යුක්‍රේනය ගැන හදුන්වද්දී පුටින් කාලයක් තිස්සේ පාවිච්චි කළේ ප්‍රචණ්ඩ ලිංගික භාෂාවක්


(ලෝකයේ දැන් ජීවත්ව ඉන්න ජනප්‍රියම වාමාංශික දාර්ශනිකයා තමයි ස්ලේවෝයි ෂිෂෙක්. ඔහු ලිබරල්වාදයටත්, ඇමෙරිකාවටත් දැඩිව රිදෙන අදහස් දැක්වූවෙක්. අනෙක් පැත්තෙන් ගොඩක් වාමාංශික රටවල අඩුපාඩුත් පෙන්වාදුන් කෙනෙක්. මේ සටහනේදී ඇමෙරිකාව-රුසියාව යන මහා තඩි ලෝක බලවතුන් දෙන්නාවම උපහාසයට ලක් කරමින් යුක්‍රේන අර්බුදය ගැන කතා කරනවා.)

මේ මාසයේ මුල පැවති මාධ්‍ය හමුවකදී යුක්‍රේන් රජය මින්ස්ක් සම්මුතියට අකමැති බව සිහිපත් කළ ව්ලැඩ්මීර් පුටින් මෙහෙම කීවා. ‘කැමති වුණත් නැතත්, ඒක ඔයාගෙ රාජකාරිය මගෙ සුන්දරී.’

මේ ප්‍රකාශයේ ඕනෑ කෙනෙක්ට තේරෙන ලිංගික යටිඅරුතක් තියෙනවා. පේන විදියට පුටින් සෝවියට් යුගයේ පන්ක් රොක් සංගීත කණ්ඩායමක් වූ රෙඩ් මෝල්ඩ්ලාගේ ‘ස්ලීපින් බියුටි ඉන් අ කොෆින්’ කියන ගීතයේ කොටසක් උපුටනවා.

 ‘මිනීපෙට්ටියේ නිදන සුන්දරී, මං ඒකට රිංගලා ඇය එක්ක හැමිණුනා. (ෆක්ඩ් හර් නම් සම්පූර්ණ කුණුහරුපය ගීයේ තියෙනවා.) කැමති වුණත්, අකමැති වුණත්, නිදාගනිං මගේ සුන්දරී.’

ක්‍රෙම්ලිනයේ මාධ්‍ය නියෝජිතයා පුටින් පරණ රුසියානු පිරුළක් ඇසුරෙන් ඔය කතාව කී බවක් හඟවන්නට උත්සාහ කළ නමුත්, යුක්‍රේනය නෙක්‍රොෆීලියාවට (මළමිනී ගැන තියෙන විකෘති ආශාවට) සහ දූෂණයට ලක් වන වස්තුවක් ලෙස උක්ත ප්‍රකාශයෙන් ඉස්මතු වූ බව පැහැදිලියි.

ZZZZZ                    ස්ලේවෝයි ෂිෂෙක්


මිට කලිනුත්, 2002 දී, පුටින් බටහිර මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට උත්තර දෙමින් මෙහෙම කීවා.

‘ඔබට සම්පූර්ණ රැඩිකල් ඉස්ලාම් භක්තිකයෙක් වෙලා සුන්නත් කරගන්න ඕනෑ නම්, මම ඔබට මොස්කව්වලට ආරාධනා කරනවා.. අපි බහුආගමික රටක්. අපට ඔය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඉන්නවා. මං සහතික වෙනවා, එයාලා කොච්චර හොඳට ඔපරේෂන් එක කරනවාද කිවොත්, ආයෙත් වෙන කිසිදෙයක් වැඩෙන එකක් නෑ.’ – ඒක අශ්ලීල විදියට කර ඇඹීමක් (වඳ කරලා දැමීමක්) ගැන තර්ජනයක්.

මේ විදියේ අශ්ලීල වැඩවලදී පුටින් සහ ට්‍රම්ප් එක ජාතියේ වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. සමහරු මේකට ප්‍රතිතර්කයක් විදියට කියන්නේ ඔය වගේ නායකයන් කුහක බකතපස් නැතිව කියන්න තියෙන දේ කෙළින් කියන විත්තිය.

ඒත් මෙතැනදී නම් මම මුළු හදවතින්ම ඉන්නේ කුහක බකතපස් රකින එක පැත්තේ. මොකද, මේ වගේ තැනකදී කුහකකම කියන්නේ හුදෙක් (යම් දෙයක් කියන) ආකෘතියක් විතරක් නෙවෙයි. ඒක කියන්න තියෙන කාරණයේම කොටසක්. ඒ නිසා ආකෘතිය අතහැරියොත් අන්තර්ගතය විකෘති වෙනවා. (කුහක ‘විදියට’ මවාගත්ත වචනවලින් නැතිව අමුවෙන් මේ වගේ රාජ්‍යතාන්ත්‍රික දේවල් කියන්න බැහැ.)



