“අද අප මුහුණ දෙන්නේ නුතන ඉතිහාසයේ කිසි දිනෙක අපේ රට මුහුණ නොදුන් මට්ටමේ අතිශය බරපතල ප්‍රශ්නයකට. අපි දැවැන්ත

අනතුරකට ගොදුරු වෙලා....... අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට ඇති නැති පරතරය පුළුල්වෙමින් යනවා. මධ්‍යම පන්තිය හැකිලෙනවා. තව පැත්තකින් ව්‍යාපාර සහ කර්මාන්ත බරපතල අභියෝගයන්ට මුහුණ දෙනවා. රැකියා අහිමිවෙමින් යනවා. පසුගිය කාලයේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය පහළ වැටුනා.” ජනාධිපති වික්‍රමසිංහ ඉකුත් 05 වන දින මේ පාර්ලිමේන්තුවේ 03 වන සැසි වාරය විවෘත කරමින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේදී කීවේය.



ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපට ඇති එකම ප්‍රවේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යැයි නාගරික මැදපංතිය විශ්වාස කරති. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩිකරවා ගනු ලැබූ විට ඔවුන් බලාපොරොත්තු වූයේද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි ආධාර වෙනුවෙන් ගිවිසුම්ගත වනු ඇතැයි කියා ය.

මැයි 12 වන දින “ජැක් ඉන් ද බොක්ස්” මෙන් හදිසියේ එළියට පැමිණි රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් දිවුරුම් දුන් විට, ඔහුට “ට්විට” පණිවිඩයකින් වහා සුභ පැතු ඇමෙරිකානු තානාපතිනි ජුලී චං කියා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනු දෙනු සඳහා ඔවුන් සහාය වන බවය.

ජනාධිපති වික්‍රමසිංහ ඔහුගේ ප්‍රතිපත්ති කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනට හරියටම මාසයකට ඉහතින් ඉකුත් ජුලි 05 වන දින එවකට අගමැති වශයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරුණු සාකච්ඡා වටය සාර්ථකව අවසන් කෙරුණු බවය. ඒ අනුව, ඊළගට කළ යුතුව ඇත්තේ “ණය ප්‍රතිව්‍යුහගත කිරීම” සම්බන්ධ වාර්තාවක් සැපයීම යැයි ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ “ණය ප්‍රතිව්‍යුහගත කිරීම” සම්බන්ධව මෙදා ජනාධිපති වික්‍රමසිංහ කියුවේ “ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනයේද” සහාය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැළසුම් අවසන් කරමින් සිටින බවය. නොබෝ දිනකින් එය ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරන බවත් පැවසුවේය. අනතුරුව ණය ආධාර ලබා දී ඇති රටවල් සමඟ සාකච්ඡා කිරීමටත් ඊළඟට පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීමටත් සිදුවන බව ඔහු කීවේ ය.

ඒ “ණය ස්ථාවර කරලීමේ සැළසුම්” කිසිවක් මේ අවුරුද්දේදී අවසන් නොවන බවට අප ණය ලබා ගත් රටවල හා ආයතනවල ප්‍රතිචාරවලින් ඇඟවෙන්නේය.

 

බොහෝ දෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වහා ලබා ගන්නට යැයි කියූ ආධාර පේන තෙක් මානයක නැත. එහෙත් කිසිදු විස්තරයක් නැති සඳහනක් කරමින් ජනාධිපති වික්‍රමසිංහ කියුවේ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩ පිළිවෙලක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ බවය. ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කළ සාකච්ඡා වලට මේ සිව් අවුරුදු වැඩපිළිවෙලෙහි ඇති සම්බන්ධය කුමක්දැයි ඔහු පැහැදිලි කළේ නැත.

 

එහෙත් වික්‍රමසිංහ කියන්නේ, “2025 වෙද්දී ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කරගැනීම අපේ ඉලක්කයයි. ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම අපේ උත්සාහයයි. 2026 වෙද්දී ස්ථාවර ආර්ථික පදනමක් ඇති කරගැනීම අපේ අපේක්ෂාවයි” වැනි කතාවකි.

