1200 x 80 DMirror

 
 

ආණ්ඩුක්‍රමය වෙනස් කරන ජනතා ක්‍රමය



ප්‍රවේශය:

මෙදවස වන විට, භාරතීය අර්ධ-මහාද්වීපයේ ජාතික නිදහසට, අවුරුදු හැත්තෑපහක් පිරී ඇත්තේය. ඒ කියන්නේ, වර්තමාන ඉන්දියාව මේ පවත්වන්නේ ස්වකීය නිදහසේ වජ්‍ර ජයන්තිය බවය. භාරතය නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් හැටියට, සුප්‍රකට කිර්ගීස් ජාතික මහා ලේඛක චින්ගීස් අයිතිමාතෝව් විසින් හඳුන්වන ලද ශ්‍රී ලංකාවේ අපට, ඒ දිනුම් කණුව පසු කරන්ට තවත් අවුරුද්දක් ඇත. ඒ අවුරුද්ද ඓතිහාසික වශයෙන් සැබැවින්ම අර්බුදකාරී වසරක් වන ලකුණු මේ වන විට අපගේ දර්ශන පථයෙහි පහළව ඇත්තේය.

ers9jc1 tagore 650 625x300 07 August 20රටක ජාතික නිදහස වූකලී සරල සංකල්පයක් නොවේ. ඒ වූකලී දිගු පුළුලින් යුතු ඉතා ගැඹුරු සංකල්පයකි. රබීන්ද්‍රනාත් තාගෝර් කිවිඳුන් ස්වකීය සුප්‍රකට ගීතාංජලී තිස්පස්වැනි පද්‍යයෙහි සඳහන් කළ පරිදි, ජාතික නිදහස වූකලී 'ස්වර්ග රාජ්‍යයකි'. ඒ සඳහා අපේ මනස බියෙන් තොර විය යුතුය. හිස කෙලින් තබා ගැනීමට හැකි විය යුතුය. ඥානය නිවහල් විය යුතුය. වචන, සත්‍යයේ පතුලින්ම ගලා ආ යුතුය. තර්කානුකූල චින්තනයේ ජල ධාරාව ගතානුගතිකත්වය තුළ සිඳී නොයා යුතුය. පසුනොබසින වීර්යය තිබිය යුතුය. රටක් අවදි විය යුතු වන්නේ, එවන් නිදහසේ ස්වර්ග රාජ්‍යයකට යැයි තාගෝර් කිවිඳු කියා සිටියේය.



රටක ව්‍යවස්ථාදායක නිදහස යනු, එකී ජාතික නිදහසේ අංශුවක් පමණි. එහෙත්, ඒ අංශුව වැදගත් වෙයි. එය පරමාණු අංශුවක් තරමටම බලවත් වන හෙයිනි.

රටක ජාතික ස්වාධීනත්වය, ව්‍යවස්ථාදායක නිදහසම නොවුවත්, ව්‍යවස්ථාදායක නිදහස සෙසු බොහෝ ස්වාධීන ක්‍රියාවලීන්ට මග පාදන බව අපට කිසිසේත්ම අමතක කරනු බැරිය.

විශේෂයෙන්ම, ජාතික නිදහස නැතිව ගිය ජාතියකට, ව්‍යවස්ථාදායක නිදහස යනු, බලවත් වූත්, තීරණාත්මක වූත් සංකල්පයක් වෙයි.

ඒ අරුතින්, අවුරුදු හැත්තෑහතරක් ආපසු හැරී බලන විට, අපට අපගේ ව්‍යවස්ථාදායක නිදහස ලැබුණේ සොල්බරි කොමිසමේ නිර්දේශයක් අනුව බිහි වුණු, 1947 ලංකා නිදහස් පනතින් බව අමතක කරනු බැරිය. ඒ අනුව, 1948 පෙබරවාරි මස 04 වැනි දින අපට ව්‍යවස්ථාදායක නිදහස ලැබුණි.

 

1947 නිදහස් පනතින් අපට ලැබුණේ, 'ඩොමිනියන් තත්වයක්' බවත්, එකී නිදහස් පනත, බ්‍රිතාන්‍ය කිරීටයේ රාජාඥාවක් බවත්, එකී ඊනියා නිදහස් පනත ශ්‍රීමත්  අයිවෝ ජෙනින්ස්ගේ නිර්මාණයක් බවත් දැන් අපගේ ආණ්ඩුක්‍රම ඉතිහාසයට එක් වී ඇති, පිළිගත් කාරණා කිහිපයකි. එදා මෙදාතුර අපගේ ව්‍යවස්ථාදායක නිදහස කෙබඳු වීද? අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙබඳු පරිණාමයකට පත් වීද? මේ වනාහි, මෙසමයෙහි වුව, අපගේ අවධානයට විශේෂයෙන් ලක් විය යුතු කාරණාය.

 

ඇත්තටම, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වුණේ මොකක්ද ?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික හෙවත් මුඛ්‍ය නීතිය වෙයි. එහි ඉතාම සරල තේරුම නම්, එය රටේ ප්‍රධාන නීතිය බවත්, සෙසු නීති එයට යටත් වන බවත්ය.

තවත් වචනවලින් කිවහොත්, රටක නීති සම්පාදනය විය යුතු වන්නේ, රටක මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව සහ එයට අනුකූලවය. ආණ්ඩුක්‍රම  නීතිය යනු  මූලික නීතිය නම්, එහි පැවැත්ම තිරසර වියයුතු බවත්, එහි අරුත නිශ්චිත විය යුතු බවත්, එහි ස්වරූපය ගෞරවාන්විත වියයුතු බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.

එතෙකුදු වුවත්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් මූලික නීතිය එබඳු වීද ?

වසර හැත්තෑහතරක කාලය අතරතුර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක්ම ආවේය.

අප  මේ මොහොතේත් පාලනය වන්නේ එකී තුන්වැනි ව්‍යවස්ථාවෙනි. එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහි වයස මේ වන විට අවුරුදු හතළිස්හතරකි.

ඒ කියන්නේ, මේ රටේ ජනතාව වැඩියෙන්ම ගොදුරු වී සිටියේ 1978 වසරේදී ජේ.ආර්. ජයවර්ධන විසින් ජනතාව මත බලෙන් පටවන ලද එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බවය.

ආණ්ඩුක්‍රමය පැත්තෙන් බලන විට දැන් අප ගෙවන මේ මොහොත අතිශයින්ම තීරණාත්මක වූද, අර්බුදකාරී වූද, අනාගතය කෙරෙහි බරපතළ ප්‍රතිඵල උදා කරන්නා වූද ඉතිහාසයේ ඉතා දුර්ලභ සුවිශේෂ මොහොතකි.

මෙම ලේඛනය සකස් කෙරෙන මේ මොහොතේදීත් ජනාධිපති ලේකම් කාර්යාලය බවට පත්ව ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවුරාගෙන සිටින්නේ, ජනාධිපතිටත් අගමැතිටත් ආණ්ඩුවටත් ,GO යන ඉංගිරිසි විධානයෙන්ම 'පලයව්' කියන 'ඉල්ලා අස්වෙන්නැයි බල කරන' තරුණ ජන රාශියකි. මේ වන විට කිසිදු තරාතිරමක් නොබලාම, මුළු මහත් ජනතාවම ඔවුන්ගේ බහට කන් දෙමින් සිටිති.

image 6887f8b45b

මේ ජන රැස ඉල්ලා සිටින්නේ කුමක්ද? ඔවුන් ඉල්ලා සිටින්නේ සිස්ටම් චේන්ජ් එකකි.

 

මේ ජන රැස ඉල්ලා සිටින්නේ කුමක්ද? ඔවුන් ඉල්ලා සිටින්නේ සිස්ටම් චේන්ජ් එකකි. ඒ කියන්නේ මුළු මහත් දේශපාලන ක්‍රමයම වෙනස් කළ යුතු බවය. ඔළු ගෙඩි නොව, ක්‍රමය වෙනස් කළ යුතු බවය. අනිත් පැත්තට හැරවිය යුතු බවය.  

එසේ කළ යුත්තේ ඇයි? පිළිතුර ඉතා පැහැදිලිය.

එහි සරල තේරුම, ගත වූ අවුරුදු හැත්තෑහතර තුළම අපට ව්‍යවස්ථාදායක ස්ථාවරභාවයත් නොපැවති බවය. ව්‍යවස්ථාදායක ස්ථාවරත්වය නොපැවති ඒ දිගු කාලය තුළ, දේශපාලන ස්ථාවරභාවයක් තිබිණැයි කියන්නේ කෙසේද ?

එකී දේශපාලන ස්ථාවරභාවයේ පෙරගමන්කරුවා වන්නේ ව්‍යවස්දායක ස්ථාවරභාවය බැව් අප විසින් වටහා ගැනීම 'ප්‍රත්‍යක්ෂ කිරීම' ජාතික මට්ටමේ අවශ්‍යතාවක් වී ඇත.

 

ඒ පැත්තෙන් බලන විට, මේ මොහොතේ අප ඉදිරියේ ඇති අභියෝගයේ පැතිකඩ දෙකක් ඇත්තේය. එකක්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාවයි. අනෙක, එමගින් ප්‍රදානය කෙරෙන ව්‍යවස්ථාදායක ස්ථාවරත්වයයි.


මෙම අර්බුදකාරී මොහොතේ ගාලුමුවදොර ගෝඨාගෝගමට එක්රැස්ව කොලහල කරන තරුණ ජනකාය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක අන් කවරක්වත් නොව, එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසයි. ඉතා සරල බසින් ඔවුන් කියා සිටින්නේ, ජේ.ආර්. ජයවර්ධන විසින් ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් ජනතාව මත පටවන ලද, ඉනික්බිතිව රණසිංහ ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග විසින් සුවච කීකරු ලෙස රැකගන්නා ලද, ඉනික්බිතිවද චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ විසින් ජනතා ඇසට වැලි ගසමින් ඊනියා ව්‍යවස්ථාදායක කුඨ උපක්‍රම යොදමින් රහසේත් එළිපිටත් ආරක්ෂා කරන ලද, ඊනියා යහපාලනය විසින් පතුරු දෙක තුනක් පමණක් ඉවත් කරන ලද හැත්තෑඅට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතිහාසයේ කුණු බක්කියට එබිය යුතු බවය.


ඒ වනාහි දේශපාලනය ඇතුළු සකලවිධ භේදයන් අතික්‍රමණය කරන ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක් බව නම්, අප කිසිවකුටත් බැහැර කරනු බැරිය.


ඉතිහාසය:


SIL p19 ලංකාවේ01

දැන් අපි මොහොතකට ඉතිහාසය දෙස ආපසු හැරී බලමු.

නිදහස් ශ්‍රී  ලංකාවේ මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූයේ 1947 ශ්‍රී ලංකා නිදහස් පනතය.

1947 නිදහස් පනත, සෝල්බරි කොමිසමේ නිර්දේශයක් බව කවුරුත් දන්නා කාරණයකි. සෝල්බරි කොමිසම ඒ සඳහා පාදක කරගත්තේ, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 'ඇමතිවරුන්ගේ කෙටුම්පත'ය. සෝල්බරි සාමිට කරන්නට තිබුණේ, ඒ කෙටුම්පත එහෙම පිටින්ම පිළිගැනීම පමණි.

එකී ඊනියා 'ඇමතිවරුන්ගේ කෙටුම්පත' තමාගේම නිර්මාණයක් බව ශ්‍රීමත් අයිවෝ ජෙනින්ග්ස් ස්වකීය ,ඔයැ ක‍දබිඑසඑමඑසදබ දෙ ක‍ැහකදබ,  නමැති ග්‍රන්ථයේ හැඳින්වීමෙහිදී කෙළින්ම කියා සිටියේය.

1948 දී අපට නිදහස ලැබුණේ, එයාකාරයෙනි!

ව්‍යවස්ථාදායක නිදහස කියන්නේ, නීති පනවන්නට ඇති නිදහසය. 1948 පෙබරවාරි 04 වැනිදාට පසුව ඒ නිදහස ජනතාවට ලැබිය යුතු විය. වෙනත් වචනවලින් කිවහොත්, ජනතාවගේ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට ලැබිය යුතු විය.

 

ජනතාව නමැති උල්පතින් බිහිවිය යුතු ව්‍යවස්ථාදායක බලය, 1947 නිදහස් පනතින් අපට ලැබුණේ නැත. අපගේ පාර්ලිමේන්තුව නීති පැනවිය යුතු වූයේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වය.

 

''හැම පනත් කෙටුම්පතකටම මහරජතුමාගේ අනුමැතිය අවශ්‍යවිය''


1947 නිදහස් පනත දෙස යන්තමින් බලන විට වුවද පෙනී යන කාරණා කිහිපයක් තිබුණි.

පළමුවැනිව, නිදහස් පනත බ්‍රිතාන්‍ය මහ රජුගේ නියෝගයක් වීමය. දෙවැනිව, උත්තර මන්ත්‍රීවරුන් සහ නියෝජිත මන්ත්‍රීවරුන් 'බ්‍රිතාන්‍ය වැසියන්' විය යුතු බවය. තෙවනුව,  හැම පනත් කෙටුම්පතකටම මහරජතුමාගේ අනුමැතිය අවශ්‍ය වූ බවය.

''මහරජතුමා එතුමාගේ අනුමැතිය පවරන තුරු කිසිම පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු පනතක් බවට පත් නොවේ''  යයි එකී නිදහස් පනතේ 36 වැනි වගන්තිවේ 1 වැනි උපවගන්තිය කියා සිටියේ එහෙයිනි.

බ්‍රිතාන්‍ය රජය අපට නියෝගයක් හැටියට 'නිදහස් පනතක්' එවුවා පමණක් නොවේ. අපේ පාර්ලිමේන්තුව නීති පැනවිය යුතු ආකාරයද එහිලා නියෝගයක ආකාරයෙන්ම දන්වා සිටියේය.

එවක ආණ්ඩුක්‍රමවේදින් අතර සුප්‍රකට වූ, කුප්‍රකට 29 වැනි වගන්තිය සෝල්බරි ව්‍යවස්ථාවෙහි ඇතුළත් වූයේ, ඒ ආකාරයෙනි.

ඇස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක ඇතුළු රාජ්‍ය නායකයෝ කොතෙකුත් වාද කළහ. නීති විශාරදයෝ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළහ. එහෙත්, කොතරම් සංශෝධනය කළත්, 29 වැනි වගන්තිය ඉවත් කරන්ට බැරි බව පෙනී ගියේය.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පි්‍රවි කවුන්සලයේ වැදගත් නඩු තීන්දුද ආවේය. අල්ලස් කොමසාරිස් එදිරිව බී. රණසිංහ යන රාජාධිකරණයේ අභියාචනා නඩුවේදී පියර්ස් සාමිවරයා ප්‍රධාන පි්‍රවි කවුන්සලය කියා සිටියේ, (සෝල්බරි) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය විශේෂ වරප්‍රසාද සහිත එකක් බවය.

 

1948 දී අපට ලැබී තිබුණේ, පූර්ණ ව්‍යවස්ථාදායක නිදහස නොව, ඩොමිනියන් තත්වය බව අප විසින් පසක් කරන ලද්දේ, බොහෝ කලකට පසුවය. ඩොමිනියන් තත්වයෙන් මිදී ස්වාධිපත්‍යය ලබන්නට නම්,  1947 නිදහස් පනත කුණු බක්කියට දමා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුය යන තීරණයකට එළඹෙන්නට ශතවර්ෂ කාලක් ගත විය.

 

බ්‍රිතාන්‍ය කිරීටයේ හෙවත් මහරජුගේ අනුකම්පාව පිට ඩොමිනියන් තත්වය ලබා වසර විසිපහක් ගෙවුණු තැන, එනම්, 1972 දී, අපි සම්පූර්ණ අරුතින්ම ස්වාධිපත්‍යය ලබාගෙන ජනරජයක් බවට පත් වුණෙමු.

1947 නිදහස් පනතත්, 1972 ජනරජ පනතත් සසඳා බලා කොතෙකුත් සමතා මෙන්ම විසමතාද ඉදිරිපත් කරන්නට පුළුවන.  එහෙත් හරය වශයෙන් බලන විට, සිදු වූ මූලික වෙනසක් ඇත. ඒ අන් කිසිවක් නොව, එදා බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තිබුණු ව්‍යවස්ථාදායක බලය, සම්පූර්ණයෙන්ම ජනතාවට ලැබීමය¦ තවත් වචනවලින් කිවහොත්, 1947 ව්‍යවස්ථාව  බි්‍රතාන්‍ය මහරජුගෙන් බලය ලත් අතර, 1972 ව්‍යවස්ථාව ශී්‍ර ලංකාවේ ජනතාවගෙන් බලය ලැබීමය.
දේශපාලන හා නෛතික යන අරුත් දෙකින්ම බලන විට, 1972 දී අප ජනරජයක් බවට පත් වුණේ, ජනතාව වෙත පරමාධිපත්‍යය ලැබීමේ හේතුවෙනි. ඒ බව එම ව්‍යවස්ථාව පැහැදිලි ස්වරයෙන්ම කියා සිටියේ මේ වචනවලිනි.


''ශ්‍රී ලංකාවේ ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.''

 

ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ, තෝරාපත් කර ගනු ලබන ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික රාජ්‍ය සභාවක් මගිනි. (3 සහ 4 වගන්ති) ජනතාවගේ පරමාධිපත්‍යයට ගැනෙන ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සහ අධිකරණ බලය ජාතික රාජ්‍ය සභාව මගින් ක්‍රියාත්මක වෙතැයිද එකී ව්‍යවස්ථාව කියා සිටියේය. (5 වගන්තිය)

 

1972 ජනරජ ව්‍යවස්ථාවේ වැදගත්ම තැන එතැනය. එනම්, පරමාධිපති බලය ඇත්තේ ජනතාවට බවය¦ ඒ පරමාධිපති බලයට ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතලද ගැනෙන බවය. 1947 පනතින්, 1972 පනත වෙනස් වන්නේත්, ඩොමිනියන් තත්වයෙන් ජනරජ තත්වයට පත්වන්නේත් එතැනිනි.


එහි අනෙක් අරුත කුමක්ද ?


ස්වකීය පරමාධිපත්‍යය තුළ ව්‍යවස්ථාදායක බලය සතු වන ජනතාව, තමන්ගේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පණවන්නට, වෙනස් කරන්නට සහ අහෝසි කරන්නට සමත් වන බවය.

මේ තත්වය තවත් අයුරකින් බලමු.

යට සඳහන් සිය ''කාරණා ජනතාව ඉටු කළ යුතු වූයේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද ජාතික රාජ්‍ය සභාව මගිනි. ජාතික රාජ්‍ය සභාව ලවා ස්වකීය පරමාධිපති බලය ක්‍රියාත්මක කරන්නට අයිතිය ඇති ජනතාවට, ඒ බලතල කෙලින්ම ක්‍රියාවට නගන්නට බැරි මොකද? න්‍යායාත්මකව එසේ කළ හැකි බව, 1972 ව්‍යවස්ථාව පැහැදිලි ලෙසම කියා සිටියි.

1947 සිට පැවතගෙන ආ ඩොමිනියන් තත්වයේ ආණ්ඩුක්‍රමය වෙනස් කරන ලද්දේ, 1972 මැයි 22 වැනිදා සුබ මොහොතින් පනවන ලද ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. එදවස, ඩොමිනියන් ආණ්ඩුක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලකයන් මෙන්ම ජනතාවද ඉතා පුළුල් දීර්ඝ සාකච්ඡාවක් කළ බව දැන් අපි අමතක කර ඇත්තෙමු.

916yydTZ9Q8OTrbA 1

සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක

 

1970 මහ මැතිවරණය තරග කළ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ආණ්ඩුක්‍රමය වෙනස් කිරීමේ ජනතා වුවමනාව ඉතා පැහැදිලි ආකාරයෙන්ම ජනතාව ඉදිරියේ තැබූ බව, අප විසින් අමතක නොකළ යුතු වැදගත් ඓතිහාසික සිද්ධියකි.

 

ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවගේ වරමක් ඉල්ලා සිටි එකී සමගි පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශනයෙහි ලා, අනෙක් වැදගත් ඉල්ලීමක්ද කෙළේය. ඉන් කියවුණේ, තමනට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක සාමාජිකයන් හැටියට කටයුතු කිරීමේ වරමද ලබාදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

ඒ අනුව බලන විට, 1970 දී යටකී සමගි පෙරමුණ බලයට පත් කළ ජනතාව, තමන්ගේ ආණ්ඩුවක් මෙන්ම, තමන්ගේ ආණ්ඩුක්‍රමය වෙනස් කරන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්ද, පත් කළහ. එහි අනෙක් තේරුම වනුයේ, ආණ්ඩුක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාවලියටද ජනතාව ස්වාමිවරුන් හැටියට කෙළින්ම සහභාගි වූ බවය.

1970 දී පිහිටුවන ලද සමගි පෙරමුණු ආණ්ඩුවද, ඒ ජනතා වරම අනුව කටයුතු කෙළේය. ඒ අනුව ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියටද රැස්වී ආණ්ඩුක්‍රම කෙටුම්පතක් සම්පාදනය කිරීමෙහි නියැළුණි. එකී කාරණය විශේෂ කොට දැක්වීමට මෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හැටියට ඔව්හු පැරණි පාර්ලිමේන්තුවේ නොව, කොළඹ නව රඟහලේදී රැස්වී කටයුතු කිරීමට තරම් උනන්දු වූහ.


ජන වරමක් නැති විධායක ජනාධිපති ක්‍රමය

 

අද අපේ රටේ බොහෝ ආණ්ඩුක්‍රම පණ්ඩිතයන් විසින් අමතක කරනු ලබන්නාවූත්, මතක් වූ විට පවා සුළු කොට තකන්නාවූත් මෙම ජනසම්මතවාදී ක්‍රියා පිළිවෙළ, අපගේ මතකයට කැඳවන්නට සුදුසුතම අවස්ථාව මේ යැයි මම විශ්වාස කරමි.

 

දැනට අප යටත්ව සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් 78 ව්‍යවස්ථාව අනුමත කිරීමේදී එබඳු ක්‍රියාපටිපාටියක්, එයට මූලික වූ එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක කාරකාදින් විසින් අනුගමනය කරන ලද්දේදැයි කිව හැකිද?

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනිත වූ ආණ්ඩුක්‍රමය අතිශයින්ම වෙනස් වූද, ජනතාවට නුහුරු වූද ආණ්ඩුක්‍රමයකි. එමගින් විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක්ද බිහිකොට ඇත්තේය. එහි බිහිසුණූ දුර්විපාක සියල්ල අපි දැන් අත්දකිමින්, අත්විඳිමින් සිටිමු. දැන් අප ගැලවෙන්නට වැර දරන්නේ එකී දුෂ්ට විධායක ජනාධිපති ක්‍රමයෙනි.

 

ඒ පිළිබඳව මෙතෙක් නැගුණු අතිශයින්ම ප්‍රබල වූද, සැබැවින්ම විශ්වසනීය වූද, යථාර්ථවත් උද්ඝෝෂණය කරනු ලබන්නේ මේ මොහොතේ ගාළුමුවදොර කොලහල කරන බුද්ධිමත් තරුණ ජනකාය විසිනි.

 

1978 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයේ මුල්ම වරද නම්, කලින්ද සඳහන් කළ ආකාරයට එහි උපතේම වරදය. එවන් ආණ්ඩුක්‍රමයක අවශ්‍යතාව ගැන ජනතාව විසින් හෝ රටේ ප්‍රබුද්ධ දේශපාලකයන් විසින් හෝ කරන ලද අර්ථවත් පුළුල් සාකච්ඡාවක් අපගේ මෑතකාලීන ආණ්ඩුක්‍රම ඉතිහාසයේ කිසිම තැනක සටහන් වී නැත. පළමු කාරණය එයයි.

දෙවනුව, එකී ආණ්ඩුක්‍රමයේ කෙටුම්පත හෝ මූලිකාංග හෝ මොනවාදැයි නිසි ලෙස ජනතාවට දැනුම් දුන්නේද නැත. තමන් වෙත පටවනු ලබන ආණ්ඩුක්‍රමය කුමක්දැයි ජනතාව කිසිසේත්ම දැන සිටියේ නැත.

තුන්වෙනුව, එකී ආණ්ඩුක්‍රමය සම්පාදනය කිරීම සඳහා වෙනම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට ජනතා නියෝජිතවරුන් කටයුතු කෙළේද නැත.

 

77 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, පාර්ලිමේන්තුව තුළ හිඳගෙනම, අලුත් ව්‍යවස්ථාවක් අනුමත කොට එය ජනතාව මත බලෙන් පැටවූවා පමණි. එහෙත් තමන් හිස මත කඩා වැටුණු මෙම 'ආණ්ඩුක්‍රම විපත්තිය' කුමක්දැයි ජනතාව සිහිනයකින්වත් දැන සිටියේ නැත.

 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා සම්මත කිරීමේ ක්‍රියා පටිපාටිය 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තියේ සඳහන් කර තිබුණු බව සැබෑය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සම්මත කරන ලද 78 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය, නීතියට එකඟ යැයි තර්ක කරන්නට කෙනකුට බැරි කමක්ද නැත.

එහෙත් රටක පාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම, නීතියට එකඟවීමෙන් පමණක් සම්පූර්ණ වන දේශපාලන ක්‍රියාවලියක් නොවේ. එය දේශපාලන සහ ආණ්ඩුක්‍රම සදාචාරයටද එකඟ විය යුතුය.

මෙහිලා අපගේ අවධානය වඩාත්ම යොමු විය යුත්තේ එම කාරණය කෙරෙහිය.

විධායක ජනාධිපතිවරයකුගේ හෝ එවන් ක්‍රමයක හෝ අවශ්‍යතාව ජනතාවට ඒත්තු ගන්වන්නට එවක එක්සත් ජාතික පක්ෂය මොනම ආකාරයේවත් වෑයමක් කළේ නැත. එසේම තමන් වෙත ලැඛෙන ආණ්ඩුක්‍රමය කුමක්දැයි ජනතාව දැනුවත්ව සිටියේද නැත.

සිදු වූ එකම දෙය, 1977 ජූලි මාසයේදී අගමැති වශයෙන් බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන, 1978 අගෝස්තු 31 වැනිදා නව ව්‍යවස්ථාවක් මගින් විධායක ජනාධිපතිවරයකු බවට පත්වීමය. නීතිය පැත්තෙන් මෙම සිද්ධිය නිවැරදි වන්නට පුළුවන. එහෙත් ආණ්ඩුක්‍රම සදාචාරය පැත්තෙන් එය සැලකිය යුතු වන්නේ, අවජාතක දරුවකු හොර රහසේ ප්‍රසූත කිරීමක් හැටියට පමණි.

Lzx4rB37OkrbCT7f 5

ජේ.ආර්. ජයවර්ධන : ජනතාව මත බලෙන් පටවන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ

 

අප රටේ ජනතාව විෂයයෙහි විධායක ජනාධිපති ක්‍රමයක් පටවන ලද්දේ එබඳු ආණ්ඩුක්‍රම සදාචාරයට පටහැනි වක්‍ර වූ කුටිල මාර්ගයකින් බැව් අප විසින් කිසිසේත්ම අමතක කළ යුතු නොවේ.

රටේ මුළු මහත් ආණ්ඩුක්‍රම රටාවම 'විධායක ව්‍යුහයම' වෙනස් කෙරෙන වර්තමාන ආණ්ඩුක්‍රමය බිහි වූ ඒ ආකාරය ගැන සිතන විට, කිව යුතු ඉතා පැහැදිලි මූලික කාරණය නම්, විධායක ජනාධිපති ක්‍රමයට මේ රටේ ජනතාව සිය කැමැත්තෙන්ම ඍජු ලෙස වරමක් දී නැති බවය.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන ලද කාලයේ ආණ්ඩුවේ බලධාරින්ගේම ආශීර්වාදය ඇතිව රටේ පැවති බිහිසුණු මර්දනකාරී තත්වයද, ඒ ආසන්නයෙහි හටගැනීමට සලස්වන ලද ජාතිවාදි කෝලහල හේතුකොටගෙන පණවන ලද හදිසි නීතියද, බලයට පත්වූ ආණ්ඩුවේ නොනිල හමුදාවන් විසින් ජනතාව විෂයයෙහි ඇති කරන ලද දාමරික බලපෑමද යන පසුබිම මත, පනවන්නට යන  අලුත් ආණ්ඩුක්‍රමය ගැන කටක් ඇර කතා කළ හැකි තත්වයක් මේ රට් ජනතාවට පමණක් නොව බුද්ධිමතුන්ට හා සෙසු ජනනායකයන්ට පවා නොලැබුණු වග සැලකිල්ලට ගන්නා විට, විධායක ජනාධිපති ක්‍රමය බලයට පත් ආණ්ඩුවේ ආධිපත්‍යය  විසින් ජනතාව මත බලෙන් පටවන ලද්දක් බැව් නොකියාම බැරිය.

