වත්මන් ආණ්ඩුවට හා ජනාධිපති ගෝඨාභය රාපක්ෂට ධුරයෙන් ඉවත්වන්නැ යි බලකරමින් මිරිහානේ දී

පැවැති නිර්පාක්ෂික ජන විරෝධතාවට මසක් ගතවන මේ අවස්ථාව වන විට ආණ්ඩුවේ වෙනස්කම් රැසක් සිදුව තිබේ.

අගමැති හැර කැබිනට් මණ්ඩලයේ සෙසු සියලු අමාත්‍යවරු ඉල්ලා අස්වීම සහ මහින්ද රාජපක්ෂ හැර අනෙකුත් රාජපක්ෂවරුන් නොමැතිව නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම මෙහිදී කැපී පෙනේ.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සූදානම් වන්නේ ජාතික සභාවක් පිහිටුවා ඒ ඔස්සේ ජනාධිපතිවරයා සමග නව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ය. එහෙත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම ජාතික සභාව ඇස්බැන්දුමක් බවත් එහි ප්‍රතිපලයක් නොමැති බවයි.

ඊට විරෝධය පළ කරන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව මෙම සතිය තුළ තීරණාත්මක පියවර කිහිපයකට එළඹීමට සූදානම් වෙයි.

වත්මන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සහ දෝෂාභියෝගයක් හෙට (අප්‍රේල් 03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් වෙමින් සිටියි.

කොළඹ දී පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මේ පිළිබඳ අනාවරණය කළේ, "විශ්වාසභංගය යි, දෝෂාභියෝගය යි දෙකම අපි ගේනවා අඟහරුවාදට. අඟහාරුවාදට ගේනවා,"යි පවසමිනි.

ආණ්ඩුවට හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එම යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇත.

"ගමේ ඡන්දය දුන්නේ කවුද, නොදුන්නේ කවුද බලාගන්න පුළුවන්. ඔන්න අපි හොරු එළියට ගේන්න හදන ක්‍රමය. දැන් ඩබල් ගේම්කාරයෝ ඡන්දය දුන්න ද නැද්ද කියලා බලාගන්න පුළුවන්," මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ය.

"මන්ත්‍රීලට ගමට එන්න දෙන්න එපා විශ්වාසභංගයට අත්සන් නොකර," ඔහු ජනතාවට ප්‍රකාශ කර සිටියේ ය.


''මේ සතිය තීරණාත්මකයි'' - සජිත් කියයි

මේ අතර විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද පසුගිය දා අවධාරණය කළේ මේ සතිය තීරණාත්මක බව යි.

"එකක් නොවෙයි විශ්වාසභංග කිහිපයක් එක්ක යි අපි ලබන සතියේ පාර්ලිමේන්තුවට යන්නේ," ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර සමගි ජන බලවේගය කතානායක වරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක්ද ඉදිරිපත් කරන බව පවසයි.

මේ අතර මැයි 04 වැනිදා පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට සිදුවනු ඇත. ඒ, රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායකධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා යි.




ඒ සඳහා බොහෝදුරට විපක්ෂය නම් කරනු ලබන අපේක්ෂකයා නිතරගයෙන් පත් නොවී, ආණ්ඩුව පාර්ශවයෙන් ද නමක් යෝජනා වුවහොත් නියෝජ්‍ය කතානායකධුරය සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇත.

එසේ වුවහොත් ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ තමන්ට ඇති බලය පිළිබඳ පරීක්ෂාවකට මුහුණ දීමට සිදුවනු ඇතැ යි විචාරකයෝ පෙන්වා දෙති.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ එම නිසා බොහෝ දුරට ආණ්ඩු පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට ඉඩ ඇති බවත් ඒ වෙනුවෙන් මේ වන විට ස්වාදීන වී ඇති මන්ත්‍රී කණ්ඩායම්වලින් කෙනෙකු ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.


"ඩීල් දේශපාලනය අවසන්. අන්තර්කාලීන සූදුවට අපි නෑ"

"හොර ආණ්ඩුවවත් එක්ක හෝ හොර ආණ්ඩුවේ කොටස්කාරයෝ එක්ක" ගිවිසුම්වලට එක්වන්නේ නැති බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය.
අන්තර්කාලීන ප්‍රෝඩාවට හසු නොවනබවත් ඔහු පැවසීය.

"අන්තර්කාලීන සූදුවට අප සූදානම් නැහැ. අපිට නූල් සූත්තර දේශපාලනය ඔබින්නේ නැහැ, රූකඩ දේශපාලනය ඔබින්නේ නැහැ," ඔහු අවධාරණය කළේ ය.

රට විනාශ කළ රාජපක්ෂ ආණ්ඩුවත් සමග තමන්ට ගනුදෙනුවක් නැතැ යි ද විපක්ෂ නායකවරයා පැවසීය. රට ගොඩනගන්නට තමන් සූදානම් වන්නේ ජනතාව ලබා දෙන ජනතා ආශිර්වාදයෙන් බව කී ඔහු, පවුල්වාදී බඩගෝස්තරවාදී යුගය අවසන් කරන බව ද කියා සිටියේ ය.

"රට විනාශ කළ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක ගනුදෙනුවක් නැහැ. මේ හොර හැත්තත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ," ඔහු ප්‍රකාශ කරයි.

"විකල්ප ආණ්ඩුවක් පත්කරගෙන ඒගොල්ලගෙම කට්ටියක් විපක්ෂ නායකකම ගන්න යනවලු. විපක්ෂ නායකකම ද ඕනේ? අනේ ගන්න! හොඳට මතක තියාගන්න, රටේ ආනාගත වගකීම සමගි ජන බලවේගයට ලබා දෙන්න ජනතාව සූදානම්. එයා ද විපක්ෂ නායක, අරය ද විපක්ෂ නායක කියලා අපිට වැඩක් නැහැ," ප්‍රේමදාස අවධාරණය කළේ ය.
 


අන්තර් පාලනයට එරෙහි වීම නිසා තමන්ට තර්ජන එල්ල වෙන බව විපක්ෂ නායක කියයි



"113ක් නෙමේ 120ක් තියෙනවා"

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පසුගිය දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ විශ්වාසභංගය සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 113කගේ නොව 120කගේ සහාය ඇති බව යි.

"සජබෙ විසින් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන්න සූදානම් වෙච්ච අවස්ථාවේ අපි කිව්වා 113 හදාගන්නේ නැතිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් විශ්වාසභංගත්වය කෙසේ වෙතත් ආණ්ඩුවට විශ්වාසය පළ කරන යෝජනාවක් බවට පත්වෙනවා කියලා. ඒ නිසා 113 හදනතුරු පොඩ්ඩක් ඉන්න කියලා අපි සජබෙට කිව්වා. ඔන්න දැන් 113 වෙනුවට 120ක්ම හැදිලා තියෙනවා."

"කොහොමද වෙන්නේ? අපි අංක ගණිතයෙන් ගණන් හදලා බලමු. විපක්ෂයට තිබ්බේ මන්ත්‍රීධුර 65 යි. අපි 42ක් විපක්ෂයට ආවා. තුන්දෙනෙක් ආපහු ඇමතිධුර අරන් ගියා. අපේ ඉතිරි 39, 65ට එකතු කළාම දැන් 104යි. අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වර්තමාන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු දසදෙනෙක් ලිඛිත ප්‍රකාශයක් කළා. 104යි 10 යි, දැන් 114යි. 20 වැනි සංශෝධනයේ සිට ආණ්ඩුවට සහාය පළකරමින් සිටි විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු ආණ්ඩුවට ලබාදෙන සහාය ඉවත් කරගෙන තමන්ගේ පක්ෂවලට යළි ගොනුවුණා. දැන් 117යි. නාලක ගොඩහේවා, ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමා, කෝප් සභාපති චරිත හේරත් මන්ත්‍රීතුමාත් මේ ආණ්ඩුව, අන්තර් කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් ඉවත්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කළා. ඒ තුනත් එකතු කළාම දැන් 120යි."

"වර්තමාන ආණ්ඩුව ඉවත්විය යුතු යි කියන මතයේ දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120ක්ම සිටිනවා. දැනට තමන්ගේ මතය ප්‍රසිද්ධ නොකළ තවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විශ්වාසභංගයකදී සහය දැක්වීමට සිටින බව මම ඉතා විශ්වාසයෙන් සඳහන් කරනවා," ගම්මන්පිල ප්‍රකාශ කළේ ය.


ලංකා කම්කරු කොංග්‍රසය රාජපක්ෂවරු සමග පැවති දීගය අත්හරී

රාජපක්ෂවරු සමග වසර 15ක් පැවති සම්බන්ධය අදින් අවසන් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන්, ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින සැමරුම් උත්සවය අමතමි පැවසීය.

ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දැරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ හේතුවෙන් රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත්වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කළ බවත් ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

"අපිත් ඔබත් මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පුර්ණ විශ්වාසයක් තබලා තමයි කටයුතු කළේ. නමුත් එම විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා තියෙද් දී අපි කොහොමද රජයට සහයෝගය දක්වන්නේ ? වරදක් කරාම එයට සමාව ලබාදෙන්න පුළුවන්. එම වරදම අවස්ථා කිහිපයකදි සිදුකරනවා නම් ඒවාට සමාව දෙන්නේ කොහොමද?"

"වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය ගත වු වසර කිහිපය තුළ කටයුතු කරලා තියෙනවා. වතුකරය වෙනුවෙන් කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදිකරන්න මම ජනාධිපතිතුමාගෙන් ඉඩම් කෑල්ලක් ඉල්ලුවා. එම ඉඩම ලබාදෙන්න ජනාධිපතිවරයා අපට සහයෝගය ලබාදුන්නේ නෑ."

"අද රටේ සමස්ත ජනතාව වගේම වතුකරයේ ජනතාවත් දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා. එහෙම පීඩාවට පත්වෙලා ඉන්න අවස්ථාවක මම තනතුරු ගැන නොසිතා ඔබ ගැන පමණක් සිතා තනතුරුවලින් සහ රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත්වීමට තීරණය කළා. අද සමහරු අපිව විවේචනය කරනවා, අපි මේ රජය පත්කරන්න කටයුතු කරපු අය කියලා. විවේචන කර කර ඉඳලා වැඩක් නෑ. අපි සියලුදෙනා එකට එකතුවෙලා කටයුතු කළොත් තමයි වතුකරයේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන්න පුළුවන්."

"අද විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා කියනවා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 120 දෙනෙකු ඔහුන්ට සහයෝගය දක්වනවා කියලා. ආණ්ඩු පක්ෂය කියනවා රජයට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන් 120 අත්සන් කරලා තියෙනවා කියලා. පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනෙයි. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියන විදිහට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරුන් 240ක් ඉන්න ඕනි," ජීවන් තොන්ඩමන් පැවසීය.

"පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න අය රටේ ජනතාවට පේන්න ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය රණ්ඩු කර ගන්නවා, ඒ කැමරාවට පෙන්න. කැමරාව නැති තැන එයාලා ඔක්කෝම එකට ඉන්නේ. මේකයි ඇත්ත. දැනවත් අපි ඒක තේරුම් ගන්න ඕනි. රටේ ජනතාව හැමදාම රවට්ටන්න බෑ. අද තරුණයින් පෙරමුණට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මමත් තරුණයෙක් විදිහට එයට සහයෝගය දක්වයි.''

ඔහු තවදුරටත් පැවසුවේ "ඕනැම රජයක් බලයට පත්වුණාම අපට දෙන්නේ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය හෝ නැත්නම් පශු සම්පත් අමාත්‍යංශය. ඇයි අපිට මේ රටේ අගමැති වෙන්න බැරිද? අපිට අධයාපන ඇමති වෙන්න බැරි ද? ආරක්ෂක ඇමතිකම අපිට සුදුසු නැද්ද? අද අපේ වතුකරයේ ඉන්න ඇතැම් දේශපාලඥයෝ අහනවා අපි රජයක් පිහිටුවීමට සහයෝගය ලබාදෙන්නම් මොනවද අපිට ලබාදෙන තනතුරු කියලා."

"තනතුරු බලාගෙන තමයි ඒ අය වැඩ කරන්නේ. ලංකා කම්කරු කොංග්‍රසය තනතුරු බලාගෙන වැඩකරන පක්ෂයක් නෙවෙයි. ලංකා කම්කරු කොන්ග්‍රසය හැමදාම වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩකරපු පක්ෂයක්. ඉදිරියටත් එහෙමයි. මට ලොකු සිහිනයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි වතුකරය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි කියන එක. ඒක මගේ නායක දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාටත් තිබුණා. කවදා හරි ඒ සිහිනය මම සැබැ කරනවා."


''මේ මොහොතේ කළ යුත්තේ විධායක ජනාධිපතිධුරය ඉවත්කර රට තවදුරටත් අස්ථාවර කිරීම නොවේ'' - විමල්


මේ අතර අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට, රට අස්ථාවර කිරීමට, ආණ්ඩුවේ නොහැකියාව ජනතාව මත පැටවීමට එරෙහිව මෙන්ම, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ද බල ‌කරමින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ අධිරාජ්‍ය විරෝධී මැයි රැලිය බත්තරමුල්ල පිහිටි 'අපේ ගම' පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කළේ සමාජ ස්ථාවරත්වය ඇති කිරීමට පෙර දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගිය යුතුව ඇති බව යි.

එසේම මෙම අර්බුදය හරහා ශ්‍රී ලංකා රාජ්‍යය දියකර හැරීමට යොදාගන්නා, අත්පත්කර ගැනීමට යොදාගන්නා අධිරාජ්‍යවාදී අතපෙවීම් කෙරෙහි සැලකිලිමත් විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

"ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැටෙන තැනට කටයුතු කිරීමට ඉඩ දී නිහඬව සිටීමට, මේ රට තවත් ලිබියාවක්, ඉරාකයක් වීමට ඉඩ දී නිහඬව සිටීමට මෙරට වැඩකරන ජනතාව ලෙස අපට හැකියාව තිබේ ද?" ඔහු විමසා සිටියේ ය.

එබැවින් මෙම අරාජිකත්වය වර්ධනයවීමට ඉඩ හරිනවා වෙනුවට මෙම අර්බුදය පාලිත තත්ත්වයට ගතයුතු බවත්, ඒ සඳහා මේ මොහොතේ කළ යුත්තේ විධායක ජනාධිපතිධුරය ඉවත්කර රට තවදුරටත් අස්ථාවර කිරීමෙන් නොවන බව මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.

රටට අභිවෘද්ධිය සලසන වැඩපිළිවෙළකට සහ රට පිළිබඳ සාමූහික තීන්දු තීරණ ගන්නා සියලු පක්ෂවලින් සැදුම්ලත් ව්‍යුහයකට වත්මන් ජනාධිපතිවරයා එකඟ කරවාගෙන වත්මන් අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව පූර්ණ ලෙස ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයතු කළ යුතු බව ඔහු යෝජනා කළේ ය.

 


ජනාධිපති ගෝඨාභය නම්, කොහොමද ප්‍රශ්න විසඳන්නේ?

කෙසේ නමුත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා විමසා සිටින්නේ, "අන්තර්වාර ආණ්ඩුවක් හැදුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නේ. එතකොට කොහොමද ප්‍රශ්න විසඳන්නේ?" යනුවෙනි.

"ඇත්තටම දෙන්නම අස්වෙලා, පාර්ලිමේන්තුවට පුළුවන් අන්තර්වාර අගමැතිකෙනෙක් පත්කරන්න. වැඩබලන අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න. පාර්ලිමේන්තුව මාර්ගයෙන් පුළුවන් ව්‍යස්ථාවෙන් විසදුමක් හොයා ගන්න. ඒකට ජනාධිපතියි, අගමැතියි දෙන්නම ගෙදර යන්න ඕනේ."

twite

"විධායක ජනාධිපති මාර්ගයෙන් මෙතන දැන් විසඳුමක් නැහැ. විධායක ජනාධිපතිවරයා හිතන්නේ එයා හිටියා නම් ප්‍රශ්නය විසඳනවා කියලා. අවුරුදු දෙකහාමාරක් ප්‍රශ්න විසඳුණේ නැහැ. ප්‍රශ්න ඇතිකරෙත් එයයි ආණ්ඩුව යි. දැන් බලන්න ඕනේ අලුතින්ම මෙතන වෙනසක් ගේන්නේ කොහොම ද කියලා. පාර්ලිමේන්තුව මාර්ගයෙන් කරන්නේ කොහොම ද? මන්ත්‍රීලාට තියෙන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙනල්ලා, ඒ මාර්ගයෙන් ව්‍යවස්ථානුකූලව මේ දෙන්නවා අයින් කරන්න පුළුවන් ද කියලා බලන්න," ඇය පැවසුවා ය.

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආර්ථික වශයෙන් ලංකාව සිටින්නේ භයානක තත්ත්වයක බව යි.

"ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය යි. මේ දෙන්නගේ ප්‍රශ්නයත් එක්ක කොහොම ද ආර්ථික අර්බුදය විසඳන්නෙ? දැන් තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමා තියෙන්නේ විශ්වාසභංගයක් ගෙනල්ලා අලුතෙන් ආණ්ඩුවක් ගේන්න. දැන් හිටපු කාලේ ඇති. අයියයි මල්ලි ගෙනල්ලා ආණ්ඩු හදලා කිව්වේ ලොකුවට කරනවා කියලා නේ. දැන් මේ දෙන්නගේ ප්‍රශ්න නිසා රට වෙන තැනකට ගෙනියන්නේ මේ විදිහට ගියොත්. එක්කෙනක්වත් ගෙදර යන පාටක් නැහැ මේ තියෙන තත්ත්වය අනුව," ඇය පැවසුවා ය.

නීතිඥ ෆොන්සේකා කියා සිටියේ මේ අවස්ථාවේ විපක්ෂයේ කාර්යභාරය ද ප්‍රමාණවත් නොවන බවකි.

"මේ වෙලාවේ වික්ෂයේ කාර්යභාරය මඳි. මොනවද පාර්ලිමේන්තුවේ කරලා තියෙන්නේ? මාසයකට වැඩියි ගාලු මුවදොර විරෝධතාවට. විපක්ෂය කියන්න ඕනේ දැන් හිටියා ඇති අපි මේක ඉස්සරහට ගෙනියනවා කියලා. විපක්ෂය එහෙම වගකීම භාරගන්නෙත් නැහැ. විපක්ෂයෙනුත් අහන්න ඕනේ ඇයි මෙච්චරකල් බලන් හිටියේ කියලා," ඇය ප්‍රකාශ කළා ය.

(BBC සිංහල සේවය)

 

 


Drama

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්