රජයේ සේවය ගැන මගේ තියෙන විවේචනය වැඩිහිටි කාලෙ කියවලා දැනගෙන ආපු එකක් නෙමෙයි. ඒක පොඩි කාලෙ ඉඳන් ජීවිතෙන් දැකලා ඒ අවුලෙන්

ආපු එකක්.

අපේ අම්මා රජයේ සේවකයෙක්. එයා වැඩකලේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ. එයා තමයි අපේ පවුලේ ප්‍රධානියා වගේම මගේ ඉගෙනීම වෙනුවෙනුත් හොඳටම මහන්සි වුනේ. පොඩි කාලෙ ඉඳන් මට ලියන්න පැන්සල් පෑන් කඩදාසි අම්මා ඔෆිස් එකෙන් අරන් එනවා. දැනුමක් තේරුමක් ඇති වයසට ආපු දවසෙ ඉඳන් මං මේකට බනිනවා.

‘ඔයාට ලැජ්ජ නැද්ද ඔෆිස් එකේ ඒවා ගෙදර අරන් එන්න?’

ඒත් අම්මාට කවදාවත් ඒක වරදක් විදිහට පෙනුනෙ නෑ. රජය විසින් ඒ දේවල් පහසුකම් විදිහට දෙනවා වගේ තේරුමක් තමයි එයාට තිබුනෙ. අපේ දුප්පත්කම් හින්ද ආණ්ඩුවෙන් දරුවන්ගෙ අධ්‍යාපනයටත් එහෙම උදව් කරන මානුෂික ගුනයක් දරනවා කියල එයා විශ්වාස කළා.

‘ප්‍රයිවෙට් රස්සා කළා නම් ඒ ආයතන මෙහෙම මිනිස්සු ගැන බලන්නෙ නෑ’ කියල එයා කිව්වා.

 

මට අටේ නමයෙ පංතිවල ඉඳන්ම රජයේ රස්සා ගැන තිබුනෙ අප්‍රසන්නතාවයක්. ඒකට මූලිකම හේතුව වුනේ සියල්ල සම්පාදනය කරමින් තමන්ව බලාගන්නා ලොකු අප්පච්චි කෙනෙක් වගේ හැගීමක් රජයේ සේවකයන්ට රජය ගැන තිබීම.

 

‘ඔයගොල්ලොන්ට ඔය රස්සා හම්බුවෙලා තියෙන්නෙ වෙන කිසිම දෙයක් කරන්න බැරි හින්ද’

මං අම්මාට අපහාස කරනවා ඒ දවස්වල. අම්මා කොළඹ විශ්ව විද්‍යාලෙන් උපාධිය අරන් ආණ්ඩුවෙ රස්සාවට යන්නෙ හරි ආඩම්බරෙන්. ගොඩක්ම සතුටු වුනේ පෙන්ෂන් එකක් හිමි වීම ගැන.  කැම්පස් එකෙන් අවුට් වෙන අයට ආණ්ඩුවෙ රස්සාවක් දෙන්න ඕන කියල විශ්වාසයක් අම්මාටත් තිබුන.

ඇත්තටම මගේ ඉගෙනීමට ආණ්ඩුවෙන් කරලා තියෙන ප්‍රමාණය කොහෙත්ම ගනං හදන්න බෑ. පෑන පැන්සල කොල ටික, පැවරුම් වලදි පොත් හදනවා වගේ දේවල් මේ හැමදෙයක්ම මට කරලා දුන්නෙ ආන්ඩුවෙ කන්තෝරු වලින්. සමහර විට ඒ උදව් නොතිබුනා නම් මට ඉගෙන ගන්න ඕන වුනු දේවල් කරන්න අම්මලට අමාරු වෙන්න තිබුන.

 

ඒත් මේ හින්දම නඩත්තු වෙන දුප්පත් හැගීමක් සහ දුප්පත් සංස්කෘතියක් මං දැක්කා. ඒක හරි උණුසුම්, ඔය අපි කවි ලියන අදහසින් මානුෂික එකක්. ඒත් මළාට තමාටවත් රටටවත් ගොඩයන්න බැරි ඇටිටියුඩ් එකක්.

 

අපි ඉගෙන ගත්තෙ දොස්තරලා වෙන්න. අම්මලාට වෙන කිසිම රස්සාවක් ගැන අදහසක් තිබුනෙ නෑ. දොස්තර කෙනෙක් නොවී මං වෙන මොකෙක් වුනත් අම්මලට කිසි වටිනකමක් තිබුනෙත් නෑ. දොස්තරලා කියන්නෙ මතු බුදුවෙන අය විදිහටයි අම්මලා සැලකුවෙ.

‘මැරෙන්න යන වෙලාවට බේරගන්න උඹට පුළුවන්ද? ඒකයි දොස්තර කෙනෙක් කියන්නෙ බුදු කෙනෙක් කියන්නෙ’

අම්මායි මායි අතර මාරාන්තික සටන් කෙලවර අම්මා කියනවා. අදටත් දොස්තරවරු සම්බන්ධයෙන් දේවත්වය ආරූඩ කරන තැන්වලදි මට යක්ෂාරූඩ වෙන්නෙ ඒකයි.  තවත් පරම්පරාවකට මේ පටු ඇදහිලි මතින් දෙන පීඩනය පැතිර යා යුතු නෑ කියලා මං විශ්වාස කරනවා.

 

මං කැම්පස් එකේ බර්සරිය ගන්න අකමැති වුනා. අම්මලා කොයිතරම් දඟ දැම්මත් මට ඒක දැනුනෙ අසරණ සරණ අරමුදලක් වගේ. ඉන්න හිටින්නයි, අඩුවට කෑමයි, නොමිලේ අධ්‍යාපනයයි දීලා තව සල්ලිත් අතට දෙන එක මට ‍හෙන අවුල්සහගත වුනා.

 

unix

පේරාදෙනියෙ ආර්ට් ඩිග්‍රියෙන් පස්සෙ තොගේට ගුරු රස්සා දුන්නා. නොකා මළත් එහෙම පිනට දෙන රස්සාවකට නොයන්න මං තීරණය කළා. ඒ හින්ද අපේ අම්මා මට කන්න නොදී පවා හිටියා.

‘උඹ ආන්ඩුවෙන් දෙන රස්සාව නොගෙන අපිවම කන්න බලාගෙන හිටපන්’

මං ගුරුවරයෙක් වෙන්න ආසාවෙන් හිටියා නම් ඒක වෙන දෙයක්. ඒත් රංචුවක් පිටින් ඔන්න ඕකවත් කරලා ජීවත් වෙයන් කියල දෙන රස්සාව මට අපහාසයක්.

ඒ තෝරාගැනීම්වලට හරියන්න හොඳම පරිප්පුත් කන්න සිද්ද වුනා. ඒත් ලෝකෙ පැවැත්ම කියන්නෙ ‍මගේ ජීවිතය කොහොම හරි ආරක්ෂා කර ගැනීම නෙමෙයි කියල මට ඒ කාලෙ වෙද්දිත් තේරුනා. කොටින්ම මං ඉන්නවද නැද්ද කියන එක ලෝකෙ කේන්ද්‍රීය ප්‍රශ්නයක් නෙමෙයි කියන එක.

 

තිස්ස අබේසේකරගෙ පොතක් කියවද්දි ඒකෙ තිබුනු ලයින් එකක් මට හොඳටම වැදුනා. ‘තමන් ගැන ආත්මානුකම්පාවෙන් පෙලෙන්නෙ දුර්වල ආත්මයන් ඇති අයයි..’ මේ වගේ අදහසක් ඒක. කිසිම දවසක මං අසරණයි, මට පිහිට ඕන කියල නොහිතෙන්න මට මේ වාක්‍යය සෑහෙන්න බලපෑවා.

 

මේ අතරෙ කැන්සර් එකක් හැදිලා අවසාන අවධියෙදි  අම්මා තමන්ගෙන් පස්සෙ පෙන්ෂන් එක තාත්තට ලියන්න හැදුවා. මං මාරාන්තික වලියක් දැම්මා.
‘විලිලැජ්ජ නැති වැඩ කරන්න එපා’ මං කෑ ගැහුවා.

‘මං නැති කාලෙක තාත්තා ජීවත් වෙන්නෙ කොහොමද? ඒ මනුස්සයා උඹලට බරක් වෙන්නද?’

