1200 x 80 DMirror

 
 

මැයි 25 දින කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ ව පරීක්ෂණය සඳහා මහ බැංකු නිලධාරීන් කැඳ වූ අතර එහි දී මහ බැංකු නිලධාරීන් විසින්

කරන ලද සමහර ප්‍රකාශනයන් මේ දිනවල සමාජ මාධ්‍යය පිරී පවතී. ඒවා එම නිලධාරීන්ගේ හෙළිදරවු කිරීම් ලෙස වාර්තා කෙරේ.

මෙහිදී, මෙම නිලධාරීන් පසුගිය දශක කිහිපය තුළ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ සංචිතය, විනිමය අනුපාතය, ජාත්‍යන්තර සෛරිත්ව බැඳුම්කර සහ රාජ්‍ය ණය කළමනාකරණය මෙන්ම IMF ණය වැඩසටහන් පිළිබඳ ව ක්‍රියාශීලී ලෙස ප්‍රතිපත්ති තීරණයන් ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ යෙදුන පිරිසක් වෙයි.

එවක මහ බැංකු අධිපතිවරු කිහිප දෙනෙකු සහ මුදල් මණ්ඩලය මෙහෙය වූයේ ඔවුන් වන අතර ඒ බව ඔවුන් වෙත ලැබී ඇති කඩිනම් උසස් වීම්, විදේශ පත්වීම් සහ නිල විදේශ සංචාරයන් දෙස බැලීමේ දී මනාව පැහැදිලි වෙයි.


වත්මන් මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් IMF හි විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ විකල්ප විධායක අධ්‍යක්ෂක ලෙස සේවය කොට IMF විශ්‍රාමික වැටුපක් ද ලබන පුද්ගලයන් ද වෙයි. වත්මන් මහ බැංකු අධිපති යනු 2011 දී IMF සේවයේ යෙදෙන සමයේ මහ බැංකුවේ එවක පැවති පුරප්පාඩුවක් පියවීම පිණිස නියෝජ්‍ය අධිපති උසස් වීම ද ලැබී එම තනතුරේ රාජකාරි භාර ගැනීමකින් තොරව තවත් වසරක පමණ කාලයක් අඛණ්ඩව IMF තනතුරේ නිරත වීමට වීමට තරම් එවක් රජය සහ මහ බැංකු අධිපති සමඟ හොඳ සබදතාවයක් තිබූ කෙනෙකි.



එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ මැයි 25 දින කෝප් රැස්වීමේ දී ශ්‍රී ලංකාවට 2020 දී IMF ණය නොලැබීම පිළිබඳ ව හෙළි වූ වාචික තොරතුරු සහ එම තොරතුරුවල සැකය හේතු කොට ඒ පිළිබඳ ව තවදුරටත් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉදිරිපත් කිරීම යි.


IMF ණය නොලැබීම පිළිබඳ ව ඉදිරිපත් වූ ශෝචනීය තොරතුරු බිඳක්


IMF එක විසින් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ ගැටළුව නිරාකරණය කරන ලෙස මහ බැංකුවට දැනුම් දුන්නේ කවදා ද? යන්න කෝප් සභාව විසින් විමසූ විට, ඊට පිළිතුරු දුන් භාණ්ඩාගාර ලේකම් ප්‍රකාශ කළේ ඔහු දන්නා ආකාරයට ශ්‍රී ලංකාව විසින් IMF සීග්‍ර මූල්‍යකරන ණය ක්‍රමය යටතේ ණය මුදලක් 2020 අප්‍රේල් මාසයේ දී ඉල්ලූ බවත්, මොන හේතුවකට හෝ එම ඉල්ලීම පිළිබඳ ව ඉදිරි කටයුතු සිදු නොවූ බවත් ය.

එනම්, මෙම පිළිතුර "යන්නෙ කොහේ ද? මල්ලෙ පොල්" වැනි පිළිතුරකි.

එසේම, IMF ණය ඉල්ලීම පිළිබඳ ව ඉදිරි කටයුතු සිදු නොවීම පිළිබඳ ව ඔහු දැන නොසිටීම සැකයට කරුණකි. ඊට හේතුව, එම අවස්ථාව වන විට ඔහු 2019 අවසන් කාලයේ IMF සේවයෙන් ආපසු මහ බැංකුවට පැමිණ 2020 පෙබරවාරි මස සිට නියෝජ්‍ය අධිපති තනතුරේ කටයුතු කළ බැවිනි.

එබැවින්, IMF සීග්‍ර මූල්‍යකරන ණය ක්‍රමය පිළිබඳ ව ඔහු විසින් හොඳින් දැන සිටි බවට සැකයක් නොමැත.

 

එම අවස්ථාවේ IMF විකල්ප විධායක අධ්‍යක්ෂක තනතුරේ සිටියේ ද මහ බැංකුවේ ඔහුගේ සහ වත්මන් මහ බැංකු අධිපතිගේ මිතුරියක වන බැවින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා ගැනීම පිණිස IMF සමඟ පසුවිපරම් කිරීම ඉතා පහසු කරුණක් බවට සැකයක් නොමැත.

 

එහෙත්, මෙම අවස්ථාවේ වත්මන් මහ බැංකු අධිපති විසින් සුපුරුදු ලෙස ඉදිරියට පැන IMF ණය නොලැබීම පිළිබඳ ව එම අවස්ථාවේ සිටි රජයේ ඉහළ නිලධාරීන්ට වරද පටවමින් වාචික අදහස් රැසක් ඉදිරිපත් කරන ලදි.


IMF ණය නොලැබීම පිළිබඳ ව වත්මන් මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කළ ශෝචනීය තොරතුරු


# මුදල් ඇමති විසින් සීග්‍ර මූල්‍යකරන උපකරණය යටතේ ණයක් අයදුම් කළ පසු තමා එම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති වශයෙන් IMF නිලධාරී මට්ටමේ සියළු සාකච්ඡාවන් පැවැත් වූ බව.

# IMF එම අවස්ථාවේ ඔවුන්ගේ ණය සලකා බැලීමේ පළමු මෙවලම ලෙස ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ ව ඇගයීමක් කොට, ඔවුන්ගේ උපකල්පනයන් අනුව ඉදිරි 5 තුළ ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවට නිගමනය කිරීම සහ ඒ සඳහා මූල්‍ය උපදේශකයන් පත් කළ යුතු බවට IMF විසින් යෝජනා කිරීම සහ එම IMF මතය පැහැදිලිව දන්වා තිබීම.

# එම මතය එවක මහ බැංකු අධිපති සහ ජනාධිපති ලේකම් වෙත දැන්වූ බව.

# එම අවස්ථාවේ ඉහළ මට්ටමේ තීරණ ගැනීම කරනු ලැබූවේ ජනාධිපති ලේකම් බව සහ IMF අධ්‍යක්ෂක වරයා ඍජුවම ජනාධිපති ලේකම් සමඟ සාකච්ඡා කළ බව.

# එම අවස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය නොකරන බවත්, අපිට මෙය කළමනාකරණය කර ගත හැකි බවත් තීරණය කොට එම සාකච්ඡාවන් එතනින් නිම කිරීම.

 

එහෙත්, මෙහිදී මතු වන සැකය වන්නේ IMF විසින් වාර්ෂිකව ආර්ටිකල් IV උපදේශන සේවාව කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ ණය තිරසාර බවක් නොමැති බව ප්‍රථම වරට වාර්තා කරනු ලැබුවේ 2022 මාර්තු 25 වෙනි දා වන බැවිනි.


එබැවින්, මෙම IMF මතය පිළිබඳ ව කිසිම ලිඛිත තොරතුරක් ඉදිරිපත් නොවීමත්, IMF ණය ඉල්ලුම් පත්‍රයේ ඉදිරි කටයුතු සිදු නොවීමට හේතුව කුමක් ද? යන්න තමා නොදන්නා බව භාණ්ඩාගාර ලේකම් විසින් ප්‍රකාශ කිරීමත් හේතු කොට මහ බැංකු අධිපතිගේ මෙම ප්‍රකාශයන්වල සත්‍යතාවය පිළිබඳ ව විශාල සැකයක් ඇති වෙයි. එසේම, කෝප් රැස්වීම් සාමාන්‍යයෙන් දේශපාලනික වශයෙන් ඉලක්ක කෙරෙන පුද්ගලයන්ට පහර දීමේ අරමුණ මත වාචික සාක්ෂි තුළින් සිදු වීම ද මෙම සැකයට තවත් හේතුවකි.



කොරෝනා වසංගතය ආරම්භයේ දී IMF කළමනාකරණ අධ්‍යක්ෂකවරිය විසින් සාමාජික රටවල් වෙත කළ දැන්වීම සහ IMF ණය ප්‍රදානය:



ඇය විසින් 2020 මාර්තු මස 17 දින බ්ලූම්බර්ග් ව්‍යාපාරික මාධ්‍යය හරහා පහත අදහස් දක්වන ලදි.

# වසංගතයේ බලපෑමට ලක් වී ඇති රටවලට කඩිනම් ණය ලබා දීම සඳහා ඩොලර් බිලියන 50 ක් වෙන් කළ බව සහ අවශ්‍ය වුව හොත් IMF මුළු අරමුදල් ධාරිතාවය වන ඩොලර් බිලියන 1,000 ම භාවිතා කිරීමට සුදානම් බව.

# එබැවින්, හැකි ඉක්මනින් ණය අයදුම් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටීම.

# සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිටත කඩිනමින් ණය ලබා දෙන බව සහ ඒ සඳහා කොරෝන වසංගතය මැඩලීමට වැය වන වියදම් පිළිබඳ ව වාර්තාවන් ප්‍රමාණවත් බැවින් එම වාර්තා තබා ගන්නා ලෙස.

 

ඒ අනුව, මෙවැනි අර්බුදකාරී අවස්ථාවල කඩිනමින් IMF ණය සැපයෙන සීග්‍ර මූල්‍යකරන මෙවලම සහ සීග්‍ර ණය පහසුකම යන ක්‍රමයන් දෙක සහ ඊට අමතරව දීර්ඝ කරන ලද ණය පහසුකම යටතේ රටවල් රාශියකට 2020 සහ 2021 වර්ෂවල ණය ලබා දී ඇත. මේ දක්වා, රටවල් 90 කට ඩොලර් බිලියන 170.6 ක පමණ ණය ප්‍රදානය කොට ඇත. එසේම, IMF ණය සේවාකරණ ගැටළුවලට මුහුණ දුන් රටවල් 31 කට ණය වාරික කල් දැමීමේ සහනයන් ද සපයා ඇත.

 

සීග්‍ර මූල්‍යකරන මෙවලම යටතේ ණය සැපයීම පිළිබඳ ව IMF වෙබ් අඩවියේ දැක්වෙන සටහන



The RFI provides rapid and low-access financial assistance to member countries facing an urgent balance of payments (BoP) need, without the need to have a full-fledged program in place. It can provide support to meet a broad range of urgent needs, including those arising from commodity price shocks, natural disasters, conflict and post-conflict situations, and emergencies resulting from fragility. As a single, flexible mechanism with a broad coverage, the RFI replaced the IMF’s previous policy that covered Emergency Natural Disaster Assistance (ENDA) and Emergency Post-Conflict Assistance (EPCA).

The RFI is available to all member countries, although member countries eligible for the Poverty Reduction and Growth Trust are more likely to use the similar concessional Rapid Credit Facility (RCF). The RFI is designed for situations where a full-fledged economic program is either not necessary or not feasible in the face of a present BoP need that, if not addressed urgently, would result in immediate and severe economic disruption. The former situation may arise when the shock is transitory and limited in nature, while the latter may arise when the member’s policy design or implementation capacity is limited, including due to the urgent nature of the balance of payments need or to fragilities. There are two windows under the RFI: (i) a regular window, for situations described above, with access limits of 50 percent of quota in any 12-month period and 100 percent of quota on a cumulative basis, and (ii) a Large Natural Disaster (LND) window, for cases where the damage suffered as a result of a natural disaster is assessed to be 20 percent of GDP or more, with access limits of 80 percent of quota in any 12-month period and 133.33 percent of quota on a cumulative basis.

In response to members’ large and urgent Covid-19-related financing needs, access limits under these windows were increased temporarily until December 31, 2021. Since January 1, 2022, the annual access limits for the regular and LND windows have reverted to pre-pandemic levels of 50 and 80 percent of quota respectively. However, the cumulative access limits for both windows will continue to remain at 150 percent and 183.33 percent of quota respectively until June 30, 2023.

Financial assistance under the RFI is provided in the form of outright purchases without the need for a full-fledged program or reviews. A member country requesting RFI assistance is required to cooperate with the IMF to make efforts to solve its balance of payments difficulties and to describe the general economic policies that it proposes to follow. Prior actions may be required where warranted.

 

ඉහත දැක්වූ තොරතුරු දෙස බලන විට IMF සීග්‍ර මූල්‍යකරන මෙවලම බාහිර අර්බුදයන්ට මුහුණ දෙන රටවලට ඉතා කඩිනමින් කෙටි කාලීන මූල්‍ය පහසුකම් ලබා දෙන ණය ක්‍රමයක් බව පැහැදිලි ය.

 

එබැවින්, එවැනි ණය ප්‍රදානයකට පෙර ණය අයදුම් කරන සාමාජික රටෙහි මැදි කාලීන ණය තිරසාර භාවය IMF නිලධාරීන්ගේ උපකල්පනයන් මත ඇගයීම කිරීම යනු, IMF ආයතනය ගෝලීය ආර්ථික සහ මූල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීමට නොව හුදෙක් මුදල් වෙළෙන්දෙකුගේ ව්‍යාපාරයක නිරත වන ආයතනයක් බව හැගෙනු ඇත.

එහෙත්, IMF සංනිවේදනයන් සහ ප්‍රකාශිත ප්‍රතිපත්ති දෙස බලන විට එවැන්නක් නොපෙනේ.

 

එසේම, නව මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් රාජකාරි භාර ගෙන සති දෙකකින් IMF-ලෝක බැංකු වසන්ත රැස්වීම වෙත පිය නැගුවේ ද IMF සීග්‍ර මූල්‍යකරන මෙවලම යටතේ ණයක් ලබා ගැනීමට බව මාධ්‍යය වාර්තා කරන ලදි. එබැවින්, ශ්‍රී ලංකාවේ ණය තිරසාර බවක් නොමැති බවට IMF නිගමනයත්, ඒ අනුව ණය නොලැබෙන බවත් දැන දැනම ඔවුන් විසින් IMF වෙත නිකරුනේ සංචාරය කළ බව පැහැදිලි ය.

 

IMF ණය නොලැබීම පිළිබඳ ව ලේඛන සාක්ෂි මත විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය:



ඉහත දැක්වූ පරිදි IMF වෙතින් ණය පහසුකම් ලෑබූ රටවල් ලැයිස්තුවේ 2020 වර්ෂය ආරම්භයේ දී ශ්‍රී ලංකාවට වඩා ණය බරින් සහ දුප්පත් කමින් මිරිකෙන රටවල් රැසක් වාර්තා වෙයි. එම රටවල් අතර මියන්මාරය, ටොන්ගෝව, පකිස්ථානය, සෝමාලියාව, සුඩානය, ඇන්ගෝලාව, කොංගෝ, ඉතියෝපියාව, ඝානාව, රුවන්ඩාව, සෙනගල්, එල් සැල්වදෝරය, මෙක්සිකෝව වැනි රටවල් සිටින අතර ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාව එම රටවලටත් වඩා බංකොලොත් තත්ත්වයක පැවති බවට IMF නිගමනය කිරීම පුදුමයකි.


එසේ ණය දෙන ලද සියළු රටවල ණය තිරසර භාවය පිළිබඳ ව ඇගයීම් කොට IMF විසින් ණය ලබා දුන්නේ නම් මෙතරම් රටවල් සංඛ්‍යාවකට මෙතරම් කෙටි කලකින් ණය ලබා දීමට හකි නොවන බව සරල කරුණකි.

එසේම, වසංගතය හේතු කොට කිසිම මූල්‍ය අර්බුදයකට මුහුණ නොදුන් සහ 2020 ආරම්භයේ දී ඩොලර් බිලියන 32 ක පමණ විදේශ මුදල් සංචිත හිමි බංග්ලාදේශයට ද 2020 මැයි මාසයේ දී ඩොලර් මිලියන 732 ක පමණ ණය මුදලක් IMF සීග්‍ර මූල්‍යකරන මෙවලම සහ සීග්‍ර ණය පහසුකම යටතේ ලැබී ඇති අතර, ඉන් ඩොලර් මිලියන 200 ක් පමණ ශ්‍රී ලංකාවට ද මුදල් හුවමාරු ණය මුදලක් ලබා දී ඇත.

 

එබැවින්, ශ්‍රී ලංකාවට සීග්‍ර මූල්‍යකරන මෙවලම යටතේ ණය සැපයීමට සලකා බැලීම පිණිස ඉදිරි වසර 5 ක ණය තිරසාර භාවයක් නොමැති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවට මූල්‍ය උපදේශකයන් පත් කරන ලෙස IMF නිගමනය කළ බවටත් මහ බැංකු අධිපති විසින් කළ හෙළිදරවුව මවිතයට කරුණකි.

 

මුළු ලෝකයම වසංගතයෙන් මිරිකී, රටවල් අගුළු වැටී, මූල්‍ය වෙළෙඳපොළවල් වැසී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට මූල්‍ය උපදේශකයන් පත් කරන ලෙස IMF නිලධාරීන්/අධ්‍යක්ෂක විසින් ඉල්ලා සිටියා නම්, එම IMF නිලධාරීන් වසංගතයේ බලපෑම් හේතු කොට මානසික රෝගී වූ පුද්ගලයන් විය යුතුය. ඊට හේතුව, ගෝලීය වසංගතයක් පවතින  අවස්ථාවක හදිසි ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට සලකා බැලීමේ දී එම නිලධාරීන්ගේ හැසිරීම අමානුෂික බව පෙනෙන බැවිනි.

 

එසේම, මේ සියළු කරනු දන්නා සහ IMF තම නිවසක් ලෙස සලකන වත්මන් මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් විසින් IMF සමඟ තර්ක කොට එම ණය මුදල ලබා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් පෙනී යන්නේ, ඔවුන් ද එක්කෝ මානසික රොගීන් විය යුතුය. එසේ නැතහොත්, ඔවුන් එවක රජය සමඟ උරණ වී කඩා කප්පල් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක යෙදී සිටියා විය යුතුය.

 

කඩාකප්පල්කාරී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක !


2019 වර්ෂය අවසානයේ නව රජයේ මහ බැංකු අධිපති තනතුර අපේක්ෂාවෙන් ඔහු සිටිය බවත්, එය නොලැබීම නිසා රජය සමඟ උරණ වී සිටි බවත් නොරහසකි. IMF නිලධාරීන් සමඟ ණය වැඩසටහන් කේවල් කිරීම පිළිබඳ ව හොඳ පළපුරුද්දක් වත්මන් මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් සතු වන බවත්, ඔවුන් විසින් එම හැකියාව මෙම අවස්ථාවේ භාවිතා කොට නොමැති බවත් මෙහිදී සඳහන් කළ යුතුය.

2020 වර්ෂයේ මුළු ලෝකයම අනුගනමය කළ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ අනුගමනය කිරීමට ඔහු විරුද්ධ වූ බව ද දැන් මනාව පැහැදිලි ය.

ඔහුට සහ IMF හි සේවය කළ ඔහුගේ හිතවතුන්ට (එවක IMF විකල්ප විධායක අධ්‍යක්ෂක වරයෙකු ලෙස සිටි මහ බැංකු නිලධාරිනිය ඇතුළු) ඇති සබදතාවන් අනුව ශ්‍රී ලංකාවට ණය නොලැබෙන ලෙස කටයුතු සැලසීමේ හැකියාව ද පැවතින. 

 

සමහර අවස්ථාවල දී IMF සහ ලෝක බැංකුවෙන් ලැබුන බවට ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපි ඉදිරිපත් කොට මහ බැංකුවේ නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩා කප්පල් කිරීම ද ඔවුන්ගේ පුරුද්දක් විය.

 

එබැවින්, කෝප් සභාව විසින් සියළු දෙනා එකතු වී කථා පැවැත්වීමට අමතරව එම කථාවලට අදාළ ලිපි ලේඛන සහ තෙවන පාර්ශවයන්ගෙන් ද ලබා ගත්  තොරතුරු විමර්ශනය කොට නිගමනයන්ට එළඹීම මෙම අර්බුදකාරී අවස්ථාවේ විචක්ෂණශීලී පියවරක් වනු ඇත.

මෙහිදී, මුදල් මණ්ඩල රැස්වීම් පටිගත කෙරෙන බැවින් එම හඩපට විමර්ශනය කිරීම රැස්වීම් සටහන් පත්‍රවලට වඩා විශ්වාසී වනු ඇත.

IMF නියෝජන කාර්යාලයක් මහ බැංකුවේ තිබෙන තිබෙන බැවින් එම කාර්යාලය හරහා IMF තොරතුරු ලබා ගැනීම සම්බන්ධීකරණය කළ හැකිය.

එබැවින්, "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" යන වදන මෙහි දී මතකයට ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.


කෝප් සභාවේ සහ රජයේ විශේෂ අවධානය සඳහා:


Charitha Herath

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ දශක 4 කින් පමණ පසු නැවත ස්ථාපිත කොට මුදල් මණ්ඩලයේ විශේෂ අනුග්‍රහකින් වත්මන් මහ බැංකු අධිපති වෙත 2018 දී ලැබුණ මහ බැංකුවේ ස්ථිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති තනතුර යනු ඉහළ මට්ටමේ පණිවිඩ හුවමාරු කරුවකු හෝ ලිපිකරුවකු නොව මහ බැංකු අධිපතිට තම රාජකාරි කටයුතු කිරීමට නොහැකි වන ඕනෑම අවස්ථාවක මහ බැංකු අධිපතිගේ සියළු ව්‍යවස්ථාපිත වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීමට බලය ඇති තනතුරකි.

උදාහරණ ලෙස මහ බැංකු අධිපතිට හිසේ රුදාවක් ඇති වී වේලාසන නිවසට යන විට ඔහුගේ සියළු බලතල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිට හිමි වෙයි. එසේම, මුදල් නීති පනත අනුව IMF තුළ රජය නියෝජනය කරන්නේ මහ බැංකුව යි.


 එබැවින්, රජයේ ෆිස්කල් නියෝජිතයා සහ ණය කළමනාකරු වශයෙන් මහ බැංකු සේවයේ දී, ඩොලර් බිලියන 14 ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමටත්, එස්.ඩී.ආර්. මිලියන 2,700 ක පමණ IMF වැඩ සටහන් දෙකක් ලබා ගැනීමටත් පෙරමුණේ ක්‍රියා කළ ඔහුට මෙම ගෝලීය අර්බුදකාරී අවස්ථාවේ ලෝකයේ රටවල් 90 කට ඉතා පහසුවෙන් ලැබුන IMF සීග්‍ර මූල්‍යකරන මෙවලම යටතේ ණයක් ලබා ගැනීමට  ස්ථිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති වශයෙන් ක්‍රියා කිරීමට නොහැකි වූ බව දැක්වීම පිළි ගත නොහැකිය.


එසේ නැතුව, මහ බැංකු අධිපතිගේ කථාව පිළි ගෙන දශක ගණනාවක් රාජ්‍ය සේවයේ යෙදී සිටි නිලධාරීන්ට පෞද්ගලික හේතු මත අපරාධ චෝදනා ගොනු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුව ක්‍රියා කිරීමට උත්සාහ කළොත් ඉදිරියේ දී රජයට සේවය කිරීම සඳහා හොඳ නිලධාරීන් නොමැති වී යනු ඇත. ඊට හේතුව, අනාගතයේ එම නිලධාරීන්ට ද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බැවිනි.

එසේම, ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් බේරා ගැනීමට යයි පවසා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මහ බැංකු අධිපති වරයා විසින් සිදු කළ යුත්තේ මෙවැනි මාධ්‍ය සංදර්ශනයන් පවත්වමින් ඉදිරියේ දී අර්බුදය ඉහළ යන බව පවසා මහජනයා බිය ගන්වමින් සහ එවක රජයට සහ නිලධාරීන්ට දොස් නගමින් කාලය නාස්ති නොකොට මහ බැංකුවේ ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම යි.

ඊට හේතුව, මෙම ඉහළ රාජ්‍ය තනතුර ඔහු විසින් අප්‍රේල් මස 7 දින භාර ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික අර්බුදය සහ ඊට හේතූන් පිළිබඳ ව නොදැන නොවිය යුතුය.

 

එම නිසා රජයේ ඉක්මන් අවධානය යොමු විය යුත්තේ ආර්ථිකයේ මූල්‍ය අංශය මෙසේ එක් පුද්ගලයෙකුගේ ආධිපත්‍යයට ඉඩ හැරීමෙන් ආර්ථික මෙන්ම රජය ද තවත් අස්ථායී විය හැකි බව යි.

 

එසේම, මෙම ආර්ථික අර්බුදය නිරාකරණය සඳහා කිසිම සැලසුමක් ඉදිරිපත් නොකොට එකිනෙකාට දොස් කියමින් කාලය කා දමන පාර්ලිමේන්තුවේ කොටසක් වන කෝප් සභාව විසින් අඩුම වශයෙන් මෙසේ රාජ්‍ය නිලධාරීන් ද රැස් කර ගෙන දෝෂාරෝපණයන් සිදු කිරීමෙන් වැලකී කඩිනමින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එම නිලධාරීන් යොමු කරන්නේ නම් එය ජාතික කාර්යයක් වනු ඇත.

මෙහි දී, කෝප් සභාව විසින් මහ බැංකු නිලධාරීන් මෙවර කැඳවා ඇත්තේ මහ බැංකුව පිළිබඳ ව 2018 සහ 2019 වර්ෂවලට අදාළ විගණකාධිපතිගේ වාර්තාවන් සහ මහ බැංකුවේ වත්මන් කාර්යසාදනය පරික්ෂා කිරීම සඳහා වන බැවින් කෝප් පරීක්ෂණවල තත්කාලීන භාවය සහ කාර්යක්ෂමතාවය පිළිබඳ ව ද නිසි අවධානය යොමු විය යුතුය.

 2020 සහ 2021 වර්ෂවලට අදාළ වාර්තාවන් ඉදිරිපත් නොවූ අතර IMF ණය විෂය 2020 වර්ෂයේ කාර්යසාදනයට අදාළ කරුණකි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)



b5a32d35c359a6184e5838c6035bf2c6 XL(පි සමරසිරි )
හිටපු නියෝජ්‍ය අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

( May 27, 2022)


(economydiscovery)


පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු. 


සංස්කාරක:
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58