පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා ගෑස් පෝලිම් වර්තමානයේ මෙරට ජනතාවට අලුත් අත්දැකීමක් නොවේ. එය මේ වන විට දෛනික ජීවන චර්යාවේ එක් අංගයක් බවට පත්ව තිබේ.

 


පවතින තත්ත්වය හමුවේ ලබන මස මුල් සතියේ සිට සතිපතා කෝටාවකට අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය සූදනම් වෙයි.

අවසන් වරට ශ්‍රී ලංකාවේ සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වුයේ 1970 දශකයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ පාලන සමය තුළ ය.

එනමුත් විචාරකයින් පවසන්නේ 70 දශකයේ පැවති සලාක ක්‍රමය හෝ පෝලිම් ක්‍රමය වර්තමානය සමග කිසිසේත් සැසඳිය නොහැකි බව යි.


70 දශකයේ මොකද වුණේ?

image 55465484e0

එදා සහල් සලාක පොත..

 

1972 වසරේ දී, රටේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා සමගි පෙරමුණු රජය පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළේ ය.

ඒ, ආර්ථික වර්ධනය 6%ක මට්ටමකින් පවත්වාගෙන යාම, රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ අටකට රැකියා සැපයීම, සහ අපනයන විවිධාංගීකරණය කිරීම අරමුණු කර ගනිමිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක 1970 මහා මැතිවරණ වේදිකාවේ දී ලබාදුන් පොරොන්දුවක් වූයේ හඳෙන් හෝ හාල් ගෙනවිත් දෙන බව යි.

ජීවන බර අඩුකර, රටේ රැකියා ප්‍රශ්නවලට ද විසඳුම් ලබාදෙන බවට ඇය දුන් පොරොන්දු නිසා සමගි පෙරමුණු රජයට පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි බලයක් හිමිවිය.

එහෙත් 1971 අප්‍රේල් ඇතිවූ කැරැල්ල නිසා ආණ්ඩුවේ සියලු සැලසුම් වෙනස් කිරීමට සිදුවිය. කැරැල්ල සාර්ථකව අවසන් කළ සමගි පෙරමුණු ආණ්ඩුව රට දියුණු කිරීමට සැලසුම් සකස් කළේ ය.

එහෙත් ආණ්ඩුව බලාපොරොත්තු වූ අයුරින් පස් අවුරුදු සැලැස්ම සාර්ථක එකක් නොවීය.

ජනතාවට පරිභෝජනයට ප්‍රමාණවත් තරම් ආහාර නොමැතිවීම හේතුවෙන් ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්වූහ.

යම් පුද්ගලයෙකු අත කොපමණ මුදලක් තිබුණත් ප්‍රමාණවත් තරම් ආහාර සහ අනිකුත් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාවක් නොතිබුණි.

මේ හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වූයේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වූ ජනතාව යි.

ග්‍රාමීය ජනතාව ගමේ කොරටුවේ හෝ වතුපිටිවලින් අමතර ආහාර සොයාගන්නා විට, නාගරික සහ අර්ධ නාගරික ජනතාවට සිදුවූයේ සලාක ක්‍රමය යටතේ ආහාර ලබාගැනීමට යි.

189a3303 7390 4ad8 a708 eb26aaf283cb 1024x799

මිනිස්සු භූමිතෙල් ගඳ ගහන ඇඳුම් ඇන්දෙත් බොහොම ගරු නම්බුකාර විදිහට

 

70 දශකයේ මතකයන් අවධි කිරීමට හේමා වීරසිංහ අප හා එක්වූවා ය.

"සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දාට විතරයි බත් කන්න හම්බවුණේ. අනික් දවස්වල අල, බතල, රොටි තමා අම්මා තියන්නේ ඉස්කෝලේ ඇරිලා එනකොට. පොල් දාලා බතල තියෙනවා. නැත්නම් පොල් හරි, ලුණුමිරිසක් එක්ක මංඤොක්කා තම්බලා තියෙනවා. ඒවා කන්න පුළුවන්."

