1200 x 80 DMirror

 
 

පැරණි ලෝකය පණ අදිමින් සිටින්නේය. නව ලෝකයක් බිහි වීම සඳහා භූමිය සකස් කිරීමේ සුවිශාල අවස්ථාවක් උදා වී ඇත.

මෙම සංක්‍රාන්ති සමය ජාතියට නැසීමට හෝ හැදීමට ලබාදී ඇති තවත් එක් අවස්ථාවකි.

මෙහිදී වැදගත් වන්නේ බාහිර පෙනුම, වයස හෝ චතුර කතිකත්වය නොව ප්‍රතිපත්ති ගරුක කැපකිරීම් කිරීමට ඇති හැකියාව සහ ලෝකය ගැන ඇති අවබෝධයයි.

කොවිඩ් වසංගතය විසින් සමස්ථ ලෝකයට ලබා දුන් එම අවස්ථාව, ශ්‍රී ලංකාව විෂයෙහිලා වසංගතයට අමතරව "බෝනස්" අවස්ථාවක් ලෙස "බරපතළ ආර්ථික සහ දේශපාලන" අර්බුදය පතිත වී ඇත.

මෙවැනි සමාජ අවස්ථා අප විසින් අපේ පැවැත්ම මූලික කරගෙන තනාගෙන ඇති කූඩු වලින් මිදී ජීවිතයේ සැබෑ අරුත සොයා ගැනීම සඳහා ලබාදෙන ද්වාරයන්ය (පොර්ටල්). එනම් පොදි බැඳගෙන සිටින භෞතිකවාදී ජීවිත වෙනුවට ගෞරවාන්විතව සැබෑ නිදහස් පුද්ගලයෙක් ලෙස ජීවත් වීම සඳහා කලාතුරකින් ලබාදෙන අවස්ථාය.


අර්බුදය හමුවේ පුද්ගලයෙකුගේ වගකීම කුමක්ද? ඇතැම් දේශපාලන කණ්ඩායම් වල අතකොළු බවට පත් වී ඒවා විසින් නම් කරන සතුරාට අයත් භෞතික සම්පත් විනාශ කිරීමද?  තාවකාලීක ප්‍රසිද්ධිය අරමුණු කරගෙන ජනමාධ්‍යය ආයතනවල මයික්‍රෆෝන් සහ කැමරා ඉදිරියේ වීරයින් වීමද?  නොදන්නා  පාර්ශ්වයකගේ අතකොළුවක් බවට පතවී තම ජීවිතයේ වටිනාම කාලය නාස්ති කිරීමද? වැනි මූලික ගැටලු වලට අවංකව පිළිතුරු ලබාගත හැකි නම් අපි සටන් කළ යුත්තේ කුමක් වෙනුවෙන්ද සහ කුමන ආකාරයෙන්ද යන්න වැටහෙනු ඇත.



සමාජ අර්බුද අමිහිරිය, වේදනාකාරිය, කටුකය, අප්‍රසන්නය. ඒ නිසා එම වේදනාවන් සහ කටුක අත්දැකීම් පිටකිරීමේ හැකියාව කණඩායම් වශයෙන් හෝ තනි පුද්ගලයින් වශයෙන් සෙවීමට උත්සහ කිරීම සාමන්‍යය කාරණයකි. සමාජ අර්බුද නිසා මුහුණ දීමට සිදුවන වේදනාවන් පිට කිරීම සඳහා නාමික වශයෙන් හඳුනාගත හැකි සතුරෙකු සොයාගැනීමද සාමාන්‍යය මිනිස් ගතියකි.

නමුත් ඒ සතුරා රෝගය නොව රෝග ලක්ෂණය බව අවබෝධ කරගෙන රෝගය නැසීම සඳහා කටයුතු කරන්නේ ඉතාම සුළු පිරිසකි. එම සුළු පිරිස සෑමවිටම මහා සමාජයේ සමච්චලයට සහ උදහසට ලක්වන පිරිසය.

මන්ද, අර්බුද හඳුනා ගෙන ඒවායෙහි ඇති ගැඹුරු යථාර්තය අවබෝධය කිරීම වෙහෙසකර සහ තම  හෘදය සාක්ෂිය ප්‍රශ්න කරණ කටයුත්තක් බැවින් අර්බුද වලදී අනෙකාට චෝදනා කිරීමෙන් ලැබෙන තාවකාලික සහනයට පමණක් ලඝුවීමට බොහෝ මිනිසුන් කැමතිය.

අර්බුදය නිසා මහපාරේ හැඟීම් මුදාහරින අයවලුන් විවිධ කණ්ඩායම් වල දේශපාලන අභිමතාර්ථයන් ඉටු කරගැනීම සඳහා ඉතා පහසුවෙන් පාවිච්චි වන්නේ මේ නිසාය.

සමාජ අරගල යැයි කියා ගන්නා නමුත් වගකීම් දැරීමට හැකි නායකයෙක් හෝ කණ්ඩායමක් නැති, කාල රාමුවක් තුළ සකස්කළ නිවැරදි දැක්මක් සහිත සැලසුමක් නැති මහජන රැස්කිරීම් වල ඇති නීරස යතාර්ථය මෙයයි. මෙය මතුපිටින් ආකර්ශනීය වන නමුත් එහි අභ්‍යන්තරයේ ඇත්තේ මායාවන් වලින් පිරී ඇති ව්‍යාකූල ව්‍යුහයකි. මෙවැනි අරගල වල යෙදී සිටින්නන් තවත් වසර පහකින් මෙම අරගලය නිසා සමාජය තිබිය යුත්තේ කොතැනද යන්න සිතන්නේවත් නැත.




sasdwකැරලිකරුවන් ගඩාෆි අල්ලා ගත් මොහොත - military.com


වසර ගණනාවක් තිස්සේ ටියුනිශියාව පාලනය කළ බෙන් අලි මහජන උද්ඝෝෂණ නිසා රටින් පැන ගිය විට බොහෝ දෙනකු මැවූ සිහින ඉටු වූයේ නැත. අදටත් එහි ජනතාවට වීදි බැසීමට සිදු වී තිබේ.

එසේම සදාම්ගේ පිළිරුව ඉරාකීය ජනතාව විසින් බිම හෙළා ප්‍රීතී වූ විට බොහෝ දෙනෙකු සිතුවේ එය නව සුභාවාදී යුගයක ආරම්භය කියාය. එහෙත් සිදුවූයේ ඊටේ හාත්පසින්ම වෙනස් දෙයකි. ඉරාකය විනාශ විය.

ලිබියාවේ ගඩාෆි කොල්ලන්ගේ පොලු පහරවල් වලින් සහ පයින් පහරවල් වලින් මහමගදී මරා දැමු පසු බොහෝ දෙනෙකු සිතුවේ ලිබියාවට හොඳ කල දසාවක් උදාවනු ඇතැයි කියාය. නමුත් ලිබියාව අපරාධකාරයින්ගේ සහ මංකොල්ල කාරයින්ගේ පාරාදීසයක් බවට පත්විය.

 

දැක්මක් සහිත සැලසුමක් නැති ජන අරගල වල ඇති කටුක යථාර්තය මෙයයි. පැරණි ලෝකය මියැදෙන බව නිශ්චිතවම දැනසිටීම පමණක් නව ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. අපි සිහින දකින නව ලෝකය කුමක්ද? එය බිහිකිරීම සඳහා අවංක මිනිසුන් අපට සිටින්නේද? ඔවුන් කෙරෙහි විශ්වාසය තැබිය හැකිද? යන්න නොදැන නව ලෝකයක් ගැන සිහින දැකීම මායාවක් පමණි.



මැදපෙරදිග පුරා රැල්ලක් මෙන් පැතිරී ගිය  අරාබි වසන්තයේ ගැඹුරු සත්‍යය එයයි. එම වසන්තය නිසා සැබෑ ලෙස වසන්තය උදා වූ කිසිම රාජ්‍යයක් නොමැත. ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගයද මේ හා සමානය.



රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත් කිරීම:

ඇවිලෙමින් තුබූ ගිනි රටේ ජනතාවගේ වාසනාවට මෙන් තාවකාලිකව හෝ පහව ගොස් ඇත. වික්‍රමසිංහ මහතා අගමැතිධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ක්‍රමෝපායික වශයෙන් වැදගත් යහපත් එකක් ලෙස දැකිය හැකිය.  

නමුත් අතිශය දුෂ්කර මාවතක් ඔවුන් දෙදෙනා අභිමුඛව ඇත. මන්ද පවතින සමාජ ව්‍යකූලබාවය ඉතාම සංකීරණ එකකි. එසේම ඊට අවශ්‍යය දේශපලන සහයෝගය ලබාගැනීම සහ එම සහය අඛණ්ඩව පවත්වා ගැනීම එතරම් පහසු අභ්‍යාසයක් නොවනු ඇත.  

ශ්‍රී ලංකාවේ සමාජ විරෝධයන් ගැටුම් බවට පත් වූ  පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරත් විවිධ සමාජ සහ දේශපාලන ගැටලු මූලික කර ගනිමින් විවිධ ස්වරූපයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා පැතිරී ගියේය. ඒවා නිසා සමස්ථ රටට ගෙවීමට සිදුවූ වන්දිය ගැන බොහෝ දෙනෙකු දනිති.  

ප්‍රචණ්ඩ ක්‍රියා හැකි තරම් මගහරිමින් සති ගණනාවක් තිස්සේ වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙනගිය උද්ඝෝෂණයට සංවිධානාත්මක අන්දමින් සිදුකරනු ලැබූ පහරදීම හේතුවෙන් රටපුරා  ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලී ගියේය.  



ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයින්ගේ පෞද්ගලික දේපළ රාශියකට  හානී සිදුකොට ඇත. සමාජ විරෝධයන් යටපත් කිරීම සඳහා සාම්ප්‍රදායික දේශපාලන උපක්‍රම අහෝසි වී ඇති බව මෙම සමස්ත සිදුවීම අපට කියාදෙන පාඩමයි. 


BBC වීඩියෝව - රාජපක්ෂවරුන්ගේ මැදමුලන නිවසට  ප්‍රහාරයක්..


කුමන තත්වයක් යටතේ වුවද ප්‍රචණ්ඩත්වය අනුමත කළ නොහැකිය. එසේම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ අර්බුදය විසඳීමට ප්‍රචණ්ඩත්වය මෙවළමක් නොවන අතර එය තවදුරටත් රට අඝාදයට ඇදදමන ප්‍රතිචාර දක්වන ක්‍රමවේදයක් පමණි. දශක ගණනාවක් තිස්සේ රටේ ජනතාවට දහදුකක් විඳීමට සිදු වූයේ විවිධ අරමුණු මූලික කරගනිමින් රට පුරා ව්‍යාප්ත කරනු ලැබූ ප්‍රචණ්ඩ ක්‍රියාය.

මෙහිදී සියලුම පාර්ශ්වයන් තේරුම්ගත යුතුව ඇත්තේ වත්මන් සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීමට සෑම අයෙකුගේම සහයෝගය අවශ්‍යය බවය.

වගකීමෙන් සහ වගවීමෙන් යුතුව ලබාදෙන සාමුහික සහයෝගය නොමැතිව අප වැටී සිටින ආඝාධයෙන් ගොඩ ඒමට පුළුවන් කමක් නැත.

ඒ සඳහා රටේ සියලුම දෙනා අනුගමනය කළ යුතු මූලධර්මය නම් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඈත් වීමයි. එසේම ප්‍රචණ්ඩ ක්‍රියා වලට අනුබල දෙන්නන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා කටයුතු කිරීමයි. ප්‍රචණ්ඩත්වය නමැති රාක්ෂයාට තව දුරටත් අපේ ජීවිත බිලි ගැනීමට ඉඩදිය යුතු නැත.



අපි සියල්ලෝම පිළිගන්නා පරිදි මනුෂ්‍ය ශිෂ්ඨාචාරය විසින් නිර්මාණය කරනු ලැබූ උත්කෘෂ්ඨතම පරිපාලන ඒකකය වූ කලී රාජ්‍යයි. මීට දශක කිහිපයකට පෙර ආසියාවේ ප්‍රථම ඝණයේ සුභසාධන රාජ්‍යයක් ලෙස මහත් අභිමානයෙන් නැගී සිටි ශ්‍රී ලංකාව තම ඉතිහාසය තුළ මුහුණ දී සිටින බරපතළම සමාජ අර්බුදයට මුහුණ දී සිටින්නීය.  

රාජ්‍යයේ ව්‍යුහය දිරා ගොස් ඇති අතර සමස්ථ පද්ධතිය පෙර නොවූ විරූ විහසනයක් අභිමුඛව වැටී තිබේ. මෙය මිලියන ගණනක් ජීවත් වන නිවාස සහිත තට්ටු සියගණනක් ඇති ගොඩනැගිල්ලක් අභ්‍යන්තරයෙන් දරා සිටින යකඩ කම්බි දිරා යෑමට ලක් වූ විට එම ගොඩනැගිල්ල මුහුණදෙන බරපතළ තත්වය හා සමාන තත්වයකි.

එම සිදුවීම රාජ්‍යයක ව්‍යුහයට සම්බන්ධ කොට සැලකීමේදී එහි ඇති භයානක සහ සංකීරණ බව අප කාටත් තේරුම් ගැනීමට පහසුය.  

රාජ්‍යයක ව්‍යුහය දිරා යෑම යනු එම රාජ්‍යය නියෝජනය කරන ජාතික අනන්‍යතාවය අභියෝගයට ලක්වීමකි. එවැනි අභියෝග වලට මුහුණ දුන් රාජ්‍යයන් වලට ඉන් ජයගැනීම සඳහා විශාල කැපකිරීම් කිරීමට සිදුවූහ. ඇතැම් රාජ්‍යයන් මිතුරු ලෙසින් පෙනී සිටින බලවත් සතුරු රාජ්‍යයන් වල අතකොලු බවට පත්වූහ.  

ගෙවී ගිය සති කිහිපය තුළ රට පුරා පැතිරී ගොස් ඇති විරෝධයන් සහ වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා රෝගයට නොව රෝග ලක්ෂණ වලට එරෙහිව සිදුකරනු ලබන ප්‍රතික්‍රියා පමණි.  


රටේ බහුතරයකට තවමත් රාජ්‍යය ගොදුරු වී ඇති  නිදන්ගත රෝගය සහ එහි ස්වභාවය තේරුම් ගැනීමට හැකි අවස්ථාව සලසා දෙන පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී නැත. රාජ්‍යය සහ එහි පරිපාල ව්‍යුහය ගැන අවබෝධයක් ඇති තම දැනුම අපහරණය නොකළ සැබෑ බුද්ධිමතුන්ගේ සහ සමාජ ප්‍රතිසංසකරණවාදීන් වහාම පෙළගැසිය යුත්තේ ඒ සඳහාය.  



මෙම අර්බුදයට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් ඇති අතර ඒවා නිවැරදිව හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම පුළුල් සමාජ වගකීමකි. එය සාමුහික වගකීමකි.

මෙහිදී ඉතාම වැදගත් වන්නේ රටේ අතවශ්‍යය සේවාවල නිරත වී සිටින සියලුම දෙනා තම දේශපාලන මතවාදයන් පසෙකලා, රාජ්‍යයේ ස්ථාවරත්වය වෙනුවෙන් අවශ්‍යය කටයුතු කිරීමට වහාම ඉදිරිපත් වීම සහ ඒ සඳහා දිරි ගැන්වීමය. විවිධ දේශපාලන වාසි ලබා ගැනීමට හෝ තම චිත්තවේගයන් තෘප්තිමත් කරගැනීම සඳහා මෙවැනි සංවේදී අවස්ථාවන් පාවිච්චි කිරීමෙන් වැළකීමට සෑම විටම ප්‍රවේශම් විය යුතුය.

මන්ද චිත්තවේගයන් අනුව හැසිරීමට ගොස් අපට අත්වූ ඉරණම අපේ ඉතිහාසය විසින්ම අපට උගන්වා ඇත. කුමන තත්වයක් යටතේ වුවද අතවශ්‍යය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම ඉතාම තීරණාත්මක වන්නේ ඒ නිසාය.

රටේ ප්‍රධාන වෙළඳ වරායන් සහ අනෙකුත් ධීවර වරායන් වල කටයුතු නිසි කළට සිදු කිරීම අවශ්‍යය අතර ගෙවුණු වසර කිහිපය තුළදී එම ක්ෂේත්‍රයේ අප ලැබූ සාර්ථක ප්‍රගතිය ආපස්සට හැරවීම සඳහා කිසිඳු අයුරකින් සහයෝගය නොදිය යුත්තේය.  



zdfdfreවිනාශයට පත් කොළඹ නගරය. (srilankaguardian.org)


අසූව දශකයේ මුල් භාගය්දී ඇති වූ සමාජ කලබගෑනිය අවසන් වූයේ මෙරට දේශීය සහ විදේශීය ආයෝජන වලින් ඉදිකළ කර්මාන්ත විශාල ප්‍රමාණයක් රටට අහිමි කරමිනි.  ශ්‍රී ලංකාවේ සමාජ ගැටලු නිසා මෙරට ඉදිකිරීමට ගිය ජාපන සහ යුරෝපීය සමාගම් රාශියක් මැලේසියාව ඇතුළු රටවලට ලැබුණි.

 ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන උදම් ඇනීමෙන් සහ ඉතිහාසය ගැන හිස් පුරසාරම් දෙඩීමෙන් පමණක් සුගතියක් නොවන බවත් රටක් දියුණු කිරීම සඳහා ස්ථායි රාජ්‍යය ප්‍රතිපත්ති සහ පොදු මහජනතාව අතර ගැඹුරු අධිෂ්ඨානයක් මෙන්ම අවබෝධයක් තිබිය යුතු බවත් තේරුම් ගැනීමට එය ප්‍රමාණවත් නොවන්නේද?

ජනජීවිතය සාමන්‍යය අතට ගෙන ඒම සඳහා අත්‍යවශ්‍යය ද්‍රව්‍යය වල දැවැන්ත හිඟයක් තිබේ.  රටතුළ අහාර හිඟයක් ඇතිවීමේ අවදානම මීට මාස කිහිපයකට පෙර සිටම විවිධ පාර්ශ්වයන් විසින් අවධානය යොමු කළ කරුණක් වූ නමුත් ඒ සඳහා ජාතික වැඩපිළිවෙලක් තැනීමට තවමත් සමත් වී නැත. මේ නිසා රට තුළ නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණයවත් නිවැරදිව ගබඩා කිරීමේ සහ බෙදා හැරීමේ ජාතික ව්‍යාපෘතියක් වහාම අවශ්‍යය වේ.

ධීවරයින් අල්ලා ගන්නා මාළු සහ වැවෙන එළවලු ටිකවත් නිවැරදිව ගබඩා කිරීමේ සහ බෙදා හැරීමේ වැඩපිළිවෙලකට අවශ්‍යය කටයුතු වහාම සැලසිය යුතුව ඇත.

රට තුළ උද්ගත වී ඇති අර්බුදයේ ගැඹුර ගැන අවබෝධයක් ඇති පිරිස් එකතු වී වහාම කළ යුතුව ඇත්තේ ප්‍රමුඛතාවයන් හඳුනා ගැනීම සහ ඊට අවශ්‍යය පියවර ගැනීමය.  

තම මූලික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට ජනතාවට නොහැකි වුවහොත් ඔවුහු කොල්ලකෑම් වලට යොමු විය හැකි ආකාරය මීට දින කිහිපයකට පෙර අපි දුටුවෙමු. එවැනි සමාජ තත්වයන් පාලනයෙන් තොර තත්වයක් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. එවැනි ගැටුමක් වර්ගවාදී හෝ ආගම්වාදී මුහුණුවරක් ගැනීමට වැඩි කාලයක් ගත වන්නේද නැත.



මෙහිදී වැදගත් වන්නේ රටට සිදුවිය හැකි අතිශය නරකම දේ ගැන බලාපොරොත්තු වී අපගේ සාමුහික සමාජ වගකීම් ඉටු කිරීමට එකිනෙකා අත්වැල් බැඳගැනීමය. එවිට නරකම දේට පෙර ඇතිවන අවස්ථා සියල්ලටම මුහුණ දීම එතරම් අපහසු වන්නේ නැත.  

සමාජ අරගල ක්‍රියාත්මක කළ යුත්තේ සමාන්‍ය මිනිසුන්ගේ ජීවිත පෙරට වඩා ශක්තිමත් කිරීම වෙනුවෙන් මිස ඔවුන්ගේ මළකඳන් ගණන් කිරීමට නොවේ. සමාජ අරගල වල අවසානයේ ඉතිරි වන්නේ මන්ද පෝෂණයෙන් පෙළන කුඩා ළමුන්ගේ පරම්පරාවක් නම්, විනාශ වී ගිය  පොදු අධ්‍යාපන පද්ධතියක් නම්, කළු කඩ මුදලාලිලාගේ ගොදුරක් බවට පත් වූ මහජන සෞඛ්‍ය  ක්‍රමයක් නම්, ජනතාවගේ ජීවිත ප්‍රාණ ඇපයට ගන්නා මගී ප්‍රවාහන සේවාවක් නම්, ගැටලුව ඇත්තේ අරගලයේ ස්වභාවය සහ එහි චේතනාවන් තුළය.  


සමාජ ප්‍රතිසංස්කරණ වලදී සැලසුම්, ක්‍රියා, ප්‍රතික්‍රියා සහ ප්‍රතිවිපාක ගැන ගැඹුරු අවබෝධය වැදගත් වන්නේ මේ නිසාය.  ඒවා ගැන අවබෝධයක් සහ නිවැරදි අරමුණක පිහිටි දැක්මක්  නොමැති නම්, අරාජිකත්වය ප්‍රමෝදය බවට පත්වේ. සමාජ අරාජිකත්වය දැක්මක් නැති නැති වින්දනයක් කර ගැනීමට එම සමාජයේ වෙසෙන පුද්ගලයින් හුරුවීම අතිශය හානිකරය.

අප ජාතියක් ලෙස පසුකරමින් සිටින්නේ ඉතාම තීරණාත්මක මොහොතකි. බරපතළ සමාජ අර්බුද පුරවැසියා සිතීමට පොළඹවන්නේය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයේ ඇති සුභවාදී පැත්ත එයයි. එමඟින් රටේ සාමන්‍යය ජනතාවට රාජ්‍යයේ ව්‍යුහය සහ එය නිවැරදිව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍යය මූලික සාධක ගැන මනා අවබෝධයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබේ.

කාලයක් තිස්සේ අපේ අභ්‍යන්තර අර්බුද සහ ව්‍යාකූලබාවයන් වසා ගැනීම සඳහා බාහිර සතුරන් නිර්මාණය කළ අතර එමඟින් සැබෑ ගැටලුව ජනතාවගෙන් ඈත් කර තැබීමට හැකිවිය. අවසානයේදී වත්මන් අර්බුදය විසින් රටේ සැබෑ ගැටලුව එනම් රාජ්‍යය සංස්ථාව දරාසිටින ව්‍යුහය දිරායාම ජනතාවගේ කරමත වැටී තිබේ.

මෙය ශ්‍රී ලංකාවට ජාතික රාජ්‍යයක් ලෙස යළි ඉපදීමට ලබා දී ඇති ඉතා වටිනා අවස්ථාවකි. මෙහිදී  හැඟීම් වලට වඩා දැනුම සහ සිහිබුද්ධිය අතිශය වැදගත් වන්නේ මේ නිසාය.

අරගලයේ හෙට දවස ලියවිය යුත්තේ මෙම මූලික සන්දර්භය තුළ මිස තරුණ තරුණියන්ගේ ජීවිත බිලිදෙමින් ඔවුන්ගේ හැඟීම් මුදා හැරීම සඳහා අටවා ඇති හැංගි මුත්තන් කරන දේශපාලනඥයින්ගේ වේදිකා මත හෝ අගුපිලි වල නොවේ.  



(මෙම ලිපියේ ප්‍රකාශිත අදහස් ලේඛකයාගේ පෞද්ගලික අදහස්  පමණක් වන අතර ඔහු අනුබද්ධ වෙනත් කිසිදු සංවිධානයක හෝ ආයතනයක නිල ප්‍රතිපත්තිය  පිළිබිඹු නොකරයි.)


(නිලන්ත ඉලංගමුව)
නිදහස් මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 Leader Whats app

  

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58