පසුගිය මාර්තු 23 වෙනිදා පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූ එජාප නායක රනිල් සංවිධානය කළ සත්‍යග්‍රහයට මාර්තු 25 දින සජබය නියෝජනය

කරන පාඨලීගේ 43 කණ්ඩායම එක්විය.

මෙම දේශපාලන දෙපරාදුව පිළිබදව සජබය කඩිනමින් පියවර ගනු ඇත යන්න සති අන්ත මාධ්‍යවල පළවිය.

ඉන් පසුව පාඨලී සහ මනුෂ නානායක්කාර යන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට අනියමින් ප්‍රතිචාර දැක්වීය. ඔවුන්  ප්‍රසිද්ධියේ කියා සිටියේ රට පවත්නා අසීරු තත්වයෙන් ගොඩ ගැනීම ජනතාව නිර්පාක්ෂිකව හෝ පක්ෂ හැටියට එක්ව කටයුතු  කළ යුතු බවය.

එකී ප්‍රකාශ හරහා රටේ බහුතරය අපේක්ෂා කරන තවමත් යථාර්ථයක් නොවූ අරමුණක් සදහා ඔවුන් තුළ පවත්නා කැමැත්ත ඍජුව ප්‍රකාශ වේ. සර්ව පාක්ෂික සමුථව යනු තවත් අවබෝධතා එකතුවක් මිස දේශපාලන කතිකාවක් නොවේ. එය රටේ ප්‍රශ්නය සම්බන්ධව ගොඩ නැගෙන එකමුතුවකි.

 

මේ වනවිට සමුථවට සහභාගිවීම නිසා රනිල් නව චරිතයක් ලෙස ගොඩ නැගෙනු දැකිය හැකිය. එය සජිත්ගේ දේශපාලන අනාගතයට තර්ජනයකි. එසේම සජිත් සමුථවට නොයාම පාඨලීගේ 43 බලකාය හරහා යම් පමණකට අවතක්සේරු වෙමින් පවතී. මේ හේතුන් නිසා බිද වැටෙන සජිත්ගේ භූමිකාව කෙළින් කිරීමට මාධ්‍ය ක්‍රියාවලියක් දියත් වේ.

 

සජිත් පේමදාස සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමේ රහස හෙළිවී ඇත.  සජිත් යට ගස්වා රනිල් පිම්බීමට ආණ්ඩුවේ සැලැස්මක් නිසා සජබයේ ජ්‍යෙෂ්ඨයන් සජිත්ගේ ගමන වැළැක්වූ බව මව්රට පුවත්පත ලවා වාර්තා කරවීම ඉන් එකකි.

එසේම රට මවිත කළ, රටේ බහුතරයකට ආශ්වාදයක් ලබා දුන් ජනාධිපති ගෝඨාභය රනිල් ගෙන් සමාව අයැදීම මව්රට දේශපාලන ලියුම්කරු වෙනත් කෝනයකින් දැකීම දෙවැන්නය. සමාව ගැනීමක් ඛේදවාචයක් කීම සමාව ඉල්ලා සිටි අය කෙරෙහි පවත්නා ලෙන්ගතුකමකින් හෝ අනෙක් පාර්ශ්වය කෙරෙහි පවත්නා වෛරයෙන් යුතුව කෙරෙන ප්‍රකාශයකි.

හැට නව ලක්ෂයක් ඡන්ද ලබාගත් ගෝඨා ඡන්ද විසි පන්දහසක් අතැති රනිල් හමුවේ එසේ හැසිරීම ඛේදවාචකයක් බව එහි අකුරු වලින්ම ලියා ඇත.

එසේ නම් හැට නව ලක්ෂයක් ජන වරමෙන් ශක්තිමත්වූ ගෝඨාගෙන් ජනාධිපතිකම ඉල්ලා ජනාධිපති කාර්යාලය අසල දැවටෙමින් බෙරිහන් දුන් ජනතාව පනස් පන් ලක්ෂයකට සීමා කළ සජිත්ට යහතින් ගෙදර යන්ට ඉඩ දීමත් ඛේදවාචකයක් නොවේද?

 

මෙයින් හැගී යන්නේ කුමක්ද? පාලකයා පළවා හැර බලය ගැනීමේ තනි අයිතිය තමන් සතුව ඇති බවට දරන හීනමානයට වඩා යමක් නොවේ. සත්‍ය ලෙසම රටේ දේශපාලන ඛේදවාචකයක් බවට පත් වෙමින් පවත්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිස වෙන කිසිවෙක් නොවේ. සජිත් පාර්ශවය වර්තමාන අර්බුදය දකින්නේ රනිල් විරෝධි පටු කෝනයකට හිරවෙලාය.

 

වර්තමානයේ ලංකාව මුහුණ දී ඇත්තේ දේශපාලන ආරවුලක නොවේ. දේශපාලන ආරවුලක් යනු ආණ්ඩුවේ බහුතරය වෙනස්වීම හෝ අයවැය පරාජය වැනි තත්වයකි. එහෙත් දේශපාලනිකව රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත්ය. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව බිද වැටුණද, විධායක ජනාධිපති බලයෙන් පහ නොවේ. මූලික පහසුකම් බිද වැටී මූල්‍යක්‍රමය අස්ථාවැ වීම යනු ජාතික ආපදාවකි.

මේ තත්වය විපක්ෂයේ බොහෝ පක්ෂ පිළිගන්නේ  නැත. උදාවී ඇත්තේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කර බලය අල්ලා ගත හැකි තැනක නොවේ. කුමන හේතුවක් නිසා හෝ  මිල ඉහළ ගිය පැනඩොල් පෙත්තක් ලබා ගැනීමට හෝ ශක්තියක් නැති ජනතාව පැත්තෙන් ගත් කළ  සුලුවෙන් තැකිය යුතු නැත.

එවැනි පසුබිමක තමන්ට නොලැබේ යයි හැගුණ මාධ්‍ය ආවරණය මෙන්ම, රනිල් ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව සිද්ධ විග්‍රහ කිරීමට යාම රටේ ප්‍රශ්නය කවට අන්දරේ ගෙන් හෝ කිසිවෙකු අපේක්ෂා නොකළ තත්වයකි.

 

සර්ව පාක්ෂික සමුලුව අසාර්ථක වුවද, උද්දච්ඡ රාජපක්ෂලා තනි මන්ත්‍රී ධුරයට තල්ලුවී සිටින එජාප නායකයා හමුවේ ඇද වැටීම පිළිබදව මෙන්ම පාඨලීලාගේ මනුෂලාගේ අනාගත සාධනීය ක්‍රියාකාරකම් ගැන ජනතාව මහත් අපේක්ෂා තබා සිටිති. රටේ දේශපාලන යථාර්ථය කුහකකමින් බැහැරව තේරුම් ගැනීමට යම් කෙනෙකු ශක්තිමත් වේ නම් එය රටේ ජයග්‍රහණයකි.

 

මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව එජාපය නවසිය හැත්තෑ ගණන්වල දියත් කළ සත්‍යග්‍රහ ව්‍යාපාරයට වාමවාදි ප්‍රින්ස් ගුණසේකර, ජේ.ආර්. අනුගමණය කරමින් ගාන්ධි තොප්පියක් පැළ‘ද සහභාගිවීමත්, කරු පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ආදීන් රනිල්ගේ සත්‍යග්‍රහයට එක්වීමත් ඉතිහාසය යනු නැවත සිදුවන්නක් යන කියමන යළි තහවුරු කිරීමකි.

රනිල්ගේ සත්‍යග්‍රහයට 43 සේනාංකයත් එක්වේ

 

ප්‍රින්ස්ගේ ක්‍රියා කලාපය වපර ඇසින් බලා සිටි තුන් හවුල් ආණ්ඩුවේ ඇමතිව සිටි රත්න දේශප්‍රිය සේනානායකලාගේ සිනාවට ලක්වියව. එහෙත් ඉතිහාසය ප්‍රින්ස් ගුණසේකර සද්භාවයෙන් නිදොස් කොට නිදහස් කර හමාරය. ප්‍රින්ස් යනු දේශපාලන කුහකත්වයෙන් මිදී රටේ යථාර්ථයට අනුගතවූ චරිතයකි. පාඨලීලා වීරවංශලා ප්‍රින්ස්ගේ අනුකම්පාවට ලක්වූ ජවිපෙ දර්ශනවය විශ්වාස කළ චරිත වෙති.

දේශපාලනය යනු මතවාදි භාවිතයක් වුවද, එකී අභ්‍යාසය කිසි විටෙකත් පොදු යහපතින් බැහැර නොවිය යුතුවේ. මේ අරමුණෙන් බැහැර දේශපාලනය රටක පැවැත්මට කරන හානිය සුලුපටු නොවේ. රාජපක්ෂලා සිය පවුල්  දේශපාලනය හරහා ඒ විනාසය කරමින් සිටින්නාහ.  

සිවිල් සමාජය දිගින් දිගටම කියා සිටින්නේ රටේ උද්තගව පවත්නා පීඩනය පොදු එකගතාවකින් මිස කෙළවරක් දැකිය නොහැකි බවය. මම්ම වේ යයි තමන් වහන්සේගේ ස්ථාවරයෙහි ලැග සිටින සජිත් ප්‍රේමදාස රටේ පවත්නා ගතික දේශපාලනයට සුදුසු නොවේ. ඊට සාපේක්ෂව පාඨලීලා මනුෂලා යනු ධනාත්මක ප්‍රවේශයකි.

 

සර්ව පාක්ෂික සමුථව ආරම්භයේ රනිල් ගෙන් සමාව ගැනීමෙන් ජනාධිපති ගෝඨාභය දැක්වූ විශිෂ්ඨත්වය, මොහොතින් කීතු කීකු කිරීමට බැසිල් රාජපක්ෂ සමත් විය. බැසිල්ගේ හැසිරීම ලෝකයේම තියුණු නිරීක්ෂණයට ලක්විය. එය සුථවෙන් බැහැර කළ නොහැකිය.

 

සර්ව පාක්ෂික සමුථවට ආරම්භ කරමින් අජිත් නිවාඩ් කබ්රාල් කළ විග්‍රහය සාමුහික ප්‍රයත්නයක් ලත් තැනම ලොප් කිරීමකට තල්ලු විය හැකිව තිබිණ. එහෙත් ඒ අවස්ථාවේ රනිල් බුද්ධිමත්ව ක්‍රියා කළා මිස සජිත් මෙන් මාධ්‍ය ආවරණ වැනි කනවැන්දුම් හේතුවක් අල්ලා ගත්තේ නැත.

 ඒ අවස්ථාවේ සිදුවූ සමාව ගැනීම යනු අරමුණ වෙනුවෙන් කළ කැප කිරීමකි. හෙවත් හුදෙකලා  මන්ත්‍රිවරයෙකු වන රනිල්ගේ විචක්ෂණ භාවයට කළ  ගෞරවයකි.



ජනාධිපති කම අපේක්ෂා කරන සජිත්ට ජනාධිපති ගෝඨාභයගෙන් පවා ඉගෙන ගත යුතු පාඩම් බොහෝය.  ගෝඨා ඒ අවස්තාව තේරුම් ගත්තේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ පැත්තෙන් නොවේ. සාකච්ඡාව පවත්වාගෙන යාම ස‍දහා අවශ්‍ය පරිසරයට සකසා ගැනීමටය.

බැසිල් තප්පුලෑමෙන් රාජපක්ෂලාගේ පවුලේ හැදිච්චකමත් රටට පැහැදිලි විය. බැසිල් රනිල්ට කතා කළ භාෂාව වර්තමාන රට පාලනයේ අධිපතිවාදි පවුලක බලපෑම හෙළිදරව් වේ.

මේ හරහා වර්තමාන කැබිනට් මණ්ඩලය යනු රෑකඩ මඩුවක් බව පැහැදිලිය. යුගදනව් ගිවිසුම කැබිනට් මණ්ඩලයට පැමිණි ආකාරය පවා ප්‍රශ්න කෙරෙනු ඇත.

සර්ව පාක්ෂීක සමුථවට නොයාම පිළිබද සජිත්ගේ ස්ථාවරය උස්සා තබන මාධ්‍ය විග්‍රහ හරහා තවත් තකතීරු බැසිල් කෙනෙකු මිස විචක්ෂණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු දැකිය නොහැකිය.

මහ ප්‍රේමදාස පටන් ගත්තේද තමන් ජනතාවගේ මිතුරෙකු මිස රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නොවන බව කියමිනි. ආර්.ප්‍රේමදාසගේ ඒ ආකල්පය කොතරම් අංජබජල්  වීද යත් ඔහුගේ අවාසනාවන්ත මරණය ඇසූ රටේ මිනිස්සු කිරිබත් උයා කෑහ. පාලකයා කවුද යන්න දැකිය හැක්කේ බලයට පත්වීමෙන් පසුවය. ආර්.ප්‍රේමදාස අනුව යන සජිත් පිළිබද ඊට වඩා යමක් කිව යුතු නැත.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික වෛද්‍ය වෘත්තිකයෙකු ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් එජාපය සහ ශ්‍රීලනිපය බවත්, අනෙක් කණ්ඩායම් ඉස්මතුවී සිදු කරන හානිය බෙහෙවින් බරපතල බව කීය. සර්ව පාක්ෂීක සමුථවක අවශ්‍යතාව ශ්‍රිලනිපය අවධාරණය කිරීමත්, එජාපය ඊට සහභාගිවීමත් සජිත් අනුර කුමාරලාගේ හැසිරීමත් මව් බිමෙන් ඈතක ජීවත්වන අර වෛද්‍ය වෘත්තිකයාගේ විග්‍රහය යථාර්ථයක් කරවන්නකි.

 

සත්‍ය ලෙසම නිර්දේශපාලනික සාමුහික සද්භාවි මැදිහත්වීමක් රටට අවශ්‍ය මොහොතක සජිත් ප්‍රේමදාසගේ හැසිරීම බෙහෙවින් හානිකරය. පවත්නා ලාංකේය දේශපාලන කුණාටුව හමුවේ පීඩාවෙන් පෙළෙන රටවාසින්ගේ දැඩි විවේචනයට ලක් වන්නේ කුලල් කා ගන්නා විපක්ෂයේ දේශපාලන ව්‍යාපාර මිස පාලක පක්ෂය නොවේ.

 

හේතුව තවදුරටත් පාලක රාජපක්ෂලා තබා විධායක ක්‍රමය හෝ සලකා බැලීමේ උවමනාවක් රටේ ජනතාවට නැති හෙයිනි.

එසේම රටට වැඩදායි ධනාත්මක බුද්ධිමය සංවාදයක නිරත සිවිල් සමාජ ක්‍රියාකාරින් තවත් විධායක පිස්සෙකු රටට හිසරදයක් නොවිය යුතු බව තීරණය කළේ 2015දීය. පාඨලීලා, මනුෂලා, කරු පරණවිතානලා ආදි විපර්යකාරකයන් එතැනින් පටන් ගත යුතුවේ.

කිසිදු පාලකයෙකුට මැදහත් විය නොහැකි වෙනස් කළ නොහැකි අනම්‍ය ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැකි කැබිනට් ආණ්ඩු ක්‍රමයක් යළි ලංකාවේ ස්ථාපිත කළ යුතුය යන්න බහුතර විශ්වාසය වේ. ඒ සදහා සියථ දේශපාලන ධාරාවන්ගේ කැපවීම මැදහත් ජනතාව අපේක්ෂා කරති.

 

තම කණ්ඩායම එජාප සත්‍යග්‍රහ ව්‍යාපාරයට යොමු කිරීමෙන් පාඨලී චම්පික රණවක දැක්වූ පූර්වාදර්ශයට අනුගත සජබ කුටුම්බයේ මනුෂ නානායක්කාර වැනි තරුණ දේශපාලනඥයන්ට අනුගම්‍ය මතයක් වේ නම් එය ජනතාවගේ ජයග්‍රහණයකි.

 

මේ චලනය, එනම් පක්ෂ බැම්මෙන් මිදී පොදු මතවාදි අරමුණක් වෙත ඒකරාශීවීමේ කාලීන අවශ්‍යතාව, නෙවිල් ප්‍රනාන්දු, ගාමිණි ජයසුරිය, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ආදීහූ ක්‍රියාවෙන් ඔප්පු කළහ.

h e t

සුහන්දිරන් මුල්ව නිකුත් කළ පොදු ප්‍රකාශනයට සජබයේ හර්ෂ සිල්වා, එරාන් වික්‍රමරත්න ආදිහූ වෙන් වෙන්ව එකග වීමත් එවැන්නකි. මේ ව්‍යායාමය එහි දිගුවක් මිස පක්ෂයකට එරෙහි වීමක් ලෙස දැකීම පටු කල්පනාවකි. එසේ නොවන්නේ නම් සජබය යනු මහදැන මුත්තාගේ කතාව මෙන් තවත් ජනශ්‍රැතියක් යනු නිසැකය.

 ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන අපේක්ෂා වෙනුවෙන් බිහිව අඩ සියවසකට ආසන්න කාලයක් ගතික කාර්යභාරයක් ඉටු කළ එජාපය විදග්ධ දේශපාලනයෙන් හැමදාම ඔපවත් විය. ජේ.ආර්. ජයවර්ධනට පවා යටපත් කළ නොහැකිවූ ඒ උරුමය සදහා ජනතාව ගොඩ නැගූ ගාමිණි ලලිත් දෙදෙනාට වින කැටීමෙන්  ආර්. ප්‍රේමදාස සිදු කළ විනාශය බරපතලය.

ප්‍රේමදාසගේ අනුප්‍රාප්තික ජනාධිපති ඩී.බී. විජේතුංග, ගාමිණි එජාපයට කැදවීමත් ඔහු කෙටි කලක් තුළ එජාපය ශක්තිමත් කිරීමත් රංජ්ත් මද්දුම බණ්ඩාරලා, තලතා අතුකෝරාළලා, රෝහිණි විජේරත්නලා එක්ව සමාලෝචනය කළ යුතුවේ.

ප්‍රේමදාසගේ ආරක්ෂාවට සොත්ති උපාලිලා බින්න බස්සවා ගත් කුරේලා වෙනුවට ළංවෙන ඇවන්ගාඩ් කාරයන් පිටු දැකීමට රුවන් විජයවර්ධනලා වෙහෙස විය යුතුවේ.  

මේ ඉස්මතුව පවත්නා පොදු එකගතා පිළිබද රාජපක්ෂලාට පමණක් නොව එජාප ශ්‍රීලනිප ක්‍රියාධරයන්ද පාඨලීලා මනුෂලා මෙන් කල්පනා කළ යුතුවේ. ජනතාවගේ නායකයා වෙමින් ප්‍රභු පාලනය අවසන් කිරීමට තෝරා ගත් ආර්. ප්‍රේමදාස මිනිසුන්ගේ වෛරයට පාත්‍රවුණේ විධායක ක්‍රමයේ සාපය නිසා බව සජිත්ට හේමා ප්‍රෙමදාස හෝ කියා දිය යුතුව තිබේ.

 

එජාපයෙන් එළියට බැස ගාමිණි ලලිත් දෙදෙනා ජීවිත පූජා කළේ යුගයක් විනාශ කළ විධායක ක්‍රමයට එරෙහිවය. ඒ සදහා ඔවුන් හෙලූ ලේ කදුලුවල අගයට  ඉතිහාසය නිසි වටිනාකම ලබා දී ඇත. මැදමුලන රාජපක්ෂ සොහොයුරන් විධායක ක්‍රමයේ සියථ අපදාවන් ජනතාවට දායාද කිරීම ඊට එක් උදාහරණයක් පමණකි. 

 

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ මිනීමරු පාලන ක්‍රමය වෙනස් කිරීමට මිස, තවත් විධායකයේ රහ බැලීමට කිසිවෙකු සූදානම් විය යුතු නැත. හරවත් දේශපාලනයක් විශ්වාස කර සියලු පුරවැසියන් පේළි අපේක්ෂා කරන්නේ එවැනි  දේශපාලනයකි.  

1978 තෙක් පැවතියේ කණ්ඩායම් සහභාගිත්වය ආත්මය කරගත් කැබිනට් පාලනයකි. එතැන් පටන් හතළිස් හතර අවුරුද්දක් නීතිය මමයි කියන මානසික රෝගීන් රට විනාස කළහ. මේ ආපදාපන්න අවස්ථාව මගහැර යාම පිණිස පාඨලී චම්පිකලා විමල් වීරවංශලා වාසුදේවලාගේ යල් පැනගිය වාමාංශික වලිප්පුවෙන් මිදී පෙළ ගැසිය යුතුවේ.

ප්‍රභූන්ට එරෙහිව පෙළ ගැස්මද නව ප්‍රවනතාවකි. ඉහළින්  පියාඹා ගියාට ඔලුවේ කූඩු බදින්න දිය නොහැකි  බවට කියැවෙන කතාවේ යථාර්ථය වීරවංශලා පිටමං කිරීමය.  

බලයට පත් එවුන්ගේ දරුවන් බලය උරුමය ලෙස අදහමින් රට පාලනය කිරීමට අපේක්ෂා කරන රාජපක්ෂ මානසිකත්වය යනු නව ප්‍රභූ පන්තියක ආරම්භයට සරල උදාහරණකි. එපමණක් නොවේ. නව අරමුණක් යනු පවත්නා තත්වයට විකල්පයකි. එවැනි ඇමුණු ජයගත් හැම විටකම එහි ප්‍රතිපලය වන්නේ පැවැත්මට අවහිර කරමින් විරාජමානවූ ප්‍රභූන් ඉවත්  කිරීමය.  ඒ හරහා නිර්මානය වන ඉඩකඩ කැප කරන්නන්ට හිමිවේ.

මහන්තත්කම ප්‍රකාශ කරන ප්‍රකට අධිපතිවාදි මානසිකත්වය ‘‘පියාඹා ගියාට ඔලුවේ කූඩු බදින්න දෙන්නේ නෑ“ යන උපහැරණයේ ගැබ්වී ඇත.

හැම බල ලෝභියාම එවැනි සිහින දකින්නට කැමතිය. එහෙත් කූඩුව බදින තැන සහ අවශ්‍ය කෝටු කෑලි ගෙන ඒම සාමුහික ප්‍රයත්නයකි. වටුවෝ එක්ව දැළ එසවූ බවත් සිහි තබාගත යුත්තාහ.


හම්බන්තොටදී ''මං මීඩියා'' කී මාධ්‍යවේදියාට​ ලැබුණේ ස්පොට් ෆයින් එකකි -  Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්