1200 x 80 DMirror

 
 

මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට

එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත ජාතිවාදයක් නිසා ඒ ජාතිවාදයට පක්ෂ විය යුතුය කියන හිරු කණ්ඩායමේ ස්ථාවරයට විරුද්ධව සටන් කළා. බලය බෙදීම වෙනුවෙන් සටන් කළා. ජාතික ප්‍රශ්නයට විසඳුම සිංහල (ශ්‍රී ලාංකික), දෙමළ, මුස්ලිම් වැනි ජාතික අනන්‍යතාවන් අතික්‍රමණය කරන පුළුල් දේශපාලන ප්‍රජාවන් නිර්මාණය කරගැනීමය කියන ආස්ථානය ප්‍රවර්ධනය කළා (ඉන්දියාව එක්ක සහසන්ධීය රාජ්‍යයක් කියන සංකල්පය ගේන්නෙත් එතනින්). මහින්ද රාජපක්ෂලා පරද්දන්න දිගටම වැඩ කළා. 2015දී මහින්ද රාජපක්ෂලාව පැරැද්දුවා. 2019දි ගෝඨාභය රාජපක්ෂ පරද්දන්නට ශක්තිය තිබුණු බව පෙනුණු ප්‍රබලම අපේක්ෂකයා වෙනුවෙන් වැඩකළා. ආර්ථිකය කඩාවැටෙන නිසා කොවිඩ් ඇඳිරි නීතියට විරුද්ධව සටන් කළා. කොවිඩ් කියන්නෙ බිස්නස් එකක් නිසා ඒකට අහුවෙන්න එපා කිව්වා. ආර්ථික අර්බුදය එනකොටම 2019ට කලින් හිටපු පාරිභෝජනවාදී ජීවිතේ ආපහු ලැබෙන්නෙ නැති නිසා පාරිභෝජනවාදයෙන් මිදෙමු කිව්වා. ඒ නිසා දැනුත් මං ඉන්න තැන නිවැරදියි කියලා මට විශ්වාසයි.

අරගලයේ හෝ ප්‍රචණ්ඩත්වයේ හෝ දෙවෙනි රැල්ලක් ගැන කතාකරන අද දවසේ මං ඉන්න ස්ථාවරය මේක.

https cdn.cnn.com cnnnext dam assets 220405002141 01 sri lanka protest 04042022

1). ගෝඨාභය කියන්නෙ ඡන්දෙන් පත්වෙච්ච පාලකයෙක්. උද්ඝෝෂණයෙ ‘ගෝටා ගෝ හෝම්’ කියන සටන් පාඨය යථාර්ථවාදී වෙන්නෙ ගෝඨා ඉල්ලා අස්වෙන එකෙන් විතරයි. ඒක ඔහුගෙ පෞද්ගලික තේරීමක්ම නෙමෙයි. ගෝඨාගෙ සහායක පදනමේ උවමනාවත් එතනදි වැදගත්. මේ වෙනකොට උන් ත්‍රස්තවාදයෙනුත් බැටකාලා ඉන්නෙ. මගේ අධ්‍යයන අනුව පණ බයේ ඉන්නෙ. පෙරළා පහරදෙන ශක්තියක් ඔවුන්ට නැහැ. ගෝඨා අස්වුණොත් උන්ට මොකක් වෙයිද මං දන්නෙ නැහැ.

මේ වෙනකොට රාජපක්ෂලා සෑහෙන්න පසුබැහැලා ඉන්නෙ. ඒ වුණාට බලය තියෙන එවුන් ඉල්ලන් කන්න බලාගෙන බලය අතහරින්නෙ නැහැ. ගෝඨාව පන්නන්න ඕනැ නම්, බලයේ ඉන්න අයට ආරක්ෂිතව බලයෙන් පිටවෙන්නට මාර්ගයක් හදන්න ඕනැ. මස් රාත්තලම ඉල්ලලා ඒක දිනාගන්න බැහැ. රටටත්, සමාජයටත් අවම හානි සිදුවෙන සම්මුතියකට යන්නට ඕනැ. ඒකට අරගලයට නායකත්වයක් නැහැ. අරගලය කිසිම නායකයෙකුව පිළිගන්නෙත් නැහැ. අරගලයට තියෙන්නෙ ඉල්ලීම් විතරයි. ඒ ඉල්ලීම් දිනාගන්න වැඩපිළිවෙලක් නැහැ.

