ක්‍රමයේ ගැඹුරු හා යහපත් වෙනසක් සඳහා "මහජන සහභාගි" ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා දොරටු විවෘත කිරීමට ජනාධිපති හා අගමැති තීරණය

කිරීම තරුණ නැගිටීමේ දැන් ඇති වන්නට තිබෙන ලොකුම විප්ලවය ලෙස සැළකිය හැකිය.

තරුණ නැගිටීමේ රශ්මිය ඉහළ යමින් තිබුන අවස්ථාවක ජනාධිපතිවරයා කල්පනා කරන විදිය දැන ගැනීමේ ලොකු කුතුහලයක් මා තුළ ඇති වී තිබුණි. ඔහු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ගැන හිතන්නේ කෙසේද? ප්‍රතිසංස්කරණ වැඩසටහනකට ඔහු කැමතිද? කැමති නම් එයට දොරටු විවෘත කිරීමට ඔහු සූදානම් ද? එහිදී ඔහු කවර දුරක් යන්න සූදානම් ද? යන්න දැන ගැනීමේ කුහුලක් මා තුළ ඇතිව තිබුණි.

ඒ සඳහා මා හැමදාමත් කථාකරන ප්‍රධාන ප්‍රතිසංස්කරණ ඇතුළත්වන ලෙස ලියවිල්ලක් සකස් කොට එය ජනාධිපති වෙත යවන අතර ඒ සඳහා වන සාකච්ඡාවක් ලබා දෙන ලෙස ජනාධිපති හොඳින් දන්නා හඳුනන වැවිලිකරුවකු මගින් ඉල්ලා සිටියෙමි.

එම යෝජනා වලියේ පළමු ඉල්ලීම වී තිබුණේ ප්‍රතිසංස්කරණ වලට දොරටු විවෘත කිරීමට සූදානම් බව ජනතාවට සංකේතාත්මක ලෙස පෙන්නුම් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති නීතියට ඉහළින් සිටින තත්වය අත් හැර නීතියට යටත් තත්වයකට ආ යුතු බවය. යෝජනාවලිය අවසන් කර තිබුනේ ප්‍රතිසංස්කරණ වැඩසටහන කිසිවෙකුටත් අවුල් කිරීමට නොහැකි වන ලෙස එකසත් ජාතින්ගේ සංවිධානය නිරීක්ෂකයෙකුගේ තත්වයෙන් වැඩසටහනට සම්බන්ධ කර ගත යුතු බවය.


වැඩසටහනට තමන් එකඟ බව ජනපති කියයි


ජනාධිපතිවරයා එම වැඩසටහන ගැන අප සමඟ පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කළ අතර එම වැඩසටහනට තමන් එකඟ බව ද කීවේය. මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ නැවත වරක් එම යෝජනාවලිය ගැඹුරින් සලකා බලා නීති උපදේශකයින්ටද පෙන්වා එකඟ විය නොහැකි දේවල් වෙතොත් ඒ බව වැවිලිකරු වෙත දැනුම් දීම වඩා සුදුසු බවය.

ඉන් දින තුනකට පසුව ජනාධිපතිවරයා වැවිලි කරු වෙත දැනුම් දී තිබුනේ එම ලියවිල්ලට ඇතුළත් "අතුරු ව්‍යවස්ථාව" සිය නීති උපදේශකයින්ට නොපැහැදිලි බවය. ඉන්පසු මම එම විෂය ගැන ස්වීඩනයේ IDEA ආයතනය විසින් පළකර තිබෙන පත්‍රිකාවක ඩිජිටල් පිටපතක් ජනාධිපති වෙත යැව්වෙමි.

 

r 1

රට විශාල අර්බුදකාරි තත්වයකයට යමින් තිබෙන අවස්ථාවක රනිල් අගමැති ධුරයට පත්වීම.

 

ඉන්පසු රට විශාල අර්බුදකාරි තත්වයකයට යමින් තිබෙන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වීමෙන් පසු මැයි 20 වන දින අගමැති වරයා සමගද එම ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන සාකච්ඡා කිරීමක් සිදුවිය. ඔහුගේ මතය වූයේ ද ක්‍රමයේ පූර්ණ විපර්යාසයකට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීම අත්‍යවශ්‍ය බවය.

 

මා ජනාධිපති සමඟ කල සාකච්ඡාව ජනාධිපති අගමැතිට දැනුම් දී තිබුන අතර මගේ යෝජනාවලිය රාමු ගත කොට හැකි ඉක්මනින් ලබාදෙන ලෙස අගමැතිවරයා මගෙන් ඉල්ලා සිටියේය.


මෙහි පහත පල වනුයේ එම ඉල්ලීම අනුව සකස්කොට අගමැතිවරයා වෙත බාරදෙන ලද එම ලියවිල්ලය. එහිදී ප්‍රධාන කොට මට අවශ්‍ය වූයේ ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා දොරටු විවෘත කරවා ගැනීමය. එය මාගේ තනි අභිලාෂයක් පමණක් නොවීය. මෙම වැඩසටහනට දායක වූ "ප්‍රතිසංස්කරණ සඳහා වු ජනතා ව්‍යාපාරය" යට සම්බන්ධ අයගේද අභිලාෂය විය.



මෙම වැඩසටහන රාමුගත කර තිබෙන්නේම මහජනයාට මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අන්තර්ගතය ඔවුන්ට අවශ්‍ය ලෙස වෙනස් කරගනිමින් ඉදිරියට ගෙන යා හැකි අකාරයටය.

ලංකාව දැන් තිබෙන්නේ කලමනාකරණය කිරීමට පහසු නැති වඩා විශාල බියකරු අගාධයකට වැටෙන්න ඔන්න මෙන්න තියෙන තත්වයකය. විය හැකිව තිබෙන අති විශාල ඛේදවාචකය පාලනය කර ගැනීමට හැකිවනු ඇත්තේ සමාජ-දේශපාලන තලයේ රජ කරන අරාජිකත්වය අවසන් කරමින් දේශපාලන හා සමාජීය අර්ථයෙන් එක්සත්ව තමන් ඉදිරියේ ඇති අභියෝගයට මුහුණ දීමට ලංකාව සමත් නම් පමණ ය.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන බෙදී සිටින දේශපාලන තන්ත්‍රය හා සමාජය එකතු කර යල් පැනගිය දූෂිත ක්‍රමය ලේ වගුරුවන විප්ලවයකින් තොරව වෙනස් කරගැනීමට අවශ්‍ය පුළුවන්කම ලබා දෙයි. ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීමටද ශක්තිමත් වටා පිටාවක් ඇති කරයි.


ලංකාව ප්‍රතිනිර්මාණය කිරීම. (සංක්ෂිප්ත ප්‍රතිසංස්කරණ වැඩ සැලැස්ම)


1. ප්‍රධාන අරමුණ:


තිබෙන දූෂිත, අකාර්යක්ෂම, ජනතා විරෝධි හා යල් පැනගිය දේශපාලන පද්ධති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට අදූෂිත, කාර්‍යක්ෂම, ජන හිතකාමි හා නවීන දේශපාලන පද්ධති ක්‍රමයක් ඇති කිරීම මගින් ශ්‍රී ලංකාව දැන් සිටින අවාසනාවන්ත තත්වයෙන් ගොඩගෙන සියළු දෙනාගේ ගෞරවයට හා අභිමානයට හේතුවන ශ්‍රී ලංකාවක් ප්‍රතිනිර්මාණය කිරීම මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.


2. අරමුණ වෙත ලඟා වීම සඳහා යොදා ගන්නා ක්‍රම වේදය:

රටේ ජනාධිපතිවරයාගේ ද, අගමැති ප්‍රධාන පාර්ලිමේන්තුවේ ද, ආණ්ඩු පක්ෂයේ ද, විරුද්ධ පක්ෂ නායකයා ප්‍රධාන විරුද්ධ පක්ෂයේ ද, මහජනයාගේද සහාය ඇතිව පිළිගත් ව්‍යවස්ථාපිත රාමුවක් තුල  පාරදෘශ්‍ය ලෙසත් මහජනයාට හා ව්‍යවස්ථාදායකයට වගකියන ලෙසත් "මහජන සහභාගි ක්‍රමයකට" ප්‍රධාන අදියර දෙකක් යටතේ මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.


3. අපේක්ෂිත ප්‍රධාන වෙනස් කම්:

     i. බහුත්වවාදි ආකල්ප සහිත,අයිතිවාසිකම් හා වගකීම් ගැන අවබෝධයෙන් ක්‍රියා කරන, විනයගරුක, නවීන පුරවැසි සමාජයක් ඇති කිරීම

        (අ) සමාජයට ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දීම.


        (ආ) වැඩවසම් කුල බේදය මුළුමනින් අහෝසි කිරීම.

        (ඇ) අතුරුදහන් වුවන් ගැන සොයා බැලීම, ඔවුන්ට යුක්තිය ඉටු කිරීම හා මතු එවැනි වැරදි සිදුවීම මුළුමනින් වැළකීමට අවශ්‍ය ප්‍රතිපත්ති ඇති කිරීම.

        (ඈ) පීඩිත ගනයෙහි ලා සැළකිය හැකි සියළුම ජන කණ්ඩායම් (වාර්ගික, ආගමික, ලිංගික හා සංස්කෘතික) ගැන සොයා බලන අතර ඒ සියළු දෙනාට ද වෙනත් අයට හිමි මනුෂ්‍ය ගෞරවය හා අයිතිවාසිකම්  ලබාදීම.

        (ඉ) ලිංගික සමානතාව තහවුරු කිරීම.

        (ඊ) පුරවැසියන්ගේ නන් වැදෑරුම් නිදහස ශක්තිමත් කිරීම.

        (උ) ඡන්ද බලය හිමි පුරවැසියන්ට ඔවුන්ට හිමි පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට තිබෙන අයිතිය මැතිවරණ වලදී ජන්දය පාවිච්චි කිරීමේ අයිතියට සීමා නොකොට අත්‍යාවශ්‍ය අවස්ථාවලදී විශාල මහජන සමූහයකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදි ආකරයට ද මැදිහත් වීමට අයිතිය ලබා දෙන ව්‍යවස්ථාපිත රාමුවක් ඇති කිරීම. (වෙනත් සමහර රටවල් මජනයාට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට මැදිහත්වීම සදහා ලබා දී තිබෙන ප්‍රාරම්භනය, ආපසු කැඳවීම හා විකල්ප ජනමත විචාරණය යන ක්‍රම සැලකිල්ලට ගෙන පුද්ගලයින් ලක්ෂ තුන හතරක් තරම් විශාල ජන කණ්ඩායමකට එකට එකතුවී පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය ලබා දෙන ක්‍රමයක් ඇති කල හැකිය. එවැනි අත්සන් සහිත යෝජනාවක් ඉදිරිපත් වූ විට එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට විවාදයට ගෙන ජන්ද විමසීමට ලක්කරන ක්‍රමයක් ඇති කල හැකිය)

     ii. පාලකයාට නීතියට ඉහලින් සිටීමට ඉඩක් නැති, නීතියේ ආධිපත්‍යයහොදින් ක්‍රියාත්මක වන, මහජනයාට හිමි පරමාධිපත්‍ය බලය නියෝජනය වන හා ක්‍රියාත්මක වන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම.



        (අ) ජනාධිපති ක්‍රමය අහෝසි කොට නාමික ජනාධිපති කෙනෙකු සහිත ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් ඇති කරගනිමින් ආණ්ඩුවේ පාලන බලය මෙහෙයවීමේ වගකීම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙත ලබා දීම.



