ඉන්ධන පෝලිමක සිදුවීමක් වාර්තා කරන්නේ දොස්තරට පහර දුන් ගුරුවරයෙක් අත් අඩංගුවට ගැනීමක් ලෙසය. වින්දිතයා සහ  චුදිතයා හඳුන්වන්නේ

 එසේය.

රෝහලකට පැන දොස්තරට පහර දුන්නා නම් වෙනම කතාවකි. ඉන්ධන පෝලිමකදී සාමාන්‍ය වැසියෙකුට පා පහරක් දුන් හමුදා නිලධාරියා අත් අඩංගුවට ගත්තේ නැත.

ද්‍රව්‍ය හිඟයකදී  පේලි සැදී තම වාරය එන තෙක් බලා සිටින්නෝ  පාරිභෝගිකයන් වෙති.  ලංකාවේ මේ තරාතිරම් සෙල්ලම කරන හානිය කිසිවෙකු හරිහැටි තේරුම් ගෙන නැත.  

විදුලි බල මණ්ඩල පනත් සංශෝධනයට එරෙහිව ජූනි 9 වෙනිදා වෘත්තීය සමිති මෙහෙයවූ විදුලි කප්පාදුවෙන් රජයට සිදුවූ  පාඩුව රුපියල් කෝටි 32ක් බව මහජන උපයෝගිතා කොමිෂම වාර්තා කරයි.

කොවිඩ් වසංගත කාලයේ රුපියල් 5000ක ගෙවීම් ලබන්නන්ට එතෙක් ලැබුණ සියලු සහන දීමනා නතර කළ යුතුය යන නියමය නො සලකා ක්‍රියා කළ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්  රාජ්‍ය භාණ්ඩාගාරයට රුපියල් හතළිස් දෙකෝටි හතළිස් හය දහස් නවසිය හැටක මුදලක් අහිමි වූ බව විගණකාධිපති කියයි.

කෝප් කමිටුව වාර්තා අනුව, ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් ලබා ගත් සමහර ගෙවීම් බෙහෙවින් හාස්‍ය ජනකය. කෝප් කමිටුවට කැඳවන රාජ්‍ය ආයතන 420කින් භාණ්ඩාගාරය නියාමනයට හසුවන්නේ ආයතන 52කි. අනෙක් ආයතන 368 කිසිදු නියාමනයකින් තොරව, හිතු සේ ක්‍රියා කරමින් හානි පූරණයන් භාණ්ඩාරයෙන් අපෙක්ෂා කරති.

 

රටේ දූෂණ වංචා වෙනුවෙන් කෑ මොර දෙන කිසිදු පාර්ලිමේන්තු නියෝජිතයෙකු කිසිදු පක්ෂයක් මේ ගැන  කතා නොකරන්නේ සිය පැවැත්මට වෘත්තිය සමිති සහාය අවශ්‍ය නිසාය. බදු ගෙවන රටේ බහුතර ජනතාව අත පල්ලෙන් වැටෙන්නේ දේශපාලනඥයන්ගේ සහාය ඇතිවය.

 

වත්මන් අර්බුදය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය වේගයෙන් අගාධයට තල්ලු වෙමින් පවතී. ඩොලර් සංචිත සහ රාජ්‍ය ආදායම් ඌනතා එසේ තිබීයේවා. තෙල් පෝලිමේ කී වෙනිදෝ මරණයත් සිදු වුවද, ලැබෙන සීමිත සම්පත් හෝ සාධාරණව බෙදා හැරෙන කිසිදු සහනදායි වැඩ පිළිවෙලක් සැකසීමට රටේ බදු මුදලෙන් යැපෙන කිසිදු පාලකයෙකු හෝ නිලධාරියෙකු පියවර ගෙන නැත.  

එයින් හැඟී යන්නේ ජනතාව, නිල වගකීම් භාර හැම එකාටම පහරදී පන්නා දමා ඇති හැටියකි.