"හාල් කිලෝ පහකට වඩා ගෙදර ගේන්න බැහැ, පොලිසියෙන් අල්ලනවා. හාල් පොත් තිබ්බ ගෙදර. හාල් ගන්න මම පෝලිමේ ඉන්නවා. අම්මා ගෙදර වැඩ ඉවරවෙලා එනවා. ඒ හාල් ටික තමා මාසෙම කන්න ඕනේ," ඇය එකල මතකයන් ආවර්ජනය කරයි.

"අයියට යි මටයි පාන් බාගය යි හම්බවෙන්නේ. ඉතින් මඳි කන්න. පාන් බාගේ ගන්නත් පෝලිමේ හිටගෙන ඉන්නවා," ඇය පැවසුවා ය.

"ආණ්ඩුවෙන් කිරිපිටි පැකට් එකයි දෙන්නේ දරුවට. රටපිටි කඩ එක යි තිබුණේ ටවුන් එකේ. තව කිරිවේලක් දෙන්න පිටි පැකට් එකක් ගන්න ග්‍රාමසේවක අත්සන් කරන්න ඕනේ. අත්සන් කළොත් විතරයි තව පිටි පැකට් එකක් දෙන්නේ. බඩු ගන්න සමූපකාරේ පෝලිම දැක්කම එපා වෙනවා," තිලකා වීරකෝන් සිය මතකය අවධි කරමින් පැවසුවා ය.


සහල් පොලු සහ මිරිස් පොලු


ආහාර සංග්‍රාම වැඩසටහන යටතේ, වගා නොකර පැවති සෑම ඉඩමක්ම වගා කිරීම තුළින් දේශීය පරිභෝජනයට අවශ්‍ය ආහාර නිශ්පාදය ඉහළ නැංවීමට එවකට රජය සැලසුම්කර තිබුණි.

ඒ අනුව මෙරට වගා කළ භෝග වර්ග ආනයනය කිරීම සීමා කෙරිණ. එහෙත් විවිධ හේතු මත දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් නොලැබීම හමුවේ එම වකවානුව තුළ රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය හිඟයක් නිර්මාණය විය.

ආහාර අර්බුදය සමනය කිරීම සඳහා රජය ගත් එක් පියවරක් වුයේ සහල් පොලු සහ මිරිස් පොලු දැමීම යි.

ඒ අනුව එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ගෙනයාම තහනම් විය. එම භාණ්ඩ රජයේ සෘජු පාලනය හා අධීක්ෂණය යටතේ බෙදාහරිනු ලැබුණි.

සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල ආපනශාලාවල බත් අලෙවියට අවසර හිමි නොවී ය. පාන් නිෂ්පාදනය ද සීමා කෙරුණු අතර පාන් බෙදාහැරුණේ ද සලාක ක්‍රමය යටතේ යි.

පාන්වලට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය රැසක් එවකට බෙදාහැර ඇත්තේ සලාක ක්‍රමය යටතේ, රජයේ විවිධ සේවා සමූපකාර මඟිනි.


සරල ජීවන ක්‍රමයක්


main street colombo city 1980s

"කොළඹ තිබ්බ උසම ගොඩනැගිල්ල තමා ආකාස කඩේ. කොළඹ තිබ්බ ජනප්‍රියම තැන්වල තිබුණේ එක්කෝ ආප්ප. ඒ වගේ පොඩි පොඩි දේවල්. මේ වගේ විස්තීර්ණ සමාජයක් නොවෙයි ඒක ඇත්තටම. ඒ කාලේ ගෑස්වලින් ඉව්වේ නැහැ. මිනිසුන්ට ටෙලිෆෝන් තිබුණෙත් නැහැ. ටෙලිෆෝන් තිබුණේ ඉතාම සුළු පිරිසකට. හෑන්ඩ්ෆෝන් මොනවත් තිබුණෙත් නැහැ. අන්තර්ජාලය කියලා එකකුත් අපි දැන ගෙන හිටියේ නැහැ. ඒකත් හුඟක් පස්සේ ආවේ. ඔය ගෝලීයකරණයට ලක්වෙලා, ආර්ථිකය විවෘත වෙලා, ගෝලීයකරණ ලෝකයකට ලක්වෙලා ඒ ආවට පස්සේ ඇතිවුණ තත්ත්වයක් තමා මේ තත්ත්වය," ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පෙන්වා දුන්නේ ය.