        (ආ) පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන හේතු ගැන සොයා බලන අතර නීතියට පටහැනිව මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීමට ලබා දී තිබෙන ඉඩ මුළුමනින් අහෝසි කරන අතර කාර්‍යක්ෂම හා ඵලදායි පාර්ලිමේන්තු ක්‍රමක් ඇති කිරීම  සඳහා ක්‍රියා කිරීම

        (ඇ) දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය  සහතික කිරීමට හේතුවන නීති ඇති කිරීම හා ඒ සඳහා වන අධීක්ෂණ බලය මැතිවරණ කොමිසමට ලබාදීම

        (ඈ) තොරාපත් කරගන්නා නියෝජිතයන් හා ජන්ද දායකයින් අතර පවත්නා දුරස්ථ භාවය නැති කිරීම, අපේක්ෂකයින්ට මැතිවරණ වලදී තරඟ කිරීම සඳහා යන විශාල වියදම අඩු කිරීමට හේතුවන ලෙස දිස්ත්‍රික්ක ක්‍රමය වෙනුවට මැතිවරණ කොට්ඨාශ ක්‍රමයකට බර තබන,  ජාතික ලැයිස්තුවට අඩු නියෝජනයක් ලබා දෙන, සරල  මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම

        (ඉ) මැතිවරණ වලදී පක්ෂවලට හා අපේක්ෂකයින්ට ලැබෙන ආධාර මුදල් හා මැතිවරණ වියදම් සඳහා සීමා නීති ඇති කිරීම හා එම කටයුතු අධීක්ෂණය කිරීමේ බල මැතිවරණ කොමිසමට ලබාදීම


     iii. බලවත් හා ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීමේ අරමුණ ඇතිව අධිකරණයේ ද සහාය ඇතිව අධිකරණයේ පරිහානිය කෙරෙහි බලපෑ හේතු හදුනා ගනිමින් ස්වාධීන හා කාර්‍යක්ෂම අධිකරණ ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීම.

        (අ) අධිකරණයට පරිපූර්ණ වශයෙන් "සමාලෝචන බලය" ලබාදීම

     iv. ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ ජනමාධ්‍ය‍ය වලට ලැබෙන අති විශාල වැදගත්කම සලකා ලංකාවේ ජනමාධ්‍යය ඉටුකරන කාර්‍යභාරයේ ශක්තීන් හා සීමාසහිත කම් ගැනද, එයට විටින් විට එල්ලවී තිබෙන බිහිසුණු මර්ධනයන් ගැනද සොයා බලන අතර ජනමාධ්‍යය නිදහස සහතික කිරීමට හේතුවන, ජනමාධ්‍ය වල ප්‍රමිතිය වර්ධනය කිරීමට හේතුවන හා ජනමාධ්‍ය සමාජයට වග කියන තත්වයක් සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා විධිවිධාන ඇති කිරීම.

     v. බිහිසුණු පිළිකාවක් ලෙස රාජ්‍යය හා එහි ආයතන ක්‍රමයත් රාජයයේ දේශපාලන හා නිලධර තන්ත්‍රයත් වෙලාගෙන තිබෙන දූෂණය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර දූෂණය මුළුමනින් තුරන් කිරීමට හේතුවන බලවත් හා ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ඇති කිරීම.

     vi. රටේ සංවර්ධනය ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන අඛණ්ඩව ගලායන ස්ථීර දෙයක් බවට පත්කිරීම සඳහාත් එම විෂයේදී දේශපාලකයින්ට හෝ නිලධාරින්ට හිතුවක්කාරි ලෙස ක්‍රියා කිරීමට තිබෙන ඉඩ මුළුමනින් ඇහිරීම සඳහාත් සංවර්ධනයට අදාල සියළුම වැදගත් අංශ ඇතුළත් කරගන්නා "ජාතික ප්‍රතිපත්ති" රාමුවක් ඇති කර ගැනීම.