අම්මාට තිබුනු සාධාරණ හේතුව ඒක. ඒ ගාන මං කොහොම හරි ගෙවන්නං කියල ආන්ඩුවෙ පෙන්ෂන් එක එතනින් නවත්තගන්න මට පුළුවන් වුනා.

කිසිම දවසක අනුන්ගේ තැනක රස්සාවට නොයමියි කියන මගේ තීරණය බඩගින්න හමුවේ පරාජය වුනා. මට රස්සා හොයන්න වුනා. රුපියල් දහදාහෙ පඩියෙන් පටන් අරන් මං එක එක ලියන තැන්වල රස්සා කළා.

ඒ කිසිම තැනක කිසිම දවසක පඩි වැඩි කිරී‍මේ ඉල්ලීමක් මං කරලා නෑ. ඒකට හේතුව වුනේ එහෙම ඉල්ලන එක මගේ දුර්වලතාවයක් විදිහට මට දැනෙන හින්ද. මගේ පඩි මදි නම් ඊට වඩා වැඩි ගෙවීමක් ඇති තැනකට යන එකයි මගේ උත්සාහය. මගේ වටිනාකම තේරුම් අරගෙන ඊට සරිලන ගෙවීමක් නොකළ ආයතනයට ඒ අහිමි වීම දැනීමයි මං එතනට එකතු කළ අගය.

 

කිසිම විදිහකින් රිප්ලේස් කරන්න පුළුවන් ශ්‍රමයක් වීම මං මනුස්සයෙකුට තරම් වෙනවා කියල හිතන්නෙ නෑ. ඒක මහා ලොකුකමක් නෙමෙයි. රිප්ලේස් කරන්න පුළුවන් සියලු දේ තාක්ෂණයට බාරවෙනවා.

 

ඇඩ්වර්ටයිසින් රස්සාවට ආවට පස්සෙ පර්මනන්ට් වීමයි කන්ට්‍රැක්ට් සිටීමයි අතර පවා මට වෙනසක් තිබුනෙ නෑ. ඊපීඑෆ් ඊටීඑෆ් ගැන පවා මට වටිනකමක් තිබුනෙ නෑ. අවුරුදු පනස්පහෙන් පස්සෙ ජීවත් වෙන විදිහ දැන්ම හිතන්න තරමෙ පන ගැටගහගන්න හිතන දුර්වලයෙක් හැටියට මං මාව දැක්කෙ නෑ.

 වයසත් එක්ක මගේ වටිනාකම වැඩි විය යුතුයි නැත්නම් මං ලෝකෙන් ඉවත්ව යා යුතුයි කියන එකයි මගේ පිලිගැනීම. ඒත් විශ්‍රාම ගිහිල්ලා මොකක් ‍හරි ආයෝජනයක් පටන් ගන්න කෙනෙකුට යම් අරමුදලක් තිබීම වැදගත් කියල මං අද හිතනවා. ම‍ං බේට්ස් එකෙන් අයින් වෙද්දි ලැබුනු ග්‍රැටිවිටිය මට අලුතෙන් ගොඩක් වැඩ පටන්ගන්න උදව්වක් වුනා.

 

ඒත් මේ මෑතක කියවන්න ලැබුනු TEWA නීතිය දැක්කම මං අන්දමන්ද වුනා. ඒ අනුව යම් කෙනෙක් රැකියාවකින් ඉවත් කරනවා නම් ඒ කෙනාට අවුරුදු දෙකහමාරක (හෝ දෙකක)  වැටුප ආයතන හිමිකරුවා විසින් ගෙවන්න ඕන.

 

රැකියාවක් අහිමිවීමකදි අලුතෙන් යමක් ආරම්භ කිරීමට අවශ්‍ය මුදලක් රැකියාව අහිමිවෙන කෙනාට ලැබෙන එක වැදගත්. ඒත් මේ වගේ නීතියකින් සිද්ද වෙන්නෙ ආයතනයකට තමන්ගේ සේවකයන් විශාල බරක් හැටියට දැනෙන එකයි.

උදා විදිහට ආයතනයක් පාඩුවීම නිසා වහලා දාන්න යන ව්‍යවසායකයෙකුගෙ තත්වය ඛේදවාචකයක්. තමන්ට පාඩු වීම හින්ද වහන්න ගියත් සේවකයන්ට ගෙවිය යුතුවෙන මේ විශාල මුදල හින්ද වහගන්නත් බැරුව වේදනා විඳින්න ව්‍යාපාරිකයෙකුට සිද්ද වෙනවා.

මේ වගේ කාරණාවලට අර සාධාරණ සමාජයක් යෝජනාවලියෙ තියෙනවා වගේ රක්ෂණ අරමුදලක් ගැන උනන්දු වීමයි අවශ්‍ය වෙන්නෙ. පුළුවන් තරම් ව්‍යවසායකයාට සේවකයන් බදවාගැනීම ගැන සැහැල්ලු හැගීමක් ඇති කිරීම වැදගත්. ව්‍යවසායකයෙක් කියන්නෙ තව බොහෝ දෙනෙකුට රැකියා උත්පාදනය කරන කෙනෙක්.

 බේට්ස් එකෙන් මගේ වැඩක් පටන් ගන්න කියල  අයින් වෙද්දි මං කල්පනා කලේ නිමල් (අපේ ලොක්කා)  අවුරුදු ගානක් සියගානක් දෙනෙකුට ජීවත් වෙන්න මාර්ගයක් නිර්මාණය කළා නේද කියන එක. ඒ වගේ තත්වයක් ඇති කරන්න තාම මට බැරි වීම ගැන මං අදත් ඉන්නෙ ලැජ්ජාවෙන්.

ව්‍යවසායකයාට සේවකයන් බරක් නොවන පරිදි සේවක ආරක්ෂාව ගැන වගබලාගැනීමයි වැදගත්. ව්‍යවසායන් පිනිස මිනිස්සු උනන්දු කරන්න පුළුවන් වෙන්නෙ එතකොට. මේ වගේ නීති නිසා සිද්ද වෙන්නෙ මොලයක් ඇති එකෙක් ආයෝජනයක් සිද්ද නොකරන එක.

ව්‍යවසායන් දිරිගැන්වීම කියන පදනමෙන් මේවා දිහා බැලුවොත් අපිට රැකියාවකින් ඉවත්වන සේවකයෙකුට නව ව්‍යවසායක් ආරම්භ කරන්නත්, ආයතනයක් කරන ව්‍යවසායකයෙකුට බරක් නොවන්නත්, අලුත් ව්‍යවසායකත්වයන් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. මුදල් ඉපැයීම වරදක් හැටියට දකින, එය දිරිමත් නොකරන රජයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන.

 

මේ නීති අදාල වෙන්නෙ පුද්ගලික ව්‍යවාසයකයන්ට. රාජ්‍ය ව්‍යවසායකත්වය තියෙන්නෙ කිසිම දවසක ලාබ ලැබිය නොහැකි සංස්කෘතික ගොහොරුවක. සමස්ත රාජ්‍ය සේවය කියන්නෙම සුබසාධන ව්‍යාපෘතියක්. ඒක තමයි රාජ්‍ය සේවයේ මානසිකත්වය. රාජ්‍ය ආයතන කියන්නෙම පාඩු ලබන ආයතන. ඒක තමයි අවසාන ප්‍රතිඵලය.

 

මිනිහෙක් විදිහට තමන් කරන සේවයේ වටිනාකම පුද්ගලිකව අභිමානයක් හැටියට දරන්න බැරිනම් ඒ සේවය කියන්නෙ වහල්කමක් හෝ හිඟමනක්.

 ලංකාවෙ මිලියන 1.5ට වඩා වැඩකරන්නෙ රාජ්‍ය සේවයෙ. ඒ ව‍ගේම ආසියාවෙ අකාර්යක්ෂමම රාජ්‍ය සේවය තියෙන්නෙ අපිට. පහුගිය අවුරුදු 15 අතුලෙ රාජ්‍ය සේවයේ රස්සා දෙගුන වෙලා තියෙනවා.

අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා. පටන් ගන්න ඕන කොතනින්ද?


අරගලය ජයග්‍රහණයකින් අවසන් වුනා. ආතල් වැඩක් කරමු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්