"1960 වෙනකන් ලංකාව රසායනික පොහොරවත් දැන ගෙන හිටියේ නැහැ. පාවිච්චි කරේ ගෙරිකටු පොහොර කියලා එකක්. හරක්ගේ කටු පොඩිකරලා, ඒවයින් හදාගත්තු පොහොර තමා ලංකාවේ තිබිච්ච එකම පොහොර වර්ගය. ලංකාවේ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් පිටරටින් ගෙනාවේ. අස්වැන්න ඉතාම පහළ මට්ටමක තිබුණේ.

"මේ වගේ වාහන තිබ්බෙ නැහැ. බොහොම කලාතුරකින් තිබුණේ වාහන. රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් වාහන පාවිච්චි කළේ කිහිපදෙනයි. ඒගොල්ලොත් ඇත්තටම වාහනවලින් පාර්ලිමේන්තුවට ආවේ නැහැ ගමේ ඉදලා. ඒගොල්ලෝ කළේ, ඒගොල්ලන්ට පාස් එකක් තිබුණා කෝච්චියේ වාහනය දාගෙන එන්න පුළුවන්. එතකොට වාහන කොච්චියේ දාගෙන කොළඹ ඇවිල්ලා, මරදානේ හරි කොටුවේ හරි බැහැලා ආපහු කාර් එක එළියට අරගෙන, ඒකෙ නැගලා සාවස්ත්‍රියට ගිහිල්ලා තමා ඊට පහුවෙනිදා පාර්ලිමේන්තුවට යන්නේ. ආපහු පාර්ලිමේන්තුවෙන් කොටුවට හරි මරදානට කාර් එකේ ඇවිල්ලා, මෝටර් රථය අර පාස් එක යටතේ ආපහු කෝච්චියේ දාගෙන තමා ගාල්ල, මහනුවර හෝ කරුණෑගල හෝ ඕන ගමකට යන්නේ. ඒක තමයි තිබුණ ක්‍රමය," වික්ටර් අයිවන් පැහැදිලි කළේ ය.


"70 දශකයේ පෝලිම් ක්‍රමය මේ වගේ වේදනාකාරී නැහැ"


මාධ්‍යවේදී වික්ටර් අයිවන් BBCය සමග මෙසේ ද කියා සිටියේ ය:

"ඒ කාලේ සිරිමාවෝ විතරක් නොවේ හැමෝම හිතුවේ වගා කරලා රට දියුණු කළ යුතු යි කියලා. එහෙම තමා මුළු ලෝකයම හිතුවේ. ඒ කාලේ මහා විවෘත ආර්ථීකයක්, ගෝලීය තත්ත්වයක් ලෝකයේ තිබුණේ නැහැ. ඒ කාලේ කොහොමත් මේ වගේ විස්තීර්ණ සමාජයකුත් තිබුණේ නැහැ, භාණ්ඩ වෙළෙඳපොලක් තිබුණෙත් නැහැ. මිනිස්සු බොහොම සීමිත යි කන බොන විදිහ, අඳින පළඳින විදිහ. ඒ රාමුව තුළ තිබ්බ පෝලිම් ක්‍රමයත් මේ වගේ වේදනාකාරී නැහැ ඇත්තටම. මේකට සමාන කළොත් ඒක විහිළුවක් වෙනවා.

"මොකද හේතුව, බොහොම සීමිත වටාපිටාවක මිනිස්සු ලෝකය දන්නේ නැහැ. මේ අලුත් භාණ්ඩ, ඒවා අඳුනන්නේ නැහැ. ඒ ආණ්ඩුවෙන් විතරක් නොවේ, ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවලිනුත් පිටරටවලින් ගේන ඒවා හැටියට දැන ගෙන හිටියේ ඇපල්, මුද්දරප්පලම්, චීස් වගේ සීමිත භාණ්ඩ කිහිපයක් විතරයි. මේ වගේ පරිසරයක්, මේ වගේ විස්තීර්ණ වෙළෙඳපොළක් තිබුණේ නැහැ. එතකොට ඒ කාලේ මිනිස්සු කොහොමත් බොහොම සීමිත දුක්ඛිත ජීවිතයක් ගතකළේ. එතකොට ඒගොල්ලෝ පෝලිම්වලට යෑමෙන් දුක්විඳපු ප්‍රමාණ මේ තරම් විශාල නැහැ," ඔහු ප්‍රකාශ කළේ ය.

"ඇත්ත වශයෙන්ම එතකොට ගෑස් කියන එකවත් රටේ තිබ්බේ නැහැ. ටෙලිෆෝන් තියෙන්න ඇති දසදහසකට එකක්. හෑන්ඩ්ෆෝන් මුකුත් තිබුණේ නැහැ. මිනිස්සු භූමිතෙල් ගඳ ගහන ඇඳුම් ගත්තෙත් බොහොම ගරු නම්බුකාර විදිහට. අද නම් කවුරුවත් ඒවා අඳින්නෙවත් නැහැ. ඒ කාල දෙක සසඳනවට මම කැමති නැහැ. ඒකාලේ මිනිස්සු කෑවෙත් බිව්වෙත් සීමිත දේවල් ප්‍රමාණයක්. අඩු තරමේ මිනිස්සු අතිවිශාල බහුතරයක් සොසේජස් කියන්නේ මොනව ද කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඒ කාලේ අයිස්ක්‍රීම් කියලා දැනගෙන හිටියෙත් බොහොම සීමිත අයිස්ක්‍රීම් වර්ග ප්‍රමාණයක් තමා තිබ්බේ."


එකල පෝලිම්වල ගැටුම් ඇතිවූයේ නැතිබව ද මාධ්‍යවේදී වික්ටර් අයිවන් කියා සිටියේ ය.



"රට තියෙන්නේ බොහොම බිහිසුණු තත්ත්වයක. දැන් ඉන්නේ අපි අගාධයක. ඒ අගාධයේ අපි ඉන්නෙත් තව අගාධයකට වැටෙන්න ඔන්න මෙන්න කියන තත්ත්වයක. ඒක මහජනයා දන්නේ නැහැ. සමහරවිට දේශපාලකයෝ දන්නෙත් නැහැ. ඒ අගාධයට වැටුණොත් ශීලාචාර තත්ත්වය අපිට අහිමිවෙනවා. එතකොට රජයක් අවශ්‍ය වන්නේ නැහැ. රජය බිඳවැටෙනවා. නීතියේ ආධිපත්‍යය විතරක් නොවෙයි, ශීලාචාරත්වය බිඳ වැටෙනවා. ඒක දේශපාලනඥයාගේ වරදින් පමණක් නොවෙයි මහජනයාගේ වරදින් සිදුවන දෙයක්," වික්ටර් අයිවන් පැවසුවේ ය.




"අසහනයක් තියෙන්න පුළුවන්. තමන් පෝලිමක ඉඳලා පෙට්‍රල් නැත්තම්, පෙට්‍රල් ෂෙඩ් එකේ මිනිස්සුන්ටත් ගහනවා නම්, අයිතිකාරයගේ ගෙටත් ගහනවා නම්, මේක මහ පිස්සු තත්ත්වයක්. ඇත්තටම කිසිම විනයක් නැහැ. නිලධාරීනුත් මේ තත්ත්වයට වගකිවයුතු යි, මහජනතාවත් වගකිව යුතු යි," ඔහු වැඩිදුරටත් පැවසීය.


(BBC සිංහල සේවය)


{gallery}radicalcenter2022531{/gallery}
 


 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image