වගකීම් ඉටු නොකළද, මේ විනාසයට දායකවූ දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරින් කිසිදු හිරිකියත් නැතිව අඛණ්ඩව තම කොටහ පරිභෝජනය කරති. අත්‍යාවශ්‍ය සේවා ප(v)ංගුවට මුවා වී ඉන්ධන කෝටා එක ලබා ගැනීමට වර්ජන තර්ජන කරන තැනට රාජ්‍ය සේවා වෘත්තීය සමිති සූදානම් වන බවට ජූලි මුල් සතියේ වාර්තා විය.

 

මේ අසීරු මොහොතේ මහා වැඩ වර්ජනයකින් එල්ල විය හැකි පීඩනයෙන් ජන ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවට විපක්ෂය හර්තාලයක් සංවිධානය කරමින් එකී පීඩනය දැඩි කිරීමට සැලසුම් කරති. වෘත්තිය සමිති අත්‍යාවශ්‍ය කෝටාව වෙනුවෙන් පරට බසිද්දී විපක්ෂය බලය පිළිබඳ තම කොටහ දිනා ගැනීමට පෙන්වන විජ්ජා හරහා ජනතා අපේක්ෂා නොව, කල්ලි වාදි දේශපාලන බල තන්හාව මැනවින් පිළිබිඹු වේ.

 

හිඟයකින් තොරව ගෑස්, ඉන්ධන ඉල්ලා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට හිඟ පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමට පිළිගත් ක්‍රම වේදයක් සැකසීමට අධිකරණයේ සහාය අපේක්ෂා කරමින් දරන උත්සාහය සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් විශිෂ්ඨ කැප කිරිමකි.

 

නිර්මානය වන මේ අවිනිශ්චිතභාවය සුනාමියක් ලෙස අනුර කුමාර දිසානායක හඳුන්වයි. මීට සමගාමීව ජූලි 4 වෙනි සඳුදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට හිඟ පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමට පිළිගත් ක්‍රම වේදයක් සැකසීමට අධිකරණයේ සහාය අපේක්ෂා කරමින් දරන උත්සාහය සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් විශිෂ්ඨ කැප කිරිමකි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළු රටේ නීතියේ මොනවා ලියැවී ඇතද, ආසන්න දසක ගණනක් බලධාරින් ක්‍රියා කළේ බලවත් පාලකයන්ගේ පුද්ගලික උවමනා සපිරෙන ආකාරයටය.

ඉහත කී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි කළ රුපියල් හතළිස් දෙකෝටි හතළිස් හය දහස් නවසිය හැටක මුදලක් අහිමි කිරීම දේශපාලනඥයෙකුගේ බලපෑමක් බවට සමහරු සැක කරති.  යම් අවස්ථාවක තමන් දුන් වාචික නියෝගය පවත්නා විධිවිධානවලට පටහැනි බව කී විට, රටේ නීතිය යනු තමා කියන දේ බවට වර්තමාන ජනාධිපති කළ ප්‍රසිද්ධ ප්‍රකාශය ඊට දිය හැකි ආසන්නම නිදර්ශනය වේ.  

කිසිවෙකු නො විමසා බදු කපා හැරීම, පොහොර ප්‍රතිපත්ති එක් රැයකින් වෙනස් කිරීම ආදි විනාසකාරි තීරණ නිසා රටම බිඳ වැටී හමාරය. මේ බිඳ වැටීම රාජ්‍ය සේවයට පමණක් සීමා වී නැත.

වීරකැටිය කුප්‍රකට සොහොන් කර්මාන්තයට රජයේ මුදල් යොදා ගැනීමේ වරද පිළිබඳව පොදු දේපල නීතිය යටතේ පැවරූ නඩුවේ පළමු චුදිත ගෝඨාභය රාජපක්ෂ රජයට වංචා කළ මුදල ආපසු ගෙවීම සැලකිල්ලට ගෙන නීතිපති වෙනුවෙන් රජයේ අධිනීතිඥ දිලීප පිරිස් ගෝඨාභයට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගැනීම යනු රාජ්‍ය සේවයෙහි පැවති අවභාවිතාව හෙවත් එක එකාගේ උවමනාවට අනුව ක්‍රියා කිරීමේ කැත පුරුද්ද රටේ අධිකරණ ක්‍රියාවලිය තුළටද කාන්දුවි ඇති බව සනාත කෙරෙන එක් උදාහරණයකි.

