මේ ජූලි මාසයයි. දැනට වසර 39 ක ට ඉහතදී ජූලි මාසයේ ලංකා අහස කළු දුමින් වසා දමමින් ලංකා අහස පමනක් නොව එහි තිබූ මිනිස්කමද අඳුරු
යුගයකට ඇද දැමුණි.
අද නැවත වසර 39 ක ට පසුව ජූලි මස ලංකාව ඉතා අවදානම් මොහොතක පසුවන බව මගේ වැටහීමයි.
එදා කළු ජූලිය ඇති කරනු ලැබුවේ අද තාවකාලික ජනාධිපති ධූරය දරන රනිල් වික්‍රමසිංහගේ මාමා වූ ජේ. ආර්. ජයවර්ධනගේ නිහීන අත්තනෝමතික පිළිවෙත හේතුවෙනි. එම සිද්ධිය පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතු මැයකි.
තම ජනතාව මත නිහීන ප්‍රචණ්ඩත්වයක් මුදා හරිමින් ලංකාවේ එදා ඒ ජූලි මස මිනිස් ඝාතනයන් සහ දේපල විනාශයන් වලට හේතු පාදක වූ ඉතිහාසය දෙස අප මොහොතක් බැලිය යුතුය.
නැවත මෙම ජූලි මාසයේ ලංකා අහස කළු දුමේ අඳුරින් වැසී යන රටක් බවට පත්කිරීමට ඉඩ නොතැබීම රටෙහි ජීවත් වන කාගේත් යුතුකම යි.
සුදු අධිරාජ්‍යවාදීන් අතින් ලංකාවට නිදහස ලැබෙන්නේ 1948 දී වන අතර රටෙහි ප්‍රභූ පන්තියෙන් කොටසක් රටෙහි පාලනය අතට ගැනීම මගිනි.
පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඩී. ඇස්. සේනානායකගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිට වූ අතර එම ආණ්ඩුව විසින් සම්මත කළ පුරවැසි පනත මගින් මිලියනයකට වැඩි ජන කණ්ඩායමක පුරවැසි අයිතිවාසිකම් අහිමි කර දැමීම තුළින් රට තුළ රටක් නැති ජනතාවක් බිහි කරනු ලැබුණි.
ඒ වන විට රටේ ජනගහනය මිලියන අටක පමණ වූ අතර ඇත්තෙන්ම එසේ රටක් නැති මිනිසුන් බවට පත් කරනු ලැබූ ජන කණ්ඩායම රටෙහි ජනතාවගෙන් සියයට දහයක් පමණ කොටසක් විය.
සුදු අධිරාජ්‍යවාදීන් විසින් විවිධ හේතූන් නිසා ලංකාව තුළ ඇති කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ක්‍රමවත්ව කප්පාදු කිරීම ආරම්භ වෙන්නේ එසේ රටට කෑම සැපයූ මිනිසුන් ගේ මානුෂික අයිතීන් නැතිකරමිනි.
මෙම සාමකාමී ඉල්ලීම් දිගින් දිගටම දෙමළ දේශපාලන පක්ෂ විසින් කරගෙන යනු ලැබූවද සිංහල දේශපාලන නායකත්වය විවිධ උප්පරවැට්ටි යොදමින් “රට බෙදීමට ඉඩ නොදෙමු.” “ සක්විති රජකම ලැබුනත් රට නොබෙදමු.” “ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ.” වැනි පාඨයන් යොදා ගත් අන්දම අපට තවමත් මතක් කළ හැක.
මේ අවදියේම උතුරේත් දෙමළ තරුණයින් අතර ජාතික ව්‍යාපාරය ඇති වන්නේ මෙතෙක් සාමකාමීව කළ ඉල්ලීම් වලින් අපට අපේ අයිතීන් නොදෙන්නේ නම් අප නුඹලාගෙන් අයිතීන් හිඟා නොකමු, අප සටන් කර අයිතීන් දිනා ගන්නෙමු යන සටන් පාඨය යටතේය. එය දෙමළ ශිෂ්‍ය සංවිධානයේ සිවකුමාරන්ගේ නායකත්වයෙන් ඇරඹුනි.
මෙම හමුදා කණ්ඩායම උතුරේ සිවිල් වැසියන් අත්අඩංගුවට ගනිමින් අඩන්තේට්ටම් කරමින් මරා දමමින් දේපල හානි කරමින් ලිංගික බලහත්කාරකම් කරමින් උතුරේ සිහිවටන ස්මාරක කවීන්ගේ වැනි කඩා බිඳ දමමින් සංහාරක යෙදුණි. එහි ප්‍රතිඵලය ලෙස තරුණයින් වනගත වෙමින් ඒ වන විට සැඟව සිටි දෙමළ සටන් කාමින් සමග එක් වීම සිදුවිය.
එමෙන්ම මේ අවධිය වන විට මෙම කණ්ඩායම් අතර මත ගැටුම් හේතුවෙන් කණ්ඩායම් ගණනාවක් බිහි විය. ප්‍රභාකරන් ගේ නායකත්වය යටතේ දෙමළ කොටි සංවිධානයත්, උමා මහේෂ්වරන්ගේ නායකත්වය යටතේ පොලොට් සංවිධානය, කුට්ටුමනී සහ ශ්‍රී සභාරත්නම් වැනි අයගේ නායකත්වයෙන් ටෙලෝ සංවිධානයත්, පද්මනාභා ගේ නායකත්වයෙන් ඊ පී ආර් එල් එෆ් සංවිධානයත්, බාලකුමාර් සහ රත්නසබාපතිගේ නායකත්වයෙන් ඊරෝස් සංවිධානයත් වැනි සංවිධාන ගණනාවක් බිහි විය. මේවා ඉතා කුඩා කණ්ඩායම් වූ අතර මේ සෑම එකකම ඉල්ලීම වූයේ දෙමළ ඊළමක් ඇතිකර ගැනීමයි.

මේ වන විට විවිධ තත්වයන් තුළ අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ දේශපාලන සිරකරුවන් වැලිකඩ ඇතුලූ බන්ධනාගාර වල සිර කර තිබුණි. කුට්ටුමනී ඇතුළු කැරලිකාරී දෙමළ තරුණයන් ප්‍රමාණයක් ද දොස්තර රාජසුන්දරම් ඇතුළු අවිහිංසාවාදී ගාන්ධියන් ව්‍යාපාරයේ කොටසක්ද මේ වන විට අත්අඩංගුවේ පසු විය.
සෙබළුන් මරා දැමීම පිළිබඳව විශාල ප්‍රචාරයක් දෙමින් ජේ ආර් ජයවර්ධන මෙම සෙබළුන්ගේ සිරුරු කොළඹට ගෙන එමින් ඒ සමගම පොලිසි සහ හමුදාවන් වල සහය ලබන කොටස් වලට තමන් කැමති ආකාරයකින් රට තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව නැතිනම් ඔ්නෑම හිංසන ක්‍රියාවකට ලයිසන් දෙනු ලදී.
රටෙහි නමගිය දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ චරිත මැර කණ්ඩායම් මෙහෙයවමින් කොළඹ ගෙවල් ගිණි තබමින් අමු අමුවේ පණ පිටින් මිනිසුන් ගිනි තබමින් දේපල කොල්ල කමින් ජාති ආලය නම් සටන් පාඨය යටතේ ත්‍රස්තවාදය විනාශ කිරීමේ ක්‍රියාදාමය ඇරඹීය.
මෙම මැරවර කණ්ඩායම් වලට පොලිසිය සහ හමුදාවේ සහාය ලැබුණු අතර ජේ ආර් ජයවර්ධන දින ගණනක් යනතුරු මෙම පොලිස් ක්‍රියාදාමයන් නිල වශයෙන් ම නතර කරන ලදී. දහස් ගණනක් අමු අමුවේ මරා දැමුණි. පවුල් පිටින් ඇවිලෙන ගිනිනට විසිකර දහස් ගණනින් කඩසාප්පු මංකොල්ලකා ගිනි තබමින් කොළඹ එමෙන්ම තවත් ප්‍රධාන නගරවලත් මෙසේ දෙමළ ජන ඝාතනයක් ඇරඹීය. පිළිස්සෙන මලමිනි සහ දේපළවලින් උඩට නගින කළු දුමින් ජුලි මාසයේ ලංකා අහස මුළුමනින්ම අඳුරු විය.
