පූර්විකාව :



අනාදිමත් කාලයක පටන් ඉතා සමෘද්ධිමත් හා ප්‍රජාතන්ත්‍රීය  වටිනාකම් ආරක්ෂා කළ රාජ්‍යයක් ලෙස ලොව ගෞරවයට පත් ස්වෛරී ජනරජයක් වන ශ්‍රි  ලංකාව, හමුවේ අද වන විට උද්ගතව ඇති ආර්ථික, දේශපාලන හා සමාජයීය අර්බුදය කෙරෙහි මාර්තු 12 ව්‍යාපාරය දැඩි අවධානයක් යොමු කරයි.

මේ අර්බුද සමගින් රට තුල ආරම්භවී ඇති, ව්‍යාප්තවූ හා මහා පරිමාන අරගල ඍජුවම රාජ්‍ය පාලනයට බලපාන අන්දමේ උපනතියක් දැක්වීමද අප අවධානයට ලක්වුණි.

එමගින් රාජ්‍ය තන්ත්‍රයේ බලවත් නායකයින් ඉවත්ව යායුතු බවත්, කඩිනමින් වත්මන් රජය සම්මත කරගත් 20 ව්‍යවස්ථා සංශෝධනය නැවත වැඩිදියුණු කළ 19 ව්‍යවස්ථා සංශෝධනයට යා යුතු බවත්, දූෂිතයන් පිටුදැකීමට අත්‍යවශ්‍ය බවත්, ඉතාමත්ම දැඩිව සටහන් වීම සැලකිල්ලට ගත යුතුවේ.

 

මෙවන් ඉල්ලීම් ඉදීරිපත් කිරීමක් මගින් මෙරටේ රාජ්‍යකරණය ඉතා දැඩිව අභියෝගයට ලක්ව ඇති කලක, ඊට සරිලන කඩිනම් විසඳුම් මාලාවක් ඉදිරිපත් කොට, රට වහා ස්ථාවරත්වයට පත්කළ යුතුව ඇත. එසේ නොවුණහොත් අප දැනටමත් ගමන් කරමින් සිටින ප්‍රපාතාකාර මාවත අවසන්වනු ඇත්තේ, සියලු රටවැසියන් හට සාතිශය වූ ඛේදනීය ඉරණමක් උදාකරමිනි.

 


ඉහත කරුණු කෙරෙහි දැඩි අවධානයක් දක්වන මාර්තු 12 ව්‍යාපාරය, අනෙකුත් සිවිල්  සමාජ සංවිධාන, විවිධ  විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රමාණිකයන් කලාකරුවන්, දේශපාලන පක්ෂ නායකයන්, මෙන්ම තරුණ ප්‍රජාවේ නියෝජනයෙන් යුත් බොහෝ බලපෑම් කණ්ඩායම් සමග සාකච්චා කළ අතර, එමගින් ඒ එක්  එක් පාර්ශවයන් පොදුවේ එකඟ වන කරුණු හඳුනාගන්නා ලදී.

මේ සියල්ල සැලකිල්ලට ගනිමින් සහ විශේෂයෙන්ම මාර්තු 12 ව්‍යාපාරයේ අරමුණ වන පිරිසිදු දේශපාලනයක් බිහිකිරීම සහ මේ තීරණාත්මක අවස්ථාවේ අපේ භූමිකාව පදනම් කරගනිමින් සැකැසූ පහත යෝජනාවලිය මෙලෙස ඉදිරිපත් කරමු.

මෙහි මුඛ්‍ය අභිලාශය වනුයේ සියල්ලට පෙර දේශපාලන ස්ථාවරත්වය ගොඩනැංවීම හා ඊට සමගාමීව ආර්ථික ස්ථාවාරභාවය ඇති කර ගැනීම සඳහා වූ මාවතක් විවර කරගැනීමයි.

 

ආර්ථික අංශය ගැන බලන විට වත්මන් රජය ප්‍රමාදවී වුවද අන්තර් ජාතික මූල්‍ය අරමුදලට යාම අපි අගය කරමු. එහෙත්, එපමණින්ම රටේ සියලු ආර්ථික  ප්‍රශ්න වියැකී යතැයි අපි නොසිතමු. අන්තර්ජාතික මූල්‍ය අරමුදල / හෝ අන් මූල්‍ය ස්ථාවරභාවයන් ඉටු කරන ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුවේ.  




ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් පිහිටුවීම :

මෙකී යෝජනාවලියේ කේන්ද්‍රීය යෝජනාව වන්නේ ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් පිහිටුවීමයි. එය මෙහිලා අතිශය තීරණාත්මක ම යෝජනාව බව අපි අවධාරණය කරගෙන සිටින්නෙමු.

 එමෙන්ම, මෙම යෝජනාව නොයෙක් අංශයන්ගෙන් යෝජනා වී ඇති අතර, ප්‍රධාන විපක්ෂය, ඒ සඳහා ඉදිරිපත්වීමට අරගලකරුවන් දක්වන බලධාරීන් ඉවත්වීමේ කොන්දෙසියක්ම යොදා ගන්න බවද, අපි නිරීක්ෂණය කරමු.

 


මෙම අර්බුදය විසඳීමෙහිලා ආණ්ඩු පක්ෂය හෝ අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ කෙරෙහි අවධානය යොමු කිරීම නිරර්ථකබව අපගේ ස්ථාවරයයි. දින කිහිපයක්ම නොකඩවා පාර්ලිමේන්තුවේදී කළ සාකච්ඡා සිහිපත් කිරීමම මීට හොඳම සාක්ෂි වේ.




මේ එළඹී ඇති නිමේෂයේදී පොදු අරමුණක් වෙත ගොනු විය නොහැකි වන්නේ නම්, අප වෙර දරා පිහිටුවනු ලබන කවර හෝ අනාගත ආණ්ඩුවක් වුවද, එය පිහිටවූ විගස, සුපුරුදු අරගලකාරීත්වය නැවතත් ඇරඹෙනු ඇත.


යෝජනාවලිය

අපගේ මූලික යෝජනා රාමුව පහත දක්වමු - එය කොටස් හතකින් යුක්ත ය.
එනම්,

01. ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් පිහිටුවීම: (National Unity Government)  

02. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීම.

03. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අදාළ නව සංශෝධන සහිතව සම්මත කර ගැනීම (දැනට සමාජගතව ඇති සමස්ත ක්‍රමවේදයේ වෙනසක් සඳහා අවැසි මූලික සංශෝධන ද ඇතුලත්ව)

04. පාර්ලිමේන්තුවෙන් බැහැර සමාජ බලපෑම් කණ්ඩායම් සමග අඛණ්ඩ සංවාදයකට සුදුසු ක්‍රමවේදයක් සැකසීම.

05. ජාතික ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා වන කමිටුවක් ස්ථාපිත කිරීම.

06. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම.

07. රාජ්‍ය සම්පත් දැඩිලෙස දූෂිත ක්‍රියාමාර්ග මගින් අයථා පරිහරණයට ලක්ව ඇති බව පැහැදිලිව පෙනෙන හෙයින් ඒවා නැවත ලබා ගැනීමට සැම ක්‍රියා මාර්ගයක්ම කඩිනමින් ගැනීමේ අත්‍යවශ්‍යතාවය.  

මෙම යෝජනාවලිය පිලිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දක්වමු.



(01) ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් පිහිටුවීම: (National Unity Government)  


ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක වගකීම (නිශ්චිත කාලරාමුවක් තුළදී)

1. මහජනයා අතර පවතින නොසන්සුන් තත්ත්වයන් සමනය කොට දේශීය හා ජාත්‍යන්තර මට්ටමෙන් රජය කෙරෙහි විශ්වසනීයත්වය තහවුරු කරගැනීම.

2.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා නීති පද්ධතියේ සුදුසු වෙනස්කම් ඇතිකිරීම.

3. ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් හඳුනාගැනීම මෙන්ම ක්‍රියාවේ යෙදවීම.

4. ආර්ථික පීඩනය හමුවේ දැඩි දරිද්‍රතාවයෙන් අසීරුතාවට ලක්ව ඇති ජනතාව රැකගැනීම උදෙසා වන සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් කඩිනමින් හඳුන්වාදීම


මෙම ජාතික ආණ්ඩුව පිහිටුවීමේ ක්‍රියා පිළිවෙල කෙටියෙන් දක්වමු.

I. ශ්‍රි ලංකා ජන රජ ව්‍යවස්ථාව පරිදි ජාතික ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවීමට නම් වර්තමානයේ පවත්නා රජය අධිකාරයෙන් ඉවත් විය යුතුය. එය වර්තමාන අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කිරීමෙන්/ ඉවත් වීමෙන් පසු නව අගමැති වරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමෙන් ඇරඹේ  පවත්නා ව්‍යවස්ථාවට අනුව ක්‍රියා  කිරීම  අපි අපේක්ෂා කරමු.

II. දේශපාලන පක්ෂවල බහුතරය පිළිබඳව පමණක් සැලකිල්ලට නොගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ සමාජයට බලපෑම් කළ හැකි සියලු පක්ෂවල නියෝජනයක් ලැබෙන සේ ඉහත අංක 1 හි සඳහන් නව කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුය.

III. කැබිනට් මණ්ඩලයේ සංයුතිය සැකසීමේදී හා විෂය පථයන් තීරණය කිරීමේදී වර්තමාන අර්බුදය විසඳීමට අවැසි මහජන විශ්වාසය ඇති කරගත හැකි, ජාත්‍යන්තර පිළිගැනීම් සහිත, විශේෂඥතාවයන් හා භූ දේශපාලනය පිළිබඳ දැනුමැති, දූෂණ චෝදනාවලට සමාජ තලයේ ලක් නොවුණු පිරිසක් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතුය.

IV. විශේෂඥ දැනුම සහිත පිරිස් පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමට අවශ්‍ය වන්නේ නම් ජාතික ලැයිස්තුවෙන් 20% වඩා වැඩි නියෝජනයක් සහිත දේශපාලන පක්ෂවලින් යම් පිරිසක් ඉවත් වී ඒ සඳහා වන ඉඩකඩ සැළසිය හැකිය.  නොඑසේනම්,  කැබිනට් මණ්ඩලයට බාහිරින් උපදේශක මණ්ඩලයක් පත්කරගෙන, ඔවුන්ගේ විශේෂඥ දැනුම අමාත්‍යංශවලටත්, අවශ්‍යතාව පරිදි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන කාර්යයන්ටත්  සහය ලබාදිය හැකිය.

V. ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවට නිශ්චිත කාලරාමුවක් (අවම වශයෙන් වසරක්)  තිබිය යුතුය. ඒ කාල රාමුව තුළ ප්‍රමුඛතාගත වැඩපිළිවෙලක් සකස් කරගත යුතුය. එම කාලය තුළ පක්ෂ දේශපාලනය අවම කරගත යුතු අතර නිලවරමට අදාළ කාර්යයන් ඉටුකරගත් විගස හා අදාළ නිශ්චිත කාලය අවසන් වූ වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුය.



(02)  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීම:

මේ සඳහා දැනට දැඩි සමාජයීය සහ දේශපාලනික අවධානයක් යොමු වී ඇත. දැනගන්නට ලැබී ඇති පරිදි පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් ද ඉදිරිපත් වී ඇත.
මේ සඳහා නොයෙක් උපායමාර්ග ඇති බව සමාජයේ සාකච්ඡා වේ.  

