මංගල ජනපති කරමු යනුවෙන් කොළඹ තාප්ප බිත්තිවල ප්‍රදර්ශනය කළ පෝස්ටරය ටිකක් අමුතු එකකි.



ලංකාවේ දේශපාලනඥයෙකුගේ මළගමකට පසුව, එළඹෙන්නේ  වැන්දඹුවගේ, දරුවන්ගේ විරාමයකි.  

අවිවාහක මංගලගේ උරුමය චින්තනය හෝ යම් (අවසන් නොකළ) යුග මෙහෙවරක් වේ නම් එය පවත්වා ගෙන යාම අපරාධයක් නොවේ. එහෙත් මංගල ආපෙන් සමු ගන්නා විට, යම් උත්සාහයක යෙදෙමින් සිටි බව රහසක් නොවේ. 

 

මංගල ගේ ජන්ම දිනය යෙදී තිබු අප්‍රේල් 21 මෙම පෝස්ටර් ව්‍යාපාරය දියත්කර තිබුනේ, PlanB තරුණ කණ්ඩායමයි.

 

මේ  මංගල සමරවීර ගැන හෝ ඔහුගේ දේශපාලන මැදිහත්වීම් විමසා බැලීමක් නෙවේ. විධායක ක්‍රමයට එරෙහිව රටම පෙළගැසුණ මොහොතක මංගලගේ කලේබරය විධායක ජනාධිපති කරවා ඇවිද්ද වීම යනු ඛේදවාචකයකි.  

සිවිල් සමාජය, 2024 තෙක්, රාජපක්ෂලා තම බල පරාක්‍රමයෙන් විරාජමාන වනු ඇතැයි අනුමාන කළද, කෙටි කලක් තුළ රාජපක්ෂලා නිශේධ වී හමාරය. ඒ හරහා විධායක ක්‍රමයද ප්‍රතික්ෂේප කරන ජන සම්මතයක් රට තුළ නිර්මානය වී හමාරය.  ඒ අවකාශය තවත් පුද්ගලයෙකුට හරිබරි ගැහීමට ඉඩ දෙන්නේ නම් නැත.  

එහෙත් සජිත් නුවර සිට කොළඹ එන්නේ රාජපක්ෂලාගේ ඇබෑර්තුව පිරවීමට බව පෙනේ. ඒ හදිසි මැතිවරණයකට රට තල්ලු කිරිමකටය.

එහෙත් කළ යුත්ත ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කරයි.

රට හිරවුණ ආර්ථීක අවපාතයෙන් ගොඩ ගැනිමට අන්තර් කාලීන ආණ්ඩුවක් අවශ්‍ය වේ.  

සජිත්ට අවශ්‍ය හොරුන් ඇල්ලීමට මිස විධායක ක්‍රමය අහෝසි කිරිමට නොවේ. 

 

ගෝල්පේස් යාමට නොහැකි වූ අන්තරේ සිසුන් ක්ෂණිකව තෝරා ගත් දිශාව ආණ්ඩුවේ පාලකයන්ට මෙන්ම, පාර්ලිමේන්තු බත් බිල්ලන්ටද කන කීන් ගාන පණිවිඩයකි. 

 

රාජපක්ෂ පාලනය පමණක් නොව රටේ සම්මත දේශපාලන ධාරාවට අභියෝග කරන අප්‍රේල් පිබිදීම පවත්නා ක්‍රමය ප්‍රතික්ෂේප කර නව දේශයක් ගොඩ නගන  ජන සම්මතයකි.  

එපමණක් නොවේ. නායකයෙකු හෝ පක්ෂයක් නියෝජනය කළ කිසිවෙකු ස්වකීය අනන්‍යතාවයෙන් ගෝඨා ගෝ ගමට පිවිසීමට උත්සාහ කළේ නැත. ඒ දිය වැළට එක්ව සිය මතවාද පැතිරවීමෙන් ඉලිප්පීමට තැත් කළ කිහිප දෙනෛකු මේ වනවිටත් විවිධ හේතු නිසාවෙන් නිහඩව සිටිති. සජිත් ආයෙත් ගෝල් පේස් එන්නේ විධෘයක ජනාධිපතිකම ඉල්ලීමටය.

අප්‍රේල් ජන ආලෝලනය පෙළ ගැසෙද්දි එය බරපතල විනාසයක ආරම්භයක් බවට සමහරු අනාවැකි කීහ. ඔවුන්  කීවේ පිළිගත් නායකත්වයක් නැතිව එවැන්නක් සිදු නොවිය යුතු බවය.

ගෝඨා ගෝගමට සැපයුණ පහසුකම් ගැන සමහරු ජාතිවාදීව ආගම්වාදීව ඇගිල්ල දිගු  කළහ.

එකී තුච්ඡ අරමුණු පරාජය කරමින් මේ වන විට රටේ ප්‍රකට ව්‍යාපාර ගණනාවක් ස්වකීය සන්නාමයන් යටතේ අවශ්‍ය දෛනික පහසුකම් සපයනවා පමණක් නොව අප්‍රේල් ජන ආලෝලනයට ආශීර්වාද කිරීම විශිෂ්ඨ ජයග්‍රහණයකි.

අප්‍රේල් ජන ආලෝලනයට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සම්ප්‍රාප්ත වීම බෞද්ධ විරෝධි පෙළ ගැස්මක් කොට ආරම්භවූ මහ පෙරහැර අතරැමග නතර විය.

image 67882a9757

පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරුණ පසුගිය 21 වෙනිදා එකී ප්‍රහාරයෙන් මිය පරලොව ගිය අයට බෞද්ධ චාරිත්‍රානුකූලව පිං පමුණුවමින් සිදු කළ මහා සංඝගත දක්ෂිණාව මෙතෙක් රට බෙදා වෙන් කළ පටු ආගම් කල්ලි වාදි දේශපාලනයට ලැබුණ අර්ථවත් පැහැදිලි කිරීමකි.  

හැම විටෙකම දේශපාලන නායකයන් ඉස්මතු වන සියලු බලවේග තම අරමුණුවලට අනුකූලව හසුරුවා ගැනීමට තැත් කරන්නේ අන්තර් පාලන උත්සාහය අවුල් කරමින් බලයට කෑදරකමෙන් දගලන සජිත් ප්‍රේමදාස වාගේය.

උඩු ගම් බලා යන අප්‍රේල් ජන ආලෝලනය, තනි නායකයෙක් නොව, දහසක් මල් පුබුදන පාලන ක්‍රමයක් අපේක්ෂාවෙන් පෙනී සිටින්නාහ.

18 සංශෝධනය නිසා වරක් ඇද වැටුණ රාජපක්ෂ පාලනය 20  සංශෝධනය නිසා යළිත් ඇද වැටිණ. හේතුව පාලන ක්‍රමය පුද්ගලවාදි වීම ජන සමාජයට ඔරොත්තු නොදීමය. සජබයට නම්  තවමත් එය දැනිලා නැත.

ඒකරාශිවූ  ජනතා අපේක්ෂාව නිශ්චිත සමාජ සම්මතයක් මිස නායක පැලැස්තර නොවේ.  

එංගලන්තයේ අලිඛිත ව්‍යවස්ථාවත් අමෙරිකාවේ ලිඛිත ව්‍යවස්ථාවත් දෙකම ජන සම්මතවාදි වේ.

අප්‍රේල් මාසයේ ගෙවුණ හැම දිනකම පාර්ලිමේන්තුවේ සිද්ධ වුණේ කුමක්ද?  පරමාදර්ශී ජනතා අපේක්ෂාවන්ට ජන සම්මතයට පිටු පා  225ක් උනුන් කා ගොටා ගැනීමක් පමණකි. ජනතා සම්මත ව්‍යවස්ථාව නීතිගත කිරීම හැර පාර්ලිමේන්තුවට වෙන කළ හැකි යමක් නැත.

ගෝඨා ගෝ හෝම් ව්‍යාපාරයට එක්වූ  බහුතරයක් තමන් විශ්වාස කළ දේශපාලනය හදුනා නොගත් සාධනීය ජනතා අපේක්ෂාවන්ගෙන් සන්නද්ධව සිටිති.

 

පවත්නා සක්‍රිය දේශපාලන ව්‍යාපාර තුළ මෙවැනි ස්වේච්ඡාවෙන් ඒකරාශිවූ ශක්තිමත් අපේක්ෂා නො පැවති බව තේරුම් ඔවුන් තේරුම් ගත්හ. මේ නැගිටීම යටපත් කිරීමට මංගල ජනාධිපති කරමු වැනි මල් ව්‍යාපාර උත්සාහ දරන බව රහසක් නොවේ.

 

ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත, අප්‍රේල් ජන ආලෝලනය, මධ්‍යම පාන්තික කැළඹීමක් ලෙස දැකීමෙන් මේ ජනතා ව්‍යාපාරයට ජවිපෙය තුළ පවත්නා නොකැමැත්ත ප්‍රකාශ වේ.

පවත්නා සමාජ ආර්ථික බිද වැටීම තුළ ව්‍යාපාරිකයා නීතිඥයා මතු නොව ත්‍රිවිලර් රියැදුරා මතු නොව ඉන්ධන ලබා ගැනීමට පිරවුම් හළට පැමිණ වෙඩි කෑ රඹුක්කන නාරම්බැද්දේ  චමින්ද ලක්ෂාන් තෙක් සියල්ල මේ  ජන පිඩනය තුළ ඒකරාශී වී සිටිති. එය නිරායුධ අහිංසක පෙළ ගැස්මකි.  

රුපියල් එක සියය නො ඉක්මවූ පරිප්පු හාල් කිලෝව එක් රැයකදී රුපියල් තුන් හාර සියයක් බව ඇසීමෙන් තිගැස්සී අත කාටත් හොරෙන් තම අත සාක්කුව අත ගා බැලෙන මිනිස් හැසිරීම පන්තියකට ලඝු කළ හැකිද?  

අරගලයේ නාමයෙන් ලේ පිපාසිතව තුණ්ඩු කෑලි නිකුත් කළ අයට රාජපක්ෂලාටත් වඩා මේ සමාජ ප්‍රවේගය අභියෝගයක්ව පවත්නා බව ලාල් කාන්ත වෙතින් ප්‍රකාශ නොවන්නේද? තෙල් පෝලිමේ බෙන්ස් කාර් හිමියන් මෙන්ම කුප්පි ලාම්පු පත්තු කරන්නෝද සිටිත්.

PHOTO 2022 04 29 10 56 36

මංගල ජනපති කරමු යන පෝස්ටරය දුටු වහා මට වට්ස්ඇප් පිටුවක කලු රෙදි කඩකින් මුව වසා  චරිත අනවශයි ක්‍රමයක් අවශයයි යන ප්‍රකාශය සහිත පුවරුව අතින් ගත් යුවතිය  සිහිපත් විය. මංගල ජනපති කරමු යන පෝස්ටරය ජනගත කළෝ ඇයගේ සාරාංශ කළ නිවේදනය තේරුම්ගත යුතුවේ. හොද නරක දෙකම දෑතින් දරා සිටි මංගල යනු තවත් පුද්ගලයෙකි.  

ජන බල සාමුහිකය Power Of People සංවිධානය දොළොස් වැදෑරුම් යෝජනාවලිය සමග ප්‍රධාන විපක්ෂය හමුවූ බව වාර්තා විය. සමහර යෝජනා සමග එකග නොවෙමින් සජිත් ප්‍රේමදාස දැක්වූ කරැණු පසුගිය 21 වෙනිදා සජබය කතානායකට ඉදිරිපත් කළ යෝජනා සමග නො ගැලපෙයි. ඔහු  ව්‍යවස්ථා සංශෝධනයක් සහ විශ්වාස භංගයක් ඉදිරිපත් කිරිමෙන් පවත්නා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ නින්දිත ප්‍රයත්නයකට සූදානම්ව සිටියි.  

ලංකාවේ දේශපාලන සංස්කෘතිය ස්කැනඩිනේවියානු රටවල් සමග සසදන සජිත් ගෝල්පේස් අරමුණු තේරුම් ගෙන නැත. මෝඩකමට බෙහෙත් නැත යන ආප්තය පණ්ඩිතකමට බෙහෙත් නැති බව සජිත් නොකියා සංශෝධනය කරන හැටියකි.
 
 
 
ඒ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය රකිමින් කරුණු දැක්වූ පොන්සේකා ඇමතූ මාධ්‍යවේදි තමීර මංජු විධායක බලය ලැබුණ පසුව ඔබතුමා වුණත් පිස්සෙක් වෙන්න පුලුවන් බව කීවේ හතලිස් පස් වසරක අත්දැකීම් අනුවය. ‘‘ මං ගැන එහෙම හිතනවා නම් ඔබත් පිස්සෙක්..“ යනුවෙන් තමීරට දුන් පිළීිතුර පොන්සේකා රටේ ජන විඥානයට කළ අවමානයකි. 
 
 
 
යුද්ධය නිම කිරීමට දායකවූ තිදෙනාගෙන් දෙදෙනෙකු ජනාධිපති වී හමාරය. රටේ මිනිසුන් තුන්වැන්නාට දැනටම පිස්සු වැටී ඇති බව තේරුම් ගෙන හමාරය.  අවශ්‍ය  ක්‍රමයක් මිස චරිතයක් නොවන බව පොන්සේකා පමණක් නොව සජබයත් තේරුම් ගත  යුතුවේ. විධායක ජනාධිපතිකමට කෙළ හළන සජිත්, පාඨලී, පොන්සේකාගෙන් සමන්විත සජබය පිස්සන් කොටුවකි.

මහින්ද 2005දී ජනාධිපති කිරීමට ප්‍රභාරකන්ගේ සහාය ලබා ගැනීමට මංගල සමරවීරත් මූලික විය.  මහින්ද පිළිබද චන්ද්‍රිකා කී දේ නො අසා, මංගල,  මහින්දට හේත්තු වුණේ රනිල්  කෙරෙහි පැවති දේශපාලන පිළිකුල  නිසාය. ජනාධිපති මහින්දගේ පා පහරින් පාරට විසි වුන මංගල වැටුණේ රනිල් හෙවත් මිස්ටර් බීන් ගේ දෙපා මුලය. රනිල් එපාවූ විට, මංගල සජිත්ට ළංවිය.

මේ සියල්ල ස්වාර්ථායෙන් හැසිරුණ පුද්ගලයෙකුට උදාහරණයක් මිස මියගිය කෙනෙකුට ගැරහීමක් නොවේ. 2015 රටම විශ්වාස කළ සිරිසේන (පාස්කු ප්‍රහාරය හරහා?) රාජපක්ෂලාට පාර කැපිමත්, සිංහල භාෂාව 56දී රාජ්‍ය භාෂාව කිරිමේ ඓතිහාසික වරද ජයග්‍රහණයක් ලෙස අදටත් පිළි ගන්නා පාඨලීත් ඊට උදාහරණ වේ.  

මෙවැනි හැසිරීම් හරහා ජාතික දේශපාලනය විකෘති කළ කිසිවෙකු පුරාවෘත වන්නේ නම් නැත.

වර්තමාන පාර්ලිමේන්තුවේ දෙපිළට බෙදුණ රාජිත, නිමල් සිරිපාල, අනුර යාපා, වීරවංශ ආදිහූ 18 සංශෝධනය අනුමත කළා මෙන්ම  බැසිල්ගේ උවමනාවට ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් පහ කළ නඩුවේ  විනිසුරු ධුර දැරෑහ.  

මේ කාට කාටත් පුරාවෘත විය හැක්කේ ක්‍රමය වෙනස් කිරිමට කැදායක වීමෙන් පමණකි.  

රාජපක්ෂට විරැද්ධ වීමෙන් පමණක් ජනතාවට තෙල් පොහොර බෙහෙත් රටට විදේශ විනිමය ලැබෙන්නේ නැත. එපමණක් නොවේ. ගෑස් විදුලිය ඉන්ධන නැතිවන විට, ලංකාවේ පවුල් 225ට පමණක්  විවෘත වන කැන්ටිමක් ඇති රටක ප්‍රජාතන්ත්‍රවාදයක් ජන සම්මතවාදයක් තිබිය හැකිද?

කිරි පරිප්පු හාලි මිල ඉහළ යාමක් නැති, ආණ්ඩුවෙන් කනබොන වැය දරන පවුල් 225කගේ සුබ සාධනය සලසන මේ රටේ අනාගතය තීරණය කරන නීතිය වෙනස් පවතී නම් එය ගෝල්පේස් අරගලය පාවාදිමකි.
 
 
 
මේ තත්වය තේරුම් ගත් හැම මිනිසෙකු අන්තර් පාලනයක් හරහා ජනතා අපේක්ෂා තහවුරු කිරීමට කැප විය යුතුවේ. එය සහභාගිත්වයකි. මැදිහත්වීමකි. 225කින් සමන්විත පාර්ලිමේන්තුවේ තනි වෙමින් සජිත් මේ කරන විගඩම තවත් විනාසයක ආරම්භයකි.
 
 
 
මේ දේශපාලනයෙන් මැදමුලන පවුල විතැන් කළ පසුව තැබෑරුම්කාරයන් වැලිකාරයන් මෙන්ම චොකා මල්ලිලා ඉබේම හීලෑ වෙනු ඇත.

මැරුණ බලු කුණෙහි මැක්කන් නොලගිති. ගෝඨා ගෙදර පල කියා වීදි බැස සිටින ජනතාවගේ පණිවිඩය ගෙන යාමට පෙළ ගැසුණ විපක්ෂට කොන්දේසි දමන,   වීරවංශ, තවමත් පන ඇතැයි සිතා බලු කුණ අත් හැර නොයන මැක්කෙකුගේ භූමිකාවට පන දෙමින්  සිටින්නෙකි.
 
 
Shutterstock 9735154a
 
බිහිසුණුම සත්වයා ගෝඨා හෝ බැසිල් නොවේ. ජාතියට හොරකම වංචාව පුරුදු කළ මහින්දය.
 
 
බිහිසුණුම සත්වයා ගෝඨා හෝ බැසිල් නොවේ. ජාතියට හොරකම වංචාව පුරුදු කළ මහින්දය. ජනතාව ගෝඨා ගෙදර පල කියද්දී, විරවංශලා සිය විරෝධය බැසිල්ට සීමා කරන්නේ මහින්දට බය නිසාද?  

අන්තර් කාලීන අපේක්ෂාව සාක්ෂාත් ක්ෂාත් කර ගැනීමට නම් රාජපක්ෂලා පිටමං  කළ යුතුවේ. ඒ සදහා 113ක් අවශ්‍යම වේ.
 
 
අන්තර් පාලනයක් සදහා පාර්ලිමේන්තු බහුතරය පෙළ ගැස්වීම සදහා මහින්දට අස් වෙන්නැයි ලිඛීතව නිවේදනය ආණ්ඩුව තුළ සිට නිකුත් කළ ඩලස්ගේ   මැදිහත්වීම  Man of the Movement කෙනෙකු  මතු කර දැක්විමකි.  ඩලස් අලහප්පෙරුම යනු රාජපක්ෂලා සමග සිටි තනිව සටන් කළ නිහඩ චරිතයකි. 
 
 
 
ඩලස් අතීතයේ දවසක ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට හැරුණා කියා ගෙදර යන්ට ගියේය. ඒ ඩලස් දකුණ පළාත් සභා අර්බුදයකදී මං දොඩම්ගොඩගේ ආණ්ඩුවේ මිනිහෙක් කියා තනිව හිට ගැනීමටත් ශක්තිමත් විය.

හුදෙකලාව සටන් කරුවෙකුවූ ඩලස්  තීරණාත්මක නිමේෂයන්හිදී සිය ස්ථාවරයෙහි පිහිටා ආත්මය කෙළෙසා නො ගත්තෙකි. ඒ  ඩලස් යළි සක්‍රිය වී සිටින හැටියකි.

මහින්දට යන්නැයි ජනාධිපති හරහා ලිඛීතවම දැනුම් දුන් ඩලස් වෙත යම් චුම්බක ශක්තියක් නිර්මානය වෙමින් පවතී. ඒ සමග කියැවෙන පවුල් දේශපාලනය පෝෂණය කරන දිනේෂ් රමේෂ් යනු ඩලස්ට කිරීමකි.

පාර්ලිමේන්තු ප්‍රජාව වහා සාමුහික විය යුතුවේ. විශ්වාස භංග, දෝෂාභියෝග මෙන්ම හොරුන් ඇල්ලීම ආදි පුද්ගල න්‍යාය පත්‍ර හකුලා ගත යුතුවේ.

මං විශ්වාස භංයක් ගේනවා කියන සජිත් ප්‍රේමදාසගේ උත්සාහයෙන් යළි ආණ්ඩු පක්ෂය සමගි වනු ඇත. සජිත්ට අවශ්‍ය මැතිවරණයකින් බලය අල්ලා රටේ පාලකයා වීම මිස රටේ පැවැත්ම නොවේ.  

රනිල් ආර්ථික අවදානම පිළිබද සිතන්නෙකි. අන්තර් පාලනයේත් අගමැති මං කියන මහින්දත් අවතැන් වෙලාම නැත.
 
 
ජන බල සාමුහිකය Power Of People සංවිධානයේ නදී වාසලමුදලි ආරච්චි සජිත්ලාට කී පරිදි, උදාව ඇත්තේ එකිනෙකාගේ දේශපාලන කන්‍යාභාවය අපේක්ෂා කළ යුතු මොහොතක් නම් නොවේ. එසේම ඉනෝකා සත්‍යාගනී කී පරිදි ගෝඨාගෝ හෝම් සටන් පාඨය සකල දේශපාලනඥයන්ටම අදාලය යන ප්‍රාර්ථනාව තවමත් අනාරක්ෂිත ය.
 
 
 
මේ නිමේෂයේ .   ..... චරිත අනවශ්‍යයි ක්‍රමයක් අවශයයි ..... දැළ ඔසවා ගෙන යාමට දහසක් කුරුල්ලන් අවශ්‍ය වේ. ඒ සියල්ලන්ම ඉතිහාසය නිදහස් කරනු ඇත.
 

චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්. )



Leader Whats app

 


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates