උණුතෙල් කටාරමක් සේ බුබුළු දමන රටේ දේශපාලනය පිළිබඳ රටේ ජනතාව දැනුවත් වෙමින් සිටින්නේද? මෙය අප මග හැර ගිය විෂය පරාසයකි.
නැතිබැරිකම දුර්වල පාලනය හිඟන්නාගේ තුවාලය කර බලය අල්ලා ගැනීමේ දැන් සැපදැයි අසන දේශපාලන රටාවෙන් වර්තමාන විපක්‍ෂ ක්‍රියාකාරින් බැහැරව නැති බව, සජිත්ගේ ගාලු මුවදොර ප්‍රාතිහාර්යයෙන්ද, ජවිපෙ තරුණයන්ගේ ජවන පිටිය අභ්‍යාසයෙන්ද තහවුරු විය.
ලංකාව ඉන්ඩ හිටින්ඩ බැරි තැනට වැටුණේ දැන් සැපද අසමින් ජනතාව ගොනාට ඇන්දවීම හේතුවෙනි.
වසර හැත්තෑ ගණනක් පරම්පරා කිහිපයක ජනතාව සිදු කළ මේ තට්ටු මාරුව, 2015 ප්‍රතික්‍ෂේප කළ රාජපක්‍ෂලා 2020දී යළි කැඳවීමෙන් යළි තහවුරු විය. ජාතිය අමතමින් ගෝඨාභයද, ගෝල්පේස් පිටියට පැමිණ සජිත්ද, ඉල්ලා සිටින්නේ කුමක්ද? බලය පමණකි.
නවසිය පනස් ගණන්වලදී නිදහස් ලංකාව ජපානය තරමට දියුණුව පැවති රටකි. මේ කියන්නේ ලී ක්වාන් යූ මොඩලයට ගත්, එසේම බ්‍රිතාන්‍යයත් අපෙන් ණය ගත් කාලයයි.
විදේශ විනිමය ගෙනා අපේ රබර් අස්වැන්න, චීනය සමග බත් වේලට හුවමාරු කොට 1952දී ශත 25ට දුන් හාල් සේරුව, ශත 70 කිරීමටත් පාසල් දිවා ආහාරය අත් හිටුවීමටත් 53 හර්තලයට හේතු විය. 1952 ජූලිවල රුපියල් බිලියන1202 ක්වූ රටේ විදේශ සංචිතය 1953 ජූලියේදී රුපියල් බිලියන 676කට හීනවිය.
ආර්ථික අවපාතය බල දේශපාලනයට ගැට ගැසූ මුල් (1953 අගෝස්තු-1960 ජූලි අතර) හත් වසර තුළ අගමැතිවරු පස් දෙනෙකු පත් වේ. 1970-1977 හත් වසර තුළ මිනිසුන් මහමග මියගියහ.
මේ යුගයේ වර්ජන තර්ජන ජනසතු පෙරළි වර්ගවාදි කැළඹිලි හරහා පිබිදුණා මිස, කිසිවෙකුට රටේ ආර්ථිකය බිඳ වැටීම දැනුණේ නැත. 1970 හඳෙන් හෝ හාල් ගෙනඒම සහ 1977 ප්‍රකට ධාන්‍ය රත්තල් අට මෙහිදී පාද සටහන් වේ.
මේ සිද්ධීන් ඇතුළත් හැත්තෑ වසර (1952-2022) ක ඉතිහාසය, විදේශ සංචිත වැය කර කන්ඩ බොන්ඩ දී දැන් සැපදැයි ඇසීම රටේ ජාතික ප්‍රතිපත්තිය බව ජනතාව විශ්වාස කළහ.
2015-2018 යුගයේ බඩු මිල අසමින් දැන් සැපදැයි ඇසූ කාලනන්නි දේශපාලකයන් මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් පාලකයන් වැඩි කළ වැඩි කළ දඩ මුදල් අඩු කිරීමත් ඡන්ද පොරොන්දුවක් කර නොගත්තෙහිද?
ලංකාව බිඳ වැටීමේ මුළු කතාන්තරය මෙපමණකි. මැතිවරණ කාසියේ දෙපැත්තම සහනාධාර ලකුණම විය.
රටක පීඩනය පිළියම් යෙදීමෙන් මිස ලෝකයට ණයවී ජනතාව රැවටීමෙන් කළමනාකරණය කළ නොහැකිය. වසර හැත්තෑවක් පුරා භාණ්ඩ හිඟයට, මිල වැඩිවීමට එරෙහිව ආණ්ඩු මාරුකළ ජනතාව දැනුවත් කරන ජාතික ව්‍යාපරයක් රටට අවශ්‍යව ඇත. මේ සද් ව්‍යාපාරයට දැන් සැපදැයි අසන කිසිදු කාලකන්නියෙකු මැදිහත් නොවේ. ආපසු මුලට යා නම් සජිත් ඉල්ලන්නේ ගෝඨාගේ පුටුවය. රතුපාට ජවිපේ සිංදුවත් ඒකමය.
සජිත් සතු සුදුසුකම අප්පා ලංකාව ඉල්ලන්කෑ දේශයක් කිරීමය. ජවිපේ භිෂණය පැතිරවීම හැර තහවුරු කළ දෙයක් නැත. පාඨලී යනු ගහෙන් ගහට පැන තෙමී නා ගැනීමට උදාහරණයකි. රනිල් නම් සරසවිය..... විලි ලජ්ජාවට වෙළඳ ලකුණක් නැත යන්න ව්‍යාප්ත කිරිමකි.
තෙල් ලබාදීමට මහ පුටුව ඉල්ලන සජිත් නාස්තිය අඩුකරන බව කියයි. හැකි නම් ඒ තෙල් මේ මොහොතේ ලබා දෙන ලෙස කවුදෝ කියා තිබුණි. රටේ බදු මුදලින් හේමා ප්‍රේමදාස විඳින වරප්‍රසාද ප්‍රතික්‍ෂේප කරවා සජිත් රටේ නාස්තිය වැළැක්වීමේ ව්‍යාපාරය ගන්නේ නැත.
මධ්‍යම සංස්කෘතික අරමුදල හිස් කර දාගැබ් දෙදහසක් තැනවීමෙන් දේශපාලන තකතීරුකම පෙන්වූ සජිත් ද, දැන් සැපදැයි අසන්නෙකි. මේ වාස්තවික තත්වය අප වෙනස් කළ යුතුවේ.
දිගු කලක් සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස විවිධ කෝන හරහා උත්සාහ කළේ වසර රටට අවශ්‍ය කුමක්ද යන්න සාකච්ඡා කිරිමය. සාර්ථක රාජ්‍යයන් පාලකයාගේ සද්භාවය කැපවීම අවංක උවමනාවන් හරහා ගොඩ නැගී ඇත.
1952 මැයි 22 දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විවෘත කිරිමේ කුඩා පලකයේ ඇත්තේ අධිකරණ ඇමති ලලිත් රාජපක්‍ෂගේ නම පමණකි. ඉංග්‍රිසි රාජ්‍ය භාෂාව වූ එකල මේ පලකයේ පිළිවෙලින් සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යොදා ඇත.
මිනිපේ යෝධ ඇල හීන්ඟග තරණය කරවීමට ඉදි කළ පිහිලි (ගිනි පෙට්ටි) පාලම 1969 මාර්තු 3වෙනි දින විවෘත කළ බව දැක්වෙන ශිලා පලකය වර්ග අඩි හතරක් තරම්වත් නැත. එහි ලියා ඇත්තේ අගමැති ඩඩ්ලි සේනානායක, වාර්මාර්ග ඇමති සී.පී.ද සිල්වා සහ වාරිමාර්ග අධ්‍යක්‍ෂ වී.එන්. රාජරත්නම් යන නම් පමණකි.
එවකට මුදල් ඇමති යු.බී. වන්නිනායක
වර්තමානයේ කුරුණෑගල තඹුත්තේගම පාරේ දැදුරුඔය තරණයට ඉදි කළ සුප්‍රකට ඇල්ල පාලම විවෘත කිරීම සඳහා නිලධාරින් පිරිසක් එවකට මුදල් ඇමති සහ ප්‍රදේශයේ මන්ත්‍රී යු.බී. වන්නිනායක හමුවිය. අමාත්‍ය වන්නිනායක සිනාසෙමින් කියා ඇත්තේ පාලම තමා රුපියල් දෙකක් දී විවෘත කළ බවය.
එය මෙසේය.
“මම ගිය සතියක රෑ වෙලා එනකොට අලුත් පාලම බැරල් හරස් කරලා තිබුණා. තවම පාලමේ වැඩ ඉවර නැද්ද කියලා ඇහුවාම වැඩ ඉවරයි තවම විවෘත කරලා නෑ කියලා මුරකාරයා කිව්වා. මුර කාරයාට කීයක් හරි දුන්නොත් යන්න දෙනවා කියලා මගේ ඩ්‍රයිවර් සිනාසෙමින් කිව්වා. මං ඩ්‍රැයිවර්ට කියලා රුපියල් පහක් දීලා පාළම විවෘත කළා” එසේ කී ඇමති වරයා ලාවට සිනාසි ඇත.
මේ අතීත සිද්ධින් සමග 2021 සැප්තැම්බර් 18 වෙනි දින විවෘත කළ වැලිගම වරකාපිටිය ආදාහනාගාරයේ අඩි හය හමාරක් උස පලකයේ පුද්ගල නාම පනස් හතකි. මේ හරහා ඕනෑම දෙයක් හිතා ගත්තාට දෝෂයක් නැත.
ඩඩ්ලිලා වන්නිනායකලා නිකම් කන්දී රැවටුණා හැබෑය. එහෙත් පැවැත්මෙන් සිය විශිෂ්ඨ නායකත්වය තහවුරු කළහ.
ගාමිණි දිසානායක - ලලිත් ඇතුලත්මුදලි
මහවැලි සංවර්ධන ඇමති ගාමිණි දිසානායක දෙහිඅත්තාකණ්ඩියේ නිල චාරිකාවක් අතර, පාසල් නිල ඇඳුමෙන් සැරසී නිලධාරියෙකු අතේ එල්ලී සිටි සිටි පාසල් දරුවෙකු කැඳවා ඔහුගේ පාසලේ නම ඇසීය. පිළිතුර දෙහිඅත්තාකණ්ඩිය ඉස්කෝලේ බව ඇසූ ඇමතිවරයා “මේ දරුවාත් මා උගත් පාසලේ ශිෂ්‍යයෙකු විය යුතුයි කියා දරුවාගේ පියාට කීය. එක් සතියක් තුළ ඒ දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍යභාවය හිමිවිය.
ගාමිණි දිසානායක හෝ නිදහස් අධ්‍යාපනයේ ස්ථාපිත කළ කන්නන්ගර හෝ මහපොල නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි තම වගකීම ඉටු කළා මිස. සැපද කියා ඇසූ බවත් වාර්තා නොවේ.
රාජ්‍ය බදු විධිමත්ව නො ගෙවා කට්ටි පැන යාම හේතුවෙන් ඩොනල්ඩ් රණවිර වැනි ධන කුවේරයෙකු එජාපයෙන් පිටමං කළ ඩඩ්ලි සේනානායකත් බලයට පත් වහාම රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමෙන් වාර්ෂිකව මිලියන 500 බැගින් රටට අහිමි කළ රාජපක්‍ෂලාත් නායකත්වය සතු වගවීමේ ප්‍රමාණය අපට උගන්වති.
ගැසට් හරහා හිතවතුන්ට ධනය ඉපයීමේ පහසුකම් ලබාදී රාජ්‍ය ආදායම් බිඳ වැටුණ පසුව, අර්ථසාධක අරමුදල් වෙත හැරුණ පාලකයන් මේ සියලු ප්‍රාතිහාර්ය පාන්නේ පවත්නා පාලනයේ අත්තනෝමතික බලය නිසාය. සජිත්ලා ඉල්ලන්නේ ඒ බලය නොවේද?
ජාතික ආණ්ඩු හෝ සර්ව පාක්‍ෂික සමුළු
මේ දිනවල දේශපාලනයේ ඉහළින් කතාබහට ලක්වන ජාතික ආණ්ඩු හෝ සර්ව පාක්‍ෂික සමුළු යෝජනා යනු මැතිවරණයකින් මෙපිට රට ගොඩ නැගීමේ කෙටි කාලීන උත්සාහයකට ලැබෙන මහඟු අවස්ථාවකි. එය තම වාසියට කෑදරව කිසිවෙකු මග හැර යා යුතු නොවේ. තුනෙන් දෙකක් අතැති පාලක රාජපක්‍ෂලා උනුන් මතම හතර ගාතෙන් ඇද වැටී හමාරය.
ඔවුන්ගේ මේ උත්සාහය පිදුරු ගසක එල්ලී හෝ නැගී සිටීම වැය හැකිය. මේ නිමේෂයෙහි ඔවුන් වෙත පිදුරු ගසක් වෙනුවට රට වෙනුවෙන් සවිමත් කඹයක් විසි කිරීමෙන් රටට යම් සහනයක් ලබාදීම කළ යුතුවේ. කෙනඩි කී ආකාරයෙන් අවශ්‍ය නිවැරදිම උත්තරය රිපබ්ලික්ද ඩිමෝක්‍රටික්ද යන්න ගැන කිසිවෙකු කරදර වීම නොවේ.

71 කැරැල්ලේදී මැතිනියට පහර දෙන සැලැස්ම ගැන දැනගත් ජේ.ආර්.ජයවර්ධන වහාම ඒ ගැන බලධාරින් දැනුවත් කළේ සිය යුතුකම ඉටු කිරීමය. එහෙත් පාස්කු ප්‍රහාරයට හිරේ යාමට නියමත, සිරිසේන සර්ව පාක්‍ෂික සමුළු අටවන්නේ සද්භාවයෙන් නොවිය හැකිය.

රටේ නායකත්වය ඇස ගසා සිටින සමහර තක්කඩියන් ජාතික ගීය දෙමළෙන් ගයනවාට විරුද්ධ වෙති. එහෙව් පැවැත්මක් සහිත දේශපාලකයන්ට නායකයන් ලෙස සමාජගතවීමට ඇති ඉඩකඩ ඇහිරීම තරම් උපන් දේශයට කළ හැකි තවත් කැපකිරිමක් වේද?
වරක් අත් අඩංගුවට පත් නෙල්සන් මැන්ඩේලා සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ පහර කෑමට ආසන්න මොහොතක තවත් පොලිස් නිලධාරියෙකු හලෝ නෙල්සන් යනුවෙන් කෑ ගසා එකී පහර දීම වළක්වා ගත්තේය. ඒ අවස්ථාවේ මැන්ඩේලා “මං නෙල්සන් නොවේ. මම නෙල්සන් මැන්ඩේලා. යනුවෙන් කෑ ගසා සිය පෞරුෂය විදහා දැක්වීමය.
මැන්ඩේලාට අවශ්‍ය වුණේ දීනයෙකු ලෙස පහරකෑමෙන් බේරීම නොවේ. වේදනාව මැඩ සිය අනන්‍යතාවයෙන් නැගී සිටීමය. දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ රහස යනු ඒ මැන්ඩේලාගේ අනන්‍යතාවය විය.
අපේ පැත්තෙන් ගත් විට, රටේ ප්‍රශ්නය තක්කඩි ව්‍යවස්ථාව මිස රාජපක්‍ෂලා නොවේ. වීරවංශට අනුව, ප්‍රේමදාස සිරිසේන හැර සියලු විධායක ජනාධිපති වරුන් ප්‍රභූන් වෙති. නිර්ප්‍රභූ ප්‍රේමදාස යනු ඉහතින් සඳහන් කළ ගාමිණී ලලිත් වැනි දේශපාලනඥයන් විනාස කළ සුර දූතයා වේ.
විසිවෙනි සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසි කළේ දූෂණයට ඉඩදීමටද යන්න සිරිසේනටත් ප්‍රශ්නයක් බව ගිය සඳුදා ලංකාදීපය වාර්තා කරයි.
පාස්කු ප්‍රහාරයට සැක කරන නිර්ප්‍රභූ ජනාධිපති සිරිසේන ඒකවත් හරියටම දන්නේ නැත. වීරවංශලාට චොප්පේගේ මුණුපුරෙකුවත් සොයා ගැනීමට සිදුවේ. හේතුව ප්‍රභූන් අවංක මිනිසුන් හරහා තම කුට්ටිය ලබාගත ගැනීම දුෂ්කර වීමය.
විසි නව වසරක් තිස්සේ හේමා ප්‍රේමදාස පින් පඩි කෑමත්, හය මාසයක් රටේ ආරක්‍ෂක කවුන්සිය නොකැඳවීමෙන් මහ විනාසයකට මඟ පෑදූ ජනාධීපතිට සිරිසේන කොළඹීන් ගෙයක්ද මැරෙන තෙක් පඩි ගෙවීමත් විධායක ක්‍රමයේ වීරවංශලාගේ නිර්ප්‍රභූ අනන්‍යතාව වේ.
වසර දෙසිය පනහ තෙක් විධායක ක්‍රමය පැවතුනොත් වැන්දඹුවන් හත් රට දෙනෙකුගේ නඩත්තුවට ජාත්‍යන්තර අරමුදලෙන් වෙනම ණය ආධාර ගැනීමට ලංකාවට සිදුවීමත් විධායක ක්‍රමයේ කොටසකි.
උදාවී ඇත්තේ රට පින්ගුත්තර ලන්තයක් කළ සාපයෙන් මුදා ගැනීමට සැපදැයි ඇසූ කාලකන්නින් පන්නා දැමීමය.

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)