 

ජනතාව කෝපයට පත්වෙලා, විනාශකිරීම් කරලා තමන්ට මොකක් හරි කරල දෙයි වගේ අපැහැදිලි බලාපොරොත්තුවක් තමයි තියෙන්නෙ. අරගලයෙ හරය තුළ මං නම් දකින්නෙ විරෝධය හා පළිගැනීම විතරයි. විසඳුම් සම්බන්ධ සංවාදයක් නැහැ.

 

2). ගෝඨාභය පැන්නුවොත් රනිල් ජනාධිපති වෙයි. ගෝඨාභයවයි, රනිල්වයි දෙන්නම පැන්නුවොත් මහින්ද යාපා ජනාධිපති වෙයි. මට නම් රනිල්වවත්, මහින්ද යාපවවත් ජනාධිපති කරන්නට කිසිම උවමනාවක් නැහැ.



3). විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් යෝජනා තියෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාවලිය වඩා ප්‍රායෝගික වගේ පෙනෙනවා. ඒත්, පවතින යථාර්ථය තුළ ඒකවත් ප්‍රායෝගික නැහැ. සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් කියලා එකක් නිර්මාණය කරන්නට බැහැ. සියලු පක්ෂ එහෙම එකකට එකඟ කරගන්නට පුළුවන් කිසිම නායකයෙක් නැහැ. ඒ නායකත්වය දීමේ හැකියාව අරගලය තුළ නීතීඥයන්ගේ භූමිකාවේ ප්‍රතිඵල විදියට ශ්‍රී ලංකා නීතීඥ සංගමයටත් නැතුව ගියා.

සරලව කිව්වොත්, ගෙවල් ගිනි තැබීමට ලක්වුණ මන්ත්‍රීවරු ඒ නායකත්වය පිළිගනියිද කියන එක මට සැකයි. කොහොම හරි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදාගත්තත් ඒකෙ නායකත්වය කාට භාරදෙනවාද කියන ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න වෙන්නෙ නැහැ. එහෙම නායකයෙකු පාර්ලිමේන්තුව ඇතුළෙත් නැහැ. පිටත් නැහැ.


4). එහෙම තත්වයක් තුළ අරගලයට නායකත්වය දෙන බලවේග විසින් කළ යුතුව තිබෙන්නෙ මහජන අරගලයක් හා සන්නද්ධ අරගලයක් හරහා බලය පැහැරගන්න එක. ඒක අධික අවදානම් සහගත විසඳුමක්. බලය පැහැරගත්තත්, රට තුළ හා රටින් පිට ඇතිවන ප්‍රතිරෝධය හමුවේ අභියෝග රැසකට මුහුණදෙන්නට සිදුවෙනවා.

එහෙම සන්නද්ධ අරගලයක් විසින් තවත් අතුරු හමුදා රැසකට අවස්ථාව ලබාදෙනවා. ජාත්‍යන්තර බලවේගවලට ලංකාවට මැදිහත් වෙන්නට විවිධ අවස්ථා ලැබෙනවා. දකුණේ අරගල නායකත්වයකට උතුරේ හා නැගෙනහිර තිබෙන බලය ඉතාම දුර්වලයි. ඒ නිසා උතුරේ හා නැගෙනහිර දේශපාලන බලවේගවලට තමන්ගෙ අරමුණු ඉටුකරගන්නට ඒක හොඳ අවස්ථාවක් වෙන්නත් පුළුවන්.


5). ලංකාවේ අරාජික තත්වයක් නිර්මාණය වෙන එක ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර බලවේගවලට වඩා හොඳයි. ඔවුන්ගේ මැදිහත්වීම් නිසා ලංකාවෙ අර්බුදය විසඳන්නට බැරි තැනකට එයි.


6). මේ සියල්ල මැද්දෙ ඡන්දෙන් පත්වුණ ආණ්ඩුවට තියෙන සදාචාරාත්මක වලංගුභාවය තවත් ශක්තිමත් වේවි.


7). ඔය අතරෙ ලංකාවෙ ආර්ථිකය මුළුමනින්ම කඩාවැටේවි. වර්තමානයේදී ආණ්ඩුව අර්බුදයෙන් ගොඩඑන්නට ප්‍රයත්නයක් දරනවා. එහෙම ප්‍රයත්නයක් දරන්නට හෝ කවුරුවත් නැතිවෙන එක තියෙන තත්වයට වඩා නරකයි.


8). ඔය ඉහත කී දේවල් වෙන්න කලින් ආණ්ඩුව බිත්තියටම හේත්තු කරන්න වෙයි. බිත්තියටම හේත්තු කරපු ආණ්ඩුවකින් එල්ලවෙන ප්‍රතිප්‍රහාරය මොන වගේ එකක් වෙයිද කියන එක මට අනුමාන කරන්න අමාරුයි.


9) . මොන ආණ්ඩුව බලයට පත්වුණත්, මේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය හා සමාන ක්‍රියාමාර්ග ගන්නවා ඇරෙන්නට ඊට වඩා වෙනස් දෙයක් කරන්නට බැහැ.

 

සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම වැනි කෙනෙකු නායකත්වයට පත්වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම තමයි බලාපොරොත්තු බවට පත්වෙන්නෙ. වෙන බලාපොරොත්තු තියන්න දෙයක් නැහැ.

 

IMG 20220614 WA0522 1024x768

අතරමැදි කාල පරිච්ඡේදයේදි වුණත් කවුරුවත් අපට උදව් කරන්නෙ නැහැ. මං නම් කියන්නෙ උදව් කරනවා කියන එක වැරදියි.

ඒක අර කමියුනිටි කිචන් කියලා දන්සැල් දෙන එක වගේ වැඩක්. කමියුනිටි කිචන් කියන්නෙ මිනිසුන් ප්‍රජාව ඇතුළෙන් ප්‍රශ්න හඳුනගෙන විසඳුම් හොයාගන්න වැඩක්. දන්සැල් දෙන්න ගියාම මිනිසුන් තුළ ව්‍යාජ අපේක්ෂාවන් නිර්මාණය වෙනවා විතරක් නෙමෙයි, විසඳුම් නිර්මාණය කරගන්නට ප්‍රජාවේ තිබෙන විභවයත් දියවෙලා යනවා. අනුන්ට අතපාන පරාධීන මිනිසුන් නිර්මාණය වෙනවා. බ්‍රිජිං ෆයිනෑන්ස් කියන එකත් ඒ වගේ.

සමාජයක් විදියට විසඳුම් හොයාගන්නෙ නැතුව, තියෙන තත්වයන්ට ඇජස් වෙන්නෙ නැතුව, පාරිභෝජනවාදී ජීවිත සුපුරුදු විදියට ගෙනියන්නට විදේශාධාර සොයන සමාජයකට කවුරුවත් ණය දෙන්නෙත් නැහැ. දෙන්න ඕනැත් නැහැ. ලංකාවෙ මහජනයා විදියට අපි කෙළින පිස්සු විදේශ රාජ්‍ය හා සංවිධාන මොනිටර් කරනවා.



10). ස්ථාවර විසඳුම, හැකි තරම් විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා, ඡන්දයක් තියලා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පත්කරන එක. ඒ ආණ්ඩුවට නියමිත කාලයේදී ඔවුන් ඡන්දයේදී ඉදිරිපත් කළ වැඩසටහනට අනුව වැඩකරන්නට අවස්ථාව දෙන එක. කොහොම කළත්, ඉතා වේදනාකාරී ප්‍රතිසංස්කරණ ඔස්සේ මිස විසඳුමක් සොයන්න බැහැ. පුරවැසියන් විදියට අපි ඒකට උපකාර කරන්නට ඕනැ.



ඩියුටි ෆ්‍රී' වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය -අජිත්  පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk


Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58