පෝලිම් නූතන ශ්‍රී ලංකික ජනතාවගේ දෛනික දින චර්යාවේ කොටසක් බවට පත්ව තිබේ. පෙට්‍රල් පෝලිම්, ඩීසල් පෝලිම්, භූමිතෙල් පෝලිම්, ගෑස්

පෝලිම්වල නිමක් නැත.

ඉන්ධන නෞකා පැමිණීම පිළිබඳව හා ඉන්ධන බෙදා හැරීම පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිරන්තරයෙන් ට්විටර් පණිවිඩ නිකුත්කළ ද ඉන්ධන පෝලිම්වල අඩුවක් දක්නට නැත.

මේ පෝලිම් අවසන් වන්නේ කවදා ද? පෝලිම්වලට හේතුව නීති විරෝධීව ඉන්ධන රැස්කර වැඩි මිලට විකිණීම ද?


ඉන්ධන ජාවාරම්කරුවන් සොයා වැටලීම්:


නිසි බලපත්‍රයක් නොමැතිව වැඩි මිලට ඉන්ධන අලෙවි කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැටලීම් සිදුකරමින් සිටිතැ යි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ දිවයින පුරා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මඟින් ඉන්ධනහල් වෙත ලබාදෙන ඉන්ධන ඇතැම් පුද්ගලයින් විසින් විවිධාකාර ක්‍රම හරහා එක්රැස් කරමින් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් සිදුකිරීම පිළිබඳව පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇති බව යි.

පසුගිය කාලය තුළ ඒ සම්බන්ධව පොලිසිය දිවයින පුරා වැටලීම් 429ක් ක්‍රියාත්මක කර ඇත. වැටලීම්වලින් සැකකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරම්කරුවන් සඟවා තබා තිබී සොයාගන්නා ලද පෙට්‍රල් ලීටර් 27,000කට ආසන්න තොගයක්, ඩීසල් ලීටර් 22,000කට ආසන්න තොගයක් හා භූමිතෙල් ලීටර් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

nabs

මෙලෙස වංචනික ආකාරයට ඉන්ධන රැස්කර ගනිමින් වැඩි මිලට අලෙවි කරමින් ජාවාරම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් 118, 119 හා 1997 කෙටි දුරකථන අංක මඟින් තොරතුරු ලබාදීමට මහජනතාවට හැකි බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

තවද මෙම ඉන්ධනවලට විවිධ ද්‍රව්‍ය කලවම්කොට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැ යි පොලීසිය සඳහන් කළේ ය.

බුද්ධි අංශ නිලධාරීන් ද සමග පොලීසිය මේ සම්බන්ධව වැටලීම් ක්‍රියාත්මක කරන බවට පවසන පොලීසිය සඳහන් කරන්නේ නීතිවිරෝධීව ඉන්ධන එක්රැස් කරන නිවෙස්වල ගබඩා කිරීම අනතුරුදායක විය හැක බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, සුළු අත්වැරදීමක් හේතුවෙන් ඉන්ධන ගබඩාකර තබා ගන්නා පුද්ගලයින්ගේ නිවෙස්වලටත්, අසල්වැසි නිවෙස්වල පුද්ගලයින්ටත් අනතුරු සිදුවිය හැකි බව යි.

මේ හේතුවෙන් ඉන්ධන ගබඩා කිරීමෙන් වළකින ලෙස පොලිසිය සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ද තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

kanchana

එවැනි ජාවාරම් දිරිමත් නොකරන ලෙසත්, ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"ව්‍යාපාරයක් ලෙස ඉන්ධන එකරාශි කරනවා. විශාල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. කොතරම් නෞකා ගෙනාවත් ඉන්ධන එකතු කිරීමේ කටයුත්ත බැහැර වෙන්නේ නැතිනම් මේ කටයුත්ත සිදුකරන්න බැහැ. මේ නිසා තමා බූලිවලට සහ කෑන්වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කළේ."

"කෘෂි කාර්මික හා ධීවර ප්‍රජාවට සහනයක් ලබාදී තියෙනවා," අමාත්‍යවරයා පැවසුවේ ය.


ඉන්ධන පිරවුම්හල් අසල ප්‍රචණ්ඩක්‍රියා:


කැකිරාව, රණජයපුර ප්‍රදේශයේ පිහිටි ලංකා IOC ඉන්ධන පිරවුම්හල හිමිකාර ව්‍යපාරිකයෙකුගේ දෙමහල් නිවසට මැයි 21 දා රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා විනාශකර ඇතැ යි ඉපලෝගම පොලිසිය පැවසීය.

රාත්‍රී විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර, ඒ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ බිරිද සහ දරුවන් දෙදෙනා බව පොලිසිය පවසයි.

සිද්ධිය සැලවීමත් සමග අසල්වැසි ගම්වාසීන් හා ඉපලෝගම පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දමා නිවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර ඇත. ගින්න හේතුවෙන් එම දෙමහල් නිවසට හා දේපළවලට බරපතළ හානි සිදුව තිබේ.

දරුවන්ගේ පාසැල් පොත්පත් ද ගින්නෙන් විනාශ වී ඇති අතර, ඒ අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුවියක් ද වෙයි.

මැයි 21 දා විශාල පිරිසක් රණජයපුර ප්‍රදේශයේ පිහිටි ලංකා IOC ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණ තිබූ අතර පිරවුම්හලේ ඉන්ධන අවසන්වීම හේතුවෙන් පෝලිමේ සිටි ඇතැම් පිරිසකට ඉන්ධන ලබාදීමට නොහැකිව ඇති බවත්, ඉන් ප්‍රකෝපයටපත් පිරිසක් එම පිරවුම්හල් හිමියාගේ නිවසට මෙලෙස ගිනි තබන්නට ඇතැ යි සැකකරන බවත් පොලීසිය ප්‍රකාශ කළේ ය.

මේ අතර විවිධ කණ්ඩායම්වල විරෝධතා සහ නොසන්සුන්කාරී හැසිරීම් හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා ඇති බව ඛනිජ තෙල් අලෙවි නියෝජිතයින්ගේ සංගමය නිවේදනය කළේ ය.


ඉන්ධන සැපයුම්කරුවන්ට ආරාධනයක්


අඩු මිලගණන් යටතේ ඛණිජ තෙල් නිෂ්පාදන සැපයිය හැකි, සහ හැකි හොඳම මිල ගණන් ඇති ඕනෑම අයෙකුට ඒවා ඇගයීම සඳහා බලශක්ති අමාත්‍යාංශයට හෝ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලීමක් කළේ ය.

පැය 48කින් එම ඇගයීම ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේ ය.

ඛනිජ තෙල් නිෂ්පාදන සැපයිය හැකි ඕනෑම අයෙකුට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සති තුනකට පෙර දැන්වීමක් පළකර ඇත.

මේ වන විට එවැනි යෝජනා 67ක් ලැබී ඇති අතර සියල්ල තාක්ෂණික කමිටුව විසින් ඇගයීමට ලක්ව ඇතිබව පැවසේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ඒ අතුරින් 39ක් කෙටි ලැයිස්තුගතකර, ඔවුන් සමග සාකච්ඡා කළ බව යි.

මීට අමතරව ජනාධිපතිවරයා, අගමැතිවරයා, සහ සෞඛ්‍ය අමාත්‍යවරයා තෙල් නිපදවන රටවලින් ඔවුන්ගේ සහයෝගය සහ ණය ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැ යි ද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.




(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates