සභාව කල් තැබීමේ විවාදයේදී පොදු ජන පෙරමුණේ රොමේෂ් පතිරණ මන්ත්‍රිවරයා ණය බර වැඩිවි රටේ බිඳ වැටීමේ වගකීම දේශපාලනඥයන් මෙන්ම රටේ ජනතාවද දැරිය යුතු බව කීය.
1948 සිට මේ දක්වා රටේ සංඛ්‍යා ලේඛන සසඳමින් සිදු කළ ඒ කරුණු දැක්වීම සියල්ලන්ගේ ඇස් ඇරවූ කතාවක් හැටියට සමහර සමාජ මාධ්‍ය විසින් උස්සා තැබිණ. එහෙත් යථාර්ථය නම් රොමේෂ් පතිරණ තවමත් රටට සිද්ධ වුන දේ ඉගෙණ ගෙන නැති බව ය.
රටක රාජ්‍යයක නොව කුටුම්බයක වුවද දීර්ඝකාලිනව සිදුවන විවිධ වෙනස්කම් බුද්ධිමත්ව කළමනාකරණය කළ යුතුවේ.
වෘත්තියෙන් වෛද්‍ය වරයෙකුවූ රොමේෂ් පතිරණද සහභාගි වූ, ගෝඨාභයගේ පාලනය මෙන් නිදහස් ලංකාවේ කිසිම පාලකයෙකු වසංගතයක් මැඩීමට කොළ බෙහෙත් පොවන තැනට රටේ ජනතාව තල්ලු කළේ නැත. එසේම රාජ්‍ය ආදායම බිංදුවට වැටෙනු දැක දැක කෝටිපති ව්‍යාපාරිකයන් බදු ගෙවීමෙන් නිදහස් කළේ නැත. සීනි පොල් තෙල් ආනයන බදු සත ගණනට බස්සවා රටේ භාණ්ඩාගරය හිස් කළේ නැත. වැඩිවන ජනගහණයට අපේක්ෂිත අවශ්‍ය පහසුකම් සැපයීම ලෝකයේ හැම රටකම පාලකයාට පැවරෙන වගකීමකි.
රොමේෂ් පතිරණ කියන්නේ ජනතාව බදු නොගෙවීම නිසා එකී පහසුකම් සැපයීමට අඛණ්ඩව ණය ගැනීමට ලංකාවේ පාලකයන්ට සිදු විය. සිහි බුද්ධිය ඇති පුරවැසියෙකු ඒ විග්‍රහය තේරුම් ගන්නේ පාලකයන් චේතනාන්විතව බදු අය නොකළ බවය.
රොමේෂ් පතිරණගේ චෝදනාව ඩඩ්ලි සේනානායකට අදාළ නැත.
එහෙත් එකී චෝදනාව නිදහස් ලංකාවේ හැම පාලකයෙකුටම අදාළ නැත. 2022 ජූලි 19 වෙනි දින අනිද්දා පුවත් පතේ ඩඩ්ලිගේ පරාජයේ සිට අද තෙක් දේශපාලනය නම් ලිපියේ “ මේ කියැවෙන්නේ ඩඩ්ලිගේ විශිෂ්ඨත්වය පමණක් නොවේ. ඩඩ්ලි ජීවත්වූ යුගයේ ලංකාවේ පැවති විශිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාවය. ඒ වටපිටාව තුළ සමකාලීන දේශපාලඥයන්ට සාපේක්ෂව ඩඩ්ලි අති විශිෂ්ඨයෙකි.” යන සඳහන, තහවුරු කිරීමට, රටේ බදු ආදායම පිළිබඳ ඩඩ්ලි තුළ පැවති ආකල්පය දැක්වෙන සිද්ධියක් විස්තර කරයි.
අගමැති ඩඩ්ලිගේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩොනල්ඩ් රණවීර බදු ගෙවීම පැහැර හැරීමක් වාර්තාවූ සැනින් වහා නොගෙවූ බදු අය කර ගන්නා ලෙස දේශීය ආදායම් කොමසාරිස්ට නියම කිරීමෙන් නො නැවති, ඩොනල්ඩ් රණවිර කැඳවා වහා බදු මුදල් ගෙවා තමන්ට වාර්තා කරන ලෙස දන්වයි.
ඒ හේතුව නිසාම, නැවත ඩොනල්ඩ් රණවීරට එජාපයෙන් නාම යෝජනා දුන්නේ නැත.
1970 නුවරඑළිය ආසනයට එජාපයෙන් ගාමිණී දිසානායක නම් කළේ එහි ප්‍රතිපලය හැටියටය. මේ සිද්ධිය කියන්නේ කුමක්ද? බදු ගෙවීම පැහැර හැරීම යනු පුරවැසි විශ්වාසය කඩකිරීමක් බවය.
ඊට සාපේක්ෂව ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව බදු ගෙවීම පැහැර හැරීමේ නඩු විභාග වෙමින් පැවතියදී හෙතෙම රොමේෂ පතිරණ සමග එකම කැබිනට් මණ්ඩයේ අසුන් ගත්තේය. රොමේෂ් සහ ජොන්ස්ටන් දෙදෙනාම රට විනාස කළ ගෝඨාගේ තකතීරු රාජ්‍ය පාලනයේ සහාය වූහ.
රටේ අධ්‍යාපනය බිඳ වැටී ඇති බව කියන රමේෂ් පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනා ලංකාවේ පාසල් 40කින් පමණක් අධ්‍යාපනය ලැබූ අය බව හෙළි කරමින් රටේ පාසල් බහුතරය අපේක්ෂිත තත්වයට දියුණුව නැති බව කියා සිටී.
ඊට හේතුව අධ්‍යාපනය කඩා වැටිම නොවේ. දශක කිහිපයක සිට, පාර්ලිමේන්තුව නියෝජනය අප්පලාගෙන් පුතාලාට මාරුවීමත්, මන්ත්‍රි තාත්තලාගේ වරප්‍රසාද යටතේ එකී දරුවන් ලංකාවේ සුපිරි පාසල්වල අධ්‍යාපනය ලැබීමේ වාසනාව හිමි වීම බව රොමේෂ් නොදන්නවා විය හැකිය.
එසේම දිවයිනේ පාසල්වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආදි ශිෂ්‍ය සංගම් වැනි බාහිර බලපෑම් නිසා සිදු කිරීමට නොහැකි වූ බවට රෝමේෂ් තවත් කතාවක් කියා සිටී.
පාසල්වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආදි ශිෂ්‍ය සංගම් වැනි බාහිර බලපෑම් නිසා හකුළා ගන්නා තරමට රටේ පාලනය දුර්වලද යන්න පෙරළා ඇසිය හැකිය.
රටේ අධ්‍යාපනය යනු නූපන් පරපුර වෙනුවෙන් ඉටු කරන බරපතල වගකීමකි. අධ්‍යාපන විශේෂඥයන්ගේ නිර්දේශ රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරිමට බැඳි සිටින, පාලකයන් එකී වගකීම් පැහැර හැරියේ දේශපාලන වාසි තකා මිස, වෙනත් බාහිර බලපෑම් නිසා නොවේ. රජය පිළිගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදි ශිෂ්‍ය සංගම්වලට වැළැකිය හැකි නම් ඒ රටට අධ්‍යාපන ඇමතීන් අවශ්‍ය නොවන රමේෂ් මතක තබා ගත යුතුවේ.
මහනුවර උසස් බාලිකා විද්‍යාලය
ඩි.බි.විජේතුංග මහතා ජනාධිපති වූ පසුව ඔහුගේ හිතවතුන් ඒ ගැන කතා කළ විට, ජනාධිපති විජේතුංග, ශිෂ්‍යත්ව සමත් ඕනෑම ප්‍රදේශයකින් පැමිණෙන සිසුන් සඳහා වෙන් කළ ජාතික පාසල් පහසුකම් ප්‍රතිපත්තිය වෙනස් කිරීම අපරාධයක් බව කීය.
එදා විජේතුංග ජනාධිපති එසේ කල්පනා කළද, රමේෂ්ගේ පියා රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමති වී එක් පෑන් පහරකින් මහනුවර උසස් බාලිකා විදුහලේ ප්‍රාථමික පන්ති සඳහා දොර විවර කළේය. ජනාධීපති විජේතුංගට සාප්ක්ෂව වෘත්තියෙන් ගුරුවරයෙකුවූ රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමති ලෙස මේ තීරණය ගැනීමේදී හැසිරී ඇත්තේ දඩ කොලයක් නොදී රියදුරෙකු හමුවේ පාච්චල් වන පොලිස් කොස්තාපල් කෙනෙකු වාගේය.
අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් නොමිලේ සැපයෙන ලංකාවේ ඉහත කී තත්වය රටේ බදු ප්‍රතිපත්තිය යාවත් කාලින කිරීමේදී මේ කරුණු ගැඹුරෙන් සැලකිය යුතුවේ.
මුදල් ගෙවා සේවා ලබා ගැනීමේ නිදහස ජනතාව සතු යයි කිසිවකුට තර්ක කළ හැකිය. එහෙත් උක්ත විකෘතික හැසිරීම රටේ සම්පත් නාස්තිය මෙන්ම රාජ්‍ය වියදම් ඉහළ යාමකි.
රාජපක්ෂලා සමග දිගු කලක් රට පාලනය කළාට මේ තත්වය තේරුම් ගැනීමට තරම් පරිකල්පන ශක්තියක් රිචඩ් රොමේෂ් පතිරණලාට තිබිලා නැත. ජනතාව බදු ගෙවීමට උනන්දු නො වන්නේ පාලකයන් බදු මුදල් සිය වරප්‍රසාද සඳහා නාස්ති කරන නිසාය. මේ අනුව දැන්වත් රජයේ පැවැත්මට සරිලන තරමට බදු අය කිරීමට බලධාරින් වහා ක්‍රියා කළ යුතුවේ. පැවති තත්වය හේතුවෙන් ඇති නැති කවුරුත් එක පොදියට මූලික අවශ්‍යතා හිඟයෙන් කුස ගින්නෙන් මර බියෙන් කල් ගෙවූහ.
ආණ්ඩුවේ කොවිඩ් වසංගත ප්‍රතිපත්තිය අසාර්ථක බව රනිල් වික්‍රමසිංහ මුලින්ම රටට කියන විට, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හෝ නොවේ. පොදු ජන පෙරමුණ නියෝජනය කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේද ආණ්ඩුවේ අසාර්ථක බව ප්‍රසිද්ධියේ කීවාය.
වෛද්‍ය රොමේෂ් පතිරණලා විද්‍යාවට වඩා රාජපක්ෂලා විශ්වාස කළහ. ගෝඨාභය සිය පාර්ලිමේන්තු කණ්ඩායමේ අත්දැකීම් බහුල වෛද්‍ය වෘත්තිකයන් කී දෙනෙකුදෝ සිටියදී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නීතිඥ වරියකි.
රොමේෂ් පතිරණගේ විග්‍රහය අනුව ලංකාව බංකොලොත් වුණේ ණය ගැනීම නිසා නොව රටේ අමන පාලකයන් රට නන්නත්තාර කළ නිසාය.
රනිල්ට ජනාධිපතිකම දුන්නේ තාවකාලික පියවරක් බවට එස්.බී. දිසානායක කළ ප්‍රකාශයේ අරුත රහසක් නොවේ. අරගලය අතර තමන් සිදුවූ ආපදාව සාධාරණ වන්දියක් ලෙස හිත හදා ගත් රොමේෂ් පතිරණට සාපෙක්ෂව ඇස්.බී. දිසානායක තවමන් පූජා වට්ටිය අත තබා මැදමුලන දේවාල දොරටුවේ බලා සිටීම අනුකම්පා උපදවන්නකි.
දේශපාලනඥයන් පමණක් නොව බොහෝ පුරවැසියන් පවා රට දෙවෙනියට තබා ස්වාර්ථයෙන් කල්පනා කිරීම ණය ගැනීමට වඩා හානිකර විය. රාජපක්ෂලා නෙලුම් කුලුන ඉදි කළේ යාපනේ මිනිසුන්ට කොළඹ සිට සිරිපාදේ වැඳීමට විය හැකිය. කඩිනමින් මැද මුලනට යාමට තැනූ දකුණු අධිවේගි මාර්ගය තැනුවේ ත්‍රී විලරයකට, යතුරු පැදියකට යාම තහනම් ය.
පසුගිය මහ මැතිවරණ කාලයේ මට හමුවූ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු සමාජ මධ්‍ය නිසා දරුවන් හසුරුවා ගත නොහැකි බව කියවන්නට විය. ඊට හේතුව තම නව යොවුන් දියණිය රාජපක්ෂලා හොරුන් නොවේදැයි නිතර නිතර විමසීමය.
15 හැවිරිදි පාසල් දැරියකට රාජපක්ෂලාගේ හොරකම් වලට වඩා කල්පනා කළ යුතු දේ ඇති බව මම ද පිළිගනිමි. එහෙත් ඒ දැරිය රාජපක්ෂලාගේ හොරකම් නිතර සිහිපත් කළේ වෘත්තියෙන් නීතිඥයන්වූ සිය මවත් පියාත් රාජපක්ෂ නමටත් වැඳුම් පිදුම් කළ කේන්තියටය.
එකී වෘත්තිකයන් දෙදෙනා තම දියණියගේ යථාර්ථවාදි දැක්මට වඩා සිය අගතිගාමි දේශපාලන මතය ගැන ආඩම්බර වූහ. හෙට මැතිවරණයක් පැවැත් වුවත් ජනතාව ජරාජීර්ණ දේශපාලකයන් බහුතරයක් තෝරා ගන්නා බව මැතිවරණයක් ඉල්ලන විපක්ෂයට නො තේරීම පුදුමයකි.

යථාර්ථයේ මාලිමාවට සංවේදී ජන මතය හමුවේ, රාජපක්ෂ කොටුවට රනිල් තල්ලු කර රට ඇල්ලීමට මාන බලන සජිත් ප්‍රේමදාසගේ හෙට දවස තීරණාත්මකය. මැයි මැද භාගයේ කෝ ඩොලර් කියා උදේ හවා විමසූ සජබය අගෝස්තු 15 වෙනිදා කරුවල වැටෙන තෙක්ම, චීන නැව නිසා රනිල් වික්‍රමසිංහ කෙළවා ගනු ඇතැයි අපේක්ෂා කළහ.
තීරණාත්මක මොහොතක චීනයත් ඉන්දියාවත් සමබර කර ගත ජනාධිපති වික්‍රමසිංහගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ජේ.ආර්. ජයවර්ධන ඉක්මවා ගොස් හමාරය.
යුවන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට ඇතුල් වීමට අවසර දුන් දවසේ 2018 යහ පාලන යුගයේ රනිල් ඉල්ලා සිටි ආරක්ෂණ නිරීක්ෂණ ගුවන් යානා, ඉන්දියාව ලංකාවට පරිත්‍යාග කිරීම කලාපීය භූ දේශපාලනයේ සු විශේෂ සටහනකි.
අධ්‍යාපනය සෞඛ්‍ය මාර්ග පහසුකම් සලසන හැම අවස්ථාවකම පාලකයන් අත යට මුදල් ගසා කෑහ. 43 වෙනි අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පන්නා දැමුවේ දිවි නැගුම පනතේ සඳහන් අරමුදල් සහ ආයතන විගණනයෙන් ඉවත් කිරීමේ කොන්දේසි වලට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහි වූ නිසාය.
ජාත්‍යන්තර ආධාර ලබා නො ගැනීමත්, දේශිය බදු ආදායම අහිමි වීමත් නිසා රට ඇද වැටුණ බව රොමේෂ් පතිරණලා තේරුම් ගත යුතුවේ.
මේ අර්බුදයේදී රමේෂ් පතිරණ වැරදි විග්‍රහයක් මිස, රටට පලදායි අත්වැලක් හෝ පූර්වාදර්ශයක් නෙවේ.
ජෝර්ජියාව යනු ලංකාව මෙන් 2004 වර්ෂය දක්වා දුර්වල සහ දූෂිත බදු එකතු කිරීම් සහ ඉහළ බදු පැහැර හැරීම් නිසා පීඩාවට පත් රටකි. නව මානයකින් ගැටලුව තේරුම් ගැනීම හේතුවෙන් ජෝර්ජියාව සිය බදු ආදායම, 2004-2205 වසරේදී 24% අගයක් ගැනීම නව පාලකයන් සැලකිල්ලට ගත යුතුවේ.
“සියල්ල වටහා ගැනීමට කළ යුත්තේ සියල්ල අමතක කිරීමය.” යන ආප්තය මෙහිදී වැදගත් වේ. සන්සුන් වන ජන මනස දේශපාලනයෙන් විකෘති නොකළ යුතුවේ.
ලංකාවේ 2017 වාර්ෂික බාහිර රෝගීන් සංඛ්‍යාව මිලියන 5කි. දිනකට රෝගීන් 15000ක් ලෙස උපකල්පනය කොට, එක් රෝගියෙකුගෙන් රුපියල් 50ක් අය කළොත් වාර්ෂිකව රුපියල් මිලියන 273.75 ක් රාජ්‍ය භාණ්ඩාගරය ශක්ත්ිමත් වේ. මෙවැනි යෝජනාවක් හමුවේ විපක්ෂයේ සටන් පාඨය රෝගින් ගෙන් ගසා නොකව් යන්න නොවේ. බදු මුදල් හොරා නොකව් යයි බල කිරිමය. හෙවත් අරගලයේ රෙද්ද හොඳ පිට පෙරළා හැඳ ගැනීමය.
රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිදහස් ලබා වසර සියයක් ගෙවුණ තැන ලංකාවේ පැවැත්ම ගැන සඳහන් වේ. ඊට සාපෙක්ෂව මහින්ද 2014 සිල් රෙදි බෙදීම සමග රට යා යුතු ගමන් මග තේරුම් ගැනීමට හොඳ ඉඟියකි. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන් එහෙයියන් නොවිය යුතුවේ.

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.