ජාතික ආණ්ඩු කතාව  මාධ්‍ය ප්‍රකාශ හරහා දෙදිනක් තුළ දියකර හැරියේය. එහෙත් ලංකාවේ හෙට දවසේ දේශ ගුණය හෝ නිවැරදිව වාර්තා කිරීමට මාධ්‍ය

සමත්වී තිබේද?

කවුරුන් හෝ උපුටා දක්වා රට අවුස්සා පසුදා එය නිවැරදි කිරීමට වඩා පලදායි සමාජ මැදිහත්වීමක් අපේ මාධ්‍යය භාවිතය සිදු කරත්ද?  

අද මාධ්‍ය යැපෙන්නේත් ඕපදූප වලිනි. විමුක්ති කුමාරතුංග මව්රට එන කතාව දේශපාලන පෙරළියක් සේ සිතන තරමට අපේ මාධ්‍ය ලාමක ටිංටිංය.

1954දී වදකහ පොවා රටේ බාගයක් රෝහල්වලට දැක්කීමට වඩා පලදායි යමක් කිරීමට, අදටත් මාධ්‍ය අසමත්ය.

චන්ද්‍රිකාට එරෙහිව මාධ්‍ය ගොනාට ඇන්දූවේත් ජාතික ආණ්ඩු කතාව යටපත් කරවන්නේත් මහින්දමය.

 එක් ජාතික පුවත් පතක් දිගු කලක් මැදහත්ව පළ කළ ගුරුදා කිවිදා දේශපාලන විචාර 2020ට පසුව ආණ්ඩුවේම ගෝලයන් දෙදෙනෙකුට පැවරූ මාධ්‍ය කාරයාට දෙසතියට එකෙකු සේ සීමා කිරීමට සිදුවුණේ පත්‍රය මිලදී ගන්නා පාඨකයන්ගේ ප්‍රතික්‍රියා හේතුවෙනි.

 

 lankadeepa

මේ විවේචන අතර, මාධ්‍යයක ජාතික වගකීම නිවැරදිව සහ හරවත්ව ඉටු කරමින් පසුගිය මාර්තු 13 වෙනිදා ඉරිදා ලංකාදීපය, රටේ රාජ්‍ය පාලනයේ බිඳ වැටීම, ඤාන(ණ)ක්කා හරහා රටට හෙළි කළේය.

 

නීති පැනවීම පාර්ලිමේන්තුව කළ යුතු රටේ, නීතිය මමයි යනුවෙන් රටේ විධායක ජනාධිපති කළ ප්‍රකාශය වැව් රක්‍ෂිතයේ හෝටල් හදන  ඤාන(ණ)ක්කා අතට ගත්තාය.

විධිමත් අවසරයකින් තොරව, පුරන් කුඹුරක් හෝ අදටත් ගොඩ කළ නොහැකි ලංකාවේ උසාවි නියෝග නොතකන සාත්තර කාරියකගේ මොනර නැටුම හරහා,  දිසාපති වාරිමාර්ග අධ්‍යක්‍ෂ, ප්‍රාදේශීය ලේකම් ආදි රාජ්‍ය තනතුරු නපුංසකයන් අතට පත්ව ඇති ආකාරය ප්‍රදීප් සම්පත් කරුණාතිලකගේ ගවේෂණාත්මකව  තහවුරු කරයි.  

මෙය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය මෙන් සරල නැත. රටේ උරුමය වන වැවක අයිතිය මෙසේ නිර්බාධිතව අත්පත් කර ගනී නම් එය ජාතික ආණ්ඩුවකින් හෝ සහතික කළ යුතු ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වේ.


ජාතික ආණ්ඩුව !!

 

ලංකා දේශපාලනයේ නවතම සුළිය (හෝ ගිනි කෙළිය) ජාතික ආණ්ඩුව විය හැකිය. බිඳ වැටුණ ලංකාව දරුවන්ගේ සා ගිනි විලාපය දරාගත නොහැකිව පියෙක් දිවි නසා ගන්නා රටක් වී අවසානය. හෙවත් ජාතික ආණ්ඩුවක ආරක්‍ෂාව මෙහෙයවීම අවශ්‍ය නිමේෂයකය.

අනුරාධපුරේ ගොස් දැන් ගොවීන් වහ බෙනවාද ඇසූ රාජපක්‍ෂලා පැරසිටමෝල් පෙත්තේ මිලත් ඉහළ දැම්මේ කැමැත්තෙන් නම් නොවේ.

මේ නිමේෂයෙහි කුමන හෝ ජාතික එකඟතාවයක් රටේ ආරක්‍ෂාව පිණිස අවශ්‍යව ඇත. 'සාධාරන සමාජයක් ව්‍යාපරය' මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් එය සිදු කළ නොහැකිය.

අයිඑම්එෆ් කොන්දේසි ආණ්ඩුවේ නොව රාජ්‍යයේ යහපත අනුව, සමලෝචනය කිරීම මෙයින් අදහස් කෙරෙයි. පාලක රෙජිමය තබා රටේ සක්‍රිය කිසිදු දේශපාලන පක්‍ෂ පවා, ආණ්ඩුව කඩා වැටුවොත් බලය අල්ලන තැනට සීමාවී සිටිති.

අගමැතිකම නම් නොකිරීමේ වෛරයෙන් රාජපක්‍ෂලාට කෙළවීමට යහ පාලනයට හේත්තුවී  ජනාධිපතිවූ සිරිසේන, මහින්ද දින 55කට අගමැති කිරීමෙන් සිය මජර පැවැත්ම සර්ව පාක්‍ෂික යෝජනාවෙන් යළි රටට සිහිපත් කරයි.

සිරිසේනගේ ප්‍රමාණයටම මජර නොව හරබර රනිල් ජාතික ආණ්ඩු කතාවේ නිර්මාතෘ බව අගමැති මහින්ද කියා තිබිණ. එජාපය රනිල් විසින්ද, ශ්‍රීලනිපය සිරිසේන විසින්ද මෙහෙයවීම යනු අර මොකක්දෝ එකේ අග සහ මුලට වඩා යමක් නොවේ.

වර්තමාන පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්‍ෂ දෙක වන ශ්‍රීලනිපයෙන් බිඳි ගිය පොහොට්ටුවත් එජාපයෙන් කැඩී ගිය සජබයත් රට තුළ දියාරු වෙමින් පවතී.

 

බැසිල්ට අවශ්‍ය තනිව රජවීමටය. විපක්‍ෂ නායකකමත් ඉණේ ගසාගෙන ජාතික ආණ්ඩුවට යා හැකි නම් සජිත්ද කීයටවත් ඒ චාන්ස් එක අත් හරින්නේ නැත. 

 

පාඨලී චම්පික අනුර කුමාර දෙදෙනාම යාල විල්පත්තුවේ ජීවත්වන හාවුන් සහ ජනාවාස ගම්වල හාවුන් අතර වෙනස ගණන් හිලව් දක්වමින් සිය බුද්ධි ප්‍රභාවයෙන් ජනතාව රවටා බලය ඩැහැ ගැනීමට තැත් කරමින් සිටිති.  

මිට මොළවා ගත් සිය ඖෂධයෙන් බලය ලැබුණොත් රටේ කාගේත් කටට මිරිකීමට සිහින දකින ආනා කානා මූනා රූනා ආදි කිසිවෙකු උද්ගතව පවත්තා ජාතික ආපදාවට සත් භාවයෙන් කර ගසන්නේ නම් නැත.

 උදාවී  ඇත්තේ අනුර කුමර චම්පික ක්‍රමයට, එක එකාගේ ගැහිලි ගැරලි කියවමින් පාක්‍ෂිකයන් චූන් කළ යුතු නිමේෂයක් නොවේ.

 

හේතුව මැදමුලන පවුල යනු අලි බබා සහ හොරු හතලිහටත් එහා ගිය පල් හොරුන් බව බව දැන දැනම ජනතාව ඔවුන් පසුපස යාමය. තමන්ට පිටු පෑ වීරවංශ  උසාවි දැක්කීමට රාජපක්‍ෂලා කරන උත්සාහය විපක්‍ෂයේ කිසිවෙකු තම ජයග්‍රහණයක් සේ සැලකිය යුතු නැත. එය වීරවංශගේ පැත්තෙන් කියවිය යුතුවේ.

 

යුගදනව් ගිවිසුම ආදි බැසිල්ගේ ව්‍යාපෘතිවලට වීරවංශලා එකඟවී නම් කිසිදු ලුහු බැඳීමක් පෙරළියක් නෙරපීමක් විමර්ශණයක් සිදු නොවේ. එසේම ඊවා වනසුන්දර ලවා සියලු  අල්ලස් නඩු හකුලා ගන්නා රාජපක්‍ෂලාගේ කැරැට්ටුව දන්නා අප විරවංශට එරෙහි ක්‍රියාමාර්ග යනු පවුලක ආරක්‍ෂාවට අපකීර්තිමත් ඊවා වනසුන්දර අවභාවිතා කිරීමකි.