මේ දිනවල ඩොලරයක් දෙකක් ණයට ඉල්ලා ගැනීමට හෝ කිසිවකු නැත. ඉන්ධන ගෙන්වන්නේ කෙසේද හා විදුලි කප්පාදුව නතර කෙරෙන්නේද යන්න ගැනද කතා නැත. මැයි මාසයේ අගමැති වූ පසු වික්‍රමසිංහ කියූ ඉදිරියේ ඇති අසීරු මාස කිහිපය දැන් ඊටත් වඩා බරපතල ලෙස ලබන වසරටද ඉතිරි විය හැක.

ඉන්ධන, අත්‍යාවශ්‍ය ඖෂධ හා ආහාර ආනයනය සඳහා ණය ලබා දුන් ඉන්දියාව හැරුණ විට උදව්වට එනවා යැයි කියූ හිතවත් රටවල උදව් තවම දකින්නට නැත. ඇත්ත කතාව “ණය ස්ථාවර කරලීම” යනු විදේශ ණය අහෝසි කිරීමක් නොවේ. ඒ ණය කල් දමා ගැනීමක් පමණි. එනිසා ඉදිරි මාස කිහිපයේ යැපීමට ඩොලර සොයා ගන්නේ කොහෙන්දැයි යන්න බරපතලම ප්‍රශ්නය වන්නේය.


යාන්තම් ලෙව කන්නට මෙන් ඉන්ධන සහ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ගෙන්වා ගැනීමට නම්, මාසික අපනයන ආදායම ඒ වෙනුවෙන් ඉතිරිකර ගැනීමට සිදුවන්නේය. එනිසා ආනයනය සඳහා බරපතල සීමා තහංචි පැනවීමට සිදුවන්නේය. පසුගිය ජුනි මාසයේ ඒ ආදායම වූයේ ඩොලර මිලියන 1,248 කි. ලෝක ඉන්ධන මිල උස් පහත්වන ආකාරය අනුව අපට ඉන්ධන සඳහා දළ වශයෙන් ඩොලර මිලියන 600 ත් 800 ත් අතර මුදලක් අවශ්‍ය වන්නේය.


ඒවාට විසඳුම් නොමැති නමුත් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හැම විටම ජා.මූ. අරමුදලේ කොන්දේසියක් වන්නකි. එසේ කියන්නේ පෞද්ගලික ව්‍යාපාර අසාර්ථක නොවන්නේයැයි කියන්නාක් මෙන්ය.

 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද විදේශ ආයෝජන සමගින් බදු සහන සහ වෙනත් වරදාන වරප්‍රසාද ඇතිව ආරම්භ කෙරුණු පෞද්ගලික ව්‍යාපාර 722 ක් වසර 05 ක් ඇතුළත 2016 වන විට වසා දමා ඇත. සේවක අර්ථසාධක අරමුදල් හා භාරකාර අරමුදල් හිඟ තබා ඇති ඒවායේ ආයෝජකයින් බොහෝමයක් ආ ගිය අතක්වත් නැත.

 

යුරෝපා සංගමයේ සාමාජික රටවල් අධ්‍යනය කිරීම වැදගත්


oecd

මේ රාජ්‍ය ව්‍යවසායන් අලෙවිකර දැමීම පිළිබඳ කතාව සමග යුරෝපා සංගමයේ සාමාජික රටවල් අධ්‍යනය කිරීම වැදගත්ය.

යුරෝපා සංගමයේ ආර්ථික හා මූල්‍ය කටයුතු අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති “යුරෝපා සංගමයේ රාජ්‍ය සතු ව්‍යවසාය ඃ පශ්චාත් අර්බුද සන්දර්භයක උගත් පාඩම් හා ඉදිරිය” මැයෙන් වන ආයතනික පත්‍රිකා අංක 031/ජුලි 2016 ට අනුව, “දියුණු ආර්ථිකයන්හි වත්කම් හා රැකියා සඳහා වැඩි දායකත්වයක් ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලින් ය.

ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහාවන සංවිධානයේ (OECD -Organisation for Economic Co-operation and Development) සාමාජික රටවල් එකතුව ගත් විට, බහුතර හිමිකාරිත්වයක් ඇති රාජ්‍ය ව්‍යාපාර සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 2,000 ක් පමණ වේ.

ජාලගත කර්මාන්ත ක්ෂේත්‍රයන්හි රාජ්‍ය සතු ව්‍යාපාර වැදගත් කාර්ය භාරයක් ඉටු කරති. OECD සංවිධානය ගණන් බලා ඇති ආකාරයට, බල ශක්ති හා ප්‍රවාහන අංශයන්හි සමස්ථ වටිනාකමින් සියයට 40 ක් පමණ ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලය. රැකියා වලින්ද සියයට 43 ක් පමණ ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලය......... එවගේම ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය වැනි යුරෝපා සංගමයේ පළමු රටවල් 15 වේද රාජ්‍ය සතු ව්‍යාපාර කැපී පෙනෙති.”

 

එම වාර්තාවට අනුව, දියුණු කලමනාකාරිත්වයකට අමතරව, රාජ්‍ය සතු ව්‍යාපාරවල සාර්ථකත්වය ඇත්තේ ඒවායේ තොරතුරු කෙතරම් විවෘතද යන්න මත හා වගවීම් පිළිබඳ නෛතික බැඳීම් කෙතරම් ශක්තිමත්ද යන්න අනුවය. එවගේම එම අධ්‍යනයට අනුව, රාජ්‍ය සතු ව්‍යාපාරවල අරමුණු ඇතැම් විට ලාභ ලැබීමට එහා යන සමාජ ප්‍රගමණය හා බැඳෙන හෙයින් ඒවා නියාමනය කිරීමේ දියුණු ක්‍රමවේද සැකසිය යුතුව ඇත.

 

රාජ්‍ය සතු ව්‍යවසායන්ගේ භූමිකාව නිශේද කරමින් “සමාජ වෙළඳපල ආර්ථිකය” ගැනද ජනාධිපති වික්‍රමසිංහ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් කළේය.

මීට පෙර යහපාලන ආණ්ඩුවද ඒ ගැන කතා කළේය. ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ ආචාර්ය හර්ෂ ද සිල්වා 2015 පෙබරවාරි 26 වන දින කොළඹ කොටස් වෙළඳපල උත්සවයකදී කියුවේ, ඔවුන් ඉතාම තරගකාරී සමාජ වෙළඳපල ආර්ථිකයක් හැදීමේ දැඩි අධිශ්ඨානයක ඉන්නා බවය. ඔහු සමාජ වෙළඳපල ආර්ථිකය විස්තර කෙරුවේ, “එහි තේරුම තමයි, මේ ආර්ථිකය ප්‍රධාන කුළුණු දෙකක් මත පිහිටුවන බව. එකක් ‘තරගකාරිත්වය‘. එය ඉතා ශක්තිමත් සඳහන් කිරීමක්. අනෙක ‘සාධාරණත්වය‘. අපි එයින් අදහස් කරන්නේ දේශපාලන, ආර්ථික හා සමාජ සාධාරණත්වයයි.”

(සමාජ වෙළඳපල ගැන වැඩි විස්තර සඳහා - http://kusalperera.blogspot.com/2015/07/social-market-economy-social.html?m=1 )

 

මෙය හිට්ලර්ගේ ආගමනයටද පෙර 19 වන සියවසේ අවසන් කාර්තුවෙහි ජර්මනියේ ධනේශවරයට එරෙහි මතවාදයක් සමග සංකල්පගත කෙරුණකි. මේ ජර්මානු ආකෘතිය ගැන මහාචාර්ය වට්රින් කියා තිබුණේ, සමාජ රක්ෂණ වැනි ප්‍රගමනකාරී පියවර සැළකිය යුත්තේ වෙළඳපල නියමයන්ට එරෙහි පියවර වශයෙන් නොවන බවය. එහෙත් ඔහුගේ පැහැදිලි කිරීම වෙළඳපල ආර්ථිකයෙහි ක්‍රියාත්මන නොවුනකි.

