නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි
ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදීන් සිරගත කළෝ ය
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා ප්‍රජාතන්ත්‍රවාදීයකු නො වන බැවිනි
ඔවුහූ කම්කරු නායකයන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කම්කරු නායකයකු නො වන බැවිනි
ඔවුහූ යුදෙව්වන් සිරගත කළහ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා යුදෙව්වකු නො වන බැවිනි
අවසානයේ ඒ මෘගයෝ මා සොයා පැමිණියහ
එයට එරෙහි වන්නට කිසිවකුත් නො සිටියේ ය
මන්ද ඒ වන විටත් බොහෝ දෙනා ම සිරගතවත්
තවත් පිරිස් මරා දමාත් තිබූ බැවිනි-දේවගැති මාර්ටින් නිලමොර් (නාසි වද කඳවුරක රඳවා සිටි මොහු 1945 වසරේ දිනක ඝාතනය කර ඇත)
මීට පෙර අවස්ථා කිහිපයක දී ම මෙම කවිය උපුටාගෙන, ඒ ඇසුරෙන් ජනතාව දැනුවත් කර ඇත. එමෙන් ම මෙම කවියට සමාන අදහසක් ගැබ් වූ අදහසක් මෙරට සිටි ද්‍රවිඩ සටන්කාමියෙකු වූ, 1983 වසරේ ජූලි විසිපස්වන දිනත් විසි හත්වන දිනත් අතර වැලිකඩ සිර මැදිරියේ දී ඝාතනය කළ සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටමනී ද ප්‍රකාශ කර ඇත. ඔහු එදා දකුණේ ජනතාව වෙත පැවසුවේ ‘‘අද උතුරට එරෙහිව එල්ල කරන අවිය හෙට දකුණට ද එරෙහිව එල්ල කරන බව මතක තබාගන්න’’ යනුවෙනි.
‘‘අද උතුරට එරෙහිව එල්ල කරන අවිය හෙට දකුණට ද එරෙහිව එල්ල කරන බව මතක තබාගන්න’’ - කුට්ටමනී
ඔහු මෙසේ පවසන්නට පෙර 1971 වසරේ ද ආණ්ඩුවේ නිල ලත් කුලී මර්දකයන්ගේ, ඝාතකයන්ගේ අවි දකුණේ තරුණ තරුණියන්ට එරෙහිව ක්‍රියාත්මක කළේ ය. ඒ මොහොතේ බහුතර පිරිසක් ‘‘එවුන් චේගුවේරකාරයෝ’’, එසේත් නොමැති නම් ‘‘CIAකාරයෝ’’ යැයි පවසා ඉවත බලා සිටියහ.
දෙවනුව 87 – 89 වකවානුවේ ද මේ ආකාරයට ම එවකට පැවති ආණ්ඩුවේ නිල ලත් මෙන් ම නිල නොලත් කුලී මර්දකයෝ ආණ්ඩු විරෝධී යැයි ආණ්ඩුව විසින් ම නම් කරන ලද තරුණ කොටස් ඉතා ම්ලේච්ඡ අන්දමට ඝාතනය කළහ. ඒ මොහොතේ ද රටේ බහුතරයක් දෙනා ‘‘ආ... එවුන් ත්‍රස්තවාදියෝ’’ යැයි නම් කරමින් නිහඩව සිටියහ.
වසර තිහක් පුරා පැවති යුද සමයේ දී ද මේ නිල ලත් සහ නිල නොලත් කුලී මර්දකයෝ මෙන්ම මිනිමරුවෝ උතුරේ ද්‍රවිඩ වැසියෝ ද, දකුණේ සිංහල වැසියෝ දදහස් ගණනක් ඝාතනය කළහ. ඒ වකවානුවේ දී ‘‘ආ... එවුන් කොටි නෙ... එවුන් කොටින්ට ආධාර දෙන එවුන් නෙ...’’ යැයි පවසමින් අදාළ පැහැරගැනීම්, අතුරුදන් කිරිම් සහ ඝාතනය කිරීම් සාධාරණිකරණය කළහ.