පාවා දුන් සගයෙකු පසුපස පාතාල කල්ලියක් හඹා යාමත්, රාජපක්‍ෂලා වීරවංශ ලුහු බැඳීමත් එක සමානය.

අප පෙළ ගැසිය යුත්තේ රාජපක්‍ෂ දේහයේ බොටුව විරවංශ විසින් හපාගෙන සිටින නිසා පමණක් නොවේ. ප්‍රතිවාදින්ට එරෙහිව පාලකයන් රටේ නීතිය හැසිරවීම යනු බරපතල මර්ධනයක ආරම්භය වේ.

 

රාජපක්‍ෂලාත් රාජපක්‍ෂ කල්ලියත්  සිල් ගත්තෝ නොවෙති. එක්ව ගසා කෑවත්, ගසා කෑම  ඉවසා සිටියත් දෙකම එකය. රටට වැදගත් වන්නේ බැසිල් නම් නිල මැස්සා ජාතික ආර්ථික දේහයෙහි ඉහඳ තබන බවට වීරවංශලාම චෝදනා කිරීමය. දිගු කලක්  රාජපක්‍ෂ පවුල තුළ මහතීර්ලා, ලී ක්වාන් යූලා දුටු පිරිසක් කුමන අරමුණකින් හෝ  මෙසේ පාරට බැසීම හෝ විසිවීම සිවිල් සමාජයේ නිහඬ අරගලයට වාසිදායකය.

 

මේ සංසිද්ධින් යථාර්ථවාදිව කියවන්නෙකු වීරවංශ චලනය ධනාත්මකව රටේ යහපත පිණිස පෙළ ගැස්විය  යුතුවේ. සටනකදී සතුරාට පහර දීමට අතට පත් අවියේ ශක්තිය මිස, නිෂ්පාදන වර්ෂය හෝ ආදායම් බලපත්‍ර විමසීම තකතීරු කමකි. මේ මොහොතේ ජවිපෙය පහර දෙන්නේ විරවංශට මිස, රාජපක්‍ෂලාට නොවේ.

image 36c909046c

ජාතික ආණ්ඩු කතාව මහින්දගේ මුදල් ඇමතිකම ඩැහැගත් බැසිල් අයියාගේ දේශපාලනය අවසන් කිරීමේ සෙල්ලම වන්නටද බැරි නැත. බැසිල් රටෙන් පන්නන තෙක් සටන අත් නොහරින බව ගම්මන්පිල කියන්නේ ඒ නිසා විය හැකිය.

 

පාස්කු ප්‍රහාරයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සැකසුණේද තම පාලන කාලයෙහි රට ඉතා හොඳින් පැවති බවට කයිවාරු ගහන ජනාධිපති සිරිසේන සිටින්නේද අධිකරණ දන් ගෙඩිය අබියසය. ඔහු කීයටවත් රාජපක්‍ෂලා හැර නොයති.

මේ සියලු කරුණු අනුව, සැකය අවදානම ඉහටත් උඩින් පැවතියද ජාතික ආණ්ඩුවක උවමනාව අවතක්සේරු නොකළ යුතුවේ.

 එහෙත් බැසිල් රාජපක්‍ෂ අමෙරිකාවට යැවීමෙන් රටේ ප්‍රශ්නය විසඳෙතැයි සිතන ගම්මන්පිලගේ නොමේරූ දැක්ම සිවිල් සමාජය දකින්නේ හාස්‍යක් හැටියටය.  

ජාතික ආණ්ඩුවකට පෙළ ගැසෙයි නම් රුපියල ඩොලරය උස්සා තැබීමට වඩා ගැඹුරු න්‍යාය පත්‍රයක් තෝරා නො ගත්තොත් රට පරාදය.

වසර හතළිස් ගණනක් පුරා වංචාව දූෂණය හා පාලකයන්ගේ තකතීරු උද්ධච්ඡකම් නිසා රට මේ තත්වයට පත්වීය යන අවබෝධයෙන් මිස, කොවිඩ් බැසිල් ගෝඨාභය වියත් මග ආදි පටු කරුණු මත ජාතික ආණ්ඩු සාකච්ඡා ආරම්භ නොකළ යුතුවේ. එහි අරමුණ කොමිෂන් පත් කර සොරුන් සොයා බුරුතු පිටින් ගෝල්පේස් පිටියේදී  එල්ලා දැමීමට සැලසුම් කිරීම් නොවේ.

 

ආපදාවකදී සහායට එක්වන සහායකයන්ගේ පැටිකිරිය වැදගත් නොවේ. සිරිසේනගේ කාර්යභාරය සිරිසේනද, රනිල්ගේ කාර්යභාරය රනිල්ද, වීරවංශගේ කාර්යභාරය වීරවංශද සජිත් අනුර පාඨළිලා සිය කාර්යභාරයන්ද සිදු  කළ යුතුවේ. මේ ජාතික ආපදාවෙන් රට මුදා ගැනීමට උරදෙන සියල්ලන්ට ඉතිහාසය නිසි බුහුමන් දක්වනු ඇත.

 

මාළුවාවේ හාමුදුරුවෝ ඉස්මතු වුණේත් එකඟතාවක් නොපැවති රික්තයකය. සුහන්දිරන් මුල්වූ විපක්‍ෂ ප්‍රකාශනයට දේශපාලන පක්‍ෂ මානසිකත්වයෙන් තොරව අත්සන් කළ හර්ෂ ද සිල්වාලා, එරාන් වික්‍රමරත්නලා මේ නිමේෂයෙහි බෙහෙවින් වැදගත් වේ.

කරු ජයසුරිය ප්‍රමුඛ සාධාරණ සමාජ ව්‍යාපාරය නාග විහාරයේ ඇසතු රුක් මුලට මාර සේනාව එන තෙක් බලා සිටින හැටියකි.

ජාතික ආණ්ඩු සම්මුතියෙන් බැඳුණ දවසේ පටන් රටේ රාජ්‍ය පාලනය විධිමත් කිරීම වැනි කාලෝචිත ක්‍ෂණීක ආරම්භයකින් යහ පාලනයක් ගොඩ නැගෙන බව රටට තහවුරු කළ යුතු බවය. ඒ සඳහා ආරම්භයක් ලෙස කඩිනමින් 19 වෙනි ව්‍යවස්ථා නීතිය යළි  රටේ නීතිය බවට පත් කළ යුතුවේ.

 

ද්විත්ව පුරවැසි තහංචිය වෙනුවෙන් පෙනී සිටි වීරවංශලා පසුව සංවේදී වීමෙන් සිදුවූ විනාසය රටටත් වඩා වීරවංශලාම අත් විඳිති. එබැවින් පවුලක් වෙන්වෙන් සම්මත කළ 18 ඉරා දැමුවාසේ 20 අහෝසි කර ආපසු 19 ව්‍යවස්ථා නීතියට යාමේදී වීරවංශලාත් පෙළ ගැසිය යුතුවේ.

 

20න් යටපත් කළ ස්වාධින කොමිෂන් සභා යළි ස්ථාපිත කරයි නම් බැසිල්ලා උදයංග වීරතුංගලා ඉබේම හැලෙනු නිසැකය.

 විනිමය පාලනයෙන් හා බදු කළමනාකරණයෙන් දේශීය සහ විදේශීය ආදායම් මාර්ග ශක්තිමත් කළ හැකිය. බදු ප්‍රතිපත්තිය හිතු මතේ වෙනස් කිරීමෙන් දේශීය ආදායම් හිඟවීමත් කාගේදෝ බැඳුම් කර මුදා හැරීමෙන්  විදේශ සංචිත සිඳී යාමත් දේශපාලන තීන්දු වේ.

සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට අනුව, ජාතික ආණ්ඩුවක් යනු 2024රේ මැතිවරණයකින් මෙපිට රට ශක්තිමත් කළ හැකි මහඟු අවස්ථාවකි.

දේශීය සහ විදේශීය ආදායම් අහිමිවීම තක්කඩි තීන්දු මිස, රටේ සම්පත් හෝ ප්‍රතිපත්ති ප්‍රශ්න නොවේ. ලංකාවට  වඩා බිඳ වැටුණ රටවල් ගොඩ ගත් අත්දැකීම් බොහෝය. අවශ්‍ය වන්නේ අවංකභාවය සහ කැපවීම පමණකි.

එහෙත් විධායක ක්‍රමයට බද්ධ තනි බලාධිකාරය පවත්නා තාක්, කිසිදු විද්‍යාත්මක විසඳුමකින් ලංකවේ කඩා වැටීම නතර කිරීම තබා අවම කිරීමවත්  කළ  නොහැක්කේය. වසර පනහක ලංකාවේ ගමන් මග නිරීක්‍ෂණය කරන්නෙකුට රටේ බිඳ වැටීමට හේතුව ආර්ථිකය හෝ සම්පත් හිඟය නොව රාජ්‍ය පාලනය දේශපාලකයන් අතට පත්වීම බව  වටහාගත යුතුවේ.

