1200 x 80 DMirror

 
 

"මිය ගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත්වන්නවුන්ගේ මොළ මත නපුරු සිහින සේ බලය පතුරුවයි." කාල් මාක්ස් මෙසේ පැවසුවේ නැපෝලියන් බොනපාර්ට්ගේ බෑණනුවන් වූ ලුවී බොනපාර්ට් 1851 දී ප්‍රති-විප්ලවීය කුමන්ත්‍රණයකින් දෙවන ප්‍රංශ ජනරජයේ බලය අත්පත් කරගැනීම පැහැදිලි කිරීමේදීය.



විප්ලවීය දේශපාලන අර්බුද සමයන්හිදී පෙර නොවූ විරූ සංසිද්ධීන් සිදු වුවද, ඒවා බොහෝ විට අතීතයේ පැවති නම්, සටන් පාඨ සහ ඇඳුම් ආයිත්තම් පැළඳ ගනී.

බොහෝ විට එසේ පරිවර්තනීය සමයන්හිදී මළවුන් අවදි කරවනු ලබන්නේ නව දෙය උත්කර්ෂයට නැංවීම පිණිස පමණි.

නව දෙය මහ පොළොව මත ස්ථාපිත වූ පසුව, එය අතීත සංකේතීය ආභරණ පසෙක ලා තමන්ගේම නවීන ඇඳුම් ආයිත්තම් සොයා ගනී.


නමුත්, ලුවී බොනපාර්ට්ගේ ආගමනයත් සමග ප්‍රංශ ජනරජය තුළ සැබවින්ම සිදු වූයේ ඊට සපුරාම වෙනස්ව, විප්ලවීය පරිවර්තනය අඩස්සිගත කොට අතීතයේ අවතාර යථාර්තය තුළ ඇවිද්දවීමක් යැයි මාක්ස් පවසයි. විප්ලවීය ගාම්භීරත්වයේ සළුපිළිවලින් සරසන ලද දේශපාලන පරිවර්තනයකින් පසුව ප්‍රංශ ජනයා අවබෝධ කර ගත් කාරණය නම්, තමන් දැන් යළිත් ජීවත් වන්නේ අතීතය තුළ බවයි.


වෙනස් ඓතිහාසික සංධර්භයක් තුළ ඌණ සංවර්ධිත ලංකා දිවයිනේද දැන් තම මාමාගේ දේශපාලන අලංකාරෝත්තීන් පුනරුච්චාරණය කරන දක්ෂිණාංශික බෑණා කෙනෙකු බලයට පත්ව තිබේ.



සිදුවෙමින් පවතින දේශපාලන පරිවර්තනය සරදම්ජනක සිද්ධීන්ගෙන් ගහණය. අරගලයේ අතුරු පලයක් ලෙස බලයට පත් වූවා යැයි උදම් අනන නව ජනපතිවරයා තමන් හට රැකවරණය ඇත්තේ පොදුජනයා අතර නොව මර්දනීය රාජ්‍ය උපකරණ තුළ බව නිවැරදිව වටහාගෙන තිබේ.



කිසිදු ජන වරමකින් තේරී පත් නොවූ ඔහුව පාර්ලිමේන්තු ජන්දයකින් ජනපති ධූරයට ඔසවා තැබූ බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ සාම්ප්‍රදායිකව ඔහුට විරුද්ධ මතයක් නියෝජනය කළ ජනතාවකගේ ජන්දයෙනි. ඔවුනගේ එම ජන වරමද මේ වනවිට බරපතල අර්බුදයකට ලක්ව තිබේ.

මේ අනුව, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව ගත් කල ජනපතිවරයා හට කිසිදු අරුතකින් ජනතා වරමක් හෝ ජනතා සුජාතභාවයක් හිමිව නොමැත.                                      


ජූලි 23 පුනරාවර්තනය

dfgsg

නමුත්, දැන් රනිල් වික්‍රමසිංහ තම විධායක බලතල හැසිරවීමට පටන්ගෙන ඇත්තේ 1977 මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක්ද, 1982 ජනාධිපතිවරණයේදී පැහැදිලි බහුතර ජන්ද ප්‍රතිශතයක්ද හිමි කරගෙන සිටි ජේ.ආර් ජයවර්ධන තම බලය අභ්‍යාස කළ ආකාරය සිහිගන්වන ආකාරයෙනි.

