ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි.



කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත.

මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ පින්වතෙකු බවට පත්වෙයි. පන්සලේ නායක හාමුදුරුවන් පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ මන්ත්‍රීවරයාට මේ හොරාව හඳුන්වා දීමෙන් පසු ඔහු හරක් හොරකමට ආයුබෝවන් කියා වැදගත් සොරකම් කිරීමට පටන්ගනී.

උදාහරණයක් වශයෙන්, ගමේ පාරක් කාපට් කිරීමේ රජයේ කොන්ත්‍රාත් ගැනීම අරඹයි. සරම වෙනුවට කලිසමට මාරු වෙයි. පළාතේ මන්ත්‍රීවරයාගේ මිත්‍රයෙකු බවට පත්ව, පළාත් සභාවට තේරී පත්වෙයි. ඉන්පසු පාර්ලිමේන්තුවට එයි. එතැන් පටන් ඔහු සොරෙකු නොව, ප්‍රභූවරයෙකි.

ජනතාව යනුවෙන් අප හඳුන්වන සමූහය, හරක් හොරා සහ මේ ප්‍රභූ හොරා අතර වෙනසක් දකිති. හරක් හොරා මෙන් නොව, ප්‍රභූ හොරාට තමන් වෙනුවෙන් බොහෝ දේවල් ඉෂ්ට කර දිය හැකි බව ජනතාව අවබෝධ කරගනිති. ඒ නිසා, ඉස්සර මෙන් ඔවුන් දැන් ඔහුට ගරහන්නේ නැත. ඒ වෙනුවට ඔහුට වඳිති. තමාගේ දරුවාගේ විවාහයේ සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් කිරීමට ඒ ප්‍රභූවරයා ගෙන්වා ගැනීම, තමාගේ ජීවිතයේ ලද විශාලතම ගෞරවයක් වශයෙන් සැලකීමටත් මේ කියන ජනතාව පටන්ගනිති.

 

නීතිය යන ආයතනය ගන්න: සාමාන්‍ය ගමේ පාසලක මුල්ගුරුවයෙක් ළමයෙකු ඇතුළත් කරගැනීමට සන්තෝසමක් වශයෙන් පිඟන් කට්ටලයක් බාරගත්තේය. ඒ වරද වෙනුවෙන් ඔහු හිරේට ගියේය. තවත් ළමයෙක් අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් සොරකම් කෙළේය. උසාවිය ඒ ළමයාට දඬුවම් කෙළේය. කවුරු කළත්, මොන හේතුවක් නිසා කළත් ‘සොරකම, සොරකමමයි’ යන්න නීතියේ විධානයයි. ඒ නීති පොත, අධිකරණයේ සුරුවමයි. 

 

සුනාමිය ආවේය. ඒ සමග ලෝකයාගෙන් ආධාර ගලා ආවේය. මේ ආධාර මහින්ද රාජපක්ෂ නමැති ප්‍රභූවරයා තමන්ගේ ගිණුමකට දමාගත්තේය. සොරකම අසු වූ පසු ඔහු ඒ මුදල් ආපසු ආණ්ඩුවට ගෙව්වේය.

තමාගේ දෙමාපියන්ගේ ස්මාරක කෞතුකාගාරයක් මහජන මුදලින් ගොඩනැඟූ ගෝඨාභය රාජපක්ෂ, ඒ දූෂණය හසුවීමෙන් පසු, එකී මුදල ආපසු ගෙවා දැම්මේය. අද දක්වා මේ වැරදිවලට දඬුවමක් මේ දෙබෑයන්ට ලැබී නැත.

මේ වැරදි දෙකම, ඉහත කී අධිකරණය ඉදිරියේ දඬුවම් ලැබිය යුතුය ‘වැරදි’ වශයෙන් නොසැලකුණි. නීතියේ විවිධ තාක්ෂණික කාරණාවලට අමතරව, සොරකම් කළ මුදල ඔවුන් විසින් ආපසු ගෙවා දැමීම, ඔවුන්ට දඬුවම් නොකිරීමට අමතර හේතුවක් වශයෙන් අධිකරණයේ සැලකිල්ලට ගැනුණි.

ඉහත කී ළමයා සොරකම් කරගත් පොල් ගෙඩිය ආපසු දුන්නේ නම් හෝ ඉහත කී මුල්ගුරුවරයා සන්තෝසමට ගත් පිඟන් කට්ටලය ආපසු දුන්නේ නම්, ඔවුන්ට සමාවක් දිය හැකි බව අධිකරණයෙන් කියා ඇති බවක් අප අසා නැත.


අපි වෙනුවෙන් නඩු කියන ඇමරිකාව

Jaliya Wickramasuriya 1

ජාලිය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත් කළ, ඇමරිකාවේ සිටි ලංකාවේ තානාපතිවරයා ය.

 

සන්සන්දනයක් වශයෙන් මේ කාරණයත් සැලකිල්ලට ගන්න: මොවුන්ගේ මස්සිනා වූ ජාලිය වික්‍රමසූරිය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත් කළ, ඇමරිකාවේ සිටි ලංකාවේ තානාපතිවරයා ය.

එරට ලංකාවේ තානාපති කාර්යාලය සඳහා 2013 දී ඔහු වොෂින්ටන් නුවරින් අලුත් ගොඩනැඟිල්ලක් මිලදී ගත්තේය. ඒ සඳහා ගෙවූ සැබෑ මිලට වඩා ඩොලර් 332,027 ක් ඔහු අදාළ ලේඛනවල සටහන් කෙළේය.

මේ සොරකම ඇමරිකානු බලධාරීන්ට හසු විය. ඒ අනුව නඩු පැවරුණි. මේ අතරවාරයේ එකී මුදල ඔහු ආපසු ලංකා රජයට ගෙවා තිබුණි. එහෙත් නඩුව නැවතුණේ නැත.

මේ ඥාතියාව ඇමරිකානු නීතියෙන් බේරාගැනීම සඳහා රාජපක්ෂලා හැම තුරුම්පුවක්ම ගැසුවේය. (මේ ගැන සවිස්තරාත්මක වාර්තාවක් පසුගිය 14 වැනිදා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළ වී ඇත).


අවසානයේ පසුගිය මාසයේ 20 වැනිදා ඇමරිකාවේ උසාවිය, වරද පිළිගැනීම, අදාළ මුදල ලංකා රජයට ගෙවා තිබීම සහ ඒ දුෂ්-ක්‍රියාව ගැන සමාව ඉල්ලා සිටීම ආදී කරුණු සියල්ල සැලකිල්ලට ගෙන, අවුරුදු දෙකකට ඔහුගේ ඇඟ බැන්දේය. ඩොලර් 5000 ක දඩයක් ගැසුවේය. මේ තීන්දුව දෙමින්, ඇමරිකානු විනිසුරුවරයා කළ ප්‍රකාශය මෙහි සඳහන් කිරීම වටී: “ඔබේ රටට ඔබ කර ඇත්තේ, බරපතල ද්‍රෝහීකමකි.” 

 

මා අවධාරණය කරන හරය මෙයයි: දූෂිත ජනතාවක් සිටිති. ඒ දූෂිත ජනතාවගේ ආශීර්වාදය ලබන දූෂිත පාලක පිරිසක් සිටිති. මේ දෙපිරිස වෙත වෙනස් ආකාරයකින් බෙදන හැන්දක් අතේ ඇති, දූෂිත ආයතනික පද්ධතියක් තිබේ. ඒ සියල්ල ඒකරාශී කරගත් ප්‍රපංචය අප හඳුන්වන්නේ සමාජ-දේශපාලන සංස්කෘතිය වශයෙනි.

 

බොහෝ කාලයක සිට මුල් අදිමින් තිබුණත්, ඒ සංස්කෘතිය ආලෝක වේගයකින් ලංකාවේ විරාජමාන කළ පවුල රාජපක්ෂලා ය. එය, අපට ‘රාජපක්ෂවාදය’ වශයෙන් හැඳින්විය හැකිය. අනාගත පරම්පරාවට මේ සංසිද්ධිය දෙස දවසක ආපසු හැරී බැලීම සඳහා ස්මාරකයක් දැනටමත් තනා තිබේ. එහි නම්, නෙළුම් කුලුන ය.  

මාස තුනකට අධික කාලයක් තිස්සේ මේ රටේ ජනතාව මහපාරේ අරගල කෙළේ හුදෙක් ගෝඨාභය රාජපක්ෂ නමැති නායකයා එලවා දැමීම සඳහා පමණක්මද යන ප්‍රශ්නය දිනෙන් දින අප ඉදිරියේ මතුවන තත්වයක් දැන් දකින්ට තිබේ.

අරගලයේ ප්‍රධාන සටන්පාඨය වුණේ, “ගෝටා ගෝ හෝම්” (ගෝඨා ගෙදර පල!) යන්න වෙතත්, ඒ සටන්පාඨයේ අවම අර්ථය පවා, ඔහු එලවා දැමීමෙන් එහාට යා යුතුව තිබුණු එකක් බව ව්‍යංගාර්ථවත් විය.


ගෝඨා පැන්නීම කොමාවක් මිස නැවතීමේ ලකුණක් නොවිය යුතුය.


20220409 173315 scaled

රටේ ජනතාව ගෝඨාට ගෙදර යන්නැයි කීවේ ඇයි? ඔහු නියෝජනය කළ, ආර්ථික සහ දේශපාලනික ක්‍රියාදාමය අවසන් කරදැමීමට මිනිසුන්ට තිබූ උවමනාව නිසා ය.

ඒ උවමනාව නැට්ටට උත්සන්න වුණේ, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති විසින් ඇති කරන ලද අසීමාන්තික දෛනික පීඩාවන් රාශියක් හේතු කොටගෙනයි.



මීට කලිනුත් මේ ලිපිවලින් පෙන්වා දී ඇති පරිදි, මේ මහා ජනතා නැඟිටීම වූ කලී, බඩට වැදීමෙන් ඇති කළ නැඟිටීමක් මිස, යහපාලනික (ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම, දූෂණය සහ නාස්තිය පිටුදැකීම, ජාවාරම් සංස්කෘතිය නතර කිරීම ආදී) සමාජ සාධාරණත්වය පිළිබඳ සාරවත් සමාජ-දේශපාලනික සංකල්ප සමුදායක් මත සංයුක්තව පදනම් වෙමින් ඇති වූ නැඟිටීමක් නොවේ.


ඒ නිසාම, ඉහත කී පෙට්‍රල්-ගෑස් පෝලිම් තදබදය නැති වූ සැණින්, ණයට හෝ පොහොර ටික ගොවි ජනතාවට සහනාධාර වශයෙන් දුන් සැණින්, ඉස්මතු වූ ජනතා විරෝධයත් තව කාලයකට බැස යනු ඇත.

 

කාටත් වැටහෙන තත්කාලීන උපමාවකින් කිව්වොත්, කිව්.ආර්. නමින් හැඳින්වෙන ඉන්ධන කේතය මීට මාස තුනකට කලින් ‘සොයාගනු ලැබුවේ’ නම්, ගෝඨාභය රාජපක්ෂ තවමත් මේ රටේ ජනාධිපති වශයෙන් සිටිනු ඇත.

 

මිනිසුන් රාජපක්ෂලාගේ හොරකම් සහ අපරාධවලට විරුද්ධව ලක්ෂ ගණනින් එදා පාරට බැස්සේ, රාජපක්ෂලා එසේ සොරකම් කරමින් සිටි බව ඊට කලින් නොදැන සිටි නිසා නොවේ. ඉහත කී සුනාමි සොරකම, සොහොන් කොත් වංචාව, නෙළුම් කුලුනු නාස්තිය ගැන බොහෝ කලක සිට මේ ජනතාව දැන සිටියහ.

එහෙත් එදා ඒ කිසිවක් ඒ ජනතාවගේ ඇඟට දැනෙන ප්‍රශ්න නොවුණි.

අවසානයේ ගෑස් සහ පෙට්‍රල් පෝලිම් ඇති වීමත්, පොහොර ටික නැති වීමත් සමග, තමන්ගේ දෛනික ජීවිතයම මහ දවල් කඩා වැටෙන්ට වූ විට, ඉහතින් කී රාජපක්ෂලාගේ සියලු සොරකම් සහ මංකොල්ලකාරී ක්‍රියා මේ කියන ජනතාවගේ චින්තන කක්ෂයට වේගයෙන් කඩාවැදී සර්වාංගයම රෝගී කෙළේය. ඔවුන් නැඟිට්ටේ ඒ නිසා ය.

