ඉස්සන් උඩින් තැබූ පරිප්පු වඩේ ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය ආහාර වර්ගයක් වන අතර වාර්ගික, ආගම් සහ සමාජ පන්ති භේදයකින් තොරව දේශීය ජනතාව එකමුතු කිරීමට ඊට හැකියාව ලැබී තිබේ.
දුම්රිය පේරාදෙණිය හන්දියේ දුම්රිය ස්ථානයේ නවත්වන්නට පටන් ගනිත්ම මට ඉදිරිපස වාඩිගෙන සිටි පුද්ගලයා කවුළුවෙන් එබී දෑඟිලි දෙතොල මත තබා විසිල් හඬක් නැගීය. ඒ වහාම වෙළෙන්දෙක් පිටතට පැමිණ, ඔහුගේ හිස මුදුනේ තිබුණු කූඩය එම මගියාට දුන්නේය. සැර සම්බෝලයක් සමඟ වඩේ ටිකක් පිටතට ගත් ඔහු එයට මුදල් දමා, අනෙක් මගීන් වෙත අතින් අත යැව්වේය. අවසානයේ වෙළෙන්දා එම කූඩය නැවත කවුළුවෙන් ලබා ගත්තේය.
කෝච්චිය ඉවතට ඇදෙද්දී, සියල්ලෝම නැවතත් තම අසුන්වල වාඩි වූ අතර, ඔවුන් මේ කන ලද්දේ ඉස්සෝ වඩේ බව මා දැන ගත්තේ පසුවය. පරිප්පු වඩේ වලට උඩින් නැවුම් ඉස්සන් දමා ගැඹුරු තෙලේ බැද සකසා තිබූ ඒවා හතරවටින්ම මුහුදෙන් වටවූ දූපත් රටකින් ඔබට රසවිඳිය හැකි රසවත්ම ආහාරය වනු ඇති බවට සැකයක් නැත.
ඉස්සො වඩේ ශ්‍රී ලංකාව පුරාම සිටින ජනතාව ප්‍රිය කරන ආහාරයක් වන අතර, එහි ජනප්‍රියත්වය සමහර විට රටේ නිතර භාවිතා වන අමුද්‍රව්‍ය වන ළූණු, කරපිංචා, තක්කාලි, අමු මිරිස් සහ දෙහි යුෂ වලින් සැදුම්ලත් සැර සම්බෝලයකට පරිප්පු සහ ඉස්සන් සංයෝග වීම හේතු විය හැකිය.
ඒවා තදින් හැපෙනසුළු බව, සුවඳ සහ කුළුබඩු රසයෙහි පරිපූර්ණ සමතුලිතතාවයෙන් අනූන වේ. බොහෝ විට රුපියල් 50 සිට 150 දක්වා ගණනකින් මෙම වඩේ කිහිපයක් මිලදී ගත හැකි අතර මහජනතාවට එය මිල අඩු, රසවත් සංග්‍රහයකි.
ඉතාම ප්‍රසිද්ධ ඉස්සෝ වඩේ සොයාගැනීමට නම් කොළඹ, ගාලු මුවදොර පිහිටි කුඩා කඩචෝරු කරත්ත වෙත යා යුතු ය.
සෑම සන්ධ්‍යාවකම, ඉන්දියන් සාගරය හරහා සැතපුම් ගණනක් ගමන් කළ මෘදු සුළඟ අවසානයේ ගොඩබිම හමු වී නගරය සිසිල් කරද්දී දහස් ගණනක් ජනතාව තම පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට මෙහි රැස් වෙන කොළඹ මුහුදු තීරයේ පිහිටි ගාලු මුවදොර දිගේ ඇති කරත්ත වල ද ඉස්සෝ වඩේ අලෙවි කෙරේ.
ඔවුන් නිදහසේ ඇවිදිමින්, එක් එක් ඉස්සො වඩේ කරත්ත පසු කරමින්, හොඳම වඩේ ඇත්තේ කා ළඟදැයි තීරණය කරයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ තෝරා ගැනීම බවට පත්වන්නේ වැඩිම පිරිසක් සිටින කරත්තය යි.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා 'වීදි ආහාර' අවන්හල් ජාලයක් වන The Coconut Tree හි හිමිකරුවෙක් වන රශින්ත රොද්‍රිගෝ, ගාලු මුවදොර සිට ඉස්සෝ වඩේ කෑ ආකාරය සිහිපත් කරයි.
"මම යාලුවෝ එක්ක ගෝල්ෆේස් එකේ සරුංගල් සැණකෙළිවලට ගියාම අපි හැමෝම ඉස්සො වඩේ කනවා. කොච්චර කෑවත් ආසාව නැති වුණේ නැහැ. මම හිතන්නේ ගෙදර ඉස්සෝ වඩේ හදන්නේ නැති නිසා වෙන්න ඇති. ඒවාට ඇත්තටම 'ස්ට්‍රීට් ෆුඩ්' කියන්න පුළුවන්. මොකද ඒවා මිලදී ගන්න පුළුවන් පාරෙන් විතරයි."