 

මැයි මාසයේ රට අස්ථාවරවූ මුල් අවස්තාවේම නීතිඥයන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව වටලන ලද්දේ නඩු සිය ගණනක් ඉල්ලා අස්කර ගැනීම හරහා අධිකරණයට එල්ලවූ අනවශ්‍ය බලපෑම් තේරුම් ගත් නිසාය.

 

ජොන්ස්ටන් ප්‍රනාන්දු, රිට් පෙත්සමක් හරහා ලබා ගත් සහනය, ස බුද්ධික පුරවැසියන් තුළ ඇති කළ තිගැස්ම ජොන්ස්ටන් ඇප ලබා ගැනීමේ පූර්වාදර්ශය, අධිකරණ නියෝගයකින් තහවුරු වීම හෝ නොවීම තෙක් ජන සමාජයෙහි කතාබහට ලක්වනු නියතය.

නහයෙන් ඉහළට ගිලී  සිටියදීත් රටේ නීතිය හා අධිකරණය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු නො කළ යුතුවේ. මේ ගැන විමසූ විට ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු කීවේ නීතිඥ ප්‍රජාවට අධිකරණයේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටිය හැකි සීමාවක් පවතින බවය.  


මැයි මුල් සතියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා 13 කෙරෙහි රටේ ජනාධිපතිගේ සිට රනිල් වික්‍රමසිංහ හැර අනෙකුත් සියලුම විපක්ෂ දේශපාලනඥයන්ගේද සහාය ප්‍රසාදය පළ විය. එහෙත් එකී මාර්ගෝපදේශ රටේ ප්‍රශ්නය විසඳීමේදි කිසිවෙකු සැලකිල්ලට ගෙන නැත. එය දේශපාලනඥයන්ගේ සද්භාවය පිළිබඳ ප්‍රශ්නයක් මිස, නීතිඥ සංගමයේ වරදක් නොවේ. එහෙත් රටේ නීතිඥ ප්‍රජාව අඛණ්ඩව ජනතාවාදි අරගල කරුවන් වෙත සිය සහාය සහ ආරක්ෂාව ලබා දීමට ක්‍රියා කරමින් සිය ආස්ථානයෙන් රැඳී සිටිති.



රටේ පවත්නා තත්වය තුළ සත්තකින්ම පැවතිය යුත්තේ පාලකයන් සහ පීඩිතයන් පමණකි. එහෙත් පාර්ලිමේන්තුවේදීම ගෝල්පෙස් අරගලය කුඩුකාරයන්ගේ එකතුවක් ලෙස කළ චෝදනා හරහා විපක්ෂය යනු මේ අසීරු මොහොතේත් ජනතාව ප්‍රතික්ෂේප කළ ඊනියා තක්කඩි පාලකයන්ටම බද්ධ  විකලාංගයක් බව තහවුරු වේ.

යථාර්ථය සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය හිට ගත්තාට සක්‍රිය දේශපාලනයෙහි නියැලි පාර්ලිමේන්තුවේ 225 දෙනා මේ අරගලය දෙස වපරැසින් බලන බව නීතිඥයන් මතු නොව රටේ සබුද්ධික ජනතාව තේරුම් ගත යුතුවේ. 

 

විවේචනයෙන් පමණක් සිය පැවැත්ම සහතික කරන විපක්ෂයේ කිසිදු දේශපාලන ධාරාවක් ජනතාවගේ සමාන්‍ය ජීවිත පැවැත්මට අවශ්‍ය ඉන්ධන ගෑස් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හැම පුරවැසියාටම සමානව බෙදෙන ක්‍රමයක් කෙරෙහි කැප වන්නේ නම් නැත. පාලකයන්ගේ දූෂණ වංචා කතා කරන විපක්ෂය අත්‍යාවශ්‍ය සේවා හරහා සිය නිල පංගුව ලබා ගැනීමට වලිකන වෘත්තීය සමිති මාෆියාව ගැන කට හොල්ලන්නේ නැත.