පුටින්ගේ මේ අශ්ලීල ප්‍රකාශය කියවාගන්න ඕනෑ ‘සාධාරණ රටක් දූෂණය කිරීමක්’ විදියට යුක්‍රේන අර්බුදය අර්ථකතනය කරන මාධ්‍ය වාර්තාවන්ගේ පසුතලයට එදිරිව. මේ අර්බුදයට ඒකේ හාස්‍යජනක පැතිත් නැතිව නෙවෙයි.



දැන් මේ ආටක-නාටක ලෝකේ මේ අර්බුදය සෑහෙන සීරියස්. ස්ලෝවීනියන් දේශපාලන විචාරකයෙක් වන බොරිස් කිබෙජ් 2022 මුලදී යුක්‍රේනයේ අවිනිශ්චිත තත්වයෙහි හාස්‍යජනක හැඩතල පෙන්වාදුන්නා. ‘ගහන්න ලෑස්තිවෙලා හිටපු අය /ඒ කිව්වෙ රුසියාව/ කීවේ තමන්ට පහරදෙන්නට කිසි වුවමනාවක් නැති විත්තියක්. ඔය අස්සෙ අනෙක් පැත්තෙ, තත්වය සමනය කරවාගන්න දඟලපු කරන අය කීවෙ ගැටුම අනිවාර්යයි කියලා.

තව ඕනෑතරම් තියෙනවා. පහුගිය සති කිහිපයේ, ‘යුද්ධය ඕනෑ වෙලාවක පුපුරායන්න පුළුවන්’ කියා යුක්‍රේනයේ ‘ආරක්ෂකයා’ වෙච්ච ඇමෙරිකාව අනතුරු හඟවද්දී රුසියානු ප්‍රහාරයක වින්දිතයා වෙන්න නියමිත වෙලා හිටපු යුක්‍රේනයේ ජනපති, යුධ විකාරයෙන් (යුධ හිස්ටීරියාවෙන්) පෙළෙන කට්ටිය කලබල නවත්තලා සන්සුන් වෙන්න කියා ඉල්ලුවා.  

මේ තත්වය ස්ත්‍රී දූෂණයක් විදියට අර්ථකතනය කරන්න අමාරු නෑ. යුක්‍රේනය දූෂණය කරන්න ලෑස්තිවෙච්ච රුසියාව කීවේ තමන්ට ඒක කරන්න ඕනෑ නැති විත්තියක්.. ඒත්, ඒ වචන අතරමැද්දෙන් ඔවුන් ඉතා පැහැදිලිව කීවේ යුක්‍රේනය හැමිණෙන්න කැමැත්ත නොදුන්නොත්, ස්ත්‍රී දූෂණය කරන්න ලෑස්ති බව. (පුටින්ගේ අශ්ලීල උත්තරේ මතක් කරගන්න.)

ඒ විතරක් නෙවෙයි, දූෂණයට තමන්ව පොළඹවාගත්ත බවකුත් රුසියාව චෝදනාවක් විදියට යුක්‍රේනයට එල්ල කළා.

යුක්‍රේනය දූෂණයට ලක්වීමෙන් වළක්වාගන්න ඕනෑ වෙච්ච ඇමෙරිකාව, ස්ත්‍රී දූෂණයක් වෙන්න තියෙන බව අනතුරු හැඟවීමේ නළා හඬවමින් කලින්ම කීවා. ඒ තමන් සෝවියට් දේශෙ හිටපු රටවල්වල ගැලවුම්කාරයාගෙ චරිතෙට අඳින්න ලෑස්තිවෙච්ච නිසා.


ඇමෙරිකාවේ මේ අරුම ආරක්ෂකයාගේ හැසිරීම බලං ඉද්දී ගමේ චණ්ඩියා මතක් වෙන එක නවත්වන්න බෑ. චණ්ඩියා (දේශපාලුවා) බාර්වලට, කඩවලට (බිස්නස්කාරයන්ට) තමන් යටතට ඇවිත් ‘හොරකම්වලින් ආරක්ෂා වෙන්න මගෙ යටත එන්න. නැත්නම් මොනවහරි කරදරයක් වේවි කියා පාට් එක දාන හැටි තමයි මතක් වෙන්නේ.




ඒ මැද්දෙ යුක්‍රේනය හෙවත් දූෂණය වෙන්න අවදානමේ ඉන්න (ගෑණු) කෙනා ඉන්නවා. පුළුවන් තරම් සන්සුන්ව උත්සාහ කළත්, ඇමෙරිකාවේ අනතුරු හැඟවීමේ නළා එක්ක කම්පනයට පත්වෙලා ඉන්නේ. මොකද, ස්ත්‍රී දූෂණය ගැන ඇමෙරිකාවේ ඝෝෂාව හින්දා ඇත්තටම රුසියාව ස්ත්‍රී දූෂණය කරන්න පුළුවන් බව දන්න නිසා.

