අරාජිකවූ රටේ පවත්නා තත්වය යහපත් නැත. අප්‍රෙල් කැලඹිල්ල අනපේක්ෂිත, එහෙත් බලාපොරොත්තු සහගත ප්‍රබෝධයකි.



රටේ  පාලකයන්ට මරණ බය ඇති කිරීමට සමත්වූ ඒ චලනය ආකාස්මික යමක් මිස, ප්‍රජාතන්ත්‍රවාදි මිනිස් මැදිහත්වීමක් නම් නොවේ. ස්වභාවික සංසිද්ධියකි.

මේ මෝදු වෙමින් පවත්නේ කටට දා ගන්නා අවම බත් කටත් අහිමිව අවදානමේ පටු ඉඩක සිරවීමෙන් ඒකරාශීවූ  බඩගින්නට කඳුළු බොන අසරණවූ මිනිසුන් වෙනුවෙන් සක්‍රිය වෙමින් පවත්නා ඇසට නොපෙනෙන බලවේගයකි.

ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පිළිගත් සටන් ක්‍රම සම්ප්‍රදාය බොහෝය. පවත්නා නිමේෂයෙහි ආණ්ඩුවේ මැති ඇමතින්ට දැනෙන පීඩනය අසෝබන විය හැකි වුවද,  එසේ වීමට හේතු බොහෝ සාධාරණ හේතු නැතිවාම නොවේ.

Curfew in Sri Lanka as anti-government protests rock capital Colombo |  Tamil Guardianපාරට බැස ගෝඨා පළ කියන මිනිසුන් හැමදාම අප දැක ඇත. එහෙත් කුඩා දරුවන් වඩා ගෙන මහ රෑ විරෝධතාවන්ට එක්වූ කාන්තාවන් මධ්‍යම පන්තිකයන් දක්වන ප්‍රතික්‍රියාවන් ගැඹුරෙන් හැදෑරිය යුතුව තිබේ. එය දේශපාලනය සදාචාරය ඉක්මවා ගිය බඩගින්න පිපාසය ආලෝකය පිළිබද කතිකාවකි.

මේ වනවිට, අනුර යාපාලා, රතනලා, සිරිසේනලා, නිමල් සිරිපාල සිල්වා, විමල්  වීරවංශලා ,ගම්මන්පිලලා, සුද්ධවන්තයන් වී හමාරය. රාජිත සේනාරත්නලා පාඨලී චම්පිකලා රාජපක්ෂලාට එරෙහිව සටන් වදිති.  

එහෙත් බැසිල් රාජපක්ෂගේ උවමනාවට ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු තනතුරෙන් පහ කරමින්, ලංකාවේ අධිකරණයට කළ අවමානය කිසි විටෙක සාධාරණ මිනිසෙකුට අමතක නො කරනු ඇත.

ලැබුණ බලය උපරිමයෙන් අනුභව කොට කෙළවෙන බව දැනුන වහාම පැත්ත මාරු කර (වද කොත්තු රතනලා මෙන්) ආයෙත් ජැක් ගසා යැපෙන අවජාතක පරපුටු දේශපාලනයට එරෙහි සටන කිසිවෙකුට අත්පත් කර ගැනීමට ඉඩ දිය යුතු නොවේ.

2001දී පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ ලංකාවේ 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති විධායක බලය සමබර කිරීමට තැබූ යෝධ පියවරකි. එය යටපත් කරමින් 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2010දී  එක රාජපක්ෂ කෙනෙකු වෙනුවෙන් සම්මත කිරීමට ඩිව්ලා, තිස්ස විතාරණලා විජේදාස රාජපක්ෂලා සමග පාඨලීලා මෙන්ම රාජිලා සේනාරත්නලාත් කුමාර වෙල්ගමලාත් අත් එසවූහ.

අගහරුවාදා කුමාර වෙල්ගමට තිබුණ එකම ප්‍රශ්නය ගෝඨා ගෙන ඒම පමණකි. කණගාටුවෙන් ඇසිය යුත්තේ විලිලජ්ජාව තිබේද කියා පමණකි.


ඇහැටුල්ලෙක් නාගයෙක් වූ අවස්ථාව !


ගුලට රිංගා ගත් එකා ගැරඩියා ය යන්න අනුමානයකි. ඌ නාගයෙක් පොළගෙක් වෙන්නත්  බැරි නැත. යහ පාලනය පිණිස හොටු සෝදා කොණ්ඩය පීරා ජනාධිපති කරවූ සිරිසේන මහින්දට දුන් අගමැතිකමට කෙළවුණ පසුව ආරක්ෂක කවුන්සිලය රැස් නොකර හිටියේ නිකම් නොවේ. පාස්කු ප්‍රහාරයේ අගමුල කුරා කූඹින්ට හෝ රහසක් නොවේ. සිරිසේන යනු මෑත දේශපාලනයේ ඇහැටුල්ලෙක් නාගයෙක් වූ අවස්ථාවකි.

සාධාරණත්වය වෙනුවෙන් නිතර මතුවන ආකස්මික බලවේගය යළි සක්‍රිය වෙමින් 19 වෙනි සංශෝධනය 2015දී සක්‍රිය විය.

2015දී එක් පුස් ඌරෙකු හැර පාර්ලිමේන්තුවේ සියලු දෙනා අත් ඔසවා සම්මත කළ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසියන්ට රටේ තනතුරු දැරීමේ ඉඩ අසුරා තැබුවේ නම්, මහ  බැංකු මංකොල්ල සෝලිය පාරා වළල්ලක් වී මැදමුලනට කොටු කළ රාජපක්ෂලා නැගිටින්නේ නැත.

ජනාධිපති වෙත ආරක්ෂක විෂය තබා නො ගත්තා නම් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැත. ඒ ඔබයි අපේ මිනිහා කෙලින් කිරීමෙන් සිරිසේන නිදහස් නොවේ.

 

අප සවන් දිය යුත්තේ ආචාර කළ යුත්තේ පාරට බැස හඩ නගන මිනිසුන්ට ගැහැනුන්ට මිස, එක් රැයෙන් ස්වාධින වෙමින් අපට විරිත්න පාර්ලිමේන්තුවේ ජේත්තුකාර තක්කඩි දේශපාලනඥයන්ට නොවේ. 

 

අල්තාරය හමුවේ දන ගසා යාඥා කරමින් සිටියදී  මස් ලේ ගුලි බවට පත්ව එලොවත් මෙලොවත් අතර සිරවී සිටින ඒ අහිංසකයන්ගේ සාපයෙන් රටම වෙලී ඇත. සාමයෙන් ස්වර්ගයෙහි සැතපීමේ ඉඩකඩ ඒ මළවුන්ට ලබාදිය යුතුවේ.

සාධාරණ සමාජයක් ව්‍යාපාරය අපේක්ෂා කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතුව තිබුණ බොහෝ සාධනීය වගන්තීන් වළකා ලූ රතනත් පාඨලීත් මෙහෙයවන ලද්දේ රාජපක්ෂලා විසිනි.

පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ 17 වෙනි සංශෝධනය මිහිදන් කළ රාජපක්ෂලාගේ 18 සංශෝධනය, 19 වෙනි සංශෝධනයෙන් මුලුමනින්ම යටපත් විය. යළි ව්‍යවස්ථා නීතිය සංගීත පුටු කෝළමක් වී 20 හරහා රාජපක්ෂලා බලවත් විය.

තවත් එවැන්නක් සිදුවීම වැළැක්විය හැක්කේ පාරට බැහැලා කෑ ගහලා නොවේ.

අද ජනතාව වෙනුවෙන් කෑ මොර බලය ඉල්ලන ජවිපෙය 2005දී ප්‍රභාකරන් සමග එක්ව මහින්ද ජනාධිපති කරවන ලද්දේ හෙල්පින් හම්බන්තොට නඩුව ඇසෙමින් තිබියදීය.

ස්වාධීන වෙමි යයි කියා පාර්ලිමේන්තුවේදී නෑ මම රාජපක්ෂලා සමගය කී අරුන්දිකගේ භූමිකාව සහ ජවිපෙය කිසිවෙකු වෙන් කොට දැකිය යුතු නැත.

 

https cdn.cnn.com cnnnext dam assets 220405002141 01 sri lanka protest 04042022

අප මුහුණ දෙමින් සිටින අප්‍රේල් නැගිටීම යනු උන්ගේ අම්මලා පමණක් දන්නා ජාතකයේ දිග පළල පෙන්වමින් පාර්ලිමේන්තුවට රිංගා ගත් තක්කඩින් පිළිබද වෛරයට වඩා යමක් නොවේ.

 

ජනතා විරෝධය උත්සන්න වනවිට මන්ත්‍රීන් සිය ආරක්ෂාව පිණිස හදිසි නිතිය පනවන්නැයි කීහ.  

විදුලිය නැත. ඉන්ධන නැත. පාසල් නැත. බෙහෙත් නැත. පාරට බැස්සොත් වෙඩි මිස, ජනතාව අපේක්ෂා කරන ඒ කිසිවක් හමුදාව පාරට කැදවා ලබාදිය නොහැකිය.

මේ තත්වය මන්ත්‍රී රෝහිණි විජේරත්න යුධ හමුදාපති අමතා ජනතාවගේ පණිවිඩය ව්‍යක්ත භාෂාවෙන් විස්තර කළාය.



විරංවශ ගම්මන්පිල ඩබල බැසිල් වෙන් කොට රග දක්වන රාජපක්ෂ නාඩගම ටියුන් කරන හැටියකි.  17, 18, 19 සහ 20ට අත් ඉස්සූ  විරංවශලා ගම්මන්පිලලා නිර්මානය කළ බඩ ගෝස්තරවාදී අවජාතක පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගේ දොර ගිනි තැබීමෙන් ගල් ගැසීමෙන් අවසන් කළ නොහැකිය. කුණු කානුවක් අස්සෙන් එළියට ඇදගත් විට මට මෙහෙම කරන්න මං කළ වරද කුමක්දැයි ගඩාපි ඇසූ බව ඔවුන්ට සිහිපත් කිරීම පමණක් ප්‍රමාණවත්ය.

 

මහින්ද රාජපක්ෂලා විධායකය හරහා රටට සිදුවූ හානිය බෙදුම්වාදි ප්‍රභාකරන් ගෙන්වත් සිදු වුණේ නැත. තිස් වසරක් සිවිල් යුද්ධයට මැදිවූ අවදියේ හෝ මෙවැනි ආර්ථික අගාධයකට රට තල්ලු වුණේ නැත.

 

ප්‍රභාකරන්ට පගාදී ප්‍රජාතන්ත්‍රවාදය ඔලුවෙන් සිටුවා 2005දී බලයට පත් මහින්ද රාජපක්ෂ 2009දී යුද්ධය හමාර කිරීමේ සකල ජයග්‍රහණ මැදමුලන රාජපක්ෂ  පවුලට සින්න කර ගත්තේය. නීතියෙන් දෙවරකට සීමාවූ විධායක ජනාධිපති ධුරය සදාහටම පවරා දුන් ප්‍රීති සාදයේ වීරවංශ රාජිත පාඨලී මෙන්ම ඩිව්ලා තිස්ස විතාරණලාත් සිරිසේනලාත් වෙල්ගමලාත් සිටියහ.  

වර්තමාන ශ්‍රීලනිපයේ කඩිනම් අරමුණ රට ගොඩ දැමීම නොවේ. ආණ්ඩුවේ කොළඹ ගෙදර සහ පාස්කු ප්‍රහාර යන නඩු දෙකෙන් ලොක්කා බේරා ගැනීමය. සිරිසේනට සමාව දෙන ලැයිස්තුවට අර්ජුන් මහේන්ද්‍රගේ නමක් දාන්න යයි රනිල් කීවොත් කිසිවෙකු පුදුම විය යුතු නැත.

