‘‘දුප්පත්කම’’ කියන දේ අපි දන්න ඉතිහාසයේ සිට වගේ ම නොදන්න ඈත ඉතිහාසයේ පවා පැවතුණ යථාර්ථයක්.
හැබැයි ඒක එහෙම වුණේ කොහොමද කියන එකට නිශ්චිත පිළිතුරක් (ඊනියා ආගමික සංකල්පවලින් බැහැරව) හොයාගන්න එක ඒ තරම් සරල නැහැ.
මගේ පුද්ගලික මතය නම් මිනිස්සු පාලනය කිරීම සඳහා මිනිස්සු විසින් ම නිශ්චිත පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් පත් කරගත් තැන ඉඳල මේක වර්ධනය වුණ බවයි.
මොකද මේ නායකය, එහෙමත් නැත්නම් පාලකය වගේ ම ඔහු යටතෙ හිටපු අනිත් සහකාර ප්‍රජාව හැම වෙලාවෙම හිතුව තමන් අනිත් මිනිස්සුන්ට වැඩිය උසස් කියල. අනිත් මිනිස්සු තමන්ට අසාමාන්‍ය විදියට සලකන්න ඕන කියල.
පාලකයා ප්‍රමුඛ කණ්ඩායම එහෙම හිතද්දි, ඊට අනුව වැඩ කරද්දි පාලිතයොත් හිතුව ‘ඔවු... අපි අපේ නායකයට වගේ ම නායක කණ්ඩායමට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන’ කියල.
හැබැයි මේ දෙගොල්ලොම හිතුවෙ නෑ අපිත් අනිත් මිනිස්සු වගේ ම ‘මිනිස්සු’ කියල. පාලකයො සහ ඔවුන්ගේ කණ්ඩායම් තමන් උසස් කියන පදනම යටතෙ කටයුතු කරද්දි පාලිතයොත් ‘අපි පාලකයන්ට වඩා පහත් නේද?’ කියන තැන ඉඳගෙන කටයුතු කරා.
ඔය අතර කාලයක් යද්දි මේ අදහසට විරුද්ධව එක්කෙනක්, දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් අදහස් දක්වන්න, ඊට එරෙහිව කටයුතු කරන්න පටන්ගත්ත. ඔවුන් අර පාලක පෙළැනිත්යට එරෙහිව වෙනම කණ්ඩායමක් විදියට කටයුතු කරන්න පටන්ගත්ත. එතනදි සමහර අවස්ථාවල මේ පාලක නොවන පාලිත පෙළැන්තිය හොඳින් හෝ නරකින් පාලකයො බවට පත්වුණා.
හැබැයි කාලයක් යද්දි ඔවුනුත් කටයුතු කළේ අර පරණ අය විදියට ම යි. මෙතනදි හැමෝ ම පොදු සංකල්පය බැහැර කරල පුද්ගලික සංකල්පය පෙරට ගෙනාව; බලය සහ වරප්‍රසාද වෙනුවෙන් බලය තියෙන තැනට එකතු වෙන්න පටන්ගත්ත. එතනදි බලය පවත්වාගෙන යන්න නම් මුදල් අවශ්‍ය බවත් වටහාගත්ත. අනෙකාට වඩා වැඩියෙන් මුදල් හම්බ කරන්න ඕන කියන මතය හැමෝගෙ ම ඔළුව ඇතුළෙ වැඩ කළා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක් (හොඳ නරක, ඉතා හොඳ සහ ඉතා නරක) ම කරන්න මිනිස් ප්‍රජාව පෙලඹුණා.
ඒ නිසා තමයි අතීතයේ ඉඳලම තමන්ගෙ අඹුව පවා පාලක පෙළැන්තියේ අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි කරන්න දීල ඒ වෙනුවට: ඉඩ-කඩම්, මිල-මුදල්, තාන්න-මාන්න වගේම විවිධ වරදාන වරප්‍රසාද ලබාගත්තෙ. ඇතැම් අය තමන්ගෙ අඹුව විතරක් නෙවෙයි දූවරු පවා එහෙම හුවමාරු භාණ්ඩ විදියට භාවිත කළා.
භාණ්ඩ නිෂ්පාදනය, පරිභෝජනය සහ අධ්‍යාපනය
ඔය අතරවාරයේ කෙමෙන් කෙමෙන් සංවර්ධනය වුණ මිනිසා භාණ්ඩ නිෂ්පාදනයට, අලෙවියට යොමු වුණ අතර තවත් පිරිසක් ඒ භාණ්ඩ පරිභෝජනය සඳහා යොමු වුණා.
එතනදිත් හැම පුද්ගලයෙක් ම තමන් ළඟ එතෙක් පැවති භාණ්ඩය වෙනුවට ඊට වඩා තරමක් හෝ උසස් යැයි සැලකෙන, වටිනාකමක් සහිත භාණ්ඩ පරිභෝජනයට හුරු වුණා.
මිනිස් ශරීර පවා භාණ්ඩ විදියට වෙළඳ පොළේ අලෙවි වුණා. විශේෂයෙන් ම පිරිමි වහලුන් ලෙසත් කාන්තාවො ප්‍රභූ පෙළැන්තියේ නරුම ආශා සංතෘප්ත කරගන්න පුළුවන් භාණ්ඩ ලෙසත් භාවිත කළා.
කාලයක් යද්දි මේ ක්‍රමය වෙනස් වෙලා පාලකයන්ගේ අවශ්‍යතාවයට අනුව පාලිතයන් මෙහෙයවා ගැනීම සඳහා අධ්‍යාපනය ද සකස් වුණා. වහල් යුගයෙ බලහත්කාරයෙන් වැඩ ගත්ත ක්‍රමය වෙනුවට ක්‍රමයෙන් ධනවත් වුණ පාලකයො ඔවුන්ගේ පාලන ක්‍රමයේ අවශ්‍යතා සපුරාගන්න වුවමනා කරන විදියෙ මිනිස් ප්‍රජාවක් නිර්මාණය කරා.
පාලකයො පාලිතයන්ට අධ්‍යාපනය දෙන්නෙ පවා මේ ඉලක්කය සපුරාගන්න. මේකට හොඳම උදාහරණ තමයි අපේ රට යටත් කරගත්තු විදේශිකයො එයාලගෙ පාලන තන්ත්‍රය පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම් සහිත මිනිස්සු නිර්මාණය කිරිම වෙනුවෙන් මෙරටට අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම, වතු පාලනය කිරීම සඳහා වතුපාලකයෝ කියල කොටසක් පුහුණු කිරීම, කම්කරුවෙ රැකියාවට ගිහින් ආපසු එනතුරු එයාලගෙ දරුවො බලාගන්න ක්‍රමවේදයක් සැකසීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවක පිරිසක් බිහි කිරීම, මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා ඉංජිනේරුවරු කියල කොටසක් නිර්මාණය කිරීම.
හැබැයි මේ මොන දේ කළත් දුප්පත්කම අවසන් කරන්න ඒ අයට වුවමනාවක් තිබුණෙ නැහැ. මොකද ඒ අයගෙ පැවැත්ම සඳහා දුප්පතුන් වුවමනා වුණා. අදත් ලෝකය පුරා සිද්ධ වෙන්නෙ ඒ දේ ම යි.
හැබැයි ඉස්සරට වඩා හුඟාක් වෙනස්. ඒ වෙනුවට අද ශ්‍රම බළකා කිහිපයක් ම නිර්මාණය කෙරෙනවා. ඒ: කායික ශ්‍රම බළකාය, මානසික ශ්‍රම බළකාය සහ තාක්ෂණික බළකාය. මේ හැම කෙනෙක් ම එක් හෝ තවත් කණ්ඩායමකගෙ වහල්ලු. හැබැයි අපි පිළිගන්න කැමති නැහැ අපි වහල්ලු කියල. ඒකට හේතුව තමයි ඒ ඒ පුද්ගලයන් විවිධ ආකාරයෙන් නාමකරණය කර තිබීම. දොස්තරවරයා, ඉංජිනේරුවා, විනිශ්චකාරයා, නීතිඥයා, ආරක්ෂක සේවා සපයන්නා, මාධ්‍යකරණයේ නියැළෙන්නා පමණක් නෙවෙයි කලාකාර ප්‍රජාව පවා තම් නොදැනුවත්ව ම තවත් කෙනෙකුගෙ එහෙමත් නැතිනම් තවත් කණ්ඩායමකගෙ වහල්ලු බවට පත්වෙලා ඉවරයි.
දුප්පත්කම සහ පාලක ප්‍රජාව
දැන් අපි ‘දුප්පත්කම’ නමැති සාධකය ඉදිරියේ ලංකාවෙ පාලකයො කටයුතු කළේ කොහොමද කියල ටිකක් හැරිල බලමු.
අපි දන්න ඉතිහාසයේ වගේ ම නොදන්න ඉතිහාසයෙදි වුනත් සියලු මිනිස්සු සම අයිතිවාසිකම් භුක්ති වින්දා නම් ඒ ගල් යුගයෙදි විතරයි කියලයි මගේ නම් අදහස.
එදා සාමුහිකව දයම් කරා; ඒ දඩයම සාමුහිකව බෙදාගත්තා. පසුකාලිනව සාමුහිකව ගොවිතැන් කරා. අස්වැන්න සාමුහිකව බෙදාගත්තා. එදිනෙදා වත්ත-පිටියෙ වැඩ පවා බෙදා-හදාගෙන කටයුතු කළා.
නමුත් නායකයෙක් හෝ නායක කණ්ඩායමක්, එහෙමත් නැත්නම් පාලකයෙක් හෝ පාලක කණ්ඩායමක් බිහි කරගත්තු දවසෙ ඉඳල ඒ පාලකයන් වෙනුවෙන් හම්බ කරන්න සිද්ධ වුණෙත් පාලිතයන්ට.
ඒ පාලිතයොත් විවිධ කොටස්වලට බෙදුණ. ඒ: ගොවියො, විවිධ භාණ්ඩ නිෂ්පාදකයො, විවිධ කටයුතුවල නියැළෙන්නො යනාදි වශයෙන්. අවසානෙදි ඒ ඒ රැකියාවලට අනුව කුලයක් කියල සංකල්පයකුත් ස්ථාපනය වුණා.
එදා සිට අද දක්වා ම (අඩු වැඩි වශයෙන් වුනත්) මේ කුල සාධකය රටේ හැම කටයුත්තක දි ම පෙරමුණ ගත්ත.
සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නංගර නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය හඳුන්වා දෙන තුරා ම ඒ සාම්ප්‍රදායික රැකියාවලින් පරිබාහිර රැකියාවක් කරන්න යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් පෙලඹුණා නම් ඒ ඉතාමත් කලාතුරකින්. එහෙම කරන්නත් අර කලින් සඳහන් කරපු ප්‍රභු යැයි ඔවුන් විසින් ම හඳුන්වාගත්තු කොටස් ඉඩ දුන්නෙ නැහැ. අඩු කුලේ කියල සම්මත පුද්ගලයෙකුට රජයේ රැකියාවකට යන්න තියෙන අවස්ථා පවා බලෙන් පැහැරගත්ත.
ඒ සියල්ලේ ම අවසන් ප්‍රතිඵලය වුණේ හැමදාමත් ‘දුප්පත්’ කියල කොටසක් ඉතිරි වුණ එක. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පාලකයො ඇත්තට ම මොකද කළේ...?
පාලකයන්ගේ පහසුව පිණිස බෙදා වෙන් කිරීම:
යුද්ධ කරල දෙමළ මිනිස්සු සංහාරය කරන්න තරම් උනන්දුවක් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටයි පාලකයන්ටයි තිබුණ ද...?
රාජ්‍ය පාලකයො මේ සම්බන්ධයෙන් සාධනීය පියවර ගන්න උත්සාහ කළත් රටේ පැවතුණ විවිධ බෙදිම් ඊට හරස් වුණා.
විශේෂයෙන් ම මේ ඊනියා ආගමික නායකකාරාදින්ගේ බලපෑම නිසා පාලකයන්ටත් සමහර තීරණ අකුළගන්න සිද්ධ වුණා.
නිකමට හිතන්නකො... බණ්ඩාරනායක සංකල්පයක් ගෙනාව ‘රාජ්‍ය භාෂාව සිංහල පමණයි’ කියල. ඒකට විරුද්ධව සිංහල කතා නොකරන ප්‍රජාව පෙළගැහුණ. ඒ විරුද්ධත්වය සමනය කරන්න උත්සාහ කරද්දි ආයෙත් අර ආගමික නායකකාරාදින් එකතු වෙලා බණඩාරනායකට විරුද්ධව කැරලි ගැහුව.
අවසානෙදි ඒක නැවතුණේ මේ රටේ මිනිස් ජීවිත ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අහිමි කළ තිස් වසරක යුද්ධයෙන්.
නිකමට හිතන්න... යුද්ධ කරල දෙමළ මිනිස්සු සංහාරය කරන්න තරම් උනන්දුවක් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටයි පාලකයන්ටයි තිබුණ ද...?
1953 හර්තාලයෙන් පස්සෙ රට දියුණු වෙයි කියල හිතුවට එහෙම නොවුණෙ ඇයි...?
රට දියුණු කරනවට වඩා අපේ පාලකයන්ටයි අන්තවාදි සුළු පිරිසකටයි වුවමනා වුණේ ශත පහක වටිනාකමක් නැති ජාතියයි ආගමයි කියන ඊනියා සංකල්ප දෙක බේරගන්න කියල රටේ දියුණුවට තිබුණ මුදල් ඒ වෙනුවෙන් වැය කරන්න.
දැන් ඔය තිස් වරක් යුද්ධ කරලත් අපි ඔය කියන ඊනියා සංකල්ප දෙක බේරගෙන තියෙනව ද...? මොනයම් හෝ අන්තවාදි පිරිසක් හිතනවා නම් එහෙම බේරගත්ත කියල, ඒ බේරා ගැනීමෙන් ලැබුණ ප්‍රයෝජනය මොකක් ද...?
පාලිත පාලක බලපෑම සහ පවුල් දේශපාලනය
මගේ පුද්ගලික අදහසට අනුව නම් මේ රට දියුණු නොවෙන්න තවත් හේතුවක් තමයි පාලිතයන්ට ඉවසීමක් නොමැති වීම සහ පාලකයන්ගේ බලතන්හාව.
1947 අවුරුද්දෙ ඩී. එස්. සේනානායක බලයට පත්වෙද්දි ඇත්තට ම අපේ රට 1505 අවුරුද්දෙ තිබුණට වඩා දියුණුයි නෙ. ඒක කළේ පරංගියා ද, ලංදේසියා ද, එංගලන්තෙ සුද්ද ද කියන එක පැත්තකින් තිබ්බම ඒ වකවානුවට සාපේක්ෂව රට යම් දියුණු මට්ටමක පැවතුණා නෙ.
සේනානායක තුළ වුනත් කිසියම් ජාතිවාදි පදනමක් තිබුණ තමයි. නමුත් ගොවි ජනපද ව්‍යාපාරය තුළින් රටේ කාෂිකර්මාන්තය දියුණු කරන්න ඔහු උත්සාහ කළේ නැහැ කියල කාටවත් කියන්න බැහැ නෙ.
ඒකට කොක්ක දැම්මෙ වමේ ව්‍යාපාරය කියලත් අපි දන්නව නෙ. දොස්තර ව්ක්‍රමසිංහගෙ රට හදන සැලැස්ම නරකයි කියල මේකෙන් කියවෙන්නෙ නැහැ. නමුත් එදා ගල් ඔය ව්‍යාපාරය ගැන කොමියුනිස්ට් පක්ෂය පැතිරෙව්වෙ මහා භයානක කතා කියල අපි දන්නවෙ නෙ. ඒ ව්‍යාපාරය හොඳ කටයුත්තක්.
ඩඩ්ලි සේනානායකගෙ ආණ්ඩුව ශත 25ට තිබුණ හාල් සේරුව ශත හැත්තැ පහ දක්වා වැඩි කිරිමට එරෙහි වුණ අයගෙ එකතුවෙන් 53 ඇති කරපු හර්තාලයෙන් ඩඩ්ලි සේනානායක මුහුද මැද තිබුණ නැවකට ගාල් කරා.
ඩඩ්ලිට කරන්න බැහැ කියල එයා එළවගත්තට පස්සෙ බලයට ආවෙ සර් ජෝන් කොතලාවල. එයා නම් අපි දන්න කරමට රටේ දියුණුවට කියල වටිනා දෙයක් කරේ නැහැ. හැබැයි ඔහු ඍජුව ම සිවුරු විකුණගෙන කන චිවරධාරින්ට එරෙහිව අදහස් ප්‍රකාශ කරා. මට අනුව නම් ඒ වැඩේ මාර රැඩිකල් ආයෙත් එහෙම පාලකයෙක් බිහි වෙන එකකුත් නැහැ. මොකද දැන් ඉන්න වාමාංශිකයොත් අටපිරිකර උස්සගෙන ගිහින් දණ්ඩ නමස්කාර කරන නිසා.
ඊට පස්සෙ රටේ නායකය වුණේ බණ්ඩාරනායක. ඔහුට රට දියුණු කරන්න බැරි වුණ සිද්ධිය මොකක්ද කියල යට කෙටියෙන් ලිව්ව. අදත් අපි ඒ පාපයට වන්දි ගෙවනව. ඒත් ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගනීවි කියල නම් විශ්වාසය තියන්න බැහැ. මොකද රාජපක්ෂ සනුහරය තවම මේ ලංකාවෙ දේශපාලන භූම්යෙ ඇලිල ඉන්න නිසා. හරි... අපි ඒක අනාගතයට බාර දෙමුකො.
බණ්ඩාරනායකඝාතනයෙන් පස්සෙ බලයට පත්වුණ දහනායක අගමැති ධුරයෙ හිටියෙ ඉතාම කෙටි කාලයක් නිසා ඔහුට හොඳක් හෝ නරකක් කියන්න අපිට බැහැ.
ඊට පස්සෙ ඩඩ්ලි සේනානායකත් සිරිමාවෝ බණ්ඩාරනායකත් 1970 වෙනතුරු රට පාලනය කරාට කලින් ඩි. එස්. සේනානායක වගේ ම යම් යම් කාෂිකර්ම ව්‍යාපාර සදහා ජනතාව ඈත එපිට වනාන්තරවල පදිංචි කළාට ඒක ඇඟට දැනෙන තරමෙ දියුණුවක් වුණේ නෑ.
හැබැයි සිරිමාවෝ බණ්ඩාරනායක 1970 බලයට පත්වුනාට පස්සෙ ඉතා හොඳ තීරණයක් ගත්ත. ඒ තමය් පුද්ගලික ඉඩම් අක්කර 50ට සීමා කිරීම. එතනදි සිරිමාවෝ බණ්ඩාරනායකගෙ වගේ ම බණ්ඩාරනායකට අයිති වෙලා තිබුණ ඉඩම් අක්කර හාරදහසක් විතර අහිමි වෙනවා.
මෙන්න මෙතනදි ඒ ඉඩම් අයිති කරගෙන හිටපු ධනපතියො සිරිමාවෝ බණ්ඩාරනායක එක්ක වෛර බඳිනව. ඒ වෛරය ආයුධයක් කරගත්තු ජේ. ආර්. ජයවර්ධන ධනපතියොත් එක්ක එකතු වෙලා සිරිමාවෝට එරෙහි කුමන්ත්‍රණ දියත් කරනව. ආයෙත් ජේ. ආර්. ජයවර්ධනගෙ බල තන්හාව ඉස්මත්තට එනව.
හාල් පොලු, මිරිස් පොලු සහ බත් කෑමේ සීමාව
දැන් කියන්න පුළුවන් ඒ කාලෙ හාල් පොල් තිබුණ, මිරිස් පොලු තිබුණ, සතියට දවස් දෙකක් බත් කන්න තහනම් කරා කියල. ඔවු... එහෙම වුණා. මිනිස්සු කෙහෙල් අළ විතරක් නෙවෙයි හබරල අල පවා තම්බගෙන කෑවා. නමුත් මිනිස්සු කෘෂිකර්මාන්තය කෙරෙහි යොමු වුණා.
මගේ පුද්ගලික විශ්වාසය නම් එදා සිරිමාවෝ බණ්ඩාරනායකට එරෙහිව ජේ. ආර්. ජයවර්ධන කුමන්ත්‍රණය කළේ නැත්නම්, ඇගේ පාලන තන්ත්‍රය පලවා හරින්න කටයුතු ළේ නැතිනම් රට යම් වෙනසකට භාජනය වෙන්න තිබුණ කියල.
නමුත් අපේ රටේ මිනිස්සු කුසගින්න දරාගන්න, වෙහෙස මහන්සි වෙන්න තිබුණ නොහැකියාව ඉස්සරහට දාපු ජේ. ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් එක්ක 1977දි ජයග්‍රහණය කළා.
මේ කාලය ඇතුළත සිරිමාවෝ නැඹුරු වුණේ සමාජවාදයට කියල කවුරු හරි තර්ක කරනව නම් මම පුද්ගලිකව ඒකටත් විරුද්ධයි. මොකද එහෙම අදහසක් තිබුණ නම් ඇන්. ඇම්. පෙරේර ලංකාවෙ නොහිටපු වෙලාවක එයාගෙ මුදල් ඇමතිකම් උදුරල අරගෙන ෆිලික්ස් ආර් ඩයස්ට දෙන්නෙ නැහැ නෙ. ඒ තමයි පවුල් දේශපාලනයෙ අනිටු විපාක. සිරිමාවෝට වුවමනා වුණේ දේශීය නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන අතර ම ලෝකය ගමන් කරන ක්‍රමය අනුව රට ගමන් කරවන්න. ඒත් අපේ රටේ මිනිස්සුන්ට ටිකක් හරි ඉවසන්න බැරි වුණා; ඒ නොඉවසීම ජේ. ආර්. ජයවර්ධන ආයුධයක් කරගත්ත.
සමාජවාදයට එරෙහි ධනේශ්වරය
සමාජවාදි ක්‍රමයක් බිහි වෙනව නම් හොඳයි. හැබැයි ලෝකයේ වැඩිපුර ම පවතින්නෙ ධනවාදය, පරිභෝජනවාදය. ඒහෙම තත්ත්වයක් තුළ ධනවාදී ව්‍යාපාරිකයො (ධනවාදි රටවල නායකයො) උත්සාහ කරන්නෙ කොහොම හරි තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරගන්න.
එහෙම කරන්න නම් තවත් රටවල නිෂ්පාදන ආර්ථිකය බිඳවැට්ටවිය යුතුයි. මගෙ පුද්ගලික අදහස නම් අපේ රටේ සිද්ධ වුණේ ඒක.
මේ මොන දේ කරත් රටක පාලකයෙක් කෙරෙහි ජනතාවගෙ විශ්වාසය පලුදු වුණාට පස්සෙ ඒ පාලකයට තව දුරටත් බලය පවත්වාගෙන යන්න බැහැ කියල ධනේශ්වරය හොඳට ම දන්නව. ඊළඟට ඔවුන් තොරගන්නෙ ජනතාව මර්දනය කරන වැඩ පිළිවෙළ නෙවෙයි. පාලකයා අහෝසි කරන වැඩ පිළිවෙළ.
ඒ නිසා තමයි ධනේශ්වරය එක අතකින් ද්‍රවිඩ සන්නද්ධවාදින්ට ආයුධ සපයන අතර ම අනෙක් අතින් රටේ පාලක පෙළැන්තියට යුද ආධාර දෙන්නෙ; අවි ආයුධ අලෙවි කරන්නෙ. හැබැයි අපේ රටේ ඉන්න පුර වස්සොයි වැස්සියොයි (ඊනියා වම්මුද ඇතුළුව) ධනේෂ්වරය පරාදය කරනව වෙනුවට වෙනත් භාෂාවක් කතා කරන, වෙනත් ආගමක් අදහන. වෙනත් සංස්කෘතික පසුබිමක වෙසෙන ප්‍රජාව පරාජය කරන්න මාර වැඩ කොටසක් කරනව. එහෙම කරල ‘‘අපේ රට බේරගත්ත අප්පච්චි’’, ‘‘අපේ මහ රජාණෝ’’, ‘‘අපේ රණවිරුවාණෝ’’ කියල අවස්ථාවාදී, බල ලෝභී. අධම, මිනීමරු, මුග්ධ පාලකයෙක් හෝ කණ්ඩායමක් ඔළුව උඩ තියාගෙන අදහනව. එවුන් පුළුවන් තරම් රටේ සම්පත් ටික හොරකම් කරනව. ඒ නිසා රටේ දුප්පත්කම එන්න එන්න ම වැඩි වෙනව.
ආර්. ප්‍රේමදාස ඝාතනය කරන්නෙත්, ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල කරන්නෙත්, ඒ ගෝඨාභයට රටින් පලා යන තැනට වැඩ සිද්ධ කෙරෙන්නෙත් මෙන්න මේ ධනේවරයේ බලපෑම නිසා.
එක අතකින් තෙරේසා මවුතුමියගෙයි නයිටං ගර්ල්ගෙයි ගුණ වයන අතර අනෙක් අතින් ඖෂධ මාෆියාව වර්ධනය කරන එක.
ඒ නිසා හිතන්න එපා ඔය යුරෝපා සංවර්ධනය හරි වෙනත් මොකක් හරි ජාත්‍යන්තර ව්‍යාපාරයක් හරි මේ රටේ ඇත්ත ප්‍රශ්නෙට විසඳුම් දේවි කියල. මොකද මේ ගෙවන්නෙ ගෝලීය ධනේශ්වරයේ උච්චතම අවධිය.