’‘ප්‍රායෝගික ලෙස බැලූ විට ‘දේශපාලනය’ යනු තමන් ජීවත්වන සමාජයේ අනාගතය කෙබඳු විය යුතුද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් ඇති

ජනතාවක් සහ එවැනි සමාජයක් බිහි වීමේ හැකියාව අතර ඇති සම්බන්ධතාව පිළිබඳ ප්‍රකාශනය බැව් බදියු (ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකි) පවසයි. එකී උපාය මාර්ගික දැක්ම, පවතින දේශපාලන සුසමාදර්ශය විස්ථාපනය කිරීමෙන් බිහිකර ගත යුත්තකි. ඒ දැක්ම කල් තියා ගොඩ නගා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල මහජන නැගිටීම් අර්ථ විරහිත ලෙස අවසන් වූ අතර, තවත් රටවල ජනතාවට පටු ජාතිකවාදී ඉන්ද්‍රජාලිකයන් සරණ යෑමට සිදු විය. මෙය අපට පමණක් සීමා වූ ගැටළුවක් නොවේ. ඒ නිසා නව දේශපාලන සුසමාදර්ශයක් බිහි කිරීම යනු ගෝලීය පර්යාලෝකයකින් විමසිය යුතු කරුණකි.” (පිටුව 16)
 



මෙය මා උපුටා ගත්තේ විජයානන්ද ජයවීර වියතුන් (වියත් මගට සම්බන්ධයක් නැත) සැළකිය යුතු කාලයක් හා වෙහෙසක් දරා ගොනුකර ගත් විශ්ව දැනුම සමගින් දේශපාලනය හා ආර්ථිකය ගැන කළ වෙනත් කියවීමක් හඳුන්වා දෙන ඔහුගේ නවතම කෘතිය වන “සංවිචාරණීය සමාජයක්” නම් කෘතියෙනි.

ඔහු කතා කරන “පවතින සුසමාදර්ශය” සහ ඊට වෙනස් දියුණු සමාජ කතිකාවක් තුල අලුතින් ගොඩ නගා ගත යුතු “නව සුසමාදර්ශය” ලෝක දෘෂ්ඨියක් ඇතිව ඉදිරිපත් කරන්නාවූ “සංවර්ධනය” සඳහා වන ආර්ථිකවාදී විකල්පයකි. එය වර්තමාන විවෘත වෙළඳපල ආර්ථිකයේ අසාර්ථකත්වය පිළිගන්නාවූත් එහි කිඳා බැස ඇති සියලු අසමාන අසාධාරණ වර්ධනයන් හා අගතීන් සඳහා වඩා මානුෂීය විසඳුම් ලබා දෙන්නාවූත් නව සුසමාදර්ශයක් විය යුත්තකි.

එවගේම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන එහි ඇති සීමා සමගින් වෙනත් විවෘත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක අවශ්‍යතාව වෙත අවධානය රැගෙන යන්නකි.

Untitled design 63

“ගෝටාගෝහෝම්” කියමින් නාගරික මැදපංතික තරුණ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල හරහා ආරම්භ කළ රාජපක්ෂ විරෝධය ලංකාවට අලුත් වූ තරුණ විරෝධයක් ලෙස ගාලු මුචදොර පිටියේ පදිංචි කෙරුණේ “සිස්ටම් චේන්ජ්” සඳහා රාජපක්ෂලා බලයෙන් පමණක් නොව, දේශපාලනයෙන්ද ඉවත් කළ යුතු යැයි සමාජ මතයක් හදමින්ය.

එය දැනුවත් දේශපාලන සමාජයෙහි එක්තරා ආකාරයකට බාර ගනු ලබුවේ නිදහසින් පසු පැරණි පරම්පරා විසින් අවුරුදු 74 ක් පුරා විනාශ කළ රටේ පැරැණ්නන්ගේ අඳබාල දේශපාලනය මේ තරුණ පරම්පරාව විසින් “ක්‍රමයේ වෙනසක්” සහිතව පරිවර්තනය කරනු ඇතැයි වූ පිළිගැනුමක් සමගින් ය.

