වියපත් පරිණත ජේෂ්ඨ පුද්ගලයකු ලෙස ජනතාව නගන හඬට සාවධාන වන්නැයි ප්‍රවීණ කලාශිල්පී බුද්ධදාස විතානාරච්චි, අගමැති මහින්ද රාජපක්ෂ

වෙත ලිපියක් යොමුකරමින් සුහද ඉල්ලිමක් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි පදිංචිව සිටින බුද්ධදාස විතානාරච්චි අගමැති මහින්ද රාජපක්ෂ වෙත යොමුකර තිබු ලිපියේ මෙසේ සඳහන් වේ.


හිතවත් මහින්ද,

''අපි දෙන්නාම ජීවිතයෙන් සමකාලීනයො. රට සුද්දගෙන් නිදහස් වෙන්න පෙර Ceylon වල උපන්න, අපි විසිවෙනි සියවසේ හතරවෙනි දශකයේ අවසාන භාගයේ පරපුරේ උන්.

ඔබ දකුණේ හම්බන්තොට දිසාවෙ ගිරුවාපත්තුවේ මැද මූලන. මම කඳුකරයේ සබරගමුවේ සතර කොරළයේ කෑගළු දිසාවේ දැදිගම අල්පිටියෙ.

අපි දෙන්නා පාසැල් සගයොවත් පංති සගයොවත් නොවෙයි.  1

969 දි නීල් ආම්ස්ට්‍රොං හඳමත පා තබන කාලෙ ඔබ විද්යෝදය සරසවියෙ පුස්තකාල සහකාර වශයෙන් වැඩකලේ. මම ඒ දවස්වල මගෙ පලමු රස්සාව යාපනේ කරමින් හිටියෙ. අපි දෙන්නා ජීවිතේ පලමු වතාවට හමු උනේ 1970 දි.

 ඒ ඔබ වයස 24 ක තරුණ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන්. ඔබට මතක ඇති එවකට අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්ත බංඩාරනායක මැතිනිය ගේ ප්‍රධානත්වයෙන්, විධායක නොවන පලමු ජනපති විළියම් ගොපල්ලව, මුදල් ඇමති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ඉඩම් වැවිලි කර්මාන්ත  හා ව්‍යවස්ථා සම්පාදක ඇමති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, අධිකරණ ඇමති ෆීලික්ස් ඩයස් බංඩාරනායක, වෙළෙඳ ඇමැති ටී.බී. ඉලංගරත්න  වැනි එම සමගි පෙරමුණ ආණ්ඩුවේ නායකයන් සහභාගී වූ, ප්‍රධාන රාජ්‍ය උත්සව වූ  ලංකාව ජනරජයක් බවත් පත්වීම ප්‍රකාශ කල හා මහවැලි ගඟ උතුරට හැරවීම  වැනි වැදගත්  අවස්ථාවන්  වල කථනය කළ සංනිවේදකයා.

Mahinda young

1970 සිට මේ දක්වා ගතවුන අඩසියවසකටත් වැඩි මෙම වසර 52ක කාලය තුල ඔබ දේශපාලකයකු වශයෙනුත් මම සංනිවේදකයකු හා රංඟ කාර්යේ යෙදෙන්නෙකු වශයෙන් ලාංකීය සමාජය තුල ක්‍රියාකර ඇත.

මෙම වසර 52 ක කාලය තුල මම ඔබව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්, ඇමති වරයකු වශයෙන්, විපක්ෂ නායක යකු වශයෙන්, අගමැතිවරයකු වශයෙන් (කිහිප වතාවක්ම) ඉන්පසු විධායක ජනාධිපතිවරයකු වශයෙන් දෙවතාවක්ම හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා දේශපාලනයේ ඇති සියලුම තානාන්තර ඉසිලූ එකම දේශපාලකයා වශයෙන් ඔබ වාර්තාවක් තබා ඇත. වේදිකාවේත්, විද්යුත් මාධ්‍ය තුලත් මම මෙම තනතුරු නාමයන්ගෙන් මම ඔබව හඳුන්වා දී ඇති බව ඔබට මතක ඇති.

2005 ඔබව ජනාධිපති බවට පත් කරන්න මේ රටේ ප්‍රධාන පෙලේ කලාකරුවන් මුලු රටපුරාම ජනතාවගෙන් ඉල්ලා සිටිය. 2010 දීත් එම කාර්යම කලාකරුවන්  ඉටුකලා.

 

2005 න්පසු ඔබ බෙදුම්වාදී යුද්ධය ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය සැපයු බව අදත් ජනතාව අමතක කර නැහැ. ඔබ  1977 සිට 1994  දක්වා තුල සිදුවුන අසාධාරණයන්ට එරෙහිව  මානව අයිතීන් වෙනුවෙන් ක්‍රියාකල ආකාරය නිසාම බොහෝ ප්‍රගතිකාමී ජනයා ඔබව අගය කලා. දේශපාලනික වශයෙන් ඔබේ පක්ෂයේ නොවන අයද ඔබට සහයෝගය පලකළා. සමහරු  පුද්ගල ලාභ ප්‍රයෝජන බලාගෙන සහාය පලකලත් එසේ නොවන අයද සිටි බව රහසක් නොවේ.

 

මම අද වනතුරුම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන අතර, 2005, 2010 දීත් ඔබට සහාය පලකලේ එවකට තිබු දේශපාලන වාතාවරණය අනුවයි.

මම ඔබට "කඩේ ගියා" වැනි අවලාද කතා ඇසුවත් මම ඔබෙන් කිසිදු වරප්‍රසාදයක් වරදානයක් ලබා නැති බව ඔබ හොඳින්ම දන්නවා.

නිළ උත්සවයකට ආරාධනා ලැබ ඔබ හමුවුනත්, කිසිම දවසක මගේ පුද්ගලික අවශ්‍යතාවයකට ඔබ හමුවී නැති බව ඔබ හොඳින්ම දන්නවා.

ඔබට පෙර චන්ද්‍රිකා කුමාරතුංගව ජනපති කිරීමේ ක්‍රියාන්විතයේ යෙදුනත් ඇයගෙන්ද කිසිදු පුද්ගලික ලාබ ප්‍රයෝජනයක් ලබා නොගත් බව ඔබ දන්නවා. ඇයත් දන්නවා. 1970 දී සිරිමා මැතිනිය අගමැති කිරීමට කටයුතු කලත් ඔබ හා ශ්‍රීලනිප වගකිවයුත්තන් මා ශ්‍රී ලංකා කාරයෙක් නොවන බවත් දන්නවා.

1982 ප්‍රථම ජනාධිපතිවරණයේදී හයෙන පහේ බලයක් තිබූ ජූනියස් රිචඩ් ජයවර්ධනට විරුද්ධව මම රෝහන විජේවීරගේ වේදිකාවෙ සිටීමෙන්ම ඔබට පැහැදිලියි මම පුද්ගලික ලාබප්‍රයෝජන බලාගෙන දේශපාලනය නොකල බවට.

එකල, ප්‍රේමදාසගේ ගම් උදාව, ඇතුලත්මුදලිගේ මහපොල, ගාමිනී දිසානායකගේ ස්වර්ණ භූමි හා රනිල් වික්‍රමසිංහ ගේ යොවුන් පුර වැනි ව්‍යපෘතිවල වැඩ කරමින්, රොනී ද මෙල් ගෙ ජාතික ලොතරැයි වැඩසටහන් කල බව ඔබ නොදන්නවා නොවේ.

1982 දී හිතුවක්කාරී ලෙස ජේ.ආර්. ගෙ ජනමත විචාරණ කොල්ලයට විරුද්ධව අධිකරණයට ගිය විජේවීර ව මර්ධනය කිරීම පිණිස 83  ජූලි කලබල ජේ.ආර්ලා විසින්ම ඇතිකොට, ජවිපෙය හා කොමියුනිස්ට් හා නව සමසමාජ තහනම්කොට ජවිපෙ හැර අනිත් පක්ෂ දෙකෙ තහනම ඉවත් කර 87, 88 කුරිරු  භීෂණය ජයවර්ධන ආණ්ඩුව නිර්මාණය කල විට, එයින් පීඩාවට පත් වූවන්ගේ මානව අයිතීන් වෙනුවෙන් ඔබ ක්‍රියාකල බව රටවැසියන්ට අමතක නැත.

නමුත්, 2010 දි ජනපති බවට පත් වීමෙන් පසු, ඔබේ දේශපාලන භාවිතය හා හැසිරීම වෙනස්වීම ඔබ සමීපයේ සිටි අයටත් රටටත් දනෙන්නට වුනා.

 

යුධ ජයග්‍රහණය සමග ඔබකෙරෙහි ඇති වූ සමාජ ප්‍රසාදය නිසා ඔබ තුලවූ වැඩවසම් මනස අවදිවන්නට වුනා කියල ඔබ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරපත්කරගත් ජනාධිපති වරයෙකුට වඩා රාජාණ්ඩුවක රජෙකු ලෙස ඔබව අන්දන්වන්නට ඔබෙන් වරප්‍රසාද ලාබ ප්‍රයෝජන ලැබූ ඔබ වට කරගත් විවිධ පුද්ගලයන් කටයුතු කල බව රටට රහසක් නොවේ. ඔබේ සුහද නිහතමානී ඇවතුම් පැවතුම් වියැකී මහාමාන්‍ය බාවයක් ඔබ කෙරෙන් දිස්වන්නට වුනා.

 

ඔබ හොඳින්ම දන්නවා ඔබ අගමැති හා ජනපති වශයෙන් කටයුතු කරන කාලයේ දී පවා ඔබ ඉතා සුහදව මා හමුවූවිට කතාබහ කල නමුත් ..මම ඔබේ ගැත්තෙක් හෝ ඉත්තෙක් වශයෙන් ක්‍රියා නොකල බව. සමහර පුද්ගලයන් මෙන් ඔබට ප්‍රශස්ති කියා ඔබෙන් කොන්ත්‍රාත්, ඉඩම්, ටෙන්ඩර් වැනි වරදාන නොගත්බව.

එමෙන්ම ඔබ දන්නවා 1965 ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගෙ සිට ඔබ දක්වාත්  අගමැතිකම්  කල පුද්ගලයන්  හා විළියම් ගොපල්ල විධායක නොවන ජනපති ගේ සිට වත්මන් ජනපති ඔබේ සොහොයුරා දක්වා මම පුද්ගලිකව දැන සිටි බව.

1995 සිට2010 දක්වා ජාතික රූපවාහිනී යෙන් මගේ මාධ්‍ය භාවිතය ඔබ හොඳින් හඳුනා ගෙන තිබුනා. මම කිසිම දේශපාලකයකුට "ගරු "හෝ "අතිගරු " කියා ඇමතූ නැති අතර, සමාජයෙන්ද එසේ නොකරන මෙන් රටෙන් ඉල්ලා සිටියා, පාලකයාගේ භාර්යාවට "ආර්යාව " යනුවෙන් ඇමැතිය යුතු නැති බවද මම කියා හිටියා.

1977 දී  ජාතික රූපවාහිනීය ජයවර්ධන ජනපති හැඳින් වූයේ ජනාධිපති "උතුමානන් " ලෙස. ප්‍රේමදාස ජනපතිවරයා හැඳින් වූයේ ජනාධිපති  "ශ්‍රීමතානන් "ලෙස, 1995 දී අපි එම වැඩවසම් භාවිතය අවසන් කර ජනපතිගේ නම හා තනතුර  පමණක්  සඳහන් කිරීමට කටයුතු කළා.

චන්ද්‍රිකා ජනපතිනියත් ඔබත් එයට අනුකූලව කටයුතු කල බව මේ මොහොතේ සඳහන් කල යුතුයි.

