැනට තල්ලු විය.

බැසිල් වැඩ ලක්‍ෂයට මුවා වී ඒ සෙල්ලම පටන් ගෙන ඇත.  
 
 
Ranjan gets 4 years RI for Contempt of Court | Daily News
 
රන්ජන් රාමනායක
 
සුනාමි සහනාධාර මුදල් පුද්ගලික ගිනුමක දැමීමට එරෙහි නඩුවෙන් මහින්ද රාජපක්‍ෂලා තමන් නිදහස් කළ බව කී අග විනිසුරු සරත් නන්ද සිල්වාට හෝ මන්නාරම් අධිකරණයට ගල් ගැසූ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට අච්චු නොකළ අධිකරණය රන්ජන් රාමනායක හිරේ දැමීය.

ව්‍යවස්ථාදායකයට විධායකයට මෙන්ම අධිකරණයටත් 78 ජනරජ ව්‍යවස්ථාව ත්‍යාග කළ අප්‍රමාණ අවකාශය මිනි මරුවන්ට හොරුන්ට වංචනිකයන්ට පැන යා හැකි තරම් සුවිශාල සිදුරු අධිකරණයෙහිද නිර්මානය කර ඇත.

ඒ විධායක ක්‍රමය අහෝසි කිරීමට 2015දී සූදානම් වූ විට, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්නට අනුව, ඊට එරෙහිවූ 43 බලකා ආඥාපති පාඨලී චම්පික, 2005දී හෙළ උරුමය සමග මහනුවර මහ මළුවේදී ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දීම කැලේ මාරු කළ කොටියාගේ පුල්ලි සිහි ගන්වයි.

සුහන්දිරන් කැඳවූ විපක්‍ෂයේ ඒකාබද්ධ සාකච්ඡාව මඟ හැර ගිය අනුර කුමාර සහ පාඨලී චම්පික දෙදෙනාම විධායක ක්‍රමය සුරැකීමට කැපවී සිටිති.
 
 
 
රාජපක්‍ෂලා සිය පාලනය තුළ බිඳ වැටෙන තෙක් බලා සිටීමට රටේ බොහෝ දෙනා හිත හදාගෙන සිටියද, රාජපක්‍ෂලාට පළමුව කඩා වැටෙන ශ්‍රී ලංකාව වේගයෙන් ඇදී යන දිශානතිය යහපත් නැත. දැනටමත් දරුවන්ට කිරිපිටිද, රෝගින්ට ඖෂධද හිඟ වෙමින් පවතී.
 
 
පවත්නා ගැටළු නිරාකරණය කිරීමට පාලකයන් ක්‍ෂණිකව ගන්නා තීරණ එක් රැයින් ආපසු හකුළා ගැනීමද බරපතල තත්වයකි. පොහොර සහ නැගෙනහිර ජැටිය පිළිබඳ රාජ්‍ය තීරණ දැඩි ජනතා විරෝධය හේතුවෙන් හකුළා ගැනීමෙන් ආණ්ඩුවේ කළමනාකරණ නො හැකියාව තහවුරු වේ.

ඊපීෆ්-ඊටීෆ් අරමුදල් 25%ක අධිභාරයෙන් ඉවත් කළේ ජනතා විරෝධය නිසා මිස, සබුද්ධික තීරණයක් නොවේ. පොහොර ප්‍රතිපත්තිය හකුලා ගැනීමෙන් අපේක්‍ෂිත විදේශ විනිමය ගැටලුව විසඳුණේ නැතිවා සේම, ඊපීෆ්-ඊටීෆ් අරමුදල් මුදා හැරීමෙන් කෙටි කාලීන වියදම් පියවා ගත නොහැකිවී සිටි.  

එහි තේරුම රාජපක්‍ෂලා උස්සා පෙන්වූ සෞභාග්‍යයට වඩා ඊපීෆ්-ඊටීෆ් අරමුදල් ශක්තිමත් බවය. මේ නිර්මානය වෙමින් පවත්නේ පක්‍ෂ දේශපාලන සෙල්ලම නතර කර රට වෙනුවෙන් සද්භාවයෙන් මැදිහත් විය යුතු ආපදාවකි.


සුහන්දිරම් දැල්වූ කොළ එළිය ධනාත්මක ප්‍රවේශයකි
 
 
TNA calls for talks on HR issue | Daily News
 
සුහන්දිරන් : උතුර දකුණ එක් කරන පාලම ...
 
 
පොදු මතයකට විපක්‍ෂ සංවිධාන කැඳවීම සුහන්දිරම් දැල්වූ කොළ එළිය ධනාත්මක ප්‍රවේශයකි. උතුර දකුණ එක්ව රට වෙනුවෙන් පෙළ ගැසීමේ සුභවාදි ආරම්භයකි.  

ඡන්ද තියැන්නැයි අභියෝග කිරීමෙන් රාජපක්‍ෂලා ශක්තිමත් වීමට වඩා යමක් සිදු නොවනු ඇත. රට පවත්නේ බල අරගලයකට කිසිසේත් සුදුසු පරිසරයක නම් නොවේ. ජනතාව ජිවත් වෙන්නේ ආහාර සහ ඖෂධ දෙකම හිඟවූ අවදානමකය.

සිය ගෙවත්තේ වැඩට ඉඳහිට කැඳවන ශ්‍රමිකයෙකුට පසුගිය සතියේ මගේ මිත්‍රයෙකු සිරිත් පරිදි දුන් රුපියල් දෙදහසක දෛනික කුලිය නොගෙන ඔහු බයාදු ලෙස සිනාසි ඇත.

“ඇයි ඩේවිඩ් මොකද සල්ලි මදිද මමත් ඉන්නේ අමාරුවෙන්. දන්නවානේ.

“අනේ නෑ මහත්තයා. ගෙදර කාලා ඉතුරු වේචච දෙයක් තියෙනවා නම් ඔතලා දෙන්න. මීට වැඩිය ඒක  මට වටිනවා. ගෙදර දර ගෑස් දෙකම නෑ. ඔය සල්ලි වලින් කඩෙන් ගන්න පුළුවන් දෙයක් නෑ.''  කතාව එපමණකි.
 
 
මේ අප ජීවත් වන්නේ කරත්තයක මුදල් පුරවා පාන් රත්තලක් ගැනීමට සිදුවූ අතීත ජර්මනියේ නෙවේ. මුදලේ වටිනාකම හෝ මිලදී ගැනීමේ හැකියාව අපට පාලනය කළ නොහැකි ලංකාවේ ය.
 
 
මැල්බර්න්හී පැයක සාමාන්‍ය කුලිය ඕස්ට්‍රේලියන් ඩොලර් 21ක් පමණය. කොත්තුවක් ඩොලර් 12කි. ලංකාවේ දවස් කුලිය රුපියල් 2000ක් නම් පැයකට රුපියල් 166කි. ලංකාවේ කොත්තුවක් රුපියල් 200කට වැඩිය. මේ සතියේ ඕස්ට්‍රේලියන් ඩොලර්යක රුපියල් 150කට ආසන්නය. ලංකාව බලාගෙන සිංගප්පූරුව නිර්මානය කළාට ලංකාව ඕස්ට්‍රේලියාව විය යුතු නැත.  

ලංකාවේ පැයක ඉපයීමකින් වේලක් කෑ හැකි නම් සැපයකි. මේ දත්ත ආසන්න අනුමානයන් වේ.

sajith anura champika

බහුතරයක් හුරුවී සිටින්නේ බත් පැකට්ටුවකට අරක්කු කාලකට කතිර ගහන්නටය. ඒ සත්‍යය අපේ අසරණ මිනිසුන්ට කියා දිය හැක්කේ බෙදිලා නොවේ. එකතු වෙලාය. බල ලෝභයෙන් විපක්‍ෂ කණ්ඩායම් විසිරී සිටිති.

ඊපීෆ්-ඊටීෆ් අරමුදල් බේරා ගත්තේ තමන් බව සජිත් කියයි. දාගැබ් දෙදහස ඉදි කිරීමට මධ්‍යම සංස්කෘති අරමුදල හිස් කළ බව සජිත් නොකියයි.