ඒ වෙනස වෙනුවෙන් ගාලු මුවදොර රැස් වූ තරුණ “ජවය හා විනය” විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාල මගින් හා ප්‍රධාන මාධ්‍ය මගින් ඔසවා තැබුණි. ගාලු මුවදොර පැවතුණු සාමකාමී සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ආකර්ශනීය පරමාදර්ශී සමාජයක ආකෘතියක් යැයි ඒවායේ කතා වුනි.

විශේෂයෙන් බස්නාහිර හා අවට ප්‍රදේශ වලින් තරුණ හා වාමවාදී පිරිස් ගාලු මුවදොර පිටියට පැමිණියේ විරෝධයට හවුල් වන්නට වඩා විරෝධයේ ආස්වාදය විඳින්නටය. “ගෝටාගෝහෝම්” තේමාව යටතේ ගාලු මුවදොර දිග හැරෙන තරුණ විරෝධය රාජපක්ෂ දේශපාලනයට විරුද්ධව මූර්තිමත් වනවා දකින්නටය.

රාජපක්ෂලා වෙනුවට දූෂණයෙන් තොර පිරිසිදු පුද්ගලයින්ගේ “නව ක්‍රමයක්” සඳහාවන දේශපාලනයක් තරුණන් පොරොන්දු වෙනවා අසන්නටය.

 

මේ කියන “නව ක්‍රමය” ඇත්තටම නව සුසමාදර්ශයක් වන්නේද? ඔවුන් ගාලු මුවදොර පදිංචිව සිටිමින්  රාජපක්ෂලා රාජ්‍ය බලයෙන් ඉවත් කිරීමට දෙන පොරොන්දු මගින් අලුත් දේශපාලන සංස්කෘතියක් සහිත දූෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහතික කළ හැතිවේද? එයට තනි වචනයක පිළිතුරක් දෙන්නේ නම්, එය “නැත” යන්නයි.

 

ඒ මන්ද යත්, මූලික වශයෙන් නව සුසමාදර්ශයක පදනම ඇත්තේ පවතින සුසමාදර්ශය ජනතා අප්‍රසාදයට පත් අසාර්ථක ආර්ථිකවාදී ආකෘතියක් යැයි පිළිගැනීමෙහිය. රාජපක්ෂලා පමණක් නොව, පවතින ආර්ථිකය සමග සමස්ථ දේශපාලන බල ව්‍යුහයම විජයානන්දගේ භාෂාවෙන් කියනවා නම්, “විස්ථාපනය” කළ යුතු යැයි සමාජයේ එකඟතාවක් ඇති වුවහොත් පමණි.

wijaya

විජයානන්ද ජයවීර

 

විජයානන්ද ඔහුගේ “සංවිචාරණීය සමාජයක්” කෘතියෙහි දීර්ග විස්තර සමගින් නගන්නාවූ තර්ක ගුරුකොට ගතහොත්, “ගෝටාගෝහෝම්” ඉදිරිපත් කරන “සිස්ටම් චේන්ජ්” පොරොන්දු නව සුසමාදර්ශයක් වන්නේ වර්තමාන විවෘත වෙළඳපල ආර්ථිකයේ සියලු අසමාන අසාධාරණ වර්ධනයන් හා අගතීන් සමගින් එහි අසාර්ථකත්වය සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයේ සීමා ඇතිව එයද අසාර්ථකත්වයට හවුල් යැයි පිළිගැනීමක් ඇත්තේ නම් සහ ඒ සමස්ථය වෙනුවෙන් ඔවුන් විකල්පයක් ඉදිරිපත් කරන්නේ නම් පමණය.