සැබෑ දේශපාලන හා ජනසම්මතවාදී අරුතකින්ද, ආණ්ඩුක්‍රම සදාචාරය පිලිබඳ හැඟීමෙන් විමසා බලන විට, විධායක ජනාධිපති ක්‍රමයට ඍජු පැහැදිලි ජනතා වරමක් කිසිවිටක ලැබුණු බවත්, කිසිසේත්ම කිව හැකි නොවේ.

 

1982 ඔක්තෝබර මස 20 වැනි දින පවත්වන ලද ජනාධිපති මැතිවරණයේදී, ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපතිවරයකු වශයෙන් තෝරා ගන්නා ලද බව පැහැදිලි කාරණයකි. ඒ අනුව, විධායක ජනාධිපති ක්‍රමයට ජනතාවගේ සම්මුතිය ලැබිණැයි කෙනෙකුට නීතිය පැත්තෙන් තර්කයක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් එයද ආණ්ඩුක්‍රම සදාචාරය හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බලන විට පරම මිථ්‍යාවකි.

 

එහිදී ජනතාව විසින් කරන ලද්දේ තමන් මත බලෙන් පටවන ලද විධායක ජනාධිපතිවරයකුට පක්ෂව ඡන්දය දීම පමණකි. ඒ වූකලී දේශපාලන ක්‍රමයක් හැටියට, විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් අනුමත කිරීමක් නොවේ. මන්ද යත්, එකී මැතිවරණයේදී තමාට ඡන්දය දෙන්නැයි ජයවර්ධන මහතා ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියා මිස, විධායක ජනාධිපති ක්‍රමයේ පාලන තන්ත්‍රයකට ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටියා නොවේ.

එබැවින් එකී අවස්ථාවේදීද විධායක ජනධිපති ක්‍රමය ජනතාවගෙන් වසන් කරලීමට වෑයම් කරන ලද බැව් අප විසින් අමතක කළ යුතු නැත.

ඒ සියල්ල ආණ්ඩුක්‍රම ක්‍රියාදාමය පැත්තෙනි.

 

එහෙත්, 82 ජනාධිපතිවරණය පැවැත්වුණු අවදියේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විෂයයෙහි සිදු වූ අනෙක් කරුණ, මේ වන විට අපි අමතක කර ඇත්තතෙමු. එකී මැතිවරණයේදී ජයවර්ධන මහතාගේ ප්‍රබල ප්‍රතිවාදිනියව සිටිය හැකි වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කොට තිබුණි. එසේ කරන ලද්දේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුප්‍රකට 81 වැනි වගන්තියේ පනවා තිබුණු විධිවිධානවලට අනුකූලවය.

 

ප්‍රජා අශක්නුතාව හෙවත් කෙනෙකුගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීම පිලිබඳ එකී ප්‍රතිපාදනය, ජනතාවගේ දෝෂ දර්ශනයට භාජනය වූ කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

77 මහ මැතිවරණයේදී ජනතාව විසින් සිය වරමින් පත්කර ගන්නා ලද නියෝජිතවරියක වූ බණ්ඩාරනායක මැතිනිය, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවෙන් පළවා හරින ලද අතර, එතුමියගේ ප්‍රජා අයිතිවාසිකම්ද, අහිමි කෙරිණි.

 මේ වූකලී, 72 සහ 78 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක්හිම සඳහන් වන ජනතා පරමාධිපත්‍යය හාස්‍යයට ලක්කිරීමක් බැව්, පහළ පන්තියක සමාජ අධ්‍යයනය ඉගෙනගන්නා දරුවකුට වුවත් වැටහෙන පුංචි කාරණයකි.

82 ජනාධිපති මැතිවරණය පවත්වන ලද්දේ එබඳු පරිසරයක බැව් සලකන විට, ඒ මැතිවරණය විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව ජනතාවට සිය වරම දිය හැකි වූ අවස්ථාවකැයි සලකන්නට පුළුවන්කමක්  නැත. විධායක ජනාධිපති ක්‍රමයේ උත්පත්ති දෝෂය භංග කරන තොවිලයක් හැටියට, 82 ජනාධිතිවරණය පිළිගත හැක්කේ දේශපාලන මිථ්‍යාදෘෂ්ටිකයකුට පමණි!

විධායක ජනාධිපති ක්‍රමයේ සහජ දුර්වලතා වෙනත් අවස්ථාවකදී විමසා බැලිය යුතු කාරණයකි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ඉතිහාසයේ කුණුබක්කියට විසිකිරීමට, මුලින් සඳහන් කළ උත්පත්ති දෝෂය හෙවත් ජාතකයේ වරදම වුණත් ප්‍රමාණවත් නොවන්නේදැයි සිතා බැලීම විචාරවත් පාඨකයාගේ කාරියකි.

 

එසේ හෙයින්, අද අප ඉදිරියේ ඇති ප්‍රධානතම ජාතික හා නෛතික කාර්යභාරය වී ඇත්තේ, සැබෑ ජනවරමකින් තොරව, දේශපාලන සදාචාරයේ මූලිකම පිළිගැනීම් සියල්ලටම පටහැනිව බිහිවුණු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමය. ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම පනතක් සම්මත කර ගැනීමය.

 

එය කරන්නේ කෙසේද ?


ක්‍රම දෙකක් ඇත.

එකක් වනුයේ, පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ගේ කැමැත්තෙන්, 78 ව්‍යවස්ථාවේම දක්වා ඇති විධිවිධාන අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක්ද, ජනමත විචාරණයකින් ලැඛෙන අනුමැතියක්ද අවශ්‍යය. ඒ වූ කලී, 78 ව්‍යවස්ථාවේම ඇති විධිවිධානයන්ට සුවචව, කීකරුව නව ආණ්ඩුක්‍රම පනතක් සම්මත කරගැනීමේ ක්‍රියා මාර්ගයයි.

දේශපාලන පක්ෂ ක්‍රමය මුල් ඇදගෙන ඇති වර්තමානයෙහි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් සම්මත කිරීමේදී එකී ක්‍රියාමාර්ගය අසීරු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එහෙත් මෙතැන්හිදී අප අමතක කළ යුතු නැති කාරණා දෙකක් ඇත.



# පළමුවැන්න, නිසි ජනවරමක් නොමැතිව, අනුමත කරන ලද ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇති විධිවිධානවලට කීකරුවන්ට ජනතාවට ඇති හේතු යුක්තිය කුමක්ද යන්නය.


# දෙවැනි කාරණය, වර්තමාන මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගැනීම දුර්ගම කටයුත්තක් බවට පත්කරන්නට හේතුකාරක වූ ආණ්ඩුක්‍රම පනතක තිරිංගවලට යටත් වන්නට ජනතාවට ඇති හේතුයුක්ති  කවරේද යන්නය.




1994 දී පැවැත්වුණු මහ මැතිවරණය, 1977 මැතිවරණය පැවැත්වූ ක්‍රමයට පැවැත්වුණේ නම්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත වන්නේ තුනෙන් දෙකක ඡන්දයෙන් නොව, ඇතැම් විට, පාර්ලිමේන්තුවේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් හතරෙන් තුනකටත් වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. එසේ විණි නම්, 78 ව්‍යවස්ථාවට ඉතා කීකරුව වුවද, නව පනතක් සම්මත කිරීම ප්‍රශ්නයක් නොවන්නට තිබිණි.

අවාසනාවකට මෙන්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි ජනවරමකින් අනුමත නොවීයැයි කියන ඇතැම් දේශපාලන පක්ෂද අද කියා සිටින්නේ, නව ආණ්ඩුක්‍රම පනතද, හැත්තෑඅට ව්‍යවස්ථාව යටතේම සම්මත කළ යුතු බවය. මෙම පිළිවෙත දේශපාලන කුහකත්වය හැටියට හැරෙන්නට වෙනත් යෙදුමකින් හඳුන්වනු  අසීරුය.


ජනතා ක්‍රමය

 

Screen Shot 2018 07 29 at 6.58.47 PM 1200x550

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ පළමු ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමය නම්, එහි දෙවැනි ක්‍රමය ජනතා ක්‍රමයයි. තවත් වචනවලින් කිවහොත්, ඒ කටයුත්ත පාර්ලිමේන්තුව නොකරන්නේ නම්, එය ජනතාවට කළ හැකි බවය.

 

ඇත්තටම, ජනතාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නට බැරිද ?

අද අප විසින් නැගිය යුතු වැදගත්ම ප්‍රශ්නය එයයි.

ජනතාව සම්මත කරන ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම විරෝධී වනු ඇත්ද ?

අප විසින් පිළිතුරු සොයා බැලිය යුත්තේ එකී ප්‍රශ්නයටය.

1972 දී, ශ්‍රී ලංකාව ජනරජයක් වන අවස්ථාවේදී ජනතාව එදා ජාතික රාජ්‍ය සභාවට පවරා දුන්නේ, තමන් සතු වන පරමාධිපති බලයෙන් කොටසක් වන ව්‍යවස්ථාදායක බලයයි. (කොතරම් වැරදි මඟකින් ආවත්) 1978 ව්‍යවස්ථාවද කියා සිටින්නේ, ජනතාව තමන් සතු ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට දී ඇති බවය. (එකී  ව්‍යවස්ථාදායක බලය 'ජනමත විචාරණයකදී ජනතාව විසින්ද' ක්‍රියාත්මක කළ යුතු බව 78 ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ 'අ'උප වගන්තියේ ප්‍රකාශ කර සිටීම වෙනමම කරුණකි.)


එකී විග්‍රහය අනුව පෙනී යන කාරණා කිහිපයක් ඇත.


(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක උල්පත ජනතාවය.

(ආ) පාර්ලිමේන්තුව ලවා ක්‍රියාත්මක කරවන, ආණ්ඩුක්‍රම පනතක් හැදීමේ බලයද ඇතුළත් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවට නගන්නට ජනතාවට න්‍යායාත්මක අයිතියක් ඇත.

(ඇ) එපරිදි ජනතාව ව්‍යවස්ථාවක් අනුමත කරන්නට ක්‍රියාත්මක වීම, 72 සහ 78 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ.

(ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කිරීමට තමන් සතු වන බලය ක්‍රියාවට නගන්නට පාර්ලිමේන්තුව බාධාවක් නම්, ඒ බාධාව නොසලකා, පාර්ලිමේන්තුව අතික්‍රමණය කරමින් ක්‍රියා කරන්නට ජනතාවට බලයක් ඇත.

(ඉ) ජනතාවගේ එවන් ක්‍රියා මාර්ගයක් වළකාලන්නට 72 ව්‍යවස්ථාව තුළ මෙන්ම, වර්තමාන 78 ව්‍යවස්ථාව තුළද ඉඩක් ඇත්තේ නැත.

 

මේ සියළු තත්වයන් මත මග පාදන්නේ කුමකටද ? ජනමත විචාරණයක් මගින්, ජනතාව කැමති නම්, තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කළ හැකි බවය. එය ව්‍යවස්ථා විරෝධී යැයි කියන්නේ කෙසේද ? මෙහිදී අමතක නොකළ යුතු තවත් කාරණයක් ඇත. නව ආණ්ඩුක්‍රම පනතක් සම්මත  කිරීම, පවත්නා ව්‍යවස්ථාව අනුවම කළ යුතුද යන්නය.

 

ඇත්තටම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම යනු, පවත්නා ව්‍යවස්ථාවට පටහැනි වීමක් නොවේද ? එයට පිටින් ගන්නා ක්‍රියාමාර්ගයක් නොවේද ?
මේ සම්බන්ධයෙන් හොඳම නිදසුන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

එම ව්‍යවස්ථාව අනුමත කෙළේ, 1947 නිදහස් පනතට පරිබාහිර වූ ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් නොවේද? 72 ව්‍යවස්ථාව බිහි වුණේ 47 නිදහස් පනත තුළින් නොවේ. ඒ  අනුවද නොවේ. එයට පරිබාහිරවය.

 

නව ආණ්ඩුක්‍රම පනතක් යනු පවත්නා ව්‍යවස්ථාවට කීකරුවීමක් නොව, ජනතාවගේ නව නිර්මාණයකි. ඒ බව අමතක කිරීම අනුවණකමක් පමණි.

 

image df3a6a05c6

ව්‍යවස්ථාව තුළ සිටගෙන නොව ව්‍යවස්ථාව පිටත සිටගෙන කරන සටනක්..

 

මේ සම්බන්ධයෙන් මේ මොහොතේ දේශ ව්‍යාප්තව පැන නැගී ඇති තරුණ කැරැල්ලෙහි අරුත නිවැරදි ලෙස තේරුම්ගැනීම, ජේ.ආර්. ජයවර්ධනගේ කාලකණ්ණි ව්‍යවස්ථාවෙන් අවුරුදු හතළිස්හතරක් පීඩනයට පත් වුණු, දුර්දාන්ත රාජපක්ෂ චෞර පවුල් පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් හිඟමනට වැටී සිටින මුළු මහත් ජනතාවගේම වගකීමකි.

ජනාධිපතිත් අගමැතිත් ඔවුන්ගේ ආණ්ඩුවත් පලවා හැරීම සඳහා මේ තරුණ ජනතාව සටන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඡේද සහ අනුඡේද පෙරළාගෙන නොවෙයි. ඔවුන්ගේ මේ සටන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද විරුද්ධ එයට අභියෝග කරන එය අබිභවන සටනකි.

ඒ සටන ව්‍යවස්ථාව තුළ සිටගෙන නොව ව්‍යවස්ථාව පිටත සිටගෙන කරන සටනකි. එවන් සටනකින් වුණත් තමන්ගේ ඊනියා මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ හැකි බැව් මෙම තරුණ ජනතාව අපට කියා නොදෙන්නේද? ඔවුන්ගේ එම අපේක්ෂාව ඉටු වුණොත් ඉටු වන්නේ ව්‍යවස්ථාවට පිටිනි.

එසේ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන ව්‍යවස්ථා අනුගත ක්‍රමය තරම්ම, ඇතැම් විට ඊටත් වඩා බලවත් ජනතා ක්‍රමයක් ඇති බැව් නොපෙනේද?
මෙතැන්හිදීම කිවයුතු අනෙක් කාරණයක් ඇත්තේය. ඒ සඳහා ජේ.ආර්. ජයවර්ධන විසින් අප වෙත පටවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එදවස සැබෑම 'සිස්ටම් චේන්ජ්' එකක් විය.

ඒ සිස්ටම් චේන්ජ් එකට ජේ.ආර්. ජයවර්ධන එදවස ජනතාව දැනුවත් කෙළේද නැත. සවිඥානකව ජන වරමක් ලබා ගත්තේද නැත. ඒ සඳහා මොනම ආකාරයේවත් ජනමත විචාරණයක් කෙළේද නැත.

 

එසේ නම් ජේ.ආර්. ජයවර්ධනගේ හැත්තෑඅට ව්‍යස්ථාව කුණු බක්කියට දමන්ට ජනමත විචාරණ පැවැත්විය යුත්තේ මොන එහෙකටද? ඒ උදෙසා මහ මැතිවරණයකදී ලබාගන්නා ජනතා අනුමැතිය ප්‍රමාණවත් නොවන්නේද? අවශ්‍යම නම්, මැතිවරණයකට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ බහුතරයක් විසින් නව ව්‍යවස්ථාවක මූලිකාංග ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල සඳහන් කිරීම ප්‍රමාණවත් නොවන්නේද?

 

ගාළුමුවදොර කොලහල කරන තරුණ ජනතාව මුළු මහත් ජනතාවටම මේ මොහොතෙහි උගන්වමින් සිටින්නේ ඉතා සරල ව්‍යවස්ථා පාඩමකි. ඒ කියන්නේ, මේ ආණ්ඩුක්‍රමය කුණු බක්කියට දමන්ට ව්‍යවස්ථා අනුගත ක්‍රමයක් වෙනුවට ජනතා ක්‍රමයක්ද ඇති බවය.

ජේ.ආර්. ජයවර්ධන රටට දායාද කළ මහා බලසම්පන්න විධායක ජනාධිපති ක්‍රමය විසින් මේ වන විට බිහි කර ඇත්තේ, කිසිවක් කර කියා ගත නොහැකි දේශපාලන රූකඩයක් වන ජනාධිපතියකු පමණි. ඔහු පෝෂණය කරනු ලබන්නේ තුන්වැනි හතරවැනි පෙළේ විගඩම්කාර දේශපාලක ගැන්සියක් විසින් පමණි.

මෙම ගෝත කරුමය අවසන් කරන්නට ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථා විරෝධී ඊනියා ආණ්ඩුක්‍රම පනතේ තිරිංගවලට හිර වී සිටීම සනීපදායක කටයුත්තක් නම්, ආණ්ඩුක්‍රම පණ්ඩිතයන්ට එසේ කළ හැක්කේය!

 එහෙත් රටේ ජනතාව ඔවුන්ගේ විගඩම් ආණ්ඩුක්‍රම නීතිවේදී දේශනවලට සවන් දෙන්නට සූදානමක් නැති බැව්, ගෝඨාගෝගම කොලහල කරන තරුණයෝ අපට කියා නොදෙත්ද?


abesinghe(ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ)
2022 මැයි 17

(Abeysinghe Wijesinghe Arachchilage ගේ ෆේස්බුක් පිටුවෙන්..)




 

Leader Whats app

  

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58