මේ නොදන්නා අනතුරු හැම එකක්ම එක්ක මේ ගැටුම පිටිපස්සේ තියෙන්නේ මොකක්ද? ඇත්තටම මේ ගැටුම භයානක වෙන්නේ, මේකෙන් හිටපු ලෝක බලවතුන් දෙපාර්ශ්වයක (ඇමෙරිකාවේ සහ රුසියාවේ) බලය ටිකෙන් ටික වැඩිවෙන විදිය පේන නිසා නෙවෙයි නම්? ඊට සම්පූර්ණයෙන් වෙනස්ව, මේ දෙපැත්තම තමන් තවදුරටත් සැබෑම ලෝක බලවතුන් නොවන විත්තිය (ෆැක්ට් එක) තවම බාර අරන් නැති නිසා නම් මේ ගැටුම භයානක?

සීතල යුද්ධයේ උච්චතම මොහොතක මාවෝ සේතුං කීවා ඇමෙරිකාවට ඔය ඔක්කොම ලොකු ලොකු අවිආයුධ තිබුණත් ඒ රට කඩදාසි කොටියෙක් බව. ඒත් ඔහුට කියන්න අමතක වුණා ආත්ම විශ්වාසයක් තියෙන හැබෑ කොටින්ට වඩා කඩදාසි කොටි භයානක වෙන්න පුළුවන් විත්තිය.

ඇෆ්ගනිස්ථානයෙන් හමුදාව ඉවත් කරගැනීමේ නාඩගම ඇමෙරිකානු ආධිපත්‍යයට එල්ල වූ බඩේ පාරවල් මාලාවක අන්තිම එක. සෝවියට් දේශය නැවත ගොඩගැනීමේ රුසියානු උත්සාහය මරණයට පත්වෙමින් පවතින දුර්වල රාජ්‍යයක වහගන්නට ගන්න බලාපොරොත්තු රහිත උත්සාහයක්.



ඇත්තම ස්ත්‍රී දූෂකයන් වාගේ තමයි. දූෂකයාගේම බෙලහීනකම ස්ත්‍රී දූෂණයකින් ඉඟි කරනවා.



බෙලහීනකම අතගාලා බලන්න පුළුවන් දැන් දූෂණ ක්‍රියාව පළමු රුසියානු හමුදා කොටස් යුක්‍රේනයට ‘ඇතුළු කරන්න’ පටන් ගත්ත හින්දා. – හැබැයි ඒ (දූෂණ ක්‍රියාව දැන් පටන්ගත් බව කියන්න වෙන්නේ) අපි වැග්නර් සමූහය නම් වූ සිරියානු, කිමියානු, මධ්‍යම අප්‍රිකානු සහ බොස්නියාවේ රිපබ්ලිකා ස්ර්ප්ස්කානු යුද්ධවලට මැදිහත්වෙච්ච ආන්දෝලනාත්මක රුසියානු පෞද්ගලික හමුදා කම්පැණියේ අශ්ලීල භූමිකාව පොඩ්ඩකට අමතක කළොත්.

මේ නිර්නාමික කුලී භටයන්ගේ සමූහය, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අතේ දුරින් තියාගත් මිලිටරි කණ්ඩායම රුසියානු ආණ්ඩුව විසින් පාවිච්චි කළා. අවුරුදු ගාණක් තිස්සේ ඔවුන් ඩොන්බාස් ප්‍රදේශයේ රැඳී සිටිමින් ‘ඉබේ පහළ වෙච්ච’ යුක්‍රේනයේ (රුසියාවට පක්ෂව ඇතිවෙච්ච) කැරැල්ල සංවිධානය කළා. ඒකම ඔවුන් ඊට කලින් ක්‍රිමියාවේත් කළා.

යුක්‍රේනය දූෂණය කිරීමේ දුක්බර සිදුවීම එළියේ වෙනතත් රටවල ඉඳන් බලා සිටින අපි වගේ අය දැනගන්න ඕනෑ හැබෑ කර ඇඹීමකින් (වඳ සැත්කමකින්) පමණක් දූෂණය නැවැත්විය හැකි විත්තිය.

ඒ නිසා අපි යෝජනා කරන්න ඕනෑ ජාත්‍යන්තර සමාජයට රුසියාවේ කර ඇඹීමේ මෙහෙයුමක් ගෙනියන්න කියලා. ඔවුන්ව උපරිමයෙන් කොන් කරලා නොතකා හරින්න ඕනෑ. ඒ වැඩේ අහවර වුණාට පස්සේ ඔවුන්ගේ ගෝලීය බලයෙන් ආයෙත් කිසිදෙයක් වැඩෙන්නෙ නැති තැනට වගබලාගන්න ඕනෑ.


(satahan.blog)

Leader Whats app

 

  

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්