විරෝධතා වෙනුවෙන් සමාජ මත උත්පාදනය කෙරෙන අපේ නාගරික මැද පංතියේ තවමත් විවෘත වෙළඳපල ආර්ථිකය සමාජ ප්‍රගතියට එරෙහි බරපතල බාධාවක් යැයි පිළිගැනුමක් තබා සිතුවිල්ලක් හෝ නැත. එය ගාලු මුවදොර තරුණ විරෝධයෙන් මනාව කියවෙන්නකි.

 

ඔවුහු කණ්ඩායම් කිහිපයක් වශයෙන් ඉතා විවෘතවම රටේ සමාජ ආර්ථික අර්බූද, විදේශ විනිමය සංචිත සිඳී යෑම තනි රාජපක්ෂ පවුලට බාර කර එතැනින් විසඳුම් අවසන් කරන දේශපාලන සූත්‍රයක නතරවී සිටින වුන්ය.

 

තවමත් දළ ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වැනි ආර්ථික නිර්ණායක කිහිපයකින් පමණක් සමාජ ප්‍රගතිය ගණන් හදනු ලබන අර්ථ දැක්වීම් ගාලු මුවදොර විරෝධයෙහි ප්‍රශ්න කෙරෙන්නේ නැත. එබැවින් ඔවුන්ගේ විරෝධයෙහිද “සමාජ සංවර්ධනය” සඳහා අර්ථ දැක්වීම් නොමැති, සමාජ ප්‍රගතිය හුදු ආර්ථික වෘද්ධියක් ලෙස පිළිගනු ලබන්නකි.

එවැනි විට ඔවුන් පොරොන්දු වන “ක්‍රමයේ වෙනස” පුද්ගලවාදී වෙනසක් මිස පුරවැසියන් හවුල්වන, පුරවැසියන් සඳහා තීන්දු කරනු ලබන පුරවැසි සමාජයේ ප්‍රගතිගාමී සංවර්ධනයක් සඳහා අවශ්‍ය “ක්‍රමයේ වෙනසක්” නොවන්නකි.


සමස්ථ “ක්‍රමයේ වෙනසක්” වෙනුවෙන් පෙනී සිටින්නට නම්, පළමුව මේ විවෘත වෙළඳපල ආර්ථිකය සරළ වෙළඳපල ආර්ථිකයක් නොවන බව තේරුම් ගත යුතුය. මෙය ආවේණිකව දූෂිත, බහුතර වාර්ගික-ආගමික බලහත්කාරයට ඉඩ තබන ආර්ථික ක්‍රියාවලියකි. එබැවින් මෙහි දූෂණ සඳහා වගකිව යුත්තේ දේශපාලන පවුලක් පමණක් නොවේ. මේ සඳහා වගකිව යුත්තේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සීඝ්‍රයෙන් පොහොසතුන් වූ හඩු ජාවාරම්කාර ව්‍යාපාරිකයින් සහ සිංහල-බෞද්ධ දේශපාලන බලය සමග එක්ව ගමන් යෑමට හවුල්ව ඇති රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ නිලධර පැලැන්තියත් නාගරික විශේෂඥ වෘත්තික පිරිසුත් ය.



 මේ අය අතර ඉන්නා විශ්ව විද්‍යාල ඇදුරන් සහ වියතුන්ද විවෘත වෙළඳපල ආර්ථිකය සාධාරණය කරනු වෙනුවෙන් සමාජ මතවාදය හැදීමට හවුල් වෙති. එබැවින් විවෘත වෙළඳපල ආර්ථිකය පවතින්නේ ඒ වෙනුවෙන් සමාජගත කෙරෙන මතවාදයන්ද සමගින්ය.

ඒ මතවාද සමගින් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි වගා කෙරෙන ආත්මාර්ථකාමි තරගකාරිත්වය හමුවේ පාරිසරික හා සමාජ පිරිහීම්, ඒවායේ විනාශවීම් සහ බිඳ වැටීම් එහිම විපාක ලෙස ගණන් හැදෙන්නේ නැත. ඒවා ගැන කතා කෙරෙන්නේද ආර්ථිකයෙන් වියුක්තව ගනු ලබන පුද්ගල පිරිහීම් ලෙසින්ය.