 

වෙළඳපල ආර්ථිකයක මේ කියන්නාවූ සාධාරණයක් පවත්වා ගත නොහැකි බැව් බිල් ගේට්ස් 2008 මැයි මාසයේ ඔහුගේ නවතම සංවර්ධන සංකල්පය වූ “නිර්මාණාත්මක ධනේශ්වරය” ගැන කතා කරමින් කීවේය. වොරන් බුෆේ සහ මයිකල් කින්ස්ලී සමග කළ සාකච්ඡාවකදී “......නමුත් ඔබ කොටු වන්නේ වෙළඳපල ඩොලරය සඳහා සේවය කරන සන්දර්භයකයි. ඒ නිසා වෙළඳපල දුප්පතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පවතින්නේ නැහැ. ප්‍රශ්නය වෙන්නේ දුප්පතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙළඳපල ගැට ගසා ගන්නේ කොහොමද, වෙළඳපල ඔවුන් වෙනුවෙන් දිගු කෙරෙන්නේ කොහොමද කියන එකෙයි” ගේට්ස් කියා තිබුණි.


දුප්පතුන්ට නොසළකන වෙළඳපලක ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත් කළ ඔහුගේ ආර්ථික ප්‍රතිතපත්තිය දුප්පතුන් වෙත දිගු නොවන්නකි. මැදපංතිය පසුගිය කාලයේ හැකිළිනැයි ඔහු කම්පා වූයේද එබැවිනි. “මම අනාගතය වෙනුවෙන් සිදු කළ යුතු සාධනීය සමාජ වෙනස්කම් වෙනුවෙන් කැප වෙනවා. නැවතත් පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීමට අවශ්‍ය පදනම සකස් කරනවා” යැයි ඔහු පොරොන්දු වන්නේ ඔහුගේ ආර්ථික ප්‍රමුඛතාව ඇත්තේ එතැන හෙයින්ය. එහෙත් ඔහු චීන ණය ගෙවීමට යටත්ය.



චීන විරෝධි හවුලක් !


ඔහු අගමැති වූ විගස ඔහුට සුභ පැතිමට ඇමෙරිකානු තානාපතිනියට අමතරව ඉන්දියානු මහ කොමසාරිස් හනික පැමිණියත් ජනාධිපති වූ ඔහුට තවමත් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හමුවන්නට දිනයක් ලබා ගත නොහැකිව ඇත්තේ ඔහුගේ චීන දෙගිඩියාව නිසාවෙනි.

බොහෝවිට ඔහු ලබන මස අවසානයේ බෙයිජිං යාමට ඉඩ ඇත. ශ්‍රී ලංකාව නැවත චීනයට යාම වළකාලන්නට ජා.මූල්‍ය අරමුදලට බාර දීමේ ඇමෙරිකානු උත්සාහය අසාර්ථක වන බවක් දැනට දැකිය හැකිය.


ගෝලීය ආර්ථිකයේ වඩාත් ස්ථාවර ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන, ඉන්දු-පැසිපික් කලාපයේ ආර්ථිකය තම ආධිපත්‍ය යටතේ තබා ගැනීම ඇමෙරිකාවේ ස්ථාවර උපාමාර්ගය වන්නේය. ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 40 ක නියෝජනයක් ඇත්තේ ඉන්දු-පැසිපික් කලාපයේය. ඒ කලාපයේ දිළිඳු රටවල්ද ඇතුළත් රටවල් 14 ක “සෞභාග්‍ය සඳහාවන ඉන්දු-පැසිපික් ආර්ථික සැළසුම් රාමුව” නම් අලුත් හවුලක් පසුගිය මැයි 22 වන දින ඇමෙරිකාව ආරම්භ කළේය. එය ජනාධිපති බයිඩන් හඳුන්වා ඇත්තේ “21 වන සියවසෙහි ආර්ථිකය සඳහා නව නීති සම්පාදනය කිරීමක්” ලෙසින්ය. එහෙත් එහි භූ-දේශපාලනය තීන්දු වන්නේ චීන විරෝධි හවුලක් ලෙසින්ය.