මෙම කාර්යය ඉටුකර ගැනීම ව්‍යවස්ථානුකූලව සිදු කර ගැනීම අපේ අපේක්ෂාවයි. මෑතදී එක්තරා විශිෂ්ට නීතිවේදියෙකු දක්වා තිබුනේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගවන හෙයින් (ව්‍යවස්ථාවේ 42 වගන්තිය පරිදි) ඔහු අමාත්‍යවරයෙකු හෙයින් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ හැකි බවයි. එමගින් ජනාධිපතිවරයා ඉවත් කළ නොහැකිමුත්, සදාචාරාත්මක මානසික බලපැමක් කළ හැකියි අදහස් කෙරෙන බව ඉන් පෙනීයයි.

කෙසේවුවද, යම් හෙයකින් ව්‍යවස්ථානුකූලව ක්‍රියා නොකළහොත් ගන්නා ක්‍රියාමාර්ග අධිකරණයක් ඉදිරියේ අනිත්‍යානුකූල ලෙස තීරණය වීමෙන් නෂ්ඨ වනු ඇත.

නව අගමැතිවරයා ව්‍යවස්ථානුකූලව ඇති කර ගන්නා විකල්ප ක්‍රියා මාර්ග අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු. කෙසේවුවද, ව්‍යවස්ථානුකූලව ජනාධිපති ඉවත්  කිරීමේදී ජනමත විචාරණයක් පැවැත්විමේ අවශ්‍යතාවයක් නොමැති බව අදහස් දක්වන නීතිඥ කණ්ඩායමක්ද සිටින බව අපගේ සාකච්ඡාවලදී  ඉදිරිපත් වූ බවද සටහන් කරමු.



(03) 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට , අදාළ නව සංශෝධන සහිතව සම්මත කරගැනීම:


දැනට සමාජගතව ඇති දැඩි ඉල්ලීමක් වනුයේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පරිචින්න කොට, 19 වෙනි ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් නැති කොට, වැඩි දුරටත් රාජ්‍ය පාලනය සහ පාර්ලිමේන්තුවේ ශක්තීන් වැඩිකළ යුතු බවයි. එම ඉල්ලීම්වලින් ප්‍රමුඛ ඉල්ලීම්වන ක්ෂේත්‍ර කිහිපයක් පහතින් දක්වමු. මේවාට බාහිරව තවත් ඉල්ලීම් ඇත.

I. සියලුම දේශපාලන අධිකාරිය ඇතුලු පුරවැසියන්ට නීතිය යටත් විය යුතුවේ.  (උදා: වරදකරුවන්ට සමාව දීමේදී ව්‍යවස්ථාවේ දී ඇති සංවරණ සීමා අධීක්ෂණයට ඉහල මට්ටමේ කමිටුවක නිර්දේශ මත සමාව දීම- මෙහිදී ප්‍රශ්නාභිමුඛ වූ සමාව දීමේ අවස්ථා ඇති බව සැලකිල්ලට ගැනුනි.)

II. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා වගවීම මුලුමනින්ම පාර්ලිමේන්තුව සතු කිරීමට අදාළ නීති සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා ඇති කාරක සභා කමිටු (උදා COPE , COPA, රාජ්‍ය මුදල් කමිටුව) බලගතු කිරීම.

III. මහබැංකුවේ අධිකාරීන් විසින් හිතුමනාපයට ක්‍රියා කිරීම නිසා අද පවත්නා අර්බුදයට හේතුවී ඇත යන්න ප්‍රකට අතර, දේශපාලන බලපෑම් මත ක්‍රියා කිරීම නිසා එය සිදුවූ බවද පිළිගැනෙන හෙයින්, මහබැංකුව ස්වාධීන කිරීම සඳහා වහාම නීති හා ක්‍රියා මාර්ග සම්පාදනය කිරීම.

IV. පසුගිය රජයෙන් සම්මතව ගැසට් කරන ලද (අතිවිශේෂ ගැසට් පත්‍ර 2144/68 හා 12-10-2019 දිනැති ) 2019 ප්‍රසම්පාදන මාර්ගොපදේශ  වහාම පාර්ලිමේන්තුවට ගෙනවිත් අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හා අන් සුදුසු වෙනස් කම් ඇතොත් අධ්‍යනයෙන් පසු ප්‍රසම්පාදන කොම්සම යටතට ගෙන ඒම.

V. සුළු ජන කොට්ඨාශ මුහුණ දෙන ගැටළු සහ වත්මන රටතුලම ප්‍රචලිත ගැටළු යම්තරමකට සමානුපාතික නොවන බව නිරීක්ෂණය කරන අතර ඔවුන්ට විශේෂ වූ ගැටළු ආමන්ත්‍රණයට ව්‍යවස්ථාමය පිළියම් දීර්ඝකාලීන වැඩසටහනක් ලෙස සැලකීම.    

VI. දේශපාලනීකරණයෙන් තොර රාජ්‍යයක් සහ රාජ්‍ය සේවයක් බිහිකිරීමට අදාළ නීති ක්‍රමවේද සහ ව්‍යුහ ස්ථාපනය කිරීම (උදා ලේකම්වරුන් පත් කිරීම, සංස්ථා පරිපාලනය, දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම, රාජ්‍ය සේවා කොමිසමට රාජ්‍ය සේවයේ අනියම්/ තාවකාලික පත්වීම් සඳහාද තීරණාත්මක බලයක් පැවරීම.)

VII. අල්ලස්, දූෂණ, නාස්තිය හා අනිසි කළමණාකරණයන් වළක්වා ගැනීම උදෙසා වන නීති බලගතු කිරීම.  

VIII. මහජන නියෝජිතයන්ගේ විනිවිද භාවය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා වැදගත් වන වත්කම් හා බැරකම් ජනතාවට හෙළිදරව් කිරීම අනිවාර්යය කරන සහ ඒවා නිසි අධීක්ෂණයට භාජනය කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය සහ දේශපාලන ප්‍රචාරණ මූල්‍යකරණය අධීක්ෂණය සඳහා වන නව නීති සම්පාදනය.

IX. දැනට මහජන නියෝජිතයන්ට ලැබෙන අතිවිශේෂ පහසුකම් සහ හිමිකම් සාධාරණ සහ තාර්කික මට්ටමකට අඩුකිරීම.



(04) පාර්ලිමේන්තුවෙන් බැහැර සමාජ බලපෑම් කණ්ඩායම් සමග අඛණ්ඩ සංවාදයකට සුදුසු ක්‍රමවේදයක් සැකසීම:

ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් වුවද, ආර්ථික හා සමාජ ප්‍රශ්නවලට කෙටිකාලීන පිළියම් ගෙන ආ නොහැකි බැවින් ද, ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවිය හැකි බැවින්ද, මෙවැනි කණ්ඩායම් සමග නිරන්තර සාකච්ඡා  අවශ්‍ය වේ.

එවැනි ගැටලු අවස්ථාවකදී ඇතිවිය හැකි නොසන්සුන්තා සමනයට හා කළමනාකරණයට ද එවැනි යාන්ත්‍රණයක් අතවශ්‍ය වේ.

 මෙම යාන්ත්‍රණයන් මධ්‍යයේ සිට ගම්මට්ටම දක්වා පැතිරී පැවතිය යුතුය.

පසුගිය මාස 2 ක පමණ කාල සීමාව තුළ ජනතා උද්ඝෝෂණ නාගරිකව ගම් සහ ගොවිබිම් කරාත් ප්‍රචලිතව පැවතුනු අතර එකී උද්ඝෝෂණකරුවන් සමග සංවාදයක හිගකම මෙවැනි කණ්ඩායම් නොමැති වීමේ ප්‍රතිඵලයක් වූයේ යැයි අදහස් කරමු.

මෙවැනි කණ්ඩායම් වලට සමාජය පිළිගත් නායකත්වයක්, පූජ්‍ය පක්ෂය, විශ්‍රමිකයින්, රාජ්‍ය සේවකයින් ආදීන්ගෙන් ලැබීමද අගය කරමු. එමෙන්ම මෙවැනි කණ්ඩායම් සමග ක්‍රියා  කිරීමට නීතිය සහ සාමය සඳහා ක්‍රියා කරන හමුදාව, පොලීසිය වැනි සංවිධාන ද යොමුකළ යුතු වේ.



(05)  ජාතික ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා වන කමිටුවක් ස්ථාපිත කිරීම :

දැනට රජයක් වෙනස් වූ විට කලින් වූ රජයේ ප්‍රතිපත්තීන් බැහැර කොට නව ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් නිරීක්ෂණය වේ.

එවන් ජාතික ප්‍රතිපත්ති පූර්ණ අධ්‍යනයන්ගෙන් සහ විශේෂඥ දැනුම නොවිමසීමෙන් සහ ධාරිතාව සහ විභව ප්‍රතිඵල  පිළිබඳ දැනුමෙන් තොරව ක්‍රියාත්මක කිරීමෙන් ජනතාව සහ රජය අපහසුවටත්,  කලකිරීමටත් පත් කෙරේ. අනෙක් අතට මෙම ජාතික ප්‍රතිපත්ති අවම කරමින් අවුරුදු 10 කට ප්‍රමාණවත් නිශ්චිත නොකිරීමෙන් ඒවායේ අස්ථායීභාවය නිසා ආයෝජකයන් දුර්මුඛ කෙරේ.

මෙම තත්ත්වයෙන් ගැළවීම සඳහා වහාම ජාතික සැලසුම් කොමිසමක් / සංවිධානයක් විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් සමන්විතව පත්කළ යුතුය. ඔවුන්ට  ඕනෑම අමාත්‍යංශයකට, රාජ්‍ය ආයතනයකට, සංවිධානයක නිර්භාධිතව ප්‍රවේශවීමට සහ තොරතුරු ලබා ගැනීමට අවසර තිබිය යුතුය.

එමෙන්ම මෙම කොමිසම රාජ්‍ය නායකයා යටතේ පැවතිය යුතු අතර පාර්ලිමේන්තුවට වගකිව යුතු වේ. එමෙන්ම එහි සාමාජික මණ්ඩලය ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත රාජ්‍ය නායකයා විසින් පත්කළ යුතුය.



(06) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම:

ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තුවේ කාර්යයක් හෙයින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ක්‍රියා‍ කිරීම අනුමත කළ නොහැක. එමෙන්ම ව්‍යවස්ථා කෙටුම්පතක් සමාජයේ පුලුල් සාකච්ඡාවකට ලක්විය යුත්තේ එය ජනතාවගේ මූලික නීතිය හෙයිනි.

එමෙන්ම එහි අඩුපාඩුකම් ඇතොත් ඒවා පාර්ලිමේන්තුව තුළත්, බැහැරත්, ඒ දෙපාර්ශ්වය අතරත් හුවමාරු විය යුතුය. ඒ සඳහා සාධාරණ කාල සීමාවක් ද තිබිය යුතුය.

පෙර සඳහන් කළ විධායකයේ බලතල අකර්මන්‍ය කිරීම පාර්ලිමේන්තුව සහ එහි අනෙක් ආයතන ශක්තිමත් කිරීම, ඊට අදාළ නීති රීති, ස්ථාවර නියෝග ආදිය සකස් කිරීම ද අවශ්‍ය වේ.

ජනතා අභිලාශය ජනාධිපති තනතුර නාමිකව තබා ගැනීම නම් එයද එමගින් ඉටුකළ හැකිය.