එසේ හෙයින් ගෝලීය උෂ්ණත්වය, දේශගුණික විපරියාස, කැලෑ සහ හරිත පාළුව, වෙරළකරයේ කාදන හා දූෂණ, ආදායම් හා වත්කම් බෙදී යාමේ විෂමතා වර්ධනය, පාසල් ළමුන් පළමු වසරට ඇතුළත් කිරීමේ නිධන්ගත දූෂණ, ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සීඝ්‍රයෙන් ඉහළ යාම, විශේෂයෙන් ග්‍රාමීය සමාජයේ බාල වයස් විවාහ සංඛ්‍යාත්මකව ඉහළ යාම, නීතිය හා සාමය බිඳ වැටීම, අධිකරණ ක්‍රියාවලිය සමාජයෙහි ප්‍රශ්න කරනු ලැබීම විවෘත වෙළඳපල ආර්ථිකයේ සෘජු විපාක ලෙස කතා කිරීමක් නැත.



එවැනි සමාජයක කවර ආකාරයේවත් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේ නැත. දූෂිත රාජ්‍ය පාලන විසින් නඩත්තු කෙරෙන්නේ පටිපාටික (නාම මාත්‍රික) ප්‍රජාතන්ත්‍රවාදයක් පමණි. ඒවායේ වාර්ගික හා ආගමික සමගියක් පැවතිය නොහැකි බවත් සමාජයේ පවතින සංස්කෘතික අනන්‍යතා පවා එකිනෙකට ප්‍රතිවිරෝධි ලෙස මහජාතිවාදී ජාවාරම්කාර දේශපාලනය විසින් යොදා ගන්නා බවත් ලංකාව ඇතුළු දකුණු ආසියාවේම අත්දැකීම්ය.

 

“ගෝටාගෝහෝම්” තරුණ විරෝධයද ඒ මතවාද සමගින් ගොනු කෙරුණු සිංහල-බෞද්ධ විරෝධයක් වන බව, ඔවුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමත් ප්‍රතික්ෂේප කිරීමෙන් ඔප්පු කෙරුවකි.

 

“ගෝටාගෝහෝම්” විරෝධය නව සුසමාදර්ශයක් නොවේ යැයි වන මගේ නිගමනය වෙනුවෙන් නැවතත් විජයානන්දගේ “සංවිචාරණීය සමාජයක්” කෘතියෙහි ඔහු සවිස්තරව සාකච්ඡා කරන ආර්ථිකය ගැන කතාවට ගියහොත් එහි සඳහන් ආකාරයට නව සුසමාදර්ශයක් සැකසීමෙහිදී “.....ආණ්ඩුව සහ ධනවාදය යන දෙකම ගැන බරපතල ලෙස නැවත සිතා බැලීමක් කළ යුතු ය.” එවැන්නක් “ගෝටාගෝගම” අහලකවත් නැත.

ධනවාදය වෙනස් කිරීමේ මැදිහත්වීම් සමග ආණ්ඩු පාලනයේ සහ රාජ්‍ය ආයතනවලත් ව්‍යාපාර කටයුතු කරන ආකාරයේත් වෙනස්කම් කිරීමට සිදුවන බව “සංවිචාරණීය සමාජයක්” කෘතියෙහි තව දුරටත් කියැවේ. ඒ සමග පෞද්ගලික හා පොදු ආයතන අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවන්ගේ තීරණාත්මක වෙනස්කම් සිදු කරන්නට වන බවත් මහාචාර්ය මරියානා මාස්සුකාටෝ ඇසුරු කොට එහි සාකච්ඡා වන්නේය. “මේ අනුව ආණ්ඩුව යනු හුදෙක් වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීම පිණිස ගැටළු විසඳන ආයතනයක් යනුවෙන් පවතින ආකල්පය වෙනස් වී ආණ්ඩු පවතින්නේ නිශ්චිත පොදු අරමුණු ඉෂ්ට කර ගැනීමටය යන ආකල්පය ඇතිකර ගත යුත්තේය.” (පිටුව 575)    