     vii. ඉන්දියාවේ ද මැදිහත් වීමක් ඇතිව පළාත් සභා ක්‍රමයක් ඇති කරන ලද්දේ උප ජාතික තලයේ පාලනයක් සඳහා ප්‍රධාන කොට දෙමල ජනයාගේ අභිලාෂ සපුරා ලීම සඳහාය. එම ක්‍රමය ඇති කරන අවස්ථාවේදී රටේ පැවති බිහිසුණු වාතාවරණය තුල සන්සුන්ව තර්කානු ලෙස කරුණු සලකා බැලීමේ හැකියාවක් රටවල් දෙකටම නොතිබුණි. ඇතිකල එම ක්‍රමය අවුල් සහගත වීම එහි නොවැලැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකිය. ඒ නිසා දෙමළ ජනයාගේ අභිලාෂයන්ට හානියක් නොවන ලෙස ඉන්දියාවේද එකඟතාවය ඇතිව පළාත් සභා ක්‍රමයේ තිබෙන අවුල් සහගත භාවය නැති කොට ක්‍රමවත් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම.

     viii. නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන දෙකක් වන නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය ගැන කරුණු සොයා බලා එම ආයතන දෙක යහපත් ඵලදායි හා කාර්‍යක්ෂම කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ ඇති කිරීම.
     
     ix. රාජ්‍ය සේවයේ සුවිශාලත්වය ද (හැම පුද්ගලයින් 15 කටම රජයේ සේවකයෙකි) එහි තිබෙන දූෂණය හා අකාර්යක්ෂමතාවයද ලංකාවේ අසාර්ථකභාවය හා බංකොලොත්භාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන සාධකයකි. රජයේ බදු එකතු කරන හා බලපත්‍ර උපයන ආයතන තිබෙන්නේ දූෂණය රජ කරන තත්වයකය. ලාභ ලැබීමේ හැකියාව තිබියදී දිගින් දිගට පාඩු ලබමින් පවත්වාගෙන යන රජයේ සමහර ආයතනද රට බංකොලොත් කිරීමට දායකවූ ආයතන ලෙස සැළකිය හැකිය. රටේ ආරක්ෂක වියදම තිබෙන්නේ ද රටට ඉසිලිය නොහැකි තත්වයකය. එම තත්වය ගැන සොයා බලා රාජ්‍යය අංශයේ සේවක ප්‍රමාණය අඩු කොට රාජ්‍යය අංශය කාර්‍යක්ෂම හා ඵලදායි කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීම.
     
     x. එම ප්‍රතිසංස්කරණ නීති ගත කිරීම සඳහා "මහජන  සහභාගී ක්‍රමයට" නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම.
 

4.  ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම:

     i.  ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීම දඬුවම් ලබා දිය යුතු වරදක් බවට පත් කළ යුතුය
     ii. ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී හරය දුර්වල කිරීමට හෝ විකෘති කිරීමට හේතු වන සංශෝධන ඉන්දියාවේ මෙන් නීති විරෝධි කල යුතුය.
     iii. ඒ සඳහා අවශ්‍ය බලය ශ්‍රේෂ්ඨාධිකරණයට දිය යුතුය.


5. ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම:

i. ප්‍රතිසංස්කරණ වැඩ සටහන සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තු නියෝජිතයින් ගෙන් ද මහජන නියෝජිතයින්ගෙන්ද සමන් විත විවස්තා සම්පාදක කමිටුවක් පිහිටුවා ගත යුතුය.

        (අ) එය පාරලිමේන්තුව තෝරාගත් නියෝජිතයින් 50 දෙනෙකු ගෙන්ද මහජන නියෝජිතයින් 100 දෙනෙකු ගෙන්ද සමන් විය යුතුය.

        (ආ) පාර්ලිමේන්තු නියෝජිතයින් 50 දෙනාට අගමැති, විරුද්ද පක්ෂ නායක හා පාරලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ද ඇතුලත් විය යුතුය.

        (ඇ) මහජන නියෝජිතයින් 100 දෙනාද සමාජයේ සියලු බෙඳීම් නියෝජන කරන හා මෙම කාර්‍යට නිර්මානශීලිව දායක වීමේ හැකියවක් ඇති අයගෙන් සමන් විත පිලිගත හැකි ක්‍රමයකට තෝරා ගත් අය විය යුතුය.

        (ඈ) කමිටු රැස්වීම් වලට සහබාගි වීමේ නිල බල ජනාධිපතිට තිබිය යුතුය.

     
ii. එම කමිටුවේ සියළු රැස්වීම් මහජනයාට පෙනෙන ලෙස පාරදෘශ්‍ය අකාරයකට සිදු කල යුතු අතර එම ක්‍රියා දාමයේදී මහජනයාටද අදහස් පල කිරීමට ඉඩදෙන කවුළු ගණනාවක් පවත්වාගෙන යා යුතුය.


     
iii. එක්සත් ජාතින්ගේ සංවිධානය මේ වැඩසටහනේ නිරීක්ෂකයෙකු ලෙස සහභාගි කර ගත යුතු අතර ප්‍රතිසංස්කරණ වැඩසටහන විධිමත් හා ප්‍රායෝගික කරගැනීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ද, මෙම වැඩසටහනට සම්බන්ධ ප්‍රධාන කණ්ඩායම් පුහුණු කිරීම සඳහා යොදා ගත හැකි විශේෂඥයන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ලබා ගත යුතුය. අවශ්‍ය උපදේශකයින් පත් කර ගැනීමේ බලය ද කමිටුවට තිබිය යුතුය.

     
iv. ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අදියර දෙකක් යටතේ සිදු විය යුතුය.

        (අ) පළමු අදියරය: කරුණු සොයා බැලීම සඳහා නිලධාරි කමිටු හෝ කොමිසන් සභා පත් කොට ඒවා පවත්වාගෙන යාම.

        (ආ) වගන්ති 3 (iii) සදහන් අධිකරණ ප්‍රතිසංස්කරණ, වගන්ති 3 (iv) සඳහන් ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ හා වගන්ති 3 (ii) සදහන් මැතිවරණයක් දක්වා වන අලුත් ආණ්ඩු ක්‍රමය සඳහා වන ප්‍රතිසංස්කරණ ඇති කිරීම.
 
        (ඇ) මැතිවරණය පැවැත්විය යුත්තේ ආණ්ඩු පාලන බලයට අතිරේකව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට නියෝජිතයින් තෝරා ගන්නා මැතිවරණයක් වශයෙනි.

        (ඈ) පළමු අදියරට ඇතුළත් එම කටයුතු වසරක කාලයක් තුල සම්පූර්ණ කළ යුතුය.
     
    
 v. ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි අදියරය.


        (අ) බලයට පත්වන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස රට පාලනය කරනවාට අතිරේකව අතුරු ව්‍යවස්ථාවට  ඇතුළත් ප්‍රතිසංස්කරණ වැඩසටහන එහි නියම කර තිබෙන අකාරයට සම්පූර්ණ කළ යුතුය.

        (ආ) අළුත් පාරලිමේන්තුව තේරී පත් වීමෙන් පසු පළමු අදිරයේදී ඇති කරගත් ව්‍යවස්ථා සම්පාදන කමිටුව අහෝසි වී පාරලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන කටයුතු හා ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ඉතිරි කොටස ඉදිරියට ගෙන යන බලයලත් අයතනය බවට පත් විය යුතුය.

        (ඇ) ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසුරුවා හැරීමෙන් පසුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පාරදෘශ්‍ය තත්වයකින් පවත්වාගෙන යායුතු අතර මහජනයාට එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වීමට ඉඩ ලබා දෙන ප්‍රශස්ත රාමුවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පවත්වාගෙන යා යුතුය.

        (ඈ) සම්පාදනය කල ව්‍යවස්ථාවට ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක අනුමැතිය ලබා ගැනීමෙන් පසු අධිකරණයේ ද අනුමැතිය ලබාගනිමින් ඉන්පසු පවත්වන ජනමත විචාරනයකින් ද අනුමැතිය ලබා ගත යුතුය.


6. අතුරු ව්‍යවස්ථාව:



කිසියම් රටක සමාජ-දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ මහා බිඳවැටීමක් ඇතිවී අසාමාන්‍ය තරමේ අර්බුදයකට ගිය අවස්ථාවකදී ඉන්න පරණ ක්‍රමයෙන් අළුත් ක්‍රමයකට මාරුවීම සඳහා පරණ ව්‍යවස්ථාව සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගත නොහැකිය. "අතුරු ව්‍යවස්ථාව" එවැනි තත්වයේ අර්බුදයන්ට ගිය බොහෝ රටවල්, අර්බුදයට ගිය පරණ ක්‍රමය අතහැර නෛතික අඛණ්ඩතාවය ද ආරක්ෂා කර ගනිමින් අළුත් ක්‍රමයකට මාරු වීම සඳහා පාලමක් ලෙස යොදාගෙන තිබෙන අන්තර් ජාතික නීතියෙන්ද පිළිගන්නා සාර්ථක ක්‍රමයකි.



විශාල අර්බුදයකට ගොස් තිබෙන අප රටට ද පරණ ව්‍යවස්ථාව යොදා ගෙන අළුත් ක්‍රමයට මාරු වීම  ඉතාමත් දුෂ්කරය. අතුරු ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම එම දුෂ්කර තාවය ජය ගැනීම සදහා යොදා ගත හැකි හොදම ක්‍රමය ලෙස සැළකිය හැකිය.

එය අළුත් ව්‍යවස්ථාවක් ඇති කරගන්නා තෙක් යොදාගන්නා අන්තර් ව්‍යවස්ථාවක් වන නිසාත් අළුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමෙන් පසු එයට මහජන අනුමැතිය ලබා ගැනීම සඳහා හා පරණ ව්‍යවස්ථාව අවලංගු කිරීම සදහා අවශ්‍ය මහජන අනුමැතිය සඳහා ජනමත විචාරණයක් පවත්වන බවට ඇතුරු ව්‍යවස්ථාවෙන් සහතික වන නිසාත් සියළු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු මිස ඊට පෙර  අතුරු ව්‍යවස්ථාව සදහා ජන මත විචාරනයක් අවශ්‍ය වන්නේ නැත.

අතුරු ව්‍යවස්ථාව කෙටුම්පත් කල යුත්තේ ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසිනි. සමස්ථ ප්‍රතිසංස්කරණ වැඩ පිලිවෙල ද, එය ක්‍රියාවට නැඟිය යුතු අකාරය ද, කාල රාමුව ද , වෙනත් අවශ්‍ය සියළු කරුණු ද ඊට ඇතුළත් විය යුතුය. ව්‍යවස්ථා සම්පාදක කමිටුවට අවශ්‍ය බලය ලැබෙන්නේද එම අතුරු ව්‍යවස්ථාවෙනි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක අනුමැතියකින් සම්මත කර ගත යුතුය.


7. මහජන අධ්‍යාපනය:

මහජනයාට බර තබන ලද මෙවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සාර්ථක කරගැනීම සදහා මහජනයාට අධ්‍යාපනය දීම අරමුණු කරගත් ප්‍රශස්ත උපාය මාර්ගික ප්‍රචාරක හා අධ්‍යාපනික වැඩපිළිවෙළක් තිබිය යුතුය. එම වැඩසටහනට සමස්ථ ජනගහනයෙන් සීයයට 80 ක් තරම් ප්‍රමාණයක් වෙතවත් ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යූතුය.


8. ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් කිරීම:



නව ව්‍යවස්ථාවට අනුමැතිය ලබා ගැනීම සදහා පැවැත්වෙන ජනමත විචාරණයක් සමග ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන අතර දෙවැනි අදියරයේ කටයුතු වසර තුනකට අඩු කාලයක් තුල සම්පූර්ණ විය යුතුය.


වික්ටර් අයිවන් (Author of චෞර රැජින)(වික්ටර් අයිවන්)
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)


 {gallery}radicalcenter2022531{/gallery} 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්