රාජ්‍ය බලය උදෙසා කිසියම් පුද්ගලයෙකු, පිටස්තරයෙකු මතු නොව තමන්ගේ ම: පියා, පුතා, සහෝදරයා, බිරිඳ හෝ සැමියා ඝාතනය කළ අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය.
එම ඝාතන කෙතරම් දුරට යුක්තයුක්ති දැයි නිශ්චය කිරීම පවා අසීරු ය. මන්ද බලය යනු මිනිසකුගේ මිනිස් ගුණාංග සියල්ල අලුයම ලූ කෙළ පිඩක් සේ මායිම් නොකෙරෙන සංසිද්ධියක් වන බැවිනි.
ලාංකීය ඉතිහාසයේ මතු නොව යට සඳහන් ආකාරයට බලය උදෙසා තමන්ගේ ම: පියා, පුතා, සහෝදරයා, බිරිඳ හෝ සැමියා ඝාතනය කළ අවස්ථා ලෝකයේ වෙනත් රටවල ඉතිහාසයට ද අයත් සංසිද්ධි ය. එය ගෞතම බුදුන් පෙරුම් පිරූ සමයේ සිට උන්වහන්සේ ධරමාන යුගය දක්වා ද විදාරණය වුවකි. ඒ සඳහා ආසන්නතම සහ පැහැදිලි ම උදාහරණය අජාසත් නම් පුත් කුමරා ඔහුගේ පියා වන බිම්බිසාර රජු ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීම ය.
කිසිවකු, කිසිවෙක් ඝාතනය කිරීම සාධාරණීකරණය කළ නොහැකි දෙයක් වුව ද අදාළ පුද්ගලයා සිය: පියා, පුතා, සහෝදරයා, බිරිඳ හෝ සැමියා ඝාතනය කිරීමට පෙලඹීම සුළුවෙන් තැකිය නොහැකි ය. මන් ද බුද්ධ දේශනාවට අනුව ද ඝාතනය ද කිසියම් ඵලයකි. ඊට හේතුවක් තිබිය යුතු ය; එම හේතුවට පිළියම් සෙවිය යුතු ය.
බිම්බිසාර රජුගේ ඝාතනය පිටුපස සිටි ප්‍රධාන බලවේගය බෞද්ධ භික්ෂුවකි. එමෙන් ම කාශ්‍යපගේ පියා වන ධාතුසේන ඝාතනය පිටුපස සැඟව පවත්නා ප්‍රධාන බලවේගය ද භික්ෂු ගණයෝ ය.
‘‘සි රජ’’ නමැති රූපවාහිනී නිර්මාණය මෙම සිද්ධි දාමය පිළිබඳ ලක් ඉතිහාසයේ ලියැවී ඇති කරුණු සහ වෙනත් කරුණු රාශියක් පාදක කරගනිමින් නිර්මිත කලා නිර්මාණයකි. ඉතිහාස කතාව සත්‍යයක් ද ප්‍රබන්ධයක් ද, සත්‍යය මුසු ප්‍රබන්ධයක් ද යන කරුණු ත්‍රිත්වය පසෙක තැබූව ද ‘‘සී රජ’’ නමැති රුපවාහිනි නිර්මාණය ලක් ඉතිහාසයේ රුපවාහිනී නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණයක් බව පළමුවෙන් ම අවධාරණය කළ යුතු ය. එම තත්ත්වය එසේ තිබිය දී ම අදාළ නිර්මාණයට පාදක වූ සිද්ධි දාමය සහ එහි අන්තර්ගත විවිධ මාන පිළිබඳ නැවත නැවතත් සාකච්ඡා කළ යුතු ය. ඒ අන් කිසිවක් නිසා නොව එහි නිර්මාණකරුවා වන ජැක්සන් ඇන්තනී සිය නිර්මාණයේ අවසන සඳහන් කරන පරිදි ‘‘කිසිවක් සිදු වී අවසාන වන්නේ නැත. සියල්ල සැම විට ම සිදුවෙමින් පවතින්නේ ය.’’ යන්න යථාර්ථයක් වන බැවිනි.
මෙතැන් සිට ලියන්නේ ‘‘සි රජ’’ නමැති රූපවාහිනී නිර්මාණය පදනම් කරගත් කියවීම පමණක් ම මිස ඊට අදාළ ඓතිහාසික කරුණු විචාරය කිරීමක්, විවේචනය කිරීමක් හෝ ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබිඹු කිරීමක් නොවන බව පළමුවෙන් ම සඳහන් කළ යුතු ය.
මෙම නිර්මාණය සඳහා ‘‘සී රජ’’ යනුවෙන් නම් තබා ඇත්තේ ඇයිද යන්න පිළිබඳ පළමුවෙන් ම උපකල්පනය කරමු.
සිංහල - සිංහල ශබ්දකෝෂවල ‘‘සී’’ යන වදන පිළිබඳ විවිධ අර්ථකථන සපයා ඇත. ඒ, මතු දැක්වෙන පරිදි ය.
- ශ්‍රී සුමංගල ශබ්දකෝෂය: වැලිවිටියේ සොරත හිමි: පිටුව: 1097
සී - සිංහයා, සිහිය, ස්මෘතිය, හිස, මස්තකය, මුදුන, ශීත, රත්තරන්, කාඤ්චන, කෘෂිකර්මය, සෑම, සී සෑම, සිනාව, හතර, ස්වකීය, සිවු, උතුම්, ශ්‍රේෂ්ඨ
- ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය: අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජේතුංග: පිටුව 1800
සී - සිංහයා, සිහිය, හිස, මස්තකය, ශීතය, සඳුන්, කාඤ්චන, කර්ෂණය, ඉසීම, විසිර වීම, සිම්බකයා, මහන්නා, හතර, සිවු, සිනාව, ප්‍රධාන, සිනා කොට, ස්වකීය, සිව්, උතුම්, ශ්‍රේෂ්ඨ
- සරසවි සිංහල සිංහල ශබ්දකෝෂය: පිටුව 1420
සී - සිංහයා, සිංහ, සිහිය, ස්මෘතිය
- මහා සිංහල ශබ්දකෝෂය ද්විතීය භාගය: ඒ. ඒ. පියරත්න: පිටුව 869
සී - සිහිය, ස්මෘතිය, කල්පනාව, සිංහයා, හිස, ශීර්ෂය, සිහිල, සීතල, චන්දන, සඳුන්
- බෞද්ධ ශබ්දකෝෂය: සිරි ලියනගේ: පිටුව 1649
ජැක්සන් සිය නිර්මාණයට පාදක කරගන්නේ කාශ්‍යප පුවත හෝ පශ්චාත් කාශ්‍යප පුවත නොව පූර්ව කාෂ්‍යප පුවත ය. එය එක් පසෙකින් කාශ්‍යප කියවීමට පෙර කියවිය යුතු සිද්ධි දාමයකි; කාශ්‍යප යනු කවුද යන්න හඳුනා ගැනීමකි; එය සුවිසෙස් ය. මන් ද කාශ්‍යප පීතෘ ඝාතකයෙක් ලෙස ඉතිහාසයට එක්වන්නේ අහඹු ලෙස නොවන බව මෙම නිර්මාණය තුළින් විශද කෙරේ. එමෙන් ම ඔහු පූර්ණ ශුද්ධවන්තයෙකු නොවන බව ද පසක් කෙරේ. සමස්ත ක්‍රියාදාමය ගැන සිහි බුද්ධියෙන් විමසා බලන විට කාශ්‍යප යනු ධාතුසේන ඝාතන සිද්ධි දාමයේ එක් පුරුකක් පමණි.
සමස්ත නිර්මාණය (සිද්ධි දාමය) විසංයෝජනය කළ හොත් එය කොටස් කිහිපයකට බෙදිය හැකි ය.
මගේ කියවීමට අනුව නම් එහි ප්‍රධාන ම වරද පවතින්නේ ‘‘රාජ උරුමය’’ යන සංකල්පය තුළ ය. රාජ උරුමය කෙලෙස, කවදා කොතැනින්, කුමක් අරබයා ඇරඹියේ ද යන්න ගැටලුවකි. මන් ද මේ කොදෙව්ව හෙවත් දූපත ලියාපදිංචි කර ඇත්තේ ම ‘සිංහල බෞද්ධ රාජ්‍යයක්’ ලෙසිනි. සිංහල සංකල්පය පසෙකින් තැබූව ද බෞද්ධ සංකල්පයට අනුව කිසිම මිනිසෙකු තවත් කිසිම මිනිසෙකුට වඩා උස් හෝ පහත් ලෙස සැලකීම ම බෞද්ධ විරෝධී ය. නමුදු රාජ්‍ය උරුමය යනු ම එක් මිනිස් කණ්ඩායමක් උසස් ය යන්න සහ තවත් මිනිස් කණ්ඩායමක් පහත්ය යන සංකල්පය පදනම් කරගෙන පැවත එන්නකි. එනම් මේ රටේ රජකමට සුදුසු වන්නේ අසවල් පරම්පරාවෙන් පැවත එන අය පමණකි ය යන සංකල්පය ප්රමුඛ කරගත් ක්රියාදාමයකි. එකී පරම්පරාවේ මූලය සොයා යාමේ දී දක්නට ලැබෙන සුවිශේෂ ගැටලුව වන්නේ අදාළ පරම්පරාවේ ආරම්භකයා සිංහල බෞද්ධයකු ද යන්න ය.
ජැක්සන්ගේ නිර්මාණයට අදාළව සාකච්ඡා කරන්නේ නම් ධාතුසේන යනු රාජ උරුමකරුවෙකි. ඒ, ඔහුගේ පියා පැවත එන පරම්පරාව සහ මව පැවත එන පරම්පරාව අනුව ය. නමුදු එම පරම්පරා ද්විත්යෙහි ම මූලය භාරතයේ ය. එසේ තිබිය දී වුව ද ධාතුසේනට සිංහල දේශයේ රජු ලෙස ඔටුනු පලඳන්නට නම් ඔහු විවාහ විය යුත්තේ ද රාජ උරුමකාරියක් සමග ය. එවිට ඔහුට සුදුසු යැයි තීරණය කෙරෙන රාජ ලේ උරුමක්කාරිය යනු කවුද...? ඇගේ මූලය පවතින්නේ ද භාරතයේ ය. ධාතුසේනට තම පළමු බිරිඳ වන පුන්නාට පිටුපා ලෝඛිතා විවාහ කරගන්නට සිදුවන්නේ යට කී සාම්ප්‍රදායිකත්වයට යටත්ව රාජ උරුමය හිමිකර ගැනීම සඳහා ය. මෙහි වඩාත් උත්ප්රාසාත්මක ම අවස්ථාව වන්නේ ඒ සඳහා බරපතළ මැදිහත්වීමක් සිදු කරන්නේ බුද්ධ පුත්‍රයකු ම වීම ය. එය මහානාම හිමිගේ ප්‍රකාශයකින් වඩාත් තහවුරු වන්නේ ය. උන්වහන්සේ එක් තැනෙක සඳහන් කරන්නේ පුන්නා සහ ධාතුසේනගේ විවාහය තීන්දු වුව ද අකැප බවයි. එනම් පුන්නා සාමාන්‍ය සරල කාන්තාවක් වන හෙයින් ඇය සමග වන සරණ බන්ධනය ධාතුසේනගේ රාජ්‍යත්වයට සුදුසුකම් සපුරන්නේ නොමැති බවයි. එහි අනාගත ඵලය වන්නේ ධාතුසේනගේ රුධිරයෙන් ජාතක වූ දරුවකු වන කාශ්‍යප රාජ්‍යත්වයේ ලා නොසැලකීම ය; සාම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කරමින් ධාතුසේනගේ දෙවන විවාහයේ දරුවා වන මුගලන් කුමරාට රාජ්‍ය උරුමය ලබාදීම ය. ගැටුමේ ආරම්භය එතැන ය. නමුදු සැබෑ ම ආරම්භය එතැන ම ද...? නැත... ගැටුමේ සැබෑ ම ආරම්භය සම්ප්රදාය යි; සම්ප්‍රදායට ඇති බිය යි; පක්ෂපාතිත්වය යි. අවසන බල තන්හාවෙන් පෙළෙන නෙක නෙක කණ්ඩායම් සහ පුද්ගලයෝ සිය අවිය බවට පත් කරගන්නේ මෙකී ගැටුම ය. එහි දී ධාතුසේන ඝාතන සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරුවකු වන්නේ මහානාම හිමි ය යන්න මගේ පුද්ගලික කියවීම ය.
තවත් පසෙකින් ගත් විට මෙම සිද්ධි දාමය තුළ බෞද්ධාගමික සංකල්ප ද පෝෂණය කෙරේ. එනම් දිට්ඨධම්මවේදනීය කර්මය යන සංකල්පය යි. ධාතුසේනගේ සිට සුභා දේවිය, පීඨිය කුමාරයා, සුභද්‍රා සහ සලබෝතිස් යනාදි සියලු චරිත තුළින් ගම්‍යමාන කෙරෙන්නේ එකි සංකල්පය යි. කලා වැව ඉදිකිරීමට එරෙහි උපවාසයක යෙදුණු භික්ෂු පිරිසේ නායකත්වය දැරූ භික්ෂුව ජීවමානව සිටියදී ම පස් දමා යටකර ඝාතනය (අපවත්) කිරීම සහ ධාතුසේන ජීවමානව සිටිය දී ම පස්වලින් යට කර ඝාතනය කිරීම ඊට කදිම නිදර්ශනයකි.
බෞද්ධාගමික සංකල්ප පසෙකින් තැබූව ද මෙහි එන දේශපාලන කියවීම වඩාත් ප්‍රබල ය. එනම් එකම ආගමික සාශ්තෘවරයකුගේ අනුගාමිකයන් වන බෞද්ධ භික්ෂුව නිකාය වශයෙන් බෙදී රාජ්‍ය නායකත්වයේ හොඳ හිත දිනාගැනීමට වැයම් කිරීමේ දී එය කෙතරම් දුරට රටකට, රාජ්‍ය පාලනයකට අහිතකර තත්ත්ව උදා කර දෙන්නේ ද යන්න ය.
වර්තමානයේ ද ඇතැම් රාජ්‍ය පාලකයෝ සිදුකරන සියලු නොපනත්කම් ඉවසා වදාරා සිටින භික්ෂුන් සේ ම එදා මහානාම හිමි ද ධාතුසේන රජුගේ ඇතැම් ක්‍රියා ඉවසා වැදෑරී ය. එහි අවසන් පලය වූයේ උපවාසයට සහභාගිවූ එක් භික්ෂුවක් ජීවමානව ම පස් දමා අපවත් කිරීම ය. එහිදී මහානාම හිමි පවසන්නේ ‘‘ධතුසේන පළිගන්නාසුලුයි, හිතුවක්කාරයි’’ යනුවෙන් පමණි. මගේ පුද්ගලික කියවීමට අනුව නම් එහි දී මහානාම හිමි නිහඬ ව්රතයක් රකින්නේ කලාවැව ඉදිකිරීමේ යෝජනාව සහ සිහිනය ධාතුසේන රජගේ සිහිනයක් මෙන් ම උන්වහන්සේගේ ද සිහිනයක් වු බැවින් ය යන්න ය. අභයගිරි භික්ෂූහු ධාතුසේන ඝාතනයට ඍජු දායකත්වයක් ලබා නොදුන්න ද ඔවුන්ට අවශ්‍යතාවක් තිබුනේ නම් එය වළක්වාලන්නට අවශ්‍ය තරම් අවස්ථා තිබිණ. නමුදු එකී භික්ෂු පරපුර තුළ ධාතුසේන කෙරෙහි තිබූ වෛරය පිරිමසා ගැනීමේ අරමුණ ඉදිරිගාමී විය.
රජුන් තනන්නන්ගේ ඉරණම
ඉතිහාසය පුරා ම මෙරට පමණක් නොව සමස්ත ලෝකයේ ම රජුන් බිහිවූයේ ඕපපාතිකව නොවේ. ඔවුන් බිහිකිරීම සඳහා විවිධාකාරයේ ජන කොටස් විවිධාකාරයෙන් සහයෝගය ලබාදුන්හ. ඒ හැම අවස්ථාවක ම රජු බවට පත්වීමට සිටි පුද්ගලයා තම මෙවලම ලෙස භාවිත කළේ ජාතිය සහ ආගම යි. ධාතුසේන ද මෙය අඩු වැඩි වශයෙන් භාවිත කළේ ය; ඔහු ද ජාති මාමකත්වය සිය දේශපාලන අවිය ලෙස යොදාගත්තේ ය. ඒ සඳහා අද මෙන් ම එදා ද භික්ෂු ගණයා ද පෙරමුණ ගත්හ. ධාතුසේනගේ මග පෙන්වන්නා වූයේ මහානාම හිමි ය.