හරියටම '83 කළු ජූලියට වසර 39ක් පිරෙන්නට පෙර දින රාත්‍රියේ වික්‍රමසිංහ පාලනයේ පළමු දේශපාලන පණිවිඩය එළි දැක්විණ. ඒ ගාලු මුවදොර අරගල බිමට හදිසි හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙනි.

ඉනික්බිතිව, තෝරා ගත් අරගලකරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වූ අතර, අසූව දශකයේදී පවා නොපැවති තරමේ දැඩි හදිසි නීති රෙගුලාසි සම්මත කෙරිණ.

මතුපිටින් පෙනෙන ආකාරයට නව පාලනයට මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණයන් මගින් තහවුරු කරගත් ස්ථාවරභාවයක් ලැබෙමින් තිබේ. ජාත්‍යන්තරය විසින් ඉල්ලා සිටි දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගන්නට නව ජනපතිවරයා සමත් වී ඇතැයිද, මෙතැන් පටන් ආර්ථික ස්ථාවරත්වය සඳහා විදේශීය සහයෝගය ලැබෙනු ඇතැයිද පසුගියදා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව වාර්තා විය.



නමුත්, අවාසනාවට, දේශපාලන ස්ථාවරත්වය යනු පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත්‍රී කණ්ඩායමක සහයෝගය දිනා ගැනීමට වඩා වැඩිමනත් දෙයකි.



විශේෂයෙන්ම තීව්‍ර ආර්ථිකමය, දේශපාලනමය, සමාජමය සහ භූ-දේශපාලනික අර්බුදයකට මුහුණ දෙමින් සිටින්නා වූද, ඉතිහාසයේ ප්‍රබලතම ජනතා නැගී සිටීමේ මතකය දරාගෙන සිටින්නා වූද සමාජයක් සම්බන්ධයෙන් ගත් කල, දේශපාලන ස්ථාවරත්වය යනු දැනටමත් ජනතා විශ්වාසය පළුදු වී ගිය පාර්ලිමේන්තු බහුතරයක් මගින් හෝ මර්දන නීති මගින් ළඟා කරගත හැක්කක් නොවේ.

මේ මොහොතේ දේශපාලන චලනය වටහා ගන්නට නම් අප මතුපිටින් නිශ්චල වෙමින් පවතින්නාක් සේ පෙනෙන දේශපාලන දියඹෙහි වඩා ගැඹුරු දිය රළ (deep water waves) දකින්නට සමත් විය යුතුය.

 

දැන් මෙතෙක් බහුජනයා විසින් අත්පත් කරගෙන තිබූ දේශපාලන අවකාශය යළිත් සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ තන්ත්‍රය අතට මාරුවෙමින් පවතින බව සැබෑය. ඊනියා බහු-පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ තේමාව යටතේ එකී ප්‍රභූ තන්ත්‍රය තුළ කිසියම් සංහිදියාවක් ගොඩ නගා ගැනීමට ප්‍රයත්න දැරෙමින් පවතින බවත් සැබෑය. නමුත්, වඩ වඩාත් තීව්‍රවෙමින් පවතින ආර්ථික ව්‍යසනයේ ස්වභාවය දෙස බලන විට, දැනටමත් ස්වකීය ශක්තීන් අවබෝධ කරගෙන සිටින බහුජන ශ්‍රේණීන් කෙසේවත් රාජ්‍ය මර්දනයේ උපකරණ මගින් දීර්ඝකාලීනව යටපත් කරගෙන සිටිය නොහැකිය.


ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉතිහාසයද සාක්ෂි දරන පරිදි, ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සම්ප්‍රදායන් සහිත සමාජයක මර්දනය සහ ආණ්ඩුකරණ යාන්ත්‍රණයන් මගින් පමණක් කෙසේවත් දේශපාලන ස්ථාවරත්වයක් තහවුරු කළ නොහැකිය.

එසේ තිබියදීත් පාර්ලිමේන්තුවේ බහුතරය සහ විධායකය අරගලයේ නිරත ජනතාවගේ නියෝජිතයින් සමග කිසියම් සම්මුතියකට එළඹීමට තිබූ අවස්ථා දැනුවත්ව මග හැර යමින් අරගලය මර්දනය කිරීමේ මාවත තෝරා ගත්තේය.

 නමුත්, එය පුදුමයට කරුණක්ද නොවේ. මන්දයත්, ජනතා ජන්දයෙන් තේරී පත් නොවූ නව ජනපතිවරයා බරපතල ලෙසම රාජපක්ෂ බල තන්ත්‍රය මත රඳා පවතින බැවිනි.



වත්මන් ලාංකීය දේශපාලනය තුළ 'රාජපක්ෂලා' යනු තවදුරටත් පවුලක්, ඥාතීත්ව ව්‍යුහයක් පමණක් නොව පුළුල් සබඳතා ජාලයක් (network) බවට පත්ව තිබෙන බව මෙහිදී සිහි තබා ගත යුතුය. ඒ වනාහී අනුග්‍රාහක දේශපාලනය මත පදනම්ව ගම් නගර සිසාරා පැතිර ගිය ධූරාවලීගත සමාජ ජාලයකි.



එම සබඳතා ජාලය ව්‍යවස්ථාදායකය තුළ මෙන්ම ස්ථිර විධායකය වන රාජ්‍ය පරිපාලනය තුළද තම බලය ව්‍යාප්ත කරගෙන තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ සිට හැමූ ජන අරගලයේ රැල්ල මගින් අභියෝගයට ලක් වූයේ මෙම ජාලගත රාජපක්ෂ බල ව්‍යුහයයි.

නිදසුනක් ලෙස, ගාලු මුවදොර අරගලකරුවන් විසින් එළි දක්වන ලද ක්‍රියාකාරී සැලැස්ම තුළ ඉදිරිපත් වූ ප්‍රධාන කාරණයක් වූයේ රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් පත් කරන ලද විධායක ශ්‍රේණියේ නිලධාරීන් මෙන්ම තානාපතිවරුන්ද ඉල්ලා අස්විය යුතුය යන්නයි.

මේ අනුව, රාජපක්ෂ බල ව්‍යුහය ප්‍රතිස්ථාපනය කිරීමට දැරෙන කවර ප්‍රයත්නයක් වුවද, අරගලය දුර්වල කිරීමෙන් තොරව සාක්ෂාත් කරගත නොහැකිය.

සැබවින්ම නව ජනපතිවරයා හමුවේ තිබූ පළමු අභියෝගය වූයේ ආණ්ඩුවේ ස්ථාවරත්වයටත් වඩා ඔහුගේම බලයේ ස්ථාවරත්වය සහතික කරගැනීම බැවින් ඔහු රාජපක්ෂ සබඳතා ජාලයට ආරක්ෂාවක්, රැකවරණයක් සහ අනුග්‍රහයක් ලබාදීමට උත්සුක වීම පුදුමයට කරුණක් නොවේ.                              



මර්දනයේ කතා ආඛ්‍යානය

sdfee

නව ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ඇරයුම් කරමින් දේශපාලන සංස්ථාපිතය තුළ සංහිඳියාවක් ගොඩ නගන්නට ප්‍රයත්න දැරීමත් ඔහුගේ පාලනය යටතේ අරගලකරුවන් වෙත මර්දනයක් දියත් වෙමින් තිබීමත් බැලූ බැල්මට එකිනෙකට පරස්පර වුවද, සැබවින්ම ඒවා සංකීර්ණ ලෙස එකිනෙක හා සම්බන්ධය.