 

මෙයින් වසර කිහිපයකට පෙර දිළිඳු සහනාධාර බෙදා දීමේ වැඩ සටහනකදී සමහර ප්‍රතිලාභින් සහන ලේඛනයෙන් ඉවත් කිරීම ගැන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වටලා ප්‍රාදේශීය ලේකම්වරියට තර්ජනය කළ ජවිපෙ නාමල් කරුණාරත්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් විනාශ කළ රුපියල් හතළිස් දෙකෝටි හතළිස් හතළිස් හය දහස් නවසිය හැටක් රාජ්‍ය  මුදල් ප්‍රමාණය ගැන ප්‍රශ්න නො කරන්නේ ජනතාව මෝඩයාට ඇන්දවීම මිස යථාර්ථය අවබෝධ කර  නිසි නායකත්වයක් සැපයිමට ජවිපෙය හෝ උත්සාහ නොකරන නිසාය.

දරුවන්ට පාසල් නැතිවූ සැනින් වර්ජන මෙහෙයවීමට රජයේ වෛද්‍ය සංගමයට ඇති අයිතියට වඩා වැඩි අයිතියක් රෝගියෙකුට ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අයිතිය සහ රජයේ සේවකයෙකුගේ  ස්ථාන මාරුවකට වඩා උපන් දා සිට පාසලට පෙනෙන දුරක ජීවත්වූ දරුවාට ආසන්න පාසලේ අයිතිය වෙනුවෙන් කිසිදු දේශපාලනඥයෙකු පෙනී සිටින්නේ නැත.

මේ සරල උදාහරණයෙන් රටේ දේශපාලනඥයන් ජනතාව රැවටීමේ කාර්යයේදී පාට පක්ෂ භේදයෙන් තොරව ක්‍රියා කරන බව නිමේෂයෙහි ශ්‍රී ලංකා නිතිඥ සංගමය තේරුම් ගත යුතුව ඇත. කලාතුරකින් අධිකරණය ඉදිරියේ මිස, තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතා අපේක්ෂාවන්ට ඉඩක් නැති බව නීතිඥ ප්‍රජාවට සිහිපත් කළ යුතු නැත.

 

මේ අවසනාවන්ත තත්වයන් රටේ යහපත පිණිස මග හරවා ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඍජුව සහ එහි සාමාජිකයන් වඩාත් පුළුල් වගකීමක් ස්වේච්ඡාවෙන් පවරා ගෙන ඇති බව ඉන්ධන බෙදා හැරීම සම්බන්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම  හරහා රටේ ජනතාව තේරුම් ගෙන හමාරය. මේ ක්‍රියාකාරකම්  වඩාත් සංවිධානාත්මකව පුළුල් සහ වේගවත් කළ යුතු තත්වයකට රට පත්ව ඇත.

 

ඉහතින් සඳහන් වන පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුවූ බවට විගණකාධි දෙපාර්තමේන්තුව හෙළි කළ මහා විනාසය විගණන විමසුමකට සීමාවූ ලේඛනයක් පමණක් විය යුතු නැත. ඒ සම්බන්දව නිල වශයෙන් වගකිව යුතු අයට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කළ හැකි ඉඩකඩ අනුව පියවර ගැනීමට නීතිඥ වෘත්තිකයන් පෙළ ගැසෙන්නේ නම්, ඒ හරහා  රටේ ජාතික ධනය ආරක්ෂා කිරීමේ සිවිල් ව්‍යාපාරයක් නිර්මානය විය හැකිය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේට අනුව වර්තමාන රාජ්‍ය සේවයට අවශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් නඩත්තු කිරීමට ජනතාවට සිදුවී ඇත. මේ තත්වය වහා වෙනස් විය යුතුවේ. සත්‍ය ලෙසම අතාර්කික සහ ක්‍රම විරෝධි ලෙස ලැබෙන නියෝග හරහා සිදුවන නාස්තිය හා දූෂණය නතර කිරීමට සිවිල් සමාජය  නීතිඥ ප්‍රජාව සමග අත්වැල් බැඳගත ගත යුතුව තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනත කෙතරම් ප්‍රබලද යන්න සාමාන්‍ය ජනතාව තවමත් අවබෝධ කර ගෙන නැත. ගමේ  සහනාධාර ලැබිය යුතු නැතිබැරි පවුල් ප්‍රතික්ෂේප වෙමින් සිදුවන තෝරා ගැනීමේ දූෂිත ක්‍රියාවලිය ප්‍රශ්න කිරීමේ නිත්‍ය වැඩ පිළිවෙලක් හරහා රජයේ මුදල් හිතූ මතේ බෙදමින් සමෘධිය හරහා  කෙරෙන නින්දිත දේශපාලනය නතර කළ හැකිය.

පසුගිය මැයි 9 වෙනිදා රාජපක්ෂලා අරලියගහ මන්දිරයට කැඳවූ එක් පුද්ගලයෙකු සමෘධි ලාභියෙකු වන තමන් මේ ගමන නො පැමිණියා නම් ලැබෙන සමෘධි ආධාරය අහිමිවීමේ අවදානමක් පැවති  බවට කළ පාපොච්ඡාරණය බෙහෙවින් බරපතල තත්වයකි.

සමෘධිය පමණක් නොව, රාජ්‍ය ක්‍රියාවලිය නාස්තියෙන් දූෂණයෙන් තොරව පාරදෘෂ්‍යභාවයකින් සිදු වන්නේද සොයා බැලීමට අවශ්‍ය නිත්‍ය ආයතන නො පවත්නා තත්වයක එකී ක්‍රියාවලියට මැදිහත්වීමෙන්  බොහෝ ප්‍රතිලාභ ජනතාවට අත්කර දිය හැකිය.

 

අධිකරණය යනු  දඬුවම් කිරීමට නිදොස් කොට නිදහස් කිරීමට වඩා පලදායි ආරක්ෂාවක් ජනතාවට ලබා දිය හැකි ආයතනයක් බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ වනවිට තහවුරු කරමින් සිටින්නීය.

 

හැමදාම සිදුවුණේ පුළුවන් එවුන් බෙදා ගත් පසුව ඉතිරි සොච්චම ජනතාවට හිමි වීමය. ඉන්ධන බෙදා හැරීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී රටට ලැබෙන ප්‍රමාණයෙන් පළමුව හැම පුරවැසියෙකුට ලැබිය යුතු ප්‍රමාණය මුලින් ගණනය කිරීමේ ක්‍රම වේදයක් නිර්මානය විය යුතුය යන්න ජනතා අපේක්ෂාව වේ.

ඩිපෝවෙන් ලැබෙන  ඉන්ධන කළු කඩේට විකුණන ලංගම රියැදුරන් ගැන කියන්නේ ලංගම සභාපතිම ය. මෙසේ පවත්නා ඉන්දන අර්බුදයට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩදී බලා සිටීමත් කුමන්ත්‍රණකාරි අපරාධයකි.

ඉන්දියාවේ ඒක පුද්ගල ඉන්ධන පරිභොජනය (194.5) මෙන් ලංකාවේ ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනය (350.5) දෙගුණයකට ආසන්න බව සමාජ මාධ්‍ය වාර්තා කරයි. මේ වාර්තා විමසූ කෙනෙකු ඇසුවේ ලංකාවේ මිනිසුන් ජලය වෙනුවට ඉන්ධන බොනවාද කියාය.

භාණ්ඩ හිඟයක් ගැන සැලවූ  වහා එකී භාණ්ඩ ඒකරාශිකර වැඩි මිලට විකිණිමේ සංවිධාන පිටුපස  දේශපාලනඥයන් සහ රජයේ සමහර නිලධාරින් සිටින බව සාමාන්‍ය ජනතාව දනිති. ඉන්ධන හල් අසල සක්‍රිය වන පාතාල සාමාජිකයන් යනු ලංකාවේ කසඩ දේශපාලනයේ අවයව වේ.  

රටේ තත්වය සමහන් වන තෙක් රටේ ජනතාවගේ සුභ සිද්ධිය පිණීස ශ්‍රී ලංකා නිතිඥ සංගමය පෙනී සිටිනු ඇත යන්න සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය වේ.



ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්