ලක්ෂ ගණනක් ජනයා තම උපන් බිමේ අනාථයින් බවට පත් විය. ඔවුන් සතු සියලු දේපළ ඇඳි වතට පමණක් සීමා වන මට්ටමට ඔවුන්ව කොල්ල කා ඔවුන්ගේ දේපළවලට ගිනි තබනු ලදී. කොළඹ සහ අවට ප්‍රදේශ වල අනාථ කඳවුරු ඇති කර ඉන්පසු ඔවුන්ව නැව්වලින් උතුරට ගෙන යනු ලැබුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙස ජාත්‍යන්තරය විසින් ඇති කරන බලපෑම හේතුවෙනි.
මෙම කාලකන්නි දේශපාලනයට සිංහලයින් අතර විවිධ කණ්ඩායම් විරුද්ධ වූවා වුවත් සිංහලයින්ගෙන් වැඩිදෙනෙක් එදෙස බලාගෙන නිහඬ විය. ඒ වාගේම රජය විසින් ප්‍රචාරය කරන සියලුම ජාතිවාදී බොරු ප්‍රචාරයන් දෙමළ ජනයාට එරෙහිව ඔවුන් ගිල ගන්නා ලදී.
මේ වන විට සිරගෙදර සිරකර සිටි දෙමළ සිරකරුවන් 54 දෙනෙකු දින දෙකක් තුළ පොලු වලින් ගසා කටු වලින් ඇණ මන්න වලින් කපා මරා දමනු ලැබුවේ අමු තිරිසන් ක්‍රියාවක් ලෙසිනී. කුට්ටුමනී සහ දොස්තර රාජසුන්දරම් දෙදෙනාම මේ මරා දැමූවන් අතර විය.
මෙම මරාදැමීම් ගිනි තැබීම් ලෝකය පුරා මාධ්‍යයෙන් ප්‍රචාරය වුණු අතර එවකට ජර්මනියේ සිටි මට මෙහි රූපවාහිනියෙන් ඒ සහගහන සාපරාදී අපරාධ දෙස තුෂ්නිම්භූතව බලා සිටීමට සිදු විය.

එදා ජයවර්ධනගේ අනුගාමිකයින් වූ බොහෝ දෙනෙකු සිතා සිටියේ ඔහු ලිබරල් නායකයකු ලෙසිනි. ඔහු රටට කළ දෙය දීර්ඝකාලීන යුද්ධයකිනුත් ජන වර්ග අතර බෙදීම් උග්‍ර වීමෙනුත් ඒකාධිපති ස්වරූපයක ව්‍යවස්ථාවකිනුත් අප අද වෙනතුරුම අත්විඳිමින් සිටිමු.
එදා ජයවර්ධන ලංකාවේ අහස කළු දුමින් වසාදැමීමට ක්‍රියාකර රට විනාශ මුඛයට ගෙන ගිය බව අප අද දන්නෙමු.
නැවතත් ජයවර්ධනගේ බෑණා රනිල් පිළිබඳව ලිබරල් බලාපොරොත්තු තබා ගත් අප රටේ බොහෝ දෙනෙකු ඔහු අද රට ගෙන යමින් තිබෙන අගාධය තේරුම් නොගන්නා බව මගේ වැටහීමයි.
නැවත මෙම ජූලි මාසයේ ලංකා අහස කළු දුමේ අඳුරින් වැසී යන රටක් බවට පත්කිරීමට ඉඩ නොතැබීම රටෙහි ජීවත් වන කාගේත් යුතුකම බව ද මගේ වැටහීමය. මෙවර අහස කළු දුමින් වැසුණ හොත් එය තවත් දීර්ඝකාලීන ඛේදවාචකයක ආරම්භය පමණි. එය වලකාගැනීම අප කාගේත් යුතුකමයි.

සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.