රටේ සක්‍රිය පාලන රටාව යනු ජනරජ ව්‍යවස්ථාවෙන් රාජ්‍ය සේවයට දේශපාලකයන් මැදිහත්වීමය. ඒ හේතුවෙන් විධායක ක්‍රමය ඉවත් කිරීමට රාජපක්‍ෂලා නම් කැමති නැත.

 

බල ලෝභයෙන්  විසිරී කා කොටා ගන්නා විපක්‍ෂයේ කිසිදු චරිතයක් යටත් පිරිසෙයින් ජනතා විමුක්ති පෙරමුණ හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටට පලදායි ආණ්ඩු ක්‍රමයක් වෙනුවෙන් පෙනී නොසිටී. හේතුව විධායක ක්‍රමය ගොඩ නැගූ බලාධිකාරය කෙරෙහි බැඳුණ නිහීන කැමැත්තය.

 

ඔවුන් සිය සෙළුව වසා ගන්නේ තුනෙන් දෙකක් නැති ජනමත විචාරණයකට යා නොහැකිය ආදි තකතීරු තාක්‍ෂණික තර්ක හා සුන්දර කතා හරහාය.

ඤාන(ණ)ක්කලා ඩේසි ආච්චිලා කෝටිපතියන් වෙද්දී මහා භාණ්ඩාගාරය හිස්වූ දේශපාලනයෙන් යහ සාධක රාජ්‍ය පාලනයකට මාරු වීමේ කෙටි අත්හදා බැලීමක් සැකසිය යුතුවේ. එසේ වේ නම් ඤාන(ණ)ක්කා පාලනය කිරීමට අනුරාධපුර ආණ්ඩුවේ ඒජන්ත කෙනෙකු එක් දවසකින් පැමිණෙනු ඇත.  

රාජ්‍ය සේවා කොමිෂම ස්වාධීන කොට, රාජ්‍ය නිලධාරින්ට අදාල ස්ථාන මාරුවීම් සිදු කර විගණය ශක්තිමත් කිරීම වැනි කෙටි කාලීන අත්හදා බැලීමකට පොදු එකඟතාවක් මිස තුනෙන් දෙක හෝ ජනමත විචාරණ අවශ්‍ය නොවේ.

ජාතික ආණ්ඩුවක් ආරම්භයේ කොන්දේසි රහිතව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට නැවත 19 වෙනි සංශෝධනය බල ගැන්වීම පූර්ව පරීක්‍ෂණයක් ලෙස අත්හදා බැලිය හැකිය. එවැනි පාදමක සිට ජාතික ආණ්ඩු කතිකාවක් ආරම්භ කළ හැකි නම් රට ගොඩය.

මෙහිදී අරයාගේ මෙයාගේ උවමනා සියල්ල පසෙක ලා එක මේසයක මේ කොන්දේසිය සාකච්ඡා කළ යුතු වේ.

කවර විවේචන තිබුණද රනිල් වික්‍රමසිංහට සහ එජාපයට මෙහිදී කළ හැකි දේ බොහෝය. 19 වෙනි සංශෝධනයේ ද්විත්ව පුරවැසි තහංචිය පිළිබඳ විධිවිධානය ඉවත් නොකළා නම් රට පමණක් නොව රාජපක්‍ෂ පාලනයද බිඳ වැටෙන්නේ නැත.

 

කොපමණ මතවාදි ගැටුම් පැවතියද වීරවංශ ගම්මන්පිල එකතුව ද්විත්ව පුරවැසි තහංචිය ඉවත් කරනවාට එරෙහිව කළ අරගලය යටපත් කිරීම, රාජපක්‍ෂ පාලනයට පාරාවලල්ලක් වී හමාරය. ඒ අරගලයේ යටි අරමුණ මෙහිදී වැදගත් නෙවේ. ආණ්ඩුවෙන් බිඳි ගිය විරවංශලාට මෙහිදී ක්‍රියා කළ හැකි ඉඩකඩ අති මහත්ය.

 

ඒකාබද්ධ රාජපක්ෂය සහ ප‍්‍ර‍්‍රාදේශීය කබා හවුල - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)



 

The Leader TV අද වීඩියෝ

 

මේ පොඩි වෙලාවට සෑර් 17 වතාවක් ටොයිලට් ගිහින් ! | මොණරවිලගේ ලියමන

 




Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image