“කොඩ්-ෆෝ” : ඇමෙරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය අතර ඇති සම්මුතිය


මලයාසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමද් ඒ ගැන කියා තිබුණේ “මේ හවුල ආරම්භ කෙරෙන්නේ චීනය හුදකලා කිරීමටයි. බොහෝ රටවල් මේ හවුල දකින්නේ ආර්ථික හවුලක් ලෙස නොවේ. දේශපාලන හවුලක් හැටියටයි.” කියා ය.

චීන විදේශ ඇමති වං යී ඊට දැක්වූ ප්‍රතිචාරය වූයේ, “මේ හවුල සහ පොදුවේ ඇමෙරිකානු ඉන්දු-පැසිපික් උපාමාර්ගය ඇති කරන්නේ බෙදීම්. එවගේම එය ගැටුම්කාරී උසිගැන්වීමක්” යන්නය. චීන ආධිපත්‍යයට හරස් විය හැකි ඉන්දු-පැසිපික් කලාපයේ තවත් බල හවුලක් ලෙස ඇමෙරිකාව ගනුදෙනු කරන්නේ “කොඩ්-ෆෝ” ලෙස හැඳින්වෙන ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ත්‍රේලියාව සහ ජපානය අතර ඇති සම්මුතිය සමගින්ය.  


අප ඉන්නේ මේ නිහඬ ඉන්දු-පැසිපික් බල අරගලයේ චීන හා ඇමෙරිකානු පාර්ශව දෙපැත්තට බෙදෙන වැට උඩ ය. ඒ හෝ මේ පැත්තට පෙරළෙන්නට අපට සිදු වන්නේ අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය සමග අප ඇතිකර ගන්නා සම්මුති අනුව ය. අප චීනයට ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ඔවුන් සූදානම් නැති බව ඉතා නිරවුල්ව ඔවුන් අපට දන්වා තිබුණි. චීන ණය ප්‍රතිව්‍යුහගත නොකෙරෙන්නේ නම්, අනෙක් ණය ලබාදුන් රටවල් හා ආයතනද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සූදානම් නැතැයි අනතුරු ඇඟවීම් ඇත. ජා.මූල්‍ය අරමුදල ඉල්ලා සිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තාව සැකසීම කල් ඇදෙන්නේ එබැවින්ය.


china 22.8.14

එවැනි පසුබිමක ඉන්දියාව විසින් ආරක්ෂක බුද්ධි අංශයේ නෞකාවක් යැයි හඳුන්වන චීනයේ අති නවීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම මතභේදාත්මක තීන්දුවක් විය. එය එක්තරා ආකාරයකට චීනය ඔවුන්ගේ බලය පෙන්වීමේ තීන්දුවක්ද විය. වික්‍රමසිංහ ආණ්ඩුව ඒ හේතුවෙන් ඉන්දීය බලපෑමට නතු විය. ලංකාණ්ඩුව ඒ ගැටය තාවකාලිකව ලිහිල් කර ගත්තා මිස ලිහා ගෙන නැත.

මතු සාකච්ඡා කෙරෙන තෙක් චීන නෞකාව හම්බන්තොට වරායට සේන්දු නොවිය යුතු යැයි ලංකාණ්ඩුව ලිඛිත ඉල්ලීමක් කළද, එය රාජ්‍යතාන්ත්‍රික බසින් කියවන්නේ චීන ණය ගැන සාකච්ඡාකර අවසන් තීන්දුවක් ගැනීමට අප සුදානම් බැව් කීමක් ලෙසින්ය.

ඉන්දියානු බලපෑම නිසා චීන නෞකාව කෙසේ හෝ අතර මගදී නවතා ගත්තද පකිස්තානි යුධ නෞකාවක් වන චීනයේ ඉදිකෙරුණු “පීඑන්එස් ටයිමුර්” නෞකාව සිය මංගල ගමනෙහිදී කොළඹ වරායේ අගෝස්තු 12 සිට 15 දක්වා නැංගුරම් ලෑමට නියමිතය.

මෙය 2028 වන විට පකිස්තානය වෙනුවෙන් චීනය ඉදිකරන යුආන් වර්ගයේ යුධ නැව් 08 ට අමතරව ඉදිකර දෙනු ලැබූ නැව් දෙකකින් දෙවැන්නය. එහි පැමිණීමත් දැන් දැඩි ඉන්දියානු නුරුස්නාවකට හේතුවී ඇත.

 

මේ හෙයියම්මාරුවෙන් පෙන්වන්නේ ගෝලීය වෙළඳපල ආර්ථිකයෙහි යැපීම සමග අප කොටුව ඉන්නා භූ-දේශපාලනික ආරවුලේ සංකීර්ණ ස්වභාවය ය. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට කලාපීය බල තුලනයෙන් ස්වාධීනවීමට දැරිය යුතු ඉතා ප්‍රවේසම්කාරී ගමනක් ඇති බවය.

 

එනිසා වැදගත් වන්නේ ජා.මූල්‍ය අරමුදලින් අපට ස්ථාවර විසඳුම් ලබා ගත නොහැකි බැව් තේරුම් ගැනීමය. මීට පෙර 16 වතාවක් ජා.මූල්‍ය අරමුදලින් ආධාර ලැබූ අපට ඒ කිසිවකින් අපගේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට හා ජාතික ආර්ථික දියුණුවක් ලබන්නට නොහැකි විය.

පසුගිය වාරයේ රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේ අගමැති වශයෙන් 2016 ජුනි මස ජා.මූල්‍ය අරමුදල සමග වසර 03 ට අත්සන් තැබූ ඩොලර බිලියන 02.2 ක් සඳහා වූ ගිවිසුමෙහිද වුයේ මෙදා කතා කරන කොන්දේසිම ය. ඉන් යහපත් වර්ධනයක් වූවා නම් මේ වින්නැහිය මෙලෙසින් පුපුරා යා නොහැක.


මෙතක් අත්දැකීම් අනුව සහ ජා.මූල්‍ය අරමුදලේ ණය ආධාර කොන්දේසි අනුව අපට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට අලුත් ශක්තියක් ඉන් ලැබෙන්නේ නැත. ඔවුන්ගේ සහ අපේ ආර්ථික විශේෂඥයින්ගේ බෙහෙත් තුණ්ඩුවේ ආර්ථික වේදනාව සඳහා නැවත ලියා දෙන්නේ අවුරුදු 40 ක් අසාර්ථක වූ ආයෝජකයින් කැඳවා අපනයන නිෂ්පාදන මගින් විදේශ විනිමය උපයා ගැනීමේ පැරණි බෙහෙතමය. ඒවායෙන් විසඳුම් ලබන්නට බලා සිටීමේ බරපතලම පාපය ගෙවන්නට සිදුවනු ඇත්තේ බහුතර දුප්පත් ජනතාවට ය.


ජා.මූල්‍ය අරමුදලේ වට්ටෝරුව ගැන කිව හැකි සරළම කතාව නම්, කෙතරම් වටිනවා යැයි කියුවත් සයිබීරියාවේ ලාච් ගස අපේ පොළොවේ වගා කළ නොහැක. දැන් එනිසා අවශ්‍ය වන්නේ ජා.මූල්‍ය අරමුදල හවුල්කර ගනිමින් හැකි නම් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගන්නා අතර, වික්‍රමසිංහ ආණ්ඩුවට උපරිම බලපෑම් කර, 06 මසකට පමණ ක්ෂණික විසඳුම් මාලාවක් ක්‍රියාත්මක කරවා ගැනීමය.

ඒ කාලය අප යොදා ගත යුත්තේ ජනතා ආර්ථිකයක් සඳහා යෝජනා සමාජ සංවාදයකින් සැළසුම් කර ගැනීමටය.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු නියෝජනයකට භාර කෙරුණු ජනතා පරමාධිපත්‍ය සමාජීය තීන්දු මත හසුරුවා ගත යුතු කාලයකි.



kusal 1(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(ඉරිදා අරුණ පුවත්පතේ පළවූ ලිපියකි)
2022 අගෝස්තු 14


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා