ලංකාව ස්වේච්ඡාවෙන් ස්වකීය අභිවෘද්ධිය වෙනුවෙන් පෙළ ගැසී අවසන්ය.



ආසන්න වසර පනහක් පුද්ගලයන් මුල් කොට ගත් දේශපාලනයකට රටේ ජනතාව කොටුව අතරමංව රැවටී සිටියහ. ඔවුන් වර්තමානයේ තමන් තමන්ටම පහනක් වෙමින්, නව අත්හදා බැලීමක නියැලී සිටින්නාහ.

වසර දෙදකට ආසන්න කාලයක් මා විසින් ප්‍රසිද්ධ කළ දේශපාලන විචාර කියැවූ බොහෝ දෙනා ඊළග පුද්ගලයා හෝ නායකයා කවුදැයි මගෙන් විමසීය. මා අපේක්ෂා කළේ පවත්නා ක්‍රමය වෙනස් කර ගෙදර යන්නෙකි.

බලය පවරා රජ ගෙදර බින්න බස්සවා ගන්නෙකු නොවේ. පුද්ගලයෙකු මුල් නොවූ වැඩ සටහනක් සහිත මගේ කරුණු දැක්වීම සමහරුන් දුටුවේ කවන්දවයක් හෙවත් හිසක් නැත්තෙකු ලෙස ය.

අප්‍රේල් පිබිදීමට කිසිදු නායකත්වයක් නැත. බෙදි සිටිමින් උනුන් විවේචනය කර ගනිමින් රටේ නායකයා වීමට අමුඩ ගැසූ විපක්ෂයේ හැම දේශපාලනඥයාම මගේ විවේචනයට ලක්විය. ඒ හැම දෙනාම අප්‍රේල් පිබිදීම විසින් ප්‍රතික්ෂේප කර හමාරය. මුල් අවස්ථාවේ මගේ විග්‍රහය ගෝඨාට කඩේ යාමක් ලෙස සැලකූහ. පිළිතුරැ දීම කාලයට භාර කළ මගේ දැක්මට කාලය නිවැරදි පිළිතුරැ සපයා ඇත.

මා කතා කළේ පවත්නා ක්‍රමය වෙනස් කර ගෙදර යන්නෙකු පිළිබදවය දැන් රටේ ජනතාව ගෙදර යා යුත්තා හදුනා ගෙන හමාරය.

 

ගෝඨා ගෝ හෝම් යනු සත්තකින්ම ක්‍රමය වෙනස් කිරීමට පෙළ ගැසුණ බලවේගය කවන්ධයක් නොවේ. හර්කියුලස් වැනි යෝධයෙකි. ඒ ජන සම්මතවාදි යෝධයා මේ මෙහොතේ ජනාධිපතිකම් අගමැතිකම් ඉල්ලන පල් හොරුන් දෙපයින් අල්ලා පොළොවේ ගසනු නියතය.

 

ජනතාව වීදි බැස සටන් කරන්නේ පවත්නා ක්‍රමය වෙනස් කර රටට පලදායි පාලනයක් ඇති කිරීමට මිස, තවත් විධායකයෙකු පත් ගැනීමට නොවේ. මේ නව බලවේගය රටේ පවත්නා බිද වැටුණ තත්වය නිර්මානය කිරීමට වගකිව යුතු, 17 සහ 19 යන සාධනීය ව්‍යවස්ථා සංශෝධන යටපත් කිරීමට දහ අට සහ විස්ස යන රාජපක්ෂ කල්ලිය රකින සංශෝධනයන්ට අත් එසවූ තවමත් පාර්ලිමේන්තුවට කොටුවී සිටින අවජාතක නොහොබිනාකම් තේරුම් ගත් සටනකි.

දෙසතියකට පෙර දහස් ගණනක් කොළඹට කැදවා ජනාධිපති කම අපේක්ෂාවෙන් ගෝඨාට ගෙදර යන්නැයි බල කළ සජිත් ප්‍රෙමදාස නව ජනතා අපේක්ෂාව නිරවුල්ව තේරුම් ගෙන විධායකය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේදී කැමැත්ත පළ කළේය. ඒ සජිත්ම දැන් ඡන්දයකට යාමට වළි කමින් සිටියි. ජන්මයෙන් ලැබුණ කෑදරකම රටේ කරුමයක් වීම රටේ මිනිස්සු 1988-1993 කාලයේත් අත් දුටහ.

ඒ අලකලන්චියේ සජබය නියෝජනය කරන පාඨලී චම්පිකත් පොන්සේකාත් ජනාධිපති අගමැති තනතුරු අපේක්ෂා කරමින් සිටිත්. සජබය යනු දේශපාලන මුඩුක්කුවක් වී හමාරය. කරු පරණවිතාන ලවා යෝජිත විශ්වාස භංග යෝජනාවට ආසිරි පතනු ඇසිණ. ඒ හරහා හෙළි වෙන්නේ පාලන ක්‍රමය වෙනස් කිරීමට තල්ලු වෙන රටේ පාර්ලිමේන්තුව දෙකට බෙදා පවත්නා ක්‍රමය රැක ගැනීමට සජිත්ලා පාඨලීලා කරන ක්‍රමන්ත්‍රණයයි.

 

මේ සියලු කුමන්ත්‍රණ අතර, අධිකරණය, රාජ්‍ය සේවය විධිමත් කිරීමෙන් පමණක් රට යම් තරමකට විධිමත් කළ හැකිය. එවිට සල්ලි අච්චු ගැහිල්ල නතර කළ හැකිය. අනවශ්‍ය ආනයන ක්‍රියා නතර කළ හැකිය. සීනි බදු අඩු වැඩි කිරීමට ගැසට් අත්සන් කළ බලධාරින් අධිකරණයට කැදවිය හැකිය. පාස්කු ප්‍රහාරයට හේතුවූ රටේ ආරක්ෂාව බිද වැට්ටවූ ආරක්ෂක කවුන්සිලය එය හය මාසයක් නොකැදවීම ගැන සිරිසේනටද එකී තත්වය පාර්ලිමේන්තුවට නොදැන්වීම ගැන රනිල්ටද එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ යුතුවේ.

 

රට යහ පාලනයට නතු කළ හැක්කේ එසේය. එවිට දේශපාලනඥයන් ඉබේම යහ පාලනයෙන් සීමා පැනවේ.


ඒ අතර රටට හූනියමක්වූ විධායක ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බලපෑම වීදි බැස සිටින ජනතාව අඛණ්ඩව සිදු කරනු ඇත. රටේ වෘත්තිකයන් අමාත්‍යංශ ලේකම්වරුන් සදහා රාජ්‍ය නිලධාරින් පත් කිරීමට බල කළ යුතුවේ.

තිලංග සුමතිපාලලා, ආරක්ෂක මණ්ඩලයට කැදවූ කාලකන්නි කාලයක් රටේ පැවතිණ. පසුගියදා ආරක්ෂක මණ්ඩලයට කමල් ගුණරත්න විසින් නිශ්ශංක සේනාධිපතිද කැදවීම තවත් එවැනි අවස්ථාවකි. මේ අවදානම ඉවත් කිරීමට, විශේෂයෙන් ආරක්ෂක ලේකම් තනතුර ආදි රාජපක්ෂ ගැති එහෙයියන් ඉවත් කිරීමට රාජ්‍ය අංශය වහා බලපෑම් කළ යුතුවේ.

අජිත් නිවාඩ් කබ්රාල් පළවා හැරීමේ පූර්වාදර්ශය මෙහිදී අනුගමනය කළ යුතුවේ. ඊට අවශ්‍ය සහාය නීතිඥ ප්‍රජාව විසින් ලබාදෙනු ඇත.

එයින් අපේක්ෂා කරන්නේ තම හිතෛශින් එහෙයියන් රජයේ තනතුරු සදහා පත් කිරීමේ ඉඩකඩ ඇහරෙන බවය. නඩු අස් කර ගැනීම නතරවන බවය. හෙවත් සියල්ල නිශ්චිත රාමුවක සීමා ලකුණු කිරීමකි.

 

මේ වනවිට නීතිඥයන් නිතිපති දෙපාර්තම්න්තුව වටලා හමාරය. ඔවුන් අසන්නේ කුමක්ද? රාජපක්ෂලා වෙනුවෙන් නීතිය නැවීම පිළිබද ප්‍රශ්නයකි. ගෝඨභය බලයට පත්වූ පසුව ඉල්ලා අස්කර ගත් නඩු විසි ගණනක් බව ඉරිදා ලංකාදීපය කියා සිටියි. රාජ්‍ය විධිමත් කිරීමට ප්‍රසිද්ධ වැසිකිළියක් හෝ වැටලය යුතු නැත.

 

රාජ්‍ය නිලධාරින් කළ යුත්තේ තමන් නිවැරදි වෙමින් මුදල් සහ පාලන රෙගුලාසි පෙන්නා දේශපාලකයන් නියාමනය කිරීම පමණකි. අනවශ්‍ය ලෙස අනුයුක්ත කළ ආරක්ෂක නිලධාරින් ආපසු කැදවීමේ බලය පොලිස්පති සතුය.

 ප්‍රාදේශීය සභා කාරයන් සකස් කළ සමෘධි ලැයිස්තු ප්‍රාදේශිය ලේකම්වරුන් මතු නොව ග්‍රාම නිලධාරින්ද වහා පුනරීක්ෂණය කළ යුතුවේ. ඒ හරහා ආණ්ඩුවේ මුදල් බෙදමින් නිර්මානය කළ රාජපක්ෂලාගේ ඡන්ද පදනම ඇද වැටෙනු ඇත. අවුල් වූ පවුල් පාලනය අවසන් කළ හැකිය.  

අනුරාධපුර නුවර වැව් ඉස්මත්ත ගොඩ කර තරගයට හෝටල් තැනූ ඤානක්කාත් ඇස්.ඇම්. චන්ද්‍රෙස්නත් ආරක්ෂා කළ රාජ්‍ය නිලධාරින්ට අදාල වෘත්තික සංවිධාන විසින් කඩිනමින් මග පෙන්විය යුතුව තිබේ.

FCID inspection

වීරකැටිය රාජපක්ෂ සොහොන

 

කෝටි ගණනක් රජයේ මුදල් වැය කර ඉදි කළ වීරකැටිය රාජපක්ෂ සොහොන යනු පොදු දේපල නීතියට එරෙහි ක්‍රියාවකි. එකී නඩුව පවත්වා ගෙන නොයන බව ප්‍රකාශ කළ නීතිපති දෙපාර්තාමේන්තුව අධිකරණයට දැක්වූ හේතුව කුමක්ද? අවභාවිත කළ රජයේ මුදල් අයකර ආපසු රජයට ගෙවා ඇති හෙයින් නඩුව තවදුරටත් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවයක් නැති බවය. ඒ නිගමනය දිලීප පිරිස්ගේද? රාජරත්නම්ගේද?

එහිදී දෙකට නැවුණ රටේ පොදු දේපල නීතිය මිරිහාන උද්ගෝෂණයේදී රාජපක්ෂලාගේ ආරක්ෂාව වෙනුවෙන් කෙළින් විය.  

මිරිහාන උද්ගෝෂකයන්ට එරෙහිව ඒ අධිකරණය හමුවේ කරුණු දැක්වූ නඩුවට පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයා පොදු දේපල වැරදි ඇති බව පවසා ඇප නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී උද්ඝෝෂකයන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ සරත් ජයමාන්න ඇතුලු නීතිඥ කණ්ඩායම කළ කරුණු දැක්වීම සුවිශේෂි වේ.

මෙවැනි යහ පාලනයෙන් ගොඩ ගිය සිරිසේන සිදු කළ දේශපාලන මැදිහත්වීම්ද සිහිපත් කළ යුතුවේ. නිලංග දෑලට එරෙහි වංචා විමර්ශණය නතර කළේ ජනාධිපති සිරිසේනගේ විධානයෙනි. සිරිසේන එසේ හැසිරුණේ අස්ගිරි පන්සල දේශපාලනිකව ෂේප් කර ගැනීමටය.

වංචනික ගමන් බල පත්‍රයක් සමග කටුනායකදී කොටුවූ විරවංශ මුදා හැරියේ රේගුව නෙවේ. රනිල් වික්‍රමසිංහ විසිනි.

මේ අවස්ථාවන්  තම වාසියට නීතිය අවභාවිතා කිරීම්ය.

වසර ගණනාවක් වාර්ෂිකව ගොනු කළ යුතු ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීම යනු සෙල්ලම් වරදක් නොවේ. ඉදිරිපත් නොකළ ඒ ගිණුම් වාර්තා යටපත් කළේ ශ්‍රී දළදා මාලිගාවට ලැබුණ ආදායම් යටිමඩි ගැසීමට බව රහසක් නොවේ. බුද්ධාගම රාජ්‍ය ආගම වූ රටේ ගෞතම බුද්ධ රාජ්‍යක් වීමෙන් ඉඩ සැලසුණේ හොරකමට වංචාවට පමණක් නොවේ. ජනතාව ගෙදර පලයන් කියන ගෝඨාභයට හිට්ලර් කෙනෙකු වන ලෙස භික්ෂූන්ට විහාර ගම් දේපල කොල්ල කෑමටද ඉඩකඩ සැලසිණ. 

 

ජනතාව පෙළ ගැසී සිටින්නේ ගෝඨා හිට්ලර් නොවූ නිසා නොවේ. තකතීරු උද්ධච්ඡකමෙන් රට අම්බලමක් කළාටය. විධායක ජනාධිපතිට කැමති දෙයක් කිරිමට ඉඩකඩ සලසා රටක් විනාස කළ විධායක ක්‍රමය වෙනස් කිරිමට ගෙදර යන්නෙකු අවශ්‍ය යයි සිවිල් සමාජය හැමදාම කීවේ මේ නිසාය. හෙවත් බලය අතට පත් කිසිවෙකු අත් නොහරිතී යන පදනමිනි. කාලය සියලු ප්‍රශ්නවලට විසදුම් සපයමින් ගමන් කරන හැටියකි.

 

උදාවී ඇත්තේ තමන් පත් කළ මිනිසා පිස්සෙකු බව රටේ බහුතරය තේරුම් ගත් අවස්ථාවකි. මේ මොහොතේ විධායක ජනාධිපති මෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරයේ හැසිරීමද දෙසද අප විමසිලිමත් විය යුතුවේ.

අපේක්ෂිත ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාවලිය එසේ සිදුවේවා. ඒ අතර, නීති ප්‍රජාව මෙන් රාජ්‍ය සේවය තමන්ට නෛතිකව පැවරුණ වගකීම අනුව ක්‍රියා කිරීම වහා ආරම්භ කළ යුතුය. ඊට ව්‍යවස්තා වෙනසක් අවශ්‍ය නොවේ.

ගෝඨා එළවීමට රාජ්‍ය සේවය වැඩ වර්ජන කළ යුතු නැත. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රෝහණ ද සිල්වා රට හරි මගට නොගත්තොත් පරිපාන නිලධාරින් කරන දේ විස්තර කරන්නනේ අසිහියෙන්ද? ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කළ යුත්තේ ප්‍රකාශ නිකුත් කිරීම නොවේ. පැය විසි හතරක් තුල බිද වැටුණ රාජ්‍ය සේවය දෙපයින් නැගිට්ටුවා සිටවීමට බල කිරීමටය.

ඒ සදහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව වෙනස් කළ යුතු නැත. සියලු ලේකම් තනතුරු සදහා නිත්‍ය රාජ්‍ය නිලධාරින් පත් කරන ලෙස නිවේදනයක් නිකුත් කළ හැකිය. ඔවුන් එසේ නොකරන්නේ වැල යන අතට මැස්ස ගැසීමට සැරසී  සිටින නිසා බවට කෙනෙකුට කල්පනා කිරීමට ඇති ඉඩ  ඔවුන් ඇසිරිය යුතුය.



ලිච්චවි සම්මුතියේ පංගු සහ පඩංගු - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්