බොහෝ කලක සිට ඉන්දියාවේ "ඔසප් වීම" ප්‍රසිද්ධියේ කතාකිරීමට තහනම් මාතෘකාවක් වී ඇතත්, මේ වන විට ඇතැම් තරුණියන් තම නිවෙස්වල බිත්තියේ හෝ දොරේ තම ඔසප් "කාල ප්‍රස්ථාර" ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන තිබේ.



ඔවුන්ගේ ඔසප් වීමේ දින වකවානු දැක්වෙන මෙම ඔසප් කාල ප්‍රස්ථාර නිසා, ඔවුන්ගේ මාසික චක්‍රය ගැන සැලකිලිමත් වීමට අවස්ථාව ලැබෙනවා සේම එම මාතෘකාව වටා ඇති ලැජ්ජාව බිඳ දැමීමටද එය උපකාරී වී තිබේ.

"අපේ ඔසප් චක්‍රය ක්‍රමවත්ද නැද්ද කියලා දැනගන්න මේ කාල ප්‍රස්ථාර අපට උපකාරී වෙනවා. ඒවා ප්‍රමාද නම් හෝ අක්‍රමවත් නම්, අපිට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්," උතුරු හර්යානා ප්‍රාන්තයේ කන්වාරි ගම්මානයේ ජීවත් වන 33 හැවිරිදි සුප්‍රියා වර්මා පවසයි.

ඇය පවසන්නේ තම ගම්මානයේ නිවෙස් 35ක කාන්තාවන් මේ වන විට තම ඔසප් කාල ප්‍රස්ථාර සකස් කරමින් සිටින බවත් එය සාමාන්‍යයෙන් නිහඬව හෝ අල්ප වශයෙන් සාකච්ඡා කෙරෙන මාතෘකාවක් සම්බන්ධයෙන් වඩාත් විවෘත සංවාදයකට පරිවර්තනය කරන බවත්ය.

එසේම එය ඔවුන්ගේ ජීවිතය පහසුකර ඇත.

dfserrහර්යානා ප්‍රාන්තයේ බොහෝ කාන්තාවන් තම නිවෙස්වල ඔසප් කාල ප්‍රස්ථාර තබා ඇත

"මීට කලින් ගැහැනු ළමයින් සහ කාන්තාවන් ඔසප් වේදනාවෙන් ඉඳිද්දි හෝ අපහසුතාවයට පත් වුණාම තමන්ගේ පවුලේ අය එක්ක පවා ඒ ගැන කතා කරන්න බැරි නිසා දිගටම වැඩ කරගෙන ගියා. ඒත් දැන් කාන්තාවක් ඔසප් වුණාම පවුලේ අයත් දැනුවත් වෙනවා. ඔවුන්ට දැන් ඒගැන වැඩි අවබෝධයකුත් තියෙනවා." ඇය පවසයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ, දැන් ඇගේ පවුලේ අය එම කාලය තුළදී ඇයට වැඩි සැලකිල්ලක් දක්වන බවත්, එම කාලයේදී වැඩිපුර නිදාගැනීමට පවා ඉඩ සලසන බවත් ය.

"දැන් එයාලා දන්නවා මට පීරියඩ් එක තියෙන දවස සහ මට ඒ කාලෙට විවේකයක් ඕනේ කියලා. එයාලා 'සනීප නෑ' කියනවා මිසක් වෙන විශේෂ යමක් නොකිව්වාට මට දැනෙනවා වෙනසක් වෙලා තියෙනවා කියලා."

drtet5ජග්ලාන් ඔසප් වීම සහ කාන්තා සෞඛ්‍යය සම්බන්ධ ගැටළු සාකච්ඡා කරන කාන්තා රැස්වීම් සංවිධානය කරයි

ඔසප් වන කාල සීමාවේදී ඉන්දියානු කතුන්ට තවමත් විවිධ බාධක යටතේ කල් ගෙවන්නට සිදුව තිබේ. ඔවුන් එම කාලයේ දී අපිරිසිදු යැයි සලකනු ලබන අතර සමාජ හා ආගමික උත්සව පමණක් නොව නිවසේ මුළුතැන්ගෙය පවා තහනම් කරනු ලැබේ. ඇතැම් ග්‍රාමීය සහ ගෝත්‍රික ප්‍රජාවන් තුළ ඔසප් වූ කාන්තාවන්ට වෙනම 'ඔසප් පැල්පත්වල' කල් ගත කිරීමට සිදු වේ.

ඔසප් කාල ප්‍රස්ථාර සංකල්පය 'සෙල්ෆි විත් ඩෝටර්' පදනමේ අධ්‍යක්ෂ සුනිල් ජග්ලාන්ගේ අදහසකි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ "මාන් කි බාත්" නම් ගුවන් විදුලි වැඩසටහනේ දී පවා මේ ගැන විශේෂයෙන් සඳහන් කෙරිණි.

"අපි අපේ ගෙවල්වල ඔසප් වීම ගැන විවෘතව කතා කරන්නේ නැහැ," දූවරු දෙදෙනෙක් සිටින, 38 හැවිරිදි පියෙක් බීබීසීයට පැවසීය.

"ඒත් මගේ ලොකු දුව ලොකු වෙනකොට මට හිතුණා එයා එක්ක මේ ගැන විවෘතව කතා කරන්න ඕන කියලා. මම වෛද්‍යවරු එක්ක කතා කරලා තොරතුරු එකතු කරන්න පටන් ගත්තා. ඔසප් වීමේදී කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන වැඩි විස්තර දැනගෙන මම එයා එක්ක කතා කරන්න පටන් ගත්තා. එය," ඔහු පැවසීය.

මීට වසර දෙකකට පමණ පෙර ඔසප් කාල ප්‍රස්ථාර පිළිබඳ අදහස මුල් බැස ගත්තේ මෙම සංවාදයන් මගිනි.

මෙම ප්‍රස්ථාර මුලින්ම භාවිතයට ගැනුනේ හර්යානා හි නූහ් සහ ජින්ඩ් දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ගම්වල ය.

එතැන් සිට මෙම ව්‍යාපාරය ඉන්දියාවේ ප්‍රාන්ත හතකට ව්‍යාප්ත වී ඇති අතර එයට කාන්තාවන් 1,000 ක් පමණ සහභාගී වී ඇත.

බොහෝ ප්‍රස්ථාර, හර්යානා, උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් යන ප්‍රාන්තවල ප්‍රදර්ශනය කර ඇති බව ජග්ලාන් පවසයි. මෙම ප්‍රාන්ත තුනේ දැඩි ගතානුගතික බවක් සහ පීතෘ මූලික අදහස් මුල් බැස ගෙන ඇති බැවින් එය විශිෂ්ට ජයග්‍රහණයකි.

dtrr54ඇතැම් ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ප්‍රස්ථාර ප්‍රසිද්ධියේ එල්ලීමේදී ඔවුන්ගේ පවුල්වලින් එල්ල වූ විරෝධතාවන්ට ද මුහුණ දීමට සිදු විය.

මෙම ප්‍රයත්නයට විරෝධතාවන් ද එල්ල වී තිබෙන බවට ජග්ලාන් පවසයි.

ඔහු මෙම ප්‍රස්ථාර එල්ලා ඇති ආකාරය පිළිබඳ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල පළ කළ විට ඔහුට බොහෝ විවේචන එල්ල විය ඒයින් "99%ක් ම [විරුද්ධ වුණේ] පිරිමි."

ඇතැම් ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ප්‍රස්ථාර ප්‍රසිද්ධියේ එල්ලීමේදී ඔවුන්ගේ පවුල්වලින් එල්ල වූ විරෝධතාවන්ට ද මුහුණ දීමට සිදු විය. ඔවුන් අතර හර්යානා ප්‍රාන්තයේ භිවානි දිස්ත්‍රික්කයේ පදිංචි 21 හැවිරිදි ප්‍රියංකා වර්මා ද වූවාය.

"මගේ සහෝදරියගේ විවාහ මංගල්‍යයේදී, පවුලේ සමහර අය කිව්වේ අමුත්තන් ගෙදරට ආවාම ඔසප් කාල ප්‍රස්ථාරය දකින එක හොඳ නැහැ කියලා," ඇය පවසන්නේ ඇගේ ඇතැම් ඥාතීන් එය ඉරා දැමූ බවයි.

නමුත් ඇය නොසැලුණා ය. ඇය තවත් එකක් එල්ලා තම සහෝදරියගේ නමද එම ප්‍රස්ථාරයට එක් කළාය.

ජග්ලාන් පවසන්නේ මෙම ප්‍රයත්නය ආරම්භයේදී, එනම් මීට වසර දෙකකට පෙර, ඔහු ප්‍රස්ථාර 2,800 ක් බෙදා හැර ඇති නමුත් නිවාසවල තබා තිබුණේ 30% ක් පමණි. නමුත් දැන් තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පෙනෙන අතර මෙම ප්‍රස්ථාර සඳහා ඇති ඉල්ලුම ද වැඩි වී ඇත.

xdr4

ජග්ලාන් දැන් ගැහැණු ළමයින්ට ඔවුන්ටම ප්‍රස්ථාර සකසා ගැනීමට උපකාර කරන ඔන්ලයින් වැඩමුළු පවත්වයි. එසේම ඔහු සංවිධානය කරන තවත් රැස්වීම් වලදී ඔසප් වීම සහ කාන්තා සෞඛ්‍යය සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සහ සනීපාරක්ෂක තුවා සහ මෙන්ස්ට්‍රල් කප් (menstrual cups) පිළිබඳ තොරතුරු ද සාකච්ඡාවට බඳුන් කරයි.

හර්යානා ප්‍රාන්තයේ පල්වාල් දිස්ත්‍රික්කයේ මන්ද්කෝලා ගම්මානයේ අන්ජු පංඝාල් පවසන්නේ මීට පෙර ඔසප් වීම ඍජුව සාකච්ඡා කළ හැකි මාතෘකාවක් නොවූ බවයි.

"සනීපාරක්ෂක තුවා ගනිද්දිත් අපිට ලැජ්ජයි, පීරියඩ්ස් ගැන මිථ්‍යාවන් තියෙනවා, ගෑනු අයට අච්චාරු කන්න, කෝවිල් යන්න තහනම්. ඔසප් කාන්තාවක් නිසා අච්චාරු නරක් වෙන්නේ නැති බව හෝ කෝවිල අපිරිසිදු නොවන බව එයාලාට කියලා දෙන්න අමාරුයි," ඇය තවදුරටත් පවසයි.

අංජු පවසන්නේ ඇය තම මන්ද්කෝලා ප්‍රදේශයේ පිහිටි නිවසේ ඔසප් කාල ප්‍රස්ථාරයක් ප්‍රදර්ශනය කිරීමට තීරණය කළ විට පවුලේ ඇතැම් සාමාජිකයන් එම අදහස පිළි නොගත් බවයි. කෙසේ වෙතත්, අවසානයේ ඔවුන් ඊට එකඟ විය.

ඔසප් වීම පිළිබඳ විවෘතව කතා කළ හැකි මට්ටමට මනෝභාවයන් ගෙන ඒමට කාලය ගත විය හැකි නමුත් ජග්ලාන්ගේ සහ මෙම තරුණියන්ගේ නොපසුබට උත්සාහය සමාජයේ වෙනසක් ඇති කිරීමට පටන් ගෙන තිබේ.

(BBC සිංහල සේවය)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්