මෙසේ කීමෙන්, ඊළඟ කාරණය නිෂ්ප්‍රභ නොවේ. එනම්, බඩට වැදුණු හේතුවෙන් ඇති වූ ජනතා නැඟිටීමක් වුව එය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ ඇති කරගැනීම සඳහා කවුළුවක් වශයෙන් පාවිච්චියට ගැනීමේ ශක්‍යතාවෙන් තොර නොවන බවයි. එහෙත්, එය වහා කරගත යුතු, කල් යැවිය යුතු නැති කර්තව්‍යයකි.

 

ඒ නිසා, ජුලි 9 වැනිදා ඇති වූ ආර්ථිකමය වූ ජනතා නැඟීටීම, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මාවතකට ප්‍රවිශ්ඨ කරගත යුතු නම්, එය දැන්ම කළ යුතුව තිබේ. එසේ නොවුණොත්, මෙතෙක් පැවති ‘ක්‍රමයම’ තවත් කාලයක් පවතිනු ඇත.

 

සිස්ටම් චේන්ජ්

Capture 40

‘සිස්ටම් චේන්ජ්’ (ක්‍රමයේ වෙනසක්) නමින් දැන් මාස ගණනක සිට වරනඟන යෙදුම ගැන සාරාර්ථ හැඳිනීමක් දළ වශයෙන් හෝ ඇති කරගැනීම වැදගත් ය.

‘ක්‍රමයේ වෙනසක්’ නමින් එක අන්තයක සිටියේ, ධනවාදී ක්‍රමය වෙනුවට සමාජවාදී ක්‍රමයක් ඇති කරගන්නා තෙක් නොනවත්වා කළ යුතු ‘සිස්ටම් චේන්ජ්’ එකක් පිළිබඳ අදහසකි.

තවත් විදිහකින් කිවහොත්, ‘සමාජවාදී කියුබාවේ මිනිසුන් මෙන් සන්තෝසෙන් පෝලිම්වල ඉන්නා’ ජනතාවක් ඉන්නා තත්වයකි.

ලංකාවේ මිනිසුන් පෝලිම්වල සිටියේ කෝපයෙන් දැවෙමිනි. ඒ කෝපය වෙනුවට, සමස්ත රටේ අනාගතය ගැන සිතා, ඉදිරි පරම්පරාවේ අනාගතය ගැන සිතා, කෝප නොවී සිනාසිසී පෝලිම්වල ඉන්නා ජනතාවක් බිහි කරගැනීමට නම්, අවසාන විසඳුම සමාජවාදය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා දේශපාලන පක්ෂයක් බලයට පත්කර ගත යුතුය යන්න මේ පිරිසේ අදහස විය.  

ඒ සමාජවාදී නිෂ්ඨාවට මෙහා, විවිධ පාර්ශ්ව විවිධ ආකාරයෙන් මේ යෙදුම පාවිච්චි කළෝය.

 

සමගි ජනබලවේගයට අනුව, ‘සිස්ටම් චේන්ජ්’ කළ හැක්කේ, ඔවුන්ට ආණ්ඩු බලය ලබාගැනීමෙනි. එය, ධනපති ක්‍රමය තුළම සංශෝධන ඇති කරගැනීමෙන් කළ යුතුව තිබේ. එහිදී, නීරස ආර්ථික ඔසුවක අවශ්‍යතාව පිළිගැනේ. රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු කඳවුර සමග චාටුවෙන් එවැනි සිස්ටම් චේන්ජ් කිරීමේ හැකියාවක්, ඔවුන් සිතන පරිදි, නැත.


මේ දෙක අතරමැද, සිස්ටම් චේන්ජ් යනුවෙන් අදහස් කෙරුණේ, මහජන ආකල්පවල වෙනසක් සහ දේශපාලනික සංස්කෘතියේ වෙනසක් ය. එය, විදග්ධ සහ ප්‍රබුද්ධ සීමිත ජනතාවකගේ චින්තාවකි. ඔවුන්, ඉහත කී නීරස ආර්ථික ඔසුවක වැදගත්කමත් පිළිගන්නා අතරේම, දේශපාලනික සංස්කෘතියේ සාධනීය වෙනසකින් තොරව ඒ ආර්ථික ඔසුව ඵලදායී නොවෙතැයි සිතන කොටසකි. ඔවුන්ගේ කල්පනාව වන්නේ, දීර්ඝ කාලීන දුෂ්කර ක්‍රියාවලියක අවශ්‍යතාවක් පවතින බවයි. එය, ඊළඟ මැතිවරණයකින් පමණක් කළ හැක්කක් නොවේ.


ජුලි 9 වැනිදා කොළඹට වඩාවැදුණු අතිමහත් බහුතරය, ඉහත කී කිසි කණ්ඩායමකට අයත් නැති ‘අහිංසක’ ජනතාවකි. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ප්‍රධාන පක්ෂවලට කලක් ළං වී සිටි හෝ තවමත් ළංවී සිටින හෝ පිරිසක් වන්නට පුළුවනි.

එහෙත්, ඔවුන් තුළ ඉහතින් කී ප්‍රබුද්ධ සංකල්පීය සූත්‍රකරණ කිසිවක් තිබිණැයි සිතිය යුතු නැත.

 

ඉතා සරලව ඔවුන් සිතුවේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා ඉවරයක් කර දැමිය යුතුය යන්නයි. එය ‘අහිංසක’ වන්නා සේම, ළාමකයි. සරලමතිකයි. එය ඉතා සංක්ෂිපත්ව සූත්‍රගත කළ සටන්පාඨය වුණේ ‘ගෝටා ගෝ හෝම්’ යන්නයි.

 

ලොතරැයියක් ඇදුණු ගෝඨාභය සහ ජිම්කානා ඇදුණු රනිල්


gota ranil

1960 දශකයේ අපේ ගේ ළඟ පදිංචි තරුණයෙකුට රුපියල් ලක්ෂයේ ස්වීප් එකක් ඇදුනි. කුලී ගෙයක සිටි එම තරුණයාගේ පවුල පසුව වෙනත් පළාතක ගෙයක් මිලදී ගෙන එහි පදිංචියට ගියහ.

දිග කතාවක් කෙටියෙන් කිවහොත්, ඊට අවුරුදු කිහිපයකට පසුව ආරංචි වූ පරිදි, අර ගෙයත් විකුණා දමා ඒ පවුල පසුව මහපාරට වැටී තිබේ.

ගෝඨාභය රාජපක්ෂට ඇදුණේ ලොතරැයියකි. එය ඔහු කලක් තිස්සේ මහන්සි වී උපයාගත් සාර්ථකත්වයක් නොවේ. මිනිසෙකුට හරහට සිටිය හැකි හැම පොල්ලක්ම ඔහු ඉදිරියේ තිබුණි.

 යුද්ධයේ උච්ච අවස්ථාවක හමුදා සේවයට බොරු කියා සේවයෙන් ඉවත් වීමෙන් නොනැවතී, රට ජාතිය පවා හැරදමා ගොස් ඇමරිකානුවෙකු වීම, වැඩිමහල් සහෝදරයාගේ රාජප්‍රාප්තියෙන් (2005) පසු සුදු වෑන් සංස්කෘතියක් රටට හඳුන්වා දීම, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම සහ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ පැහැරගෙන යාම ආදී මේ රටේ වෙන කිසි නායකයෙකුට නොතිබුණු නිෂේධනීය සාධක රාශියක් ඔහුගේ රිපෝට් කාඩ් එකේ තිබුණි.

 

එසේ තිබියදී, පාස්කු ප්‍රහාරය නමැති තනි සිද්ධිය විසින් ඇති කළ ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ (අ)භූතයා ඔහුට ස්වීප් එකක් ඇද දුනි. අද වන විට, ජාතික ආරක්ෂාව තබා තමාගේ ආරක්ෂාව පවා සලසාගත නොහැකිව, මාසයෙන් මාසයට රටවල් ගානේ රස්තියාදු-නවාතැන් ඉල්ලා යන සරණාගත තත්වයට ඔහු පත්ව ඇත.

 

ජිම්කානා යනු සාමාන්‍ය ලොතරැයියක් නොවේ. ඒ කාලයේ හැටියට, ස්වීප් දිනුමක් මෙන් තුන් හතර ගුණයක වටිනාකමක් ජිම්කානා දිනුමට ලැබුණි. එවැනි ජයග්‍රහණයක් ලැබීමේ සම්භාවිතාවත්, සාමාන්‍ය ස්වීප් ටිකට් ජයග්‍රහණයක සම්භාවිතාවට වඩා බෙහෙවින් අඩුයි.

 එවැනි ජිම්කානා ඇදුණු පුද්ගලයන් සමීපව දැන නොසිටියත්, ඔවුන් ගැනත් අවාසනාවන්ත කතා ඉස්සර අප අසා තිබේ.

රනිල් වික්‍රමසිංහට ඇදුණේ ජිම්කානාවකි. 2020 අගෝස්තු 5 වැනිදා පුද්ගලයෙකු වශයෙනුත්, පක්ෂයක් වශයෙනුත් ඔහු ලද පරාජය ඓතිහාසිකයි. එයින් අවුරුදු දෙකක් ගතවීමටත් කලින්, වෙනත් මහජන ඡන්දයකින් තොරව මේ රටේ ජනාධිපති තනතුරට ඔහු පත්වීම, ඊටත් වඩා ඓතිහාසිකයි.

 

ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් සකස් කරගන්නා නෛතික ව්‍යවස්ථා ක්‍රමවේදයක් විසින්ම ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටවූ ලෝකයේ එකම රට බවට ලංකාව පත්කිරීමේ පූර්ණ ගෞරවය ඔහුට හිමි වෙයි.

 

ඔහුගේ පදවිප්‍රාප්තිය එවැනි විකෘතියක් වූ පමණින්, ජනතාවගේ සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහුගේ ඉදිරි සම්මාදමත් විකෘතියක් විය යුතු යැයි නියතයක් නැත.

ජිම්කානා සහ ලොතරැයි ජයගැනීමෙන් ජීවිතය නාස්ති කරගත් මිනිසුන් වාගේම ජීවිතය ජයගත් මිනිස්සුද සිටිති.

දේශපාලනික තලයේදී මේ විශේෂ සාධනීය විය-හැකියාව, විවිධ අන්තර්-සම්බන්ධතාවන්ට යටත් ය.

අපේ මාතෘකාවට අදාළව ගත්තොත්, රනිල් වික්‍රමසිංහ නමැති ජනාධිපතිවරයාගේ භූමිකාව, රාජපක්ෂ කඳවුර විසින් නිශ්චය කරනු ලැබීමට සහ එම කඳවුරේ පාවිච්චියට ගනු ලැබීමට ඇති ඉඩකඩ වැඩි ය. මේ ලිපිය ලිවීමට ප්‍රස්තුත වුණේ ඒ පිළිබඳ (පසුගිය ඉරිදා ‘සන්ඩේ ටයිම්ස්’) මාධ්‍ය වාර්තා කොට තිබූ එක් සිදුවීමකි.


නිදොස් කොට නිදහස් කිරීමට අමතරව වන්දියකුත්!


එම වාර්තාවට අනුව, රුපියල් මිලියන 117 ක වන්දියක්, රාජපක්ෂවාදී රාජ්‍ය නිලධාරීන් පිරිසකට ගෙවීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි.

එවැනි වන්දි ප්‍රදානයක් සඳහා වන හේතුපාඨය වන්නේ, 2015-2019 කාලයේ යහපාලන ආණ්ඩුව යටතේ මේ කියන රාජ්‍ය නිලධාරීන් දේශපාලනික පළිගැනීම්වලට ලක් වී ඇතැයි යන්නයි.

ඒ සඳහා ඔවුන්ට ඉහත කී වන්දි ගෙවිය යුතු බවට නිර්දේශ කොට ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්, හිටපු අගවිනිසුරුවරයෙකු වන අශෝක ද සිල්වාගේ සභාපතිත්වය යටතේ පිහිටුවන ලද කමිටුවකිනි.

ඊට කලින්, දේශපාලනික පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ඉතා අපකීර්තිමත් විශ්‍රාමික තවත් විනිසුරුවරයෙකු යටතේ එම ගෝඨාභයම ජනාධිපති කොමිසමක් පත්කොට තිබූ බවත් පාඨකයන්ට මතක ඇති. එය, වැරදිකරුවන් නිවැරදිකරුවන් කොට, නිවැරදිකරුවන් වැරදිකරුවන් කෙළේය.

 

දූෂණය, වංචාව, රාජ්‍ය අරමුදල් අවභාවිතය සහ ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ආදී සිද්ධීන්වලට සම්බන්ධ නඩු ගණනාවකට සම්බන්ධ පුද්ගලයන් බොහොමයක්, මේ කියන ‘ප්‍රතිලාභයට’ නිර්දේශිතයි.

 

පසුගිය කාලයේ මේවා බොහොමයක විත්තිකරුවන් එක දිගට ‘නිදොස් කොට නිදහස්’ කළ බවත් පාඨකයන්ට මතක ඇති. ඒ සෑම සිද්ධියකදීම, ඔවුන් ‘නිදොස්  කොට නිදහස්’ කෙරුණේ, විටෙක විවිධ තාක්ෂණික දෝෂ නිසාද, විටෙක සෘජු දේශපාලනික බලපෑම්ද නිසාද, විටෙක නීතිපති දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසම විසින්ම නඩු ඉල්ලා අස්කර ගත් නිසාද මිස, අදාළ වරද/අපරාධය හුදෙක් ගොතන ලද ප්‍රබන්ධයක් වශයෙන් ඔවුන්ට එරෙහිව ගොනු කොට තිබූ තත්වයක් නිසා නොවේ.

මිලියන ගණන් වන්දි ලැබීමට සුදුස්සන් වශයෙන් නිර්දේශ වී ඇති එවැනි සියලු පුද්ගලයන්ට අදාළ සිදුවීම් ගැන, මේ පුවත්පතේත්, තවත් මාධ්‍ය ඔස්සේත් දිගින් දිගටම කරුණු දක්වා තිබෙන බැවින් මෙහිදී ඒ වෙනුවෙන් ඉඩ වෙන් නොකෙරේ.

 

අපේ මාතෘකාවට කෙලින්ම අදාළ කොටස පමණක් සාකච්ඡාවට ගැනීම සෑහේ. එනම්, ගෝඨාභය රාජපක්ෂ එළවීමෙන් අපේක්ෂිත ජනතා අභිමතය නියෝජනය කිරීමට තරම් තමන් සුදුස්සෙකු වෙතැයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිතන්නේ නම්, ඔහු විසින්ම නායකත්වය දෙන ලද යහපාලන ආණ්ඩුව විසින් දේශපාලනික පළිගැනීමකට ලක්කරන ලදැයි කියන මෙවැනි පිරිසකට මෙසේ මහජන මුදලින් වන්දි ගෙවීම ඔහු අනුමත කරන්නේද යන්නයි.

 

මේ රාජ්‍ය නිලධාරීන් විවිධ අක්‍රමිකතා කරණකොටගෙන යහපාලන ආණ්ඩුව යටතේ නීතිය ඉදිරියට පමුණුවන ලද්දේ කෙසේද යන්න, එදා යහපාලනයේ නායකයා වශයෙන් සිටි ඔහු හොඳින්ම දනී.

එසේම, ඒ පුද්ගලයන් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ පසු, විවිධ ජනාධිපති කොමිෂන් සභා සහ විමර්ශන කමිටු යටතේද, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම වැනි ආයතන විසින්ම කරන ලද පක්ෂග්‍රාහී මැදිහත්වීම් හෝ ඉවත් වීම් ඔස්සේද ‘නිදොස් කොට නිදහස්’ කළ සැටිත් ඔහු හොඳින්ම දනී.


එසේ තිබියදී, අපක්ෂපාතී සහ කාර්යක්ෂම නීතියක් සහ යුක්තියක් විණි නම් හිරේ සිටිය යුතු මිනිසුන් එවැනි නීතියක් සහ යුක්තියක් නොතිබීම නිසාම එළියේ සිටිනවාට අමතරව, එසේ එළියේ සිටීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඔවුන්ට වන්දියකුත් ගෙවිය යුතු බවට ඔහු අනුමත කරන්නේ නම්, දවසක ඔහු ඉතිහාසගත වෙනවා ඇත්තේ, ගෝඨාභය ගියත් ‘රාජපක්ෂවාදය’ අජරාමර කිරීමට තැත් කළ පුද්ගලයෙකු වශයෙනි.




අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා' - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්