ගෝඨාගේ ඇවිදින මංතීරු මහජන අවකාශයේ අවදිවීම



මීට මාස හයකට විතර කලින් මගේ දෛනික ජීවිතේ  පැයක කාලයක්  වෙන්කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂගේ නාගරික අලංකාර වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගුන නුගේගොඩ “වැලි පාක්”  නමින් ප්‍රසිද්ධ උද්‍යානයේ ඇවිදින්නටය. මෙහි ඇවිදින්නට එන බහුතරය ඉංග්‍රීසියෙන් කතා කරන ඉහළ මධ්‍යම පන්තියට අයත් නාගරිකයන්ය. ඔවුන්ගේ විශේෂත්වය වූයේ කුඩා කණ්ඩායම් විදිහට එකතුවී රට තොටේ දේශපාලන  ක්‍රියාකාරකම් ගැන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඇවිදීමය.  

එය දහ අටවන සහ දහනව වන ශත වර්ෂවල යුරෝපයේ කෝපි ආපන ශාලා මහජන  අවකාශ (Public Sphere) සංස්කෘතිය සිහිපත්  කරන්නක්.  හබමාසියානු කියවීම් වලට අනුව එදා යුරෝපයේ කෝපි ආපන ශාලා කුඩා  කණ්ඩායම් රටේ සමාජ, දේශපාලන, කලා කටයුතු ගැන විවෘතව සංවාද පැවැත්වූ මහජන අවකාශයකි. එම සාකච්ඡා රටේ නීති, දේශපාලන සහ සමාජ දිසානතිය කෙරෙහි බලපෑමක් කරනු ලැබූ බවට තර්ක ඉදිරිපත් වෙනවා.

 

ඒ කෝපි ආපන ශාලා මහජන අවකාශ ආකෘතිය වැලි පාක්හී ඇවිදින මංතීරු කණ්ඩායම් සාකච්ඡා තුළද දකින්න ලැබුණා. එහිදී මට වැඩිපුරම ඇහුනේ ‘ගෝඨා’ කියන වචනය. ඔවුන් රාජපක්ෂ ආණ්ඩුව උස් හඬින් විවේචනය කරමින් ඊට උදාහරණ, සාක්ෂි ඉදිරිපත් කරමින් ඇවිද ගියා. ඊට පස්සේ උද්‍යානයේ  තැන් තැන් වල එකතුවී තරමක් සංවිධානාත්මක සාකච්ඡා කරන ආකාරය ද දිනපතා දකින්න ලැබුණා. අරගලයට මුල් වෙඩිමුරය තබමින් ජුබිලි කණුව හන්දියේ  සහ කොහුවල හංදියේ මාර්තු මාසේ අග භාගයේ එකතු වූ කුඩා කණ්ඩායම්  විරෝධතා මේ ඇවිදින මන්තීරු කතිකා අවකාශෙ ඉදිරි පියවරක් බවයි මගේ නිගමනය. ජුබිලි කණුව හන්දිය කියන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා මුලින්ම ‘වඩේකරුවෙක්”  දැක්ක ස්ථානය වගේම ඔහුට ජනතාව කිරිපිටි පෝලිමේ සිට හූ තැබූ ස්ථානයයි. 

 

හිරුනිකාගේ භූමිකාව  

අරගලයේ තවත් බලපෑම් සහගත  පෙළඹීම්කාරක භූමිකාවක් ඉටු කලේ හිරුණිකා විසින්. ලෝකයේ බලවත්ම සහ භයානකම විධායක බලය සහ military වලළල්ලක් සමග ජීවත්වූ ගෝඨාභය රාජපක්ෂට  මුහුණට මුහුණ අභියෝග කරන්න කිසිවකු ඉදිරිපත් නොවූ වටපිටාවක් තුළ හිරුණිකා සහ කාන්තා කණ්ඩායමක් ජුබිලි කණුව ආසන්නයේ තිබෙන ගෝඨාභයගේ  මිරිහානේ පෞද්ගලික  නිවස අසලට ගොස් පළ කළ  විරෝධය මෙරට සාමාන්‍ය ජනයා නිවෙස්වලින් එළියට ගෙන ඒමට සමත් වූ ප්‍රධානතම  සාධකයක් වුණා.



රටේ උගත්, නූගත්, ප්‍රභූ, නිර්ප්‍රභූ  සැලකිය යුතු පිරිසක්  මිත්‍යාව, නොපෙනෙන බලවේග, මන්ත්‍ර ගුරුකම්වල  හිරකරුවන් වී සිටි සමයක ජනාධිපතිවරයාගේ, සහ ප්‍රභූ ජනයාගේ ද ගැලවුම්කාරයා බවට පත්වී සිටී අනුරාධපුරයේ බලවත් දෛවඥවරියට හිරුණිකා විසින් ඇගේ වන්දනා භූමිය අසලටම ගොස් අභියෝග කිරීම දෙවෙනි මැදිහත් වීමයි.

රාජපක්ෂ  ක්‍රමයේ එක් සංකේතයක් වූ  "නොපෙනෙන බලවේගවල බලසම්පන්නභාවය"  ප්‍රශ්න කිරීම්ට පොදු ජනයා පෙළඹවීම මේ හා සමගම සිදු වුණා .

 

මීට අමතරව හිරුණිකාගෙ යාපනයේ ගමන වගේම ජනාධිපතිවරයා ගේ නිල නිවස වෙත තනියම ගොස් ඔහුට  අභියෝග කිරීම්ද  මහජනයා අවදි වීම කෙරෙහි බලපෑමක් සිදු කළා.

 

සමාජ මාධ්‍ය

පසුගිය වසර තුනක කාලය තුළ මෙරට ජනතාව අතර සමාජ  මාධ්‍ය භාවිතය සීග්‍රයෙන් ඉහළ යනු දක්නට ලැබුණා. විශේෂයෙන් COVID 19 lockdown මේ කෙරෙහි සෘජු බලපෑමක් සිදු කලා. මුහුණු පොත සහ වට්ස්ඇප් වැනි සමාජීය මාධ්‍ය හුදෙක් මිතුරු ඇසුරෙන් එහාට ගොස් සමාජයීය මැදිහත්වීමක් සඳහා අවධානය දිනා  ගැනීමටත්, ඒ පිළිබඳව අත්දැකීම්, අදහස් හුවමාරු කර ගැනීමටත්, ඒ වෙනුවෙන් සංවිධානය වීමටත් ප්‍රබල වේදිකාවක් බවට මේ වසරේ මුල් භාගය වන විට පත්වී තිබුණා.ජනාධිපති ගෝඨාභයගේ තීරණ, ප්‍රතිපත්ති සහ මැදිහත්වීම් බොහෝවිට ජනතා සංවේදී, හැඟීම්බර ප්‍රතිචාර හා බද්ධ වූ ඒවා. ඒවා මෙරට බහුතරයට හැඟීම්බර ලෙස පෞද්ගලිකව බලපෑ කාරණාවන්. ඒවාට ප්‍රතිචාර දැක්වීම්ට මහජනතාවට තිබූ පහසුම සහ ගැලපෙනම මාධ්‍ය උනේ මුහුණු පොත. මුහුණු පොතට ආවේණික සංවේදී, තොරතුරු - විනෝදායන (infotainment), අන්තර් ක්‍රියාකාරිත්ව, නම්‍යශීලී ස්වරූපය නිසා ගෝඨාභය විරෝධයේ ස්වරූපය සමග එය කදිමට ගැලපුනා. එහි  ප්‍රතිඵලයක් වශයෙන් ගෝඨාභය විරෝධයේ ප්‍රකාශන මාධ්‍ය පමණක් නොව, ඒ සඳහා ජනතාව සංවිධානය කිරීමේ මාධ්‍ය බවට මුහුණු පොත සහ වට්ස්ඇප්  පත්වී තිබුණා.

277577662 746093096797835 6704546977457000457 n“Gota Go Home”, “මයිනා Go Home” වැනි ආකර්ෂණීය සටන් පාඨ නිර්මාණය වීම 

ඒ තුළින් “Gota Go Home”, “මයිනා Go Home” වැනි ආකර්ෂණීය සටන් පාඨ නිර්මාණය වූ අතර ඒවා  hashtag, share, comments සහ ප්‍රති නිෂ්පාදනය ඔස්සේ බලසම්පන්න ස්වයං ප්‍රචාරණ ව්‍යාපාරයක් ගොඩනගනු ලැබුවා. එහි පදනම වූයේ  සියල්ලන් සිතින් කයින් සහභාගි වීමයි. ඒ අනුව 2022 මහජන නැගිටීම් වල  ප්‍රධානතම සංවිධායකයා, සන්නිවේදකයා, පෙළඹීම්කාරක සහ පහසුකම්කාරක බවට පත්වූයේ සමාජයීය මාධ්‍යයන්ය.    


අරගලකරුවන් කවුද ? ඔවුන් මොනවද කළේ ?

 

1200x 1

 “නිර්පාක්ෂික”, “සාමකාමී”, “ආදරවන්ත”, “අරගලකරුවන්”, “විරෝධතාකරුවන්”, “ගෝඨා go home වැසියන්” ආදී සර්වනාම තමන් හඳුන්වා දීම සඳහා ඔවුන් භාවිතා කළා. මෙරට කුප්‍රකට සැඳෑ සහ සති අන්ත විනෝද තිප්පොලක් වන ගාලු මුවදොර කේන්ද්‍රකරගෙන බිහි වූ “ගෝඨා go ගම”මුල්ම වැසියන් උනේ කොළඹ කේන්ද්‍රීය පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල රැකියා කරන මධ්‍යම පංතික තරුණ තරුණියන්.

 

Protest 2 720x375 1

“ගෝඨා go ගම”මුල්ම වැසියන් උනේ කොළඹ කේන්ද්‍රීය පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල රැකියා කරන මධ්‍යම පංතික තරුණ තරුණියන්.

 

පෙට්‍රල් පෝලිම්, විදුලිය කපා හැරීම්, බඩුමිල ඉහළ යෑම මෙන්ම කාලයක් අත්විඳි lockdown ඔවුන්ගේ මධ්‍යම පන්තික සැහැල්ලු ජීවන රටාව අවුල් කර තිබුණා.කොළඹ  නගරයේ සංවාද ශාලාවල, කලාගාරවල, ප්‍රදර්ශන කුටිවල සැරිසරන ලෝකය වෙනස් විදිහට දකින තරුණ තරුණියන් ඊට පස්සේ එහි නිතර ගැවසෙන්නො බවට පත්වුණා. කොළඹ කේන්ද්‍රීය ඉහළ මධ්‍යම පංතිකයන්, ව්‍යාපාරිකයින්, ධනවතුන් එතනට යමින් එමින් ඔවුන්ට  අවශ්‍ය පහසුකම් සලසා දිරි ගන්වන්නට වුණා. එහෙත් මුල් කාලයේ සමස්ත ක්‍රියාවලිය “අවිධිමත්”, “අසංවිධානාත්මක”, “ස්වයං-පාලන”, “ස්වේච්ඡා”ආකෘතියක් ගෙන තිබුණා. සමාජ මාධ්‍ය, සංගීත්ය, වීදි නාට්‍ය, පෝස්ටර්, බැනර් වෙස්මුහුණු, රංගනයන්, mega phone  ඔවුන්ගේ ප්‍රධානතම සන්නිවේදන මෙවලම් වුණා.  

මේ අතර ගෝඨා go ගම වැසියන් මෙන්ම  සමාජ  ක්‍රියාකාරීන් ද ලෝකයේ වෙනත් රටවල මේ හා සමාන මහජන නැගිටීම් පිළිබඳව යම් අධ්‍යයනයක නිරත වූ බවක්ද පේනවා. ඔවුන්ගේ වැඩි අවධානයට යොමු වුණේ ඇමරිකාවේ wall street වාඩි ලා ගැනීම බව පසු කාලේදී ගෝඨා goගමට එකතු වූ සමහර අංග වලින් පේනවා. උදාහරණයක් විදිහට එහි ගොඩනැගුණු පුස්තකාලය, සිනමා ශාලාව සහ සරසවිය වගේම වෙනත් තාක්ෂණික සන්නිවේදන ප්‍රයෝග ද ජාත්‍යන්තර අත්දැකීම් ඔස්සේ ලැබුණු දේවල්. වීදි පුරා ඇහුන ‘කපුටු කාක්” වාහන නලා නාදය විරෝධතාවක් පල කිරීම සඳහා සක්‍රීය පුරවැසි සහභාගිත්වය පිළිබඳ පුරෝගාමි භාවිතාවක්.

29 A makeshift library set up in the Go Gota Gama village.jpg.image.490.286

ගෝඨා go ගම පුස්තකාලය

 

මේ අතර ගෝඨා go ගම ව්‍යාපාරය රටේ ගම් දනව් වීදි පුරා පැතිර යමින් සමාජීය මාධ්‍යයන්ගේ අන්තර්ගතය පුරවද්දී එය තමාට අභියෝගයක් බව තේරුම් ගත්ත පාර්ශව  තුනක්  හිටියා. පලවෙනි කණ්ඩායම මෙතෙක් කලක් මෙරට වීදි සටන් වල උරුමක්කාරයා වූ අන්තරේ, ජවිපෙ සහ පෙරටුගාමීන්. දෙවැනි කණ්ඩායම වුණේ තම දේශපාලන සහ ව්‍යාපාරික න්‍යාය පත්‍ර සම්බන්ධ භාණ්ඩ  නිෂ්පාදනය කරන පෞද්ගලික රූපවාහිනී නාලිකා. මෙතන දී  දෙරණ සහ හිරු හිටියේ තුෂ්නිම්භූතව. සිරස අවස්ථාවාදී වුණා.තුන්වෙනි පාර්ශ්වය වුණේ රාජපක්ෂවරු , මන්ත්‍රීවරු සහ දේශපාලන පක්ෂ. මේ අතරින් රාජපක්ෂවරු මැයි නව වැනිදා  සුප්‍රකට ඔලු පැලීමේ ව්‍යාපාරය මගින් ද සෙසු කොටස් මෙය නොදැක්කා සේ සිටිමින් ද ට ප්‍රතිචාර දැක්වූවා.



"ගෝඨා go ගම” සිරසට හොඳ දේශපාලන න්‍යාය පත්‍ර භාණ්ඩ හා ව්‍යාපාරික භාණ්ඩ ටිකක් නිෂ්පාදනය කර ගන්න කදිම අමුද්‍රව්‍යයක් වුණා. අන්තරේ , පෙරටුගාමීන් සහ ජවිපෙ කළේ ගෝඨා go ගම අරගලයේ තියෙන දුර්වලතා ආමන්ත්‍රණය කරමින් එහි තිබෙන හිඩැස් උපක්‍රමශීලීව පුරවන එක. ගෝඨා go ගම මුල් පදිංචිකරුවන්ට එය දීර්ඝ කාලයක් නඩත්තු කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒව වගේම විධිමත් සංවිධාන ව්‍යුහයක්, දැනුම, අරගල අත්දැකීම්, පරිණතභාවය සහ නායකත්වය පිළිබඳ සීමාකම් ඔවුන් තුළ තිබුණා.ප්‍රතිඵලය වුණේ ගෝඨා go ගම කාටත් නොදැනෙන්න අන්තරේ, ජවිපෙ සහ පෙරටුගාමීන්ගෙ පාලනයට නතුවීම. ඒත් එක්කම එහි තිබූ විසම්මුතික, නිස්කලංක, සාමකාමී, සෞන්දර්යාත්මක මුහුණුවර සටන්කාමී, අරගලකාරී, පෙරළිකාරී, ආවේගශීලී, ආක්‍රමණික, සංවිධානාත්මක ආකෘතියකට මාරු උනා.ඇතැම් විපක්ෂයේ දේශපාලන පක්ෂ ද, විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය, නීතිඥ සංගම්, වෘත්තීය සමිති  ක්‍රියාකාරීන් මෙන්ම ශිෂ්‍ය සංගම් ද වරින්වර පා ගමනින් අගනුවරට සහ ගෝඨා go ගමට පැමිණ අරගලයට ජීවයක් ලබා දෙනු ලැබුවා. දේශපාලන පක්ෂ බලයට  ගෙන්ඒම සඳහා නලාකරු සහ බෙරකරු භූමිකාව  ඉටුකරමින් ඊට පසු වරප්‍රසාද සහ තාන්න මාන්න ලබාගන්නා කලාකරුවෝ ද අතරමැදදී  අරගල භූමියට පැමිණ එය වර්ණවත් කළේ අනාගත අපේක්ෂාවන් ඇතිවය. ඒත් එක්කම අගනුවර ආන්තික පීඩිත  කණ්ඩායම් වගේම ප්‍රචණ්ඩ කණ්ඩායම්ද ගෝඨා go ගම රැල්ලට ගහගෙන ආවා.අනිත් පැත්තෙන්  නීතිඥ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වැනි වෘත්තිය සංගම් වගේම මහජන සභාව වටා එකතු වූ සර්වාගමික නායකයින්ද අරගලයට ආවරණයක් ලබා දෙනු ලැබුවා.

 

අවසාන ‍ප්‍රතිපලය වුනේ  හැට නව ලක්ෂයක ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ ලංකාවේ සිටිය බලවත්ම විධායක ජනාධිපතිවරයාට ගෙදර යන්නට සිදු වීමයි.


අරගලය  ක්‍රමයේ  වෙනසකට



රටේ ඇති වුණ ආර්ථික අර්බුදය සහ ජන පීඩනය පවතින දේශපාලන පරිපාලන ක්‍රමයෙ නිර්මාණයක්  බව අරගලකරුවන් ගේ කියවීම  වුණා. ඒ  අනුව  ක්‍රමයේ වෙනසක් සඳහා අරගල කිරීම ඔවුන්ගේ  මුඛ්‍ය පරමාර්ථය වුණා. ක්‍රමයෙ වෙනස කුමක්ද යන්න පිළිබඳව අරගල  භූමියේ ගැඹුරු සවිස්තරාත්මක කතිකාවක් හෝ  ප්‍රකාශනයක් දකින්න ලැබුණේ නැහැ. එහෙත් පොදුවේ මෙන්න මේ සටන් පාඨ ක්‍රමයෙ වෙනස සඳහා මග පෙන්වනු ලැබූ බව පේනවා;



“ආධිපත්‍ය, සහ ධූරාවලිය වෙනුවට සහභාගිත්වය, සමානාත්මතාව සහ සාධාරණත්වය”;

“විධායක බලය පාර්ලිමේන්තුවට පැවරෙන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන මහජනතාවට ආණ්ඩුකරණ ක්‍රියාවලියට සෘජුව සහභාගි විය හැකි යාන්ත්‍රණයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්;

“පාර්ලිමේන්තුවෙන් පිටත පිහිටවන සෘජු මහජන සහභාගිත්ව කවුන්සිලයක්”;

“මන්ත්‍රීවරුන්ට තිබෙන වරප්‍රසාද  ඉවත් කර එය  ස්වෙච්ඡා සේවයක් බවට පත් කිරීම”;

“රාජ්‍ය සේවය සහ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය උඩු යටි යටිකුරු කරන ‍ ප්‍රතිසංස්කරණ”;

“දූෂණ, වංචා, සහ අක්‍රමිකතා පිටුදැකීම;  

“විනිවිදභාවය සහ වගවීම”

“මැතිවරණ ප්‍රතිඵල විකෘති වන ආකාරයට මහජන මතය හැඩගැස්වීමට රූපවාහිනී, ගුවන් විදුලි නාළිකාවලට තිබෙන අවස්ථාව අහිමි කිරීම”;

“මැතිවරණ ප්‍රතිඵල විකෘති වන ආකාරයට ව්‍යාපාරිකයින්ට සහ ධනවතුන්ට මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් වියදම් කිරීම්ට තිබෙන අවස්ථාව අහිමි කිරීම”;

“ආණ්ඩුවෙන් ආගම වෙන් කිරීම”;

“විසම්මුතිය, විවිධත්වය, බහුවිධ බව, සහ සහභාගිත්වය ශක්තිමත් කරමින් සංවිචාර (deliberative) ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සදහා වන ආයතන ගොඩනැගීම”.



ඒත් ක්‍රමයේ වෙනස දැන් ජනපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීම, පැසිස්ට් වාදය වැනි ලේබල් වලින් සහ පරිභෝජනවාදී, ආත්මාර්ථකාමි මධ්‍යම පාන්තික උවමනාවන් විසින් යටපත් කරමින් තියෙන බව පේනවා. ඒ අනුව මේ අසාමාන්‍ය මොහොත අහිමි අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක් වීමේ අවදානමක් තිබෙනවා.




හඩනගන සුළුතරය සහ නිශ්ශබ්ද බහුතරය -ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්