එවැනි කිසිදු අවබෝධයක් අවධානයක් නොමැතිව, පවතින ආර්ථිකය සහ ඒ ආර්ථිකයෙහි සමාජ සංස්කෘතික බිඳ වැටීම්, පිරිහීම් ගැන කිසිදු තේරුම් ගැනීමක් නොමැතිව පවුලක් දේශපාලනයෙන් ඉවත් කළ පමණින් “සිස්ටම් චේන්ජ්” ඇති වෙනවා යැයි සිතන තරුණ විරෝධයෙහි දේශපාලන දැක්ම, අවුරුදු 74 ක් පැරණි පරම්පරාවල අසාර්ථක දේශපාලනයෙන් වෙනස් නොවන්නකි. ඒ පසුගාමී දේශපාලනය සමග ගැට ගැසෙන නාගරික මැදපංතික පිරිස්ද මේ සමාජයේ අඟුටු මිටු දේශපාලන මත ප්‍රකාශකයින් වන්නට මේ සමාජය සිය වසක් පුරා නවීකරණයක් නොදුටුවා යැයි මම විශ්වාස කරමි.


gota s

“ගෝටාගෝහෝම්” විරෝධයේ තරුණයින්ද ඇතුළුව මේ සමාජයේ සියලු ප්‍රජා කණ්ඩායම් ඒ දීර්ග කාලීන සමාජ පල්වීමෙහි තමන්ගේ පහසුවට සීමිත අවකාශයන් තෝරා ගන්නවුන් මිස නූතනත්වයක් සොයා යන වුන් නොවන බව තේරුම් ගත හැක්කේ 1931 සිට අවුරුදු 91 ක් පුරා සර්වජන ඡන්දය භාවිත කරන්නාවූ ආකාරයෙනි.

පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරුන් තෝරා පත් කරන්නට 1931 දී සර්වජන ඡන්දය භාවිත කළ තැන සිට මේ වනවිට අවම වශයෙන් පරම්පරා 05 ක් රාජ්‍ය මන්ත්‍රණ සභා දෙකකටත් පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ, ජනාධිපතිවරණ අපමණ සංඛ්‍යාවක ඡන්දය භාවිත කර ඇත.

එහෙත් මැතිවරණයකදී ඡන්දදායෙකුගේ වගකීම - ඡන්දය භාවිත කළ යුත්තේ කුමක් සඳහා දැයි මේ රටේ ජනතාව තවමත් දන්නේ නැත. එය විද්වතුන්, වියතුන්, සමාජ ක්‍රියාකාරීන් හා දේශපාලකයින් දන්නේද නැත.

 

ඡන්දය භාවිත කිරීමේදී එහි සමාජ වගකීමක් ඇතැයිද සමාජයක් රටක් වශයෙන් අනාගත අභිවෘද්ධිය ගැන ඇගයුමක් අපේක්ෂාවක් ඇතිව ඡන්දය භාවිත කළ යුතු යැයිද ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අනාගත සංවර්ධන දැක්ම කුමක්දැයි දේශපාලනඥයින්ගෙන් ප්‍රශ්න කළ යුතු යැයි සිතන්නටද මේ සමාජය දන්නේ නැත.