ඉස්සො වඩේ දැන් සෑම වෙරළ තීරයකම, දුම්රිය ස්ථානවල හෝ මිනිසුන් එක්රැස් විය හැකි පොදු අවකාශයක විකුණනු ලැබුවද, ඒවාට ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සූපශාස්ත්‍ර සංස්කෘතිය පිළිබඳ විශාල ඉතිහාසයක් ඇත.
ගල්කිස්ස හෝටලයේ සූපවේදී පබ්ලිස් සිල්වා පවසන පරිදි පරිප්පු වඩේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ දකුණු ඉන්දියාවෙනි.
මෙය සිදුවන්නට ඇත්තේ 1796 සහ 1948 අතර ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති කාලයේ බවත්, තේ වතුවල වැඩ සඳහා ගෙන එනුලැබූ දකුණු ඉන්දීය කම්කරුවන් ඒවා ගෙන එන්නට ඇති බවත් ඔහු පවසයි. මෙම කම්කරුවන් මධ්‍යම කඳුකරයේ පදිංචි වූ අතර පසුව කඳුකර දෙමළ ප්‍රජාව නමින් කුඩා ජනාවාස පිහිටුවා ගත්හ.
ඉස්සො වඩයේ උපත සිදුවූයේ ශ්‍රී ලංකාවේ කඳුකරයේ දී බැව් විශ්වාස කෙරෙයි.
ශ්‍රී ලාංකික ආහාර බ්ලොග්කරුවෙකු වන අනෝමා විජේතුංග ද එය අනුමත කරයි. ඇය පැහැදිලි කළේ, සාම්ප්‍රදායිකව වඩේ සකසන්නේ ඉන්දියාවේ වැවෙන මසූර් පරිප්පු (රතු පරිප්පු) අඹරා ගැනීමෙන් වන අතර එම බෝගය මෙරට වැවෙන්නක් නොවේ. එමනිසා, මෙය නිසැකවම සාගරය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණි දිව්‍යමය ආහාරයකි.
"දකුණු ඉන්දියාවෙන් ආපු කම්කරුවන් වඩේ සෑදීමේදී පමණක් පරිප්පු භාවිතා කළා," විජේතුංග පැවසීය.
"ඔවුන් කවදාවත් ඉස්සන් භාවිතා කරන්නේ නැහැ. මේ ප්‍රජාව තවමත් වඩේ හදන්නේ එහෙමයි. පරිප්පු වඩේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වෙන්න ඇත්තේ මම හිතන විදියට මිනිස්සු ඒවා කෝච්චිවල විකුණන්න පටන් ගත්තාම වෙන්න ඇති. ඇත්තෙන්ම (දුම්රිය වෙළඳාමත්) ඉන්දියාවෙන් ආවේ. අද දක්වාම එය සිදුවෙමින් පවතිනවා."
කඳුකරයේ හැදී වැඩුණු සහ ශ්‍රී ලංකාවේ වතු ආශ්රිත තරුණ තරුණියන් සඳහා වූ අධ්‍යාපනික සංවිධානයක් වන The Tea Leaf Trust හි ප්‍රධාන කණ්ඩායම් කළමනාකාරිනිය ලෙස කටයුතු කරන ජෙස්මින් ආරුමුගම්, වසර ගණනාවක් පුරා සෑම හින්දු උත්සවයකදීම තම මව නිවසේ වඩේ සාදන ආකාරය සිහිපත් කරයි.
"ඇය ඉස්සෝ වඩේ හදපු වෙලාවල්වල අපි හැමදාම කන්නේ අමු මිරිස් චට්නියක් සහ රසම රස කිරි තේ කෝප්පයක් එක්ක," ඇය ආදරයෙන් සිහිපත් කළාය.
සෑම වඩයක් මතම මිරිදිය ඉස්සන් තිදෙනෙකු ඔබ්බවා තිබෙන අතර කටට සැර සම්බෝලයක් සමග පිළිගන්වනු ලබයි. (ඡායා-SISIRA WIJETUNGA)
පබ්ලිස් සිල්වා පවසන්නේ, ඉස්සෝ වඩේ ලංකාවට ආවේණික වන්නේ අඹරන ලද පරිප්පු මිශ්‍රණයට අමු මිරිස් සහ කරපිංචා එකතු කිරීමෙන් බවයි. කරපිංචා ඉන්දියාවේ වර්ධනය වුවද, ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් සෑම රසවත් කෑමකටම පාහේ යොදාගන්නා සුවිශේෂී, සුවඳවත් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතකරයි. මුහුදු ඉස්සන්ට වඩා දුලබ වුවද වඩේ වලට මිරිදිය ඉස්සන් එකතු කිරීමට හේතුව ඒවායේ ඝනකම් බව හා ගැඹුරු තෙලේ බැදීමේදී වඩා හොඳින් ඔරොත්තු දීම නිසා යි. එසේම සාමාන්‍ය පරිප්පු වඩේ එකකට වඩා ඉස්සන් උඩින් තැබූ විට පෙනුම ද වැඩි වේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ, මිරිස් භාවිතා කරන්නේ බොහෝ විට වර්ණ ගැන්වීම සඳහා බව යි.
"ශ්‍රී ලාංකිකයන් දිවයිනට හඳුන්වා දුන් සෑම විදේශීය ආහාරයක්ම අනුවර්තනය කර තිබෙනවා. අපි අපේම අනන්‍යතාවය ඒවාට මුසු කරන්න කැමතියි," ඔහු පැවසීය.
"ඒ වගේම අපි අතින් කන ජාතියක්, ඒ නිසා ඉස්සෝ වඩේවල [පරිප්පු නිසා ඇතිවන] කටුක රස ශ්‍රී ලාංකිකයින්ට ඉතා ප්‍රියජනක එකක්. සවස් වරුවේ එළිමහනේ වාඩි වී මිතුරන් හා අසල්වැසියන් සමඟ කතාබස් කරන සංස්කෘතියක් අපට තිබෙනවා. එතකොට අපට හපන්නට යමක් විදියට වඩේ වැදගත් වෙනවා."
ඉස්සො වඩේ වැනි 'කඩචෝරු' විකුණන බොහෝ වෙළඳුන් ආහාර අමුද්‍රව්‍යවල මිළ වේගයෙන් ඉහළයෑම නිසා පීඩාවට පත්ව සිටියි. (ඡායා-SISIRA WIJETUNGA)
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථික අර්බුදයක ය. ආහාර මිල ඉහළ යාම සහ වීදි ආහාර සඳහා වැඩි මිලක් නොගෙවන පාරිභෝගිකයින්ට ඉහළ මිලක් කීමට විකුණුම්කරුවන්ට නොහැකි වීමත් සමඟ, බොහෝ ඉස්සො වඩේ වෙළෙන්දන්ගේ ලාභය අඩු වී ඇත. බොහෝ දෙනා විකල්ප ආදායම් මාර්ග වෙත යොමු වන අතර, ඇතැමුන් තවදුරටත් එහිම රැඳී සිටීන බවට පවසයි.
ගාලු මුවදොර වඩේ වෙළෙන්දෙකු වන මානි, 1965 සිට ඔහුගේ වීදි ආහාර කරත්තය සමඟ කුඩා නගරයක්ව පැවති කොළඹ නොසන්සුන් අගනුවරක් බවට පරිවර්තනය වන ආකාරය දුටු අයෙකි.
"මම ගෙදර ඉඳන් ඉස්සෝ වඩේ හදලා විකුණලා මගේ පවුල නඩත්තු කරන්න පටන් ගන්නකොට මට යන්තම් අවුරුදු 13යි. දැන් වියදම් බැලුවම මාසෙකට අපිට ලැබෙන්නේ පොඩි ලාභයක් විතරයි. ඒත් මම කවදාවත් වෙන වෙළඳාමක් ගැන හිතන්නේ නැහැ. මොකද ගෝල්ෆේස් එකට එන අය ගන්නේ මගෙන්ම විතරයි. වෙන කොහෙන්වත් කන්නේ නැහැ. ඒක ආඩම්බර වෙන්න ඕන දෙයක්." ඔහු කීවේය.
ළූණු, කරපිංචා සහ බැදපු රසවත් ඉස්සන්ගේ ප්‍රණීත රසය සමඟ හොඳින් බැදුනු පරිප්පුවල රස, හැපෙනසුළු බව ගැන මට ආදරණීය මතකයන් තිබේ. වඩේ තම මුල් ස්වරූපයෙන්ම, සංක්‍රමණික ප්‍රජාවක් සමඟ සාගරයක් තරණය කර මෙම කුඩා දූපතට පැමිණි බව සිතීම ඇදහිය නොහැකි ය.
මිතුරන් සමඟ හිරු බැස යන ආකාරය නැරඹීමට වාඩි වී සිටින ශ්‍රී ලාංකිකයන් වාර්ගික, ආගම් සහ පන්ති භේදයකින් තොරව එකමුතු කිරීමට මෙම ආහාරයට හැකිවෙතැයි කිසිවෙකු දැන සිටියේ නැත.
මෙම රසවත් ආහාරයට ආර්ථික අර්බුදයෙන් බේරීමට නොහැකි වුවහොත්, ඉන් තර්ජනයට ලක්වන්නේ වීදි ආහාර සහ වෙළඳුන්ගේ ජීවනෝපාය පමණක් නොව, සියවස් දෙකක ඉතිහාසයක් ද ඒ සමඟම අපට අහිමි වනු ඇත.
(ඩේමි පෙරේරා විසින් BBC TRAVEL වෙත සම්පාදිත ලිපියකි.)
(BBC සිංහල සේවය )
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.