අද මාතෘකාව - From Palace to the Farm


හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,

විසංකාරයා වන මගේ ජීව-විද්‍යාත්මක පියා මාතලේ කියන ටවුමේ හිටපු රෙදිපිළි වෙළෙඳ ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්.

මගේ පියා විසින් විසන්කාරයා වන මට කුඩා අවදියේ දී කියල දීල තියෙන විදිහට, මගේ සීයා වන මේ ධනවතා කන්ද උඩරට ජන්ම වැසියෙක් නෙවෙයි. විසංකාරයාගේ වන මගේ සීයා අයිති වන්නේ, මේ කොදෙව්වේ දකුණු පෙදෙසින් කන්ද උඩරට අඩවියට සංක්‍රමණය වුන රෙදි වෙළෙන්දන්ගේ පරපුරකට යි.

සමාජ විද්‍යාත්මක දැක්මකින් කිව්වො ත්, විසංකාරයා වන මගේ සීයා අයිති වෙන්නේ, ලක් කොදෙව්වේ මුහුදුබඩ පෙදෙස් එංගලන්ත කොලනිවාදීන් විසින් කාර්මික-විප්ලවානුකූල නූතන ධනේෂ්වරකරණයකට (modern-capitalism) ලක් කරපු යුගයේ බිහිවූ සහ පුහුණු වූ වෙලඳ පැලැන්තියකට යි. මේ පැලැන්තියෙන් කොටසක් රට අභ්‍යන්තරයට සංක්‍රමණය වූ අතර මේ උදවිය එංගලන්තවාදී දේශීය ධනහිමියන්.

ඒ හින්ද මේ එංගලන්තවාදී ධනහිමි උදවියට අයත් වන විසංකාරයාගේ සීයාගේත් පියා (ඒ කියන්නේ මීමුත්තා) ගැන හිතුවොත්, එයා පැහැදිලිව ම බ්‍රිතාන්‍ය සංස්කෘතික ආක්‍රමණිකයා වූ ජෝන් ඩොයිලිගේ බලපැවැත්මට ම හසුවුණ කොදෙව් උදවිය අතරින් කෙනෙක් හැටියට අනුමාන කරන්න පුළුවන්.

 

1024px Ehelepola Molligoda and Kapuvatta with DOyly

සිංහලේ අදිකාරම්වරුන්වූ ඇහැලෙපොල අදිකාරම්, මොල්ලිගොඩ අදිකාරම් සහ කපුවත්තේ අදිකාරම් සමග ජෝන් ඩොයිලි

 

1948 වසරේ එංගලනතකයින් ලබාදුන්නු නිදහසින් පස්සෙ, රටපුරා හිටපු මේ ආකාරයේ ධනහිමියන් විසින් යම් විදිහක ලාංකේය දේශීයවාදී සහ ඉන්දීය අනුකාරවාදී පිටපොත්තක් ආලේප කරගත්තට, අපේ සීයලා මාතලේ අළුවිහාරයේ පොත් දූලි පිසදා පිටඔපය දමාගෙන ලෝකෙට පරකාස වුණාට, මේ උදවිය ඒ කාලයේ හිටපු භාගෙට ඉංග්‍රීසි උගත් දියවඩන නිලමේ කෙනෙක් වන උඩුරවණ නුවර පෙරහැරේ යනකොට ඔහුගේ ඉංග්‍රීසි නූගත්කමට පවා සමච්චලයෙන් උසුළු විසුළු කරපු පැලැන්තියක උදවිය.

මොකද, මේ උදවිය සිකුරාදා සවසට ගෙස්ට් හවුස්වලට ගිහින් මධුපාන සාදවල ගතකිරීමට ඇළුම් කරපු වරප්‍රසාද ලද සංස්කෘතියෙන් එංගලන්තවාදී-ලංකාවාදී ලෙස දෙබින්න වූ සිලෝනියන් ජන කොටසක්.

 

ඒ නිසා මේ උදවියට, මතුපිටින් තමන්ලාගේ රජමැදුර වුණේ නුවර දළදා මාලිගාව වුණාට, ඒ අයගේ ආත්මගත රජමැදුර වුණේ වසර 100ක් මුළුරට ම පාලනය කරපු එංගලන්තකයින්ගේ වෙස්ට්මිනිස්ටර් නගරය වන ලන්ඩනයේ පිහිටි වැඩවසම්වාදී බකිංහැම් මාළිගාව යි.