ඒ වනාහී එකම උපායික ප්‍රවේශයක පැතිමාන දෙකක් ලෙස සැලකිය යුතුය යන්න මගේ අදහසයි.

මන්දයත්, සැබවින්ම මර්දනය ක්‍රියාත්මක වන්නේ සංයුක්ත දේශපාලන උපායමාර්ගයක අංගයක් ලෙසිනි.

මෙය පැහැදිලි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දීමෙන් ඉක්බිතිව අරගලය සම්බන්ධ ඔහුගේ උපායමාර්ගය විචාරමින් මා පසුගිය මැයි මසදී ලියූ ලිපියක් උපුටා දක්වන්නට ඉඩ දෙන්න.  

"එම උපාය සාර්ථක වීමට නම් ජනතා අරගලය තුළ කේන්ද්‍රීය බෙදීමක් නිර්මාණය කළ යුතුව තිබෙන බව ශූර දක්ෂිණාංශික දේශපාලකයෙකු වන රනිල් හොඳින්ම දන්නවා ඇත. එම බෙදීම වන්නේ අරගලයේ නිරත නාගරික මධ්‍යම පන්තික කොටස් සහ කම්කරු-ගොවි-ධීවර-සුළුතර ජනවාර්ගික සහ පරිවාර ජනකොටස් සූක්ෂම ලෙස එකිනෙකින් වෙන් කිරීමයි. රනිල්ගේ ජාතිය ඇමතීමේ ප්‍රධාන ඉලක්කය වූයේ තම පාරිභෝජනවාදී ජීවන පිළිවෙලට පහර වැදුණු මධ්‍යම පන්තික සමාජ කොටස් ය." (රනිලාගමනයෙන් පසු ගෝඨාගෝගම, අනිද්දා, 2022/05/20).


අරගලය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කළ අලුත දේශපාලනීකරණය වූ නාගරික මධ්‍යම පන්තික කොටස් යළි නිර්-දේශපාලනීකරණය කිරීම මෙම උපායමාර්ගයේ ප්‍රධාන අංගයක් බැව් පෙනේ. එම නිර්-දේශපාලනීකරණය සඳහා ඔවුනගේ මනස් සනසවන දෘෂ්ටිවාදී කැරට් සේම ඔවුන් බියපත් කරවන අනපේක්ෂිත වේවැල් පහරවල්ද එකවිට භාවිත කෙරෙන සෙයකි.



මේ දිනවල මධ්‍යම පන්තිකයින්ගේ පැසසුමට ලක්වෙමින් තිබෙන ඉන්ධන බෙදා හැරීමේ නව ක්‍රමවේදය කැරට් සඳහා ආසන්න නිදසුනකි. පොදු ප්‍රවාහනයේ අංගයක් ලෙස සැලකිය යුතුව තිබෙන ත්‍රීරෝද රථ සඳහා ඉතාම අඩු ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන අතර පුද්ගලික මෝටර් රථ සඳහා සාපේක්ෂව වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම තේරුම් කළ හැක්කේ ප්‍රවාහන ගැටළුව විසඳීමේ තාර්කික ප්‍රතිපත්තියක් ලෙස නොව මධ්‍යම පන්තික පාරිභෝජනවාදී නිෂ්ටාවන් සංතෘප්ත කිරීමක් ලෙසිනි.

 ඒ අතරම දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ වැඩි ආධිපත්‍යයක් සහිත නාගරික ඉහළ මධ්‍යම පන්තිය අතර ත්‍රීරෝද රථ රියැදුරන් පිළිබඳ ඉතාම ගර්හාත්මක ආකල්පයක් ගොඩ නැගෙන්නට ඉවහල් විය හැකි ආකාරයේ ප්‍රවෘත්තිද විකාශනය වේ.

අනෙක් අතින්, දැන් මර්දනයේ වේවැල් පහරවල් එල්ල වන්නේ අන්ධ මුග්ධත්වයකින් නොව දැනුවත් තෝරා ගැනීමක් අනුව බව පෙනේ. අරගල බිමේ ඉතිරි වී සිටින ඊනියා නිර්-පාක්ෂික සහ ලිබරල්වාදී කොටස් ක්‍රමයෙන් එයින් ඉවත් වී යනු දකින්නට නව පාලන තන්ත්‍රය කැමති වනු ඇත.

සැබවින්ම දැන් සිදුවෙමින් පවතින්නේ එයයි. අගෝස්තු පස් වනදා ගාලු මුවදොර ගෝඨාගෝගම ඉවත් කරන්නට නියෝග කිරීම බැලූ බැල්මට පාලන තන්ත්‍රයට අවාසිදායක සහ අනවශ්‍ය ක්‍රියාවක් සේ පෙනී යා හැකි වුවද, අරගල බිමේ සිටින සෘජුව වාමාංශික නොවන කොටස් එයින් ඉවත් කිරීමේ අරුතින් ගත් කල එය තර්කානුකුල තෝරා ගැනීමකි.

මන්දයත්, ගාලු මුවදොර සාමූහික එකතුව වාමාංශික පක්ෂ සහ සංවිධානවල නියෝජනයන්ට සීමා වී නොමැත.                              


යුදෙව්වෙකු සෙවීම  

මෙයින් අදහස් වන්නේ අරගල බිම වාමාංශික සහ රැඩිකල් අවකාශයක් බවට පමණක් පරිවර්තනය වීම පාලන තන්ත්‍රයේ තෝරාගැනීම් සමග ගැලපේය යන්නද?

මගේ උපකල්පනය වන්නේ පාලන තන්ත්‍රයේ පුළුල් දේශපාලන අභිලාෂයන් අනුව ගත් කල, එය එසේ විය හැකි බවයි.

ඒ කෙසේවත් වත්මන් පාලනය වාමාංශය ප්‍රිය කරන නිසා නොවේ. එය සැබවින්ම වාමාංශය පිළිකෙව් කරන නිසාය. විශේෂයෙන්ම අයි.එම්.එෆ් නිර්දේශ අනුයමින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික ප්‍රතිසංස්කරණවල පසුබිමෙහි ලා බැලූ විට තමන් හට වාමාංශය දේශපාලනිකව අභිමුඛ වීම වැළැක්විය නොහැකි බව ජනපතිවරයා තුළ වෙසෙන ජ්‍යෙෂ්ට දක්ෂිණාංශික උපායවේදියා දනී.      

මේ දිනවල පාලනාධිකාරයට සම්බන්ධ බොහෝ ප්‍රකාශකයින් අරගලය සහ අරගලකරුවන් පිළිබඳව ඉදිරිපත් කරන දෘෂ්ටිවාදී ප්‍රකාශයන් විමසා බැලීමෙන් ඉහත කාරණය මනාව වටහාගත හැකිය.

ඔවුන් ඉතාම තියුණු ලෙස සාමකාමී අරගලකරුවන් සහ ප්‍රචණ්ඩ අරගලකරුවන් යන බෙදුම්කඩනය දෘෂ්ටිවාදීව ගොඩ නගමින් සිටින බව නිරීක්ෂණය කිරීම අපහසු නොවේ. (මෙම දෘෂ්ටිවාදී මෙහෙයුමේ බරපතලකම වටහාගත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෑතකදී අරගලකරුවන් මෙසේ වර්ගීකරණය කිරීමේ භාවිතය විවේචනයට ලක් කොට තිබිණ).


අරගලය ආරම්භයේදී සාමකාමී සහ නිර්-ප්‍රචණ්ඩ වූවක් ලෙස පැවතියද පසුව කිසියම් අදෘෂ්‍යමාන ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් එය තම බල වුවමනාකම් වෙනුවෙන් යොදවාගෙන තිබේය යන කතා ආඛ්‍යානය දැන් මාධ්‍ය අවකාශය තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩ නගමින් තිබෙනු පෙනේ. මෙසේ නොදන්නා ප්‍රචණ්ඩකාරී කතෘකයෙකු පිළිබඳ හැඟීමක් නිර්මාණය කළ පසුව එම කතෘකයා සොයා ගැනීමේ සමාජ මානසික උත්තේජනයක් ඇති වේ. ආණ්ඩුවේ ඇතැම් මාධ්‍ය ප්‍රකාශකයින් දැනටමත් එම කතෘකයාගේ තැන වාමාංශික පක්ෂ හා කණ්ඩායම්වලට පිරිනමන්නට උත්සුක වී තිබේ.

දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක වන ආකාරය මෙයින් වෙනස් නොවේ. පසුගිය සියවසේ මුල් දශකවලදී ජර්මානු සමාජයේ සියලු ව්‍යසනයන්ට වගකිව යුතු දුෂ්ට චරිතයක් ලෙස යුදෙව්වා හුවා දක්වන ලද්දේ මේ ආකාරයටමය. න්‍යායිකව කිව හොත්, එහිදී සිදු වූයේ සමාජයේ අභ්‍යන්තර ඛණ්ඩනය බාහිර චරිතයක් වෙතට ප්‍රක්ෂේපණය කිරීමකි. ඉන්පසුව, එම චරිතය වෙත මර්දනය මුදාහැරීම අසීරු කාර්යයක් නොවේ.

දැන් පෙළගැසෙමින් තිබෙන මෙම රාජ්‍ය මර්දනයේ නව මෙහෙයුමට මුහුණ දීමේදී වාමාංශික සහ ප්‍රගතිශීලී කණ්ඩායම් වටහාගත යුතු කාරණයක් නම්, දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ අරගලය මේ මොහොතේදී කේන්ද්‍රයට පැමිණෙමින් තිබෙන බවයි.

මර්දනයට දෘෂ්ටිවාදීමය යුක්තිසහගත භාවයක් ලබා දෙන කතා ආඛ්‍යානය හෙළිදරව් කිරීමට නම්, වාමාංශය තම පණිවුඩය ප්‍රජාතාන්ත්‍රික කතිකාමය රාමුවක් තුළ ඉදිරිපත් කළ යුතුය.

අරගලය තුළ තම ක්‍රියාකාරීත්වය ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් හා ගැඹුරු කිරීමේ ප්‍රයත්නයක් වීය යන පණිවිඩය පොදුජන සමාජයට ප්‍රමාණවත් තරමින් සන්නිවේදනය කිරීමට තවමත් වාමාංශය සමත් වී නොමැත. එසේම, වාමාංශය සමග ඓන්ද්‍රීය සම්බන්ධයක් නොමැති ලිබරල් සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග අරගල බිමෙන් දුරස් වීම අරගලයේ ජයග්‍රහණයක් නොව පරාජයක් බව වටහාගත යුතුව තිබේ.

 එසේම, වාමාංශය ඉලක්ක කරගත් මර්දනීය ආඛ්‍යානය, පොදුවේ සමස්ත පුරවැසි අරගලයේම ප්‍රජාතාන්ත්‍රික නිෂ්ටාවන් පරාජය කිරීමට හේතු වන බව සෙසු ප්‍රජාතාන්ත්‍රික කණ්ඩායම් විසින්ද වටහාගත යුතුව තිබේ.

අවසන් වශයෙන්, මර්දනයේ ආඛ්‍යානය පරාජයට පත් කළ හැක්කේ ශන්තාල් මූෆ් පෙන්වාදෙන පරිදි හුදෙක් එය සබුද්ධිකව විචාරීමෙන්ම නොව ප්‍රජා-පීඩක පාලන තන්ත්‍රයට එරෙහිව ජනතාව යන ජනතාවාදී පසමිතුරුතා අක්ෂය වඩා බලවත්ව තහවුරු කිරීම මගිනි.          


sUMITH cHAMINDAc(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58