වියත්මග යනු මෑත ලංකා දේශපාලනයේ විශේෂ ස්ථානයක් දිනාගත් සංවිධානයකි. ගෝඨාභයගේ දේශපාලන සම්ප්‍රාප්තියත් සමග බොහෝ ප්‍රසාදයට පත් වූ මේ සංවිධනය පසු කලක ජනතාව අතර අප්‍රසාදයට ලක් විය.

 

මේ සටහන වියත්මගේ ඇතුලාන්තය ගැනයි. මේ තොරතුරු රැස්කොට තිබෙන්නේ වියත්මගට විවිධ කාලපරිච්චේද වල සම්බන්ධ වු ක්‍රියාකාරිකයන් රැසක් සමග කල සාකච්ජා පදනම් කර ගනිමිනි.

2019 ජනාධිපතිවරණය ඉලක්ක කොට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙන ආ යුතු බව බොහෝ දෙනෙකු අතර සාකච්චා වෙමින් පැවතියද ඒ සඳහා සුදුසුකම වෘත්තිකයන්ගේ සංවිධානයක් හරහා ඔහුව සම්බන්ධකර ගැනීමේ අදහස 2016 ජනවාරියෙදී පමණ මුලින්ම යෝජනා කොට ඇත්තේ එවකට දේශපාලනයේ ප්‍රකට භූමිකාවක් නොකල ආචාර්ය නාලක ගොඩහේවා විසිනි.

ගෝඨාභය රාජපක්ෂට ඉතා සමීපව සිටි තවත් කිහිපදෙනෙකු එම අදහසට එකපයින් කැමතිවී ඇති අතර නව සංවිධානයක් සාදා එහි උපදේශකත්වයට ගෝඨාභය රාජපක්ෂට ආරාධනය කල යුතු බව එම කණ්ඩායමේ අදහස වී ඇත.

මේ අදහස ඉදිරියට ගෙනයන්නට එකඟවූ පිරිස අනතුරුව ගෝඨාභය රාජපක්ෂට එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.  ඔවුන් ඔහුට යෝජනා කර ඇත්තේ, දේශප්‍රේමී වෘත්තිකයන් එක්වී පිහිටුවන නව ජාතික සංවිධානයට සහාය දෙන ලෙසයි.

මුලදී ඊට කිසිඳු අනුකුලත්වයක් දක්වා නොමැති ගෝඨාභය රාජපක්ෂ සාකච්ජා වට කිහිපයකින් පසුව එම යෝජනාවට එකඟ වී ඇත.  

ඒ අනුව 'වියත්මග' යන නමින් නව සංවිධානයක් පිහිටුවන ලද අතර, නායකත්වය ගන්නට අදි මදි කල ගෝඨාභය රාජපක්ෂ මුලදී එකඟවී ඇත්තේ, එහි උපදේශක ලෙස කටයුතු කිරීමට පමණි.

වාර්තාවන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සමග  'වියත්මග' සංවිධානයේ පලමු රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී ඇත්තේ මහාචාර්ය ජනිතා ලියනගේ, ආචාර්ය නාලක ගොඩහේවා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මනෝරී උනම්ඹුව, ඉන්දික ලියනහේවගේ, දිනේෂ් දොඩම්ගොඩ, සඳමාලී ඒකනායක, නිවන්ත ප්‍රනාන්දු, දමිත වික්‍රමසිංහ, තෙෂාර ජයසිංහ හා දේවලෝචන රණසිංහයි. එදා සාකච්චාවේ මුලසුන දරා ඇත්තේ ඔවුන්ගේ ආරාධනයෙන් පැමිණි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයායි.

VIyathmaga

මේ අතරින් සරත් වීරසේකර 'වියත්මග' ඉදිරි ක්‍රියාකාරකම් වලට වැඩි උනන්දුවක් නොදක්වා කෙටිකලකින්ම සංවිධානයෙන් ඉවත්ව ඇත. ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් යම් ජාතිකවාදීන් අතර ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටි සරත් වීරසේකර ද ඒ වන විට ජනාධිපති තරඟයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පසුවීම ඊට හේතුව බව පසුව අනාවරණය වී ඇත.

කෙසේවුවද මධ්‍යම පාන්තික උගත් ජනතාව තුල ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි වූ ප්‍රසාදය වියත්මග සංවිධානයේ සීඝ්‍ර වර්ධනයට හේතු විය.

ආරම්භක සාමාජිකයන් විසින් රටපුරා කුඩා ප්‍රමාණයේ 'වියත්මග' රැස්වීම් සංවිධානය කරනා ලද අතර ඒ සෑම රැස්වීමකදීම සාමාජිකයෝ විශාල වශයෙන් කන්ඩායමට එකතු විය.

එසේම,  සමාජ ජාලා ඔස්සේ වියත්මග වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනගත් බොහෝ දෙනෙකු සිය දහස් ගණනින් 'වියත්මග' වෙත ඒකරාශිවිය.

ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මග' උපදේශක වෙනුවට, සභාපති ලෙස මුලින්ම පෙනී සිටින්නේ මුල්ම 'වියත්මග' වාර්ෂික සමුළුව 2017 මාර්තු මස 4 වෙනිදා බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් ශාලාවේ පැවත්වුවාටත් පසුවය.

viya

ඒ වන විට සංවිධානය ආරම්භ වී ගතවී තිබුනේ අවුරුද්දකුත් මාසයක් පමනක් වූ අතර සමුළුවේ සාර්ථකත්වය ගෝඨාභය රාජපක්ෂගේ විමතියට හේතුවී  තිබිණ.

එතෙක් ජනිතා ලියනගේ, නාලක ගොඩහේවා, මනෝරි උනම්බුව, ඉන්දික ලියනහේවගේ, සඳමාලි ඒකනායක, පුන්සිරි උත්පල, ජයම්පති මොල්ලිගොඩ වැනි ක්‍රියාකාරිකයන් විසින් ඇදගෙන ආ සංවිධනයේ සභාපති ලෙස ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉන් පසුවය.  



පසු කලක 'වියත්මග' වේදිකාවල ජනප්‍රිය චරිතයක් වූ වෛද්‍ය සීතා අරඹෙපොල 'වියත්මග'ට එකතු වී ඇත්තේ මේ සම්මන්ත්‍රණයේ කථිකාවක් ලෙසය. සමුළුව ඇමතීමට වෘත්තියවේදී කාන්තාවක් සොයමින් සිටි අවස්ථාවේදී ඇයව කැඳවාගෙන විත් සංවිධානයට හඳුන්වා දී ඇත්තේ වෛද්‍ය පුන්සිරි උත්පල විසිනි.



මේජර් ජෙනරල් කමල් ගුණරත්න, වියත්මගට එකතු වී ඇත්තේ ආචාර්ය නාලක ගොඩහේවා සමඟ ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනාවක් පිට දේශණයක් පැවැතිවීමට ඩුබායි වලට පැමිණ සිටි අවස්ථාවක එහිදී ඇතිකරගත් හිතවත්කම් මතය.

' වියත්මග'ට එක්වූ මේජර් ජෙනරල් කමල් ගුණරත්න පසුකලක 'වියත්මගේ' ජනප්‍රියම දේශකයෙකු බවට පත්විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු මේජර් ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පත් කරනු ලැබිය.

kamalමේජර් ජෙනරාල් කමල් ගුණරත්න වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින්

මුල් කාලයේ වියත්මග සංවිධානයේ සභාපති හැර වෙනත් තනතුරු තිබී නැත. එය මුල් සාමාජිකයන්ගේ සංකල්පය විය. තමන් සියලුදෙනා සංවිධානය තුල ස්වෙච්ජාවෙන් කටයුතු කරන්නේ තනතුරු බලාගෙන නොවනබව සංවිධානයේ ක්‍රියාකාරීන් ප්‍රසිද්ධියේම සඳහන් කර තිබිණ. වියත්මග ඉතා කෙටි කලකින් ජනප්‍රිය විමට එය ද හේතුවක් විය.

එහෙත් වියත්මග දිනෙන් දින ජනප්‍රිය වෙද්දී පසුව ආ පුද්ගලයින් තනතුරු ඉල්ලා ගෝඨාභය රාජපක්ෂට ඇවිටිලි කිරීම තුළ ගෝඨාභය රාජපක්ෂ විසින් මුල් සාමාජිකයන්ගේ විරෝධය ද නොතකා වියත්මගට අධ්‍යක්ෂක මන්ඩලයක් පත් කරනා ලදී. එය ගෝඨාභය විසින් වියත්මග සම්බන්ධයෙන් ගන්නා ලද පළමු   අමනෝඥ තීරණය ලෙස සැලකේ.

එසේම, අධ්‍යක්ෂක මන්ඩලයට පත් කලේද ඔහුට හිතෙන හිතෙන අය මිස ක්‍රියාකාරීත්වය හා කැපවීම සොයාබලා නොවේ. මෙලෙස අධ්‍යක්ෂක මන්ඩලයක් පත්කලාට පසු රටේ පිලිගැනීමක් ඇති කිසිදු වෘත්තිකයෙක් ඉන්පසු අලුතින් වියත්මගට එකතුවී නොමැත.

වියත්මග ලංකාවේ ප්‍රබලතම දේශපාලන සංවිධානයක් බවට වර්ධනය වීමට තිබුන අවස්ථාව අහිමිවුයේ එම අමනෝඥ තීරණය නිසා බව ආරම්භක සාමාජිකයින්ගේ අදහස වී ඇත. ඔහු එසේ නොකලා නම් පසුකලක නාමයෝජනා ලබා ගැනීම සඳහා වෙනත් දේශපාලන පක්ෂයක් අවශ්‍ය නොවන්නට තිබුනි. පසුකලක ගෝඨාභයට නාම යෝජනා ගන්නට පොහොට්ටුවට හිස නමන්නට සිදු වූයේ මේ නිසාය.



ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ නිසැකවම පත්වන බව තහවුරු වූ පසු 'වියත්මග'ට නෑ කම් කියනා විශාල පිරිසක් බිහිවිය. ඒ අය අතර සැබැවින්ම වියත්මග ගොඩනගන්නට ක්‍රියාකාරීව කැපවී වෙහෙස මහන්සි වූ පිරිසට අමතරව වියත්මග සංවිධානයට ක්‍රියාකාරීව සහාය නොදුන් එහෙත් ගෝඨාභය රාජපක්ෂ විපක්ෂයේ සිටි කාලයේ ඔහු සමග පුද්ගලික සම්බන්ධතා පවත්වාගෙන ගිය පිරිසක්ද සිටියහ.

 

ඊට අමතරව මුල් කාලයේ වියත්මගට හෝ ගෝඨාභය රාජපක්ෂට කිසිදු උපකාරයක් නොකොට පසුව රැල්ල හමන අත තේරුම් ගෙන 'වියත්මග'ට කිට්ටු වූ පිරිසක්ද සිටියහ. සාධාරණීකරනය කරන්නට අපහසුම කන්ඩායම වූයේ ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවන තෙක් වියත්මග හා කිසිදු සම්බන්ධයක් නොතිබූ, එහෙත්  ජනාධිපතිවරණයෙන් පසුව තමන්ව වියත්මග ප්‍රබල ක්‍රියාකාරීන් ලෙස හඳුන්වාගන්නට පටන් ගත් පිරිසය.

මුල වසර දෙකේ වියත්මගෙහි සාර්ථකත්වයත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ගැන බලාපොරොත්තුවක් දේශපාලනඥයින් තුලද ඇතිවෙමින් තිබුනි. ඒ අනුව ඔහුගේ නිවසට නිතර යන එන දේශපාලනඥයින් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් තිබුනි.

මේ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අළුත්ගම වැනි අය ඉදිරියෙන්ම සිටියහ. වියත්මග සංවිධානය දේශපාලනඥයන්ගෙන් තොරව ගොඩනැගෙමින් තිබීම ඔවුන්ට ගැටලුවක් විය. ඔවුන්ගේ තර්කය වූයේ වෘත්තිකයන්ට අමතරව සාමාන්‍ය ජනතාව අතරටද ගෝඨාභය රාජපක්ෂ යා යුතු බවත්, ඒ කටයුත්ත සංවිධානය කල හැක්කේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට බවත්ය.

 

කෙසේ වෙතත් වියත්මග සංකල්පය වෙනස් කරන්නට ගෝඨාභය රාජපක්ෂ එකඟ නොවූ නිසා ඔවුන් යෝජනා කලේ වියත්මගට සමාන්තරව රට පුරා දේශපාලනඥයින්ටද සහභාගී විය හැකි සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමට වෙනම සංවිධානයක් පිහිටවිය යුතු බවය.

 
 
2018 වසරේ 'එලිය' නමින් නව සංවිධානයක් බිහිවූයේ මේ අනුවය. දේශපාලනඥයින්ගේ සහභාගීත්වය නිසා එලිය සංවිධානයට වියත්මගට නොතිබුන මුල්‍ය ශක්තියක් තිබුනි.

eliya
ඒ අනුව 'එලිය ' සංවිධානයද රට පුරා සම්මන්ත්‍රණ තැබීම ආරම්ඹ කල අතර මේ සම්මන්ත්‍රණ සංවිධානය කරනා ලද්දේ ප්‍රාදේශීය දේශපාලනඥ‍යින් විසිනි. සහභාගීවන්නන් තීරණය කලේද දේශපාලනඥයින් විසිනි.

 මේ සම්මන්ත්‍රණ වලට ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යයෙන්ම කථිකයෙකු ලෙස සහභාගී විය. මේ අනුව 'වියත්මග' සම්මන්ත්‍රණ සඳහා කුඩම්මාගේ සැලකිල්ල ලැබෙන්නට පටන් ගෙන තිබුනි.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්නට වියත්මග සංවිධනය කෙතරම් දායකත්වක් දැක්වූව ද ඔහු ජනාධිපති වූ පසු වියත්මගට ඔහුගෙන් කිසිදු අවධානයක් නොලැබිනි. ජනාධිපති වූ පසු පලමු වසර දෙක තුල එකම අවස්ථාවකව දී හෝ වියත්මග සාමාජිකයන් හමුවී ස්තූති කරන්නට ඔහු කටයුතු කොට නොමැත.
 


රජයේ බොහෝ තනතුරුවලට ඔහු විසින් පත්කරනා ලද වෘත්තිකයන් වියත්මග සාමාජිකයන් ලෙස බාහිර ජනතාව විශ්වාස කලද ඒ බොහෝ අය පත්කරනා ලද්දේ ගෝටාභයගේ පෞද්ගලික හිත මිත්‍රකම් මතය.

ඇමෙරිකාවේ ජීවත් වන කාලයේ ඔහුගේ අසල් වැසියන් මිත්‍රයන් වූ බොහෝ පිරිසක් ලංකාවට ගෙන්වා විවිධ සභාපති තනතුරු දෙන ලද අතර සමහරු විදේශ තානාපතිවරුන් ලෙස පත් කරනා ලදී.
 


මේ අනුව මහින්ද රාජපක්ෂ මෙන් ඥාති සංග්‍රහය නොකලද ගෝඨාභය ජනාධිපතිවරයා මිත්‍ර සංග්‍රහය නම් රිසි සේ කොට ඇති බව පෙනේ.  වියත්මග ප්‍රධාන ක්‍රියාකාරීන් 20 -30 කට පමන රජයේ පත් වීම් ලැබුනද ජනාධිපති ගෝඨාභය විසින් ඔහුගේ පාලන කාලය තුල කරනා ලද සියගනනක් පත් විම අතර ඒ ඉතා සුලු ප්‍රතිශතයකි.
 

2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට බොහෝ වියත්මග ක්‍රියාකාරීන් බලාපොරොත්තුව සිටියද ඒ අයට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා දීමට ගෝඨාභය ජනාධිපතිවරයා එතරම් උනන්දුවක් ගෙන නොමැත.

 අවසානයේ පොහොට්ටුවෙන් නාමයෝජනා හිමිවුයේ වියත්මග සාමාජිකයන් 8 දෙනෙකුට පමනක් වූ අතර ඉන් 7 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඒ සියලු දෙනාම තම දිස්ත්‍රික්කවලින් පලමු හෝ දෙවන තැනට චන්ද ලබාගෙන තිබුන නිසා පෙනී යන්නේ නාමයෝජනා දුන්නා නම් මීට වඩා විශාල පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට ඉඩ තිබුනු බවයි.


ඡන්දයෙන් හත් දෙනෙකු (7) හා ජාතික ලැයිතුවෙන් දෙදෙනෙක් (2 ) ලෙස වියත්මග සාමාජිකයන් 9 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්වුවද ගෝඨාභය සිය පලමු කැබිනට් මන්ඩලයට කිසිදු වියත්මග සාමාජිකයෙක් පත් නොකළේය. ඒ කැබිනට් මන්ඩලයට පත් වූ එකම නවක මන්ත්‍රීවරයා වූ අලි සබ්‍රි කිසිවිටෙක වියත්මගට සම්බන්ධ වූවෙක් නොවේ.



ali

ජනාධිපතිවරයා ඔහුව ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නටත් පලමු කැබිනට් මන්ඩලයේම ඇමතිකමක් දෙන්නටත් හේතුව වූයේ යහපාලන රජය විසින් ගෝඨාභයට එරෙහිව දිගින් දිගටම විවිධ නඩු වලට පටලවනා විට ඒ නඩු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කන්ඩායම් සම්බන්ධිකරණය කලේ අලි සබ්‍රී නිසාය.  

ගෝටාභයට අලී සබ්‍රී හඳුන්වාදී තිබුනේ ගෝඨාභයගේ පුද්ගලික මිතුරෙකු වූ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර විසිනි. 
 
 
ගෝටාභයගේ රජයේ ප්‍රධාන තනතුරු කිසිවක් වියත්මගට ලැබී තිබුනේ නැත. ඔහුගේ ජනාධිපති ලේකම්වරයා වූයේ වියත්මග සාමාජිකයන්ට පෙන්නනට බැරුව සිටි ආචාර්ය පී බී ජයසුන්දරයි. මේ පත්වීම කරන්නට මූලික වී තිබුනේ බැසිල් රාජපක්ෂයි. 
 
 
ජනාධිපති ගෝඨාභයගේ මුලම බැංකු අධිපති වූ මහාචාර්ය ඩී ලක්ෂ්මන් මෙන්ම භාන්ඩාගාර ලේකම් වූ එස් ආ‍ර් ආටිගල තෝරාගන්නා  ලද්දේ පී බී ජයසුන්දර විසිනි. ඒ දෙදෙනාත් පී බී ගේ ගෝලයන් මිස වියත්මගට කිසිදු සමබන්ධ‍යක් තිබුන අය නොවේ.

ගෝටාභය රාජපක්ෂ විසින් පත්කරනා ලද අමාත්‍යාංශ ලේකම්වරුන් 70 කට අධික පිරිස අතර අතර වියත්මග සාමාජිකයන්  සිටියේ දෙදෙනෙකු පමනි. ඒ ජෙනරාල් කමල් ගුණරත්න හා ආචාර්ය ප්‍රියත් බන්දු පමනි. මින් ප්‍රියත් බන්දුව ගෝඨාභය විසින්ම පසුව ඉවත් කරනා ලදී.

ගෝටාභය විසින් පත් කරනා ලද විදේශ තානාපති වරු විශාල ප්‍රමාණයක් අතර වියත්මග සාමාජිකයන් සිටියේ දෙදෙනෙකු පමනි. ඒ රුසියානු තානාපතිනිය වූ ජනතා ලියන්ගේ හා ජර්මනියේ තානාපතිනිය වූ මනෝරී උනම්බුව පමනි. මින් මනෝරි උනම්බුව ගෝඨාභය ජනාධිපතිවරයා විසින්ම ආපසු කැඳවන ලදී.

මේ තත්වය යටතේ ගෝටාභය රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය පාලනයට වියත්මගේ බලපෑම සිමා සහිත වුවද ජනාධිපතිවරයාගේ අසාර්ථකත්වය නිසා වියත්මග පමණක් නොව වියතුන් වචනය පවා ජනතාවට වහකදුරු වී ඇත.

(විශේෂ වාර්තාකරුවකු විසිනි )
 
සංවාදයට විවෘතයි

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්