පාඨලී අදටත් විධායකය අහෝසි කිරිමට කට අරින්නේම නැත. රනිල්ලා, සජිත්ලා, අනුරලා පාඨලීලා කවුරුත් සිටින්නේ හාවුන් වැඩි වුනත් එකයි කිඹුලන් වැඩි වුණත් එකයි කියන තැනය. සැගවුණ දේශපාලන න්‍යාය පත්‍ර බොහෝය.

එහෙත් සිවිල් සමාජය මුල් කොට ගත් නිර්දේශපාල කණ්ඩායම් එතැන නැත. ඔවුන් සිටින්නේ දේශපාලනය නොකර රටේ ක්‍රමය වෙනස් කිරීමට මාදුලුවාවේ හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි ආස්ථානයෙහිමය. රත්වූ තැටියෙන් උපරිමය කරවා ගැනීමේ සද්භාවි අපේක්ෂාවන් අතැතිවය.

 

නැවත අවධාරණය කළ යුත්තේ 2015දී මෙන්ම 2022දීත් සක්‍රිය වන්නේ කාගේවත් මැදිහත්වීමක් නොව, ස්වභාවික තත්වයකි. රටේ අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් යම් ශක්තියක් ජනතාව සමග මෙන්ම ජනතාවද අවදි කරමින් සිටින්නාහ. යළි බල තන්හාවෙන් වාසියෙන් කිළිටි නොවූ මිනිසුන්ගේ මැදිහත්වීමක් කඩිනමින් අවශ්‍යවී ඇත. ඒ ඓතිහාසික ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය ආලෝකය තෙතමනය රස්නය සාමාන්‍ය ජනතාව නො අඩුව ලබා දෙමින් සිටිති.

 

රට තුළින් පමණක් නොව දේශ දේශාන්තරයන්හී විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් වෙතින්ද, අපට ඇසෙන ගෝ ගෝඨා යනු තනි මිනිසෙකුට පමණක් නොව ලෙයින් කදුලෙන් මිනිසුන් ගැහැනුන් දරුවන් විලාප ගැස්සූ යුගයක කතාව සුනුවිසුණු කරවන විධානයකි.

පවුලක වාසියට වද කොත්තු කතා කියමින් රටක් රැවටූ සමහර පාහරයන් රටේ අවාසනාවට චීවරධාරින් වෙති. බුද්ධ චීවරය අමුඩයක් කොට විලි  වසා ගෙන ගෝඨාට හිට්ලර් කරවීමට කතා කළ කාසාව කන්ටකයන් නැවත මහන උපසම්පදා කරවන ලෙස නිකාය ආරක්ෂක සභා පිනා හිමිවරුන් දැන්වත් කළ  යුතුවේ.

කහ සහ සුදු වතින් සැරසුණ හැම එකාම සුද්ධවන්තයන් නොවන බවට 2019න් ආරම්භව ගෙවෙමින් පවත්නා හැම තත්පරයකම තහවුරු විය.

මේ ලියන අතර වාරයේ බැංකු කොල්ලයට සම්බන්ධ කිසිවෙකුට ඇමතිකම් නොදෙන බවට ගෝඨා මහින්ද සහතිකවූ බවට නිකුත් කළ සංඥාව වෙන්දේසිය පටන් ගත් බව නොවේද?  රට අපේක්ෂා කරන්නේ කිසිවෙකුට තම වාසියට මෙහෙයවිය නොහැකි පාලන ක්‍රමයකි. එය පුද්ගලවාදි නොවේ. ජනතාවාදි වේ.

 

දිගු කලක් බල ලෝභීහූ බලය ආගම භාෂාව ජාතිය පෙන්වා පෙන්වා මේ රට කොල්ල කෑහ. ඒ කතාන්තරය 2018 වනවිට දේවස්ථානවල ලේ මස් විසුරුවා මිනිසුන් කුපිත කිරීම තෙක් ව්‍යාප්ත විය. අප කිව යුත්තේ දැන් හොදටම ඇති කියා පමණකි.

 

එසේම පසුගිය සතියේ අනිද්දා පුවත් පතේ මධ්‍යම සංස්කෘතික අරමුදල සිය දේශපාලන ප්‍රවර්ධනය සදහා සජිත් ප්‍රේමදාස කොල්ල කා ඇති හැටි ඉදුවර බණ්ඩාර මැනවින් දක්වා ඇති බවද සිහිපත් කළ යුතුවේ.

වර්තමාන සමාජ චලනයෙහි ගතික මෙන්ම ධනාත්මක හැරවුම නීතිඥ වෘත්තිකයන් පෙළ ගැසී වීදි බැසීමය. මිරිහාන විරෝධය අස්සේ ආණ්ඩුවේ බස් ගිනි තබා පොදු දේපල අපරාධ චෝදනා නිර්මානය කිරීමට පොලිසිය සමග නීතිපති ගත් උත්සාහය ව්‍යස්ථ කළ නීතිඥ ප්‍රජාවට ජාතියේ කෘතඥතාව හිමිවිය යුතුවේ.

මිරිහාන සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටි නීතිඥයින්

 

කොළඹ නීතිඥයන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව වටලා හමාරය. ඔවුන් ප්‍රශ්න කරන්නේ රාජපක්ෂ පවුලේ කොපමණදෝ නඩු ගණනාවක් අස්කර ගැනීම ගැනය.

මිරිහාන සාමකාමි විරෝධය මට්ටු කිරීමට නීතිපති උස්සා පෙන්නූ පොදු දේපල නීතිය බරපතලය. එහෙත් වීරකැටිය රාජපක්ෂ සොහොන ඉදි කිරීමට වැය කළ රජයේ මුදල් ගෝඨාභය ආපසු ගෙවා ඇති නිසා විභාගයට නියමිත පොදු දේපල පරිහරණ නඩුව පවත්වා ගෙන නොයන බව අධිකරණයට සැල කළහ.  

මේ අව් අස්සේ සජබයෙන් නීතිඥයන් කොපමණාදෝ රෙඩි කර ඇති බවක් සජිත් කියා තිබිණ. පාරේ යන බස් වලට අත් උස්සන හාදයන්ට අනුකම්පා කරනු මිස වෙන කුමක් කියන්නද?

 

හෙට පත්වන නව ආණ්ඩුවක් වෙනුවෙන් නිතිපති රාජපක්ෂලාට පිරුවට එලූ ආකාරයෙන්ම කඩේ යයි නම් පාරට බැස කෑ ගසන සාමාන්‍ය ජනතාවට ලැබෙන ලබ්බක් නැත.

 

සුදු රෙදි නඩුවෙන් වැරදි කරුවන්වූ නිලධාරින් දෙදෙනා පසුව නිදහස් විය. ඒ නිදහස ලැබීම ගැන මහින්ද රාජපක්ෂ කීවේ කුමක්ද? රාජ්‍ය නිලධාරින්ට දැන් බියෙන් තොරව වැඩ කළ හැකි බවය. සත්‍ය එයද?

රටේ නීතියත් රාජ්‍ය සේවයත් නිදහස් නිවහල් වේ නම් දේශපාලනඥයන්ට වෙනම සිර ගෙවල් ඉදි කිරීමට සිද්ධ වෙනු ඇත. කළ යුත්තේ එයයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රංජිත් ආරියරත්න ජාතික ලැයිස්තුව පත් කිරීමට උපදෙස් දෙමින් සිටියි. ඔවුන් කළ යුත්තේ රාජ්‍ය සේවා ගෞරවය රැගෙන ලෙස සාමාජිකත්වය හැසිරවීම බව තේරුම් ගත යුතුවේ.

උදාව පවත්නා මේ මොහොත තැටිය රත් වීමක් නම් උදක් විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ රත්වූ තැටිය මුත්‍රා කිරීමෙන් අපවිත්‍ර නොකරන ලෙසය.

පළමුව 20 විසි කර 19ට නොයයි නම් කිසිවක් කළ නොහැකි වනු ඇත.

පාරේ කලහ කරන පිරිස් නිවෙස් වෙත යැවිය හැක්කේ පාර්ලිමේන්තු බහුතරය අවශ්‍ය තැනට ඒකරාශි කරවා ගැනීමෙන් පමණකි.



චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්