 

මේ දෙබිඩිකම වසර 500ක යටත්විජිතවාදී ඉතිහාසයේ ප්‍රතිඵලයක් මිස, මේ වෙළඳ පැලැන්තියේ උදවිය එබඳු පුද්ගල පෞර්ෂයන් බවට පත්වීම ඔවුන්ගේ පුද්ගලික වරදක් හෝ සෘණාත්මක බවේ හෝ අදක්ෂතාවේ සාධකයක් විදිහට ගෙනහැරපාන්නට විසංකාරයා තවම ඉක්මන් වෙන්නේ නැහැ.


ඒත් පැහැදිලිවම එක දෙයක් කියන්න ම ඕනි. මේ ලක් කොදෙව්වේ මේ ගෙවන මොහොතේ අගමැති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහත්, මෙන්න මෙබඳු ම වන වරප්‍රසාදලත් එංගලන්තවාදී-ලංකාවාදී දෙබින්න සිලෝනියන් ජන කොටසකින් පැවත එන, එහි කොළඹ සහ ඒ අවට ප්‍රදේශාන්තර නියෝජනය කරන නුතනවාදී ප්‍රභූ පුද්ගල පෞර්ෂයක්.


ජීවිතේ මැදි-තරුණ වයසේ දී කොළඹ කේන්ද්‍රීය ජීවිතයකට හුරුපුරුදු වූ විසංකාරයා වන මගේ පියා ඉගෙන ගන්න ගියේ මාතලේ විජය විද්‍යාලයට. මගේ පියාගේ වයසට සමාන්තර වයසක ඉන්න රනිල් වික්‍රමසිංහ ඉගෙන ගන්න ගියේ කොළඹ තිබූ ලන්ඩන්-වෙස්ට්මිනිස්ටර්වාදයට ගැති රාජකීය විද්‍යාලයට.

ඒ හින්ද රනිල් වික්‍රමසිංහ කියන්නේ විසංකාරයා වන මගේ පියාට වඩා අග-නාගරික (metropolitan) ජීවන පැවැත්මක් තියෙන, වැඩි භූමිගත දේපල ධාරාවක් හිමි සුදු-වෙළඳවාදී දේශීය පැලැන්තියකින් පැවත එන චරිතයක්. මේ විදිහට ගත්තහම, විසංකාරයාගේ සීයාට සාපේකෂව රනිල් වික්‍රමසිංහගේ නාගරික ප්‍රභූ ගතිගුණ ටිකක් වැඩියි.

ඒත් මේ දෙගොල්ලො ම අයිති වෙන්නේ, කොලනිවාදීන් විසින් කාර්මික-විප්ලවානුකූල නූතන ධනේෂ්වරකරණයකට ලක්කර ගොඩනැගූ, එකවර එංගලන්තවාදී-ලංකාවාදී ලෙස සිලෝනියානු පුහුණුව ලත් වරප්‍රසාද හිමි ජන කොට්ඨාශයන්ට යි.

විසිංකාරයා වන මගේ සීයා පසුකාලීනව මධුපානයට සහ කාමසුඛල්ලික කමට අනවශ්‍ය පරිදි යොමුවීම හරහා සහ ඒ කාලේ ජනප්‍රිය සිනමා නිළියක්ව සිටි රීටා රත්නායකට ද වසඟවීම හේතුකොට ගෙන, එයාගේ හිසින් “ලාභ ලැබීම” කියන විධිමත් එංගලන්ත ධනේෂ්වර තර්කය බොඳව ඉවත්වී, එයා ඔමාර් ඛයියාම්වාදී සහ සොර්බාවාදී ජීවන රටාවකට අහුවුණා. ඒ ජීවන රටාව එයාව වසාගන්නවාත් එක්ක ම, එයාගේ වෘත්තීයට අදාළ වූ සළුපිළි-වෙළඳ ව්‍යාපාර ඔක්කොට ම ක්‍රමයෙන් කෙලවුණා.

ඒකෙන් එයාව එකල සාමාන්‍ය මධ්‍යම-පංතිකයෙකුගේ තත්වයකට අද වැටුන හින්ද, එයා සමාජ අපවාදයෙන් ගැලවෙන්න පැදුරටත් නොකියා මාතලෙන් පිටවෙලා මීරිගමට ඇවිත්, සාමාන්‍ය රැකියාවක් කරගෙන ජීවත්වන, අතීතය ගැන ලජ්ජාශීලී බව සඟවාගත් මහන්තත්වයෙන් පිරි චරිතයක් බවට පසුව පත්වුණා කියලයි මගේ පිය පාර්ශවයේ පවුලේ සමාජ ඉතිහාසය රිසච් කරනකොට මට දැනගන්න ලැබුණේ.