තවත් විටෙක මේ නිල ලත් සහ නිල නොලත් කුලී මර්දකයෝ ලංකාවේ සිටි විවිධ අපරාධවලට සම්බන්ධ යැයි සැක සහිත පුද්ගලයෝ විවිධාකාරයෙන් ඝාතනය කළහ. ඒ ඝාතන සාධාරණීකරණය කිරීම සඳහා දිගින් දිගට ම භාවිත කළේ ‘‘ආයුධ සගවා ඇති ස්ථානයක් පෙන්වීමට ගොස් එහි දී ආරක්ෂක අංශ වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වන මොහොතේ ආරක්ෂක අංශ ආත්මාරක්ෂාවට වෙඩි තබා ඇත.’’ යන වාක්‍ය ඛණ්ඩය යි.
ඒ සෑම මොහොතක ම රටේ බහුතරයක් දෙනා ‘‘ආ... එවුන් අපරාධකාරයො නෙ... කුඩු බිස්නස් කාරයො නෙ... මිනිමරුවො නෙ...’’ යැයි පවසා නිහඬව සිටියහ. එතෙකින් නොනැවතුණු රටේ බහුතරයක් ජනයා ඒ නිල ලත් සහ නිල නොලත් කුලී පීඩකයෝ, මර්දකයෝ මෙන් ම මිනිමරුවෝ ‘‘රණ විරුවෝ’’ ලෙස නාමකරණය කළහ.
සමස්ත රටේ ම බහුතරයක් ‘‘රණවිරුගාය’’ නමැති රෝගයට ගොදුරු වූහ. ඔවුන් සිටින්නේ පීඩක පාලකයන්ගේ ආරක්ෂාවට යැයි කෙතරම් ලීව ද, කෙතරම් කීව ද ඒ කිසිවක් පිළිගන්නට රටේ බහුතරයක් දෙනා කැමති නොවුහ. එහෙත් වර්තමානයේ නැවත නැවතත් සිදුවෙමින් පවතින්නේ කුමක් ද...? මේ වන විට පවතින ආණ්ඩුවට එරෙහිව රට පුරා බුර බුරා නැගෙමින් පවතින විරෝධතා රැල්ල මර්දනය කිරීම සඳහා ඊනියා ‘‘රණ විරුවෝ’’ පෙරට පැමිණ සිටීම නොවේ ද...?
රණ විරු මරුවෝ
පසුගිය දිනෙක ගාල්ලේ පැවති නීතිඥයන්ගේ විරෝධතාව කඩාකප්පල් කිරිම සඳහා කටුතු කළේ යට කී නිල ලත් කුලි මර්දතයෝ ය; මිනිමරුවෝ ය. එහි තවත් අවස්ථාවක් පසුගිය දිනෙක කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ අවස්ථාවේ සිද්ධියට අදාළ යුද හමුදා නිලධාරියා පැවසුවේ ‘‘මෙච්චර වෙලා තේරෙන භාෂාවෙන් කිව්ව නෙ... ආයෙ ආවොත් බලාගෙනයි. එතකොට නොතේරෙන භාෂාවෙන් උනත් කතා කරන්න අපිට පුළුවන්’’ යනුවෙනි.
මේ රණ විරුවන් යැයි නාමකරණයට ලක්වුණ යුද හමුදා සෙබළා එලෙස පැවසුවේ ත්‍රස්තවාදීන් යැයි නාමකරණයට ලක් කළ පුද්ගෙයකුට නොවේ; ආණ්ඩු විරෝධියෙකු යැයි නාමකරණයට ලක් කෙරුණු පුද්ගලයෙකුට නොවේ; ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණනාවක් පුරා පෝලිමේ දුක් විඳ, තමන්ට අසාධාරණයක් සිදුවූ මොහොතේ ඊට එරෙහිව ක්‍රියාත්මක වූ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට හට ය. මොරටුව ප්‍රදේශයේ දී ගුවන් හමුදා සෙබළුන් පිරිසක් ඉතා ම්ලේච්ඡ අන්දමින් පහර දුන්නේ ද මේ ආකාරයෙන් පීඩනයට පත් සාමාන්‍ය පුරවැසියෙකු හට ය.
මේ වන විට මේ ආකාරයේ පහර දීම් දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් වාර්තා වේ. එසේ පහරකෑමට ලක්වන්නේ ත්‍රස්තවාදින් හෝ ආණ්ඩු විරෝධින් නොව රටේ පාලකයන්ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සිවිල් පුරවැසියෝ ය. නමුදු රටේ පුරවැසියෝ කෙතරම් පීඩනයට ලක්ව සිටිය ද මේ නිල ලත් කුලී මර්දකයන්ට, කුලී ඝාතකයන්ට එය අදාළ නොවේ. ඔවුන් ක්‍රියාත්මක වන්නේ ජන පීඩක පාලක පංතියේ පැවැත්ම වෙනුවෙනි.
හෙට දිනයේ මෙම මර්දනය ජන ඝාතන රැල්ලක් දක්වා වර්ධනය වන්නට පිළිවන. එය වැළැක්වීම සඳහා කුමක් කරන්නේ ද යන්න පවා අවිනිශ්චිත ය. එහෙත් වර්තමානයේ පවතින ජන පීඩක ආණ්ඩුවට එරෙහිව වර්ධනය වන විරෝධතා රැල්ල ද ආණ්ඩුවේ නිල ලත් සහ නිල නොලත් කුලී මර්දකයන්ට පාලනය කරගත හැකි වේද යන්න ද අවිනිශ්චිත ය.
එසේ නම් සිදුවන්නේ කුමක් ද...? එදා සිට මේ දක්වා ‘‘රණ විරුවෝ’’ ලෙස නාමකරණයට ලක්වූ, පැවති සහ පවතින ආණ්ඩුවේ නිල ලත් කුලී පීඩකයන්, මර්දකයන් මෙන්ම ඝාතකයන් ඔවුන්ගේ අවි සමස්ත රටවැසියා දෙසට ම එල්ල කිරීම ය; ඒ අවි බලයෙන් පීඩකයා ආරක්ෂා කිරීම ය. ජනතාව එයට ඉඩ තැබිය යුතු ද...? ඊට එරෙහිව නැගී සිටිය යුතු ද...? තිරණය ඔබ සතු ය.
ලජ්ජා නැති රාජපක්ෂලා සහ ඔවුන්ගේ බත් බැළයෝ
‘‘ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි’’ යනුවෙන් කියමනක් පවතී. මීට අදාළ සිද්ධිය සත්‍යයක් ද නැද්ද යන්න ප්‍රත්‍යක්ෂ කළ නොහැකි වුව ද එය වත්මන් පාලකයන්ගේ ක්‍රියාදාමයට 100%ක් ම සාම්‍යයක් පවතී. එය කෙතරම් සාම්‍යය ද යන්න වටහාගන්නට නම්ලගජ්ජා නැති මහමුදලිගේ කතාව ද දැනගත යුතු ය. ඒ කතා වස්තුව මතුදැක්වෙන පරිදි ය.
අතීතයේ දී ‘මහ මුදලි’ යනුවෙන් නිලයක් පැවති බව අපි සැවොම පාහේ දන්නා කරුණකි. එකල මහ මුදලි යනු ඒ ඒ ප්‍රෙද්ශවල සිටි ජනයා සිය අණසකට යටත් කරගෙන සිටි බලවන්තයෙකි. තවත් ආකාරයකින් පවසන්නේ නම් පැවති රාජ්‍ය පාලක පාර්ශ්වයේ බත් බැළයෙකි. ඔහු එක් පාර්ශ්වයකගේ බත් බැළයෙක් වුව ද රටේ බහුතරයක් ජනතාව මෙකී නිලය දැරූ තැනැත්තාට ඉතා යටහත් ය.
කතාවට අනුව මෙවන් මහ මුදලියෙක් සතුව විශාල පොල්වත්තක් තිබී ඇත. එ’ගමේ විසු බොහෝ ස්ත්‍රීහු මෙම පොල් වත්තට පැන පොල් සොරකම් කරන් (ඇහිඳින්නට)නට පුරුදුව සිට ඇත. මොහු මහ මුදලි වුව ද මෙම සොරකම් නවත්වන්නට හෙතෙම අසමත් වී ඇත.
අවසන මේ මහ මුදලියා තිරණයකට එළඹ ඇත. එනම් ස්ත්‍රීන් පොල් ඇහිඳිම සඳහා වත්තට ඇතුළු වන මොහොත නිවැරැදිව බලා වත්ත පුරා නිරුවතින් ඇවිදීම ය; කිසිදු ලජ්ජාවකින් තොරව නිරුවතින් ඇවිදීම ය. විවිධ තර්ජන ගර්ජන මධ්‍ය යේ වුව ද පොල් සොරකම් කිරීම අත් නොහළ ස්ත්‍රිහු මහ මුදලියා නිරුවතින් ඇවිදිනු දුටු සැණින් වත්ත හතරමායිමක නොසිට හිස්ලූ ලූ ලූ අත දිවුහ. අවසන තමාගේ නිල බලයෙන් නවතාගැනීමට නොහැකි වු පොල් සොරකම ලජ්ජා නැතිකමෙන් බේරාගැනීමට මහ මුදලියාට හැකි විය.
වත්මන් පාලකයෝ ද එබඳු ය. එවුන්ට ලජ්ජාවක් යාන්තමට හෝ ගැවිලා නොමැත. ඒ ලජ්ජා නොමැතිකම භාවිත කරමිකරමින් තව දුරටත් සිය බලය ආරක්ෂා කරගන්නට, බලයේ රැඳි සිටින්නට රාජපක්ෂ සනුහරේ ප්‍රමුඛ ඔවුන්ගේ බත් බැළයෝ වෙහෙසෙති. එසේ නම් ජනතාව කළ යුත්තේ රාජපක්ෂ සනුහරේ ප්‍රමුඛ බත්බැළයන්ගේ ලජ්ජාව නැතිකම මායිම් නොකර ඔවුන්ගේ නිරුවතට අභියෝග කිරිම ය. ජනතාව පත්ව සිටින අගාධයෙන් ගොඩ ඒමට නම් ඒ ලජ්ජා නැතිකම අභියෝගයට ලක් කළ යුතු ම ය.
රනිල්... ඔයත් අසමත්
රනිල් වික්‍රමසිංහ නමැති දේශපාලනඥයාට රටේ ජනතාව බහුතරයක් අකමැති වූයේ ඔහුගේ වරදකින් නොව ඔහු පිළිබඳ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ බත් බැළයෝ ඇඳි චිත්‍රය හේතුවෙනි. මේ බත් බැළ පිරිසට රටේ වෙසෙන සිවිල් ජනයාගේ සිට වියත් ජනයා දක්වා වූ පිරිස ද, තාන්න-මාන්න, වරදාන වරප්‍රසාද වෙනුවෙන් ආගම පවා වෙන්දේසි කරන සියලු ආගමික නායකකාරාදියෝ ද අයත් වූහ.
එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් පක්ෂ සියල්ල වාමවාදි යැයි අදහස් කරගෙන සිටි සහ සිටින ඊනියා වම්මු ද ඊට අයත් වූහ. ඔවුහු සියලු දෙනා ම ගොබෙල්ස් පන්නයේ අය වූහ. දිගින් දිගට ම රනිල්ට පහර දෙමින්, ඔහු විවේචනයට බඳුන් කරමින් රට පුරා ම ‘‘රනිල් භිතිකාව’’ වැපිරුහ. එහි කූටප්‍රාප්තිය සටහන් කෙරුණේ 2020 පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් පමණක් හිමි කර දෙමිනි.
මහ පොළොවේ යථාර්ථය එසේ වුව ද මෙරට වෙසෙන බුද්ධිමත් ජනතාව තව දුරටත් රනිල් කෙරෙහි විශ්වාසය තැබී ය. ඒ, ඔහු හුදු ජාතිවාදියෙක්, ආගම්වාදියෙක් මෙන් ම සදාචාරවාදියෙක් නොවන බැවිනි. අවසන ඔහු දේශපාලනයෙන් අතුගා දැමීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කළ රාජපක්ෂවරු පවා ඔහු කෙරෙහි විශ්වාසය තැබුහ; එහි ප්‍රතිඵලයක් ලෙස හෙතෙම රටේ අගමැති ධුරයට පත් කරන්නට පවා රාජපක්ෂවරු පෙලඹුණහ. නමුත් අවසන සිදුව ඇත්තේ කුමක් ද...?
මෙවර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය බාරගත් අවස්ථාවේ මාධ්‍යට ප්‍රකාශ කළේ රටේ ජනතාවට තුන් වේලම කුස පුරවාගත හැකි තත්ත්වයක් උදා කරන බවය; ඉන්ධන, ගැස්, කිරිපිටි යනාදි නහුතයක් ප්‍රශ්න කඩිනමින් විසඳන බව ය. මේ පිළිබඳ අධ්‍යයනය කර, විසඳුමක් සොයාගැනීම සඳහා ඔහු, ඔහුගේ සමීපතම පිරිසක් ද පත් කළහ. අරගලයට පහසුකම් සපයන බවට ද පොරොන්දු විය. නමුත් සිදුවූයේ සහ සිදුවෙමින් පවතින්නේ කුමක් ද...?
මේ වන විට රටේ බහුතරයක් ජනතාවට තුන් වෙලක් නොව එක් වේලක් හෝ කුස පුරවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. සැබැවින් ම නම් ‘‘උදා වී තිබේ’’ නොව උදා කර ඇත. ගෑස්, ඉන්ධන, කිරි-පිටි, සහල්, සීනි පෝලිම් තව තවත් දිග්ගැස්සෙමින් පවතී. අරගලකරුවන්ට පහසුකම් සපයනවා වෙනුවට ඔවුන් මර්දනය කිරිමට ආරක්ෂක අංශ සහ නීතියට අදාළ පාර්ශ්ව කටයුතු කරද්දී රනිල් වික්‍රමසිංහ ගොළුවකු, බිහිරකු සහ අන්ධයෙකු බවට පත්ව සිටී.
රටේ පවතින උග්‍ර ගැටලු සඳහා නිශ්චිත නොව තාවකාලික විසදුමක් ලබා දෙන්නට හෝ ඔහු සමත්ව ඇති බවක් දක්නට නොමැත. ඉදින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි..., දැන් ඔබ ද අසමත් ය. එබැවින් දැන් ඔබ ද ඔය අසුනෙන් බැස යන්න. මන්ද ඔබ තව දුරටත් දේශපාලනයේ නිරතවන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ගතයුතු සුදුසුම පියවර එය යි.
දේශපාලනික ආත්මාර්ථකාමියෝ
මේ වන විට මෙරට දේශපාලන භූමියේ විපක්ෂ බහුල ය; එය මෙතෙක් පැවති ආණඩුවලට විපක්ෂ පක්ෂ සමග ගත්විට බහුල නොව ඉතා බහුල ය. ආණ්ඩුවේ කෙටස්කරුවන් ලෙස සිටි, රාජපක්ෂ සනුහරේ විසින් දියත් කරන ලද සියලු අදුරදර්ශී ක්‍රියා පිළිවෙත් අනුමත කළ මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම සහ විමල් විරවංශ ප්‍රමුඛ කණ්ඩායම විපක්ෂයේ ය.
එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙන ම පක්ෂයක් පිහිටුවාගත් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම ද විපක්ෂයේ ය. අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගය ද විපක්ෂයේ ය. කේ. සුමන්තිරන් ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් ම නියෝජනය කරන පිරිස ද විපක්ෂයේ ය. එවිට දෙමළ පක්ෂ හැරුණ විට විපක්ෂ කණ්ඩායම් පමණක් හතරක් පවතී. නමුත් මේ කණ්ඩායම් හතර ම සිදු කරමින් සිටින්නේ කුමක් ද...?
මේ කණ්ඩායම් හතර ම ‘‘අපිට දුන්නොත් කරනවා’’ යැයි කටමැත දොඩවති; පුරාජේරු කියවති. නමුත් ආණ්ඩුව සමග එක්වන්නැයි ගෝඨාභය රාජපක්ෂ ආරාධනා කළ මොහොතේ ‘නටන්න බැරි එකාට පොළොව ඇදයි’ කියන්නාක් මෙන් විවිධ හේතු ඉදිරිපත් කර එම අවස්ථාව මගහැරියේ ය. දැන් දැන් යළිත් ‘‘අපිට දුන්නොත් අපි කරනවා’’ යැයි පුරසාරම් කියවති; මොවුහු සියලු දෙනා ම සතුව වර්තමාන අර්බුදය විසඳන විසඳුම් පවතින බව ද පවසති. ඒ සඳහා තමන්ට බලය දෙන්නැයි ද පවසති. ඒ රටට ඇති ආදරය නිසා ද, එසේත් නොමැති නම් බලයට ඇති කැදරකම නිසා ද යන්න දැන් දැන් ජනතාව හොඳින් අවබෝධ කරගෙන ඇත.
සත්‍ය වශයෙන් ම මේ හැම දෙනා ම රටට, රටේ ජනතාවට ආදරය කරන්නේ නම් මේ මොහොතේ කළ යුත්තේ කුමක් ද...? තම තමන් සතුව පවතින විසඳුම් යෝජනා ආණ්ඩුවට ඉදිරිපත් කර, ඒ ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමේ බලතල තමන් වෙත පවරාගෙන රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් තම තමන්ගේ වගකීම ඉටුකිරීම නොවේ ද...?
නමුත් මේ කිසිදු දේශපාලන නායකත්වයක් එබඳු වැඩ පිළිවෙලක් දියත් කිරීම සඳහා කිසිදු සූදානම් නැති බව දැන් පැහැදිලි ය. ඔවුන් සියලු දෙනාට ම අවශ්‍යව ඇත්තේ බොර දියේ මාළු බෑම ය. රාජපක්ෂ සනුහරේ පැවැත්ම රඳා පවතින්නේ ම විපක්ෂ නායකකාරාදින්ගේ මේ ආත්මාර්ථකාමිත්වය හේතුවෙනි.
මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, අනුරකුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයන් සිවු දෙනාට ම විවෘත ආරාධනයක් කිරිමට මේ ලියුම්කරු කැමැත්තෙමි. එනම් පක්ෂ, පාට, බලයට ඇති කැදරකම ඉවත ලා මේ මොහොතේ තම තමන් සතුව පවතිනවා යැයි කටමැත දොඩවන යෝජනා ඉදිරිපත් කරන්න; අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ බලය පවරාගන්න; පවරාගෙන අදාළ වගකීම ඉටු කරන්න.
එවිට එළඹෙන මැතිවරණයේ දී රාජපක්ෂ සනුහරය ම ශ්‍රී ලාංකීය දේශපාලන භූමියෙන් අතුගා දමන්නට හැකි වනු ඒකාන්ත ය. එසේ නොවන තාක් කල් රාජපක්ෂ සනුහරය යළි යළිත් මේ රට විනාශ මුඛයට ඇද දමන බව සක් සුදක් සේ පැහැදිලි ය.(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.