 

ආචාර්ය මහාචාර්යවරුන් ඇතුලු උගත් යැයි සැළකෙන සියලු සහතිකලාභීන්ගේ සිට ගමේ අසරණයා දක්වා ඡන්දය භාවිත කරන්නේ එවැනි කිසිදු සමාජ වගකීමක් වෙනුවෙන් නොවේ. ඔවුන්ගේ තේරීම් සඳහා සුදුසුකම් වන්නේ ඥාතිත්වය හා කුලය, ආගම, ගම් ප්‍රදේශය, පාසල වැනි පුද්ගල සම්බන්ධතාය. ඒ හැරුණු විට අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු, සභාපතිකම්, දුවට පුතාට රැකියා, බිරිඳට උසස්වීම්, බාර් හෝ වැලි පර්මිට්, ඉදිකිරීමේ කොන්තරාත් ආදිය ලබා ගැනීම සඳහා ඡන්දය භාවිත කිරීමය. එවැනි සම්මතයන් පසුගිය කාලයේ තීන්දු වූයේ ආණ්ඩු විරෝධී දේශපාලන ප්‍රවනතා ඇතුලෙහිය. ආණ්ඩු ව්රෝධය තීන්දු වූයේ බහුතර වාර්ගික හා ආගමික බලය වෙනුවෙනි.

ඒ ආණ්ඩු විරෝධි දේශපාලනය ගොඩ නැගුවේ ප්‍රචණ්ඩත්වයද කැටි කරමිනි. මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණය 1977 ජුලි මැතිවරණයෙන් ලබා ගත් පසුවද පළමු දින කිහිපයේ ජයවර්ධන අගමැතිවරයා පළමු වරට විපක්ෂයට එරෙහිව සංවිධානාත්මකව ප්‍රචණ්ඩත්වය මුදා හැරියේය. එය ඊළඟ වසර කිහිපයේ සිරිල් මැතිව්ගේ සංවිධාන කිරීම් යටතේ දෙමළ ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයක් බවට පත් කෙරුණි.

 

ජයවර්ධන ආරම්භ කළ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් අත හැර දැමෙන බහුතර ග්‍රාමීය ජනතාව දේශපාලන වශයෙන් ගාල්කර ගැනීමට සිංහල-බෞද්ධ ආධිපත්‍ය බලහත්කාර ලෙස සමජය මත මුදා හැරිය යුතු යැයි ගණන් හදනු ලැබුවේ ජයවර්ධන-මැතිව් දෙපළ විසින්ය.

 

ජයවර්ධන යටතේ 1977 න් ආරම්භ කළ ප්‍රචණ්ඩත්වය දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයක් ලෙස මැතිව් විසින් 1979 දී මුදා හැර අනතුරුව එය මහ පරිමාන විනාශකාරී වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ලෙස මුදා හරිනු ලැබූයේ 1981 ජුනි දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට පෙර යාපනය නගරයත් එහි වූ විශිෂ්ඨ පුස්තකාලයත් ගිණිබත් කර විනාශ කරමිනි.

 

14a borella rioters 1983 burning e1469110569248

1983 ජුලියේ ම්ලේච්ඡ දෙමළ සංහාරය

 

ඊළගට ජයවර්ධන ජනාධිපති දැනුවත්ව සිරිල් මැතිව්ගේ ජාතික සේවක සංගමයේ මැරයින්ද හවුල් කෙරුණු 1983 ජුලියේ ම්ලේච්ඡ දෙමළ සංහාරය දියත් කෙරුණි.


ජ.වි.පෙ 88-90 යුගයේ වඩාත් නිහීන, ම්ලේච්ඡ ඔවුන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය මගින් සිංහල සමාජයේ ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව යොදා ගනු ලැබුවේද එළෙසින් සිංහල-බෞද්ධ සමාජයේ වගා කෙරුණු ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයම විය. 
 
 
 
උතුරු-නැගෙනහිර සමාජයේ මෙන් ඒ සිංහල-බෞද්ධ ප්‍රචණ්ඩත්වය දකුණේ සිංහල සමාජයෙහි අභියෝග නොකෙරුණකි. එනිසා විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම “ගෝටාගෝහෝම්” විරෝධයේදී ද අපි දුටුවෙමු.
 
 
 
මැයි 09 වන දින මැර ප්‍රහාරයේ වගකීම අරලියගහ මැදුරේ රාජපක්ෂලාට බාර කළ නමුත් ඊට පෙර සතියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජන තීන්දුකර ජ.වි.පෙ හා පෙරටුගාමීන් විසින් සංවිධානය කෙරුණේ සේවක හයිය මත නොව ප්‍රචණ්ඩ බලයේ හයිය මතින්ය.

මැයි 09 වන දිනට පසු දින සිට විරුද්ධවාදීන්ගේ නිවෙස් හා වත්කම් විනාශ කරමින් ගිණිබත් කිරීම, තවමත් තැන තැන ආණ්ඩු පාක්ෂිකයින්ට එරෙහිව දියත් කෙරෙන්නේ ගාලු මුවදොර “ගෝටාගෝගම” නාමයෙන් එහි කිසිවකුගේ විරුද්ධත්වයකින් තොරවය.



අවුරුදු 90 ක් පුරා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක සර්වජන ඡන්දය භාවිත කිරීම පිළිබඳ කිසිදු නිනව්වක් නොමැති සමාජයක ප්‍රචණ්ඩත්වයට එරෙහිවද විරෝධයක් නොමැති සහ මේ අසාර්ථක විවෘත වෙළඳපල ආර්ථිකයේ සියලු බිඳ වැටීම් අලුතින් කියවීමට නොහැකි වීම, ගාලු මුවදොර තරුණ විරෝධයෙහි තාර්කික නැවතුමකි.
 
 
ගෝටා ගෙදර ගිය පසු කරන්නේ මොනවාදැයි නොදන්නා දේශපාලනයකට පවතින සුසමාදර්ශයට එරෙහිව නව සුසමාදර්ශයක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම අරුමයක් නොවේ. අරුමය වන්නේ එයට පැරණි පරම්පරාවන්හි අසාර්ථකත්වය අභිබවා යා හැකි යැයි විශ්වාස කිරීම ය.
 
 
අනාගතය පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇතිකර ගැනීමට මේ සියලු විරෝධයන්ගෙන් ඉවත් වූ අලුත් සමාජ කතිකාවකට මුල පිරිය යුතුව ඇත. එය මූලික කාරණා කිහිපයක් මත දිග හැර ගත යුතු සමාජ කතිකාවකි.

පළමු හා ප්‍රධානම කාරණාව වන්නේ මේ මොහොතේ බහුතරයක් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමේ ප්‍රායෝගික සැළසුමක් හදා ගැනීම ය. දෙවැන්න රාජපක්ෂලාගේ දූෂණ වලට සීමා නොවන මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ පරිසර විනශෙයේ සිට වත්කම් හා ආදායම් බෙදී යාමේ විෂමතා හරහා විනය හා සදාචාරය විනාශවීම දක්වා සියලු අගතීන් හා විපත් සම්බන්ධව මනා කියවීමක් ආරම්භ කිරීම ය.
 
“එය බහුජන සංවිචාරණය මුල් කර ගොඩනැගිය යුත්තක් මෙන්ම, බහුජන සංවිචාරණය පදනම් කරගෙන පවත්වා ගත යුත්තකි.” යැයි විජයානන්ද ජයවීර ඔහුගේ කෘතියෙහි සමාප්තියට ලියා ඇත. එනිසා වඩාත් වැදගත් වන්නේ ඒ වෙනුවෙන් කිසිදු ඉඩක් මේ ගෝටාගෝගමෙහි නැති බව තේරුම් ගැනීම ය.
 


රජයේ වූවත් නොවූවත් අපට ඇති අයිතිය - Colombo Telegraph(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 ජුනි 06 වන දින
 
 
{gallery}radicalcenter2022531{/gallery}
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image