 

ඒ නිසා රනිල් වික්‍රමසිංහ පවුල, ජයවර්ධන පවුල, විජයවර්ධන පවුල, බන්ඩාරනායක රදල පවුල් ඇතුළු එංගලන්ත කොලනිවාදීන් විසින් කාර්මික-විප්ලවානුකූල නූතන ධනේෂ්වරකරණයකට හසුවුණ ඕනෑම පුහුණු පවුලක මහා නිපුනතා පොදුසාධකය තමයි, ඒවායේ සාමාජිකයින්ට එකවර බටහිරවාදී සහ ලංකා වලව්වාදී කියන අනන්‍යතා දෙකම නියෝජනය කරමින් නූතන සිලෝනීය ජීවන රටාවක් නඩත්තු කරන්නට හැකි වීම. ඒ නිසා මේ සාමාජිකයින් පවුල් පරිසරයෙන් ම ද්වීභාෂිකයි.

 

තම මුළු පැවැත්මට ම උනත් කෙලවා ගැනීම....


ඒ හින්ද ම මේ ප්‍රභූ පවුල්වල උදවිය තම වෘත්තීයෙන් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයින්, දේශපාලනඥ්ඥයින් හෝ වෙන මොන වෘත්තීය ක්ෂේත්‍රයක චරිත විදිහට කටයුතු කළත්, ඒ හැම කෙනෙකුගේ ම ජීවිතයට මහා පොදු සාධකයක් වෙච්ච ගතිකයක් තියෙනවා.

 ඒ තමයි, ඕනෑ ම මොහොතක ඔමාර් ඛයියාම්වාදී සහ සොර්බාවාදී ජීවන රටාවකට අහුවීමත්, එයින් ඔවුන් තුළ වසඟය ජයගෙන, ඒ අරාජික ජීවන රටාව අධිනිෂ්චය වීම හින්දා, ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ ඇති “ලාබ ලැබීම” අරමුණ කරගත් බටහිර ධනේෂවරවාදී තර්කය අතාර්කික වී, තම මුළු පැවැත්මට ම උනත් කෙලවා ගැනීම.


නිද්‍රා විට්ටච්චි....


ලංකාවේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරය සහ එහි සමාජශාලාව භාවිතා කරමින් දිවිගෙවපු, ස්වතන්ත්‍ර ඉංග්‍රීසි නාට්‍ය 13ක් කරපු, ඉංග්‍රීසි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ව හිටපු මගේ මිතුරියක වී සිටි ධනේෂ්වර පංතියේ සාමාජිකාවක් වූ නිද්‍රා විට්ටච්චිගේ ජීවිතයත් මේකට කදිම උදාහරණයක්.

ඇයගේ පියා රටේ අගනාගරික දේශීය ධන හිමියෙක් වුණත්, ඇය කුඩාකල තම මව අහිමිවීමේ වේදනාව අවිඥානය කරගත්තු චරිතයක් වුණ හින්දා, වැඩිහිටිවියේ දී ඇය අධික මධුපාන ලෝලීත්වයට සහ සමලිංගික කාමසුඛල්ලික වසඟයට ගොදුරුවුණා. ඒ හින්ද ඇයගේ ජීවිතයෙන් ඇගේ වෘත්තීය තර්ක ගිලිහී, යටකී ඇබ්බැහියට සහ වසඟයට හසුවී, තමංගෙ ජීවිතයේ අවසන් කාලය ස්නායු රෝගීව රෝද පුටුවක ගතකර මිය යන වැඩකටයුතු සිද්ධ වුණා.

ඉතිං නිද්‍රාගේ නංගී වෙච්ච, ලංකාවේ මේ වන විට ධනවත් ම කාන්තාව ලෙස සැලකෙන සෝනියා වයමන්ට නිද්‍රාගේ දේපලත් අයිතිකරගන්නට හැකි වුණා. මේ පුවත ගැන රටේ ඉහළ-මධ්‍යම පංතික උදවියට මොකක්හරි අඩමානයක් එහෙම තියෙනව නම්, විට්ටච්චි පවුලත් එක්ක නඩු කියල පැරදිච්ච හැරී ජයවර්ධනගෙන් ඉතුරු ටික අහගන්න. 
 
 
ඒත් අපි එක දෙයක් බුද්ධියෙන් තේරුම්ගත යුතුයි. මෙබඳු ප්‍රභූ පුද්ගලයන්ගේ වෘත්තීය කඩාවැටීම් ස්ථිතික ඒවා නෙවෙයි. ඒ කියන්නේ ගලක් වගේ වෙනස් කළ නොහැකි ඒවානෙවෙයි. ඒවා ගතිකයි. ඒ නිසා ඕන නම්, ඒ පුද්ගලයින්ට සබුද්ධිකව හිතල මතල සහ හදාරල තමන්ගේ නපුරු ඉරණම වෙනස් කරගන්න පුළුවන්. ඒ හින්දා ගාමිණී දිසානායකගෙන් පස්සේ යූඇන්පියේ දේශපාලන වෘත්තීකභාවයට කෙලවී, රටපුරා පවතින යූඇන්පියේ සංවිධාන ව්‍යුහය ෆොසිල වීමට අදාළ ප්‍රධාන හේතු 02ක් කියන්න පුළුවන්.
 