 

එවැනි ජනාධිපතිවරයෙකු "මහරජානෝ "යැයි ගීත ගයා රජෙකු බවට ඔබේ මනසට වැඩවසම් පින්තාරුවක් තැවරී මට කටයුතු කල  පුද්ගලයන් දැන් එසේ කිරීම ගැන තමන් අතින් සිදුවූ වරදක් බවට ස්වයංවිවේචනයක යෙදෙනවා.

 

ඔබට මතක ඇති ඔබ  හාපුරා කියා අගමැතිවී  "වැව් දහස " සමාරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් නියමිත වේලාවට පැමිණි අවස්ථාවේදී, සජීවී රූපවාහිනී විකාශය ඉදිපත් කරමින් සිටි මම ඔබ වෙලාවට පැමිණීම අගය කළා. " මේ වාගෙ පාලකයන් වෙලාවට වැඩ කල යුතුය." කියා. එය ප්‍රශස්තියක් නොව වෙලාවට වැඩ කිරීම අගය කිරීම මගේ පෞද්ගලික පුරුද්දක් නිසා.

එම උත්සවය ඇමැතීමට අනුර කුමාර දිසානායක ඇමැති වරයා හඳුන්වා දුන්නේ ඉඩම් හා වාරිමාරිග ඇමැති දිසානායක සහෝදරයා කියා. බොහොම දෙනෙකුට එය අමුත්තක් වුනත්, 1970 -  75 අතර මුදල් ඇමැති ඇන්.ඇම්.පෙරේරා හා ව්‍යවස්ථා සම්පාදක ඇමති කොල්වින් ආර් ද සිල්වා සභාවට මා හඳුන්වා දුන්නේ සහෝදරයා යනුවෙන් බව ඔබට මතක ඇතැයි සිතනවා.

"වැව් දහස" උත්සවය අවසන්ව ඔබත් මමත් අනුර ප්‍රිය දර්ශන නියෝජ්‍ය මාධ්‍ය ඇමති වරයාත් ඔබේ හෙලිකොප්ටරයෙන් කොළඹට ආවේ එදිනම සවස බන්ඩාරනායක සමරු රඟ හලේ පැවති  "සරසවිය සිනමා සම්මාන "උළෙලට සහභාගීවීමට. එහිද ඔබ ප්‍රධාන අමුත්තා වූ අතර එම උත්සවයද ඉදිරිපත් කිරීමට පැවරී තිබුනේ මා වෙතය.

පසුගිය අඩසියවස තුල ඔබ සමග කල කටයුතු ගැන බොහෝ මතකයන් තිබුනත් ඒවා මෙවැනි සටහනකට දිගු වැඩි නිසා ලිවීමෙන් වැලකෙමි.

මෙවැනි සටහනක් තබන්න අදහස් කළේ අදවන විට ලාංකීය සමාජය හා  රට පත් වී ඇති ආර්ථික හා දේශපාලන අර්බූධයේ ප්‍රධාන වග උත්තර කරුවකු ලෙස සමාජයෙන් අපහාස අවලාද නගන පරිසරයක මට ඔබේ අතීතය නිතැතින්ම සිහිපත් වීම නිසාය.

මට වැටහෙන පරිදි මෙම අර්බූධයට හේතු සමාජයේ විවිධ කොටස් විසින් ඉදිරිපත් කරණ කාරණා වලට අමතරව තවත් දේවල් මම දකිනවා.

 

2019 ජනපති වරණයට ඔබට ඉදිරි පත් වන්න නොහැකි නිසාත්, පවුලෙන් පිට කෙනෙකුට එම අවස්ථාව ලබා දීමට ඇති අකමැත්ත නිසාත්, අනාගතයේද දී නාමල්ව ජනපති කිරීමේ සිහිනය සැබෑ කරගැනීම කල් බැලිය යුතු නිසාත්, රටේම පිලි ගැනීමට හා යුද්ධය නිසා ජනප්‍රසාදය දිනා සිටි ඔබේ ගෝඨාබය මල්ලීව නම් කළා. ජීවිතේ කිසි දිනෙක දේශපාලනයක් නොකල හුදු යුධ නිළධාරියකු වූ ඔහු ව අපහසුවට හා සමාජය ඉදිරියේ අපහාසයට පත්වී ඇත්තේ නොදන්නා දේශපාලනයකට කර ගැසීමෙන් බවයි මගෙ හැඟීම.

 

ඉතිහාසයේ පලමු වතාවට රටේ ජනපතිවරයෙකුට හා අගමැති වරයෙකුට රටේ ජනතාව මෙතරම් අපහාස පරිභව කර නැති බව ඔබ දන්නවා.

ඔබත් වත්මන් ජනපතිත් එවැනි අවාසනාවන්ත අප්‍රසන්න ඉරණමකට මුහුණ පාන්නට වූයේ මන්දැයි විවේක බුද්ධියෙන් අනුලෝමව ප්‍රතිලොමව සාවධානව හිතන්න.

"ගෝඨා ගෝ හෝම්"  "මහින්ද හා රාජපක්ෂලා ගෙදර පලයව් " කියා රටේ පමණක් නොව ලොව පුරා සිටින ලාංකිකයන් උද්ඝෝෂණය කරන විට, වසර 50 ක් ඉක්ම වු දේශපාලන ඉතිහාසයක් ඇති ජෞෂ්ඨ දේශපාලකයකු වශයෙන් ඔබේ ජීවිතයේ ගොඩනැගුන කීර්තියේ පරිහානය අත්පත් කරගන්නේ මන්ද?

Mainagogama copy

රටේ කිසිම රාජ්‍ය නායකයකුට "නාකි මයිනා" වැනි අපහාසයක් ගතවූ වසර 74 තුලම සිදුවී නොමැති බව ඔබ දන්නවා.

ඔබට එසේ අපහාස කරන්නේ ඔබේ අගමැති නිළ නිවසේ තාප්ප මත නැගුන ඔබේ දරුවන් ටත් වඩ බාල වයස්කාර තරුණයන් වීම තමයි මෙහි ඇති ශෝචනීය තත්වය.

වයෝවෘධවීම ස්වාභාවික සංසිද්ධියක්. ඔබට එලෙස "නාකි මයිනා "කියන තරුණයන්ද දවසක වියපත් වනවා. වැඩිහිටි සමාජයට "හම්පඩ නාකියන් "වශයෙන් ඇමතීම සමාජ සාර ධර්මවල පිරිහීම පිලිබිඹු කරනවා. නමුත් සමාජය පීඩාවට පත්කරන කටයුතු පාලකයන් අතින් සිදුවන විට ජනතාවට සාරධර්ම අමතක වීම ස්වාභාවිකයි.

ඔබට හා රාජපක්ෂ පවුලට තිබෙන මහජන චෝදනා මොනවාදැයි මෙම සටහනට ඇතුලත් නොකලත් මුලුමහත් ලාකිකයන් දෙස් විදෙස් වල සිටිනඅය පවා හඬගා ලෝකයට කියනවා. එය ගාලු මුව දොරට පමණක් නොව ලොව සියලුම මහාද්වීපවල වසන ලාංකිය ජනයා ගේ එකම හඬයි.

ඉතින්, මම ඔබේ දේශපාලන දිවියේ සාධනීය හා නිෂේධනීය දේවල් ගැන අඩසියවසක් ඉක්මවා දන්න, ජීවිතයේ සමකාලීන රටවැසියකු වශයෙන් මේ ජනතාව නගන හඬට වියපත් පරිණත ජේෂ්ඨපුද්ගලයකු ලෙස සාවධාන වන්න කියා සුහදව ඉල්ලා සිටිනවා.


හිතවත්,

බුද්ධදාස විතානාරච්චි

ඕස්ට්‍රේලියාවේ,
මෙල්බර්න් සිට


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්