දැනටමත් ව්‍යවස්ථාවෙ යම් කොටස් සංශෝධනය කිරීමට නියමිත බව දැනගන්නට ඇති හෙයින් මීට වඩා මෙහිදී සඳහනක් නොකෙරේ.  එහෙත් මෙම අවශ්‍යතාවය සුලුපටු කොට තැකිය නොහැකිය.



(07)  දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැනීම :

රජය සතු වත්කම් අවභාවිතව පුද්ගල අයිතියට ලක් කරගැනීම, රජයේ කාර්යයන්ට  සබැඳි නිලමය ගනුදෙනු (උදා: ප්‍රසම්පාදනය) මගින් ධනය රැස්කිරීම, රජයේ මුදල් අනීත්‍යානුකූලව දේශීය හා විදේශීය ආයතනයන්හි ආයෝජනය/ සුරැකීමට තැබීම ආදී නීති විරෝධී කටයුතු කිරීම ගැන ඉතා බහුලව සමහර දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට චෝදනා එල්ලවී ඇත.

බැලූ බැල්මට එවන් දේ සිදුවී  ඇතියයි සාධාරණ සැකයන් ඇතිවන බවද පැවසේ. මේ අවස්ථාවේදීම ඊට එරෙහි ක්‍රියාමාර්ග වහාම ගැනීම අවශ්‍ය වේ.

අල්ලස් හා දූෂණ කොමිසම් බලවත් කළ යුතු අතර එහි පරීක්ෂණයට පොලිස් නිලධාරීන් ද්වීතනයෙන් පත්කිරීම හා අධිකරණයට ගෙනයාමට නීතිපතිට පැවරීම ගැන සමාජයේ දැඩි විවේචන ඇත.

ඒ, නීති කෘත්‍යයන් නිදොස් කොට නිදහස් කිරීම් මගින් අවසන්වීමත්, ඊට හේතු වශයෙන් තාක්ෂණික හේතු වූ බව සඳහන් වීමත්, ඒවායින්  බොහෝ විට දේශපාලන හෝ රජයට හිතෛෂී දේශපාලඥයින්/නිලධාරීන් වාසි ලැබීමත් නිසාය.

එහෙයින්, අල්ලස් හා දූෂණ කොමිසමට පරීක්ෂණ හා අධිකරණයට ගෙනයාමට පහසුකම් හා බලතලත්, නිලධාරීන් බදවා ගැනීමට ප්‍රතිපාදනත් සැලසීම අත්‍යවශ්‍ය වේ.  

මෙම කාර්යයේදී මෙවන් පරීක්ෂ හා නීති සම්පාදනයට එක්සත් ජාතීන්ගේත් (United Nations Office on Drugs and Crimes=UNODC), ලෝක බැංකුවේත් (Star Asset Recovery Initiative=StAR)ත්, අන් රජයන් (උදා: එක්සත් ජනපදය) කරන පරීක්ෂණවලට පූර්ණ සහාය දීම යෝජනා කෙරේ.

එමෙන්ම අයථා ලෙස උපයාගත් සම්පත් නැවත පවරා ගැනීමටත්, ඒවා හිමිකරුවන්ට ලබා දීමටත්, අවශ්‍ය වන පරිදි නීති සකසා සම්මත කර ක්‍රියාත්මක කිරීම හා  දැනට පෙනෙන පරිදි නීතියේ ඇති හිඩැස් වැසීමට ක්‍රියා කිරීම යෝජනා කෙරේ.

(අගමැතිතුමා විසින් යෝජිත 20 වැනි ව්‍යවස්ථා ප්‍රතිශෝධනය කිරීමේදී 20 ව්‍යවස්ථාවේ ‘යහපත්’ අංග ඇතුලත්ව සිදුකළ යුතුයයි අදහසක් සමාජගතව ඇත. මේ අදහස බොහෝදෙනෙකු විසින් පිලිගනිතියි සිතිය නොහැකිය.)


0001 m 12

0002 m 12

0003 m 12

0004 m12

0005 m 12

 

 


 

Leader Whats app

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්