 
යූඇන්පියේ සංවිධාන ව්‍යුහය ෆොසිල වීමට අදාළ ප්‍රධාන හේතු 02ක්

gamini ranil

එකක් සවිඥානිකව වුණ දෙයක්. අනික අවිඥානිකව මේවෙනකොටත් සිදුවෙමින් පවතින දෙයක්.

සවිඥානිකව සිදුවුණ පළමුවන දේ බලමු.

1994 දී බලයට පත්වුණු ශ්‍රීලනිපය නියෝජනය කරන සිංහල ඔන්ලි වරිගවාදයේ සහ එහි ව්‍යුත්පන්නයක් වෙච්ච දෙමල ඔන්ලි ත්‍රස්ත-වරිගවාදය පසුබිමෙහි බිහිවන පාඨලී චම්පිකගේ ප්‍රචන්ඩ ජාතිකවාදී මතවාදයෙන් පිම්බුන කොහෙවත් හිටපු ගම්මුලාදෑනිවාදී සහ ආර්ථික සංවර්ධන විරෝධී රාජපක්ෂගේ ජාතිවාදය ජනතාවගේ හිත් තුළ කූටප්‍රාප්තිය ලැබීම නිසා එජාපයේ සංවිධාන ව්‍යුහයේ සාමාජිකයන් ප්‍රමාණය අභියෝගයට ලක්වීම.

ඒත් සබුද්ධිකව සංවිධානය වුණා නම් එජාපයට බලය අල්ලන්න තිබුණ. බැරිවුණේ 02වෙනි හේතුව හින්ද?

දෙවෙනි හේතු අවිඥානිකව සිද්ධවුණු දෙයක්.

ඒ තමයි, ගාමිණී දිසානායකගෙන් පස්සේ යූඇන්පී පක්ෂ ව්‍යූහය තුළ ඔමාර් ඛයියාම්වාදී, සොර්බාවාදී සහ වසඟවාදී සංස්කෘතියක් හිස එසවීම නිසා, දේශපාලනයේ වෘත්තීකභාවයට කෙලවී, එයින් පක්ෂයේ සංවිධාන ව්‍යුහය කැබලිතිකරණයකට ලක්වී, මේ වෙනකොට ෆොසිල බවට පත්වීමේ අවධානමකට ගොදුරු වී තිබීම.

(දැනට මොන අකාරයකින් හෝ යූඇන්පියේ අයෙක් වන රනිල් රටේ අගමැතිවෙලා තියෙන හින්දත්, එයාගේ බුද්ධිමය සුවිශේකත්වය සහ ගෝලීය පිලිගැනීම යොදාගෙන පවතින ව්‍යසනයේ මුල් අවධියෙන් රට ගලවාගත හැකිය කියන බලාපොරොත්තුව තවම විසංකාරයා අතහැරල නැති හින්දත්, දැනට මේ අවිඥානය ගැන මීට වඩා කතා නොකිරීමට විසංකාරයා වගබලාන්නවා. හැබැයි අවිඥානය සවිඥානය කරගෙන තවදුරටත් පිස්සු කෙලින්න ගියොත්, ඒකෙන් රටේ ඉදිරිමග අඳුරු කරවල ජන ජීවිතයට විනාශය ගේන හින්ද, මේ ගැන මීටත් වඩා පුළුල් ලෙස සහ විස්තරාත්මකව ප්‍රචාර කරල, ඔය ආණ්ඩු අටමගලය මකබාවන බවට විසංකාරයා මහජනතාවට පොරොන්දුවක් දෙනවා.)

ලෝකයේ ගෝලීයකරණීය ධනේෂ්වර ආර්ථිකයක් ඉස්මතුවෙලා තියෙන මේ වගේ නව-නූතන අවධියක, රටේ ප්‍රධාන නූතන ධනේෂ්වර පක්ෂය වන යූඇන්පිය නව-නූතන පක්ෂයක් විදිහට ජාතික සහ කලාපීය මට්ටමින් සංවිධානයවීම රටේ වාස්තවික අවශ්‍යතාව බවට පත්වෙලා තියෙන මෙවන් මොහොතක, යූඇන්පියට රටේ ජාතික මට්ටමින් තිබුන “නූතන සංවිධාන ව්‍යුහයවත්” නඩත්තු කරගන්න බැරිවී යට කියපු වරිගවාදයට සහ වසඟවාදයට ගොදුරුවී කඩාවටෙනව නම්, බහුතර යූඇන්පීකාරයන්ට සහ සියළු මහජනයාට ඉක්මනින්න තීරණයක් ගන්න සිද්ධවෙනව.
 
 
ඉතිං රටට හරිහමං ධනේෂ්වර පක්ෂයක් නැති වුනහම, රට ගෝලීය ධනේෂවරය වගේ ඊටත් වඩා ශ්‍රම-විභජනයෙන් සංකීර්ණ ක්‍රම-පද්ධතියක් ඉදිරියේ ඇද වැටීම අහන්නත් දෙයක් ද?
 
 
ඒ හින්ද සිංහල ඔන්ලි බන්ඩාරනායකගේ වරිගවාදී හෙලහවුල් කතිකාවේ ගොදුරක් වුණ ආර්. ප්‍රේමදාසගේ ගම්මානවාදී සහ ධනේෂ්වර විරෝධී චින්තනයේ දුර්වලතම පුරුක වෙච්ච සජිත්ගේ බෙල්ලේ එල්ලීගෙන ගෝලීය ධනවාදයට මුහුණ දෙන්නෙ කොහොමද කියල මාධ්‍ය ඉදිරියේ පොරටෝක්වලින් කබරයා දාන  හර්ෂ ද සිල්වා කියන බොළඳ දේශපාලන සිසුවාටයි මෙන්න මේ ටික කියන්නේ.

හොඳට කන් ඇරල අහගන්න!


unnamedහර්ෂ ද සිල්වාවිසංකාරයා මේ වෙනකොටත් ඉතා හෘදයාංගම යොමුවකින් ඔහේව දේශපාලනිකව සහ විශ්ලේෂනාත්මකව ප්‍රශ්න කරල දැනට මාස කිහිපයක් වෙනව. අනික මේක ජනයාගේ බඩගින්න අස්සේ දේශපාලනය උඩ බිලියඩ් සෙල්ලං කරන වෙලාවක් නෙවෙයි. ඒ හින්දා, එක්කෝ බේබි ගේම් ගහන්නේ නැතුව, කරුණාකරල සජිත් කියන වරිගවාදියාගෙන් ගැලවිලා, රනිල් එක්ක එකතුවෙලා, යූඇන්පියේ යට කියපු වරිගවාදය සහ වසඟවාදයට එරෙහිව පක්ෂය තුළ සටන් කිරීමේ වගකීමෙන් කොටසක් භාර ගන්න. එහෙම නැත්තං විසංකාරයා කලින් කළ විවේචනයට ප්‍රති-උත්තරයක් දෙන්න.

මේ දෙකින් එකක්වත් නොකර, දේශපාලන කුහකයෙක් වෙලා මාධ්‍ය සංදර්ශන පවත්වන්න ආවොත්, කතිකාමය ලෝකයක් තුළ ඔහේව දේශපාලන භූමියෙන් අතුගෑවිලා යනකම් ම මතවාදී පහරකෑම්වලට ගොදුරුවීම බලාපොරොත්තුවෙන් ඉන්න! ඔහේ විසංකාරයා වන මගේ දුර ඥාතියෙක්. ඒ හින්ද ඔහේගෙ මුළු පැටිකිරිය ම මම දන්නව.

 

විසංකාරයා වන මගේ සීයා එයාගේ විනෝදවාදී සහ වසඟවාදී ක්‍රියා කලාපය නිසා එයාගේ වෙලඳ ව්‍යාපාරවලට කෙලවාගෙන මීරිගමට ආපු හින්ද, නව යොවුන් වියට පිවිසෙනකම්ම තම අම්මාගේ සෙවනේ හිටපු මගේ පියා සහ පියාගේ සහෝදරයා ද සීයා සොයාගෙන මීරිගමට එනවා. මූල්‍යමය වශයෙන් දේපල අහිමිවුණ ද සංස්කෘතික ප්‍රාග්ධනයෙන් ඉහළව සිටීම නිසා, මීරිගම තිබුණ ඩඩ්ලි සේනානායකගේ බෝතලේ වලව්වට ඇතුළුවී එහි පිලිගැනීමට ලක්වුණ මගේ පියා පසුකාලීනව දේශපාලන ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැති පුද්ගල චරිතයක් බවට පත්වෙනවා. ඒත් දේශපාලනය තුළ ඉහළ තත්වයක් අත්පත් කරගැනීම වෙනුවට, එයාට එවන් අයට සහය දෙන සහයට ඩැනී කෙනෙකුගේ මධ්‍යම පංතතික භූමිකාව රඟදක්වන්නට සිදුවන්නේ, ඔහුට චන්දයකින් තරඟකර ජයගන්නට තරම් වන මූල්‍ය ප්‍රාග්ධනයක් නොමැති වීම නිසායි.

ඒ පියාගේ පුතා වුණ විසංකාරයා වන මම, පවුල් පද්ධතියේ ප්‍රශ්නයට උත්තරය ධනේෂ්වර දේශපාලනයේ වරදින් සිදුවුන දෙයක් කියල වරදවා වටහාගෙන සහ දොකොන පටලවාගෙන රටේ ජරාජීර්ණ වැඩවසම්වාදී සහ නිළධාරීවාදී වාම දේශපාලනයට ඇතුළු වී, එයින් ඉගෙනගෙන ගත් මගපෙන්වීම් අනුව ක්‍රියාකරන්න ගිහින්, කොළඹ නගරයේ මධ්‍යම පංතියෙනුත් පහළට වැටිල 80දශකයේ අග භාගයේදී මූල්‍යමය වශයෙන් පහළ-මධ්‍යම පංතික තත්වයක් අත්කරගෙන මගේ පියාටත් සීයටත් වඩා වැඩිපුර කෙලවාගෙන එයාලගෙ මූණෙ දැලි ගෑවා.

ඒ හින්දා ගම හදල රට හදන්න බලන් ඉන්න අනුර කුමාරගේ වැඩවසම් ජේවීපිය මේ ගෙවෙන මොහොතේ රටේ වම කියල වරදවා වටහගෙන කවුරු හරි ඇන්දිල ඉන්නව නම්, විසංකාරයට තම දශක ගානක සහ පරම්පරා දෙකක අවාසනාවන්ත අත්දැකීම් අනුව කියන්න තියෙන්නේ එක දෙයයි.
 
 
ලංකාවෙ ඉංග්‍රීසි නොදන්නා ඌන-සංවර්ධිත ජේවීපිය ඇතුළු මොනයම් වමේ පක්ෂයකට හෝ ඔයාලා අහු වුණොත්, ඔයාලට සිද්ධ වෙන්න යන්නේ, ධනේෂ්වර පක්ෂයක් තුළින් මතුවිය හැකි ඇබ්බැහිය සහ වසඟයටත් එහාගිය කෙලවීමක්. මහා විනාශයක්! දශක ගණන් අරගල කරලත් ඒ අවතාරයෙන් ගොඩ එන්න අසීරුයි.
 
 
ඒ ගැන වැඩිදුර දැන්ගන්න ම උවමනා නම්, දේශපාලනය තුළ 71 කැරැල්ලලෙන් විශ්‍රාම ගිහින්, 83 ජූලි වැඩවර්ජනයෙන් විශ්‍රාම ගිහින්, 88-89 කැරැල්ලෙන් විශ්‍රාම ගිහින්, උතුරු නැගෙනහිර වාම සංවිධානවලින් විශ්‍රාම ගිහින් හෝ ත්‍රස්තවාදී එල්ටීටියෙන් විශ්‍රාම ගිහින් මේ වන විටත් ජීවිතය කිසිම තැනක ගොඩනගා ස්ථාවර කරගැනීමට බැරුව අයාලකාමීව සැරිසරන විශ්‍රාමික දේශපාලන ක්‍රියාධරයෙක්ව හමුවෙලා පොඩි කයියික් ගහන්න. ලෝකයේ තියෙන සෘණාත්මක ම සංවාද ඔක්කොම අහල, දවස් තුනක් පැනඩොල් බොන්න වෙයි, ඔළුවෙ කැක්කුම ඇරගන්න.

මගේ පියා විජය විද්‍යාලයේ පාසලේ සිසුවෙකු වී ඉන්න කාලේ, එයා කලාකාමියෙක් නිසා වේදිකා නාට්‍යයක් කරල කොලඹ ලුම්බිනි විද්‍යාලයේ තිබුණ සමස්ත ලංකා නාට්‍ය තරඟයට ඉදිරිපත් කෙරුව. මේ නාට්‍යයේ නම “ගොවිපලෙන් රජමැදුරට” කියල පසුකාලීනව මගේ පියාගේ සහෝදරයා මාත් එක්ක කියල තියෙනව. මේ නාට්‍යයේ කතා සාරය කුමක්ද කියල මුළුමනින් මට දැනගන්න ලැබිල නැහැ. ඒත් එක දෙයක් පැහැදිලියි ලංකාවෙ මිනිසුන්ගෙ හිත්වල “ගොවිපල” කෙසේ වෙතත් “රජ මැදුරු” නම් කොටල තියෙනව. එකක් දළදා මාළිගාව, අනික බකිංහැම් මාලිගාව.
 
 
1848ටේ ඉඳන් 1984 වෙනකම්ම අවුරුදු සීයක් පුරා ම අපේ රටේ මිනිස්සු සවිඥානිකව තමංගෙ බල-කේන්ද්‍රය විදිහට දළදා මාලිගාවත් මල්වතු-අස්ගිරි තුන් සූත්තරේ භාරගත්තේ, සුද්දා ඒකට රාජ්‍ය අනුග්‍රහය දක්වපු හින්ද. සුද්දා ඒකට රාජ්‍ය අනුග්‍රහය දැක්වූවේ, නිලමෙලා ටික සංකෘතික ආක්‍රමණික් ජෝන් ඩොයිලි එක්ක එකතුවෙලා රටේ රජ්ජුරුවන්ව පාවාදීලා රට සුද්දට ලියල දුනුනු හින්ද.
 
 
ඒත් මිනිස්සුංගෙ අවිඥානික ආසාව තුළ බල-කේන්ද්‍රය බවට පත්වෙලා තිබුණේ එංගලන්තයේ බකිංහැම් මාළිගාව. ඒ හින්ද ඒ අවුරුදු සීය පුරාම රටේ ජනතාව දේශපාලනය ඇතුළු වෙන ඕන ම වෘත්තියක නියැලුනේ බකිංහැම් මාලිගාව දිහාට ලංවෙන්න තිබුණ අවිඥානික ආසාව පෙරදැරිකරගෙන.

ඒ හින්ද තමංගෙ දුවෙක් පුතෙක් වැඩිපුර ඉංග්‍රීසි ටිකක් දැනගත්තොත්, රකියාවක ඉහළ තත්වයක් අත්කරගත්තොත්, කොලඹට ඇවිත් පදංචි වෙන්න ලැබුණොත්, පාර්ලිමේන්තුවට යන්න ලැබුනොත්, ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ අවිඥානයට දැනුනේ ලන්ඩනයේ බකිංහැම් මාලිගාවට ටිකක් ලංවුණා වගේයි.

ඒකයි නිදහසින් අවුරුදු 23ක් ගෙවිලත්, 1971කේ නඩු විභාගයේ දී විජේවීරට එරෙහි ප්‍රධාන චෝදනාව “එංගලන්තෙ මහරැජිනට එරෙහිව කැරලි ගැසීම” කියල කෙටුම්පත් වුණේ. ඒ වගේ ම ඊට ගොඩ කලකට පසුසෙත් ඒ කැරැල්ලෙම වාටියට සාභාගි වුණා කියල පාරම්බාන මෛත්‍රීපාල සිරිසේන කියන ගමරාල ජනාධිපති වුනාට පස්සේ, මහරැජින ග්ලවුස් එක ගලවල එයාට අතට-අත දුන්න කියල, ඒක මාර ලොකු දෙයක් වගේ විලි ලැජ්ජ නැතුව මාධ්‍ය ඉදිරියේ ම කියල දැම්මේත් ඒ නිසා ම යි. හැම ලක් වැසියෙන් අතුළෙ ම බකිංහැම් මාලිගාවක් තියෙනව.
 
 
 
ඒ හින්ද මෙච්චර ආර්ථිකයට කෙලවෙලා තියෙද්දීත් පැකිලීමක් නැතුව මිනිස්සු රට යන්න හදන්නේ, ගැලවෙන්න නෙවෙයි. යටත් විජිත සමයේ ඉඳන් පරම්පරා ගණනාවක් තිස්සේ තමන් තුළ ජන්මගතව වඳබැහැල තියෙන “බකිංහැම් මාළිගාවෙන් වර්ග අඟලක්වත් අත්කර ගැනීමේ අවිඥානික සිහිනය” නිසායි.
 
 
ඒත් යූඇන්පිය පසුගිය දශක තුන තිස්සේ පක්ෂයක් හැටියට සංවිධානගගතව තම ධනේෂ්වර වගකීම ඉටු නොකිරීමත්, ගොං සජිත් විසින් පක්ෂය කඩාගෙන ගිහිං රටේ විපක්ෂ දේශපාලන බලය දියකර හැරීමත්, රාජපක්ෂ වරිගය ගොලීය ආර්ථික නියාම ධර්ම උල්ලංඝනය කිරීමත්, රාජ්‍ය ආයතනවල සහ ඉන් පිටත සුභසාධන ඉල්ලා කෑ ගැසූ ජනතාව රටට වැඩනොකර ආයතන තුළ අයිස් ගැසීමත් කියන කාරණා නිසා, දැන් ගෝලීය ආර්ථික ක්‍රම-පද්ධතිය ඉදිරියේ, මුළු ශ්‍රී ලංකා ආර්ථික පද්ධතිය ද, ඊට සම්බන්ධ ආණ්ඩුක්‍රම පද්ධතිය සහ රාජ්‍යතාන්ත්‍රික පද්ධතිය ද මුළුමනින් අතාර්කික වී පවතින තත්වයක් ඇතිවෙලා තියෙනව.

ඒක නිසා මේ බකිංහැම් සිහිනය මේ ගෙවෙන මොහොතේ උඩුයටිකුරු වෙලයි තියෙන්නේ.
 
 
ඒ නිසා රටේ බහුතරයක් තුළ, ගමෙන් නගරයට ඒම, නගරයෙන් පිටරටකට යාම හෙවත් “ගොවිපළෙන් රජමැදුරට” කියන සිලෝනියස් ඉලක්කය මේ පවතින ආර්ථික ව්‍යසනය හරහා අභියෝගයට ලක්වෙලයි තියෙන්නේ.
 
 
තව මාස කිහිපයක් ඇතුළත නගරයේ ජීවත්වන බහුතර වැසියන්ට බඩගින්න දරාගන්න බැරුව නගරය අතහැරලා ආපසු ගම සොයා යාමට යි සිද්ධවෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතිහාසයේ පසුපසට ගමන් කරන්න සිද්ධවෙලයි තියෙන්නේ. ශිෂ්ටත්වයෙන් ග්‍රාම්‍යත්වයට ගමන් කරන්නයි සිද්ධ වෙලයි තියෙන්නේ.

කාර්මික විප්ලවානුකූල ධනවාදයෙන් සහ තාක්ෂණවාදී නව-ධනවාදයේ ඉඳන් ගැමි ගෝත්‍රවාදය දිහාවට යන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා මගේ පියාගේ සිහිනය අද අතාර්කික වෙලා තියෙන්නේ.

විසංකාරයා වන මගේ ජීව-විද්‍යාත්මක පියා භයානක පිලිකා රෝගයක් නිසා දැනට වසර කිහිපයකට කලින් පෘථිවිතලය අතහැරල ගියා. ඒ හින්ද ඔයා මේ වාතලයේ කොහේ හරිතැනක ඉන්නව නම්, මේක අහගන්න!

ඔයා නාට්‍යයෙන් කියන්න හදපු දේ සහ ජීවිතය ගොඩනගා ගැනීම පැත්තතෙන් දරුවන් වන අපිට කියල දුනුනු දේ, අපිත් අපේ දරුවන්ට පවා කියල දුන්නු ටාගට් එක කනපිට හැරවිලයි තියෙන්නේ. ඒ හින්ද දැන් රටේ ටාගට් එන යූ ටර්න් එකක් අරන්. දැන් “ගොවිපළෙන් රජමැදුරට” නෙවෙයි, “රජමැදුරෙන් ගොවිපළට” යන්නයි අපට සිද්ධවෙලා තියෙන්නේ.
 
 
මේ ධනේෂ්වර අර්බුදයට සාර්ථකව මුහුණ දෙන්න තිබුණ. ඒ යූඇන්පියේ කොන්ද කෙලින් තිබුණ නම්. ඒ හින්ද ලංකාවට ආයෙමත් ධනවාදය කැන්දගන්න උවමනා නම්, අපි ඔක්කොම එකතුවෙලා රනිල්ට ටාගට් එකක් දෙමු! පුළුවන් නම් ගෝලීය නිෂ්පාදන උපකරණ (ඵැ්බි දf ඡරදාමජඑසදබි) සමගින් ලංකාවට ගෝලීය ධනවාදය අරන් ඇවිත් පෙන්නන්න!
 
 
ඔහෙම නැතුව රනිල්, පක්ෂය ඇතුළෙ ඇබ්බැහියට සහ වසඟයට ඉඩ දීල, පක්ෂයෙන් පිට ශ්‍රීලනිපය ප්‍රමුඛ වරිගවාදී ගං-කබර බයිය දේශපාලනයට ඉඩදීල, මෙදාපාරත් ජනතාවගේ උවමනා එපාකම් අත්හැරියොත්, මේ තිස් අවුරුදු සාපයෙන් එජාපය ගලවගෙන, එජාපයට තිරසාර නව-නායකත්වයක් ඉක්මනින් කැඳවල දෙන්න අපිට සිද්ධ වෙනව. තේරුනාද?


දැනට ඔහොම යංකො!                  
                 

ලබන සතියෙත් හම්බවෙනං,

මීට
රටට පාර කපන,

විසංකාරයා.                  
     

සබැඳි ලිපි :

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්