ජූලි 22 දෙවෙනිදා උදෑසන සන්නද්ධ හමුදා ගාලු මුවදොර අරගල භූමිය වට කොට මඩු කූඩාරම් කඩා පිරිස් පළවා හරිමින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම

කිසිසේත් සිදු නොවිය යුත්තකි.  

හේතුව රටක් සාධු හඬින් ආශීර්වාද කළ එකී ජවසම්පන්න ප්‍රාතිහාර්ය හැට නව ලක්ෂයක් තෝරා ගත් ගොබ්බයා පළවා හැරීමට සමත්වූ නිසාය.

2015දීත් රාජපක්ෂලා ඉවත් කිරීමේ ගාමක ජව බලය සපයන ලද්දේ  2022දී මෙන්ම, නිර්පාක්ෂික ව්‍යාපාරයක් මිස ආත්මාර්ථයෙන් අංගවිකලවූ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නොවේ. අර ප්‍රහාරය ඇසූ කවුරුත් තැති ගත්තේ මෙකී අත්දැකීමෙන් පරිනතව සිටි නිසාය.

ප්‍රහාරයට පසුව, ගෝඨාගමට ගොස් එහි නේවාසිකව සිටි අය හමුව කළ කතාබහ අතර, අසන්නට  ලැබුණේ අපට ගැහුවේ නැත හෝ ගැහුවේ අපට නොවේ ආදි ලෙස ගෝඨාගෝගමට අනර්ථයක් සිදුව නැති බවය.  

image 84740210d5

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ සිද්ධිය අළලා නිවේදනයක් නිකුත් කරමින්, ආරක්ෂක අංශ විසින් ගෝඨාගෝගම පරිශ්‍රය ඉවත් කිරීමට අනවශ්‍ය බලය යොදා ගැනීමෙන් මේ රටටත් රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානිකර බවට කළ ප්‍රකාශය, අමෙරිකානු තානාපතිවරිය ආපසු ලංකාවට දමා ගැසීමට හානිකර බර අවියක් යොදා ගත්තාය.  

ශ්‍රී ලංකාවේ නීතිඥයන් වෘත්තීය සංගමය පොදුවේත් එහි සාමාජිකත්වය තනි තනිවත් මහත් කැපවීමෙන් මේ අපරාජිත අරගලය වෙනුවෙන් එක දිගට කැපවූ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය බරපතල ලෙස රට තුළ ක්‍රියාත්මක වෙන බව මේ ප්‍රහාරයෙන් තහවුරු වන බවකි.

ආරක්ෂක අංශ තහවුරු කළේ, ඔවුන් ගෝඨාගෝගමට කිසිදු හානියක් පහරදීමක් සිදු කර නැති බවය.

එහෙත් පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත රටේ පාලනය කේන්ද්‍රගතව පවත්නා රාජ්‍ය දේපලක් වන ජනාධිපති ලේකම් කාර්යාලය එහි රැඳී සිටි පුද්ගලයෙන්ගෙන් මුදා ගැනීමට පියවර ගත් බව පිළි ගත්හ. පාලකයන් පැත්තෙන් එය මුදා ගැනීමකි. අනිද්දා පත්‍රයේ මුල් පුවත අනුව ම්ලේච්ඡ නින්දිත ප්‍රහාරයකි.

ගෝඨාභය රටින් පලා ගියා ලෙස සැලකෙන ජූලි 13 වෙනිදා සිට 15 දින තෙක් මාධ්‍ය වාර්තා විමසා බලන්නෙකුට පහරදීම සිදුවන රාත්‍රියේ  කිසිදු අරගල කරුවෙකු ජනාධිපති ලේකම් කාර්යාල භූමියෙහි සිටිය නො හැකිය.

අරගල කරුවන් 2022 ජූලි 9 වෙනිදා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලයද, ජූලි 13 වෙනිදා අගමැති කාර්යාලයද අත්පත් කරගත් අතර, ගෝඨාගෝගමදී ජවිපෙ සාමාජික වසන්ත සමරසිංහ 13 වෙනිදා ප්‍රහාරයකට ලක් විය.  

ජූලි 14 වෙනිදා අගමැති කාර්යාලයත් අල්ලති. ආණ්ඩුවේ අයිටිඑන් නාලිකාව තාවකාලිකව නවතී. යනුවෙන් ලංකාදීප පත්‍රය සිය  ප්‍රමුඛ පුවත වාර්තා කළාය.

 

ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳි දෙදෙනාගේ අත්සනින් එකී රාජ්‍ය දේපල වහා භාර දෙන ලෙසද එවන් තත්වයක් තුළ කිසි විටෙක තම සාමාජිකත්වය එවැනි සිද්ධින් වෙනුවෙන් පෙනී නොසිටින බවද අවධාරණය කර ජූලි 13 දිනැති  නිවේදනය නිකුත් කළේය.

 

නීතිඥ සංගමයේ එකී නිවේදනය පදනම් කොට අරගකරුවන්ට නීතිඥ සංගමයෙන් රතු එළියක් යනුවෙන් සිය ප්‍රමුඛ පුවත පෙළ ගස්වන ජූලි 14වෙනි දින මව්බිම පුවත්පත, රජයේ කාර්යාල අල්ලාගන සිටීම සාමකාමි විරෝධයක් නොවේ, අගමැති කාර්යාලයට කඩා වැදීම ගැන දැඩි කනස්සල්ලට පත් වෙනවා, සියලු දේපල වහා බලධාරින්ට භාර දෙන්න සහ අවනීතිය අරාජික තත්වයකට පත්වන ව්‍යවස්ථා විරෝධී කටයුතුවලට අපි සහාය දෙන්නේ නෑ යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගම් ප්‍රකාශයේ බරපතලකම  විශාල අකුරෙන් අවධාරණය කර තිබිණ.  

මව්බිම එකී වාර්තාව පළ කළ දවසේම, එනම් ජූලි 14 වෙනි දින අරගලයට මූලිකත්වය දුන් පිරිසක් ගෝඨාගෝගම පැවති මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය.



එකී මාධ්‍ය සාකච්ඡාව ජූලි 15 දින ලංකාදිප පුවත්පත මුල් පිටුවේ කෙටියෙන් සහ ඇතුල් පිටුවක මෙසේ සඳහන් විය.

“ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කර ගැනීමට තමන්ට සිදුවුණේ ජනාධිපති වරයා ඉවත්විය යුතු බවට සංඛේතාත්මක පණිවිඩයක් ලබාදීම සඳහා වන අතර, ජනාධිපති වරයා රටින් පලා ගොස් ඇති ඇති බැවින් එකී ගොඩනැගිලි අල්ලා ගෙන සිටීමට අවශ්‍යතාවක් නැති බවත් අරගලකරුවන් නියෝජනය කරන ළහිරු වීරසේකර මහතා ඊයේ (14) පැවසීය. අරගලය ආපස්සට නොගෙන ගාලු මුවදොර පිටියේදී අඛණ්ඩව පවත්වා ගෙන යන කී වීරසේකර මහතා ගොඩනැගිලි වලින් ඉවත් වන්නේ ඒවා මහජන දේපල බවට පත් කරමින් බව සඳහන් කළේය. එකී ලංකාදීප වාර්තාව අනුව,  සමාජ මාධ්‍ය ක්‍රියාකාරි රනිඳු සේනාරත්න මහතා (රැට්ටා) මෙම ගොඩනැගිලිවල පදිංචිව සිටිමේ අවශ්‍යතාවක් තමන්ට නැති නිසා ඒවා බාරදෙන බවට කළ ප්‍රකාශයට අමතරව, රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතුය යන ඉල්ලීමද කර තිබිණ. ගෝඨාගෝගම පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට කොස්වත්තේ මහානාම හිමි. ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජිවත්න පීරිස් පියතුමා, අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, සේනාධි ගුරුගේ, විදර්ශන කන්නන්ගර දමිතා අබේරත්න ආදිහූ සහභාගිවූ බව ලංකාදිප වාර්තාවේ දැක්වේ.

මේ වාර්තාව පළ වූ දිනයේ ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ මහජන දේපලට අත නොතබනු යනුවෙන් යුද හමුදාව කළ අනතුරු ඇඟවීමක් සමග, අරගලකරුවෝ ඇල්ලූ මන්දිර බාරදෙති යනුවෙන් තත්වය සමබර කර තිබීමෙන් අදහස් වන්නේ ගැටලුව අවසන් බවකි.  


මේ මුද්‍රිත මාධ්‍ය වාර්තා අනුව, 22 දිනට එළිවන රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිවෙකු සිටියා නම් එය අනවසර සහ නීති විරෝධී තත්වයක් බව නීතිඥ සංගමය පිළි නොගැනීම අවාසනාවකි.

ඉවත්ව යාමට කල් ඉල්ලා සිටියදී පහර දුන් බවටද චෝදනා කෙරෙන චෝදනාව සමග ජූලි 14 වෙනිදා තමන් ඉවත් වන බවට අරගල භූමියේදී ළහිරු වීරසේකර ඇතුළු පිරිස කළ ප්‍රකාශය එකිනෙකට ගැලපෙන්නේ නැත.

 

මෙයින් පෙනී යන්නේ අරගලයේ සැබෑ අරමුණු නියෝජනය කරන්නන් මෙන්ම, දේශපාලන ගේම් කාරයන් ද්වන්ධ සටනක් පවත්නා බවය. එකී පහර දීමේ අරමුණ  ජනාධිපති ලේකම් කාර්යාලය මුදා ගැනීම මිස ගෝඨාගෝගමට හෝ අරගල කරුවන්ට අනර්ථයක් කිරීම නොවේ. මෙහිදි ජාත්‍යන්තරය පවා රජයට එරෙහිව යොදා ගත්  එකී පහරදීමට එරෙහිව ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිකුත් කළ ප්‍රකාශය පසුගිය 13 වෙනි දින නිකුත් කළ නිවේදනය අතර ඇත්තේ යම් පරස්පරයකි.

 

ශ්‍රී ලංකා නිතිඥ සංගමය 13 වෙනිදා නිවේදනයෙන් අවධාරණය කළ නෛතික තත්වය දෙවන ප්‍රකාශයේදී අත් හළ බවක් හැඟීයයි. ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ප්‍රමුඛ නීතිඥවරුන් 350කට අධික පිරිසක් එකී පහර දීමෙන් පසුව අත් අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් පෙනී සිටි බව මාධ්‍ය වාර්තා විය.  


මෙකී නිරීක්ෂණ උක්ත ප්‍රහාරය සාධාරණය කිරීමක් නොව සාමාකාමි සහ නීත්‍යානුකූලව සිදු කළ අරගලය තවදුරටත් ඒකාත්මිකව පවතීද යන්න විමසා බැලීමකි.


රජය සතු රූපවාහිනී ආයතනයට පැන බලෙන් ප්‍රකාශයක් කිරීම සහ අයිටිඑන් විකාශනයට බාධා කිරීම සුළු කොට තැකිය නොහැකිය.

රාජපක්ෂ පාලනය යටතේ පොහොර තෙල් ගෑස් වැනි අවශ්‍යතා සපුරාලීමට පාලකයන් අසමත්වීම නිසා ඇතිවූ ජන ආලෝලනය ආරම්භ වුණේ ගිරුවා පත්තුව නුවර කලාවිය තමන්කඩුව වැනි ඈත ප්‍රදේශ වලින් මිස අග නුවරින් නොවේ. ඉන්ධන ගෑස් හිඟය ආසන්න තත්වය වේ.

 

ssasww

මෙම අරගලය මුල් කාලයේ වචනාර්ථයෙන්ම නිර්දේශපාලනික විය.

 

මෙම අරගලය මුල් කාලයේ වචනාර්ථයෙන්ම නිර්දේශපාලනික විය. ගෝල්පේස් අරගලය මධ්‍යම පන්තික පෙනී සිටීමක් බවට ලාල් කාන්ත කළ අවතක්සේරු කිරීමෙන් මෙම අරගලය සහ දේශපාලන පක්ෂ අතර පැවති නො පෑහීම නෝක්කාඩුව තේරුම් ගත හැකිය.

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මැයි 9 වෙනිදාද, ජවිපෙ ප්‍රකට ක්‍රියාධරයෙකු වන වසන්ත සමරසිංහට ජූලි 13 වෙනිදා පහර දීම් අරගල භූමියේදී අපේක්ෂා නොකළ යුතු දේය.

 

මේ සංසිද්ධින් හරහා අරගලයේ හෙට දවස හා එහි සද්භාවය ගැන දිය හැකි සහතිකය කුමක්ද? ජනාධිපති ගෝඨාභය නීතිය මම යයි හල්දුම්මුල්ලේදී කළ ප්‍රකාශයත්, කුමාර් ගුණරත්නම් රටේ නීතිය යනු අරගලය බවට කළ ප්‍රකාශයත් ජූලි 21 දින තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලා ගෙන සිටි අයගේ තේමාව නොවීද?

 

ආරම්භයේ පැවති ශුද්ධවූ මහජන උවමනාවන් ඉක්මවා ගිය පරස්පර අරමුණු අතර ගැටීමක් අරගලයේ රූපකාය විකෘති කර ඇති බව පෙනේ.  

ජූලි 14 වෙනිදා අරගල භූමියේ පැවති මාධ්‍ය සාකච්ඡාවට ජවිපෙ නියෝජනයක් තිබුණාද නැද්ද යන්න ප්‍රශ්නාර්ථයකි. එකී මාධ්‍ය සාකච්ඡාවට ජවිපෙය සහභාගි නොවී නම් එයින් අදහස් වන්නේ අල්ලා ගත් දේපල මහජන දේපල බවට ළහිරු වීරසේකරලා දැරූ ස්ථාවරය අභියෝගයට ලක්වූ  බවය.

හෝ එසේ රැඳී සිටීමෙන් ආරක්ෂක අංශ සමග ගැටුමකට ගොස් පාලකයන් ජාත්‍යන්තරය තුළ අපහසුවට පත් කිරීමේ අරමුණක් තිබුණා විය හැකිය.  

ජනාධිපති වික්‍රමසිංහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කෙසේ මුහුණ දුන්නද, නීතිඥ සංගමයේ ප්‍රකාශය රටට එරෙහිව ජාත්‍යන්තරය ප්‍රයෝජනය ගත් බව පැහැදිලිය. මේ ආරවුල පවත්නා තාක් අපට ජාත්‍යන්තර උදව් ලැබීම පමා විය හැකිය. සමහරු ඉල්ලා සිටින මහ මැතිවරණයකට රට යොමු වුණොත් නම් ආණ්ඩුවක් පත්වන තෙක් ජාත්‍යන්තර බලා සිටිනු ඇත.



අපකිර්තිමත් ප්‍රහාරයට පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ භික්ෂුන් වස් සමදන්ව සිටි බව කියැවිණ. ජූලි 13 වෙනිදාට යෙදී තිබුණ වස් සමාදන් වීමේ විනය කර්මය අවසන් වීමට තුන් මසක් ගතවේ. එසේ නම් ජූලි 14  වෙනි දින මාධ්‍ය සාකච්ඡාවට පැමිණි කොස්වත්තේ මහානාම හිමි සහ ටැම්පිටියේ සුගතානන්ද හිමිවරුන් වස් තුන් මාසය අවසන් වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය භාර දිය නොහැකි බව ප්‍රකාශ කළ යුතුව තිබිණ.

එහෙත් ජූලි 27 වෙනි දින එකී භික්ෂූන් පොලිසිය ඉදිරියේ ඔවුන් වස් සමාදන්ව සිටි බවට ප්‍රකාශ කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිමා භූමියෙහිය. බෞද්ධ භික්ෂුන්ට අනවසර ස්ථානයක වස් සමාදන් විය හැකිද යන්න මහ නා හිමිවරුන් තහවුරු කළ යුතුවේ.

 

සමහරුන්ගේ අනුමාන අනුව, ප්‍රහාරය එල්ල කළේ කුලී හමුදාවක් මිස පොලිසිය හෝ ආරක්ෂක හමුදා නොවේ. සජිත්, වසන්ත සමරසිංහට පහර දීම හා මේ කතාව ගමන් කරන්නේ සමාන්තර රේඛාවක වුවද 21 වෙනිදා පහරදීමේ වගකීම පොලිසිය භාර ගැනීමෙන් කුලි හමුදා කතාව නිශේධ වේ.

 

සිදුවෙමින් පවත්නේ අරගලය දේශපාලනිකව බෙදී ගොස් කිසිවෙකුට වගකිව නොහැකි සිදුවීම් වැලකින් මහා විනාශයක් නිර්මානය වී රටේ සාමාන්‍ය ජනතාවගෙන් අරගලය දුරස්වීම ය.

22 වෙනිදා පහර දීම පිළිබඳ මේ සාකච්ඡාවේ අරමුණ, ජනතාවාදි අරගලය තුළ සිදුවන පරස්පරතා නිසා සිදුවිය හැකි විනාසය හඳුනා ගැනීම මිස, ප්‍රහාරය සාධාරණිකරණය කිරීම නොවේ.

ජූනි 26 වෙනිදා අනිද්දා පත්‍රයේ මා නමින් පළවූ ''අක්කේ පොඩි මල්ලි හුස්ම ගන්නෑ කියන හෙටක්'' නම් ලිපියේ 2022 ජූනි 21 වෙනි අගහරුවාදා ලංකාදීප මුල් පුවතට පාදක සිද්ධිය ඉතා තියුණු ලෙස මේ ආකාරයෙන්ම විග්‍රහ කර ඇත.

එකී වාර්තාවේ දැක්වෙන “අරගලකරුවෝ ජනපති කාර්යාලය හතර වටෙන්ම වට කරති. මුදල් ලේකම්ට සාකච්ඡාව පමා වෙයි” යන්න සාවද්‍ය බව පැහැදිලි කොට මුදල් ලේකම් මහින්ද සිරිවර්දන ඒ කියන දවසේ උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගියාද යන්න පැහැදිලි කළ යුතු යයි අප කළ අභියෝගයට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

 

පවත්නා තත්වය වඩාත් ගැඹුරෙන් වටහා ගැනීම ජනතාවගේ පැත්තෙන් වාසිදායකය. ව්‍යවස්ථානුකූලව පත් කළ ජනාධිපතිට ඒකරාශීව බලකළ යුත්තේ රටේ ප්‍රශ්න විසඳන ලෙස මිස, ගෙදර යාම නොවේ. වර්තමාන ජනාධිපතිගේ පැවැත්ම තීන්දු වන්නේ ව්‍යවස්ථානුකූල  ප්‍රතිපාදන අනුව බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැනවින් දනී. 

 

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජූලි 14 වෙනි දින දිනමිණ පත්‍රය සමග කළ සාකච්ඡාව අවසන් කරන්නේ “ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයකට රට මුහුණ පා තිබෙනවා. පත්වන ආණ්ඩුවට ඒ තත්වයට මුහුණ දීමට සිදු වෙනවා. ජනතාව අතර විවිධ දේශපාලන අදහස් තිබෙනවා. එහෙත් මේ විවිධත්වය  එක්සත්ව කටයුතු කිරීමට බාධාවක් කර නොගත යුතුයි.” යනුවෙනි.

එක්සත්ව කටයුතු කිරිම යනුවෙන් මා අදහස් කරන්නේ ලැබෙන ඛනිජ තෙල් ගෑස් ආදි අත්‍යාවශ්‍ය භාණ්ඩ සාධාරණවලබා ගැනිමේ ක්‍රමවේද මෙන්ම එකී දූව්‍ය කඩිනමින් සපයන ක්‍රම වේද හඳුන්වා දෙන ලෙස පාලකයන්ට බල කිරිමය.

 ජවිපෙය ඉල්ලන මැතිවරණය යනු කඩිනමින් සැපයිය යුතු දෛනික අවශ්‍යතා ජනතාවට ලබා ගැනීමට තවත් කල්ගතවීම පමණකි. අපට ඇසිය යුත්තේ ඔබ ඊට කැමතිද යන්නය.

 

කොන්දේසි රහිතව රාජ්‍ය මර්ධනයට එරෙහි විය යුතුවේ.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැපිටල් ගොඩනැගිල්ල වටකළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාර කරුවන්ට එරෙහිව අමෙරිකා ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රිය වූ හැටි සිහිපත් කොට අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග්ට නිහඬ කළද, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මර්ධනය සාධාරණීකරණය නො කළ යුතු වේ. 

 

ලංකාවේ පවත්නා පීඩනය නිර්මානය කළ  පාලකයා පළා ගොස් අවසන්ය. දැන් උදාවී ඇත්තේ අනුප්‍රාප්තිකයා ලවා රට ශක්තිමත් කිරීම මිස, ව්‍යනස්ථානුකූල පැවැත්මට අභියෝග කිරිම නොවේ.

සන්නද්ධ අරගල දෙකක් හරහා වූ ඇල්පෙනිත්තක යමක් දිනාගත නොහැකි වූ අප අප ජනාධිපතිවරයෙකු පලවා හැරියේ අවිහිංසාවෙනි. අනිද්දා පත්‍ර පිටපත් පහක් මිලට ගෙන පස් දෙනෙකුට තැපෑලෙන් යවන පාඨකයෙකු මා සමග කීවේ 24 වෙනි ඉරිදා අනිද්දා පුවත් පතේ මුල් පුවත නිසා පත්‍රය කියවීමත් එපාවූ බවය.  


ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්