‘‘සී රජ’’ නිර්මාණයේ දක්නට ලැබෙන පරිදි ධාතුසේන බලය ඇල්ලීමට පෙර සිටි රජවරු කිහිප පළක් ම විදේශිකයන් වුව ද ඔවුන් අධර්මිෂ්ට පාලකයන් ලෙස හුවා දක්වන්නේ නැත. එකී විදේශික රජවරුන් වෙනුවෙන් ඕනෑම මෙහෙයක් කිරීමට පේවී සිටි සිංහල බෞද්ධ පරපුරක් ද සිටි බවත් මෙම නිර්මාණය තුළ ගම්‍යමාන කෙරේ. එමෙන් ම එක් රජකෙනෙකු මරා හෝ එළවා දමා තවත් පුද්ගලයෙකු බලයට පත් වන විට පෙර කී පිරිවර ද, බලයට පත්වෙන රජුගේ සුවච කීකරු කුක්කන් වන බව ද මෙම නිර්මාණය තුළ ප්‍රකට කෙරේ. එම ක්‍රමවේදය එදා සිට අද දක්වා ම පවතින බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. මෙහිදී වඩාත් අසරණභාවයට පත්වන්නේ කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ජාතිය සහ ආගම නමැති සංකල්පය වර්ධනය කරනු පිණිස රජවරු තැනූ පිරිස ය. ඔවුන්ට කිසියම් වරදාන වරප්‍රසාද පිරිනැමුව ද ඒවා දරාගත නොහැකි අවස්ථාවේ දී ඒ සියල්ල අත්හැර දමා යාමට පසුබට නොවේ. අවසන සිදුවන්නේ කුමක් ද...? ඔවුන් බලයට පත් කළ රජාගේ හෝ ඔහුගෙන් පැවත එන්නන්ගේ ගොදුරු බවට පත්වීම ය. මෙම නිර්මාණයේ ද එකී චරිත කිහිපයක් ම සිටිති. එහි පළමුවැන්නා වරනාග ය. ඔහු නොමැති නම් ධාතුසේන නම් පුද්ගලයෙකු ද නොමැත්තේ ය. නමුදු ඔහුට අත්වන ඉරණම කුමක් ද? තවත් ප්‍රධාන චරිතද්වයක් නම් බුදල් සහ බතී ය. ඔවුන් දෙදෙනා ද අවසන ගොදුරුවන්නේ ඛේදනිය ඉරණමකට ය. මෙවන් ඉරණම් අත්කරගන්නා පුද්ගලයෝ සහ කණ්ඩායම් වර්තමානයේ ද සිටිති. ඇතැම් විට ඔවුන්ට සිදු වූයේ කුමක් ද යන්න පවා සොයාගත නොහැකි ය. එය බතී සහ බුදල් අතුරුදන් වුවා සේ ම ය. සැබැවින් ම එය අතුරුදන්වීමක් නොව රාජ්‍ය බලයෙන් සහ පළිගැනීමේ චේතනාවෙන් උමතු වූ පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල යටිබිම්ගත දේශපාලනයේ ඵල ය.
මෙම නිර්මාණයේ එන සලබෝතිස් (ධාතුසේනගේ බාල සොයුරා) යනු මතුපිටින් බෝ ගසක් මය. ඔහු කිසිදු මාංශ වර්ගයක් ආහාරයට නොගනී. ජීවත්වන්නේ උපාසකයෙකු මෙනි. නමුත් ඔහු ද රාජ්‍ය පාලකයාගේ අවශ්‍යතාව මත මිනිස් ඝාතන කළ පුද්ගලයෙකි. එය හෙළිවන්නේ ඔහු ද කුමන්ත්රණකරුවන්ගේ ගොදුරක්ව ඝාතනයට ලක්වීමෙන් අනතුරුව ය. මෙහි වඩාත් උත්ප්රාස ජනක සිද්ධිය වන්නේ එම උපාසකයාගේ සියලු නොපනත්කම් මහානාම හිමි දැනසිටීම ය; දැන සිටිය ද නොදන්නා සේ විසීම ය. එම සිද්ධි පිළිබඳ හෙළිදරව් කරන හරුබරා නමැති පුද්ගලයාට පවා මහානාම හිමියෝ දොස් පවරති. මේ කුමන අරුමයක් ද...? නැත නැත... කිසිදු අරුමයක් නැත. වර්තමානයේ ද එබදු හිමිවරු වැඩ වසති. පසුගිය ජනඝාතක යුද්ධයේ දී වැඩි වැඩියෙන් සතුරන් (මිනිසුන්) ඝාතනය කළ තරමට නිවන් මාර්ගය ආසන්න බව හැඟෙන ගීත ලිව්වේ මෙවන් භික්ෂූහු ය.
අද මාවත සිඟමන් යදින්නා හෙට මහ මැදුරක හිමිකරුවෙක්, මහා ධනපතියෙක් නොවේ යැයි අපට විශ්වාස කළ හැකි ද...? කිසිසේත් ම නොහැකි ය. ‘‘සී රජ’’ නිර්මාණය තුළ මෙම තත්ත්වය ද මැනවින් පිළිබිඹු කෙරේ. ඒ: දේවමිත්ත දඩනායක, සුභද්‍රා සහ ඔලබොඩයා යන චරිත ත්‍රිත්වය තුළිනි. ධාතුසේන තුළ කෙතරම් සහෝදර ප්‍රේමයක් පිහිටා තිබුණ ද එය ම කිසියම් දිනක තමාට එරෙහිවන බව ධාතුසේන දැන නොසිටියේ ය. ඒ සහෝදරිය ද සුභද්‍රා ය. ඇය ද. ඇගේ සැමියා වන දේවමිත්ත ද කෙළෙහි ගුණ නොදන්නා ගුණමකුවෝ වෙති. ඔලබොඩයා ගොදුරු වන්නේ ඒ ගුණමකුභාවයට ය.
මෙම නිර්මාණය තුළ සැරිසරන ප්‍රධාන ම කුමන්ත්‍රණකරුවා වන්නේ මිගාර ය. ඔහු අන් කිසිවකු නොව ධාතුසේන රජතුමාගේ ඇවැස්ස බෑනා ය. පසුව ධාතුසේනගේ දු කුමරියගේ සැමියා ය. ඔහු වරදට පොලඹවන්නේ ද සිය මව හෙවත් ධාතුසේනගේ නැගණිය වන සුභද්‍රා ය. එම කුමන්ත්රනයේ එක් ඵලයක් ලෙස සුභද්‍රා සිය අයියණ්ඩියගේ අණින් ම ජීවමානව ම පුළුස්සා දැමෙන අතර එහි දිගුවක් ලෙස ධාතුසේන මිගාරගේ වෛරයට පාත්රවන්නේ ය. සිද්ධි දාමය කෙසේ භ්‍රමණය වුව ද එහි කේන්ද්‍රය වන්නේ රාජ උරුමය සහ සම්ප්රදාය ය. මහාවංශය ලේඛන ගත කළ මහානාම හිමි සිය බලය භාවිත කර සම්ප්රදාය බිඳ දමා නව්‍ය ආකල්පයක් සමාජ ගත කළේ නම් ධාතුසේන ප්රමුඛ කිසිවකු එම ඛේදජනක ඉරණමට ගොදුරු නොවන්නට ඉඩ තිබිණ; එමෙන් ම කාශ්‍යප යන නාමය ද ඉතිහාසගතවන්නට ඉඩ නොතිබිණ.
මහාවංශය ලේඛන ගත කළ මහානාම හිමි සිය බලය භාවිත කර සම්ප්රදාය බිඳ දමා නව්‍ය ආකල්පයක් සමාජ ගත කළේ නම් ධාතුසේන ප්රමුඛ කිසිවකු එම ඛේදජනක ඉරණමට ගොදුරු නොවන්නට ඉඩ තිබිණ; එමෙන් ම කාශ්‍යප යන නාමය ද ඉතිහාසගතවන්නට ඉඩ නොතිබිණ.
සමස්ත නිර්මාණය පුරා ම විදාරණය වන්නේ ඉතිහාස කතාවකට යටින් දිවෙන දේශපාලන සිද්ධි දාමයකි. ප්‍රේක්ෂක ප්‍රජාව කියවා ගත යුත්තේ ද මතුපිටින් පෙනෙන ඉතිහාස කතාව නොව යටිපෙළින් දිවෙන දේශපාලන ඛේදවාචකය යන්න මගේ අදහස ය. සරලව ම පවසන්නේ නම් එය පස්වන සියවස තුළින් 21වන සියවස කියවාගැනීමකි.
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
2022/03/19