අනුර කුමාරලා පක්‍ෂයට බඳවා ගන්නේ පොලිස් වාර්තා පරීක්‍ෂා කරලාය.  

රාජපක්‍ෂලාට එරෙහිව රටේ වාසියට විපක්‍ෂය ඒකරාශි කළ හැක්කේ කාටද? ජාතක කතාවක එන වටු රෑනේ සබුද්ධික හැසිරීමවත් කියවා නැති නායකයන් රටකට නායකත්වය දෙන්නේ කෙසේද?

තුනෙන් දෙක දිනා ගත් රාජපක්‍ෂලාට සත පහක් දෙන කෙනෙන් රටේත් නැත. ලෝකයේත් නැත. රටේ අපදාව සඳහා විපක්‍ෂය එක්ව රුපියල් දහයක මිටි හාල් මුට්ටි (අරමුදල)යක් ආරම්භ කළොත්.... එහි එකතුව මැතිවරණ ප්‍රතිපලයට පෙරළා දනින් වැටුණ ආණ්ඩුව රටේ වාසියට මෙහෙයවිය හැකිය. හරියට ඊපීෆ්-ඊටීෆ් අරමුදල නැගෙනහිර ජැටිය බේරා ගත්තා වාගේය.

අපට අවශ්‍ය වෙනස් දේශපාලනයකි. පාස්තු ප්‍රහාරයේ දිග පළල දන්නා අපට රාජපක්‍ෂලාගේ ඊළඟ ගුණ්ඩුව නිෂ්ක්‍රිය කළ හැක්කේ එසේය.
 
 
එන්. එම්. පෙරේරා - විකිපීඩියා
 
ඇන්.ඇම්. පෙරේරා
 
 
1972 ලෝක ආර්ථීක අර්බුදයේදී ඇන්ඇම් මුදල් අච්චු ගැසුවේ නැත. යම් කාල පරාසයක් පැරණි මුදල් නෝට්ටු අවලංගු කළා පමණකි. ඇන්.ඇම්. කළේ මිනිසුන් සතු මුදල් රැස් කිරීමකි.

මුලින් සඳහන් කළ ඉතුරුම් ශක්තිය මෙන්ම මිටිහාල් කතාවත් ආයෝජනයකි. සහනාධාර සුභ සාධනය පෙන්නා බලය ඇල්ලීම තවදුරටත් වලංගු නැත. අප අළුතෙන් කල්පනා කළ යුතුවේ. ජනාධිපති කෙනෙක් රහිත රටක් යනු එහි අරමුණ වේ.

උපාධිධාරින් රැකියා නැති නම් නිදහස් අධ්‍යාපනය පලදායි ආයෝජනයක් වී නැත. රෝගීන් බිය වද්දමින් සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය කරයි නම්, සමාජ සුභ සාධන වියදම නාස්තියකි. සමෘධි දීමනාව ඡන්ද ගුණ්ඩුවකි.
 
 
අවශ්‍ය රට නගන ජනතාව රකින පාලන ක්‍රමයක් මිස නායකයෙක් නොවේ. රටට අවශ්‍ය වෙනස කිරීමට සාම්ප්‍රදායික දේශපාලනය හෝ දේශපාලකයන් ශක්තිමත් නැත.
 
 
 
අපට 1972දී අප නැති කර ගත් ශක්තිමත් රාජ්‍ය සේවයත්, සුළු ජාතින්ගේ හොඳහිතත් යළි යථාවත් කළ හැකි නම්  රට ගොඩ ගැනීම අරුමයක් නොවේ.

1965 ජාතික ආණ්ඩු උත්සාහයට පසුව උතුර දකුණ එක් කරන පාලම සුහන්දිරන් ඉදි කරමින් සිටියි. ඊට ජාතිවාදි බෝම්බ විසි නොකළ යුතුවේ. රටේ විධායකය මෙන්ම දේශපාලනයද වෙනස් විය යුතුවේ.

ඊට සතුටු නොවන්නෝ හොරුන් තක්කඩියන් මිස ගැලවුම් කරුවන් නම් නොවෙති.


Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)


 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්